June 15, 2020

නරියෙක්!


නරියා කියන්නේ මම හරි ආස සතෙක්. ඒ ඌගේ අමුතු ලස්සනක් තියෙන නිසා. අපි වැඩියම දන්නේ පොඩි කාලේ කියවපු කතන්දර වල හිටිය මිදි තිත්තයි කිව්ව, නිල් බාල්දිය ඇඟේ හලා ගත්ත, සිංහයා ව රැවට්ටුව කපටි නරි හාමි ගැනනේ. ඒත් රුසියන් රූප පොත්වල හරි ලස්සන නරි හාමිලා හිටියා. 

ලංකාවේදී කොයිතරම් නරි ගැන අහලා තිබුණත් මම නම් ඇත්තටම නරියෙක් ව හරියකට දැක්කේ මෙහෙදී. ඕස්ට්‍රේලියාවට නරි ගෙනත් තියෙන්නේ යුරෝපයෙන්. ඒ ගෙනත් තියෙන්නෙත් යුරෝපීය ජාතිකයන්ට විනෝදයට දඩයමේ ගිහින් වෙඩි තියලා සතුටු වෙන්න! ඒත් නොහිතුව විදිහට මෙහෙ නරි හරි ඉක්මනට බෝ වෙලා. දැන් මෙහෙ නරි සලකන්නේ pests ලා හැටියට. දැන් නගර ආශ්‍රිතවත් ලඳු කැලෑ වල හැමතැනම මේගොල්ලෝ පදිංචි වෙලා ඉන්නවා. රෑට ගෙවතු වලට පැනලා නිදැල්ලේ ඉන්නේ හාවෝ පූසෝ වගේ සුරතල් සත්තු කාලා දාන්නත් මේගොල්ලෝ හරි දක්ෂයි. ඒත් නරි නිශාචර සත්තු නිසා අපිට ඒගොල්ලන්ව ලේසියෙන් දකින්න වෙන්නේ නැහැ. අපිට මෙහෙදී නරි දකින්න ලැබෙන්නේ මැරිලා ඉන්දැද්දී! පාර අද්දර වදුලේ ජීවත් වෙලා උන්නු නරි, පාර පනින්න ගිහින් වාහන වල හැපිලා මැරිලා ඉන්නවා උදේට අධිවේගී පාරේ වැඩට යද්දී නිතර දකින්න පුළුවන්. ඒ නරි අපි ඉස්සර කතන්දර පොත්වල දැක්ක විදිහටම හරිම ලස්සනයි. රතු-තැඹිලි බූසි ලොම්, උල් මූන, සුදු කෙලවරක් තියෙන ලස්සන පිම්බුණු වලිගෙ. උන් පාර අයිනේ වැතිරිලා ඉන්නේ හරියට නිදි වගේ. ඒත් ඉතින් ඒ ඉන්නේ මැරිලා බව තේරුම්ගන්න අමාරු නැහැ. එහෙම දේවල් දැකපු දවස්, දවසම ටිකක් අඳුරුයි.

මේ ඉස්සර එහෙම දවසක ලිව්ව කවියක්. පරණ සටහන් එකතුවක තිබිලා හම්බවුණේ.

a fox, by the freeway, dead.

මියෙන්නට පුලුවන්ද
මෙහෙම්මම සීරුවෙන්?
ගැඹුරු නින්දක පතුල
සෙමෙන් සැරිසරන මෙන්?
මියෙන්නට පුලුවන්ද
කිසිත් සිදු නොවූ ලෙසින්?
ලේ බිඳක් නොහලාම
සුව පහසු විලාසෙන්?
මැකෙන්නට පුලුවන්ද
ලෝකයක මතකයෙන්?
රතු- දුඹුරු කබායම
පොරවාගෙන සීතලෙන්?

-2013-


මගේ නරි obsession එක ගැන දන්නා පුතා තමයි කිව්වේ 'draw  fox, Amma!' කියලා. මේ චිත්‍රය ඇඳුනේ ඒ නිසායි


drawn with touchpad on Paint




June 08, 2020

කටු සහ මල්




මේක මේ ලෝකෙට සෑහෙන්න සමානකම් තියෙන සමාන්තර ලෝකයක කතාවක්. එහේත් මෙහෙ විදිහටම මිනිස්සු, ගස් වැල්, සතා සිව්පාවා, ඇළ දොළ ගංගා තිබුණා. මිනිස්සු උදේට නැගිටලා කාලා බීලා අඬලා දොඩලා ගයලා නටලා රස්සාවල් කරලා ගෙදර ඇවිල්ලා නිදාගත්තා. ඒත් ඒ ලෝකේ එක පුංචි වෙනසක් තිබුණා. පුංචියි කියන්නත් බැහැ ඉතින්. එහෙ සමහර මිනිස්සු තමන්ගේ ජීවිතවල සැරිසරද්දී කකුලේ එක ජාතියක කටු ඇනුණා. මේවා ඇහැට පේන්නේ නැති ජාතියක්. සමහර වෙලාවට ඒ මිනිස්සු ඇස් ඇරගෙනම ඒ කටු නොදැක කටු ගාලට ඇවිදගෙන ගියා. ගොඩාක් අයගේ මේ කටු ඇනුණේ තරුණ කාලෙදී වුණත් එහෙමයි කියලා වයස් භේදයක් තිබුණෙත් නැහැ. මේ කටු ඇනුණාම පිටතට පේන ලක්ෂණ අඩුයි. හදවත ඉරිතැලීම තමයි නොපෙනෙන ප්‍රධාන ලක්ෂණය. නින්ද නොයෑම, කෑම අරුචිය, අධික ලෙස කඳුළු ගැලීම වගේ දේවලුත් බහුලව සිදු වුණා. ඒත් ඒ ලක්ෂණ ලේසියෙන් හංගන්න පුළුවන් නිසා කටු ඇනුණු උදවිය බොහෝ දුරට තමන්ගේ රෝග ලක්ෂණ නොපෙන්වා තම තමන්ගේ එදිනෙදා රාජකාරි කරගත්තා.

