June 26, 2022

Anne Tyler ගේ පොත්

එක හුස්මට කියවන්න පුළුවන් පොත් හම්බවෙන්නේ කොයිතරම් කලාතුරකින්ද? පොතක විස්තරේ බලන්නේවත් නැතිව 'මේක රස පොතක්' කියලා සහතිකවම දැනගෙන අපි කියවන්න ගන්නේ කී කාලෙකට සැරයක්ද? කතුවරයෙක්ගේ අලුත් පොතක් එනකම් ඇඟිලි ගැන ගැන මඟ බලාගෙන ඉන්නේ කොයිතරම් අඩුවෙන්ද?

Anne Tyler කියන්නේ මට ඒ වගේ කතුවරියක්. එයාගේ අලුත් පොතක් පිට වෙනකම් මඟ බලාගෙන ඉන්න, පිට වුණාම කොහොම හරි හොයාගන්න, නිදිමරාගෙන පැය ගාණක් ඇතුලත කියවලා ඉවර කරන වර්ගයේ පොත් තමයි මේවා. පොත් එක්කම ජීවිතේ ගතකරන මට මේ වගේ ආසක්ත වීම් වෙන්නේ කලාතුරකින් කියලත් කියන්න ඕන. ඒත් කවදාවත් Anne Tyler මගේ බලාපොරොත්තු කඩ කරලා නැහැ.

මම මුලින්ම Anne Tylerගේ පොතක් කියෙව්වේ අහම්බෙන්, පුස්තකාලෙන් අරගෙන. ඒ Digging to America (2006) කියන පොත. ඒක කියවලා හොඳටම රස වැටිලා මම ඒ බව මාත් එක්ක වැඩකළ මිතුරියෙක් වුණු හෙදර්ට ඒ ගැන කිව්වා. සිනාමුසුව මගේ විස්තරේ අහගෙන හිටිය ඈ ඊළඟ දවසේ ආවේ පොත් පුරවපු පෙට්ටියකුත් අරගෙන. ඒ පෙට්ටියේ එදා මෙදා තුර Anne Tyler ලීව හැම නවකතාවක්ම තිබුණා. බලද්දී මම නොදැන හිටියාට හෙදර්ත් ඒ වෙද්දී Anne Tylerගේ හොඳ රසිකාවක්. ඒ වෙලාවේ මට දැනුණේ සෙල්ලම් බඩු තොගයක් එක සැරේ තෑගි ලැබුණු ළමයෙකුගේ සතුටක්! ඉතින් ඒ පොත් එකතුව මම එකක් පස්සේ එකක් එක හුස්මට කියෙව්වා. ඒ පොත් පෙට්ටිය කියවලා ඉවර වෙද්දී Anne Tyler මගේ හිතේ ස්ථිරවම පදිංචි වෙලා ඉවරයි.

මේ තරම් විශේෂ වෙන්න Anne Tylerගේ ලිවීමේ රහස ඇත්තටම මොකක්ද? ඒ තමයි එයා ලියන්නේ අතිශයින් සාමාන්‍ය එදිනෙදා දේවල් ගැන වීම. බොහොම සාමාන්‍ය මිනිස් හැසිරීම්, පවුල් ඇතුලේ තියෙන පුංචි දිලිසීම්, හැල හැප්පිලි, කඩා වැටීම්, දිනුම් ගැන Anne ලියන්නේ අපිවත් ඒ පවුල් වලට වැළඳගෙන, මුහු කරගෙන. ඒත් මේ සාමාන්‍ය දේවල් බොහොම සියුම්ව කැටයම් කළ, ඔප දැම්ම භාජනයක් වගේ තමයි අපේ අතට ලැබෙන්නේ. එක එක අතට ඒකෙන් පේන දිස්නය, ලස්සන -වෙනස්. මිනිසුන්ගේ ගති විධි සියුම්ව නිරීක්ෂණය කරලා ඒවා අකුරු කරන්න Anne Tylerතරම් දක්ෂ ලේඛකයෙක් මට නම් හමුවෙලා නැහැ. අවුරුදු ගණනාවක් පුරා දිවෙන පවුලක කතා බොහොම පුංචි පොතකට කැටි කරන Anne ඒවා පවුලේ එක එක සාමාජිකයන්ගේ කෝණවලින් අපිට ඉදිරිපත් කරන්නේ අපටවත් නොදැනෙන්න.
 
