March 29, 2024

මතක-තාල


 

මේ සටහන පින්තූරේ තියෙන පොත ගැන නම් නෙමෙයි කියලා මුලින් කියන්න ඕන!

Good Friday වෙනුවෙන් ලැබුණු නිවාඩුවේ උදේම ගේ අස්පස් කරලා, මල් පැල වලට සාත්තු කරලා මම තේ එකක් හදාගෙන එළිමහනේ තියෙන සනීප පුටුවට ගියේ අලුතින් අතට ලැබුණු මේ පොත පෙරළලා බලන්න. එසැණින් එහා ගෙදර පැත්තෙන් බොහොම හුරුපුරුදු තාලයක් වාදනය වෙනවා ඇහුණා. ටිකක් කල්පනා කරලා බලද්දී තමයි මතක් වුණේ ඒ ගීතිකාවක් බව. එහා ගෙදර ඉන්නේ බොහොම වයසක ජෝඩුවක්. ඒ දෙන්නා ගෙදරින් එළියට බහින්නෙම නැති තරම්. ඒ නිසා අද පල්ලි යන්නත් අමාරු ඇති. ඒ වුණත් තමන්ගේ ඒ ඇදහීම වෙනුවෙන් එයාලා ගීතිකාවක් වාදනය කරන්න තෝරාගෙන. මගේ හිත මොහොතින් දශක ගානක් ආපස්සට ඉගිලිලා ගියා.

මම පුංචි කාලේ අපි ජීවත් වුණේ සේෂෙල්ස් වල. සේෂෙල්ස් වැසියෝ වැඩිහරියක් බොහොම බැතිමත් කතෝලික අය. එහෙ අපේ ගෙවල් කිට්ටුවෙන්ම තිබුණා Mont Fleuri නගරයේ Good Shepherd පල්ලිය. හැම ඉරිදාම අපිට උදේට පල්ලියේ සීනු හඬ ඇහුණා. පල්ලිය කිට්ටුවෙන් යද්දී නිතරම මේ විදිහටම බොහොම ලයාන්විත ගීතිකා හඬත් හරි ලස්සනට ඇහුණා. අපි කතෝලික නොවුණත් ඒ හඬවල් අපේ ඉරිදා දවස්වලට සුන්දර කමක් එකතු කළා. මට නම් නොදැනුවත්වම ඒ ගීතිකා කටපාඩම් හිටියා.

අක්කලාත් මාත් ගිය ඉස්කෝලේ තිබුණේ පල්ලියට එහාපැත්තෙ. ඒ දවස්වල ඉස්කෝලේ පුංචි පන්තිවල ළමයි ආගම පාඩමට පල්ලියට එක්කගෙන එනවා. කොයිම ආගමක් ගැනවත් ලොකුවට ඔලුවේ නොතිබුණු කාලෙක මම මේ ගමන් වලට හරි ආසයි. එක හේතුවක් තමයි පල්ලියේ ජනෙල් වලට අල්ලලා තිබුණු stained glass රූප වලින් පාට පාටට ඉර එළිය පෙරිලා එන හැටි බලාගෙන ඉන්න ලැබෙන එක. ඒ පාට ආලෝක තීරු පල්ලිය ඇතුළේ පුංචි දිව්‍ය ලෝකයක් මැව්වා. අනිත් හේතුව තමයි එහෙම පල්ලියට ගියාම මේ ගීතිකා හඬ ළඟින්ම ඇහෙන්න ලැබෙන එක. ඒවායේ uplifting ගතියක් පුංචිම වයසේ හිටියත් මට දැනුණා.

කල්පනා කරලා බලද්දී මගේ ළමා කාලයේ සැහැල්ලු සුන්දර සෙල්ලම් මතක එක්ක තැනින් තැන පසුබිම් හඬක් වගේ මේ ගීතිකා හඬත් තියෙනවා.

"Alleluia, Alleluia.."

අන්තිමේදී එහා ගෙදරින් ඇහෙන ගීතිකාවක හඬ දිගේ අවුරුදු ගාණක් ආපස්සටත්, හැතැප්ම දාස් ගාණක් දුරටත් ගිහින් සතුටු මතකයක සැරිසරන්න මට ඉඩ ලැබුණා

The Little Book of Hygge පොතේ අන්තිමට මෙහෙම තියෙනවා

'Happiness consists more of small conveniences or pleasures that occur everyday than in great pieces of good fortune that happen but seldom' - Benjamin Franklin

~හෙල්මලී~


March 26, 2024

ලිපියක් ලැබෙන තුරු

ඔබ මට එවන පණිවිඩය
නිහඬ බවයි

ගස්වල මුල්
ජලයේ සැහැල්ලු නිහඬබව
තේරුම්ගතයුතු සේ ම
මම ද එය තෙරුම්ගැන්මට තැත් දරමි.

අපි
සොබාදමින් හැකි දෙයක් ගන්නට
පුරුදු වූවන් වෙමු
මම තරුවලත්, ගල් කුළු වලත්
නිහඬ බව හදාරමි

සැතපුම් ගණනක් එපිටින්, උතුරු පෙදෙසක
ඔබ හිස් පිටුවක් වෙත නැඹුරුවන අයුරු
සිතෙන් මවා ගනිමි
‘ආදරණීය…’ 
ඔබට එසේ ලියන්නට අවශ්‍ය ය

එහෙත් ඒ පිටුව, දැනටමත්
හිම පතනය විසින් 
වේලාසනින්ම ගෙනෙන
නිහඬබවේ තිරයෙන්
වැසුණු කවුළුවකි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'By the Mailbox' by Linda Pastan
Digital Painting




March 20, 2024

daily miracles

ගෙවත්තේ තැන තැන
මල් දරන පැල සිටුවමි
හඬගා කියා එක එක
ඒවායේ නම් උගනිමි

නස්ටර්ෂම්, හයිඩ්රන්ජියා
ජෙරනියම්, ග්ලැඩිඔලි


අතරින් පතර තවමත්
හුරුපුරුදු නම් හඳුනමි
සීත කාලෙට උන් ගැන
තවත් වැඩිපුර ලතවෙමි

සූරියකාන්ත, දාස්පෙති,
හෙන්දිරික්කා, සිනියාස්


එළවලු නැතිව කොහොමද
සිත සිතා ඉඩ සකසමි
තක්කාලි, මිරිස්, තම්පලා
මුගුණුවැන්නද සිටවමි

පොහොරද දිය ද සපයා
ඉවසනු පිණිස හුරුවෙමි
හැම දල්ලකට, පතකට
රහස්, රස බස් කොඳුරමි

හිරු ගිලෙන හෝරාවල
දවසේ වෙහෙස නොතකමි
ගහ කොළ කියන මන්තර
දැන් වෙන වෙනම හඳුනමි

හුස්ම අල්ලා ගතවූ
දින සති මාස නිමවී
මල් පල දරන ගස් වැල්
දැක ප්‍රීතියෙන් ඉපිලෙමි

'ඉවසීම ඇත්නම්
අසිරිමත් දෑ බොහොමයි'
දිසි අදිසි දෙවියෙක්
කොඳුරන හඬට කන්දෙමි

 ~හෙල්මලී~

flowers by Malie G

March 15, 2024

වද වීම

මම නිරතුරුවම වද වීමි
ගෙවත්ත සරුව වැඩේවි ද?
ගංගාවන් නිවැරදි දිශාවට ගලාවිද?
පෘථිවිය ඊට උගන්වා ඇති ක්‍රමයට භ්‍රමණය වේ ද?
එසේ නොවුණොත් මා එය නිවැරදි කරන්නේ කෙසේද?

මා හරි ද? වැරදිද? මට සමාව ලැබේවි ද?
මට මීට වඩා සාර්ථක විය හැකිද?
කෙදිනක හෝ මට ගී ගයනු හැකිවේද?
ගේ කුරුල්ලන්ට පවා ගී ගයනු හැකි නමුත්
මා නම් කිසිම කමකට නැත

මගේ පෙනීම අඩුවෙමින් ද?
නොඑසේ නම් ඒ මගේ හිතලුවක්ද?
මට හන්දිපත් රුදාව හැදේවි ද?
පිටගැස්ම? ඩිමෙන්ශියාව?

අන්තිමේදී මේ වදවීම් කිසිවකින්
කිසිම පලක් නොමැති බව වැටහුණු නිසා
මම එය අත් හළෙමි
ඉනික්බිති මේ මහලු සිරුර ගෙන
උදෑසන වෙත ගොස්
ගී ගැයුවෙමි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'I Worried' by Mary Oliver

Digital painting




March 10, 2024

Dreams Marketing Pvt. Ltd (විද්‍යා ප්‍රබන්ධ)




රැස්වීම් ශාලාවේ තම සහෝදර සේවකයින්ගෙන් පිරී තිබෙනු දැක ජෙරමිගේ සිත සතුටින් පිරුණ ද ඒ සමගම තම හදවත වේදනාවෙන් බර වෙන බව ඔහුට දැනුණි. විසිතුන් වසරක් නම් බොහෝ දිගු කාලයකි. ඔහු මන්ට්‍රා අලෙවි ප්‍රවර්ධන ආයතනයට බැඳුණේ අලුතින් උපාධිය ලත් නවකයෙකු ලෙසයි. දැන් ඔහු ඉන් ඉවත්වන්නේ එහි නිර්මාණ අධ්‍යක්ෂක ලෙසයි. ආපසු හැරී බලද්දී ඒ විසිතුන් වසර අතිශයින් කාර්යබහුල වූවත් තෘප්තිකර බවින් ද ඉහළ මට්ටමක පැවතුණු බව ජෙරමි ට හැඟුණි.