මෙහෙම කටු ඇනුණු අය අතරින් සමහර අයට විතරක් ඒ ලෝකේදී එක වරප්‍රසාදයක් ඉබේ ලැබිලා තිබුණා. ඒ තමයි අර ඇනුණු කටුවේ රිදිල්ල උරාගෙන හිස් මුදුනේ මල් පුබුදුවන්න. ඉතින් කටු ඇනුණු සමහර අය නිතර මේ විදිහට එක එක විදිහේ මල් පිබිදුවා. එක එක්කෙනාගේ මල් එකින් එකට වෙනස් වුණත් ඒ හැම එකකම තිබුණේ එකම සුවඳක්. සමහරවෙලාවට පාරේ තොටේ යද්දී දකින සමහර අය 'කටු ඇනුණු අය' කියලා අනෙත් අය දැනගත්තේත් හිස් මුදුනේ තිබුණු මල් නිසා. සමහරු ඒ මල් නිසා බොහොම ජනප්‍රිය වුණා. ඒගොල්ලෝ ඒ මල් උපදින්න හේතුවුණු කටු ගැන ප්‍රසිද්ධියේ කතා කළා. සමහර අය මල් ගැන විතරක් කතා කළා. කටු ගැන ඇහුවාම 'මගේ මල් වලින් මාව දකින්න එපා' කියලා කීවා. මේ දෙගොල්ලෝම නොකීව එක දෙයක් තිබුණා. ඒ තමයි කොයිතරම් මල් ඉපැද්දුවත් අර කටු ඇනුණු වේදනාව සමනය නොවෙන බව. අවුරුදු එකක්, පහක්, දහයක්, විස්සක්, පනහක් ගියත් ඒ වේදනාව ඇදුම් කමින්, ලේ නහරවල දුවමින් ඇඟ පුරා සැරිසරන බව. ඒ තරම් කල් ගත වුණත් තමන්ට තාමත් කඳුළු ගලන ලක්ෂණ තිබුණු බව. කොහොම වුණත් මේ මල්වලට ලොකු ඉල්ලුමක් තිබුණා. ඒවාට වැඩියෙන්ම ඉල්ලුමක් තිබුණේ එක සුවිශේෂී කණ්ඩායමකින්. ඒ තමයි කටු ඇනුණත් මල් පුබුදුවන්න වරම් නොලැබුණු අය. මේ අය කටු ඇනුණු වේදනාව වගේම ඒක සිරුරෙන් පිටකරගන්න බැරි වේදනාවෙනුත් තැවුණු දැවුණු අය. තමන්ගේ කටුව නිසා තමන්ට හැකියාවක් තිබුණා නම් පුබුදුවන්න තිබුණු මල් වෙන අයගේ හිස් මුදුනේ දැක්කාම මේ අයට යම් සහනයක් දැනුණා. එහෙම මල් පුබුදුවපු අයගේ පස්සෙන් මල් නැති උදවිය ගියා. තමන්ට පුබුදුවන්න බැරි වුණු මලේ සුවඳ දුර තියා වින්දා. ඒවා වර්ණනා කළා. ඉන් සමහරු අනුන්ගේ මල් හොරකම් කරගෙන තමන් පිබිදූ ඒවා වගේ හිස් මුදුනේ තියාගන්න ගිහින් ගැටුම් පවා ඇති වුණා. ඒත් බහුතරයක් කටු ඇනුණු උදවිය එක්කෝ තමන්ගේ මල් පුබුදවමින් එහෙමත් නැත්නම් අනුන්ගේ මල් සුවඳ විඳිමින් කාලය ගත කළා.

මේ දෙවර්ගයට අමතරව තුන්වෙනි කොටසකුත් මේ ලෝකයේ ජීවත් වුණා. ඒ තමයි ජීවිතේ කිසිම දවසක කටුවක් ඇනුණේ නැති උදවිය. ඒ අයගේ ජීවන ගමන යෙදිලා තිබුණු පාරේ කොතැනකවත් අර අදිසි කටු ජාතිය හමුවෙන්න නියමිත වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ අය කිසි ආපදාවක් නැතිව තමන්ගේ ගමන් බිමන් ගියා. එහෙම යද්දී එද්දී තැන තැන අනෙත් අයගේ හිස් මුදුන් වල පිපුණු ලස්සන මල් දැක්කා. එක්කෝ මොහොතක් නතරවෙලා ඒවායේ සුවඳ වින්දා. නැත්නම් තමන්ට කවදාවත් තේරුම් ගන්න බැරි ඒ මල් පිබිදීම ගැන නොරිස්සුමෙන් 'මොන විකාරයක්ද?' හිතමින් යන්න ගියා. සමහර වෙලාවට, ජීවිතේ කිසිම දවසක කටුවක වේදනාවක් නොවිඳපු කෙනෙක් හිස් මුදුනේ මල් පොකුරක් පිපුණු කෙනෙක් ව පාරේදී මුණ ගැහිලා, ඒ මල් වල සුවඳ බලලා, දිලිසෙන පෙති අතගාලා "ඔයා කොයිතරම් වාසනාවන්තද!" කියලා කීවා. ඒ වෙලාවට ඇඟ පුරා ඇදුම්කන කටුවේ රිදුමෙන් දාහෙන් පංගුවකින් ඒ මල් පුබුදවපු කෙනා, නිදි නැති රැයවල් වගේම නිරන්තර කඳුළු ගැලීම් නැති, කටුවක වේදනාවක් නොවින්ද කෙනා දිහා බලලා "ඔයා කොයිතරම් වාසනාවන්තද!" කියලා හිතුවත්, ඒ බව නොකියා හිනාවුණා.

ඉතින් ඒ ලෝකයේ උදවිය කටු ඇනගනිමින්, මල් පුබුදුවමින්, ඒ මල් වල ලස්සන බලමින් ජීවත් වුණා!


sketch with stylus on Lenovo Thinkpad

June 04, 2020

No one's lost..


නටුවෙන් මිදෙනු පළමුව 
මිමිණුවා මුදු ලෙස, මල 
'මතකයන් මියැදෙන තෙක් 
අහිමිවීමක් නැත ලොව'


June 01, 2020

ගෙහිමි කාන්තාව


Translation of the short story The Landlady by Roald Dahl




බිලී වීවර් හවස දුම්රියෙන් ලන්ඩන් සිට ස්වින්ඩන් වෙත පැමිණ බාත් වෙත යන්නට තවත් දුම්රියක් ගත්තා. ඔහු බාත් වෙත එද්දී රාත්‍රී නමයට ආසන්නව තිබුණු අතර දුම්රියපොළ දොරටුව ඉදිරිපස නිවාස පෙළට ඉහළින් තරු පිරුණු පැහැදිලි අහසේ සඳ දිලිසෙමින් තිබුණා. එහෙත් වටපිට නම් තිබුණේ මාරාන්තික සීතලක්. සුළඟ පැතලි අයිස් පිහි තුඩක් සේ ඔහුගේ කොපුලට දැනුණා.

