June 28, 2023
'Before the Coffee Gets Cold' & 'Never Let Me Go'
June 26, 2023
සයුර සේ
June 24, 2023
මං සලකුණු
Translation of the poem 'You will teach them to fly' by Mother Theresa
එහෙත් ඔවුන් කිසිදිනක
ඔබගේ පියාසැරිය පියාඹනු නැත
ඔබ ඔවුන්ට සිහින දකින'යුරු කියාදෙනු ඇත
එහෙත් ඔවුන් කිසිදිනක
ඔබගෙ සිහිනය සිහිනෙන් දකිනු නැත
ඔබ ඔවුන්ට ජීවත් වන'යුරු කියාදෙනු ඇත
එහෙත් ඔවුන් කිසිදිනෙක
ඔබගේ ජීවිතය ජීවත්වනු නැත
එනමුදු
ඒ හැම පියාසැරියකම, හැම ජීවිතයකම, හැම සිහිනයකම
ඔබ කියාදුන් මංසලකුණු ඉතිරිව තිබෙනු ඇත.
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Digital painting
June 20, 2023
Accent කතා
Accent ගැන බස්සා ලීව පෝස්ට් එක නිසා තමයි මේ සටහන ලියවුණේ. ඔස්ට්‍රේලියාව බොහොම බහු ජාතික රටක් නේ. ඉතින් මේක ඇවිල්ලා accent ලෝකයක්. එක එක රටින් රටට, එකම රටේ පළාතෙන් පළාතට එකම දේ උච්චාරණය කරන විදිහ අහසට පොලොව වගේ කියන කාරණාව ඇත්තටම වාඩිවෙලා කල්පනා කරන්න වටින දෙයක් බව හිතෙන්නේ මෙහෙම එක එක ජාතීන් එක්ක කල් ගෙවද්දී. උදාහරණයක් හැටියට අපි එක්ක වැඩකරන ප්‍රංශ ජාතික කාන්තාවක් ඉංග්‍රීසි කතාකරන්නේ තනිකරම ප්‍රංශ තාලෙට. හැබැයි එයා ජීවිතෙන් බාගයක් මේ රටේ ජීවත් වෙලා තියෙනවා. ඒත් මුරුසියෙන් ආව, ප්‍රංශ භාෂාව මුල් භාෂාව වුණු තවත් කෙනෙක් කතාකරන්නේ වෙනස් ම තාලෙකට. කලින් පෝස්ට් එකකත් මම ලීව අයිරිෂ් ජාතිකයා කියන දේවල් මට මුලදී මෙලෝ දෙයක් තේරුණේ නැහැ. ඒ නම් වැඩියත්ම h අකුර නැතිව කතා කිරීම my වෙනුවට me කීම වගේ දේවල් නිසා (me 'ouse instead of my house) කාලයක් යද්දී මේවා හුරු වෙලා ගානක් නැතිව ගියා. ඒ වගේම තමයි රටට ආව අලුත ඔසී ඇක්සන්ට් එකත් තේරුම් ගන්න අමාරු වුන එක. ඒ කාලේ ඔසියෙක් එක්ක ෆෝන් එකෙන් කතා කළොත් එහෙම තනිකරම ලොස්ට්. කතා කරද්දී කියන කෙනාගේ කට පේන එකෙනුත් සෑහෙන්න තේරුම් ගැනීමක් වෙන බව මම තේරුම් ගත්තේ ඒ කාලේ. දැන් නම් ඉතින් එහෙම කිසි වෙනසක් නොදැනෙන්නේ අපිත් ඔසී වෙලාද මන්දා.
