June 29, 2020

ජෙරමි ෆිෂර් මහත්මයාගේ කතාව

Translation of ‘The Tale of Mr. Jeremy Fisher’ by Beatrix Potter


එකමත් එක රටක ජෙරමි ෆිෂර් මහත්මයා නමින් ගෙම්බෙක් වාසය කළා. ඔහු ජීවත් වුණේ පොකුණේ කෙළවර බටර්කප් මල් ගාලේ තිබුණු තෙතබරිත පුංචි ගෙදරක. ඒ ගෙදර ගබඩා කාමරයේත් පසුපස කොරිඩෝවේත් නිතරම වතුර පිරී තිබුණා. ඒත් ජෙරමි මහත්මයා තමන්ගේ දෙපා තෙමාගන්න බොහොම කැමැත්තක් දැක්වූවා, අනෙක ඔහුට කවදාවත් හෙම්බිරිස්සාවක් හැදුණේ නැහැ.

දවසක් පොකුණට ලොකු වැහි බින්දු වැටෙන හැටි ඔහු බලා උන්නේ සතුටින්. 

"අද මම ඇමට පනුවෝ ටිකක් අරගෙන ගිහින් රෑ කෑමට තිත්තයෝ අල්ලන්න ඕන" ජෙරමි ෆිෂර් මහත්මයා කීවා. "මම මාළු පහකට වඩා ඇල්ලුවොතින් මගේ යාළුවො වන ඇල්ඩර්මන් ටොලමි ඉබි මහත්මයාටයි සර් අයිසැක් නිව්ටන් දිය හූනු මහත්මයාටයි කෑමට ආරාධනා කරන්න පුළුවන්. හැබැයි ඇල්ඩර්මන් නම් කන්නේ සලාද විතරයි"

ජෙරමි මහත්මයා වැහි කබායක් ඇඳගෙන තමන්ගේ දිස්නේ ගහන බූට්ස් සපත්තු දෙකත් දාගෙන, බිලී පිත්තත් කූඩයත් අරගෙන ලොකු පිමි දෙක තුනක් පැනලා තමන්ගේ ඔරුව නතර කර තිබුණු තැනට ගියා. ඒ ඔරුව අනෙත් නෙලුම් කොළ වගේම කොල පාටට, දිලිසෙමින් තිබුණා. ඒක ගැට ගසා තිබුණේ පොකුණ මැද තිබුණු පන් ගසක. ජෙරමි මහත්මයා රිටක් හැටියට තවත් පන් ගසක් අරගෙන ඔරුව වතුරට තල්ලු කළා. "තිත්තයෝ ඉන්න හොඳ තැනක් මම දන්නවා" ඔහු කීවා. ඉන්පස්සේ ඔහු රිට මඩේ සවිකර, ඔරුව එහි ගැට ගසා, එරමිණියා ගොතාගෙන බිලී බාන ආම්පන්න සුදානම් කළා. බොහොම ලස්සන රතු පැහැති ඉපිල්ලක් ඔහුගේ බිලී පිත්ත කෙළවර තිබුණා. ඔහුගේ බිලී පිත්ත සවිමත් තණකොළ නටුවක්, එහි නූල සිහින් දිග අශ්ව කෙන්දක්, එහි කෙළවරට ඔහු දඟලන පණුවෙක් සවිකළා.

පැය බාගයක් පමණ ඔහු ඉපිල්ල දෙස දෑස් දල්වාගෙන බලා සිටියා. වැහි වතුර ඔහුගේ පිට දිගේ බේරුණා.

"මේක මහා කරදරකාරී වැඩක්, මම හිතන්නේ මම දැන් දවල් කෑම ගත්තොත් හොඳයි." ජෙරමි ෆිෂර් මහත්මයා කීවා.

ඔහු යළි වතාවක් පන් ගාල් අතරින් ඔරුව පැදගෙන ගිහින්, කූඩයෙන් දවල් කෑම එළියට ගත්තා.

"සමනල්ලු මැදට දාපු සැන්ඩ්විච් එකක් කාලා වැස්ස තුරල් වෙනකම් ඉන්න ඕන" ඔහු කීවා

විශාල දිය කුරුමිනියෙක් නෙලුම් කොලයට යටින් ඇවිත් ඔහුගේ බූට්ස් සපත්තුවක් කොනහන්නට වුණා. කුරුමිණියාට ලං වෙන්නට බැරි විදිහට තම දෙපා සකසාගෙන ජෙරමි මහත්මයා දිගටම ආහාර ගන්නට වුණා. පොකුණ අද්දර පන් ගාලේ කිසිවෙක් සෙලවෙන හඬක් වරක් දෙවරක් ඇසුණා.

"ඒ මීයෙක් නෙමෙයි කියලා මම ප්‍රර්ථනා කරනවා" ජෙරමි ෆිෂර් මහත්මයා කීවා. "මං හිතන්නේ මම මෙතැනින් ගියොත් හොඳයි" ඔහු නැවත වතාවක් ටික දුරක් ඔරුව පැදගෙන ගොස් ඇම වතුරට දැම්මා. ඒ මොහොතේම වගේ ඉපිල්ල දරුණු විදිහට හෙලවුනේ සතෙක් ඇම ගිල්ල බව දැනුම්දෙමින්.

"තිත්තයෙක්! තිත්තයෙක්! මම ඌව හොම්බෙන් අල්ලගත්තා!" ජෙරමි ෆිෂර් මහත්මයා බිලී පිත්ත ඔසවමින් කෑ ගැසුවා. ඒත් සිදුවුණේ මහා භයංකාර පුදුම සහගත දෙයක්. ජෙරමි මහත්මයා අල්ලාගෙන තිබුණේ ජැක් ශාප් නමැති කටු පිරුණු මාළුවාව! කටු මාළුවා ඔරුවේ ඒ අතට මේ අතට දඟලමින්, කටු අනිමින්, සපාකන්නට උත්සාහ කරමින් හිඳ නැවතත් වතුරට පැන්නා. ඒ එක්කම වෙනත් පොඩි මාළු කණ්ඩායමක් ම වතුරෙන් පිටට එබිකම් කර ජෙරමි ෆිෂර් මහත්මයාට සමච්චලයට හිනාවුණා. ජෙරමි මහතා තම රිදුණු ඇඟිලි තුඩු කටේ දමා උරමින් බොහොම දුක්බරව ඔරුවේ ගැට්ටේ වාඩිවී වතුර දෙස එබී බලා සිටියා. හදිසියේම කළින් සිද්ධියටත් වඩා අති භයානක දෙයක් සිද්ධ වුණා. ඇත්තටම ඒ වෙලාවේ ජෙරමි මහත්මයා වැහි කබාය පැළඳගෙන නොහිටියානම් මහා විනාසයක් වෙන්න තිබුණා.

මහා සද්දයක් එක්ක ට්‍රවුට් මාලුවෙක් දියෙන් මතුවී ජෙරමි මහත්මයාව එක කටට අල්ලා ගත්තා. 'ඕ.. ඕ .. ඕ" කියා ඔහු කෑගසද්දීම මාළුවා ආපිට හැරී නැවත පොකුණු පතුලටම කිමිදුණා. ඒත් විනාඩි බාගයක් ගතවෙන්නටත් කලින් වැහි කබායේ රස අප්‍රසන්න වූ නිසා මාළුවා ඔහුව කටින් පිටට දැම්මා. ඌ ගිල දැමුවේ ජෙරමි මහත්මයාගේ බූට්ස් සපත්තු ජෝඩුව විතරයි.

සෝඩා බෝතලයක පොරෝප්පයක් මෙන් දිය මතුපිටට ඉල්පී ආ ජෙරමි මහත්මයා, හැකි තරම් වෙර යොදා ඉවුර අතට පීනුවා. මුලින්ම මුණගැසුණු ඉවුරට ගොඩවැදුණු ඔහු ඉරුණු වැහි කබාය පිටින්ම තණ පිට්ටනිය ඔස්සේ ගෙදර වෙත පැන පැන යන්නට වුණා.

"ඒ පයික් මාලුවෙක් නොවුණේ මගේ වාසනාවකට!" ජෙරමි ෆිෂර් මහත්මයා කීවා. "මගේ බිලී පිත්තත් කූඩේත් නැතිවුණා, ඒත් ඒකට කමක් නැහැ මං හිතන්නේ නැහැ මම ආයෙත් කවදාවත් මාළු බාන්න යයි කියලා."

ඔහු තම තුවාල වුණු ඇඟිලි වෙළුම්පටි වලින් වෙලුවා. ඔහුගේ මිතුරන් දෙදෙනාම රෑ කෑමට ආවා. ඔවුන්ට දෙන්නට ඔහු ළඟ මාළු නොතිබුණත් ඔහුගේ ගබඩා කාමරයේ වෙනත් දෙයක් තිබුණා.

සර් අයිසැක් නිව්ටන් දිය හූනු මහත්මයා තමන්ගේ කලු සහ රන් පැහැති මෝස්තරයෙන් යුත් කෙටි කබාය හැඳ සිටියා. ඇල්ඩර්මන් ටොලමි ඉබි මහත්මයා දැල් මල්ලක තමන්ගේ සලාදය ගෙනාවා.

තිත්තයන් වෙනුවට ඔවුන් රෝසට් කළ තණකොළපෙත්තන් කුරුමිණි සෝස් සමඟ කෑවා. ඒක බොහොම රස කෑමක් වෙන්න ඇති කියලා මම නම් විශ්වාස කරනවා!