"සමාවෙන්න, මේ කිට්ටුව ටිකක් ලාබ හෝටලයක් තියෙනවාද මට නවතින්න?" ඔහු දුම්රියපොළ සේවකයෙක්ගෙන් ඇසුවා.

"'ද බෙල් ඇන්ඩ් ඩ්‍රැගන්' එකෙන් අහලා බලන්න." සේවකයා පාර කෙළවර පෙන්වමින් කීවා. "ඔවුන් සමහරවිට ඔබට කාමරයක් දෙයි. අර පැත්තෙන් හැතැප්ම කාලක් විතර දුරයි."

බිලී ඔහුට ස්තූති කර තම සූට්කේසයත් රැගෙන හෝටලය වෙත යාමට ඇති සැතපුම් කාල ඇවිදගෙන යන්නට වුණා. ඔහු මීට පෙර කිසි දිනක බාත් නගරයට පැමිණ තිබුණේ නැහැ. ඔහු එහි සිටි කිසි කෙනෙක් හැඳිනුවේ නැහැ. ලන්ඩන් හි ඔහුගේ කාර්යාලයේ මූලස්ථානයේ ග්‍රීන්ඩේල් මහතා නම් කීවේ එය අපූරු නගරයක් බවයි. "නවාතැනක් සොයාගන්න" ඔහු කියා තිබුණා. "ඉන්පස්සේ ගිහින් ශාඛා කළමනාකරු ව මුණගැහෙන්න."

බිලීගේ වයස දාහතයි. ඔහු අලුත් නිල් කබායක්, අලුත්ම දුඹුරු ට්‍රිල්බි තොප්පියක් සහ අලුත් දුඹුරු ඇඳුම් කට්ටලයක් ඇඳ බොහොම ජේත්තුවට සිටියා. ඔහු කඩිසර ගමනින් පාර දිගේ ගියා. බිලී මේ දිනවල හැමදේම කඩිසරව කරන්නට උත්සාහ කරමින් සිටියේ. කඩිසරකම හැම සාර්ථක ව්‍යාපාරිකයෙක්ගේම පොදු ලක්ෂණයක් බව ඔහු තීරණය කර තිබුණා. මූලස්ථානයේ ලොකු ලොක්කන් හැමදෙනෙක්ම හැමතිස්සෙම පුදුම කඩිසරකමකින් පසුවුනා. ඒක හරිම විස්මයජනකයි.

ඔහු යමින් සිටිය පාර දෙපස කඩ සාප්පු තිබුණේ නැහැ. ඒ වෙනුවට පාර දෙපැත්තේම, එක වැනිම උස නිවාස පෙළක් තිබුණා. ඒ හැම එකකටම කුලුණු සහිත ඉස්තෝප්පු වගේම, ඉදිරිපස දොර වෙත යන්නට පඩි හතර පහක් තිබුණා. කලකට ඉහතදී ඒ නිවෙස් බොහොම උජාරුවට තිබුණු බවට ලකුණු තිබුණත් දැන් නම් ඒවායේ දොර ජනෙල් වල තීන්ත ගැලවී, සුදු පැහැ බිත්ති ඉරිතලා, දුර්වර්ණ වී ඇති බව ඔහුට අඳුරේදී පවා පැහැදිලිව පෙනුණා.

යාර හයක් තරම් නුදුරින් තිබුණු නිවසක පහළ මහලේ, දීප්තිමත් ව එළිය වුණු ජනේලයක වීදුරුවට හේත්තු කර තිබුණු දැන්වීමක් එක්වරම ඔහුගේ ඇස ගැටුණා. එහි 'නවාතැන් සහ උදේ ආහාර ඇත' යැයි සඳහන් ව තිබුණා. දැන්වීමට යටින් උස මල් බඳුනක අලංකාර ක්‍රිසන්තමම් පොකුරක් දක්නට තිබුණා.

ඔහු ගමන නතර කර මඳක් කිට්ටු වී බැලුවා. විල්ලුද වැනි කොළ පැහැති තිර රෙදි ඒ ජනේලයේ දෙපස තිබුණා. ඒවා අසල ක්‍රිසන්තමම් බඳුන සුන්දරව පෙනුණා. ඔහු තව ටිකක් කිට්ටු වී ජනේලයේ වීදුරුවෙන් ඇතුළ බැලුවා. ඔහු මුලින්ම දුටුවේ බැබළෙමින් දැල්වෙන ගිනි උදුනක්. උදුන ඉදිරිපස බුමුතුරුණ මත ලස්සන පුංචි ඩෑශන්ඩ් බල්ලෙක් වකුටු වී නිදමින් සිටියා.

ඔහුට පෙනුණු තරමට, අඩ අඳුරේ තිබුණු කාමරය ප්‍රියමනාප ගෘහ භාණ්ඩ වලින් පිරී තිබුණා. පියානෝවක්, ලොකු සෝපාවක් වගේම සැප පහසු ඇඳි පුටු කිහිපයක් එහි තිබුණා. කාමරයේ එක කෙළවරක කූඩුවක විශාල ගිරවෙක් පෙනුණා. මේ වගේ තැනක සුරතල් සතුන් සිටීම හොඳ ලක්ෂණයක්- බිලී තමාටම කියාගත්තා. සමස්තයක් හැටියට ගත් විට මේ නම් නැවතීමට ඉතා සුදුසු නිවසක්. ‘ද බෙල් ඇන්ඩ් ඩ්‍රැගන්’ එකට වඩා නම් අනිවාර්යයෙන් සැප පහසු වේවි.

