February 24, 2026

එකේ පන්තියේ කතාවක්



එකේ පන්තියට ඉර එළිය වැටෙන්නේ අනිත් හැමතැනටම කළින්. ඒකට හේතුව ඉර එළිය පරක්කු දවසටත් හිනා කිචි බිචියෙන් එළිය අරගෙන පොඩ්ඩෝ ටික පන්තියට දුවගෙන එන නිසා. මේ එකේ පන්තිය භාර ටීචර් මිසිස් රොබර්ට්ස්. පන්තියේ පොඩ්ඩෝ ටික එයාට පණ ඇරලා. මිසිස් රොබර්ට්ස්ගේ ආදරේ නිසා මේ දරු දැරියෝ හැමෝම ඉස්කෝලේ එන්නේ හරි උනන්දුවෙන්. 

ඒත් හදිසියේම එක දවසක් උදේ පන්තියේ දොරකඩ ඉඳන් ළමයින්ව පිළිගන්න මිසිස් රොබර්ට්ස් හිටියේ නැහැ. ඒ වෙනුවට එතැන හිටියේ සර් කෙනෙක්, එයාගේ පෙනුමත් නුහුරුයි. එකේ පන්තියේ පොඩ්ඩෝ ටික පන්තියට නොගිහින් දොරකඩ රැඳුනා.

"ගුඩ් මෝනින්, මම මිස්ට විල්ෆර්ඩ්, අද මම තමයි ඔයාලගේ ටීචර්. මිසිස් රොබර්ට්ස් අසනීප වෙලා නිසා අදට විතරක් ඔයාලගේ පන්තිය බලාගන්නේ මම" ඒ සර් ලොකු හිනාවකින් කිව්වා.

ඒත් පොඩ්ඩෝ අතර කසු කුසුවක්. එක්කෙනා දෙන්නා තමන්ගේ ඩෙස්ක් වලට ගිහින් වාඩි වුණත් හැමෝගෙම ඇස් මිස්ටර් විල්ෆර්ඩ් දිහා ඇලවුණු ගමන්මයි තිබුණේ. මේකට හේතුව ඒ ගුරුවරයාගේ හමේ මේ පොඩ්ඩෝ කවදාවත් දැකලා නැති වෙනසක් තිබුණ එක. එයා විටිලයිගෝ එහෙම නැත්නම් සුදු කබර රෝගයට ගොදුරු වුණු කෙනෙක්. මේ පොඩ්ඩන්ට නම් මේක අමුතුම දසුනක් වුණා. 

එකේ පන්තියේ මේ කැළඹීම ගැන නොදැන මිස්ට විල්ෆර්ඩ් පන්තියේ නම් ලකුණු කරන්නයි ලෑස්තිය. ඒත් පන්තිය පුරාවටම අත් පහලවක් විස්සක් ඉස්සිලා. එහෙම තමයි මිසිස් රොබර්ට්ස් එයාලට කියලා දීලා තිබුණේ, ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් කෑ ගහන්න එපා, තමන්ට ඒ ප්‍රශ්නේ අහන්න වාරයක් ලැබෙනකම් අත උස්සාගෙන ඉන්න කියලා. 

"ආ මේ පන්තියේ ළමයින්ට උදේම ප්‍රශ්න ගොඩාක් තියෙනවා වගේ, මුලින්ම අපි නම් ලකුණු කරලා ඉමු නේද?" මිස්ට විල්ෆර්ඩ් එකේ පන්තියේ නම් ටික ලකුණු කරන්න පටන් ගත්තා. 

"හරි ඔයා අහන්න පළවෙනි ප්‍රශ්නේ" ඉන්පස්සේ මිස්ට විල්ෆර්ඩ් ඉස්සරහා පේළියෙ අත උස්සාගෙන ඉන්න ගෑනු ළමයෙක්ගෙන් පටන් ගත්තා.