Illustration by Beatrix Potter for the story The Tale of Jeremy Fisher from wikimedia commons

The Tale of Mr. Jeremy Fisher written and illustrated by Beatrix Potter published by Frederick Warne & Co. in 1906

June 19, 2020

පොත් කියවන්න කම්මැලි ළමයි


"මගේ ළමයා පොත් කියවන්න ආසාම නැහැ අනේ, ඔයා librarian කෙනෙක් නේ, මේකට පිළියමක් කියන්නකෝ"

මට මෙහෙම කියන අය නිතර හම්බවෙනවා. එක අතකට දෙමව්පියෝ මෙහෙම අහනවා කියන්නේ එතන ප්‍රශ්නයක් තියෙන බව තේරුම් අරගෙන, ඒකට විසඳුමක් හොයන්න ඒ අයගේ උනන්දුවක් තියෙනවා කියන එක. ඒත් සමහරු එහෙම අහන්නේ තමන් කිසිම මහන්සියක් නොවී ක්ෂණික විසඳුමක් හොයාගන්න.

ළමයි පොත් කියවන්නේ නැත්තේ ඇයි?

මගෙන් ඔය ප්‍රශ්නය අහන අයගෙන් මමත් ප්‍රශ්නයක් දෙකක් අහනවා. ගෙදර ළමයාට කියවන්න ගැලපෙන පොත් තියෙනවාද? ගොඩාක් ගෙවල් වල තියෙන්නේ ළමයි පුංචිම කාලේ කොහෙන් හරි හම්බවුන පින්තූර පොත්, ඒවායේත් පිටු ගැලවිලා, ළමයි බලි කුරුටු ඇඳලා. එහෙම නැත්නම් අල්මාරියක දාලා අරන් තියපු තාත්තාගේ නීති පොත්, අම්මාගේ විශ්ව විද්‍යාල සටහන්. ඉතින් ළමයෙක් කොහොමද ගෙදරදී පොත් කියවන පුරුද්දක් ඇති කරගන්නේ?

ඊළඟට ප්‍රශ්නය දෙමව්පියන් ඒ දරුවාව පුස්තකාලෙකට, පොත් සාප්පුවකට එක්කගෙන යනවද, එහෙම ගිහින් කැමති පොතක් තෝරාගන්න ඉඩ අරිනවද කියන එක. සාමාන්‍යයෙන් ළමා රූප පොත් එහෙම සාපේක්ෂව මිළ අඩුයි. ඒත් ළමයින්ගේ කියවීමේ මට්ටම් ඉක්මනින් වෙනස්වෙන නිසා ලාබ ම, පලදායීම තෝරාගැනීම පුස්තකාලයකට යන එක. ලංකාවේනම් හැම පළාතේම එක වගේ පුස්තකාල පහසුකම් නැති බව ඇත්ත. ඒත් ළමයි කියවන්න උනන්දු නැහැ කියලා චෝදනා කරන දෙමව්පියන් බොහෝ වේලාවට ලංකාවේ නගරබදව එහෙම නැත්නම් ලංකාවෙන් පිට ඉන්න, පුස්තකාල පහසුකම් තියෙන, ඒවා පාවිච්චි නොකරන අය. ළමයින්ව පුස්තකාලයකට අරගෙන ගියත් බහුතරයක් දෙමව්පියන් ළමයින්ට කැමති පොතක් තොරාගන්න නිදහසක් දෙන්නේ නැහැ.

තුන්වෙනි ප්‍රශ්නේ තමයි ළමයින්ට පුංචි කාලේ ඉඳන් කියවීම හුරු කළා ද කියන එක. බොහෝ වේලාවට මේකට උත්තරයත් නැහැ කියන එක තමයි. පොත්වලට ආදරය කරන්න ළමයින්ට හුරු කරන්න ඕන බිළිඳු කාලෙදිමයි. දරුවන්ට මාස තුන හතරේදී පාට, හැඩතල පේන්න ගනිද්දී ඒගොල්ලන්ට පොත් පෙන්නුවාම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඕස්ට්‍රේලියාවේදී දරුවෝ ඉපදුන අලුත වැඩීම බලන්න අරගෙන යන හෙද සායන වලදී ඒ බිළිඳු වයසට ගැලපෙන පාට තියෙන පොත් නොමිළේ දෙන බව මම දැනගත්තේ ඉස්සර පුතාව ඒවාට අරගෙන යද්දී. අම්මලා තාත්තලා හඬ නඟලා කියන කතන්දර අහගෙන ඉන්නත් දරුවෝ වයසෙන් වැඩෙද්දීආසයි. දරුවෝ පුංචි කාලේ ඒගොල්ලෝ නිදාගන්න කලින් ඒ අයත් එක්ක පොතක් දෙකක් කියවන්න මේ රටවල දෙමව්පියන් පුරුදු වෙලා ඉන්නවා. පොතේ මාතෘකාව ගැන අම්මලා තාත්තලාගේ අත්දැකීම් අදහස් බෙදාගන්නත් කතාන්දරය දරුවාට තේරුණු හැටි ගැන තමන්ගේ අදහස් කියන්නත්, සරලවම කියනවානම් දෙමව්පියන්ට දරුවන්ට ආදරයෙන් ලංවෙලා ඉන්නත් ඒ වෙලාව හරි වටිනවා. අකුරු නොදන්නා අවුරුදු දෙකේ තුනේ ළමයි පින්තුර පොත් පිටින් කටපාඩම් කරගෙන පිටු පෙරලමින් බොරුවට කියවනවා වගේ රඟපාන්නේ පුංචි කාලේ ඉඳන්ම මෙහෙම කියවීමේ ආසාව ඇති කළාමයි. දරුවන්ට නැකතට අකුරු කියවන්න කලින් පොත් පෙන්නන්න හොඳ නැහැ කියලා ලංකාවේ සමහරු කියනවා මම අහලා තියෙනවා. ඒ වගේ යල් පැන ගිය අදහස් වලින් අවාසියක් වෙන්නේ දරුවාටමයි. පුංචි කාලේ ඉඳන් පොත් ඇසුරේ හැදෙන දරුවෝ පොත්වලට ආදරේ කරන්න පටන් ගන්නවා. පොත්වල බලි කුරුටු අඳින්නේ නැතිව, පිටු ඉරන්නේ නැතිව කියවන්න ඉගෙන ගන්නවා.

ඕස්ට්‍රේලියාවේ ඉස්කෝලවල 1, 2, 3 වසරවල දරුවන්ට හැමදාම කතන්දර පොතක් ගෙදර ගෙනියන්න දෙන වැඩසටහනක් තියෙනවා. දරුවාගේ කියවීමේ මට්ටමට ගැලපෙන පොතක් තෝරලා දෙන්නේ ගුරුතුමිය. ඒ පොත දෙමව්පියන් එක්ක එකතුවෙලා කියවලා ඊළඟ දවසට ආයෙත් පාසැලට ගේනවා. කියවීමේ හැකියාව ඉක්මණින් දියුණු වෙන්නයි, වචන මාලා වැඩි දියුණු වෙන්නයි මේක හරිම සාර්ථක ක්‍රමයක්. ඉස්කෝලේදී අඩිතාලම් දාලා දෙන මේ හැකියාව තවත් දියුණු කරන්න දෙමව්පියන්ට ලේසියෙන්ම පුළුවන්.

සමහර දෙමව්පියන්ගේ හිතේ තියෙනවා මගේ දරුවා මෙන්න මේ ජාතියේ පොත් කියවිය යුතුයි කියන අදහස. තමන්ගේ අවුරුදු දහයේ පුතා කැමති fantasy & adventure පොත්වලට බවත් තමන් කැමති පුතා මීට වඩා සාහිත්‍යමය පොත් කියවනවාට බවත් මගේ යෙහෙළියක් මට කීවා. අවුරුදු දහය වගේ කාලයේදී අපිත් මායා බල ගැන, වීර ක්‍රියා ගැන තිබුණු පොත්පත්වලට, රූපවාහිනී වැඩසටහන් වලට කොයිතරම් ආසා කළා ද! ළමයා තමන් ආසා දෙයක් වෙනුවට අපි තීරණය කරන දෙයක් කියවන්න ඕන ඇයි? ළමයින්ට කියවීම එපා වෙන්නේ අපි එහෙම බලකරන්න ගියාම නෙමෙයිද? දූලා තරම් පුතාලා පොත් කියවන්න නැඹුරු නැති බවත් තවත් එක චෝදනාවක්. එහෙම නැති බව ඔප්පු කරන්න අපේ ගෙදරම අවුරුදු දොළහක පොත් ගුල්ලෙක් ඉන්නවා. බොහෝ වේලාවට පිරිමි ළමයි කැමති පොත් ශානර (genre) ගැහැණු ළමයි කැමති ඒවා නෙමෙයි. පිරිමි ළමයි කැමති චරිතාපදාන, වීර කතා, පරිසරය එහෙම නැත්නම් අභ්‍යවකාශය ගැන කරුණු තියෙන non-fiction පොත් වගේ ඒවාට. පිරිමි ළමයෙක් සම වයසේ ගැහැණු ළමයින් බොහොම ආසා Anne of Green Gables පොතට ආසා නොවෙන්න පුළුවන්. ඒ වෙනුවට බොහොම උනන්දුවෙන් The Boy who Harnessed the Wind පොත කියවලා ගෙදරදී සුළං පෙත්තක් හදන්න උත්සාහ ගන්න පුළුවන්. සමහර වෙලාවට ළමයි කැමති ebooks කියවන්න, වාහන ගැන, පරිසරය ගැන සඟරා, එහෙම නැත්නම්ළමා පත්තර කියවන්න. manga චිත්‍රකතා පොත් එකක් ඉවරවෙනකොට තව එකක් කියවන ගැහැණු ළමයිනුත් පිරිමි ළමයිනුත් මම දැකලා තියෙනවා . මගේ පුතා මේ දවස්වල war fictionකියවන්න කැමතියි. එයාගේ ඉස්කෝලේ පුස්තකාලේ war fiction වෙනම එකතුවක්ම තියෙනවලු. මේ හැම කියවීමක්ම කියවීමක්. 'අපි කැමති දේ' කියන කෝවේ දාලා ළමයින්ව මකන්නේ නැතිව අපි ඒ ළමයින් තමන්ගේම රුචි අරුචිකම් ඇති අය විදිහට දකින්න ගත්තා නම් මේ හැම දෙයක්ම තේරුම් ගන්න හරි ලේසියි.