“ජෙරමි, ජෙරමි, ජෙරමි… මේ මනුස්සයා නැතිව මන්ට්‍රා දුවන්නේ කොහොමද කියලා මම මේ තාම කල්පනා කරන්නේ!” ප්‍රධාන විධායක නිලධාරි ශ්‍රෝඩර් වේදිකාවට පැමිණියේ එසේ කියමින් සභාවම සිනා ගස්වමිනි. ඔහු කී දේ සත්‍ය බව මන්ට්‍රා හි කාර්ය මණ්ඩලය ඉඳුරාම දැන සිටියහ. එබැවින් සභාවේ පැතිරුණු සිනා රැල්ලේ සන්තාපය ද තැවරී තිබිණි

ජෙරමි ඩුවැක් ඉතා කෙටි කලක් තුළදී ආයතනයේ ඉහළට ගියේ ඔහු සතු අසමාන නිර්මාණශීලී හැකියාව නිසා පමණක් නොවේ. ඕනෑම නන්නාඳුන කෙනෙකුගේ මිතුරෙක් වී තදින් සිත් ඇද බැඳ ගැනීමට ඔහුට ගතවූයේ මොහොතකි. ආයතනයට ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීමටත් දිගුකාලීනව රඳවා ගැනීමටත් ඔහුගේ මේ ගුණය මහත් සේ වාසිදායක විය. එමෙන්ම ජෙරමි සහෝදර සේවකයන් සමඟද බෙහෙවින් සුහදශීලී කෙනෙකු විය. තවමත් විශ්‍රාම වයසට එළඹී නැති ජෙරමි හදිසියේම මෙසේ තම අති සාර්ථක රැකියාවෙන් ඉවත් වන්නේ ඇයිද යන සැකය මේ ආරංචිය ලැබුණු විගස ආයතනය පුරා කසු කුසුවක් වී තිබිණි.

කන් බිහිරිවන තරමේ අත් පොලසන් හඬක් මැද ජෙරමි ඩුවැක් මයික්‍රෆෝනය වෙත පිවිසුණේ ය.

“මගේ මන්ට්‍රා සහෝදර සහෝදරයිනි, බොහොම ස්තුතියි මට සමුදෙන්න අද මෙතනට රැස්ව සිටීම ගැන.” ජෙරමි තම සුපුරුදු සිනා මුසු මුහුණින් කතාව ඇරඹුවේය. “මේ අස්වීමේ තීරණය බොහොම දුෂ්කර තීරණයක් බව මුලින්ම කිව යුතුයි- මේක මගේ ජීවිතේ මම ගත්ත අමාරුම තීරණය කියන්න පුළුවන්.. මීට හේතුව දන්නේ ශ්‍රෝඩර් මහත්මයා ඇතුළු ආයතනයේ කීප දෙනෙක් පමණයි.”

ඔහු මෙසේ කියද්දී වේදිකාවේ ඔහුට පසුපසින් අසුන්ගෙන සිටි ශ්‍රෝඩර් බැරෑරුම් මුහුණින් හිස සලනු පෙනුණි.

“ඒ ගැන විවිධ කසු කුසු නම් නොසෑහෙන්න පැතිරුණු බව මම දන්නවා- නෑ මිත්‍රවරුනි මම වෙන රටකට යන්නේ නැහැ, මට මානසික රෝගයකුත් නැහැ..” ජෙරමි තම ඇඟිලි නවමින් ගණන් කරන අයුරු පෙන්වා කීවේ සභාව සිනා ගස්වමිනි. “ඇත්ත කතාව ඉතාම සරලයි. පහුගිය අප්‍රේල් මාසයේ මම සති දෙක තුනක් නිවාඩු ගත්තා ඔයාලාට මතක ඇති. මම කවදාවත් නිවාඩු නොගන්න නිසා ඔයාලා පුදුම වුණු බවත් මම දන්නවා. ඇත්තටම නම් මට නිවාඩු ගන්න කියලා මගේ වෛද්‍යවරු බල කළා. මිතුරු මිතුරියනි…” ජෙරමි ගැඹුරු හුස්මක් ගෙන සභාව සිසාරා නෙත් යැවුවේ ය. “මට හයිපොග්ලයිසීමියා කියන රෝගය තියෙන බව වෛද්‍යවරු හොයාගත්තා. සරලව කියනවානම් ඒ කියන්නේ රුධිරයේ සීනි මට්ටම අඩු වීම.”

සභාවෙන් නිකුත් වුයේ පුදුමය අඟවන හඬකි

“ඔව් ඔව්, සාමාන්‍ය මිනිස්සුන්ට වෙන්නේ ඇඟේ සීනි වැඩිවෙන එකනේ, මම විශේෂ කෙනෙක් නිසා සීනි අඩුවෙනවා!” ජෙරමි සුපුරුදු ලෙස විහිළුවක් කර සැවොම සිනා ගැන්වීය. “මට වෛද්‍යවරු අවවාද කළා බොහොම විවේකී ව නොහිටියොත් තත්ත්වය බරපතල වෙන්න පුළුවන් බව. මන්ට්‍රා වගේ තැනක වැඩකරන ගමන් විවේක ගන්න අමාරු බව අපි හැමෝම දන්නා රහසක් නේ, ඒ නිසා ආයතනයටත් අසාධාරණයක් නොවෙන්න මම හිතුවා මගේ අස්වීමේ ලිපිය භාර දෙන්න.”

ජෙරමි ගැඹුරු හුස්මක් ගෙන රැස්ව සිටින්නන්ගේ මුහුණු සිසාරා නෙත් යැව්වේ ය. ඒ හැම මුහුණක ම තිබුණේ බැරෑරුම් පෙනුමකි.

“මේක මම ඉතාමත්ම අමාරුවෙන් ගත්ත තීරණයක් බව නැවතත් කියනවා. ඒත් එක අතකට මේක ජීවිතයත් මරණයත් අතර තීරණයක් නිසා මම ජීවිතය තෝරාගත්තා. ඔය කිව්වාට ඇත්තටම නම් මට නිකම්ම ගෙදර ඉන්න බැරිවෙයි. මෙච්චර කල් මන්ට්‍රා එකේ වැඩකරලා නිකම් ඉන්නේ කොහොමද කියලා මම දන්නෙවත් නැහැ!” ශාලාවේ ආතතිය බිඳින්නට ජෙරමි පුංචි විහිළුවක් කළේ ය. “ඒ නිසා පොඩියට ප්‍රවර්ධන ව්‍යාපෘති දෙකතුනක් කරන්න මගේම පොඩි කම්පැනියක් දාගන්නයි මම හිතාගෙන ඉන්නේ. මගේ වෛද්‍යවරයාත් කිව්වා එකපාරට මුකුත්ම නොකර ඉන්න එකත් මගේ සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන් කියලා. මගේ ජීවිතෙන් අවුරුදු විසි තුනක් ගතවුණේ මන්ට්‍රා එකේ. මෙතැන ඇත්තටම මගේ දෙවෙනි ගෙදර කියන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලාව දාලා යන්නේ සෑහෙන්න වේදනාවකින්. මගේ මේ ගැටලුවේ දී මුල ඉඳන්ම ළඟ ඉඳන්, අකමැත්තෙන් වුණත් මගේ මේ තීරණයට සහාය දුන්නු ශ්‍රෝඩර් මහත්මයාට මගේ ස්තූතිය පිරිනමන්න මේක මම අවස්තාවක් කර ගන්න කැමතියි.” අත්පොලසන් හඬ මැද කතාව නිම කරද්දී ජෙරමි ගේ කටහඩ බිඳෙමින් තිබිණි.

ඉනික්බිති මයික්‍රෆෝනය වෙත එළඹුණේ ප්‍රධාන විධායක නිලධාරි ශ්‍රෝඩර් ය. ජෙරමි ඩුවැක් විසිතුන් වසරක් තිස්සේ මන්ට්‍රා ආයතනයට කළ සේවය ගැන ඔහු දිගු විස්තරයක් කළේ ය. එහිදී ජෙරමිගේ මඟ පෙන්වීම මත ආයතනය ලබාගත් විවිධ ජාත්‍යන්තර සම්මාන ආදිය ගැන කතා කිරීමට ඔහු අමතක කළේ නැත. සෞඛ්‍ය හේතූන් මත ජෙරමි ගත් මේ තීරණයට සහාය දෙන්නට අකමැත්තෙන් වුවත් තමන්ට සිදු වූ බව විස්තර කළ ශ්‍රෝඩර් කතාව නිම කිරීමට පෙර තමා කබා සාක්කුවෙන් අලංකාරව එතූ කුඩා පෙට්ටියක් පිටතට ගත්තේ ය.

“ජෙරමි ඩුවැක්, ඔබට මන්ට්‍රා හි අපි හැමෝම සිහිවෙන්න මේ තිළිණය භාරගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේක අලුත්ම පන්නයේ අත් ඔරලෝසුවක්. එහි විශේෂත්වය තමයි සුපුරුදු අංගෝපාංග වලට අමතරව එයට ඔබේ අසනීපය පාලනය කරන්න සහාය වෙන්නත් හැකියාව තිබීම. ඔබ මෙය පැළඳ සිටින හැම මොහොතකම එය ඔබේ රුධිරයේ සංයුතිය ඉබේ පරීක්ෂා කරලා ගැටළුවක් මතු වීගෙන එනවා නම් ඔබට සංඥාවක් නිකුත් කරනවා. ඒ නිසා ඔබට ඉදිරියේදී රෝගය නිසා ඇතිවෙන සංකූලතා මඟ හරවාගෙන විවේක ගන්න පලුවන්. මතක තියාගන්න ඔබ කමති ඕනෑම මොහොතක නැවත එන්න මන්ට්‍රාහි දොරවල් ඔබ වෙනුවෙන් විවෘතයි!”

ශ්‍රෝඩර් කතාව නිම කළේ කන් බිහිරිවන තරමේ අත් පොළසන් නාදයක් අතරේදී යි.

…………………………………………………..