අනෙත් අතට අවන්හලක නවතින එක නිවසක නවතිනවාට වඩා තමන්ට හිතකර වේවි. හවස් වරු වලදී බියර් බොන්නත් ඩාට්ස් සෙල්ලම් කරන්නත් ඉඩ ලැබේවි, කතාකරන්න අයත් ඉඳීවී, සමහරවිට මීට වඩා සෑහෙන්න ලාබ වේවි. මීට පෙර වතාවක් දෙකක් ඔහු අවන්හල් වල නැවතී තිබුණු අතර ඒවා ගැන ඔහුට තිබුණේ කැමැත්තක්. ඔහු නවාතැන්පළවල්වල කලින් නැවතී තිබුණේ නැහැ. අවංකවම කියනවානම් ඔහුට ඒවා ගැන තරමක බියක් තිබුණා. 'නවාතැන්පොල' කියන වචනය ඇහෙද්දීම ඔහුට දිය රසට පිසූ ගෝවා, කෑදර ගෙහිමි කාන්තාවන්, පිළී ගඳගහන විසිත්ත කාමර මැවී පෙනුණා.

තව විනාඩි කිහිපයක් සීතලේ කල්පනා කරමින් උන් බිලී 'ද බෙල් ඇන්ඩ් ඩ්‍රැගන්' අවන්හල වෙත ගොස් එහි තතු බලා ම සුදුසු තැන තෝරාගන්නට තීරණයක් ගත්තා. ඔහු ආපසු යන්නට හැරෙද්දීම ඔහුට කුමක්දෝ අසාමාන්‍ය දෙයක් සිදුවුණා. ඔහු ජනේලය වෙතින් ඉවත්ව ආපසු හැරෙන්නට සැරසෙද්දීම ජනේලයේ තිබුණු කුඩා දැන්වීම ඔහුගේ අවධානය අමුතුම විදිහට ග්‍රහණය කරගත්තා. 'නවාතැන් සහ උදේ ආහාර ඇත'. නවාතැන් සහ උදේ ආහාර, උදේ ආහාර සහ නවාතැන්, නවාතැන් සහ ආහාර. ඒ හැම වචනයක්ම ඔහු දිහා එක එල්ලයේ බලා සිටින ඇසක් සේ පෙනුණා. ඒ ඇස් ඔහුව ග්‍රහණය කරගනිමින්, එතැනින් ඉවත්ව නොයන්නට බල කරමින් සිටියා. ඔහුටත් නොදැනීම ඔහු පඩිපෙළ නැඟ, නිවසේ දොර වෙතට ඇවිද, සීනුව නාද කරන්නට සූදානම් වෙමින් සිටියා.

ඔහු සීනුව නාද කළා. නිවසේ පසුපස පෙදෙසේ එය නාදවනු ඔහුට ඇසුණා. ඒ සමඟ ම- ඔහු සීනුවෙන් ඇඟිල්ල ඉවතට ගන්නටත් පෙර- දොර විවර වුණා. එතැන කාන්තාවක් සිටගෙන සිටියා. සාමාන්‍යයෙන් කෙනෙක් නිවසක සීනුවක් නාද කළ විට දොර ඇරෙන්නට පෙර ඔහුට විනාඩි භාගයක පමණ වේලාවක් ලැබෙනවා. එහෙත් මේ කාන්තාව නම් ජැක් ඉන් ද බොක්ස් සෙල්ලම් බඩුවක් මෙන් බොත්තම ඔබද්දීම මතුවුණු නිසා ඔහු තිගැස්සුණා.

මේ කාන්තාවට වයස හතළිස් පහක්- පනහක් පමණ පෙනුණා. ඔහුව දුටු විගස ඈ ඔහුට උණුසුම් සුන්දර සිනහවකින් සංග්‍රහ කළා.

"කරුණාකර ඇතුළට එන්න" ඇය බොහොම ප්‍රියමනාප ව කීවා. දොර විවර කරමින් ඇය මඳක් පසෙකට වෙද්දී බිලී ට තමන් ඉබේම නිවස තුළට ඇදී යන බවක් දැනුණා. ඇය පසුපසින් නිවස තුළට යන්නට දැනුණු බල කිරීම, නොඑසේ නම් ආශාව ඔහුට ඉතා බලවත් ව දැනුණා.

"මම ජනේලයේ තිබුණු දැන්වීම දැක්කා" ඔහු ආයාසයෙන් මඳක් පසුබාමින් කීවා.

"ඔව්, මම දන්නවා"

"කාමරයක් ගන්න තියෙනවාද කියලායි මම කල්පනා කළේ."

"කාමරය ඔබ වෙනුවෙන් ලෑස්තියි" ඇය කීවා. ඇයට තිබුණේ රෝස පැහැති රවුම් මුහුණක් සහ අහිංසක නිල් දෑසක්.

"මම ‘ද බෙල් ඇන්ඩ් ඩ්‍රැගන්’ එකට යද්දී ජනේලයේ තිබුණු දැන්වීම දුටුවා." බිලී ඈට කීවා.

"අනේ කොල්ලෝ," ඈ කීවා "ඇයි සීතලෙන් මිදිලා ගේ ඇතුළට නොඑන්නේ?"

"කොහොමද ඔබේ අය කිරීම්?"

"එක රැයකට පවුම් පහයි සිලිං හයයි, උදේ කෑමත් එක්ක"

ඒ මිල පුදුමාකාර විදිහට ලාභ බව ඔහුට සිතුණා. ඔහු ගෙවන්නට සූදානම්ව උන් මුදලින් භාගයකටත් අඩු ගණනක්.

"ඒ ගණන වැඩි නම් මට ඩිංගක් අඩු කරන්නත් පුළුවන්." ඇය කීවා. "ඔබට උදෑසන ආහාරයට බිත්තරයක් වුවමනාද? මේ දවස්වල බිත්තර මිල යි. බිත්තරයක් නැතිව මට සිලිං හයක් අඩු කරන්න පුළුවන්"

"පවුම් පහයි සිලිං හයක් කමක් නැහැ." ඔහු පිළිතුරු දුන්නා. "මම බොහොම කැමතියි මෙහේ නතරවෙන්න"

"මම දැනගෙන හිටියා ඔබ කැමතිවෙයි කියලා. එන්න ඇතුළට"
ඇය ඉතාම ප්‍රසන්න කෙනෙක් බව පෙනුණා. ඇය හරියට ඔහුට නත්තල් නිවාඩුවට තම නිවසට නවාතැන් ගන්නට එන්න ආරාධනා කරන ඔහුගේ පාසැලේ හොඳම මිතුරාගේ මව වැනි බව ඔහුට සිතුණා. බිලී ඔහුගේ තොප්පිය ගලවා නිවසට ඇතුල්වුණා.