මෙහෙම පැහැදිලි කළාම ගොඩක් අම්මලා අන්තිමේදී කියන එක දෙයක් තියෙනවා. ඒ තමයි 'අනේ ඕවා කරන්න වෙලාවක් නැහැ' කියන එක. එහෙම කියන අය බොහෝ වෙලාවට තමන්ගේ ලේසියට ළමයින්ගේ අවධානය රූපවාහිනිය හරි ඒ වගේ වෙන උපකරණයකට සින්න වෙන්න ඇරලා ඉන්න අය. එහෙම නැත්නම් ගෙදර වැඩට ඉන්න අයට පඩි ගෙවන නිසා දරුවෝ එක්ක කාලය ගත කළ යුත්තේ ඒගොල්ලෝ කියලා හිතන අය. තමන්ගේ දරුවෝ පුංචි කාලේ ඒගොල්ලන්ට කතා පොතක් කියලා දෙන්න දවසකට පැය බාගයක් වෙන් කරන්න බැරි නම්, මාසෙකට සැරයක් වත් පොත් සාප්පුවකට නෙමෙයි නම් අඩුම ගානේ පුස්තකාලයකටවත් ළමයාව එක්කගෙන් ගිහින් නිදහසේ පොත් අතර සැරිසරන්න, කැමති පොතක් තෝරාගන්න ළමයාට ඉඩක් දෙන්න බැරිනම් ඊට එහාට ළමයින්ගේ කියවීමේ පුරුද්ද ගැන කතාකරන්න ඒ අයට අයිතියක් නැහැ කියලා මම හිතනවා. ඒවගේම කියවීමේ පුරුද්ද එක්ක බැඳුනු භාෂා ඥානය, ව්‍යක්ත බව, නිර්මාණශීලී බව ඒ ළමයින්ගේ ජීවිත වලින් ගිලිහුනාම ඒ වගකීමත් ඒ දෙමව්පියන්ටම ගන්න වෙනවා.

මෙල්බර්න් නගරයේ මම රැකියාව කරන බාලිකාවේ පුස්තකාලයේ ප්‍රබන්ධ පොත් එකතුවේ පොත් විසිදාහක් විතර තියෙනවා. ඒ නිසාම අපි එක ළමයෙකුට ගන්න පුළුවන් පොත් ප්‍රමාණය ගැන සීමා පනවලා නැහැ. නිවාඩු කාලයක් කිට්ටු වෙද්දී මේ ඉස්කෝලේ සිසුවියෝ බොහොම ආසාවෙන් පොත් මිටි ගණන් අරගෙන යන හැටි, පොත් රාක්ක ක්‍රමක්‍රමයෙන් හිස් වෙන හැටි බලාගෙන ඉන්න එක මගේ ප්‍රියතම වැඩක්. ඒ කියවීමේ පිපාසය දකිද්දී මමත් ඔය වයසේදී නිදි මරාගෙන කතන්දර පොත් කියෙව්ව හැටි මතක් වෙනවා. අදටත් පොත් කියවීමට මගේ ජීවිතයේ නම් තියෙන්නේ බොහොම ලොකු ඉඩක්.

පුංචි ළමයින්ට අපි ඇතිකරලා දෙන්න ඕන කියවීමේ ආසාව විතරයි. ඒ ගිනි දැල්ල නිවෙන්නේ නැතිව ජීවිත කාලයක්ම තියාගන්න ඊටපස්සේ ඒගොල්ලෝම මහන්සි වෙනවා. පොත් කියවනවා කියන එක පුංචි ළමයින්ට දඬුවමක් නොවිය යුතුයි. ප්‍රසිද්ධ කතුවරයෙක් වන Neil Gaiman මේ කියලා තියෙන විදිහට ඒක තමන්ට සතුටක් ගේන දෙයක් විය යුතුයි. ඒ සතුට හොයාගන්න ඉඩ සලසලා දෙන එක දෙමව්පියන් විසින් දරුවන්ට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක්.



June 16, 2020

අසල්වැසියෝ

Translation of the short story ‘Neighbours’ by Tim Winton




තරුණ යුවළ ඒ පළාතේ පදිංචි වුණු අලුත, වටපිටාව ගැන ඔවුන් පසුවුණේ තරමක කල්පනාවෙන්. ඒ මුළු වීදියේම වාසය කළේ යුරෝපයෙන් සංක්‍රමණය වුණු උදවිය. මේ නිසා අලුත බැන්ද ජෝඩුවට තමන් පිටරටක තාවකාලිකව පදිංචි වුණා වගේ හැඟීමක් ඇතිවුණා. එහා ගෙදර උන්නේ මැසිඩෝනියානු පවුලක්. දකුණු පැත්තේ නිවසේ වාසය කළේ පෝලන්තයෙන් ආව වැන්දඹු පුරුෂයෙක්. 

අලුත් යුවළ පදිංචි වුණු නිවස කුඩා එකක්. ඒත් එහි උස් වහල නිසාත්, වීදුරු ජනෙල් නිසාත් එය කදිම බංගලාවක් වගේ දැනුණා. තරුණයා නිවසේ තමන්ගේ අධ්‍යයන කටයුතු කළ කාමරයේ ජනේලයෙන් බලද්දී ඔහුට සෙසු නිවාසවල පියැසි වලටත්, අවට තිබුණු පරණ මෝටර් රථ වෙළඳසැල් වලටත් ඉහළින් ඈත පෙනුණා. ඔවුන්ගේ සුරතල් බල්ලාව ඇවිදින්නට රැගෙන යන උද්‍යානයේ මෝර්ටන් බේ වර්ගයේ අත්තික්කා ගස් පවා එතැනට ඔහුට හොඳින් පෙනුණා. ඔවුන්ගේ කීකරු, ලොම් හැලෙන කොලී බල්ලා ගැන අසල්වැසියන් දැක්වූයේ පරෙස්සම් සහගත බවක්. 

අසල්වැසියන් යහපත් නම් ඒ අය ගැන නිතර අසන්නට දකින්නට නොලැබෙන බවයි ඔවුන් මින් පෙර විසූ පෙදෙස්වල අත්දැක තිබුණේ. ඒත් මෙහිදී පාන්දරම වටපිටින් ඇසෙන්නට ලැබෙන කාරන, නාන හඬවල් මුලදී ඔවුන්ට තිගැස්මක් ඇතිකළා. මැසිඩෝනියානු පවුල නම් නිරන්තරයෙන්ම එකිනෙකාට කෑ ගැසුවා, බැණ වැදුණා, දෙස් දෙවොල් තිබ්බා. තම අසල්වැසියන් එකිනෙකා මරානොගන්නා බවත්, මේ ඔවුන් කතාබහ කරන හැටි බවත් තේරුම්ගන්නට අලුත් පදිංචිකරුවන්ට හය මසක් ගතවුණා. වයසක පෝලන්ත මිනිසා ලෑලි වලට ඇන ගසමින් නැවතත් ඒවා ගලවමින් දවසෙන් වැඩි ප්‍රමාණයක් ගත කළා. ඔහුගේ ගෙවත්ත පරණ ලී දඬු වලින් පිරී තිබුණත් ඔහු ඒවා එකතුකරනවා මිස ඉන් යමක් තනන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. 

මාස කිහිපයක් ගතවෙන තුරුම අසල්වැසි සබඳතා අපහසු වුණා. අලුත් පදිංචිකරුවන් උදෑසන අවදිවෙන වෙලාව ගැන මැසිඩෝනියානුවන් එසවුණු දෙබැමින් අප්‍රසාදය පෙන්වූවා. බිරිඳ රැකියාවකට යද්දී තමන් පර්යේෂණ නිබන්ධනය ලිවීමට ගෙදර නැවතී සිටීම ඔවුන් අනුමත නොකළ බව ඔහුට වැටහුණා. අසල්වැසි නිවසේ කුඩා පිරිමි දරුවා පාරට මුත්‍රා කරන අයුරු ඔහු පිළිකුලෙන් බලා සිටියා. වරක් කොලුවා නිවස පසුපස පඩිය උඩ සිට බළලාගේ ඇඟටත් මුත්‍රා කරනු තරුණයා දුටුවා. කොලුවාගේ කොණ්ඩය නිතර බූ ගා තිබුණේ එය ඝනව වැඩීම සඳහා විය යුතු යැයි ඔහු උපකල්පනය කළා. තම නිල් දෑස පමණක් දිස්වෙන ලෙස වැට අද්දර සිට මෙපිට බලා සිටි කොලුවා නිසා තරුණයා අපහසුතාවයට පත් වුණා. 

සරත් කාලයේදී තරුණ යුවළ නිවස පසුපස ගෙවත්තේ කසළ ඉවත් කර, පිරිසිදු කර, බිම් කොටා, පොහොර යොදද්දී අසල්වැසියන් වුවමනාවෙන් ඒ දෙස බලා සිටියා. ඔවුන් ලීක්ස්, ළූනු, ගෝවා, බ්‍රසල් ස්ප්‍රවුට් සහ බෝංචි සිටවද්දී අසල්වැසියන් වැටට උඩින් ඔවුන්ට පැල අතර දුර පිළිබඳව, බිම් සැකසීම පිළිබඳව, පොහොර වර්ග පිළිබඳව උපදෙස් දුන්නා. ඔවුන්ගේ ඇඟිලි ගැසීම් ගැන මනාපයක් නොතිබුණත් තරුණයා ඔවුන්ගේ උපදෙස්වලට ප්‍රවේශමෙන් ඇහුම්කන් දුන්නා. ඔහුගේ බිරිඳ නම් අසල්වැසි කොලුවාගේ වැඩීගෙන එන කෙස් කොට සහිත හිස අතගාන්නට තරම් නිර්භීත වුණා. කළු දෑසක් සහ මස් වෙළෙන්දෙක්ගේ වැනි බාහු තිබුණු හැඩි දැඩි කාන්තාවක් ඔවුන්ට පැලකරන්නට සුදු ළූනු බික් මල්ලක් දුන්නා. 