ජෙරමි මේ ගතකරන්නේ රැකියාවෙන් ඉවත් ව ගෙවෙන සිව් වන දවසයි. පළමු දින දෙකතුනේදී විවිධ වැඩකටයුතු නිසා කාර්ය බහුල වූ ඔහුට දවස බෙහෙවින් දිගු බව දැනෙන්නට පටන් ගෙන ඇත්තේ දැන් ය. ආලින්දයේ සෝපාවේ හිඳ ගත් ඔහු, කවුළුවෙන් පිටත ගෙවත්තේ සිරි නරඹමින් මේ නුහුරු විවේකය විඳින්නට විය.

“ඔයා ඔය අලුත් ඔරලෝසුව බැඳගෙනද ඉන්නේ ජෙරී?” ඇලීෂියා ආලින්දයට පැමිණියේ කෝපි කෝප්ප දෙකක් දෑත ට රැගෙන යි.

ජෙරමි සමඟ විවාහ වී ගත වුණු පසුගිය විසි වසර පුරාවටම ඔහු හරියාකාර විවේකයක් ලබනු ඇලීෂියා දැක තිබුණේ නැත. නිවාඩු දිනවලදී ත්, ඔවුන් දරුවන් ද සමඟ දුර බැහැර සංචාරයන් හි යෙදෙද්දී ත් ජෙරමි නිරතුරුව මනසින් බැඳී සිටියේ රැකියාව වෙතයි. රාජකාරී වේලාවන්ට එපිටදී රාජකාරී දුරකථන ඇමතුම් ආදිය සීමා කිරීමට ඔහු උත්සාහ කළ බව සැබවි. එහෙත් ඔහු නිතරම තමන් සම්පූර්ණ කළ යුතු ඊළඟ ප්‍රවර්ධන ව්‍යාපෘතිය ගැන සිතමින් පසු වූ බව ඈ දැන සිටියා ය. එබැවින් ඔහු මෙලෙස නිසොල්මන් ව විවේකයෙන් සිටිනු දැකීම ඇයට ද අලුත් දසුනක් විය.

ඇගේ පැණයට පිළිතුරු වශයෙන් සිනාසුණු ජෙරමි කෝපි කෝප්පය අතට ගැනීමට පෙර තම ජර්සියේ අත මෑත් කර ඔරලෝසුව පෙන්වූයේ ය.

“ඔයතරම් බය වෙන්න එපා ඇලීෂියා, මට ඒක එහෙම අමතක වෙන්නේ නැහැ, මේ දවස් දෙකතුනටත් ඔරලෝසුව මට දෙතුන් සැරයක්ම වෝන් කළා ෂුගර් අඩු වෙද්දී.” ඔහු සැහැල්ලුවෙන් කීවේ තමන් ගැන බිරිඳ වද වන තරම හොඳහැටි දැන සිටි බැවිණි.

අත් ඔරලෝසුවේ සේවය උපරිමයෙන්ම ලබාගැනීමට නම් එය විසිහතර පැයේදීම පැළඳගෙන සිටිය යුතු බවට ශ්‍රෝඩර් දුන් උපදෙස ඔහුට සිහි විය. නින්දේදී පමණක් නොව ස්නානයේදී පවා අත් ඔරලෝසුව පැළඳ සිටිය යුතු බව ඔහු කියද්දී තමන් එදා නම් සිනාසුණු බව ඔහුට මතකය. නමුත් සත්‍යය නම් ඒ ඕනෑම මොහොතක තමන් රුධිරයේ සීනි මට්ටම අඩුවීම නිසා කෝමා තත්ත්වයට පත් විය හැකි වීමේ බරපතල බව දැන් ඔහුට වැටහේ.

“අනේ මන්දා ජෙරී..” ඇලීෂියා ඔහු අසල අසුන් ගත්තේ සුසුමක් හෙලමිනි. “මතක ඇති කාලෙක ඉඳන් රස්සාව වෙනුවෙන් මහන්සි වෙලා අන්තිමට ලෙඩක් හදාගෙන තමයි ගෙදර නවතින්න වුණේ. මන්ට්‍රා එකේ කට්ටිය නිකම් ඇපෙන් බේරෙන්න වගේ මේ ඔරලෝසුව දුන්නේ කියලා මට හිතෙන්නේ.” ඈ කෝපි උගුරක් තොල ගාමින් කීවාය.

“එහෙම කියන්න එපා ඇලීෂියා,” ජෙරමි ඇගේ කතාවට විරුද්ධ වූයේ ය. “ලෙඩක් හැදෙන්න තියෙනවා නම් ඒක කාටවත් වළක්වන්න බැහැ, මම මන්ට්‍රා එකේ හිටියත් නැතත් මේක හැදෙනවා. අනික එයාලා මේ වගේ අලුත්ම ටෙක්නොලොජි එකක් තියෙන ඔරලෝසුවක් දුන්න එකට අපි සතුටු වෙන්න ඕන. මෙහෙම දේවල් තියෙනවා කියලා මම නම් මීට කළින් දැනගෙන වත් හිටියේ නැහැ ඇත්තටම.”

ඇලීෂියා නිහඬ වූයේ ඔහු කී දේ සත්‍යයක් බව ඇයට ද හැඟුණු හෙයිනි. ඔරලෝසුව ජෙරමි ගේ අතේ තිබීම නිසා ඔහුගේ අසනීපය පාලනය කරගනු හැකිවීම ඇයට මහත් සහනයක් ගෙන දුන්නේය.

“හරි, දැන් මම යනවා අලුතින් පටන්ගන්න බිස්නස් එකේ රෙජිස්ට්‍රේෂන් ගැන විස්තර හොයන්න.” ජෙරමි සෝපාවෙන් නැගී සිටියේ හිස් කෝපි කෝප්පය කනප්පුව මත තබමිනි.

“තනියම අලුතින් මාකටින් බිස්නස් එකක් පටන් අරගෙන කලින් වගේම බිසී වුණොත් මන්ට්‍රා එකෙන් අයින් වුන එකෙනුත් වැඩක් නැහැ.. හරිද ජෙරී? ඒක හොඳට මතක තියාගන්න” තමන්ට පිටුපා කන්තෝරු කාමරය වෙත යන සැමියා ට ඇසෙන්නට ඇලීෂියා කීවේ තරමක් උස් හඬිනි.

එය අසා ජෙරමිගේ මුවග සිනාවක් නැඟුණි. තමන්ටත් වඩා හොඳින් තමන්ගේ ගතිගුණ ගැන බිරිඳ දැන සිටීම ගැන ඔහුට පුදුමයක් දැනුණේ පළමු වතාවට නොවේ.

----------------------------------------------

ජෙරමි තිගැස්සී ඇහැරුණේ සිහිනයක අතරමැද දී ය. ඔහු රෑ නින්දේදී නිරතුරුව සංකීර්ණ විසිතුරු සිහින දකින පුද්ගලයෙක් විය. දවසින් වැඩි ප්‍රමාණයක් නිර්මාණාත්මක කටයුතු වල නියැලෙන අය සිහින නොදකින බව ඔහු කොතැනක දී හෝ අසා තිබුණත් ඔහුට නම් එය අදාළ වූයේ නැත. මන්ට්‍රා හි රැකියාව කරද්දී ජෙරමි නිරතුරුවම සිහිනෙන් දුටුවේ තමන් නිම කළ යුතු ප්‍රවර්ධන ඇනවුම් ගැනයි. තමන්ගේ නිර්මාණශීලී ම අදහස් ඉපදුණේ සිහින වලදී බව ඔහු තදින් විශ්වාස කළේ ය. ඔහුට මේ සිහින පසු දින උදෑසන වෙද්දී පවා සිහියට නඟා ගන්නට හැකි වීමත් විශේෂත්වයක් විය. ජෙරමි ඩුවැක් ගේ මේ විසිතුරු සිහිනවල වැදගත්කම එකල මන්ට්‍රා ආයතනයට පවා නොරහසක් ව තිබිණි.

“මිස්ට ඩුවැක්, මේකට අදහසක් දෙන හීනයක් එහෙම දැක්කේ නැද්ද?” ප්‍රවර්ධන සැලසුම් රැස්වීම් වලදී ඔහුගේ ගෝල බාලයන් ඔහුට විහිලු තහළු කිරීම එකල සාමාන්‍ය සිද්ධියක් විය.

එහෙත් අද නම් තමන් එවැනි සිහිනයක් මැදදී එක්වර අවදි වූයේ ඇයි දැයි ජෙරමිට සිතාගනු නොහැකි විය. මන්ට්‍රා වෙතින් ඉවත් වූ පසු ම ඔහු ‘ප්‍රවර්ධන අදහස්’ සහිත සිහිනයක් දැක නොතිබුනී. මේ රැයේ බිඳුණු සිහිනය ඔහු වෙතින් ගිලිහී ගොස් ද තිබුණේ මතකයක් ද ඉතිරි නොකර ය. වෙලාව දැනගැනීමට අත බැඳි ඔරලෝසුව වෙත නෙත යොමු කළ ජෙරමි දුටුවේ එහි කුඩා තිරය ආලෝකවත් ව තිබී නිවී යන බවයි. ඉනික්බිති එය ඉබේම ක්‍රියා විරහිත වී නැවත පණ ගැන්විණි. එවෙලේ ඔරලෝසුවේ මෘදුකාංගය යාවත්කාලීන වීමක් සිදුවෙමින් ඇති බවක් ජෙරමි අනුමාන කළේ ය. මොහොතක් දෙකක් බලා හිඳ එය නැවතත් ක්‍රියාත්මක වූ විට වෙලාවත්, පුරුද්දට මෙන් තම රුධිරයේ සීනි මට්ටමත් පරීක්ෂා කළේ ය. ඇඳේ අනෙත්පස සුව නින්දේ පසුවන ඇලීෂියා අවදි නොකරන්නට ප්‍රවේසම් වූ ඔහු, නැවතත් නින්දට වැටෙන්නට උත්සාහ කළේ අතපසු වූ සිහිනය යළි බලන්නට ඇත්නම් යැයි සිතමිනි.

