March 03, 2024

අමුත්තා




Translation of the short story ‘The Visitor’ by Orlando Patterson

ඔහුගෙන් දිස් වූයේ අමුතු පෙනුමකි. ඔහු පැළඳ සිටි අළු පැහැති ෆෙල්ට් තොප්පිය යටින් මුවේ දිස් වූ සැකයෙන් බර මඳ සිනාව මා තුළ අවිනිශ්චිත බවක් ඇති කළේ ය.පැහැදිලි හේතුවක් නැතිවම, මා නිසා ඔහු අපහසුතාවයට පත් ව ඇතැයි මට සිතුණි. ඔහු බොහෝ වෙලාවක් නිහඬ ව සිටි අතර ඒ නිසාම මට ඔහු ගැන බියක් දැනෙන්නට විය.

එක්වර ම, සමාව අයදින හඬකින් ඔහු මෙසේ ඇසුවේ ය.

“මේ ග්ලැඩිස් නෝනාගේ පුතා ද?”

ඔහු වෙතින් දැනුණේ රම් සහ දත් බෙහෙත් සුවඳකි. මම හිස වනා ඔව් කී විට ඔහු අයාගත් මුවින් යුතුවම මා දෙස බලා සිටින්නට විය. ඔහුගේ තෙත් දෑසින් කුතුහලයද, තරමක දුකක් ද දිස් විය.

“අම්මාට කතා කරන්න ද?” මම ඇසුවෙමි.

“මොකක්ද?” ඔහු ඇසුවේ මට ප්‍රශ්නයක් ඇසීමට හැකිවීම ගැන පුදුම වූ සෙයිනි. නො එසේ නම් ඒ පුදුමය මා ඔහුගෙන් පෙරළා පැණයක් ඇසීම නිසා විය හැක. ඔහු අපහසුවෙන් කෙළ ගිල, තවත් කුතුහලයෙන් මා දෙස බලා හිඳ, මෙලෙස මිමිණුවේ ය.

“කතා කරන්න? ඔව් ඔව්, අම්මාට කතා කරන්න.”

‘මහා අමුතු මිනිහෙක්’ යැයි සිතමින් දොර අසලට ගොස් මා අම්මාට අඬගැසුවෙමි.

“අම්මා”

“මොකද?”

“කවුද මිනිහෙක් ඇවිත් අම්මාව හම්බවෙන්න”

“මිනිහෙක්? ඒ කවුද?”

“දන්නේ නැහැ. මම එයාව කවදාවත් දැකලා නැහැ”

ඇය නැගිට ගොස් ජනේලයෙන් එබී බැලුවාය. මේ වෙද්දී අමුත්තා කවුදැයි දැනගැනීමට කුතුහලයෙන් පසු වූ මම ඈ දෙස හොඳින් බලා සිටියෙමි. අම්මා නිසොල්මන්ව ජනේලයෙන් පිටත බලාගත්වනම සිටි අතර ඇය දුටු දසුනින් ගල් ගැසුණු බවක් පෙනුණි. ඈ අසලට ඇවිද ගිය මට ඇගේ මුහුණ දුටු විට තරමක කම්පනයක් දැනුණි.

“මොකද අම්මා?”

ඈ පිළිතුරු දුන්නේ නැත. මෙතැන යම් බරපතල දෙයක් සිදු ව ඇති බව මට වැටහිණි. අම්මා කිසියම් අවස්ථාවකට මුහුණ දෙනු නොහැකිව අපහසුතාවයට පත් වනු මා ඒ වන තුරු කිසි දා දැක තිබුණේ නැත.

“අම්මා?”

“ගිහින් ඒ මිනිහට කියපන් මම නැහැ කියලා… කෝ ඉතින් පලයන්… එක්කෝ එපා, පොඩ්ඩක් හිටපන්… ගිහින් කියපන් මම එනවා කියලා..”