මේ සටහන ලියන්න හිතුණේ මේ කතාවේම තව පැත්තක් ගැන කියන්න. අපේ පුත්‍රයා මෙරට උපන් නිසා ඉතින් වැඩිහරියක් ඔසී තමයි. සිංහල තේරෙනවා, කතා කරන්නත් පුළුවන්. ඒත් වැඩි බර ඉංග්‍රීසියට. පුතා ඉස්කෝලේ යන්න ගත්ත අලුත දවසක් මට ගෙදර ඇවිත් කිව්වා පන්තියේ ඩුල්සැන්ඩු කියලා ළමයෙක් ඉන්නවා කියලා. මම හිතුවා නිකම් ෆර්නැන්ඩු වගේ නමක් නිසා පෘතුගීසි සම්භවයක් ඇති ළමයෙක් කියලා. ඉතින් සෑහෙන්න කාලයක් පුතා මේ ඩුල්සැන්ඩු ගැන විස්තර කිව්වා. ඒ අවුරුද්දේ මාස කීපයක්ම ගෙවිලා ගියාට පස්සේ පන්තියේ හැමදෙනාගේම විස්තර සහිත class photo එක කොල්ලා ගෙදර ගෙනාවාම තමයි මට වෙච්ච සිද්ධිය තේරුණේ. දෙයියනේ ඒ ළමයාගේ නම දුල්සඳු! තනිකර සිංහල ළමයෙක්. අම්මලා කොච්චර ගලපලා වෙන්නැතිද ඒ තරම් ලස්සන තේරුමක් තියෙන නමක් දාන්න ඇත්තේ. අන්තිමට මෙහෙදී ඒකා කොහෙට වත් නැති ඩුල්සැන්ඩු වුණා! "අනේ පුතේ මේ ළමයාට ලස්සන නමක් තියෙනවානේ, ඔයාවත් එයාට දුල්සඳු කියන්නකෝ" කියලා මම කීවේ ඒ හිතේ අමාරුවටමයි. "No that would be weird, everyone calls him Dul- Sandyu" කියලා පුතා කිව්වා. ඒකත් ඇත්ත තමයි කියලා මට පස්සේ හිතුණා.
දැන් වුණත් පුතාගේ ලංකාවේ යාලුවන්ගේ නම් එයා කියනවා අහන එක අමුතුම අත්දැකීමක්. එයාට ඉන්නවා විරූ- ජා, ආර්යා- නෙතාකා වගේ නම් තියෙන ළමයි. කොල්ලාගේ උච්චාරණය ගැන දන්නා නිසා ඒ විරුජ, ආර්ය, නේතක කියන නම් බව මම දැන් දන්නවා! වැඩිය ඕනේ නැහැ මගේ නමත් ඉස්සර ලංකාවේ ඉන්න කාලේදී පවා ලංකාවේ අයත් වැරදියට උච්චාරණය කරපු එකක්නේ. මගේ uncommon නම නිසා මට හේමමාලි ඉඳන් නීලමනී දක්වා පරාසයේ හැම නමක්ම මිනිස්සු කියලා තියෙනවා. ඒ නිසා ඔසියෝ මගේ නම වැරද්දුවත් දුකක් නැහැ ඉතින්.
උච්චාරණය ගැන කියද්දී මතක් වුණා තවත් සිද්ධියක්. අපේ තාත්තලා සේෂෙල්ස් රටේ රැකියාවලට ගියේ අසූ ගණන්වල මුල. ඒ කාලේ ලංකාවෙන් ගිය සෙට් එකක්ම හිටියා එහෙ. සේෂෙල්ස් වල ඉංග්‍රීසි, ප්‍රංශ භාෂා තිබුණත් පොදුවේ භාවිතා වෙන භාෂාව ක්‍රියෝල්. ඒ කාලේ එහෙ බස් වල බෙල් තිබුණේ නැහැ. බහිද්දී "දේවා!" කියලා කෑගහන්න ඕන කියලා තමයි පරණ ලංකාවේ අය අලුතින් ආව ලංකාවේ අයට කියලා දුන්නේ. ඇත්තටම "දේවා!" කියලා දෙවියන්ව මතක් කළාම බස් එක ඊළඟ හෝල්ට් එකේ නැවැත්තුවා. කාලයක් ගිහින් අපිත් ක්‍රියෝල් ඉගෙනගත්තාම තමයි තේරුණේ එහෙ මිනිස්සු බස් එකෙන් බහින්න ඕන උනාම කියන්නේ "devan" (ඩේවාං) හෙවත් 'ඉස්සරහ' කියන වචනේ මිසක් දෙවියෝ සම්බන්ධ දෙයක් නොවන බව!
අපේ උච්චාරණ ගැනත් එක එක රස කතා ඇති වෙන රටවල කට්ටියට අපි නොදන්නවා වුණාට!