Anne Tyler 1941දී ඇමෙරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ උපන්නියක්. ඇය මේ වෙද්දී නවකතා 23ක් පළ කර තිබෙනවා. ඒවා අතරින් Dinner at the Homesick Restaurant (1982), The Accidental Tourist (1985) යන ඒවා ප්‍රබන්ධ සඳහා වන පුලිට්සර් සම්මානයට නිර්දේශ වුණු අතර Breathing Lessons (1988) යන නවකතාව 1989 දී එම සම්මානය දිනා ගත්තා. මීට අමතරව ඇගේ ලේඛනය වෙනුවෙන් ඇය මෑන් බුකර් සම්මානය ඇතුළු සම්මාන රැසක් ලබාගෙන තිබෙනවා. ඇගේ පොත් විසිතුනම කියවූ පාඨකයෙක් හැටියට මම නම් වැඩියම කැමති ඇගේ Patchwork Planet (1998) නවකතාවට. ඒ වගේම මේ විස්තරය ලියන්න හේතු වුණේ Anne Tylerගේ අලුත්ම නවකතාව වන French Braid (2022) මම ඊයේ පෙරේදා එක හුස්මට කියවලා ඉවර කළ නිසා.

පාඨකයෙක් පොතක් කියවෙලා ඉවරවෙලා 'අනේ තව ටිකක් කියවන්න තිබුණා නම්, අපරාදේ ඉවර වුණේ' කියලා හිතනවා නම් ඒ තමයි ලේඛකයෙක් ලබන ලොකුම දිනුම කියලා මම හිතන්නේ. ඒ අතින් නම් Anne Tyler බොහොම ඉහළින්ම දිනුම්!




June 16, 2022

මතකය, අමතකවීම සහ Apples චිත්‍රපටිය

මතකය කියන්නේ මම ටිකක් වැඩියෙන් අවධානය දෙන දෙයක්. මගේ වටපිට අය එක්ක සසඳද්දී මට වැඩියෙන් පරණ දේවල් විස්තර සහිතව මතක තියෙන නිසායි ඒ. පුංචි කාලේ සිද්ධ වුණු බොහොම සිල්ලර දේවල්, ඉස්කෝලේ යන කාලේ පරණ කතා, පන්තිවල හිටපු ඔක්කොම ළමයින්ගේ නම්, ඉස්කෝලේ ගුරුවරුන්ගේ නම් එහෙම මට හරි ලේසියෙන් ආයෙත් මතකෙට කැඳවාගන්න පුළුවන්. ඒ වගේම නම් ගම් උපන්දින, දුරකථන අංක එහෙමත් මට බොහෝ දුරට මතකයි.  මම රැකියාව කරන පාසැල් පුස්තකාලයේදී පොත් ගන්න එන දැරියන්ගේ නම් මම මතකයෙන් කියද්දී එයාලාගෙන් ලස්සන හිනාවක් මම ලබනවා. මොනවටද ඔය වගේ සිල්ලර දේවල් වලට මොළේ ඉඩකඩ නාස්ති කරගන්නේ කියලා තමයි හැමෝම මට කියන්නේ. ඒත් අවාසනාවකට මේ මතකය මගේ පාලනයෙන් පිට ඉබේ වෙන දෙයක්. මතක තියාගන්නවා නෙමෙයි, මතක හිටිනවා. ජීවිතේ සමහර රිදෙන, බර දේවල් අමතක කරන්න පුළුවන් නම් මමත් කැමතියි. ඒත් the ability to forget too, is a gift බව මට අකමැත්තෙන් උනත් පිළිගන්න වෙලා තියෙනවා. 