ඒ අමුත්තා කවුරුන් වුවත් ඔහුගෙන් අපට තර්ජනයක් බව මට ඉවෙන් මෙන් වැටහුණු බැවින් මට ඔහු කෙරේ බියක් ඇති විය. එහෙත් මා නැවතත් ආලින්දයට ගිය විට ඔහුගේ පෙනුම මා තුළ වූ සැකය අඩු කරවීය. ඔහුගෙන් දිස් වූයේ අවිනිශ්චිත, දුරස්ථ බවකි. ඔහු අප ගැන බියෙන් පසුවේ ය යන විකාර රූපී සිතිවිල්ල පවා මොහොතකට මගේ සිතේ ඇඳී ගියේ ය. මින් මගේ ළමා අභිමානය තීව්‍ර විය.

“අම්මා එනවා කිව්වා.” මම ඔහුට කීවෙමි.

ඔහු පහත් හඬින් මට ස්තූති කළේය. අම්මා දොරින් පිටතට විත් නැවතී ඔහු දෙස බලාගත්වනම සිටින්නට විය. ඔහු ඈ වෙත ඇවිද විත් යාර කීපයක් දුරින් නැවතුණේ ය. ඔවුන් අතර නිහඬ බවේ කුමන්ත්‍රණයක් රජයන බව පෙනුණි. මේ වෙද්දී මේ සිදුවන්නේ කුමක්ද යන කුතුහලයෙන් ඔවුන් දෙස බලා සිටි බැවින් මේ කුමන්ත්‍රණයට මා ද ඈඳී තිබිණි. මුලින්ම නිහඬ බව බින්දේ ඔහු ය.

“කොහොමද ග්ලැඩිස්? මාව දැකලා ලොකු පුදුමයක් දැනුණේ නැතිව ඇති කියලා හිතනවා.”

“ඔහේ කොහොමද මම ඉන්න තැන හොයාගත්තේ?” ඇගේ කටහඬ වුවමනාවටත් වඩා හික්මුණු බවක් දැනුණු නමුත් එහි ඉතා සියුම් තර්ජනාත්මක බවක් ද ගැබ් ව තිබිණි.

“ආ… මම මේ ටවුම හරහා යමින් හිටියේ. අර චීන මනුස්සයාගේ කඩෙන් මම ඇහුවා ඔයාව දන්නවාද කියලා, එයාලා පර කිව්වා…”

තවත් දිගු නිහැඬියාවකින් අනතුරුව ඔහුට නිවස තුළට පැමිණෙන ලෙස ඇය සන් කළා ය. ඊළඟ විනාඩි පහළව පුරාවට නිවසේ දොර අඩවන් ව පැවතුණු අතර මම ඒ දෙස බලාගත්වනම සිටියෙමි. ඉනික්බිති අම්මා මට හඬගසනු ඇසුණි. අමුත්තා සම්බන්ධ මේ අභිරහස විසඳා ගැනීමට වෙලාව එළැඹ ඇතැයි යන සිතුවිල්ලෙන් මගේ සිත ප්‍රබෝධමත් විය. මා වහා වහා කමිසය කලිසමට යටකරන්නට ගත්තේ ඔහුට වැඩි සැලකිල්ලක් දක්වනු පිණිසයි. අම්මා නොඉවසුම් හඬින් දෙවෙනි වර හඬ ගැසූ විට මම නිවස තුළට දිව ගියෙමි.

ඔහු අසුන්ගෙන සිටියේ අප සතුව තිබුණු එකම පුටුවේ ය. ඇය ඇඳේ කෙළවරක වාඩිවී සිටියාය. දෙදෙනාම මා ඇතුළු වූ විට මා දෙස බැලූහ. ඔහුගේ දෑස මඟ හැර මා අම්මාගේ දෑස දෙස බැලුවේ සරණක් පතමිනි. තවත් දිගු නිහැඬියාවකින් පසු අම්මා දෙගිඩියාවෙන් මෙන් ඔහු වෙත අත දිගු කර, “මේ ඔයාගේ තාත්තා,” කීවාය.