"ඕක ඔතැනින් එල්ලන්න." ඈ කීවා. "ඉන්න මම ඔබේ කබාය ගලවන්න උදවුකරන්න"
විසිත්ත කාමරයට පිවිසෙන කොටසේ වෙනත් කිසිම කබායක් හෝ තොප්පියක් එල්ලා තිබුණේ නැහැ. කිසිම කුඩයක්වත් සැරයටියක් වත් එහි දක්නට තිබුණේ නැහැ.

"මුළු ගේ ම අපි දෙන්නාට" ඇය ඉහළ මාලයට යමින් ඔහු දෙස හැරී බලා කීවා. "මේකයි, මගේ පුංචි කැදැල්ලට අමුත්තෙක්ව පිළිගැනීමේ සතුට මට ලැබෙන්නේ කලාතුරකින්"

මේ ගෑනිට ටිකක් පිස්සු ද කොහෙද, බිලී තමාටම කියාගත්තා. ඒත් එක රැයකට පවුම් පහයි සිලිං හයයි නම් කවුද ඔය පිස්සු ගණන් ගන්නේ?

"මම හිතුවා ඔබට ගැනුම්කරුවන් ඕන තරම් ඇති කියලා" ඔහු විනීතව පිළිතුරු දුන්නා.

"ඔව් ඔව්.. ඇත්තටම එහෙම නම් තමයි. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මම කෙනෙක් තෝරාගනිද්දී ටිකක් පරෙස්සම් වෙනවා- ඔබට තේරෙනවා ඇති නේ"

"ආ.. ඔව් ඔව්"

"ඒත් මම හැමතිස්සේම සූදානමින් ඉන්නේ. වැදගත් තරුණ මහත්මයෙක් හදිසියේවත් ආවොත් කියලා මේ ගෙදර දිවා රැයේ සූදානමින් තියෙන්නේ. ඇත්තටම ඉඳහිට දවසක මම දොර අරිද්දී ඒ වගේ හරියටම ගැලපෙන කෙනෙක් හිටගෙන ඉන්නවා දකිද්දී හරිම සතුටක් දැනෙන්නේ, හරිම සතුටක්!" මෙය කියද්දී ඇය පඩිපෙළේ අඩක් දුර ගොස් තිබුණා. එක් අතක් අත් වැට මත තබාගෙන ඇය නැවතී හිස හරවා ඔහු දෙස බලා සුදුමැලි දෙතොලින් මඳහසක් පෑවා. "ඔබ වගේ කෙනෙක්" කියූ ඇය ඇගේ නිල් දෑස ඔහුගේ සිරුරේ ඉහළ සිට පහළටත් නැවත පහළ සිට ඉහළටත් ගෙනගියා.

"මේ තට්ටුව මගේ" පළවෙනි මහලේදී ඈ කීවා.

ඔවුන් දෙවෙනි පඩි පෙළත් නැග්ගා. "මේ තට්ටුව තනිකරම ඔබගේ" ඈ කීවා. "මේ තමයි ඔබේ කාමරය, ඊට කැමති වෙයි කියලා මම හිතනවා." ඈ ඔහුව කුඩා, එහෙත් දැකුම්කළු කාමරයක් වෙතට කැඳවාගෙන ගොස් එයට ඇතුල් වෙද්දී එහි විදුලි පහන දැල්වූවා.

"මේ ජනේලයෙන් උදෑසන හිරු එළිය කෙළින්ම කාමරයට එනවා, පර්කින්ස් මහත්මයා. පර්කින්ස් මහත්මයා නේද නම?"

"නෑ" ඔහු කීවා. "මගේ නම වීවර්"

"වීවර් මහත්මයා, අපූරු නමක්. මම මේ ඇඳ රෙදි අතරට උණුවතුර බෝතලයක් දැම්මා ඒවා උණුසුම් වෙන්න. නුපුරුදු ඇඳක පිරිසිදු ඇඳ රෙදිත් උණුවතුර බෝතලයකුත් තියෙනවා නම් ලොකු සැනසිල්ලක් දැනෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?"

"ස්තුතියි, බොහොමත්ම ස්තූතියි." බිලී කීවා. කෙනෙකුට ඇඳට ගොඩවන්න ලේසි වන අයුරින් ඇඳේ එක් පසෙක ඇතිරිල්ල බොහොම පිළිවෙළට නවා තිබුණු බව ඔහු දුටුවා.

"ඔබ ආව එක ගැන මට හරි සතුටුයි." ඇය බොහොම උනන්දුවෙන් ඔහුගේ මුහුණ දෙස බලමින් කීවා. "මගේ හිත කරදර වෙන්න පටන් ගනිමින් තිබුණේ"

"ආ ඒකට කමක් නැහැ!" ඔහු බොහොම ප්‍රීතිමත් විලාසයකින් කීවා. "ඔබ මා ගැන වද වෙන්න වුවමනා නැහැ." ඔහු ඔහුගේ සූට්කේසය පුටුවක් මත තබා එය විවර කරන්න සූදානම් වුණා.

"එතකොට රෑ කෑම? මෙහෙ එන්න කලින් කෑමට දෙයක් හොයාගන්න පුළුවන් වුණා ද?"

"මට පොඩ්ඩක්වත් බඩගිනි නැහැ, බොහොම ස්තූතියි" ඔහු කීවා. "මට හෙට උදේම කාර්යාලයට ගිහින් වැඩ බාරගන්න තියෙනවා. ඒ නිසා ඉක්මනින්ම නිදාගත්තොත් හොඳයි."

"හොඳයි එහෙනම් මම ඔබට බඩු ටික අස්පස් කරගන්න ඉඩදෙන්නම්. ඒත් ඔබ නින්දට යන්න කලින් කරුණාකර පහළ මාලයේ විසිත්ත කාමරයට පොඩ්ඩකට ඇවිත් පොත අත්සන් කරනවාද? ඒක නීතිය නිසා හැමෝම කළ යුතු දෙයක්. මේ වෙලාවේ අපි නීති කඩ කළ යුතු නැහැනේ නේද?" කී ඇය ඉක්මනින් දොර වසාගෙන කාමරයෙන් පිටවුණා.

