මේක මේ ලෝකෙට සෑහෙන්න සමානකම් තියෙන සමාන්තර ලෝකයක කතාවක්. එහේත් මෙහෙ විදිහටම මිනිස්සු, ගස් වැල්, සතා සිව්පාවා, ඇළ දොළ ගංගා තිබුණා. මිනිස්සු උදේට නැගිටලා කාලා බීලා අඬලා දොඩලා ගයලා නටලා රස්සාවල් කරලා ගෙදර ඇවිල්ලා නිදාගත්තා. ඒත් ඒ ලෝකේ එක පුංචි වෙනසක් තිබුණා. පුංචියි කියන්නත් බැහැ ඉතින්. එහෙ සමහර මිනිස්සු තමන්ගේ ජීවිතවල සැරිසරද්දී කකුලේ එක ජාතියක කටු ඇනුණා. මේවා ඇහැට පේන්නේ නැති ජාතියක්. සමහර වෙලාවට ඒ මිනිස්සු ඇස් ඇරගෙනම ඒ කටු නොදැක කටු ගාලට ඇවිදගෙන ගියා. ගොඩාක් අයගේ මේ කටු ඇනුණේ තරුණ කාලෙදී වුණත් එහෙමයි කියලා වයස් භේදයක් තිබුණෙත් නැහැ. මේ කටු ඇනුණාම පිටතට පේන ලක්ෂණ අඩුයි. හදවත ඉරිතැලීම තමයි නොපෙනෙන ප්‍රධාන ලක්ෂණය. නින්ද නොයෑම, කෑම අරුචිය, අධික ලෙස කඳුළු ගැලීම වගේ දේවලුත් බහුලව සිදු වුණා. ඒත් ඒ ලක්ෂණ ලේසියෙන් හංගන්න පුළුවන් නිසා කටු ඇනුණු උදවිය බොහෝ දුරට තමන්ගේ රෝග ලක්ෂණ නොපෙන්වා තම තමන්ගේ එදිනෙදා රාජකාරි කරගත්තා.
මෙහෙම කටු ඇනුණු අය අතරින් සමහර අයට විතරක් ඒ ලෝකේදී එක වරප්‍රසාදයක් ඉබේ ලැබිලා තිබුණා. ඒ තමයි අර ඇනුණු කටුවේ රිදිල්ල උරාගෙන හිස් මුදුනේ මල් පුබුදුවන්න. ඉතින් කටු ඇනුණු සමහර අය නිතර මේ විදිහට එක එක විදිහේ මල් පිබිදුවා. එක එක්කෙනාගේ මල් එකින් එකට වෙනස් වුණත් ඒ හැම එකකම තිබුණේ එකම සුවඳක්. සමහරවෙලාවට පාරේ තොටේ යද්දී දකින සමහර අය 'කටු ඇනුණු අය' කියලා අනෙත් අය දැනගත්තේත් හිස් මුදුනේ තිබුණු මල් නිසා. සමහරු ඒ මල් නිසා බොහොම ජනප්‍රිය වුණා. ඒගොල්ලෝ ඒ මල් උපදින්න හේතුවුණු කටු ගැන ප්‍රසිද්ධියේ කතා කළා. සමහර අය මල් ගැන විතරක් කතා කළා. කටු ගැන ඇහුවාම 'මගේ මල් වලින් මාව දකින්න එපා' කියලා කීවා. මේ දෙගොල්ලෝම නොකීව එක දෙයක් තිබුණා. ඒ තමයි කොයිතරම් මල් ඉපැද්දුවත් අර කටු ඇනුණු වේදනාව සමනය නොවෙන බව. අවුරුදු එකක්, පහක්, දහයක්, විස්සක්, පනහක් ගියත් ඒ වේදනාව ඇදුම් කමින්, ලේ නහරවල දුවමින් ඇඟ පුරා සැරිසරන බව. ඒ තරම් කල් ගත වුණත් තමන්ට තාමත් කඳුළු ගලන ලක්ෂණ තිබුණු බව. කොහොම වුණත් මේ මල්වලට ලොකු ඉල්ලුමක් තිබුණා. ඒවාට වැඩියෙන්ම