මට තරමක පුදුමයක් දැනුණු නමුත් කම්පනයක් දැනුණේ නැත. සමහරවිට මට වඩාත්ම දැනෙන්නට ඇත්තේ අවුල්සහගත බවකි. තාත්තා කොහේ හෝ කිසියම් අකාරයකට ජීවත් වන බවක් මම දැන සිටියෙමි. නමුත් ඔහු ගැන මගේ හිතේ ඇඳී තිබුණේ අපැහැදිලි රූපයකි. මට ඔහු මා විසින් මවාගන්නා ලද මගේම ජන කතාවක චරිතයක් මෙන් විය. තාත්තා ගැන මා බොහෝ විට සිහින මවා තිබුණත්, මිල අධික සුරතල් මසුන් හිමි කරගැනීමට දරුවෙකු දකිනා සිහිනයක් මෙන් මා ඊට වැඩි වැදගත්කමක් දී තිබුණේ නැත. ඔහු මෙලෙස මා ඉදිරියේ සිටිනු දැකීම මා හට ‘හම්ටි ඩම්ටි’ ව ජීවමානව දුටු කලෙක මෙන් පුදුමසහගත දෙයක් විය. මා කුමක් කිව යුතුද? මා කියනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මා තාත්තා දෙස බලනු ඇතැයි අපේක්ෂිත බවක් හැඟුණු බැවින් මම ඔහු දෙස බැලුවෙමි.

ඔහුගේ නළල රැළි වැටී තිබුණු අතර දෙකොපුල රළු ව දිස් විය. ඔහු දිනපතා රැවුල බානු ඇතැයි මා උපකල්පනය කළේ තමන්ගේ පියවරු එලෙස කරන බවට මගේ මිතුරන් පවසා තිබුණු බැවිනි. අම්මාට දිනපතාම රැවුල බාන්නට සිදුවුණි නම් එය මහත් සේ විසුළු සහගත කරුණක් වනු ඇති බව මට සිතුණේ මේ අදහසේ මෝඩ බව නොදැන නොවේ.

ඔහු යමක් අනුමත කරන්නා සේ හිස සලා මා දෙස බලාගත්වනම සිටියේ ය.

ඔහු “උඹ හොඳ අපූරු ළමයෙක්,” යැයි කී විට ඔහු ඉන් අදහස් කළේ කුමක්දැයි මම කල්පනා කළෙමි. ඉනික්බිති ඔහු අම්මා දෙස බලා “මෙයා හොඳ අපූරු ළමයෙක්” යැයි නැවත කීවේ අවිනිශ්චිත, දුර්වල හඬකිනි.

අම්මා ඊට පිළිතුරු ලෙස යමක් මුමුණා මා දෙස බැලුවාය. යමෙකු මා ගැන මෙලෙස ප්‍රශංසාමුඛයෙන් කතා කළ විට ඇගේ දෙනෙතේ වෙනදාට නැගෙන දිස්නය ඒ වෙලාවේ දක්නට තිබුණේ නැත. ඒ වෙනුවට එහි තිබුණේ දොස් දකින බැල්මකි. එහි කෝපයක සේයාවක් ද තිබුණු අතර ඈ මේ ලෙස ප්‍රතිචාර දක්වන්නේ ඇයිද යන වග සිතාගැනීමට මා අපොහොසත් විය. අම්මා මා වෙතින් දෑස් ඉවත් කරගනිද්දී හිස පහතට නැඹුරු කරගත් අතර මා ඈ ගැන හොඳින් නොදැන සිටියා නම් ඇගේ දෑසේ දිස් වූයේ නින්දාවක් විඳි බවක් යැයි මා සිතනු ඇත. ඉනික්බිති ඈ ඇගේ වැලමිට දණ මත රඳවා, අත්ල මත නිකට රුවාගෙන සුසුමක් හෙලුවේ නිරතුරුවම ඇගේ මුවෙහි සඳහන් ‘දෙවියනේ, මේ මොන ජීවිතයක්ද!” යන වැකිය නිහඬව කියාපාන්නට මෙනි.

මේ සිදුවන්නේ කුමක්දැයි මම දිගින් දිගටම කල්පනා කළෙමි. වැඩිහිටියන් අමුතු ලෙස හැසිරෙනු මා මීට පෙර නිරීක්ෂණය කර ඇතත්, මගේ නොදැනුවත්කමට ඔබ්බෙන් හැමවිටම කුඩා හෝ තේරුමක්, අවබෝධයක් ඔවුන්ගේ හැසිරීමේ දක්නට තිබිණි. නමුත් මගේ අම්මාගේත් මේ අමුත්තාගේත් හැසිරීම මා සම්පූර්ණයෙන් ම අන්දුන් කුන්දුන් කරවීමට සමත් විය. ඔවුන් කිසිවක් නොකීවේ ඇයි? ඔවුහු එකිනෙකාට වෛර කළෝ ද? ඔහු මගේ පියා වීම ඇයට මෙතරම් වැදගත් වී ද?