"I have a shocking memory, I remember everything"- Melinda Chapman මේක මටම කීව දෙයක් වගෙයි!

system overload වෙලා මේ ඔක්කොම මතක මට එක තත්පරයෙන් අමතක වෙන්න පුළුවන් බව මගේ මතකය ගැන විහිලු කරන අයට මම මතක් කරලා දෙන්නේ විහිලුවටමත් නෙමෙයි. 'we are who we are because of our memories' කියලා කතාවක් තියෙනවානේ. ඒ නිසා මතකය මැකිලා ගියොත් 'මම' ත් අහෝසි වෙලා යයිද?

මතකය සහ අමතක වීම ගැන කියවෙන චිත්‍රපටියක් ගැන කියන්නයි මේ විස්තර ලිව්වේ. මේ ග්‍රීක චිත්‍රපටියක් වන Apples (Μήλα / Mila) මේ කතාවේදී ලෝකය පුරාම මිනිස්සුන් අතර ඇම්නීසියා හෙවත් අමතකවීමේ රෝගයේ වසංගතයක් පැතිරෙනවා. මීට ගොදුරුවන මැදිවියේ පිරිමියෙක් වන ආරිස් එහෙම අයට අලුතින් අනන්‍යතාවයක් ලබාදීමට කරන පර්යේෂණාත්මක වැඩසටහනකට සම්බන්ධ වෙනවා. මේ අතරතුරදී ඔහු මුහුණ පාන අත්දැකීම් මේ චිත්‍රපටියට පාදක කරගෙන තියෙනවා. හාස්‍ය රසයත්, පාළුව ඉස්මතු කරන දුක්බර බවත් හරියටම එකතු කරලා හදලා තියෙන නිර්මාණයක් මේ. අන්තිමේදී ආරිස් එයාගේ පරණ ජීවිතයට යනවා. එයා ඒ ජීවිතයෙන් නික්මුණේ ඇත්තටම මතකය ගිලිහුණු නිසාද, ආයෙත් එතැනට ගියේ ඇත්තටම මතකය ආපිට ලැබුණු නිසාද කියන ප්‍රශ්නය අපේ හිතේ ඉතුරු කරන්න මේ චිත්‍රපටිය සමත් වෙනවා.



Directed by Christos Nikou
Written by Christos Nikou & Stavros Raptis
Produced by Iraklis Mavroeidis, Angelos Venetis, Aris Dagios, Nikos Smpiliris, Christos Nikou
Starring Aris Servetalis
Cinematography Bartosz Świniarski
Edited by Giorgos Zafeiris
Distributed by Feelgood Entertainment
Release date 2 September 2020



June 12, 2022

දේවි සාහිත සියපත් - කියවීමට ඇරඹුමක්

දේවි සාහිත සියපත් පළමු පියවර - ජුනි 14 අඟහරුවාදා ලංකාවේ වෙලාවෙන් හවස 2ට. (මෙල්බර්න් වෙලාවෙන් හවස 6.30)

This is a public event, anyone interested is welcome to join ❤️




June 10, 2022

අනුකරණය

Translation of the poem 'Mimesis' by Fady Joudah

තම පාපැදියේ හැඬල අතර
පදිංචිව සිටි මකුලුවාට
කරදර කරන්නට
මගේ දියණිය කැමති වූයේ නැත
 
උගේම කැමැත්තෙන්
එතැනින් නික්ම යන තෙක්
ඈ දෙසතියක් බලා සිටියාය
 
'ඔයා ඒ මකුළු දැල කඩා දැම්මොත්
එතැන තමන්ට ගෙදරක් හදන්න
සුදුසු තැනක් නොවන බව
ඌ ඉබේම දැන ගනීවි
ඉන්පස්සේ ඔයාට බයිසිකල් පදින්න පුළුවන්'
කීවෙමි මම
 