"ඔයාගේ හමට මොකද වුණේ?" ජෙසී බොහොම ඍජුවම මිස්ට විල්ෆර්ඩ්ගෙන් ඇහුවා. ඒ එක්කම උඩට ඉස්සිලා තිබුණු ඉතුරු අත් ටික පහළට වැටුණා. අනිත් අයත් අහන්න ඉඳලා තියෙන්නේ ඒ ප්‍රශ්නේ!

මිස්ට විල්ෆර්ඩ් කලබල වුණේ නැහැ. එයාට පුංචි ළමයින්ගේ ඍජු ප්‍රශ්න පුරුදුයි. 

"බොහොම හොඳ ප්‍රශ්නයක්! මට තියෙන්නේ හමේ රෝගයක්. ඒකට විටිලයිගෝ කියලා කියන්නේ. ඒකෙන් වෙන්නේ හමේ තිබුණු පාට අඩුවෙලා මේ සුදු පාට වැඩි වෙන එක. මට ඒකෙන් කිසිම වේදනාවක් නැහැ. ඒ වගේම ඒක බෝ වෙන්නෙත් නැහැ"

මේක අහලා එකේ පන්තිය ටිකක් නිශ්ශබ්ද වුණා. හැමෝම මේ විස්තරේ තේරුම් ගන්න උත්සාහ කරමින් හිටියේ. 

තවත් අතක් උඩට ඉස්සුණා, ඒ ජමාල්.

"ඒකට ඔයා බේත් බොන්නේ නැද්ද, අපේ තාත්තා කියන්නේ ලෙඩ හොඳවෙන්න නම් බේත් බොන්න ඕන කියලා."

"ඔයාගේ තාත්තා හරි, බේත් බිව්වාම ගොඩාක් ලෙඩ හොඳ වෙනවා තමයි. ඒත් මේක නම් එහෙම බේත් බීලා හොඳ කරන්න අමාරු ලෙඩක්. ඒ වගේ ලෙඩත් මේ ලෝකේ තියෙනවා."

ඒ පාර නම් එකේ පන්තියේ පොඩි කසුකුසුවක් ගියා. බේත් බීලා හොඳ වෙන්නේ නැති ලෙඩ! එහෙම දේවල් ගැන මෙයාලා කළින් දැනගෙන හිටියේ නෑ.

ටික වෙලාවකින් තවත් අතක් උඩට ඉස්සුණා. ඒ කටකාර ඉසබෙලා.

"මිස්ටර් විල්ෆර්ඩ්, ඔයාගේ හම සුදු පාට වෙන ලෙඩේ බෝ වෙන්නේ නෑ කියලා ඔයා කිව්වාට, කොයිකටත් ඔයා අද අපේ පොත් අල්ලන්න එපා හොඳේ." එයා කිව්වා.

ඒක අහලා එකේ පන්තියේ ඉතුරු පොඩ්ඩෝ ටික උඩට ගත්ත හුස්ම පහළට නොදා බලාගෙන හිටියා. ගුරුවරයෙකුට තමන්ගේ පොත් අල්ලන්න එපා කියලා ළමයෙක් කියන එක! මිසිස් රොබර්ට්ස් හිටියා නම් ඉසබෙලාගේ මේ කතාවට මොනවා කියයිද!

හැබැයි මිස්ට විල්ෆර්ඩ් නම් ඉසබෙලාගේ ඒ කතාවෙන් කේන්ති ගත්ත බවක් පෙනුණේ නැහැ.

"මම පොරොන්දු වෙනවා මේක මගෙන් ඔයාලට බෝවෙන්නේ නැහැ කියලා. මට දැන් මේක හැදිලා අවුරුදු දහයක් විතර වෙනවා. ඒත් මාත් එක්ක එකම ගෙදර ඉන්න මගේ නෝනාත් දූලා දෙන්නත් තාම තනි පාටට ඉන්නවා!" එහෙම කියලා එයා හයියෙන් හිනාවුණා. "ඕගොල්ලන්ට මාව විශ්වාසයිද?"

