හැම ජීවිතයකම සියලු දේ නොපෙනී යන එක්තරා ලක්ෂ්‍යයක් ඇත. එනම්: ඒ දිවිය හරහා දිවෙන සියලු රේඛා අභිසරණය වී, ඉන් ඔබ්බට කිසිත් නොපෙනෙන සීමාවයි. එවන් අවස්ථාවකට එළඹුණු විට ඔබ ජීවිතයේ ගන්නා තීරණ කොයි ආකාරයේ ඒවා විය හැකිද? ලේඛක පෝල් තෙරෝගේ ‘වැනිෂින්ග් පොයින්ට්’ කෙටිකතා එකතුව විවිධ ජීවිතවල මෙවැනි නොපෙනී යන ලක්ෂ්‍යය ගැන කතා කරයි. ඒ තේමාව ඔස්සේ හාස්‍යය, භීතිය, සහකම්පනය, කුතූහලය ආදි විවිධ සංවේදනා දනවමින් ඉදිරිපත් වන මේ කතා දහඅට, පාඨකයා විචිත්‍ර සාහිත්‍යමය ගමනක කැඳවාගෙන යෑමට සමත් වෙයි.
1941දී අමෙරිකාවේ මැසචුසෙට්ස්හි උපන් පෝල් තෙරෝ, තරුණ වියේ පටන් සංචාරය ප්‍රිය කළේය. වසර ගණනාවක් උගන්ඩාව, සිංගප්පූරුව සහ එංගලන්තය ආදි රටවල විශ්වවිද්‍යාලයන්හි දේශක තනතුරු හොබවා ඇති ඔහු, තවත් බොහෝ රටවල සංචාරය කර ඇත. මේ රටවල අත්දැකීම් ඇසුරෙන් ලේඛනයේ යෙදී, ඔහු වඩාත් ප්‍රසිද්ධ වූයේ චාරිකා සටහන් ලේඛකයකු හැටියටයි. 1975 දී ඔහුගේ ‘ද ග්‍රේට් රේල්වේ බසාර්’ නම් චාරිකා සටහන් පොත එළිදැක්වීමේදීම එහි පිටපත් මිලියන එකහමාරක් අලෙවි වූ බව සඳහන් වේ. වසර කීපයක් තුළ මෙවැනිම තවත් පොත් කිහිපයක් ලිවීමෙන් අනතුරුව ඔහු අමෙරිකාවේ ප්‍රසිද්ධතම චාරිකා සටහන් ලේඛකයා ලෙස විරුදාවලිය ලැබුවේය.
2025 ජනවාරි මස පළ වූ තෙරෝගේ ‘වැනිෂින්ග් පොයින්ට්’ කෙටිකතා එකතුවද එක්තරා ආකාරයක චාරිකා සටහනකි. එහි කතන්දර ඔස්සේ ඔබට හවායිහි පැරණි උක් වගා බිම් හරහා ඇවිද යන්නට, සැම්බියාවේ දුෂ්කර පාසලක ගුරු නිවෙසක වෙසෙන්නට, අමෙරිකාවේ බොස්ටන්හි පල්ලියක පසු පෙළේ අසුන් ගන්නට, යාත්‍රාවක නැඟී මැලේසියාවේ කෝටා කිනබාලු මුහුදු තීරය තරණය කරන්නට ඉඩ හසර ලැබේ. එහෙත් කතුවරයා මේ කතන්දරවලදී වදනින් අප ඉදිරියේ මවා දෙන්නේ ඒ ඒ තැන්හි භූ විෂමතා නොව, මිනිස් හැසිරුම්වල විචිත්‍ර බවයි. එක්තරා ආකාරයකට මේ කතන්දර හැම එකක්ම යම් අවසානයක් ගැන කියයි. ඒවා වයෝවෘද්ධ බව හා බැඳුණු තනිකම, අහිමිවීම් හා මරණය ගැන කතා කරයි. තනිකමේ අන්තයට ගිය කෙනකු තෝරාගන්නේ මරණයද, අලුත් ජීවන සගයෙක්ද? සියල්ල අහිමි වූවකුට පළි ගැනීමට තරම් මානසික ඒකාග්‍රතාවක් තිබෙනු හැකිද? අප ස්වභාවධර්මය රකින්නේ නම් නිතැතින්ම ස්වභාවධර්මය අප රකිනු ඇතිද? ‘වැනිෂින්ග් පොයින්ට්’ කියවාගෙන යද්දී මෙවැනි ප්‍රශ්න නිතැතින්ම පාඨකයාගේ සිතේ ඇඳී මැකී යයි.