------------------------------------------------------------

ජෙරමි ඩුවැක් සිය නව අළෙවි ප්‍රවර්ධන ආයතනයට ඩ්‍රීම්ස් මාකටින් ප්‍රයිවට් ලිමිටඩ් යන නම යෙදුවේ තමන්ගේ විසිතුරු සිහින ගැනත් සිතේ කොණක තබා ගනිමිනි. අරඹා කෙටි කලක් ගත වෙද්දී ඊට බෙහෙවින් ඇනවුම් ගලා ඒම ඔහු කිසිසේත් අපේක්ෂා කළේ නැතත් ප්‍රවර්ධන ක්ෂේත්‍රයේ තම නම හා ඈඳුණු කීර්ති නාමය මීට මඟ පෙන්වූ බව ඔහුට වැටහිණි. කෙසේ වූවත් මන්ට්‍රා හි රැකියා කළ කාලයේදී මෙන් අධික ලෙස වෙහෙස නොවී තමන්ට සාර්ථක ව නිම කළ හැකි මට්ටමින් පමණක් ඇනවුම් භාරගැනීමට ඔහු ප්‍රවේසම් විය.

පසුගිය කාලය ඇතුළත දෙවතාවක් පමණ ශ්‍රෝඩර් ඔහු වෙත දුරකථන ඇමතුම් දුන්නේ තමන් ආයතනයෙන් ඉවත් වීමට පෙර සම්පූර්ණ කරමින් සිටි ව්‍යාපෘති කිහිපයක විස්තර ලබාගැනීමට යි. ජෙරමිගේ ඩ්‍රීම්ස් මාකටින් ආයතනයේ ප්‍රගතිය ගැන විමසන්නටද අමතක නොකළ ශ්‍රෝඩර්, ඊට සුබ පතා, කාලයාගේ අවෑමෙන් සහෝදර ප්‍රවර්ධන ආයතන දෙකක් හැටියට ඔවුන්ට කටයුතු කළ හැකි බවට අනාවැකි පළ කළේ ය. ඒ හැම දුරකථන සංවාදයක ම අවසානයේදී මන්ට්‍රා ආයතනය වෙතින් ලැබුණු අත් ඔරලෝසුව ගැන ස්තූති පූර්වක ව කතා කිරීමට ජෙරමි අමතක කළේ නැත. සත්‍ය වශයෙන්ම ඒ වෙද්දී එය කිහිප වතාවක්ම ඔහුගේ ජීවිතය බේරා තිබිණි.

-------------------------------------------------------

ලින්ඩල් මහතා මුණගැසීමට තරු පහේ හෝටලයක පිවිසුම් ශාලාව ජෙරමි තෝරාගත්තේ කරුණු කිහිපයක් මත ය. පළමුවැන්න නම් තමන්ගේ කුඩා ප්‍රවර්ධන ආයතනය තම නිවසේ සිට ක්‍රියාත්මක කරන බැවින් ඒ සඳහා වෙන් වූ රැස්වීම් කාමර ආදිය තමන් තවමත් සකසාගෙන නොමැති වීමයි. අනෙත් අතට රටේ ප්‍රධාන චොකලට් නිෂ්පාදක සමාගම වන වොන්ඩර් සමූහ ව්‍යාපාරයේ අලෙවි අධ්‍යක්ෂ මුණ ගැසීමට මේ සුඛෝපභෝගී පරිසරය සුදුසු යැයි ඔහුට ඇති වූ විශ්වාසයයි. සැබවින්ම ජෙරමි ඩුවැක් මින් පෙර කීප වතාවක්ම රිචඩ් ලින්ඩල්ව මුණගැසී තිබුණු නමුත් ඒ ඔහු මන්ට්‍රා හි සේවය කළ වකවානුවේදී ය. එවකට වොන්ඩර් සමූහ ව්‍යාපාරයේ සියලු ප්‍රවර්ධන කටයුතු සිදුකෙරුණේ ජෙරමිගේ අධීක්ෂණය යටතේ මන්ට්‍රා ආයතනය හරහා ය. තමන් මන්ට්‍රා වෙතින් ඉවත් වූ බව දැන දැනත් ලින්ඩල් මහතා තමන්ට පෞද්ගලිකව කතා කර මුණගැසීමට වෙලාවක් ඉල්ලා සිටියේ ඇයි දැයි ජෙරමි කුකුසින් පසු විය.

“ජෙරමි, අපි දැන් කාලෙක ඉඳන් අඳුරන නිසා මම අනම් මනම් නොකියා කෙලින්ම කතාවට බහින්නම්” ආරම්භක සාමීචි අවසන් කරමින් ලින්ඩල් පැවසුවේ පුටුවේ හරි බරි ගැසී වාඩිවෙමිනි.

“වොන්ඩර් ස්වීට්ස් මෙච්චර කල් ඔක්කොම මාකටින් කැම්පේන්ස් දුන්නේ මන්ට්‍රා එකට බව ජෙරමි ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ හැම එකක්ම පිටිපස්සේ තිබුණේ ජෙරමි ගේ අදහස් බවත් අපි පැහැදිලිවම දන්නවා. දැන් ජෙරමි මන්ට්‍රා එකෙන් අයින් වෙලා නිසා මට වුවමනාව තියෙනවා අපි ඉස්සරහට කරන කැම්පේන්ස් වලට ජෙරමිගේ ඩ්‍රීම්ස් මාකටින් ෆර්ම් එකටත් චාන්ස් එකක් දෙන්න. ජෙරමි මොකද කියන්නේ?” ඔහු ඇසුවේ ඉදීරියට නැඹුරු වී ජෙරමි දෙස එක එල්ලේ බලමිනි.

ජෙරමිට විශාල සතුටක් මෙන්ම තිගැස්මක් දැනුණි. වොන්ඩර් සමූහ ව්‍යාපාරයේ ප්‍රවර්ධන ව්‍යාපෘති සියල්ල තම කුඩා ව්‍යාපාරය වෙත ලැබුණේ නම් තමන් අන් කිසිවක් වෙනුවෙන් මහන්සි විය යුතු නැති බව ඔහු හොඳින් දැන සිටියේ ය.. ඒත්…

“මිස්ට ලින්ඩල්, මං ගැන ඒ තරම් විශ්වාසයක් තිබ්බ එකට ස්තූතියි.. ඒත්..ඒත් එතැන සදාචාරාත්මක ප්‍රශ්නයක් තියෙනවා නේද?” ඔහු ඇසුවේ තරමක් කලබලයෙනි.

“මෙහෙමයි ජෙරමි, බිස්නස් එකක් හැටියට අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ අපි වියදම් කරන මුදලට උපරිම සේවාව ලබාගන්න. ජෙරමි ගේ මාකටින් ෆර්ම් එක තාම අලුත් බව මම දන්නවා. ඒ නිසා මේක තරමක අභියෝගයක් වෙන්න පුළුවන්. ඒත් ඔයා අවුරුදු ගාණක් මේ ක්ෂේත්‍රයේ ඉඳලා හොඳට අඳුරුම්කම් එහෙම තියෙනවානේ..”

“ඔව් මම මේ අවස්ථාව බොහොම ආඩම්බරයෙන් භාරගන්න කැමතියි මිස්ට ලින්ඩල්, ඒත් මම කිව්වේ මන්ට්‍රා එකට මෙතරම් කල් දුන්නු කැම්පේන්ස් මට දෙන එක හරි මදි නේද?” ජෙරමි ආයාසයෙන් කීය.

“ඒවා කෙලින්ම ජෙරමිට දෙනවා කියලා නෙමෙයි මම අදහස් කළේ. මෙහෙමයි ඒක වෙන්නේ, හැම අවුරුද්දෙම අන්තිම අපේ බෝර්ඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් තීරණය කරනවා කාටද ඊළඟ අවුරුද්දේ මාකටිං කැම්පේන් එක දෙන්නේ කියලා. ඒක නිකම් ටෙන්ඩර් ක්‍රියාවලියක් වගේ දෙයක්. අයදුම් කරන ප්‍රවර්ධන ආයතන මේ වෙනුවෙන් එයාලගේ දළ සැලසුම් සහ අය වැය අපට ඉදිරිපත් කරනවා. මේ වතාවේ මේ වෙනුවෙන් ජෙරමි ගේ ආයතනයෙනුත් ඉල්ලුම් කරන්න කියන්නයි මම යෝජනා කරන්නේ. සාමාන්‍යයෙන් අපි පොඩි ෆර්ම්ස් වලින් අයදුම්පත් භාරගන්නේ නැහැ. ඒත් අපේ ඇඳුරුම්කම් නිසා ජෙරමි ට මේ චාන්ස් එක අරන් දෙන්න මම පෞද්ගලිකව තීරණය කළා. ඩිරෙක්ටර්ස්ලා කොහොමත් මේ හැම ඉල්ලුම්පතක්ම සාධාරණ විදිහට සලකලා බලනවා, ඔයාගේ යෝජනාව ගැලපෙනවා නම් එයාලා ජෙරමි ට මේ වැඩේ පවරයි. මොකද කියන්නේ?” ලින්ඩල් විස්තර කළේ ජයග්‍රාහී සිනාවකිනි. ඔහු මේ ගැන පර තෙරට කල්පනා කර ඇති බවක් ජෙරමි ට හැඟිණි.

“අනේ මන්දා, මිස්ට ලින්ඩල්, මට නිකම් මම මන්ට්‍රා එකට වැරද්දක් කරනවා වගේ දැනෙනවා.” ජෙරමි සිනාමුසු ව කීවේය.

ලින්ඩල් අසුනෙන් නැගී සිටි අතර ඒ අනුව ජෙරමි ද තම අසුනෙන් නැගී සිටියේය.