මේ ගෙහිමි කාන්තාවට තරමක පිස්සුවක් තිබීම බිලීගේ සිතට කරදරයක් වුණේ නැහැ. ඇයගෙන් කිසිම හානියක් නැති බව වගේම ඇය ඉතා කරුණාවන්ත කෙනෙක් බව ඔහුට පැහැදිලි වුණා. සමහරවිට ඇයගේ පුතෙක් යුද්ධයේදී අහිමිවීමක් වැනි දෙයක් සිදුවෙලා ඈ ඒ දුකින් කවදාවත් මිදුණේ නැහැ වෙන්න පුළුවන්.

ඉන් විනාඩි කිහිපයකට පසුව, තම බඩු බාහිරාදිය අස්පස් කර දෑත සෝදාගැනීමෙන් අනතුරුව ඔහු පහළ මාලයට ගොස් විසිත්ත කාමරයට ඇතුල් වුණා. ගෙහිමි කාන්තාව එහි නොසිටියත් උදුනේ ගින්න බැබළෙමින් දැවෙමින් තිබුණා. පුංචි ඩෑශන්ඩ් බල්ලා තවමත් එය ඉදිරිපස නිදමින් සිටියා. ඒ කාමරයේ බොහොම උණුසුම් සුවපහසු බවක් දැනුණා. මම වාසනාවන්තයි, ඔහු දෑත පිරිමදිමින් සිතුවා. මෙතැන නියමයි!

අමුත්තන්ගේ තොරතුරු ලිවිය යුතු පොත පියානෝව උඩ විවරව තිබුණා. ඔහු තම පෑන ගෙන එහි තම නමත් ලිපිනයත් ලියුවා. තමන්ගේ නමට ඉහළින් තිබුණේ තව නම් දෙකක් පමණයි. සාමාන්‍යයෙන් මෙවැනි අමුත්තන්ගේ පොතක විස්තර ලියද්දී සිදුවෙන විදිහට ඔහු ඒ නම් දෙක කියෙව්වා. එක නමක් කාඩිෆ් හි ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ්. අනෙකා බ්‍රිස්ටල් හි ග්‍රෙගරි. ඩබ්ලිව්. ටෙම්පල්. මේක හරි පුදුමයක් ඔහුට හදිසියේ හිතුණා. ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ්. ඒ නම හරි හුරුපුරුදුයි. ඒ වගේ අමුතු නමක් ඔහු කලින් අසා තිබුණේ කොහේදී ද?

පාසැල් සගයෙක් ද? නෑ. ඔහුගේ සොයුරියගේ පෙම්වතුන් රාශියෙන් කෙනෙක් ද? තාත්තාගේ මිතුරෙක් ද? නෑ නෑ එයින් කිසිකෙනෙක් නෙමෙයි. ඔහු නැවතත් පොත දෙස බැලුවා. ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ්, 231, කැතීඩ්‍රල් පාර, කාඩිෆ්. ග්‍රෙගරි. ඩබ්ලිව්. ටෙම්පල්, 27 සයිකැමෝර් මාවත, බ්‍රිස්ටල්. කල්පනා කරද්දී දෙවෙනි නමත් යම් හුරුබවක් දැනෙන වග ඔහුට සිතුණා.

"ග්‍රෙගරි ටෙම්පල්?" ඔහු මතකය අවුස්සමින් හඬ නඟා කීවා. "ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ්?"

"බොහොම අපූරු කොල්ලෝ දෙන්නෙක්" ඔහුගේ පසුපසින් පිළිතුරක් ඇසුණා. ඔහු හැරී බලද්දී ගෙහිමි කාන්තාව කාමරයට පාවී ආවේ දෑතේ විශාල රිදී බන්දේසියක් සහිතවයි. ඈ එය සිරුරෙන් ඈත් කර ඔසවාගෙන සිටියේ කලබල අශ්වයෙකුගේ රැහැන් පට අල්ලාගෙන සිටින ආකාරයට.

"ඒ නම් මට හරි හුරුපුරුදුයි."

"ඇත්තටම?"

"මට හොඳටම විශ්වාසයි මම ඒ නම් කොහේදී හරි අහලා තියෙනවා කියලා. ඒක හරි පුදුමයක් නේද? සමහරවිට පත්තරවල තිබුණාද දන්නේ නැහැ. ඒ ගොල්ලෝ ප්‍රසිද්ධ අයද? නැහැ නේද? මම කියන්නේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෝ හරි ෆුට්බෝල් ක්‍රීඩකයෝ හරි නෙමෙයි නේ?"

"ප්‍රසිද්ධ?" ඈ තේ බන්දේසිය සෝපාව ඉදිරිපස තිබුණු මිටි කනප්පුව මත තබමින් කීවා. "අපෝ නැහැ, මම හිතන්නේ නැහැ ඒ අය ප්‍රසිද්ධ අය කියලා. ඒත් මට ඔබට සහතික වෙන්න පුළුවන් ඒ දෙන්නාම පුදුම විදිහට කඩවසම් බව. ඒ අය ඔබ වගේම උස, තරුණ, කඩවසම් අය."

බිලී නැවත වතාවක් පොත දෙස බැලුවා.

"මේ බලන්න" ඔහු එහි සඳහන් දින පෙන්වමින් කීවා. "මේ අන්තිම සටහන අවුරුදු දෙකකටත් වඩා පරණයි."

"ඇත්තද?"

"ඔව්, ඇත්තටම. ඒ වගේම ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ් ඊටත් අවුරුද්දකට කලින්- ඒ කියන්නේ ඒ සටහන අවුරුදු තුනකට වඩා පරණයි."

"දෙවියනේ," ඈ හිස සොලවමින්, කෝමල ලෙසින් සුසුමක් හෙළමින් කීවා. "මට දැනුනේවත් නැහැ. කාලය අපව පසුකරගෙන වේගයෙන් ගතවෙනවා නේද විල්කින්ස් මහත්මයා?"

"මගේ නම වීවර්." බිලී කීවා. "වී-ව-ර්"

"ආ ඔව්නේ!" ඈ සෝපාවේ වාඩිවෙන ගමන් කීවා. "මටත් පිස්සු! සමාවෙන්න මට. එක කනකින් ඇහෙන දේ අනෙත් කණෙන් පිටවෙනවනේ වීවර් මහත්තයා"

"දන්නාවද වැඩක්?" බිලී කීවා. "මේ හැම දෙයක්ම ගැන වඩාත්ම පුදුමම කාරණාව මොකක්ද දන්නවාද?"