මේකට නම් මුළු එකේ පන්තියෙන්ම හයියෙන් "ඔව්!" කියලා උත්තරයක් ලැබුණා.  

මිස්ට විල්ෆර්ඩ්ගේ හමේ පාටේ වෙනස ගැන එකේ පන්තියට තිබුණු ප්‍රශ්න විසඳුණු බවක් තමයි පෙනුණේ. ඒත් මිස්ට විල්ෆර්ඩ් දවසේ පාඩම පටන්ගන්න යද්දී එක පුංචි අතක් උඩට ඉස්සෙනවා දැක්කා. ඒ අසීෆ්. 

"මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ?" මිස්ට විල්ෆර්ඩ් ඇහුවා.

"මිස්ට විල්ෆර්ඩ්, මම හිතන්නේ ඔයා ගහක් වගේ" අසීෆ් තියුණු කටහඬකින් කීවේ පුංචි හිනාවක් එක්ක. 

"එහෙමද? ඒ මොකද ඔයාට එහෙම හිතුණේ?" මිස්ට විල්ෆර්ඩ් ඇහුවා.

"අර බලන්න පිට්ටනිය වටේ තියන ගම් ගස්. ඒවායේ කඳේත් ඔයාගේ හමේ වගේ පාට කීපයක මෝස්‌තර තියෙනවා, හරි ලස්සනයි. ඒ නිසා මම නම් හිතන්නේ ඔයා ගම් ගහක් වගේ!" අසීෆ් දිගටම කියාගෙන ගියා. 

අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ හම ගැන ඉස්කෝලවල ළමයින්ගෙන් එක එක විදිහේ කතන්දර අහලා ඒවාට හොඳට පුරුදුවෙලා හිටිය මිස්ට විල්ෆර්ඩ් මේ කතාව අහලා ටිකක් නිරුත්තර වුණා. 

අසීෆ් ළඟට ඇවිත් එයාගේ පුටුව ළඟ බිමට පහත්වුණු මිස්ට විල්ෆර්ඩ් "ඔයාගේ නම මොකක්ද පුතා?" කියලා ඇහුවා.

"අසීෆ්" අසීෆ් උත්තර දුන්නේ ඇස් දෙක ලොකු කරගෙන

"ඔයාගේ ඒ අදහසට බොහොම ස්තූතියි, අසීෆ්. මම ඊළඟ වතාවේ මගේ හමේ අසනීපෙ ගැන අනෙත් අයට කියද්දී ඔයා කීවා වගේ ගම් ගස් ගැනත් කියන්න ඕන. ඒවගේම ගම් ගහක් දකින හැම සැරයක්ම මට ඔයාව මතක් වෙයි. ස්තූතියි පුතා!" 

මෙහෙම කියලා ආයෙත් තමන්ගේ මේසය ළඟට යද්දී මිස්ට විල්ෆර්ඩ්ගේ ඇස් දෙකේ හීනි දිලිසුමක් තිබුණු බව එකේ පන්තියේ කවුරුවත්ම දැක්කේ නැහැ. 


(සත්‍ය කතාවක් ඇසුරින්)

AI picture


11 comments:

  1. කියෙව්වා ......👌

    ReplyDelete
    Replies
    1. කියෙව්වා නම් එච්චරයි බස්සා! :D

      Delete
  2. එකේ පන්තියේ බබලා ඒක තේරුම් ගත්තා එහෙනම්!

    හැබැයි සමහර "බබාලා" ඉන්නවා කොයි තරම් වයසට ගියත් ඔය වගේ දේවල් තේරුම් ගන්න බැරි. ලංකාවෙ සමහර අයගෙ ලොකුම සතුට තව කෙනෙක්ගෙ පොඩි හෝ ශරීර අඩු පාඩුවක් ඒ තැනැත්තා ඉදිරියෙම කතා කරලා හිත රිද්දන්න එක. වෙන මුකුත් නැත්නම් "ඔයාගෙ සුදු කෙස් පේන්න අරන් නේද" කියලවත් අහනවා. YouTubeවල ටෙලි නාට්ටිවල ඉන්න වැඩිය ලස්සන නැති, සුදු නැති නළු නිළියන්ට පුදුමාකාර විදිහට අපේ අය බොඩි ශේම් කරනවා.