“බිස්නස් කරන්න නම් ටිකක් ආත්මාර්ථකාමී වෙන්න ඕන ජෙරමි. මම හදිසි කරන්නේ නැහැ, මේ ගැන කල්පනා කරලා බලන්නකෝ. ලබන මාසේ තිස් එක තමයි මේ අයදුම්පත් භාරගන්න අන්තිම දවස. මම එහෙනම් ගිහින් එන්නම්, අපි ආයෙත් හමුවෙමු”

ජෙරමිට අතට අත දී ආචාර කළ ලින්ඩල් නික්ම ගියේ ය. ඔහු යන දෙස බලා සිටි ජෙරමි උපැස් යුවල ගලවා අතැඟිලි දෑසට තද කරගත්තේ ය. මේ අනපේක්ෂිත යෝජනාවෙන් ඔහුගේ හිස අවුල් ව තිබිණි.

ලින්ඩල් යෝජනා නොකළේ නම් තමන් කිසිසේත් වොන්ඩර් සමාගමේ ප්‍රවර්ධන ඇනවුම ලබාගැනීමට අයදුම් නොකරන බව ජෙරමි හොඳාකාර ව දන සිටියේය. තමන්ට වෘත්තිමය ලෙස පන්නරය දුන් මන්ට්‍රා ආයතනය සමඟ තරඟ කිරීමට ඇති නොකැමැත්ත සමඟ හරි හරියට ඔහුගේ සිත තුළ මේ අලුත් අභියෝගය ගැන ආසාවක්, උනන්දුවක් මතුවන අයුරු ඔහුට දැනුණි. සියල්ලටම වඩා ලින්ඩල් ඔහු ගැන තැබූ මේ සා විශ්වාසය! මේ ගැන දින දෙක තුනක් හොඳින් කල්පනා කර තීරණයක් ගැනීමට ඔහු ඉටා ගත්තේ ය.

----------------------------------------------------

“මම නම් කියන්නේ ඔයා මිස්ට ලින්ඩල් කීව විදිහට වොන්ඩර් එකේ මාකටින් කැම්පෙන් එකට ඇප්ලයි කරන්න කියලා,” රෑ කෑම මේසයේදී ලින්ඩල් ගේ යෝජනාව ගැන අසා ඇලීෂියා කීවාය.

“මන්ට්‍රා එකත් අනිවාර්යෙන් මේකට ඇප්ලයි කරන බව මම දන්නවා. එයාලා එක්ක තරඟ කරන්න මට හරි ගිල්ටි වගේ දැනෙනවා ඇලීෂියා.” ජෙරමි තම පිඟාන පසෙකට කර වයින් වීදුරුව තොල ගාමින් කීවේය. ඔහුගේ මුහුණේ සවස් වරුවේ පටන් තිබුණු කරදරකාරී පෙනුම පහව තිබුණේ නැත.

“වොන්ඩර් එකේ ඩිරෙක්ටර් බෝඩ් එක ඇප්ලිකේෂන් ඔක්කොම සලකලා බලලා එක ආයතනයක් තෝරාගන්නවා නම් ඉතින් ඔයා දෙන්නේ සාධාරණ තරඟයක් නේ. ඔයා හොඳයි නම් එයාලා ඔයාට ඒ ඕඩර් එක දෙයි, නැත්නම් වෙන කෙනෙකුට දෙයි. ඕකේ ඔච්චර හිතන්න දෙයක් මට නම් පේන්නේ නැහැ.” ඇලීෂියා හුනස්නෙන් නැගිට මේසය අස් පස් කරමින් කීවා ය.

ජෙරමි කිසිත් නොකියා කල්පනා වේ නිමග්න ව පසු වූයේ ය.

“ඔයා කාගේවත් ක්ලයන්ට්ස් ලා බලෙන් නම්මා ගන්නවා නෙමෙයිනේ ජෙරී. ඇත්තටම නම් ක්ලයන්ට් ම නේ ඔයාට කියන්නේ මේකට ඇප්ලයි කරන්න කියලා. ඔහොම හැමදේම හිත හිත ඉන්න ගියොත් මුකුත් කරන්න වෙන්නේ නැහැ. දැන්වත් ටිකක් ආත්මාර්ථකාමී වෙන්න ඉගෙන ගන්න.” මෙසේ කියූ ඇලීෂියා මේසය මත වූ පිඟන් කෝප්ප එකතු කරගෙන මුළුතැන්ගෙය වෙත පිය මැන්නා ය.

‘ලින්ඩල් ත් කිව්වේ ඕකම තමයි.” ජෙරමි පහත් හඬින් තමන්ටම කියා ගත්තේ වයින් වීදුරුව නැවතත් පුරවා ගනිමිනි.

------------------------------------------------------------

වොන්ඩර් ආයතනයේ ප්‍රවර්ධන ව්‍යාපෘතිය ගැන සිතමින් ඊළඟ දවස් දෙක තුන ගත කළ ජෙරමි තුන්වන දිනය අවසානයේදී මේ ගැන පැහැදිලි විචිත්‍ර සිහිනයක් දුටුවේය. වොන්ඩර් ආයතනයේ චොකලට් වර්ග ප්‍රවර්ධනයට මෙතෙක් කිසි කලෙක යොදා නොගැනු අදහසක් එහි විය.

…රූපවාහිනී තිරය පුරා දිස්වෙන කිරි මුහුදකි. එක් පසෙකින් ඊට චොකලට් ගංගාවක් එක් වේ. මේ මුහුදේ රැළි මත වොන්ඩර් සන්නාමයෙන් යුත් විවිධ වර්ගයේ චොකලට් බෝට්ටු ඇදී යමිනි. මේවා මත පොඩිත්තෝ හිඳ සිටිති. ඔවුන් තිරය මැදට පාව එද්දීම ‘වොන්ඩර් චොකලට්ස්!’ කියා කෑ ගසන්නේ මහත් සතුටිනි….

හදිසියේම ජෙරමි තිගැස්සී අවදි වූවේය. මෑතක සිට රෑ මැදියමේ තමන් මෙසේ එක්වරම අවදි වීම ඔහුට දැන් දැන් කරදරයක් වෙමින් තිබිණි. වැඩියත්ම තමන්ට අනාගත ප්‍රවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අදහස් ගෙන එන සිහින අතරමඟදී බාධා වීම ඔහු තුළ නොරිස්සුමක් ඇති කළේ එකම සිහිනය නැවත බැලීමට අවස්ථාවක් නොලැබුණු බැවිනි. ඔහු ඉක්මණින් ඇඳ අසල වූ මේසය මත තිබුණු කුඩා සටහන් පොත අතට ගෙන තමන් දුටු ‘වොන්ඩර්’ සිහිනය ලියා තැබුවේ එය අමතක වේ යැයි සැකයෙනි. මෑතක සිට නින්දට සිදුවන මේ බාධාව තමන්ගේ රෝගය නිසා විය හැකිද යන බව ඊළඟ වතාවේ දොස්තර හමු වූ විට විමසීමට ඔහු ඉටා ගත්තේය. පුරුද්දට මෙන් තම රුධිරගත සීනි මට්ටම පරීක්ෂා කිරීමට තම අත බැඳි ඔරලෝසුව වෙත නෙත යොමු කළ ජෙරමි දුටුවේ එය ඉබේම ක්‍රියා විරහිත වී නැවත පණ ගැන්වෙන බවයි. දිවා රෑ නොකඩවා ක්‍රියාත්මක වීමට නියමිත නිසා මේ ඔරලෝසුවට අමතර බැට්රියක් පවා සපයා තිබුණි. එබැවින් එය මෙසේ අහඹු ලෙස ක්‍රියා විරහිත වී නැවත පණ ගැන්වීමත් තමන්ගේ නින්ද කඩවීමත් අතර සම්බන්ධයක් තිබේදැයි ජෙරමි ට කල්පනා විය. මේ ගැන තව දුරටත් සිතිය යුත්තේ පසු දින උදෑසන බව සිතූ ඔහු අනෙත් පස හැරී නිදන්නට විය.

----------------------------------------------------------

වොන්ඩර් ආයතනයේ ප්‍රවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඩ්‍රීම්ස් මාකටින් ප්‍රයිවට් ලිමිටඩ් හි යෝජනා සහිත අයැදුම්පත යොමු කළ ජෙරමි ඉනික්බිති ගත කළේ නොසන්සුන් බවින් පිරි සතියකි. තමන් සිහිනයෙන් දුටු අදහස ප්‍රවර්ධන සැලසුමක් දක්වා දියුණු කළ ඔහු ඊට අපේක්ෂිත වියදම් සහිත අයවැයක් ද එකතු කළේ ය. නියමිත දිනට පෙර මේ සියල්ල සම්පූර්ණ කිරීම ට ඔහුට සිතුවාට වඩා මහන්සි වීමට සිදු වූයේ දැන් ඊට අදාළ කටයුතු සියල්ලම ඔහු තනිවම සිදු කළ යුතු බැවිනි. මේ ආතතිය නිසාදෝ කීපවරක්ම ඔහුගේ රුධිරයේ සීනි මට්ටම අඩු වී ගිය අතර වාසනාවකට ඔරලෝසුව නිසා මේ ගැන ඔහුට කල් ඇතිව අනතුරු ඇඟවීම් ලැබුණි. මේ කලබල මැද තමන් අසනීපය නිසා සිහි විසඥ වීම් සිදු වුණේ නම් මහත් කරදරයක් වන බව කල්පනා කළ ජෙරමි නොකඩවා ඔරලෝසුව පැළඳ සිටින්නට විශේෂයෙන් මතක තබා ගත්තේය.