"නැහැනේ, මම දන්නේ නැහැ"

"මේකයි, මලෝලන්ඩ්, ටෙම්පල් කියන මේ නම් දෙකම මට මතක තියෙන්නේ වෙන වෙනම නෙමෙයි. මොකක් නමුත් අරුම පුදුම හේතුවකට ඒ නම් දෙක එකකට එකක් සම්බන්ධයි වගේ මට හිතෙනවා. ඒ දෙන්නාම එකම දෙයක් නිසා ප්‍රසිද්ධ වුණු බවක්. මම කියන දේ තේරෙනවාද? හරියට නිකම් ඩෙම්සිගෙයි ට්යුනේගෙයි නම් දෙක වගේ... චර්චිල්ගෙයි රූසවෙල්ට්ගෙයි නම් දෙක වගේ."

"හරි විනෝදජනකයිනේ" ඈ කීවා. "ඒත් දැන් මෙතැනට එන්නකෝ. ඇවිත් සොපාවේ මගේ ළඟින් වාඩිවෙන්න. ඔබ නිදාගන්නට යන්න කලින් මම හොඳ තේ කොප්පයකුත් ඉඟුරු විස්කෝතුවකුත් දෙන්නම්."

"ඇයි කරදර වුණේ?" බිලී ඇහුවා. "ඔබෙන් මම එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. "

ඔහු පියානෝව අසල සිටගෙන ඇය කෝප්ප පීරිසි එහා මෙහා කරන ආකාරය බලාගෙන සිටියා. ඉක්මනින් එහා මෙහා යන ඇගේ පුංචි සුදුමැලි දෑතේ රත් පැහැති නිය තිබුණු බව ඔහු දුටුවා.

"මට සෑහෙන්න විශ්වාසයක් තියෙනවා මම ඒ අය ගැන දැක්කේ පත්තරයක බව" බිලී කීවා. "මට තව තත්පරයකින් මතක් වේවි. මට සහතිකයි ඒ බවට"

කෙනෙකුගේ මතකයේ කෙළවරක අපැහැදිලිව ලතවෙන මෙවැනි දෙයක් තරම් වෙනත් හිරිහැරයක් නැති තරම්. ඔහු එය අත හරින්නට කොහෙත්ම සූදානම් වුණේ නැහැ.

"විනාඩියක් ඉන්න" ඔහු කීවා. "විනාඩියක් ඉන්න. මලෝලන්ඩ්... ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ්.. මේ අර ඊටන් වල පාසැල් ශිෂ්‍යයා නේද? බටහිර පළාතේ පා ගමනින් සංචාරයක යද්දී හදිසියේම..."

"තේ එකට කිරි දාන්නද?" ඈ ඇහුවා. "සීනි?"

"ඔව්.. ඔව්.. දාන්න... සංචාරයක යද්දී හදිසියේම.."

"ඊටන් වල පාසැල් ශිෂ්‍යයා?" ඈ ඇහුවා. "නෑ නෑ , කොහොමවත්ම එයා වෙන්න බැහැ. මලෝලන්ඩ් මහත්මයා මා ළඟට එද්දී එයා පාසැල් ශිෂ්‍යයෙක් නෙමෙයි කියලා මට සහතිකයි. එයා ඒ වෙද්දී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඉතින් එන්න, ඇවිත් මෙතන මා ළඟින් වාඩිවෙලා මේ උදුනේ ගින්දරෙන් උණුසුම් වෙන්නකෝ. ඔබේ තේ කෝප්පය ලෑස්තියි."

ඇය සෝපාවේ ඇගේ අසල හිස් ඉඩ පෙන්වා ඔහුට සන් කර බිලී එතැනට එන තුරු සිනාමුසු මුහුණින් ඔහු දෙස බලා සිටියා. ඔහු සෙමෙන් කාමරය හරහා පිය මැන ඇවිත් සෝපාවේ කෙළවරින් වාඩිවුණා. ඇය ඔහුගේ තේ කෝප්පය ඔහු ඉදිරියේ කනප්පුව මත තැබුවා.

"ඉතින්.." ඈ කීවා. "හොඳට සැප පහසුයි නේද?"

බිලී තේ කෝප්පය තොල ගාන්නට වුණා. ඇයත් එලෙසින්ම කළා. තත්පර තිහක් පමණ වෙලාවක් දෙන්නාම නිශ්ශබ්දව සිටියා. එහෙත් ඇය ඔහු දෙස බලා සිටින බව බිලී දැන සිටියා. ඇගේ සිරුර ඔහු දෙසට අඩක් හැරවී තිබුණා. ඈ තේ කෝප්පයට ඉහළින් ඔහු දෙස නෙත් යොමා සිටින බව ඔහුට දැනුණා. වරින්වර ඇය වෙතින් හමන කිසියම් සුවඳක් ඔහුට දැනුණා. එය අප්‍රසන්න සුවඳක් නොවුණු අතර ඔහුට ඉන් සිහි ගැන්වුණේ කවරක්දැයි ඔහුට හරියටම සිතාගන්නට බැරිවුණා. ඒ වෝල්නට් අච්චාරු සුවඳද? අලුතින් පදම් කළ හම්ද? රෝහලක පටු ආලින්ද වල දැනෙන සුවඳ ද?

"මලෝලන්ඩ් මහත්මයා නම් තේ බොන්න රුසියෙක්." ඇය හෙමින් සීරුවේ කීවා. "ආදරණීය මලෝලන්ඩ් මහත්මයා තරම් තේ බොන කෙනෙක් මම මුළු ජීවිතයටම දැකලා නැහැ."

"ඔහු යන්නට ඇත්තේ ළඟදී නේද?" බිලී විමසුවා. ඔහු ඒ වෙද්දීත් අමුත්තන්ගේ විස්තර පොතේ දුටු නම් දෙක පිළිබඳව සිත වෙහෙසවමින් සිටියේ. දැන් නම් ඒ නම් පුවත්පත් සිරස්තලයක දුටු බවට ඔහුට සෑහෙන විශ්වාසයක් තිබුණා.

"යන්න?" ඇය විශ්මයෙන් දෙබැම උස් කරමින් ඇසුවා. "ඇයි කොල්ලෝ, ඔහු කවදාවත් යන්නට ගියේ නැහැ. ඔහු තාම ඉන්නවා. ටෙම්පල් මහත්මයාත් තාම ඉන්නවා. ඒ දෙන්නාම තුන්වෙනි තට්ටුවේ එකට ඉන්නේ."