මේ කෙටිකතා අතුරින් වඩාත්ම මා සිත් ගත්තේ අනපේක්ෂිත අවසානයන් සහිත කතන්දරය. සරලව සුන්දරව ගලා යමින් තිබී පාඨකයා වැරෙන් සොලවා කම්පනයට පත් කිරීමට ‘අඩෝබෝ’ සහ ‘හෙඩ්මාස්ටර්’ වැනි කතා සමත් වේ. කතාව තුළ සුරක්ෂිත බව මවා ගෙන ඇත්තේ අපම බවත්, අප සිත්වල මවා ගන්නා ලෝකය තරම් යථාව ඇතැම් විට සුන්දර නොවන බවත් ඒ කතන්දර මඟින් සිහි කැඳවාලීමට තෙරෝ සමත් වේ. තම ලේඛනයේදී පෙර කිසි කලෙක කෙටිකතා නොලියුවුණු තේමා තෝරා ගනීමට ඔහු දක්ෂයෙකි. ඔහුගේ ඇතැම් කතන්දර බොහෝ දිගු කෙටිකතාය. එහෙත් ඒවා තුළ ධ්‍යානයට සමවැදෙන කියවන්නාට ඒ බව දැනෙන්නේ වත් නැත. තෙරෝ මේ ‘වැනිෂින්ග් පොයින්ට්’ කෘතියේ කෙටිකතා දහ අට හවායිහි සිදු වූ ඒවා, අන් තැන්වල සිදු වූ ඒවා සහ මතක සැමරුම් වශයෙන් තුන් කොටසකට බෙදා ඉදිරිපත් කරයි. මතක සැමරුම් කතන්දර සෙසු ඒවා තරම් ත්‍රාසයෙන් සහ කුතූහලයෙන් පිරුණු ඒවා නොවීම මේ පොතේ තරමක දුර්වලකමක් සේ පෙනුණද, ඒවායේ තේමා හා නිමිතිද කිසි සේත් එකිනෙකට සමාන නොවන බවද සඳහන් කළ යුතුය. පෝල් තෙරෝගේ විචිත්‍රවත් ලේඛන ශෛලිය නිසා ඔහුගේ ඇතැම් නිර්මාණ සලරූ බවටද හරවා තිබේ. මේවා අතුරින් ඔහු ලියූ ‘ද මොස්කිටෝ කෝස්ට්’ නම් නවකතාව චිත්‍රපටයක් හා මාලා නාටකයක් බවටද, ‘ද ලන්ඩන් එම්බසි’ නම් ඔහුගේ කෙටිකතා එකතුව බ්‍රිතාන්‍ය රුපවාහිනී ජාලයේ කොටස් හයක මාලා නාටකයක් බවටද පත් කර තිබීම සුවිශේෂයි.’ මේ වෙද්දී පොත් හැටකට වඩා රචනා කර ඇති තෙරෝ බොහෝ කෙටිකතා රචකයන්ට වඩා කෙටි කතා සංග්‍රහ ලියා ඇති බව සඳහන්ය.
තම දිවියේ අට වැනි දශකය ගෙවද්දීත් පාඨකයා සසල කර, මතකයේ රැඳෙන නිර්මාණ දායාද කිරීමට සමත් පෝල් තෙරෝ වැනි ලේඛකයන් නිසා සාහිත්‍ය ලෝකයේ විචිත්රත්වය සුරැකෙන බව මගේ විශ්වාසයයි.
-හෙල්මලී ගුණතිලක
විදෙසක ලිවිසැරිය විශේෂාංගය, සිළුමිණ, 2026, මාර්තු 15
// හවායිහි පැරණි උක් වගා බිම් හරහා ඇවිද යන්නට, සැම්බියාවේ දුෂ්කර පාසලක ගුරු නිවෙසක වෙසෙන්නට, අමෙරිකාවේ බොස්ටන්හි පල්ලියක පසු පෙළේ අසුන් ගන්නට, යාත්‍රාවක නැඟී මැලේසියාවේ කෝටා කිනබාලු මුහුදු තීරය තරණය කරන්නට ඉඩ හසර ලැබේ.// අහා ............අන්න මම කැමතිම දේවල්...ඒ කියන්නේ එහෙ යන්නම නෙවෙයි. ගියපු අය විස්තර කියන ගමන් පොඩි ප්‍රබන්ධයක් එකතු කලාම ....නියමයි.
ReplyDelete