අපේක්ෂිත ලෙස වොන්ඩර් ආයතනයේ අලෙවි අධ්‍යක්ෂ ලින්ඩල් ගේ දුරකථන ඇමතුම ජෙරමිට ලැබුණේ අයදුම්පත යොමු කර දින දහයක් ගෙවුණු තැනයි. එහෙත් පුරුදු සුහද බව වෙනුවට දුරකතනයේ අනෙත් පසින් ජෙරමි ට ඇසුණේ නොරිස්සුම් හඬකි.

“ජෙරමි තමුසේව මෙතරම් විස්වාස කරපු මාව අන්තිමට තමුසේ විහිලුවකට ගත්තා නේද? තමුසෙගෙ වැඩ නිසා අන්තිමට මට සිද්ධ වුණේ ඩිරෙක්ටර් බෝඩ් එක ඉස්සරහා සවුත්තු වෙන්නයි..” ලින්ඩල් පසුවන්නේ කෝපයෙන් බව ජෙරමි ට එක වර ම වැටහිණි.

“ඇයි මිස්ට ලින්ඩල්, මොකක්ද ප්‍රශ්නේ?” ජෙරමි කලබලයෙන් විමසුවේය.

ලින්ඩල් ගැඹුරු හුස්මක් ගෙන ආයාසයෙන් සන්සුන් වන්නට උත්සාහ ගනු ඔහුට ඇසිණි.

“ජෙරමි, මම ඔහේට මේ වතාවේ අපේ මාකටින් කැම්පේන් එකට ඇප්ලයි කරන්න කිව්වේ අපිට වෙන කට්ටිය නැති නිසා නෙමෙයි. තමුන් දක්ෂයෙක් බව දන්නා නිසයි, කාලයක් තිස්සේ මන්ට්‍රා එකෙන් කරපු අපේ කැම්පේන් පිටිපස්සේ හිටිය මොළකාරයා තමුන් බව දන්නා නිසයි. නැත්නම් මේ ඊයේ පෙරේදා පටන් ගත්ත තමුසෙගෙ වගේ පොඩි මාකටින් ෆර්ම් එකකින් ඇප්ලිකේෂන් භාර ගන්නෙවත් නැති තැනක් වොන්ඩර් කියන්නේ.. ඒක මම තමුන්ට අමුතුවෙන් කියලා දෙන්න ඕන නැහැනේ..” ඔහු එක දිගට කියාගෙන ගියේ ය.

“මම ඒ බව හොඳින්ම දන්නවා මිස්ට ලින්ඩල්, මට මේ චාන්ස් එක දුන්නට මම ඇත්තටම ණය ගැතියි, ඒත් දැන් මොකද වෙලා තියෙන්නේ? මගේ ඇප්ලිකේෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද?” ජෙරමි ඇසුවේ අවුල් වූ සිතිනි.

“ණයගැතියි?” ලින්ඩල් උපහාසයෙන් සිනාසෙනු ඔහුට ඇසිනි. “ණයගැති නිසාද මනුස්සයෝ මන්ට්‍රා එකේ මාකටින් අයිඩියා එක ගෙඩි පිටින් කොපි කරලා එව්වේ? හැබැයි උද්දච්ච කමට බජට් එක නම් මන්ට්‍රා එක දීපු බජට් එකට වඩා දෙගුණයක් විතර වැඩියි. ජෙරමි මට හිතාගන්න බැහැ තමුසේ මේ ජාතියේ මිනිහෙක් කියලා. තමුසේ අයින් වෙන්න කලින් මන්ට්‍රා එකේ සාකච්ඡා කළ අදහසක් හොරෙන් අරගෙන ඇවිත් තමන්ගේ වගේ කොලේ වහලා දෙන්නයි හැදුවේ නේද? මේක තමුසෙට නිකම් විහිළුවක් වගේ ද? තමුසෙලා වගේ අයට වැඩ අරන් දෙන්න ට්‍රයි කරන අපිටයි ගහන්න ඕන!” මෙසේ වේගවත් ව කියූ ඔහු එක්වරම දුරකථනය විසන්ධි කළේ ය.

ජෙරමි අසල ඇති පුටුවකට කඩා වැටුණේ ඔහුගේ දණිස් පණ නැතිව ගිය බවක් දැනුණු හෙයිනි. මේ අභූත චෝදනාව කුමක්ද? ඔහු කිසිදිනක කිසිවෙක් ගේ අදහස් සොරකම් කර නැත. එසේ කරන්නට ඔහුට කිසිදිනක අවශ්‍ය නොවුණේ ඔහුට හැමදාම තමන්ගේම නිර්මාණශීලී අදහස් ගලන උල්පතක් තිබුණු බැවිනි. මන්ට්‍රා ආයතනය තමන්ගේ අදහස සොරකම් කළා විය හැකි ද? එහෙත් තමන් මේ ගැන කිසිවකුට- අඩුම තරමේ ඇලීෂියාට වත්- කියා තිබුණේ නැත. තම නව ආයතනයේ එකම සේවකයා තමන් බැවින් මෙය වෙනකෙකු හරහා පිටතට ගියා විය නොහැක. ‘ඒ මදිවට එයාලාගේ බජට් එක මගේ බජට් එකෙන් බාගයක්!’ තමන්ගේ හිස බමන බවක් ඔහුට දැනුණේ රුධිරයේ සීනි සංයුතිය අඩු වූ බවට ඔරලෝසුවෙන් සංඥාවක් නිකුත් වෙද්දීම ය.

-----------------------------------------

ශ්‍රෝඩර් තම පරිගණකයේ ගබඩා කර ඇති රහසිගත ෆෝල්ඩරය විවර කරන්නේ කාර්යාල වේලාවෙන් අනතුරුව, කාර්යාලයේ හැම කෙනෙකුම නික්ම ගිය පසු යි. පැයකට වතාවක් යාවත්කාලීන වන එහි දත්ත විශ්ලේෂණය කර තමන්ට අවශ්‍ය දේ පමණක් පිටපත් කර ගැනීමට ඔහුට පැයක් පමණ ගතවේ. රාත්‍රිය එළඹෙන තුරු මෙලෙස කාර්යාලයේ කාලය ගත කිරීමට ඔහු වැඩි මනාපයක් නැතත් මේවා තනිවම කළ යුතු රාජකාරී බව ඔහු ඉවෙන් මෙන් දැන සිටියේ ය.

අලුත්ම දත්ත රැස තම පරිගණක තිරයේ දිග හැරෙද්දී ශ්‍රෝඩර් ගේ මුවග සිනාවක් ඇඳිනි.

-------------------------------------------

වොන්ඩර් ආයතනය සම්බන්ධ සිද්ධිය නිසා පසුගිය දින කිහිපයේ මහත් සිත් තැවුලෙන් පසු වූ ජෙරමි හරියාකාරව නින්දක් ලැබුවේම නැත. අවසානයේදී බිරිඳගේ බල කිරීම මත තම වෛද්‍යවරයා මුණ ගැසුණු ඔහු, තමන්ට බාධාවකින් තොර ව නින්දක් ලැබීමට උපකාරී වන බෙහෙතක් ඉල්ලා ගත්තේය. රාත්‍රී ආහාරයෙන් පසු ඒ බෙහෙත ගත් ඔහු මේ රැය පුරා අඛණ්ඩ නින්දක් ලබන්නේ බොහෝ දවසකිනි.

ගැඹුරු නින්දේ පසුවන ජෙරමි ඩුවැක් ගේ වම් අත ඇඳ මත නිසොල්මන් ව විහිදී තිබුණු අතර එහි බැඳ තිබුණු අත් ඔරලෝසුවේ තිරය එදා නම් බොහෝ වේලාවක් දැල්වී ඇති බවක් දකින්නට කිසිවෙකු සිටියේ නැත..



-හෙල්මලී ගුණතිලක-

Photo by Markus Spiske on Unsplash


March 07, 2024

ඩිජිටල් චිත්‍ර

මම ඩිජිටල් චිත්‍ර අඳින්න ගත්තේ මෑත කාලේදී. ඒක තනිකරම ගවේෂණාත්මක ගමනක්. කිසිම දෙයක් නොදැන අත පත ගාමින් ඉගෙනගත්ත කලාවක්. මුකුත් නොදැන අඳින්න අරන් කාලය ගතවෙද්දී එක එක ක්‍රම අත්හදා බලන්න මම එඩිතර වුණා කියන්න පුළුවන්.

මගේ පරිවර්තනයකට, කවියකට මගේම චිත්‍රයක් එකතු කරන්න ලැබුණාම දැනෙන්නේ සම්පූර්ණ බවක්. චිත්‍රයක් අඳින්න හිතුනාට පින්සල්, වතුර, දියසායම් දිග ඇරගන්න කම්මැලි වෙලාවට මේ ක්‍රමය නියමයි. ඩිජිටල් චිත්‍ර ඉක්මන්, වැරදුනත් ලේසියෙන් නිවැරදි කරන්න පුළුවන් නිසා ඒවා බොහොම forgiving.

සමහර වෙලාවට මම Pinterest වලින් inspiration ගන්නවා- ඒත් එහෙම අඳින අතරේදී මට ඕන පාරවල් වල හැරිලා යන නිසා බොහෝ වෙලාවට අවසාන ප්‍රතිපලය නිමිත්තට වැඩිය බොහොම වෙනස්. ඒ වගේම stylus එකෙන් වගේම mouse එකෙනුත් මම අඳිනවා.

මේ මම මෑත කාලේදී ඇන්ද චිත්‍රවලින් කීපයක්. තෝරද්දී තමයි තේරුණේ සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා කියලා!


digital drawings HG by Malie G

March 03, 2024

අමුත්තා




Translation of the short story ‘The Visitor’ by Orlando Patterson

ඔහුගෙන් දිස් වූයේ අමුතු පෙනුමකි. ඔහු පැළඳ සිටි අළු පැහැති ෆෙල්ට් තොප්පිය යටින් මුවේ දිස් වූ සැකයෙන් බර මඳ සිනාව මා තුළ අවිනිශ්චිත බවක් ඇති කළේ ය.පැහැදිලි හේතුවක් නැතිවම, මා නිසා ඔහු අපහසුතාවයට පත් ව ඇතැයි මට සිතුණි. ඔහු බොහෝ වෙලාවක් නිහඬ ව සිටි අතර ඒ නිසාම මට ඔහු ගැන බියක් දැනෙන්නට විය.