ඔහු පැමිණ සිටියේ අම්මා මා වෙතින් ඉවතට ගෙන යෑමටය යන බිය එක් වරම මා වෙලා ගත්තේ ය. මේ ගැන මට කියන්නේ කෙලෙසදැයි ඔවුන් කල්පනා කරමින්, තැවෙමින් සිටිනවා විය යුතුයි. අම්මා මාව තනිකර දමා යනවා ඇත. ඒ තත්පරයේදී අම්මා සමඟ මගේ ඇති බැඳීම, මගේ ජීවිතයේ ඈ සිටීමේ වැදගත්කම මට මනාව වැටහිණි. මා ඇයට ආදරය කළේ වත් වෛර කළේ වත් නැත. ඈ නිතර කෘර ලෙස මට පහර දුන් බැවින් මම ඇයට තරමක් බියෙන් පසුවුනෙමි. නමුත් එවන් අවස්ථාවල මා කඳුළු සලමින් පිටකළ කෝපය, මට දැනුණු වේදනාවට දැක්වූ ඍජු ප්‍රතිචාරයක් විය. මේ පහර දීම් මට වඩා ඇයට වැදගත් බව මට ඒ වෙද්දී කෙසේ හෝ වැටහී තිබිණි. මේ ලෝකය දරුණු තැනක් බව ඈ මට නිතර කීවා ය. මා ඇගේ දරුවා බැවින් සම්පූර්ණයෙන් ම ඇගේ අණසක ට යටත් විය යුතු බව සාමාන්‍ය දෙයක් විය. මේ කෙසේ වෙතත් අප අතර දැඩි බැඳීමක්ද තිබිණි. ඇත්තටම එහි වූයේ අප දෙදෙනාට එකිනෙකා අහිමි වුවහොත් හැම දෙයක්ම අහිමි වේ යන බිය මිසක් වෙනත් සුන්දර සිතිවිල්ලක් නොවේ. මා ‘අම්මා’ කියා හඬ ගැසුවේ ඇයටයි. ඈ මට ආහාර, ඇඳුම් පැළඳුම් සහ පාසල් පොත් ලබා දුන්නාය. ඈ මට හොඳින් හැසිරෙන අයුරු ද කියා දුන් නමුත් ‘හොඳ’ යන්නෙන් ඈ අදහස් කළේ කුමක්දැයි කිසිවිටෙක පැහැදිලි වූයේ නැත. බොහෝ විට ඉන් අදහස් වූයේ ඈ වෙත හොඳින් හැසිරීමයි. නොඑසේ නම් කෘතඥ වීමයි. මේ දෙක බොහෝ විට සමාන ලෙස ගැනුණි. ඈ ඇගේම ක්‍රමයකට මා වෙත උණුහුම පෑ බව කිව හැක. නමුත් නොදැනුවත්වම මෙන් ඈ මට බරපතල අපේක්ෂාවන් රහිතව දිවි ගෙවීමට උගන්වා තිබුණු අතර මේ නිසා මගේ ඉල්ලීම් ඉතා අල්ප විය. මට අවශ්‍ය වූයේ ඈ මා වෙනුවෙන් සිටීම- හැමදාම එලෙසම සිටීම පමණි. දැන් ඊට ද තර්ජනයක් එල්ල වී තිබිණි.