වැඩි කලක් ගතවෙන්නට පෙර තරුණයාත් තරුණියත් කුකුල් කොටුවක් තැනුවා. එය කඩාවැටෙන අයුරු අසල්වැසියන් බලා සිටියා. පෝලන්ත ජාතික වැන්දඹු මිනිසා ආරාධනා නොලබා ම වැටෙන් රිංගා ඇවිත් එය ඔවුන්ට යළි තනා දුන්නා. ඔහු කී කිසි දෙයක් ඔවුන්ට වැටහුණේ නැහැ. 

සරත් කාලය ගෙවී ශීත කාලය පැමිණෙද්දී රත්පැහැ හවස්වරුවලට අනතුරුව හදිසි අඳුරු රාත්‍රී කාල එළඹුණා. දර දැවෙන දුම් සුවඳ පැතිරෙද්දී, දවසේ නිමාව සටහන් කරමින් කුකුළන් හඬලද්දී තමන් අසල්වැසියන් හා මඳහස නඟන බව තරුණ යුවලට දැනුණා. ඔවුන් දුන් ගෝවා ගෙඩි හුවමාරුවට අසල්වැසියන්ගෙන් වයින් සහ දර ලැබුණා. තරුණයා විසිවෙනි සියවසේ නවකතාවේ සංවර්ධනය ගැන වූ ඔහුගේ පර්යේෂණ නිබන්ධනය සම්පූර්ණ කරන්නට සීරුවට වෙහෙසුණා. ඔහු බිරිඳ වෙනුවෙන් රෑ කෑම පිස, ඇය රෝහලේ අකාර්යක්ෂම බව ගැන, කරදරකාරී රෝගීන් ගැන කියන කතන්දර අසා සිටියා. පාරේ ඇවිදින්නට යද්දී ඔවුන් තවදුරටත් මුහුණු බිමට නැඹුරුකරගෙන ගියේ නැහැ. ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන්ව බලන්නට පැමිණි විට තිගැස්මෙන් යුතුව වැටවල් එපිට බලද්දී ඔවුන්ට උඩඟු, ආඩම්බරයක් දැනුණා. 

ශීත කාලයේදී ඔවුන් විශාල නිහඬ මස්කොවි තාරාවන් ඇති කළා. උන් වැස්සේ තෙමෙමින් තැන තැන හිටගෙන, ඉබේ බර වැඩිවෙමින් පසුවුනා. වසන්ත කාලයේදී මැසිඩෝනියානු පවුල තාරාවන් මරණ අයුරු, උන්ගේ පිහාටු ගලවා සකසන අයුරු ඔවුන්ට ඉගැන්වූවා. සම්ප්‍රදායක ලෙස පිරිමින් මස් කපමින්, ගැහැනුන් පිහාටු ගලවමින් ගෙවත්තේ තැන තැන ලී කොටන් උඩ, මුණින් හැරවූ බාල්දි උඩ වාඩිවී එකිනෙකාට යන්තමින් වැටහෙන කතන්දර කියාගත්තා. පාන්දර මීදුමත්, අවට පැතිරුණු හුමාලයත්, කැඩුණු කතාබහත් අතරේ තරුණයාටත් තරුණියටත් මත් බවක් දැනුණා. තැන තැන විසිරුණු තාරාවන්ගේ කඳින් වෙන් වූ හිස් සමඟ බළලා සෙල්ලම් කරමින් සිටියා. කොලුවා බළලාගේ වල්ගයෙන් ඇද්දා. තමනුත් කෑගසමින් පසුවන බව අලුත් පදිංචිකරුවන්ට වැටහුණා. 

එහෙත් ඔවුන් ගැබ් ගැනීමක් නම් සැලසුම් කර තිබුණේම නැහැ. මේ තරම් ඉක්මනින් දෙමව්පියන් වීමට සිදුවීම ගැන ඔවුන්ට මහත් කම්පනයක් දැනුණා. ඔවුන්ගේ මිතුරු මිතුරියන්ට එක්කෝ දරුවන් සිටියේම නැහැ. නැත්නම් එය සිදුවුණේ විවාහ වී වසර ගණනක් ගතවුණු පසුව. තරුණිය මාතෘ නිවාඩු ගන්නට කටයුතු සූදානම් කළා. තරුණයා විසිවෙනි සියවසේ නවකතාවේ සංවර්ධනය ගැන ඔහුගේ පර්යේෂණ නිබන්ධනය වෙනුවෙන් වෙහෙසුණා.

පෝලන්ත ජාතික වැන්දඹු මිනිසා කුමක්දෝ තනන්නට පටන්ගෙන තිබුණා. වසන්තයේ අග භාගයේ පාන්දර ජාමවල, මෙතෙක් කල් එක්රැස් කර තිබුණු දැව දඬු යොදාගෙන ඔහු කණු සිටවමින්, සිමෙන්ති දමමින් සිටියා. තරුණ යුවළ ඇඳේ ඒ මේ අත පෙරළෙමින්, ඔහුට නොඇසෙන්නට ඔහුට ශාප කළා. වැන්දඹු මිනිසා වුවමනාවෙන්ම ඔවුන්ට එදිරිවාදිකම් කරනවාදැයි තරුණ සැමියාට ඇතැම් විට සැක හිතුණා. තරුණ බිරිඳ උදෑසනට වමනය කළා. තරුණයා පීනසෙන් පීඩා වින්දා.

වැඩිකල් ගතවෙන්නට පෙර ගැබ් ගැනීම ගැන අහල පහළ හැම කෙනෙක්ම දැනසිටින බව තරුණ යුවලට වැටහුණා. කිසිම වෙහෙසක් නැතිව මිනිසුන් ඔවුන් හා නිරතුරුව හිනැහුනා. විදෙස් කෑම වර්ග විකුණන කඩයේ හිමිකරු පුංචි තෑගී ලෙස ඇයට චොකලට් සහ ඔහුට දුම්වැටි පැකට්ටු දුන්නා. ඔහු දුම් පානය නොකළ නිසා ඒවා නිවසේ අරන් තැබුවා. ගිම්හානයේදී ඉතාලි ගැහැණු බිළිඳාට නම් යෝජනා කරන්නට වුණා. තරුණිය පාරේදී මුණගැහුණු විට ග්‍රීක ගැහැනුන් ඇගේ සාය මතුපිටින් කුස අතගා ඇයට ලැබෙන්නට ඉන්නේ පිරිමි දරුවකු බවට අනාවැකි කීවා. ගිම්හානයේ අග භාගය වෙද්දී අසල්වැසි කාන්තාව බිළිඳා ට හිස්වැසුම් සහ පාවහන් සහිත සම්පූර්ණ ඇඳුම් කට්ට්ලයක්ම ගොතා අවසන් කර තිබුණා. තරුණියට සතුටක්, සිරවුණු බවක්, කෘතඥ බවක් මෙන්ම නොරිස්සීමක් දැනුණා.

ගිම්හානය අවසන් වෙද්දී අසල්වැසි පෝලන්ත වැන්දඹු මිනිසා තනමින් උන් මෝටර් රථ දෙකකට ඉඩ ඇති ගරාජයේ වැඩ අවසන් කර තිබුණා. එක් මෝටර් රථයක්වත් නැති කෙනෙකුට මෙවැනි දෙයක් කළ හැකිදැයි තරුණයාට විශ්වාස කරන්නත් අපහසු වුණා. ශබ්දය ගැන පැමිණිල්ලක් කිරීම ගැන ඔහු කල්පනා කරමින් සිටිද්දී පෝලන්ත මිනිසා ඔවුන්ගේ ගිනි උදුන සඳහා වීල්බැරැක්කයක් පිරෙන්නට ලී කැබලි ගෙන ආවා. 

ප්‍රසව වේදනාව එළඹුණේ අනපේක්ෂිත වේලාවක. තරුණයා විසිවෙනි සියවසේ නවකතාව අත්හැර දුරකථනය ළංකරගත්තා. ඔහුගේ බිරිඳ කාලය ගෙවාගන්නට ගිනි උදුනේ තීන්ත ගාන්නට පටන් ගත්තා. වින්නඹු කාන්තාව පැමිණ ඇයට එම කාර්යය නිමකරන්නට උපකාර කරද්දී ඔහු ප්‍රශ්නාකාරයෙන් ප්‍රකාශ නිකුත් කරමින් නිවසේ එහෙ මෙහෙ දිව්වා. ඔහුගේ බිරිඳ කුසත් ඔසවාගෙන ඔහුගේ හැසිරීම් පරීක්ෂාකරමින් නිවසේ ඇවිද්දා. තව දර ගෙන එන්නට නිවසින් පිටතට ගිය විට වැටවල් අද්දර මුහුණු රැසක් පෙළගැසී ඇති අයුරු මැකීගෙන යන හිරුඑළියෙන් ඔහු දුටුවා. ඔහු මුහුණු දොළහක් ගණන් කළා. මැසිඩෝනියානු පවුල අත් වනා සුබපැතුම් වැනි කුමක්දෝ කියා කෑ ගැසුවා.