බිලී ප්‍රවේශමෙන් ඔහුගේ තේ කෝප්පය කනප්පුව මත තබා ගෙහිමි කාන්තාව දෙස දෑස් විදා බැලුවා. ඇය මඳහසක් පා, ඔහුව අස්වසන්නට මෙන් ඇගේ සුදුමැලි අතකින් ඔහුගේ දණහිසක් පිරිමැද්දා.

"කියන්න ඔබේ වයස කීයක් විතරද?" ඇය ඇසුවා.

"දාහතයි"

"දාහතයි!" ඇය විස්මයෙන් කෑගැසුවා. "නියමම වයස. මලෝලන්ඩ් මහත්මයාටත් දාහතයි. ඒත් එයා නම් ඔබට වඩා ටිකක් මිටියි මට මතක හැටියට, ඔබේ තරම් දත් සුදු පාටට තිබුණේත් නැහැ. වීවර් මහත්මයා ඔබ දන්නවාද ඔබට බොහොම ලස්සන සුදු පාට දත් තිබෙන බව?"

"ඒවා ඔය පෙනෙන තරම් ලස්සන නැහැ" බිලී කීවා. "කටේ පිටිපස්ස හරියේ දත් ඔක්කොම පුරවලා තියෙන්නේ"

"ටෙම්පල් මහත්මයා නම් ඔයිට වඩා ටිකක් වැඩිමල්" ඈ ඔහු කී දේ නෑසුණු ගණනට කීවා. "එයාට නම් විසි අටක්. ඒත් ඒ බව එයා මට නොකීවා නම් මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. එයාගේ මුළු ඇඟේම එක කැළලක් වත් තිබුණේ නැහැ."

"මොකක්?" බිලී ඇසුවා.

"ඔහුගේ සම ළදරුවෙක්ගේ වගේ"

ඉනික්බිති මඳ නිහැඬියාවක් ඇතිවුණා. බිලී තම තේ කෝප්පය ගෙන තේ උගුරක් බී නැවත එය සෙමෙන් පීරිසිය මත තැබුවා. ඇය වෙන යමක් කියන තෙක් ඔහු බලා සිටියත් ඇය නිහඬ බවක ගැලී සිටියා. ඔහු යටි තොල විකමින් කාමරයේ ඈත කෙලවර වෙත දෑස් යොමුකරගෙන සිටියා.

"අර ගිරවා," ඔහු අවසානයේදී කීවා. "දන්නවද වැඩක්? මම පාරේ ඉඳන් ජනේලයෙන් එබිලා බලද්දී මම හොඳටම රැවටුණා. මම හිතුවෙම ඌට පණ තියෙනවා කියලා."

"අවාසනාවකට ඌට දැන් නම් පණ නැහැ."

"හරිම දක්ෂ විදිහට ඒ වැඩේ කරලා තියෙනවා," ඔහු කීවා. "ඌට පණ නැහැ කියලා හිතන්නවත් බැහැ. කවුද මේක කළේ?"

"මම"

"ඔබ?"

"ඔව් මම තමයි," ඈ කීවා. "ඒ වගේම ඔබට මගේ පුංචි බැසිල් ව මුණගැහුණාද?" ඇය ගිනි උදුන ළඟ සුවපහසු ලෙස වකුටුව නිදන ඩෑශන්ඩ් බල්ලා පෙන්වමින් ඇසුවා. බිලී ඒ දෙස බැලුවා. ඒ එක්කම ඒ සතාත් මේ තරම් වෙලාවක් ගිරවා මෙන්ම නිහඬව නිසොල්මන්ව උන් බව ඔහුට හදිසියේම මතක් වුණා. ඔහු අතක් දිගු කර බල්ලාගේ පිට යන්තම් ස්පර්ශ කළා. ඒ හම තදට, සීතලට ඔහුගේ අතට දැනුණා. එහි ලොම් පසෙකට කර බලද්දී මනා ලෙස සුරකින ලද අළු පැහැති සම පෙනෙන්නට තිබුණා.

"දෙවියන්ට ඔප්පු වෙච්චාවේ" ඔහු කීවා. "මේක හරිම අරුම පුදුම දෙයක්නේ" ඔහු බල්ලාගෙන් ඉවතට හැරී ඔහු අසල අසුන්ගෙන උන් කාන්තාව දෙස මහත් ගෞරවයෙන් බැලුවා. "මේවා කරන්න හරි අමාරු ඇති නේද?"

"පොඩ්ඩක්වත් අමාරු නැහැ." ඈ කීවා. "මගේ සුරතලුන් අන්තරා වුණාම මමම ඔවුන්ට පුළුන් පුරවා සකස් කරනවා. තව තේ කෝප්පයක් බොමුද?"

"එපා, බොහොම ස්තූතියි" බිලී කීවා. ඒ තේවල යන්තමට තිත්ත ආමන්ඩ් රසක් තිබුණු නිසා ඔහුට ඒ ගැන වැඩි කැමැත්තක් දැනුණේ නැහැ.

"ඔබ පොත අත්සන් කළා නේද?"

"ආ ඔව් ඔව්"

"ඒක හොඳයි. මොකද පස්සේ මට ඔබේ නම අමතක වුණොත් මට මෙතැනට ඇවිත් පොත බලලා මතක් කරගන්න පුළුවන්. අදටත් මම ඒක නිතරම කරනවා මලෝලන්ඩ් මහත්මයාගේ නමත් අනෙත් කෙනා...මේ.."

"ටෙම්පල්," බිලී කීවා. "ග්‍රෙගරි ටෙම්පල්. මම මෙහෙම ඇහුවාට තරහා වෙන්න එපා, ඒත් පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත මෙහෙට වෙන කවුරුවත් අමුත්තෝ ආවේ නැද්ද?"

ඇය තේ කෝප්පය ඉහළට ඔසවාගෙන, හිස මඳක් ඇළ කර, ඇස් කොනින් බලා ඔහුට තවත් මෘදු සිනාවක් පෑවා.

"නැහැනේ," ඈ කීවා. "ඔබ විතරයි"





From the book ‘Kiss Kiss’ by Roald Dahl, first published in 1960

Picture- painting by Van Gogh, wikimedia commons