    ReplyDelete
    Replies
    1. Lotus අම්මෝ සී ලන්කන් පීපල් තරම් බොඩි ශේමින්ග් ප්‍රගුණ කරපු ජාතියක් ලෝකේ කොහෙවත් නැතිව ඇති! මොකක් හරි අඩුපාඩුවක් හොයමින් කියවන එක තමයි එයාලගේ විනෝදෙ. මං හිතන්නේ එතකොට තමන්ගේ අඩුපාඩු මොහොතකට අමතක වෙලා පොඩි සුපීරියර් ගතියක් දැනෙනවා ඇති. :D

      Delete
    2. body shaming කියද්දි මට දෙයක් එකතු කරන්න හිතුනා අපේ පොඩි ළමයි ඉන්නා අම්මලා තමන් ගාව යම්කිසි තත්ත්වයකට දැනුමක් තේරුමක් තියෙන ළමයෙක් ඉන්නවා කියන එක අමතක කරලා තවත් කෙනෙක් එක්ක තුන්වෙනි පාර්ශවයක් අපහසුතාවයට පත් කරලා, එයාලා හුඟක් වෙලාවට නැති තැන කතා කරනවා. කතා කරනව නෙමේ ඇත්තටම අර එතන නැති එක්කෙනාට අපහාස කරලා කතා කරනවා ඒක අහගෙන ඉන්න අර ළමයත් ඒ දේම හුරු වෙනවා එයාලා පොඩි ළමයිනේ. අර කට්ටිය ඉන්න තැන් වල දිත් ඒක කියනවා ඒ වෙලාවට අර අම්මලා තරවටු කරනවා ඒත් වැරැද්ද එයාලගේ කියලා හිතන්නෑ.

      Delete
    3. මහේෂ්- මම හරියට දැකලා තියෙනවා ලංකාවේ දෙමව්පියෝ ළමයි ළඟ ඉන්දැද්දී ළමයින්ට අදාලම නැති කතා කතාකරන එක. ළමයි ඒ කතා අහුලලා ඒවාට පණ්ඩිත කතා කියමින් සම්බන්ධ වෙන එක හරි හපන්කමක් හැටියට තමයි ඒ දෙමව්පියෝ දකින්නේ. ලංකාවේ ටෙලි නාට්ටියක් දෙකක් බැලුවත් ඇති, ළමයි වේලාසනම පොඩි වැඩිහිටියෝ වෙනවා. මේවායේ කිසි වැරද්දක් ඒ දෙමව්පියෝ නොදකින එක නම් හරි අවාසනාවක්.

      Delete
  3. මං හිතන් හිටියේ සුදු ජාතිකයන්ගේ ඇඟේ සුදු කබර හැදුනහම පේන් නැතුව ඇති කියලා එයාලත් සුදුයි. අර හැදෙන එකත් සුදුයි. නෑ අපේ කාටහරි හැදුනහම වෙනම විදිහට පේනවනේ ඒකයි.
    තව පොතු කබර කියලා එහෙකුත් තියෙනවා නේද.

    ReplyDelete
    Replies
    1. Mahesh- සුදු උනත් සමහර අයගේ olive skin වගේ තිබුණොත් පේනවා. අපේ අයගේ තරම් පේන්නේ නැහැ තමයි. පොතු කබර කියන්නේ Psoriasis නේද?

      Delete
  4. ඒක බොහොම හිත නිවෙන කතාවක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්‍රැකී, සමහරවෙලාවට ළමයි ළඟ වැඩිහිටියන්ටත් වඩා wisdom තියෙනවා.

      Delete
  5. හරිත පෑ සුමුදු කතාවක්!

    ReplyDelete