රාත්‍රිය ගෙවෙද්දී තරුණිය ප්‍රසව වේදනා අතරතුර කාලයේ වරින්වර නිදාගනිමින්, ඇවිදිමින්, කෑ ගසමින් ගතකළා. ඇය උණුසුම් දිය ස්නානය කර, අයිස් හපමින්, කන්නට සොසේජස් ඉල්ලමින් සිටියා. ඇගේ ගර්භාෂය පහත් වෙද්දී කුස උඩු අතට තෙරපුණා. ඇගේ චලනයත්, ගිනි උදුනේ එළියත් නිසා ඇගේ දහදිය සිනිඳු මකුළුදැල් මෙන් දිලිසුණා. රැය ගෙවී ගියා. වින්නඹු කාන්තාව කොඳුරමින් සිටියා. තරුණයා බිරිඳගේ පිට අතගාමින්, ඇයට අයිස් කැට කවමින්, ඇගේ දෙතොලේ තෙල් ආලේප කරමින් සිටියා. 

ඉන්පසු එළඹුණේ තල්ලු කිරීමේ අදියර. ඔහු ඇයව පිරිමදිමින්, සිදුවන දේ ගැන දෑස් විදා බලමින් කෑ නොගසා ඉන්නට උත්සාහ කරමින් සිටියා. තරුණිය ඇණතියා වාඩිවෙද්දී ගෙබිම සසල වුණා. ඈ සතුව තිබුණු ශක්තියත් දැනුවත්බවත් ඔහුට දැනුණා. ඇය තව තවත් වෙහෙසුණා. ඇගේ මුහුණ රත් පැහැව තිබුණා. අදිසි බාධකය හා ගැටෙමින් ඇය නොනවත්වා තල්ලු කරමින් සිටියා. හදිසියේම බාධකය බිඳී ගොස් ඇය ඒ කඩඉමෙන් එතෙර වුණා. බිළිඳා ඇගේ ළයට ලං කරද්දී ඔහුගේ මුහුණේ පෙනුම දැක තරුණයා විස්මයට පත්වුණා. බිළිඳා එක් ඇසක් විවර කර පියා දෙස බලා තනපුඩුවක් අල්ලා ගත්තා. බිළිඳාගේ ඇඟේ පෙකනිවැල එතී උපත් දියරත්, මවගේ දහදියත් තැවරී තිබුණා. තරුණිය වැරෙන් හුස්ම ගෙන දරුවාගේ පුංචි තට්ටම් එක් අතකින් අල්ලාගත්තා. කොල්ලෙක්, ඈ කීවා. තත්පරයකට තන පුඩුව අතහැරුණු බිළිඳා හඬන්නට වුණා. නිවසේ පිටතින් කෑගසන හඬක් තරුණයාට ඇසුණා. ඔහු පසුපස දොරටුව අද්දරට ගියා. වැටේ මැසිඩෝනියානු පැත්තේ නිදිමත මුහණු පෝලිම ඔහු දැක ප්‍රීති ඝෝෂා කරන්නට පටන් ගත් විට තරුණයා වැලපෙන්නට වුණා. මේ අවස්ථාවට මුහුණ දෙන්නට ඔහුගේ විසිවෙනි සියවසේ නවකතාවවත් ඔහුව සුදානම් කර තිබුණේ නැහැ. 


Neighbours by Tim Winton

from the book ‘Cousins- Across the seas, a selection of short stories from the countries of the Commonwealth (2008)

Copyright free photo by Bonny Kittle- from Unsplash


June 15, 2020

නරියෙක්!


නරියා කියන්නේ මම හරි ආස සතෙක්. ඒ ඌගේ අමුතු ලස්සනක් තියෙන නිසා. අපි වැඩියම දන්නේ පොඩි කාලේ කියවපු කතන්දර වල හිටිය මිදි තිත්තයි කිව්ව, නිල් බාල්දිය ඇඟේ හලා ගත්ත, සිංහයා ව රැවට්ටුව කපටි නරි හාමි ගැනනේ. ඒත් රුසියන් රූප පොත්වල හරි ලස්සන නරි හාමිලා හිටියා. 

ලංකාවේදී කොයිතරම් නරි ගැන අහලා තිබුණත් මම නම් ඇත්තටම නරියෙක් ව හරියකට දැක්කේ මෙහෙදී. ඕස්ට්‍රේලියාවට නරි ගෙනත් තියෙන්නේ යුරෝපයෙන්. ඒ ගෙනත් තියෙන්නෙත් යුරෝපීය ජාතිකයන්ට විනෝදයට දඩයමේ ගිහින් වෙඩි තියලා සතුටු වෙන්න! ඒත් නොහිතුව විදිහට මෙහෙ නරි හරි ඉක්මනට බෝ වෙලා. දැන් මෙහෙ නරි සලකන්නේ pests ලා හැටියට. දැන් නගර ආශ්‍රිතවත් ලඳු කැලෑ වල හැමතැනම මේගොල්ලෝ පදිංචි වෙලා ඉන්නවා. රෑට ගෙවතු වලට පැනලා නිදැල්ලේ ඉන්නේ හාවෝ පූසෝ වගේ සුරතල් සත්තු කාලා දාන්නත් මේගොල්ලෝ හරි දක්ෂයි. ඒත් නරි නිශාචර සත්තු නිසා අපිට ඒගොල්ලන්ව ලේසියෙන් දකින්න වෙන්නේ නැහැ. අපිට මෙහෙදී නරි දකින්න ලැබෙන්නේ මැරිලා ඉන්දැද්දී! පාර අද්දර වදුලේ ජීවත් වෙලා උන්නු නරි, පාර පනින්න ගිහින් වාහන වල හැපිලා මැරිලා ඉන්නවා උදේට අධිවේගී පාරේ වැඩට යද්දී නිතර දකින්න පුළුවන්. ඒ නරි අපි ඉස්සර කතන්දර පොත්වල දැක්ක විදිහටම හරිම ලස්සනයි. රතු-තැඹිලි බූසි ලොම්, උල් මූන, සුදු කෙලවරක් තියෙන ලස්සන පිම්බුණු වලිගෙ. උන් පාර අයිනේ වැතිරිලා ඉන්නේ හරියට නිදි වගේ. ඒත් ඉතින් ඒ ඉන්නේ මැරිලා බව තේරුම්ගන්න අමාරු නැහැ. එහෙම දේවල් දැකපු දවස්, දවසම ටිකක් අඳුරුයි.

මේ ඉස්සර එහෙම දවසක ලිව්ව කවියක්. පරණ සටහන් එකතුවක තිබිලා හම්බවුණේ.

a fox, by the freeway, dead.

මියෙන්නට පුලුවන්ද
මෙහෙම්මම සීරුවෙන්?
ගැඹුරු නින්දක පතුල
සෙමෙන් සැරිසරන මෙන්?
මියෙන්නට පුලුවන්ද
කිසිත් සිදු නොවූ ලෙසින්?
ලේ බිඳක් නොහලාම
සුව පහසු විලාසෙන්?
මැකෙන්නට පුලුවන්ද
ලෝකයක මතකයෙන්?
රතු- දුඹුරු කබායම
පොරවාගෙන සීතලෙන්?

-2013-


මගේ නරි obsession එක ගැන දන්නා පුතා තමයි කිව්වේ 'draw  fox, Amma!' කියලා. මේ චිත්‍රය ඇඳුනේ ඒ නිසායි


drawn with touchpad on Paint




June 08, 2020

කටු සහ මල්




මේක මේ ලෝකෙට සෑහෙන්න සමානකම් තියෙන සමාන්තර ලෝකයක කතාවක්. එහේත් මෙහෙ විදිහටම මිනිස්සු, ගස් වැල්, සතා සිව්පාවා, ඇළ දොළ ගංගා තිබුණා. මිනිස්සු උදේට නැගිටලා කාලා බීලා අඬලා දොඩලා ගයලා නටලා රස්සාවල් කරලා ගෙදර ඇවිල්ලා නිදාගත්තා. ඒත් ඒ ලෝකේ එක පුංචි වෙනසක් තිබුණා. පුංචියි කියන්නත් බැහැ ඉතින්. එහෙ සමහර මිනිස්සු තමන්ගේ ජීවිතවල සැරිසරද්දී කකුලේ එක ජාතියක කටු ඇනුණා. මේවා ඇහැට පේන්නේ නැති ජාතියක්. සමහර වෙලාවට ඒ මිනිස්සු ඇස් ඇරගෙනම ඒ කටු නොදැක කටු ගාලට ඇවිදගෙන ගියා. ගොඩාක් අයගේ මේ කටු ඇනුණේ තරුණ කාලෙදී වුණත් එහෙමයි කියලා වයස් භේදයක් තිබුණෙත් නැහැ. මේ කටු ඇනුණාම පිටතට පේන ලක්ෂණ අඩුයි. හදවත ඉරිතැලීම තමයි නොපෙනෙන ප්‍රධාන ලක්ෂණය. නින්ද නොයෑම, කෑම අරුචිය, අධික ලෙස කඳුළු ගැලීම වගේ දේවලුත් බහුලව සිදු වුණා. ඒත් ඒ ලක්ෂණ ලේසියෙන් හංගන්න පුළුවන් නිසා කටු ඇනුණු උදවිය බොහෝ දුරට තමන්ගේ රෝග ලක්ෂණ නොපෙන්වා තම තමන්ගේ එදිනෙදා රාජකාරි කරගත්තා.

