ඔවුන් ආදරයෙන් බැඳී සිටියේ බිල් බෙහෙවින්ම තරුණ වයසේදී ය. එකල ඔවුහු එක්ව ඇවිදිමින්, කතාකරමින් බොහෝ සන්ධ්‍යාවන් ගෙවූ හ. එහෙත් එක්තරා කාලයකදී නොවැදගත් දෙයකට අමනාප වූ දෙදෙනා ඉන් අනතුරුව කතා කළේ නැත. තමන් ආදරය කළා යැයි ඈ සිතූ කෙනෙක් සමඟ ඈ හදිසියේ ම විවාහ වූවා ය. ගැහැනුන් ගැන කලකිරීමට පත් වූ බිල් දුරක යන්නට ගියේ ය.
ඊයේ වොෂින්ටන් චතුරශ්‍රයේ ඇවිදිද්දී ඇය ඔහුව දුටුවේ වසර ගණනකට පසුවයි.
“බිල් වෝකර්,” ඈ කීවා ය.
ඔහු නතර වූයේය. ඈ වයස්ගත වී ඇති බවක් පෙනුණු නිසා මුලදී ඔහු ඇය ව හඳුනා ගත්තේ නැත.
“මේරි! ඔයා කොහෙන්ද මෙතැනට ආවේ?”
ඈ නොසිතා ම හාදුවක් ලබන්නට මෙන් තම මුහුණ ඔහු වෙත පෑ නමුත් ඔහු අතට අත දෙන්නට තම අත ඇය වෙත දිගු කළේය. ඇය එය ගෙන ඔහුට ආචාර කළා ය.
“මම දැන් ඉන්නේ නිව් යෝක් වල,” ඈ කීවා ය.
“ආ” - ඔහු ආචාරශීලී ලෙස සිනාසුණේ ය. හදිසියේම ඔහුගේ නළල රැළි වනු පෙනුණි.
“ඔයාට මොකද වුණේ කියලා මම නිතර කල්පනා කළා බිල්.”
“මම දැන් නීතිඥයෙක්. නගරයේ සමාගමක වැඩකරන්නේ.”
“බැඳලා ද?
“ඔව්. දරුවෝ දෙන්නෙක් ඉන්නවා.”
“ආ..” ඇය කීවා ය.
ඒ උද්‍යානය හරහා ඔවුන් පසු කර නාඳුණන බොහෝ අය ගමන් කළහ. සන්ධ්‍යාව ගෙවෙමින් තිබිණි. ශීතලක් පැතිරිණි.
“ඔයාගේ මහත්තයා?” ඔහු ඇසීය.
“අපිට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. මම කොලම්බියා විශ්ව විද්‍යාලයේ මුදල් අංශයේ වැඩකරන්නේ.”
“ඔයා සෑහෙන්න… (ඔහුට වුවමනා වූයේ ඈ වියපත් ව ඇති බව කියන්නයි) … හොඳින් බව පේනවා” ඔහු කීවේ ය.
ඇයට එය වැටහිණි. වොෂින්ටන් චතුරශ්‍රයේ විශාල ගස් පෙළ යට සිටිමින් ම තමන් බලාපොරොත්තු සුන් වූ සිතින් අතීතය වෙත දිව යනු ඇයට දැනුණි. ඔහයෝ නගරයේදී ඔවුන් මුණ ගැසෙද්දී ඈ ඔහුට වඩා වයසින් වැඩි ය. දැන් ඇගේ තාරුණ්‍ය ගෙවී තිබිණි. බිල් තවමත් තරුණ ය.
“අපි සෙන්ට්‍රල් පාක්වල බටහිර පැත්තේ ඉන්නේ,” ඈ කීවා ය. “වෙලාවක එන්න අපිව බලන්න”
“හරි,” ඔහු පිළිතුරු දුන්නේ ය. “ඔයාත් වෙලාවක මහත්තයා එක්ක එන්න ඕන අපේ පවුලේ අයත් එක්ක රෑ කෑමකට. ඕන දවසක එන්න, ලුසීලුයි මායි බොහොම සතුටුයි ඔයාලා එනවානම්.”
චතුරශ්‍රයේ වූ ගස් වලින් සෙමෙන් පත්‍ර ගිලිහුණේ සුළඟක් පවා නොමැතිවයි. එය ශාරදයේ සන්ධ්‍යාවක් විය. ඇයට තරමක අසනීප ගතියක් දැනුණි.
“අපි බොහොම සතුටින් ඒ ආරාධනාව පිළිගන්නම්.”
“ඔයාට මගේ දරුවෝ මුනගස්සන්න ඕන” ඔහු සිනාසෙමින් කීවේය.
එක්වරම අඳුර අතරින් දීප්තිමත් රැහැන් වැනි ආලෝක ධාරා මීදුම් බර නිල් පැහැති අවකාශයෙහි මවමින් පස් වන වීදියේ වීදි ලාම්පු සියල්ලම දැල්වුණි..
“අන්න මගේ බස් එක,” ඈ කීවා ය.
“ගුඩ්-බායි” ඔහු නැවතත් අත දිගු කළේ ය.
“කවදාද අපි හමුවෙන්නේ?” ඇයට ඔහුගෙන් අසන්නට වුවමනා වූවත් බස් රථය පිටත් වීමට සූදානම් වී තිබිණි. පස් වන වීදියේ විදුලි ලාම්පු එක් වරක් බොඳවී, දිලිසී නැවතත් බොඳ විය. යමක් කියන්නට තැත් කළහොත් තම මුවින් කිසි දෙයක් පිට නොවණු ඇතැයි බියක් ඇයට දැනුණේ බස් රථයට ගොඩ වෙද්දී යි.
“ගුඩ්-බායි!” ඈ හදිසියේම මහා හඬින් කීවා ය. එහෙත් ඒ වෙද්දී බස් රියේ දොර වැසී තිබිණි.
බස් රථය ගමන් ඇරඹීය. ඔවුන් දෙදෙනා අතර දුර පාර මාරු වන අයගෙන් සහ ඔවුන් නාඳුනන විවිධ මිනිසුන්ගෙන් පිරුණි. හිස් අවකාශයෙන් සහ මිනිසුන්ගෙන් පිරුණි. බිල් ඇගේ දසුන් පථයෙන් මැකී ගියේය. තමන්ගේ ලිපිනය ඔහුට දීමට හෝ ඔහුගේ ලිපිනය ඉල්ලා ගැනීමටත් - ඇගේ බාල ම දරුවාගේ නමත් බිල් බව ඔහුට කියන්නටත් අමතක වූ බව ඇයට සිහි විය.
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the Short Story ‘Early Autumn’ by Langston Hughes
Picture generated by Canva AI
සිසිල මාසික ඊ- සඟරාව - ඔක්තෝම්බර් 2023 කලාපය
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)