ඉල්ලුමක් තිබුණේ එක සුවිශේෂී කණ්ඩායමකින්. ඒ තමයි කටු ඇනුණත් මල් පුබුදුවන්න වරම් නොලැබුණු අය. මේ අය කටු ඇනුණු වේදනාව වගේම ඒක සිරුරෙන් පිටකරගන්න බැරි වේදනාවෙනුත් තැවුණු දැවුණු අය. තමන්ගේ කටුව නිසා තමන්ට හැකියාවක් තිබුණා නම් පුබුදුවන්න තිබුණු මල් වෙන අයගේ හිස් මුදුනේ දැක්කාම මේ අයට යම් සහනයක් දැනුණා. එහෙම මල් පුබුදුවපු අයගේ පස්සෙන් මල් නැති උදවිය ගියා. තමන්ට පුබුදුවන්න බැරි වුණු මලේ සුවඳ දුර තියා වින්දා. ඒවා වර්ණනා කළා. ඉන් සමහරු අනුන්ගේ මල් හොරකම් කරගෙන තමන් පිබිදූ ඒවා වගේ හිස් මුදුනේ තියාගන්න ගිහින් ගැටුම් පවා ඇති වුණා. ඒත් බහුතරයක් කටු ඇනුණු උදවිය එක්කෝ තමන්ගේ මල් පුබුදවමින් එහෙමත් නැත්නම් අනුන්ගේ මල් සුවඳ විඳිමින් කාලය ගත කළා.
මේ දෙවර්ගයට අමතරව තුන්වෙනි කොටසකුත් මේ ලෝකයේ ජීවත් වුණා. ඒ තමයි ජීවිතේ කිසිම දවසක කටුවක් ඇනුණේ නැති උදවිය. ඒ අයගේ ජීවන ගමන යෙදිලා තිබුණු පාරේ කොතැනකවත් අර අදිසි කටු ජාතිය හමුවෙන්න නියමිත වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ අය කිසි ආපදාවක් නැතිව තමන්ගේ ගමන් බිමන් ගියා. එහෙම යද්දී එද්දී තැන තැන අනෙත් අයගේ හිස් මුදුන් වල පිපුණු ලස්සන මල් දැක්කා. එක්කෝ මොහොතක් නතරවෙලා ඒවායේ සුවඳ වින්දා. නැත්නම් තමන්ට කවදාවත් තේරුම් ගන්න බැරි ඒ මල් පිබිදීම ගැන නොරිස්සුමෙන් 'මොන විකාරයක්ද?' හිතමින් යන්න ගියා. සමහර වෙලාවට, ජීවිතේ කිසිම දවසක කටුවක වේදනාවක් නොවිඳපු කෙනෙක් හිස් මුදුනේ මල් පොකුරක් පිපුණු කෙනෙක් ව පාරේදී මුණ ගැහිලා, ඒ මල් වල සුවඳ බලලා, දිලිසෙන පෙති අතගාලා "ඔයා කොයිතරම් වාසනාවන්තද!" කියලා කීවා. ඒ වෙලාවට ඇඟ පුරා ඇදුම්කන කටුවේ රිදුමෙන් දාහෙන් පංගුවකින් ඒ මල් පුබුදවපු කෙනා, නිදි නැති රැයවල් වගේම නිරන්තර කඳුළු ගැලීම් නැති, කටුවක වේදනාවක් නොවින්ද කෙනා දිහා බලලා "ඔයා කොයිතරම් වාසනාවන්තද!" කියලා හිතුවත්, ඒ බව නොකියා හිනාවුණා.
ඉතින් ඒ ලෝකයේ උදවිය කටු ඇනගනිමින්, මල් පුබුදුවමින්, ඒ මල් වල ලස්සන බලමින් ජීවත් වුණා!
sketch with stylus on Lenovo Thinkpad
No comments:
Post a Comment