මෙහෙම කටු ඇනුණු අය අතරින් සමහර අයට විතරක් ඒ ලෝකේදී එක වරප්‍රසාදයක් ඉබේ ලැබිලා තිබුණා. ඒ තමයි අර ඇනුණු කටුවේ රිදිල්ල උරාගෙන හිස් මුදුනේ මල් පුබුදුවන්න. ඉතින් කටු ඇනුණු සමහර අය නිතර මේ විදිහට එක එක විදිහේ මල් පිබිදුවා. එක එක්කෙනාගේ මල් එකින් එකට වෙනස් වුණත් ඒ හැම එකකම තිබුණේ එකම සුවඳක්. සමහරවෙලාවට පාරේ තොටේ යද්දී දකින සමහර අය 'කටු ඇනුණු අය' කියලා අනෙත් අය දැනගත්තේත් හිස් මුදුනේ තිබුණු මල් නිසා. සමහරු ඒ මල් නිසා බොහොම ජනප්‍රිය වුණා. ඒගොල්ලෝ ඒ මල් උපදින්න හේතුවුණු කටු ගැන ප්‍රසිද්ධියේ කතා කළා. සමහර අය මල් ගැන විතරක් කතා කළා. කටු ගැන ඇහුවාම 'මගේ මල් වලින් මාව දකින්න එපා' කියලා කීවා. මේ දෙගොල්ලෝම නොකීව එක දෙයක් තිබුණා. ඒ තමයි කොයිතරම් මල් ඉපැද්දුවත් අර කටු ඇනුණු වේදනාව සමනය නොවෙන බව. අවුරුදු එකක්, පහක්, දහයක්, විස්සක්, පනහක් ගියත් ඒ වේදනාව ඇදුම් කමින්, ලේ නහරවල දුවමින් ඇඟ පුරා සැරිසරන බව. ඒ තරම් කල් ගත වුණත් තමන්ට තාමත් කඳුළු ගලන ලක්ෂණ තිබුණු බව. කොහොම වුණත් මේ මල්වලට ලොකු ඉල්ලුමක් තිබුණා. ඒවාට වැඩියෙන්ම ඉල්ලුමක් තිබුණේ එක සුවිශේෂී කණ්ඩායමකින්. ඒ තමයි කටු ඇනුණත් මල් පුබුදුවන්න වරම් නොලැබුණු අය. මේ අය කටු ඇනුණු වේදනාව වගේම ඒක සිරුරෙන් පිටකරගන්න බැරි වේදනාවෙනුත් තැවුණු දැවුණු අය. තමන්ගේ කටුව නිසා තමන්ට හැකියාවක් තිබුණා නම් පුබුදුවන්න තිබුණු මල් වෙන අයගේ හිස් මුදුනේ දැක්කාම මේ අයට යම් සහනයක් දැනුණා. එහෙම මල් පුබුදුවපු අයගේ පස්සෙන් මල් නැති උදවිය ගියා. තමන්ට පුබුදුවන්න බැරි වුණු මලේ සුවඳ දුර තියා වින්දා. ඒවා වර්ණනා කළා. ඉන් සමහරු අනුන්ගේ මල් හොරකම් කරගෙන තමන් පිබිදූ ඒවා වගේ හිස් මුදුනේ තියාගන්න ගිහින් ගැටුම් පවා ඇති වුණා. ඒත් බහුතරයක් කටු ඇනුණු උදවිය එක්කෝ තමන්ගේ මල් පුබුදවමින් එහෙමත් නැත්නම් අනුන්ගේ මල් සුවඳ විඳිමින් කාලය ගත කළා.

මේ දෙවර්ගයට අමතරව තුන්වෙනි කොටසකුත් මේ ලෝකයේ ජීවත් වුණා. ඒ තමයි ජීවිතේ කිසිම දවසක කටුවක් ඇනුණේ නැති උදවිය. ඒ අයගේ ජීවන ගමන යෙදිලා තිබුණු පාරේ කොතැනකවත් අර අදිසි කටු ජාතිය හමුවෙන්න නියමිත වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ අය කිසි ආපදාවක් නැතිව තමන්ගේ ගමන් බිමන් ගියා. එහෙම යද්දී එද්දී තැන තැන අනෙත් අයගේ හිස් මුදුන් වල පිපුණු ලස්සන මල් දැක්කා. එක්කෝ මොහොතක් නතරවෙලා ඒවායේ සුවඳ වින්දා. නැත්නම් තමන්ට කවදාවත් තේරුම් ගන්න බැරි ඒ මල් පිබිදීම ගැන නොරිස්සුමෙන් 'මොන විකාරයක්ද?' හිතමින් යන්න ගියා. සමහර වෙලාවට, ජීවිතේ කිසිම දවසක කටුවක වේදනාවක් නොවිඳපු කෙනෙක් හිස් මුදුනේ මල් පොකුරක් පිපුණු කෙනෙක් ව පාරේදී මුණ ගැහිලා, ඒ මල් වල සුවඳ බලලා, දිලිසෙන පෙති අතගාලා "ඔයා කොයිතරම් වාසනාවන්තද!" කියලා කීවා. ඒ වෙලාවට ඇඟ පුරා ඇදුම්කන කටුවේ රිදුමෙන් දාහෙන් පංගුවකින් ඒ මල් පුබුදවපු කෙනා, නිදි නැති රැයවල් වගේම නිරන්තර කඳුළු ගැලීම් නැති, කටුවක වේදනාවක් නොවින්ද කෙනා දිහා බලලා "ඔයා කොයිතරම් වාසනාවන්තද!" කියලා හිතුවත්, ඒ බව නොකියා හිනාවුණා.

ඉතින් ඒ ලෝකයේ උදවිය කටු ඇනගනිමින්, මල් පුබුදුවමින්, ඒ මල් වල ලස්සන බලමින් ජීවත් වුණා!


sketch with stylus on Lenovo Thinkpad

June 04, 2020

No one's lost..


නටුවෙන් මිදෙනු පළමුව 
මිමිණුවා මුදු ලෙස, මල 
'මතකයන් මියැදෙන තෙක් 
අහිමිවීමක් නැත ලොව'


June 01, 2020

ගෙහිමි කාන්තාව


Translation of the short story The Landlady by Roald Dahl




බිලී වීවර් හවස දුම්රියෙන් ලන්ඩන් සිට ස්වින්ඩන් වෙත පැමිණ බාත් වෙත යන්නට තවත් දුම්රියක් ගත්තා. ඔහු බාත් වෙත එද්දී රාත්‍රී නමයට ආසන්නව තිබුණු අතර දුම්රියපොළ දොරටුව ඉදිරිපස නිවාස පෙළට ඉහළින් තරු පිරුණු පැහැදිලි අහසේ සඳ දිලිසෙමින් තිබුණා. එහෙත් වටපිට නම් තිබුණේ මාරාන්තික සීතලක්. සුළඟ පැතලි අයිස් පිහි තුඩක් සේ ඔහුගේ කොපුලට දැනුණා.

"සමාවෙන්න, මේ කිට්ටුව ටිකක් ලාබ හෝටලයක් තියෙනවාද මට නවතින්න?" ඔහු දුම්රියපොළ සේවකයෙක්ගෙන් ඇසුවා.

"'ද බෙල් ඇන්ඩ් ඩ්‍රැගන්' එකෙන් අහලා බලන්න." සේවකයා පාර කෙළවර පෙන්වමින් කීවා. "ඔවුන් සමහරවිට ඔබට කාමරයක් දෙයි. අර පැත්තෙන් හැතැප්ම කාලක් විතර දුරයි."

බිලී ඔහුට ස්තූති කර තම සූට්කේසයත් රැගෙන හෝටලය වෙත යාමට ඇති සැතපුම් කාල ඇවිදගෙන යන්නට වුණා. ඔහු මීට පෙර කිසි දිනක බාත් නගරයට පැමිණ තිබුණේ නැහැ. ඔහු එහි සිටි කිසි කෙනෙක් හැඳිනුවේ නැහැ. ලන්ඩන් හි ඔහුගේ කාර්යාලයේ මූලස්ථානයේ ග්‍රීන්ඩේල් මහතා නම් කීවේ එය අපූරු නගරයක් බවයි. "නවාතැනක් සොයාගන්න" ඔහු කියා තිබුණා. "ඉන්පස්සේ ගිහින් ශාඛා කළමනාකරු ව මුණගැහෙන්න."

බිලීගේ වයස දාහතයි. ඔහු අලුත් නිල් කබායක්, අලුත්ම දුඹුරු ට්‍රිල්බි තොප්පියක් සහ අලුත් දුඹුරු ඇඳුම් කට්ටලයක් ඇඳ බොහොම ජේත්තුවට සිටියා. ඔහු කඩිසර ගමනින් පාර දිගේ ගියා. බිලී මේ දිනවල හැමදේම කඩිසරව කරන්නට උත්සාහ කරමින් සිටියේ. කඩිසරකම හැම සාර්ථක ව්‍යාපාරිකයෙක්ගේම පොදු ලක්ෂණයක් බව ඔහු තීරණය කර තිබුණා. මූලස්ථානයේ ලොකු ලොක්කන් හැමදෙනෙක්ම හැමතිස්සෙම පුදුම කඩිසරකමකින් පසුවුනා. ඒක හරිම විස්මයජනකයි.

ඔහු යමින් සිටිය පාර දෙපස කඩ සාප්පු තිබුණේ නැහැ. ඒ වෙනුවට පාර දෙපැත්තේම, එක වැනිම උස නිවාස පෙළක් තිබුණා. ඒ හැම එකකටම කුලුණු සහිත ඉස්තෝප්පු වගේම, ඉදිරිපස දොර වෙත යන්නට පඩි හතර පහක් තිබුණා. කලකට ඉහතදී ඒ නිවෙස් බොහොම උජාරුවට තිබුණු බවට ලකුණු තිබුණත් දැන් නම් ඒවායේ දොර ජනෙල් වල තීන්ත ගැලවී, සුදු පැහැ බිත්ති ඉරිතලා, දුර්වර්ණ වී ඇති බව ඔහුට අඳුරේදී පවා පැහැදිලිව පෙනුණා.