අම්මා මා වෙතින් නික්මීම සිදුවිය හැකි දෙයක් නොවන බවත්, එය මගේ මෝඩ සිතිවිල්ලක් බවත් සිතා මම සිත සනසාගන්නට උත්සාහ කළෙමි. ඒ සමඟම මා මෙතැනින් පිටව ගියොත් හොඳ බව මට සිතෙන්නට විය. සමහරවිට ඔවුන්ට යම් වැඩිහිටි කතාබහක් කරන්නට අවශ්‍යව තිබෙන්නට ඇත. මා දොර වෙතට ක්‍රම ක්‍රමයෙන් ඇදී යන්නට තැත් දරද්දී ඔහු “ඔව් ග්ලැඩිස්, ඇත්තටම සෑහෙන්න කාලයක් ගතවුණා” කී අතර ඔහු කීප වතාවක්ම එය කියා තිබෙන්නට ඇතැයි මට හැඟිණි. ඔවුන් අතර ඇති මේ අපහසුතාවයට හේතුව මා ම විය යුතු බව එවෙලේ තීරණය කළ බැවින් මම මගේ අරමුණ නොසඟවා ම කාමරයෙන් පිටතට යාමට උත්සුක වුණෙමි. එකවරම අම්මා මගේ නම හඬ නඟා කියනු මට ඇසුණි. ඇගේ කටහඬේ තියුණු, දැඩි බවක් විය. මට කාමරයෙන් ඉවත් නොවන්නැයි වදනින් කීම වෙනුවට ඒ හඬේ තානය ප්‍රමාණවත් විය.

අමුත්තා ප්‍රශ්නාර්ථයකින් යුතුව මා දෙස බලා, නැවතත් අම්මා දෙස බලා එකවරම අසුනෙන් නැගිට්ටේය. තමන්ටද මෙතැනින් පිටව යාමට අවශ්‍ය බව පෙන්වූවත් ඔහු තව මඳක් තාවර විය. හදිසියේම ඔහුට යමක් සිහි වූ බවක් පෙනුණි. ඔහු තම සාක්කුවෙන් සිලිං පහක නෝට්ටුවක් ගෙන මා අත තැබුවේය.

“මේකෙන් ඔයාට තෑග්ගක් ගන්න” ඔහු කීවේ ය.

මා තරමක කම්පනයෙන් මුදල් නෝට්ටුව දෙස බලා සිටියෙමි. එය විශාල මුදලක් වීමත්, ඔහු වැන්නකුගෙන් මා එය ලැබීමත් මා පුදුමයට පත් කළේ ය. මේ ගැන අම්මාගේ ප්‍රතිචාරය දැනගැනීමට මම ඈ දෙස බැලුවෙමි.

“ඕක ආපහු දීපන්,” යැයි ඈ කී විට මා පුදුම වූයේ නැත. “ඔහේගේ උදව්වක් නැතිව මම මේ තරම් කල් කොල්ලාව උස් මහත් කළා. දැන් මුකුත් උදව් උවමනා නැහැ.”

මා වහා වහා මුදල් නෝට්ටුව ඔහු වෙත පෑවේ මේ අම්මා ව තවත් කේන්ති ගැන්විය යුතු වෙලාවක් නොවන බව ඉවෙන් මෙන් වටහාගෙනයි. ඔහු ගිය පසු මා ඈ සමඟ තනිවන මොහොත ගැන සිතද්දී මට දැනුණේ බියකි.

අමුත්තා මුදල ප්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තත්, හදිසියේ කතාව නවතා මා වෙතින් මුදල් නෝට්ටුව ගත්තේය. ඔහු කෙරෙන් දිස් වූයේ අපහාස ලැබූ අයෙකුගේ පෙනුමක් සහ දුක්මුසු බවක් වූ බැවින් මට ඔහු ගැන අනුකම්පාවක් ඇතිවෙමින් තිබිණි. ඔහු තමන්ගේ කුඩා ෆෙල්ට් තොප්පිය හිස ලාගෙන වදනකුදු නොකියා යන්නට ගියේ ය. මා ඉන්පසු කිසි දවසක ඔහු ව දුටුවේ නැත.


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Image generated from Canva AI

සිසිල සඟරාව- මාර්තු 2024 කලාපය 

(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

22 comments:

  1. ලස්සන පරිවර්තනයක්.........