'අනෙත් මිනිස්සු සරණාගතයෝ වෙන්නේත්
එහෙම නේද?'
ඈ විමසුවාය

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක


Fady Joudah is a Palestinian American physician, poet, and translator. He was born in Austin, Texas, and grew up in Libya and Saudi Arabia.

sketch - coloured pencils on paper




June 06, 2022

තක්සලාවක් වූ සඟරාව - Readers Digest


පොත් කියවීම සම්බන්ධයෙන් මගේ අත්දැකීම් ගැන මම නිතර ලියනවානේ. ඉස්සර දවසක මගේ කියවීමේ නිධාන කතාව ලිව්වා මෙහෙම. අද ලියන්නේ ඒකෙ වැදගත්ම අතුරු කතාවක්. ඒ තමයි Readers Digest සඟරාව එක්ක මගේ අතීත ගනුදෙනුව.

අවුරුදු දහයේදී සේෂෙල්ස් ඉඳන් ලංකාවට ආව වෙලාවේ මම එකපාරට කියවන්න පොත් නැති අගාධයකට වැටුනා. ඒ වෙද්දී කියවිල්ලට හොඳටම ඇබ්බැහි වෙලා හිටිය මට ඒක නිකම් ඔක්සිජන් නැතිවුණා වගේ වැඩක්. මේ වෙලාවේ මගේ ගැලවීමට ආවේ Readers Digest සඟරාව.

Readers Digest කියන්නේ 1922දී ඇමෙරිකාවේ ඇරඹුණු සඟරාවක්. මේක මාසිකව පළ වුණු- පුංචි කතන්දර, කාලීන තොරතුරු, විහිලු කතා, වචන සෙල්ලම් වගේ රසවත් අංග ගණනාවක එකතුවක්. අපේ තාත්තා 1965 ඉඳන් මේ සඟරාව මිළදීගෙන තිබුණා. අවුරුද්දකට නියමිත සඟරා දොළහ බැඟින් මිටි බැඳලා අපේ ගෙදර පොත් අල්මාරියක ගබඩා කරලා තිබුණා. ඉතින් කියවන්න පොත් නැතිව සා පිපාසෙන් ගේ ඇතුලේ ඇවිදිමින් හිටිය පුංචි කෙල්ලෙකුට හදිසියේම මේ සඟරා එකතුව හම්බ වුණාම ඒක නිධානයක් පහල වුණා වගේ වැඩක්! මේ කාලේ වෙනකොට අවුරුදු විස්සකට වඩා සඟරා මේ එකතුවේ තිබුණා. මේවායේ රසවත් බව තේරුම් ගන්න මට වැඩි කාලයක් ගත වුණේ නැහැ. සඟරා එහෙ මෙහෙ ඇදලා දැම්මොත් තාත්තාගෙන් බැනුම් අහන්න වෙන නිසා මම එක සැරේකට එක සඟරා මිටිය බැගින් මගේ කාමරේට අරන් ගිහින් කියවන්න පුරුදු වුණා.

Readers Digest සඟරාව මගේ ජීවිතේට එක්තරා විදිහක තක්සලාවක් වුණා කිව්වොත් හරි. මම ඒවායේ තිබුණු පුංචි කතන්දර උපරිමයෙන් රස වින්දා. Word Power කොටස කියවලා මගේ භාෂාව තනියම පරීක්ෂා කරගත්තා. Quotes වලට අදටත් මගේ තියෙන තදබල පිස්සුව මතු වෙන්න ඇත්තේ Quotable Quotes අංගය කියවලා වෙන්න ඕන. මට sense of humour එකක් ගොඩ නැඟෙන්න Laughter is the best medicine, Humour in Uniform, Life is Like That වගේ අංග හරහා කියවපු විහිලු දාස් ගණනක් හේතු වෙන්න ඇති. මීට අමතරව හැම සඟරාවකම අන්තිම කෙටි කරන ලද නව කතා පළ වුණා. ඒවා මතක තියාගෙන දශක ගාණකට පස්සේත් ඒවායේ මුල් පොත් හොයාගෙන කියවන්න තරම් මම ඒවාට ඇබ්බැහි වෙලා හිටියේ. Murphy's Kid by Torey Hayden, All Creatures Great and Small by James Herriot, Roots by Alex Haley ඉන් කීපයක් විතරයි.