එක්වර ම, සමාව අයදින හඬකින් ඔහු මෙසේ ඇසුවේ ය.

“මේ ග්ලැඩිස් නෝනාගේ පුතා ද?”

ඔහු වෙතින් දැනුණේ රම් සහ දත් බෙහෙත් සුවඳකි. මම හිස වනා ඔව් කී විට ඔහු අයාගත් මුවින් යුතුවම මා දෙස බලා සිටින්නට විය. ඔහුගේ තෙත් දෑසින් කුතුහලයද, තරමක දුකක් ද දිස් විය.

“අම්මාට කතා කරන්න ද?” මම ඇසුවෙමි.

“මොකක්ද?” ඔහු ඇසුවේ මට ප්‍රශ්නයක් ඇසීමට හැකිවීම ගැන පුදුම වූ සෙයිනි. නො එසේ නම් ඒ පුදුමය මා ඔහුගෙන් පෙරළා පැණයක් ඇසීම නිසා විය හැක. ඔහු අපහසුවෙන් කෙළ ගිල, තවත් කුතුහලයෙන් මා දෙස බලා හිඳ, මෙලෙස මිමිණුවේ ය.

“කතා කරන්න? ඔව් ඔව්, අම්මාට කතා කරන්න.”

‘මහා අමුතු මිනිහෙක්’ යැයි සිතමින් දොර අසලට ගොස් මා අම්මාට අඬගැසුවෙමි.

“අම්මා”

“මොකද?”

“කවුද මිනිහෙක් ඇවිත් අම්මාව හම්බවෙන්න”

“මිනිහෙක්? ඒ කවුද?”

“දන්නේ නැහැ. මම එයාව කවදාවත් දැකලා නැහැ”

ඇය නැගිට ගොස් ජනේලයෙන් එබී බැලුවාය. මේ වෙද්දී අමුත්තා කවුදැයි දැනගැනීමට කුතුහලයෙන් පසු වූ මම ඈ දෙස හොඳින් බලා සිටියෙමි. අම්මා නිසොල්මන්ව ජනේලයෙන් පිටත බලාගත්වනම සිටි අතර ඇය දුටු දසුනින් ගල් ගැසුණු බවක් පෙනුණි. ඈ අසලට ඇවිද ගිය මට ඇගේ මුහුණ දුටු විට තරමක කම්පනයක් දැනුණි.

“මොකද අම්මා?”

ඈ පිළිතුරු දුන්නේ නැත. මෙතැන යම් බරපතල දෙයක් සිදු ව ඇති බව මට වැටහිණි. අම්මා කිසියම් අවස්ථාවකට මුහුණ දෙනු නොහැකිව අපහසුතාවයට පත් වනු මා ඒ වන තුරු කිසි දා දැක තිබුණේ නැත.

“අම්මා?”

“ගිහින් ඒ මිනිහට කියපන් මම නැහැ කියලා… කෝ ඉතින් පලයන්… එක්කෝ එපා, පොඩ්ඩක් හිටපන්… ගිහින් කියපන් මම එනවා කියලා..”

ඒ අමුත්තා කවුරුන් වුවත් ඔහුගෙන් අපට තර්ජනයක් බව මට ඉවෙන් මෙන් වැටහුණු බැවින් මට ඔහු කෙරේ බියක් ඇති විය. එහෙත් මා නැවතත් ආලින්දයට ගිය විට ඔහුගේ පෙනුම මා තුළ වූ සැකය අඩු කරවීය. ඔහුගෙන් දිස් වූයේ අවිනිශ්චිත, දුරස්ථ බවකි. ඔහු අප ගැන බියෙන් පසුවේ ය යන විකාර රූපී සිතිවිල්ල පවා මොහොතකට මගේ සිතේ ඇඳී ගියේ ය. මින් මගේ ළමා අභිමානය තීව්‍ර විය.

“අම්මා එනවා කිව්වා.” මම ඔහුට කීවෙමි.

ඔහු පහත් හඬින් මට ස්තූති කළේය. අම්මා දොරින් පිටතට විත් නැවතී ඔහු දෙස බලාගත්වනම සිටින්නට විය. ඔහු ඈ වෙත ඇවිද විත් යාර කීපයක් දුරින් නැවතුණේ ය. ඔවුන් අතර නිහඬ බවේ කුමන්ත්‍රණයක් රජයන බව පෙනුණි. මේ වෙද්දී මේ සිදුවන්නේ කුමක්ද යන කුතුහලයෙන් ඔවුන් දෙස බලා සිටි බැවින් මේ කුමන්ත්‍රණයට මා ද ඈඳී තිබිණි. මුලින්ම නිහඬ බව බින්දේ ඔහු ය.

“කොහොමද ග්ලැඩිස්? මාව දැකලා ලොකු පුදුමයක් දැනුණේ නැතිව ඇති කියලා හිතනවා.”

“ඔහේ කොහොමද මම ඉන්න තැන හොයාගත්තේ?” ඇගේ කටහඬ වුවමනාවටත් වඩා හික්මුණු බවක් දැනුණු නමුත් එහි ඉතා සියුම් තර්ජනාත්මක බවක් ද ගැබ් ව තිබිණි.

“ආ… මම මේ ටවුම හරහා යමින් හිටියේ. අර චීන මනුස්සයාගේ කඩෙන් මම ඇහුවා ඔයාව දන්නවාද කියලා, එයාලා පර කිව්වා…”

තවත් දිගු නිහැඬියාවකින් අනතුරුව ඔහුට නිවස තුළට පැමිණෙන ලෙස ඇය සන් කළා ය. ඊළඟ විනාඩි පහළව පුරාවට නිවසේ දොර අඩවන් ව පැවතුණු අතර මම ඒ දෙස බලාගත්වනම සිටියෙමි. ඉනික්බිති අම්මා මට හඬගසනු ඇසුණි. අමුත්තා සම්බන්ධ මේ අභිරහස විසඳා ගැනීමට වෙලාව එළැඹ ඇතැයි යන සිතුවිල්ලෙන් මගේ සිත ප්‍රබෝධමත් විය. මා වහා වහා කමිසය කලිසමට යටකරන්නට ගත්තේ ඔහුට වැඩි සැලකිල්ලක් දක්වනු පිණිසයි. අම්මා නොඉවසුම් හඬින් දෙවෙනි වර හඬ ගැසූ විට මම නිවස තුළට දිව ගියෙමි.

ඔහු අසුන්ගෙන සිටියේ අප සතුව තිබුණු එකම පුටුවේ ය. ඇය ඇඳේ කෙළවරක වාඩිවී සිටියාය. දෙදෙනාම මා ඇතුළු වූ විට මා දෙස බැලූහ. ඔහුගේ දෑස මඟ හැර මා අම්මාගේ දෑස දෙස බැලුවේ සරණක් පතමිනි. තවත් දිගු නිහැඬියාවකින් පසු අම්මා දෙගිඩියාවෙන් මෙන් ඔහු වෙත අත දිගු කර, “මේ ඔයාගේ තාත්තා,” කීවාය.

මට තරමක පුදුමයක් දැනුණු නමුත් කම්පනයක් දැනුණේ නැත. සමහරවිට මට වඩාත්ම දැනෙන්නට ඇත්තේ අවුල්සහගත බවකි. තාත්තා කොහේ හෝ කිසියම් අකාරයකට ජීවත් වන බවක් මම දැන සිටියෙමි. නමුත් ඔහු ගැන මගේ හිතේ ඇඳී තිබුණේ අපැහැදිලි රූපයකි. මට ඔහු මා විසින් මවාගන්නා ලද මගේම ජන කතාවක චරිතයක් මෙන් විය. තාත්තා ගැන මා බොහෝ විට සිහින මවා තිබුණත්, මිල අධික සුරතල් මසුන් හිමි කරගැනීමට දරුවෙකු දකිනා සිහිනයක් මෙන් මා ඊට වැඩි වැදගත්කමක් දී තිබුණේ නැත. ඔහු මෙලෙස මා ඉදිරියේ සිටිනු දැකීම මා හට ‘හම්ටි ඩම්ටි’ ව ජීවමානව දුටු කලෙක මෙන් පුදුමසහගත දෙයක් විය. මා කුමක් කිව යුතුද? මා කියනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මා තාත්තා දෙස බලනු ඇතැයි අපේක්ෂිත බවක් හැඟුණු බැවින් මම ඔහු දෙස බැලුවෙමි.

ඔහුගේ නළල රැළි වැටී තිබුණු අතර දෙකොපුල රළු ව දිස් විය. ඔහු දිනපතා රැවුල බානු ඇතැයි මා උපකල්පනය කළේ තමන්ගේ පියවරු එලෙස කරන බවට මගේ මිතුරන් පවසා තිබුණු බැවිනි. අම්මාට දිනපතාම රැවුල බාන්නට සිදුවුණි නම් එය මහත් සේ විසුළු සහගත කරුණක් වනු ඇති බව මට සිතුණේ මේ අදහසේ මෝඩ බව නොදැන නොවේ.

ඔහු යමක් අනුමත කරන්නා සේ හිස සලා මා දෙස බලාගත්වනම සිටියේ ය.

ඔහු “උඹ හොඳ අපූරු ළමයෙක්,” යැයි කී විට ඔහු ඉන් අදහස් කළේ කුමක්දැයි මම කල්පනා කළෙමි. ඉනික්බිති ඔහු අම්මා දෙස බලා “මෙයා හොඳ අපූරු ළමයෙක්” යැයි නැවත කීවේ අවිනිශ්චිත, දුර්වල හඬකිනි.