යාර හයක් තරම් නුදුරින් තිබුණු නිවසක පහළ මහලේ, දීප්තිමත් ව එළිය වුණු ජනේලයක වීදුරුවට හේත්තු කර තිබුණු දැන්වීමක් එක්වරම ඔහුගේ ඇස ගැටුණා. එහි 'නවාතැන් සහ උදේ ආහාර ඇත' යැයි සඳහන් ව තිබුණා. දැන්වීමට යටින් උස මල් බඳුනක අලංකාර ක්‍රිසන්තමම් පොකුරක් දක්නට තිබුණා.

ඔහු ගමන නතර කර මඳක් කිට්ටු වී බැලුවා. විල්ලුද වැනි කොළ පැහැති තිර රෙදි ඒ ජනේලයේ දෙපස තිබුණා. ඒවා අසල ක්‍රිසන්තමම් බඳුන සුන්දරව පෙනුණා. ඔහු තව ටිකක් කිට්ටු වී ජනේලයේ වීදුරුවෙන් ඇතුළ බැලුවා. ඔහු මුලින්ම දුටුවේ බැබළෙමින් දැල්වෙන ගිනි උදුනක්. උදුන ඉදිරිපස බුමුතුරුණ මත ලස්සන පුංචි ඩෑශන්ඩ් බල්ලෙක් වකුටු වී නිදමින් සිටියා.

ඔහුට පෙනුණු තරමට, අඩ අඳුරේ තිබුණු කාමරය ප්‍රියමනාප ගෘහ භාණ්ඩ වලින් පිරී තිබුණා. පියානෝවක්, ලොකු සෝපාවක් වගේම සැප පහසු ඇඳි පුටු කිහිපයක් එහි තිබුණා. කාමරයේ එක කෙළවරක කූඩුවක විශාල ගිරවෙක් පෙනුණා. මේ වගේ තැනක සුරතල් සතුන් සිටීම හොඳ ලක්ෂණයක්- බිලී තමාටම කියාගත්තා. සමස්තයක් හැටියට ගත් විට මේ නම් නැවතීමට ඉතා සුදුසු නිවසක්. ‘ද බෙල් ඇන්ඩ් ඩ්‍රැගන්’ එකට වඩා නම් අනිවාර්යයෙන් සැප පහසු වේවි.

අනෙත් අතට අවන්හලක නවතින එක නිවසක නවතිනවාට වඩා තමන්ට හිතකර වේවි. හවස් වරු වලදී බියර් බොන්නත් ඩාට්ස් සෙල්ලම් කරන්නත් ඉඩ ලැබේවි, කතාකරන්න අයත් ඉඳීවී, සමහරවිට මීට වඩා සෑහෙන්න ලාබ වේවි. මීට පෙර වතාවක් දෙකක් ඔහු අවන්හල් වල නැවතී තිබුණු අතර ඒවා ගැන ඔහුට තිබුණේ කැමැත්තක්. ඔහු නවාතැන්පළවල්වල කලින් නැවතී තිබුණේ නැහැ. අවංකවම කියනවානම් ඔහුට ඒවා ගැන තරමක බියක් තිබුණා. 'නවාතැන්පොල' කියන වචනය ඇහෙද්දීම ඔහුට දිය රසට පිසූ ගෝවා, කෑදර ගෙහිමි කාන්තාවන්, පිළී ගඳගහන විසිත්ත කාමර මැවී පෙනුණා.

තව විනාඩි කිහිපයක් සීතලේ කල්පනා කරමින් උන් බිලී 'ද බෙල් ඇන්ඩ් ඩ්‍රැගන්' අවන්හල වෙත ගොස් එහි තතු බලා ම සුදුසු තැන තෝරාගන්නට තීරණයක් ගත්තා. ඔහු ආපසු යන්නට හැරෙද්දීම ඔහුට කුමක්දෝ අසාමාන්‍ය දෙයක් සිදුවුණා. ඔහු ජනේලය වෙතින් ඉවත්ව ආපසු හැරෙන්නට සැරසෙද්දීම ජනේලයේ තිබුණු කුඩා දැන්වීම ඔහුගේ අවධානය අමුතුම විදිහට ග්‍රහණය කරගත්තා. 'නවාතැන් සහ උදේ ආහාර ඇත'. නවාතැන් සහ උදේ ආහාර, උදේ ආහාර සහ නවාතැන්, නවාතැන් සහ ආහාර. ඒ හැම වචනයක්ම ඔහු දිහා එක එල්ලයේ බලා සිටින ඇසක් සේ පෙනුණා. ඒ ඇස් ඔහුව ග්‍රහණය කරගනිමින්, එතැනින් ඉවත්ව නොයන්නට බල කරමින් සිටියා. ඔහුටත් නොදැනීම ඔහු පඩිපෙළ නැඟ, නිවසේ දොර වෙතට ඇවිද, සීනුව නාද කරන්නට සූදානම් වෙමින් සිටියා.

ඔහු සීනුව නාද කළා. නිවසේ පසුපස පෙදෙසේ එය නාදවනු ඔහුට ඇසුණා. ඒ සමඟ ම- ඔහු සීනුවෙන් ඇඟිල්ල ඉවතට ගන්නටත් පෙර- දොර විවර වුණා. එතැන කාන්තාවක් සිටගෙන සිටියා. සාමාන්‍යයෙන් කෙනෙක් නිවසක සීනුවක් නාද කළ විට දොර ඇරෙන්නට පෙර ඔහුට විනාඩි භාගයක පමණ වේලාවක් ලැබෙනවා. එහෙත් මේ කාන්තාව නම් ජැක් ඉන් ද බොක්ස් සෙල්ලම් බඩුවක් මෙන් බොත්තම ඔබද්දීම මතුවුණු නිසා ඔහු තිගැස්සුණා.

මේ කාන්තාවට වයස හතළිස් පහක්- පනහක් පමණ පෙනුණා. ඔහුව දුටු විගස ඈ ඔහුට උණුසුම් සුන්දර සිනහවකින් සංග්‍රහ කළා.

"කරුණාකර ඇතුළට එන්න" ඇය බොහොම ප්‍රියමනාප ව කීවා. දොර විවර කරමින් ඇය මඳක් පසෙකට වෙද්දී බිලී ට තමන් ඉබේම නිවස තුළට ඇදී යන බවක් දැනුණා. ඇය පසුපසින් නිවස තුළට යන්නට දැනුණු බල කිරීම, නොඑසේ නම් ආශාව ඔහුට ඉතා බලවත් ව දැනුණා.

"මම ජනේලයේ තිබුණු දැන්වීම දැක්කා" ඔහු ආයාසයෙන් මඳක් පසුබාමින් කීවා.

"ඔව්, මම දන්නවා"

"කාමරයක් ගන්න තියෙනවාද කියලායි මම කල්පනා කළේ."

"කාමරය ඔබ වෙනුවෙන් ලෑස්තියි" ඇය කීවා. ඇයට තිබුණේ රෝස පැහැති රවුම් මුහුණක් සහ අහිංසක නිල් දෑසක්.

"මම ‘ද බෙල් ඇන්ඩ් ඩ්‍රැගන්’ එකට යද්දී ජනේලයේ තිබුණු දැන්වීම දුටුවා." බිලී ඈට කීවා.

"අනේ කොල්ලෝ," ඈ කීවා "ඇයි සීතලෙන් මිදිලා ගේ ඇතුළට නොඑන්නේ?"

"කොහොමද ඔබේ අය කිරීම්?"

"එක රැයකට පවුම් පහයි සිලිං හයයි, උදේ කෑමත් එක්ක"

ඒ මිල පුදුමාකාර විදිහට ලාභ බව ඔහුට සිතුණා. ඔහු ගෙවන්නට සූදානම්ව උන් මුදලින් භාගයකටත් අඩු ගණනක්.

"ඒ ගණන වැඩි නම් මට ඩිංගක් අඩු කරන්නත් පුළුවන්." ඇය කීවා. "ඔබට උදෑසන ආහාරයට බිත්තරයක් වුවමනාද? මේ දවස්වල බිත්තර මිල යි. බිත්තරයක් නැතිව මට සිලිං හයක් අඩු කරන්න පුළුවන්"

"පවුම් පහයි සිලිං හයක් කමක් නැහැ." ඔහු පිළිතුරු දුන්නා. "මම බොහොම කැමතියි මෙහේ නතරවෙන්න"

"මම දැනගෙන හිටියා ඔබ කැමතිවෙයි කියලා. එන්න ඇතුළට"
ඇය ඉතාම ප්‍රසන්න කෙනෙක් බව පෙනුණා. ඇය හරියට ඔහුට නත්තල් නිවාඩුවට තම නිවසට නවාතැන් ගන්නට එන්න ආරාධනා කරන ඔහුගේ පාසැලේ හොඳම මිතුරාගේ මව වැනි බව ඔහුට සිතුණා. බිලී ඔහුගේ තොප්පිය ගලවා නිවසට ඇතුල්වුණා.

"ඕක ඔතැනින් එල්ලන්න." ඈ කීවා. "ඉන්න මම ඔබේ කබාය ගලවන්න උදවුකරන්න"
විසිත්ත කාමරයට පිවිසෙන කොටසේ වෙනත් කිසිම කබායක් හෝ තොප්පියක් එල්ලා තිබුණේ නැහැ. කිසිම කුඩයක්වත් සැරයටියක් වත් එහි දක්නට තිබුණේ නැහැ.

"මුළු ගේ ම අපි දෙන්නාට" ඇය ඉහළ මාලයට යමින් ඔහු දෙස හැරී බලා කීවා. "මේකයි, මගේ පුංචි කැදැල්ලට අමුත්තෙක්ව පිළිගැනීමේ සතුට මට ලැබෙන්නේ කලාතුරකින්"

මේ ගෑනිට ටිකක් පිස්සු ද කොහෙද, බිලී තමාටම කියාගත්තා. ඒත් එක රැයකට පවුම් පහයි සිලිං හයයි නම් කවුද ඔය පිස්සු ගණන් ගන්නේ?