    ReplyDelete
  2. අමුතු කතාවක් නේද. අපරාදෙ පුතාට තාත්තව නවත්තගන්න හිතුනෙ නැත්තෙ. ටිකක් විතර "the known devil is better than the unknow angel" වගේ සීන් එකක්

    ReplyDelete
    Replies
    1. අම්මා පුතාට තාත්තා ගැන කිසිම හැඟීමක් ඇති කරලා නැහැ වගේ නේද? ඒකනේ එයාට නවත්තාගන්න හිතුණේ නැත්තේ. කොහොමත් අම්මාගෙන් ඉඩ ලැබෙන්නේ නැති බවත් කොල්ලා දන්නවා. :)

      Delete
    2. පුතාලා ආදරේ අම්මට නෙහ් තාත්තට වඩා🙄

      Delete
  3. සමහර විට එවේලෙ මුදල් තැග්ගක් නුදුන්නා නම් මේ කතාව මීට හාත් පසින්ම වෙනස් විදිහකින් කෙලවර වෙන්න ඉඩ තිබුන නේද?මම හිතන්නෙ මුදල් තැග්ගක් දීම පුතාව ලොකු මහත් කරන්න මෙතෙක් කල් වින්ද දුක් ගැහැට අවතක්සේරු කිරීමක්, එහෙම නැත්නම් අවමානයට පත් කිරීමක් කියල හැගෙන්නැති.
    ලස්සන පරිවර්තනය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සරත්
      ඔව් ඒකෙන් වැඩේ worse උනා වගේ නේද? ඒත් ඊට කලිනුත් ලොකු ප්‍රගතියක් තිබ්බේ නැහැනේ. ඔයවගේ awkward වෙලාවක කරන්න ඕන මොනවාද කියලා තේරෙන්නේ නැතිවයි ඒ තාත්තා සල්ලි දුන්නේ කියලා මට හිතෙනවා. ඒකෙන් දැනෙන අපහාසය ගැන වැඩිදුර නොහිතා.

      Delete
  4. වෙනස් ආකාරයේ පරිවර්තනයක්.
    +++++++++++++👌🙏

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සා, මම පහුගිය ටිකේ දිගටම පරිවර්තනය කළේ ඉන්දියානු ආරේ කෙටිකතානේ. මේක Caribbean. ඒක වෙන්නැති දැනෙන වෙනස.

      Delete
    2. Caribbean? අහා! ඒක තමයි දැනිච්ච වෙනස. කොච්චර දුන්නත් ඉන්දියානු ආරේ කෙටිකතා ගැන මගේ අකමැත්තක් නං නෑ.🤭😁
      මෙන්න මගෙන්:
      Three of us (2023)

      Delete
    3. මේ ෆිල්ම් එක මම බැලුවා. රූප රාමු හරි ලස්සනයි, ලංකාව මතක් වෙන නිසා හරි හුරුපුරුදුයි. තේමාවත් ලස්සනයි. ඒත් මට ඒකෙ හරි මන්දගාමී බවක් දැනුණා. මගේ අවුලක්ද කොහෙද

      Delete
    4. ඇත්ත. තේමාව ලස්සන වුනාට, මන්දගාමී තමයි. අපට සමීප පරිසරය නිසාම බැලුව.

      Delete
  5. හදවතට කථා කරන අර් තාන්විත කතන්දරයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාවේ පුංචි නිමිත්තකින් ලොකු දෙයක් කියනවා

      Delete
  6. ඒක ටිකක් හිතාගන්න බැරි විදිහෙ අමුතු පැත්තකට ගිය කතාවක්. සාමාන්‍යයෙන් මේ වගේ.අවස්ථාවක තියෙන ඉමෝෂනල් ගතිය වෙනුවට වෙඩිල්ලක් පත්තු වෙන්න තත්පරේකට කලිං දැනෙන පීඩනයක් ඒ පරිසරයක් වගේ ටෙන්ෂන් එකක් දැනෙන්නෙ
    මරු...

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ්, කතාවේ අම්මගේ තද ගතිය කියවන කෙනාටත් හොඳින් දැනෙනවා නේද?

      Delete
  7. Replies
    1. ස්තූතියි අනුරුද්ධ

      Delete
  8. එක ටිකක් අමුතුයි, හැබැයි සල්ලි

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන් තේමාව හැඟීම්බර වුනාට කතාව එහෙම නැහැ නේද?

      Delete
  9. ලස්සනට පරිවර්තනය කරලා. කියෙව්වේ ආසාවෙන්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැහි ලිහිණි

      Delete