Photo- Canva
June 18, 2023
පරෙවියන්
හැම මංසලකම
රැස් කන නිසා
දුර්වර්ණ යකඩවල
පැහැයෙන් යුතු වූ නිසා
හැම පාන් වාටියක්ම
අහුලා කන නිසා
අප උන්ට මනාප නැත
උන් පැටවුන් උස් මහත් කරන්නේ
රට බීම හලේ
පියස්ස යට ගුලිවෙමිනි
කෑම කැබලි වෙත කොටමින්
අප දෙපා වටා කරකැවෙන්නේ
සුපුරුදු අහංකාර ගමනිනි
කිසි දිනක උන්
ශ්‍රේෂ්ඨත්වයට ළඟා නොවනු ඇත
එහෙත්
ඉඳහිට සංචාරකයෙකු විසින්
අර දුර පෙනෙන
ප්‍රතාපවත් පල්ලියේ සේයාරුවක් ගනිද්දී
ඒ බොඳ වූ රුවේ, පසුබිමේ
උන්, එක්වර
අළු පැහැති අහසට නැඟෙන අයුරු
දිස් වනු ඇත
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Pigeons' by Dhanusha Lameris
Digital painting
June 14, 2023
ගුවන්විදුලි රඟමඬල - 'අම්මලා' රේඩියෝ නාට්‍යය
I, Daniel Blake - Movie Review
මුලින්ම කියන්න ඕන මේක දුක හිතෙන චිත්‍රපටියක් බව. හැබැයි ඒ බව නොදැන බැලුවාත් අන්තිමේදී අපරාදේ කියලා නම් හිතුණේ නැහැ.
මේ කතාව ගෙතෙන්නෙ ඩැනියෙල් කියන තරමක් වයස්ගත පුද්ගලයෙක් ගැන. තනියම ජීවත්වෙන ඔහුට අනතුරකට පස්සේ රැකියාව කරන්න බැරිවෙනවා විතරක් නෙමෙයි ආණ්ඩුවේ ආයතන වල විවිධ අකාර්යක්ෂමතා නිසා ලැබිය යුතු දීමනා අහිමි වෙනවා. මේ නිසා ඔහු මුහුණ දෙන විවිධ කම්කටොලු ගැනත්, තමන් වගේම අසරණ වුණු තවත් පවුලකට ඔහු අහම්බෙන් පිහිට වුණු හැටිත් තමයි මේ කතාවට පසුබිම් වෙන්නේ. කෙනෙකුට අසරණ වෙන්න ලොකු දෙයක් වෙන්න අවශ්‍ය නැති බව ඇත්තටම පුදුම සහගතයි. බඩගින්න, අසාධාරණයට ලක් වීම, ඇහුම්කන් දෙන්න, තමන් වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැති කම, පරිඝණක සාක්ෂරතාව නැතිකම වගේ දේවල් කෙනෙක්ව කොයිතරම් පාගලා දාන්න පුළුවන්ද කියලා හිතුවම ඇත්තටම හිත සසල වෙනවා.
මම නොහිතුව විදිහට මේ චිත්‍රපටිය බලලා මාව කම්පනයට පත් වුණේ මේකේ ඉන්න ඩැනියෙල් වගේම කාර්යාල සගයෙක් මට ඉන්න නිසා. මේ කතාවේ ඩැනියෙල්ගේ හැඩ රුවම තියෙන, ඒ වයසේම වගේ ඉන්න ඔහුට තද අයිරිෂ් accent එකක් තියෙන නිසා කතා කරන්නෙත් ටිකක් ඒ විදිහට. ඔහුත් බිරිඳ ගේ වියෝවෙන් පස්සේ තනියම ජීවත් වෙන්නේ. මේ මෑතක අසනීපයකින් සිහි නැති වීමක් වෙලා පැය ගාණකට පස්සේ සිහිය ආවාම තනියම ගිලන් රථයකට කතාකරලා ඉස්පිරිතාලේ ගිය බව 'අපේ ඩැනියෙල්' කීවේ හිනාවෙමින්. ඒත් ඒ හිනාව ඇතුළත තනි වීමේ අසරණ කමක් තිබුණු නිසා වෙන්නැති මේ චිත්‍රපටිය නිසා මට ඔහුව මතක් වුණේ.
මම වෙසෙන ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් හරියට ඉන්නවා. I, Daniel Blake චිත්‍රපටියෙන් කියවෙන කතාවේ තව version එකක් එයාලාත් අත් විඳිනවා වෙන්න පුළුවන්. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව දුර්වල අය. ඒ වගේ සංක්‍රමණික දෙමව්පියන් වෙනුවෙන් ආයතනවලට ඉංග්‍රීසියෙන් ලිපි ලියන, දුරකථන ඇමතුම් දෙන පුංචි දරුවන් මම බහුලව දැකලා තියෙනවා.
ඉතින් I, Daniel Blake කියන්නේ අපිව තව හිතන්න පොළඹවන චිත්‍රපටියක්.
I, Daniel Blake won the Palme d'Or at the 2016 Cannes Film Festival, the Prix du public at the 2016 Locarno International Film Festival, and the 2017 BAFTA Award for Outstanding British Film.
I, Daniel Blake (2016)
Written by Paul Laverty
Produced by Rebecca O'Brien
Starring: Dave Johns, Hayley Squires
Cinematography Robbie Ryan