June 04, 2023

ආදර මරිෂ්කා,




ආදර මරිෂ්කා,

ඉර එළිය නිවීගෙන යන වෙලාවට ඩැනියුබ් ගඟ අයිනේ තියෙන උද්‍යාන තීරුව හරි ලස්සනයි නේද? ගස් කොළන් වලින් හෙවන වුණු මංතීරු, හැම ඍතුවේම වගේ මලින් පිරුණු මල් පාත්ති..මම පුරුද්දක් හැටියට මෙතැන ඇවිදින්න ගත්තේ මෑතක ඉඳන්. මේ උද්‍යානයේ මම කැමතිම තැන තමයි අශ්වාරෝහක ප්‍රතිමාව ළඟ ලී බංකුව. ඒ එතැනට වසන්ත කාලයේදී උද්‍යානයේ ටියුලිප්, නාසිසස් මල් යායට පේන නිසාත් සරත් කාලයේදී ඇස්පන් ගස් ගොල්ල මවන විසිතුරු කහ පාට සිතුවම පේන නිසාත් කියලා කියන්න පුළුවන්. ඒත් ඇත්තටම නම්, ඇත්තටම නම් …මම එතැන වාඩිවෙන්නේ එතැනට ඔයාව පේන නිසායි.

මේක කියවලා ඔයා කලබල වෙන හැටිත්, ඉක්මණින්ම ලියුම පැත්තකින් තියලා ජනේලයෙන් එබිලා බලන හැටිත් මට මැවිලා පේනවා. ඔයාගේ උඩු තොලේ හීනියට දාඩිය බින්දු මතුවෙනවා. නිල් ලිනන් ගවුම ජනේලෙන් එන හුළඟට ඔයාගේ ඇඟේ එතෙනවා. කලබල වෙන්න එපා මරිෂ්කා, ඔයාගේ ගෙදර ජනේලේ පේනවා කියලා කිව්වාට මම ජනේලෙන් එබිලා ඔයාගේ දිහා බලාගෙන ඉන්නවා කියලා නෙමෙයි කිව්වේ. අනික හතරවෙනි තට්ටුවේ ඉන්න ඔයාව ජනේලෙන් බලන්න නම් මට කුරුල්ලෙක් වගේ ඉගිලිලා එන්නත් වෙනවා!

ලෙයිස්ට්‍රාස් පාරේ අවන්හලේ වැඩ ඇරිලා ගෙදර එද්දී ඒ කාලෙත් ඔයාට හරි මහන්සි බව මට මතකයි. ඒ දවස්වල ඔයා හිටියේ මීටත් දුරනේ. ඒත් ඉස්සරත් ඒ මහන්සිය නොබලා ගෙදර යන ගමන් ඔයා සතියට සැරයක් දෙකක් වෝගන් වීදියේ මහජන පුස්තකාලෙට ගියා නේද? මට මතකයි ඔයාගේ රෙදි මල්ලේ දාගෙන එන පොත් කියවන්න ඔයාට ඉවසිල්ලක් නැති හැටි.

ඇත්තම කියනවානම් ඔයා දැන් ඉන්නේ මේ ගඟ අයිනේ මහල් නිවාසෙක බව මම දැනගත්තෙත් ඔයාගේ ඔය පොත් කියවිල්ල නිසා තමයි. ඒක අහලා ඔයාගේ නළල රැළි වෙන හැටි මට මැවිලා පේනවා. අපි වෙන් වුණාට පස්සේ මම හවසට මේ ඩැනියුබ් ඉවුරේ උද්‍යානයේ ඇවිදින මංතීරුවේ පුරුද්දක් හැටියට ඇවිදින්න ගත්තේ හිත ටිකක් නිදහස් කරගන්නයි. එහෙම ඇවිදලා ඇවිදලා හති වැටුණාම මේ ලී බංකුවේ වාඩිවෙලා ඔහේ බලාගෙන ඉන්නත් මම පුරුදු වුණා. එහෙම ඉන්දැද්දී එක දවසක්- මෙන්න ඔයා මගේ ඇස් දෙක ඉස්සරහා! එහෙම කිව්වට ඔයා හිටියේ මට ඉස්සරහින් තිබුණු ගොඩනැගිල්ලේ උඩුමහලක තමයි ඉතින්. ඔයා ඔයාගේ කාමරේ ජනෙල් පඩිය උඩ ඉඳගෙන තද අවධානෙන් පොතක් කියවමින් හිටියා. මෙච්චර දුරකින් ඔයාව මම අඳුනගත්තේ කොහොමද කියලා ඔයාට හිතෙනවත් ඇති. ඒත් ඔයාගේ හැම ඉරියව්වක්ම මට කටපාඩම් කියලා ඔයාට අමතක වෙලා නැතිව ඇති කියලා මම හිතනවා. තාම ඒක එහෙමමයි මරිෂ්කා. ඔයා මම හිටිය තැනට පිටුපාලා හිටියත්, ඔයා පිටු පෙරලන විදිහ, පිටුවක් කියවලා ටිකක් කල්පනා කරන විදිහ, ඉර එලිය වැටුනාම ඔයාගේ හම රත්තරන් පාටට දිලිසෙන හැටි තාම මගේ ඇස් පියන් යට තියෙනවා.