අම්මා ඊට පිළිතුරු ලෙස යමක් මුමුණා මා දෙස බැලුවාය. යමෙකු මා ගැන මෙලෙස ප්‍රශංසාමුඛයෙන් කතා කළ විට ඇගේ දෙනෙතේ වෙනදාට නැගෙන දිස්නය ඒ වෙලාවේ දක්නට තිබුණේ නැත. ඒ වෙනුවට එහි තිබුණේ දොස් දකින බැල්මකි. එහි කෝපයක සේයාවක් ද තිබුණු අතර ඈ මේ ලෙස ප්‍රතිචාර දක්වන්නේ ඇයිද යන වග සිතාගැනීමට මා අපොහොසත් විය. අම්මා මා වෙතින් දෑස් ඉවත් කරගනිද්දී හිස පහතට නැඹුරු කරගත් අතර මා ඈ ගැන හොඳින් නොදැන සිටියා නම් ඇගේ දෑසේ දිස් වූයේ නින්දාවක් විඳි බවක් යැයි මා සිතනු ඇත. ඉනික්බිති ඈ ඇගේ වැලමිට දණ මත රඳවා, අත්ල මත නිකට රුවාගෙන සුසුමක් හෙලුවේ නිරතුරුවම ඇගේ මුවෙහි සඳහන් ‘දෙවියනේ, මේ මොන ජීවිතයක්ද!” යන වැකිය නිහඬව කියාපාන්නට මෙනි.

මේ සිදුවන්නේ කුමක්දැයි මම දිගින් දිගටම කල්පනා කළෙමි. වැඩිහිටියන් අමුතු ලෙස හැසිරෙනු මා මීට පෙර නිරීක්ෂණය කර ඇතත්, මගේ නොදැනුවත්කමට ඔබ්බෙන් හැමවිටම කුඩා හෝ තේරුමක්, අවබෝධයක් ඔවුන්ගේ හැසිරීමේ දක්නට තිබිණි. නමුත් මගේ අම්මාගේත් මේ අමුත්තාගේත් හැසිරීම මා සම්පූර්ණයෙන් ම අන්දුන් කුන්දුන් කරවීමට සමත් විය. ඔවුන් කිසිවක් නොකීවේ ඇයි? ඔවුහු එකිනෙකාට වෛර කළෝ ද? ඔහු මගේ පියා වීම ඇයට මෙතරම් වැදගත් වී ද?

ඔහු පැමිණ සිටියේ අම්මා මා වෙතින් ඉවතට ගෙන යෑමටය යන බිය එක් වරම මා වෙලා ගත්තේ ය. මේ ගැන මට කියන්නේ කෙලෙසදැයි ඔවුන් කල්පනා කරමින්, තැවෙමින් සිටිනවා විය යුතුයි. අම්මා මාව තනිකර දමා යනවා ඇත. ඒ තත්පරයේදී අම්මා සමඟ මගේ ඇති බැඳීම, මගේ ජීවිතයේ ඈ සිටීමේ වැදගත්කම මට මනාව වැටහිණි. මා ඇයට ආදරය කළේ වත් වෛර කළේ වත් නැත. ඈ නිතර කෘර ලෙස මට පහර දුන් බැවින් මම ඇයට තරමක් බියෙන් පසුවුනෙමි. නමුත් එවන් අවස්ථාවල මා කඳුළු සලමින් පිටකළ කෝපය, මට දැනුණු වේදනාවට දැක්වූ ඍජු ප්‍රතිචාරයක් විය. මේ පහර දීම් මට වඩා ඇයට වැදගත් බව මට ඒ වෙද්දී කෙසේ හෝ වැටහී තිබිණි. මේ ලෝකය දරුණු තැනක් බව ඈ මට නිතර කීවා ය. මා ඇගේ දරුවා බැවින් සම්පූර්ණයෙන් ම ඇගේ අණසක ට යටත් විය යුතු බව සාමාන්‍ය දෙයක් විය. මේ කෙසේ වෙතත් අප අතර දැඩි බැඳීමක්ද තිබිණි. ඇත්තටම එහි වූයේ අප දෙදෙනාට එකිනෙකා අහිමි වුවහොත් හැම දෙයක්ම අහිමි වේ යන බිය මිසක් වෙනත් සුන්දර සිතිවිල්ලක් නොවේ. මා ‘අම්මා’ කියා හඬ ගැසුවේ ඇයටයි. ඈ මට ආහාර, ඇඳුම් පැළඳුම් සහ පාසල් පොත් ලබා දුන්නාය. ඈ මට හොඳින් හැසිරෙන අයුරු ද කියා දුන් නමුත් ‘හොඳ’ යන්නෙන් ඈ අදහස් කළේ කුමක්දැයි කිසිවිටෙක පැහැදිලි වූයේ නැත. බොහෝ විට ඉන් අදහස් වූයේ ඈ වෙත හොඳින් හැසිරීමයි. නොඑසේ නම් කෘතඥ වීමයි. මේ දෙක බොහෝ විට සමාන ලෙස ගැනුණි. ඈ ඇගේම ක්‍රමයකට මා වෙත උණුහුම පෑ බව කිව හැක. නමුත් නොදැනුවත්වම මෙන් ඈ මට බරපතල අපේක්ෂාවන් රහිතව දිවි ගෙවීමට උගන්වා තිබුණු අතර මේ නිසා මගේ ඉල්ලීම් ඉතා අල්ප විය. මට අවශ්‍ය වූයේ ඈ මා වෙනුවෙන් සිටීම- හැමදාම එලෙසම සිටීම පමණි. දැන් ඊට ද තර්ජනයක් එල්ල වී තිබිණි.

අම්මා මා වෙතින් නික්මීම සිදුවිය හැකි දෙයක් නොවන බවත්, එය මගේ මෝඩ සිතිවිල්ලක් බවත් සිතා මම සිත සනසාගන්නට උත්සාහ කළෙමි. ඒ සමඟම මා මෙතැනින් පිටව ගියොත් හොඳ බව මට සිතෙන්නට විය. සමහරවිට ඔවුන්ට යම් වැඩිහිටි කතාබහක් කරන්නට අවශ්‍යව තිබෙන්නට ඇත. මා දොර වෙතට ක්‍රම ක්‍රමයෙන් ඇදී යන්නට තැත් දරද්දී ඔහු “ඔව් ග්ලැඩිස්, ඇත්තටම සෑහෙන්න කාලයක් ගතවුණා” කී අතර ඔහු කීප වතාවක්ම එය කියා තිබෙන්නට ඇතැයි මට හැඟිණි. ඔවුන් අතර ඇති මේ අපහසුතාවයට හේතුව මා ම විය යුතු බව එවෙලේ තීරණය කළ බැවින් මම මගේ අරමුණ නොසඟවා ම කාමරයෙන් පිටතට යාමට උත්සුක වුණෙමි. එකවරම අම්මා මගේ නම හඬ නඟා කියනු මට ඇසුණි. ඇගේ කටහඬේ තියුණු, දැඩි බවක් විය. මට කාමරයෙන් ඉවත් නොවන්නැයි වදනින් කීම වෙනුවට ඒ හඬේ තානය ප්‍රමාණවත් විය.

අමුත්තා ප්‍රශ්නාර්ථයකින් යුතුව මා දෙස බලා, නැවතත් අම්මා දෙස බලා එකවරම අසුනෙන් නැගිට්ටේය. තමන්ටද මෙතැනින් පිටව යාමට අවශ්‍ය බව පෙන්වූවත් ඔහු තව මඳක් තාවර විය. හදිසියේම ඔහුට යමක් සිහි වූ බවක් පෙනුණි. ඔහු තම සාක්කුවෙන් සිලිං පහක නෝට්ටුවක් ගෙන මා අත තැබුවේය.

“මේකෙන් ඔයාට තෑග්ගක් ගන්න” ඔහු කීවේ ය.

මා තරමක කම්පනයෙන් මුදල් නෝට්ටුව දෙස බලා සිටියෙමි. එය විශාල මුදලක් වීමත්, ඔහු වැන්නකුගෙන් මා එය ලැබීමත් මා පුදුමයට පත් කළේ ය. මේ ගැන අම්මාගේ ප්‍රතිචාරය දැනගැනීමට මම ඈ දෙස බැලුවෙමි.

“ඕක ආපහු දීපන්,” යැයි ඈ කී විට මා පුදුම වූයේ නැත. “ඔහේගේ උදව්වක් නැතිව මම මේ තරම් කල් කොල්ලාව උස් මහත් කළා. දැන් මුකුත් උදව් උවමනා නැහැ.”

මා වහා වහා මුදල් නෝට්ටුව ඔහු වෙත පෑවේ මේ අම්මා ව තවත් කේන්ති ගැන්විය යුතු වෙලාවක් නොවන බව ඉවෙන් මෙන් වටහාගෙනයි. ඔහු ගිය පසු මා ඈ සමඟ තනිවන මොහොත ගැන සිතද්දී මට දැනුණේ බියකි.

අමුත්තා මුදල ප්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තත්, හදිසියේ කතාව නවතා මා වෙතින් මුදල් නෝට්ටුව ගත්තේය. ඔහු කෙරෙන් දිස් වූයේ අපහාස ලැබූ අයෙකුගේ පෙනුමක් සහ දුක්මුසු බවක් වූ බැවින් මට ඔහු ගැන අනුකම්පාවක් ඇතිවෙමින් තිබිණි. ඔහු තමන්ගේ කුඩා ෆෙල්ට් තොප්පිය හිස ලාගෙන වදනකුදු නොකියා යන්නට ගියේ ය. මා ඉන්පසු කිසි දවසක ඔහු ව දුටුවේ නැත.


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Image generated from Canva AI

සිසිල සඟරාව- මාර්තු 2024 කලාපය 

(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)