පරණ Readers Digest සඟරා දෙකක්


ඉතින් මේ අවුරුදු විස්සේ Readers Digest සඟරා එකතුව ඉවරකරන්න මට වැඩි කාලයක් ගත වුණේ නැහැ. එහෙමයි කියලා මම නැවතුණා ද? නැහැ! නැවත නැවත කියවීම කලාවක් නම් මම පිකාසෝ වුණේ ඒ කාලේ. අන්තිම වෙද්දී මම සඟරාවක් අතට ගත්තාම (හැම සඟරාවකම පිටිපස්සේ කවරේ ලස්සන චිත්‍රයක් තිබුණා) ඒකෙ තියෙන විශේෂ කතා මේවා කියන්න පුළුවන් මට්ටමට ඒවා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම digest කරලා තිබ්බා.

ඊටපස්සේ කාලය ගෙවෙද්දී මට වෙන පොත් පත් කියවන්න ලැබුණා තමයි. ඒ මොනවා කියෙව්වත්, පස්සේ කාලෙක ඉස්කෝලේ වැඩ වැඩි වුණත්, විභාග වලට පාඩම් කළත් හැමදාම මගේ safe place එක වුණේ මේ සඟරා එකතුව. නිදිමත හවස්වරු වල, එහෙම නැත්නම් කම්මැලි වැහි දවස්වල Readers Digest සඟරා මිටියක් උස්සන් ඇඳට ගිහින්, ඒවා කියවලා වෙනම ලෝකෙක අතරමං වෙන්න ඉඩ දෙන්න ඒවා මං වෙනුවෙන් ලෑස්ති පිට හිටියා.

දැන් මට අලුත්ම Readers Digest සඟරාවට පිවිසෙන්න ගත වෙන්නේ තත්පරයයි. දැන් e magazine එක තියෙන නිසා අන්තර්ජාලය හරහා සඟරාව දුරකථනයෙන්ම කියවන්න පුළුවන්. තාත්තා නම් තාම සඟරාව physically කියවනවා. කාලෙත් එක්ක සඟරාව ටිකක් පුංචි වෙලා, පින්තූර වල පාට වැඩිවෙලා, අන්තර්ගතය ටිකක් 'කාලීන' වෙලා. ඒත් පරණ පුරුදු අංග ටික නම් මේ දශක ගාණටම එහෙමම තියෙනවා. 

පෙනුම වෙනස් වූ අලුත් Readers Digest සඟරා


මගේ මේ Readers Digest ඇබ්බැහිය ගැන විස්තර කියලාම අපේ ගෙදර උදවියත් ඒ ගැන හොඳටම දන්නවා. මීට අවුරුදු කීපයකට කලින් දොස්තර කෙනෙක්ගේ waiting room එකේ සඟරා ගොඩේ Readers Digest පරණ සඟරාවක් තිබිලා පුතා මගේ ළඟට නිධානයක් වගේ උස්සගෙන ආවේ 'look amma, it's one of those magazines you used to read when you were little!" කියමින්.

මේ වෙද්දී Readers Digest සඟරාව රටවල් 70ක භාෂා 21කින් මුද්‍රණය වෙනවා. අදටත් ඒක එදා වගේම ලෝකය පුරා ජනප්‍රියයි.

කියවන්න දේවල් හිඟ කාලෙක ඒ හිඩැස පුරවලා විතරක් නෙමෙයි කියවන්න තියෙන ආසාව තව තවත් වැඩි කරලා දුන්නු Readers Digest සඟරාව ඇත්තටම මට පරණ යාලුවෙක් වගේ!