ඉතින් මරිෂ්කා මම නිතරම ඈත ඉඳන් අනුමාන කරන්න උත්සාහ කරනවා ඔයා කියවන පොත මොකක්ද කියලා. ඒක ඔයා හොයමින් හිටිය මෝසින් හමීඩ්ගේ මොත් ස්මෝක් පොතද? අපි දෙන්නා වාද කළ කොයියෝ ගේ මිනිත්තු එකොළහ පොත ඔයාට ආයෙත් කියවන්න හිතුනාද? එහෙම නැත්නම් ඔයා දාසයවෙනි වතාවටත් මාග්‍රට් ඇට්වුඩ් ගේ පොතක් පිස්සුවෙන් වගේ කියවමින්ද?

මම දන්නවා සමහරවිට මේ ලියුම කියෙව්වාට පස්සේ ඔයා ආයෙත් හවස් වරු වලට ජනෙල් පඩිය උඩ ඉඳගෙන පොත් කියවන එකක් නැති වෙන්නත් පුළුවන් බව. කවුළුවෙන් එපිට උද්‍යානෙ තියෙන ලී බංකුව නොපෙනෙන්න ජනේලෙට ඝන තිර රෙද්දක් වුණත් ඔයා දාන්න බැරි නැහැ. ඒත්.. ඒත්.. මම මේ ලියුම ලිව්වේ… හදිසියේ වත් ඔයාට ජනේලය ළඟට ඇවිත් මට අත වනන්න හිතුනොත් කියලායි. ඔයා කියවන පොත ගැන මගේ අනුමානේ හරි කියලා ඔයාගේ අතේ තියෙන පොත මට පෙන්නමින් ඉස්සර වගේ හඬ නඟලා හිනාවෙන්න ඔයාට හදිසියේ වත් හිතුනොත් කියලායි.

ඉතින් මරිෂ්කා… මම ඒ වෙනුවෙන් මඟ බලාගෙන ඉන්නවා.

මීට,
ඔයාගේ ම
ටොබායස්

Digital painting 

16 comments:

  1. please මරිෂ්කා,
    ඔන්න ඔය පොත පෙන්නලා හිනාවෙන්නකො අනේ
    ඔය තරමටම ඔයාව තේරුම් ගත්ත කෙනෙක්....!
    ආයෙත් ලැබෙන්නෙ නැති වෙයි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි නේද? අනික පොත් ගැන කතා කරන්න පුළුවන් කෙනෙක් කියන්නේ කොච්චර සම්පතක්ද? :D

      Delete
  2. අහ් ඩැනියුබ් නදී තීරය
    අත් අල්ලන් පියමං කළ
    සොඳුරු අතීතය

    ReplyDelete
    Replies
    1. ඔස්ට්‍රියාවට ඒක සැරයක් යන්න ලැබුණා හැබැයි වෙන ගමනක් යද්දී හදිසියෙන්. ඒ නිසා සිරි නරඹන්න වුණේ නැහැ. ආයෙත් යන්න ලිස්ට් එකේ තියෙනවා.
      ඔයගොල්ලන්ගේ නම් හුරු පුරුදු තැන් නේද? :)

      Delete
    2. ඔස්ට්‍රියාව ලස්සනයි. ඒ පැත්තෙන් ඇල්ප්ස් නැග්ගා ස්කි කරන්න. (හේතුව ඉතින් ඒ පැත්තේ ලාභ සහ ලෙහෙසිය නිසා) වෙලාවක යන්න. https://www.tyrol.com/things-to-do/attractions/all-attractions/a-tiroler-zugspitzbahn

      Delete
  3. මරිෂ්කා,බබුෂ්කා ටොබායස්, ඩැනියුබ් දන්නෙ නෑ.ටෝබියස් සහ රේනර් කියලා ජර්මන් ගොබිලො දෙන්නෙක්ව නං මුණගැහිලා තියනවා.

    ඒක ඇරිච්චාවෙකො, මට පුදුමයි ක්‍රිස්ටීන්/කාසි, සුළු ප්‍රාතිහාර්‍ය දෙපාර්තමේන්තුව වගේ ලස්සන කතා "ජනප්‍රිය ලිපි" අතර නැති එක ගැන. 😮😒

    ReplyDelete
    Replies
    1. 19 countries share the Danube River Basin, which makes it the world’s most international river basin. 79 million people of different cultures and languages call the Danube Basin their home. For centuries they have been interconnected through the widely ramified water system of the Danube. 😉 https://www.icpdr.org/main/danube-basin/countries-danube-river-basin#:~:text=19%20countries%20share%20the%20Danube,water%20system%20of%20the%20Danube.

      Delete
    2. බස්සා- Tobias ට මෙහෙ කියන්නේ ටොබායස් කියලා. ජර්මැනිය පැත්තේ ටෝබියස් ද?

      'ජනප්‍රිය ලිපි' තේරීම මගේ පාලනයෙන් පිටයි නේ :) මාත් හැබැයි කල්පනා කරලා තියෙනවා මේ දැන් තියෙන ලිස්ට් එක most visited උනේ කොහොමද කියලා!

      Delete
    3. Thank you for that piece of Info Ajith, I didnt know that!

      Delete
    4. සමහරවිට බස්සා කියලා තියෙන ලස්සන කතා ජනප්‍රිය නැත්තෙ ඒවගෙ ඩ්‍රාමා නැති නිසා වෙන්න ඇති. සුලු පරිමාණ දෙපාර්තමේන්තුව වගේ කතා අපේ heart එකට, empathy වලට address කරන කතා මිසක්, ඩ්‍රාමා ඩ්‍රාමා නෙවෙයිනෙ

      Delete
    5. Lotus- ඒක ඇත්ත, ඒත් ඒ ලිස්ට් එකේ එහෙමකට ලොකුවට කතාබහට ලක් වුණේ වත් නැති පරිවර්තන කවි එහෙමත් තියෙනවා.
      ඔන්න බස්සා ගේ concern ඒක නිසා ෆේමස් කතා ටිකක ලින්ක්ස් දාලා විජට් එකක් දැම්මා පැත්තෙන්. thumbnail option එක නැහැ ඉතින් ඒකට. ඒ නිසා ඇහේ වදින්නේ නැහැ

      Delete
  4. "ඒත්.. මම මේ ලියුම ලිව්වේ… හදිසියේ වත් ඔයාට ජනේලය ළඟට ඇවිත් මට අත වනන්න හිතුනොත් කියලායි". එක අතකින් මේ ආදරේ හරිම needy and clingy. (හැම ආදරේම එහෙම තමයි ඉතින්). අනිත් අතින් අන්තිම මොහොත වෙනකම් පොඩිම හෝ glimmer of hope තියෙන හැටි හොඳට පෙන්නනවා.

    "ඒත් ඔයාගේ හැම ඉරියව්වක්ම මට කටපාඩම් කියලා..." සමහරවිට එතන වෙන්නත් පුලුවන් වැරදුන තැන. Absolutely no need to read too much into a girl's body language!!!. හී හී..

    ReplyDelete
    Replies
    1. A polite stalker :D

      මේ ලියුමෙන් පස්සේ ඔක්කොම නැතිවෙන්න පුළුවන් බව දැනගෙන 'ආවොත් අලියා- ගියොත් වචනේ' කියලා හිතන් ලියපු ටොබායස් කෙනෙක් :)

      Delete
  5. ලස්සන සටහනක්. ආසාවෙන් මවාගෙන කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනුරුද්ධ, මුලින්ම චිත්‍රෙ ඇඳලා පස්සේ ඒකට ගැලපෙන්න තමයි කතාව ලිව්වේ

      Delete
  6. ඉතින් එයා බැලුවද ලියපු කෙනා දිහා🥺🥺🥺

    ReplyDelete