"මම හිතුවා ඔබට ගැනුම්කරුවන් ඕන තරම් ඇති කියලා" ඔහු විනීතව පිළිතුරු දුන්නා.

"ඔව් ඔව්.. ඇත්තටම එහෙම නම් තමයි. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මම කෙනෙක් තෝරාගනිද්දී ටිකක් පරෙස්සම් වෙනවා- ඔබට තේරෙනවා ඇති නේ"

"ආ.. ඔව් ඔව්"

"ඒත් මම හැමතිස්සේම සූදානමින් ඉන්නේ. වැදගත් තරුණ මහත්මයෙක් හදිසියේවත් ආවොත් කියලා මේ ගෙදර දිවා රැයේ සූදානමින් තියෙන්නේ. ඇත්තටම ඉඳහිට දවසක මම දොර අරිද්දී ඒ වගේ හරියටම ගැලපෙන කෙනෙක් හිටගෙන ඉන්නවා දකිද්දී හරිම සතුටක් දැනෙන්නේ, හරිම සතුටක්!" මෙය කියද්දී ඇය පඩිපෙළේ අඩක් දුර ගොස් තිබුණා. එක් අතක් අත් වැට මත තබාගෙන ඇය නැවතී හිස හරවා ඔහු දෙස බලා සුදුමැලි දෙතොලින් මඳහසක් පෑවා. "ඔබ වගේ කෙනෙක්" කියූ ඇය ඇගේ නිල් දෑස ඔහුගේ සිරුරේ ඉහළ සිට පහළටත් නැවත පහළ සිට ඉහළටත් ගෙනගියා.

"මේ තට්ටුව මගේ" පළවෙනි මහලේදී ඈ කීවා.

ඔවුන් දෙවෙනි පඩි පෙළත් නැග්ගා. "මේ තට්ටුව තනිකරම ඔබගේ" ඈ කීවා. "මේ තමයි ඔබේ කාමරය, ඊට කැමති වෙයි කියලා මම හිතනවා." ඈ ඔහුව කුඩා, එහෙත් දැකුම්කළු කාමරයක් වෙතට කැඳවාගෙන ගොස් එයට ඇතුල් වෙද්දී එහි විදුලි පහන දැල්වූවා.

"මේ ජනේලයෙන් උදෑසන හිරු එළිය කෙළින්ම කාමරයට එනවා, පර්කින්ස් මහත්මයා. පර්කින්ස් මහත්මයා නේද නම?"

"නෑ" ඔහු කීවා. "මගේ නම වීවර්"

"වීවර් මහත්මයා, අපූරු නමක්. මම මේ ඇඳ රෙදි අතරට උණුවතුර බෝතලයක් දැම්මා ඒවා උණුසුම් වෙන්න. නුපුරුදු ඇඳක පිරිසිදු ඇඳ රෙදිත් උණුවතුර බෝතලයකුත් තියෙනවා නම් ලොකු සැනසිල්ලක් දැනෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?"

"ස්තුතියි, බොහොමත්ම ස්තූතියි." බිලී කීවා. කෙනෙකුට ඇඳට ගොඩවන්න ලේසි වන අයුරින් ඇඳේ එක් පසෙක ඇතිරිල්ල බොහොම පිළිවෙළට නවා තිබුණු බව ඔහු දුටුවා.

"ඔබ ආව එක ගැන මට හරි සතුටුයි." ඇය බොහොම උනන්දුවෙන් ඔහුගේ මුහුණ දෙස බලමින් කීවා. "මගේ හිත කරදර වෙන්න පටන් ගනිමින් තිබුණේ"

"ආ ඒකට කමක් නැහැ!" ඔහු බොහොම ප්‍රීතිමත් විලාසයකින් කීවා. "ඔබ මා ගැන වද වෙන්න වුවමනා නැහැ." ඔහු ඔහුගේ සූට්කේසය පුටුවක් මත තබා එය විවර කරන්න සූදානම් වුණා.

"එතකොට රෑ කෑම? මෙහෙ එන්න කලින් කෑමට දෙයක් හොයාගන්න පුළුවන් වුණා ද?"

"මට පොඩ්ඩක්වත් බඩගිනි නැහැ, බොහොම ස්තූතියි" ඔහු කීවා. "මට හෙට උදේම කාර්යාලයට ගිහින් වැඩ බාරගන්න තියෙනවා. ඒ නිසා ඉක්මනින්ම නිදාගත්තොත් හොඳයි."

"හොඳයි එහෙනම් මම ඔබට බඩු ටික අස්පස් කරගන්න ඉඩදෙන්නම්. ඒත් ඔබ නින්දට යන්න කලින් කරුණාකර පහළ මාලයේ විසිත්ත කාමරයට පොඩ්ඩකට ඇවිත් පොත අත්සන් කරනවාද? ඒක නීතිය නිසා හැමෝම කළ යුතු දෙයක්. මේ වෙලාවේ අපි නීති කඩ කළ යුතු නැහැනේ නේද?" කී ඇය ඉක්මනින් දොර වසාගෙන කාමරයෙන් පිටවුණා.

මේ ගෙහිමි කාන්තාවට තරමක පිස්සුවක් තිබීම බිලීගේ සිතට කරදරයක් වුණේ නැහැ. ඇයගෙන් කිසිම හානියක් නැති බව වගේම ඇය ඉතා කරුණාවන්ත කෙනෙක් බව ඔහුට පැහැදිලි වුණා. සමහරවිට ඇයගේ පුතෙක් යුද්ධයේදී අහිමිවීමක් වැනි දෙයක් සිදුවෙලා ඈ ඒ දුකින් කවදාවත් මිදුණේ නැහැ වෙන්න පුළුවන්.

ඉන් විනාඩි කිහිපයකට පසුව, තම බඩු බාහිරාදිය අස්පස් කර දෑත සෝදාගැනීමෙන් අනතුරුව ඔහු පහළ මාලයට ගොස් විසිත්ත කාමරයට ඇතුල් වුණා. ගෙහිමි කාන්තාව එහි නොසිටියත් උදුනේ ගින්න බැබළෙමින් දැවෙමින් තිබුණා. පුංචි ඩෑශන්ඩ් බල්ලා තවමත් එය ඉදිරිපස නිදමින් සිටියා. ඒ කාමරයේ බොහොම උණුසුම් සුවපහසු බවක් දැනුණා. මම වාසනාවන්තයි, ඔහු දෑත පිරිමදිමින් සිතුවා. මෙතැන නියමයි!

අමුත්තන්ගේ තොරතුරු ලිවිය යුතු පොත පියානෝව උඩ විවරව තිබුණා. ඔහු තම පෑන ගෙන එහි තම නමත් ලිපිනයත් ලියුවා. තමන්ගේ නමට ඉහළින් තිබුණේ තව නම් දෙකක් පමණයි. සාමාන්‍යයෙන් මෙවැනි අමුත්තන්ගේ පොතක විස්තර ලියද්දී සිදුවෙන විදිහට ඔහු ඒ නම් දෙක කියෙව්වා. එක නමක් කාඩිෆ් හි ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ්. අනෙකා බ්‍රිස්ටල් හි ග්‍රෙගරි. ඩබ්ලිව්. ටෙම්පල්. මේක හරි පුදුමයක් ඔහුට හදිසියේ හිතුණා. ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ්. ඒ නම හරි හුරුපුරුදුයි. ඒ වගේ අමුතු නමක් ඔහු කලින් අසා තිබුණේ කොහේදී ද?

පාසැල් සගයෙක් ද? නෑ. ඔහුගේ සොයුරියගේ පෙම්වතුන් රාශියෙන් කෙනෙක් ද? තාත්තාගේ මිතුරෙක් ද? නෑ නෑ එයින් කිසිකෙනෙක් නෙමෙයි. ඔහු නැවතත් පොත දෙස බැලුවා. ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ්, 231, කැතීඩ්‍රල් පාර, කාඩිෆ්. ග්‍රෙගරි. ඩබ්ලිව්. ටෙම්පල්, 27 සයිකැමෝර් මාවත, බ්‍රිස්ටල්. කල්පනා කරද්දී දෙවෙනි නමත් යම් හුරුබවක් දැනෙන වග ඔහුට සිතුණා.

"ග්‍රෙගරි ටෙම්පල්?" ඔහු මතකය අවුස්සමින් හඬ නඟා කීවා. "ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ්?"

"බොහොම අපූරු කොල්ලෝ දෙන්නෙක්" ඔහුගේ පසුපසින් පිළිතුරක් ඇසුණා. ඔහු හැරී බලද්දී ගෙහිමි කාන්තාව කාමරයට පාවී ආවේ දෑතේ විශාල රිදී බන්දේසියක් සහිතවයි. ඈ එය සිරුරෙන් ඈත් කර ඔසවාගෙන සිටියේ කලබල අශ්වයෙකුගේ රැහැන් පට අල්ලාගෙන සිටින ආකාරයට.

"ඒ නම් මට හරි හුරුපුරුදුයි."

"ඇත්තටම?"

"මට හොඳටම විශ්වාසයි මම ඒ නම් කොහේදී හරි අහලා තියෙනවා කියලා. ඒක හරි පුදුමයක් නේද? සමහරවිට පත්තරවල තිබුණාද දන්නේ නැහැ. ඒ ගොල්ලෝ ප්‍රසිද්ධ අයද? නැහැ නේද? මම කියන්නේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෝ හරි ෆුට්බෝල් ක්‍රීඩකයෝ හරි නෙමෙයි නේ?"

"ප්‍රසිද්ධ?" ඈ තේ බන්දේසිය සෝපාව ඉදිරිපස තිබුණු මිටි කනප්පුව මත තබමින් කීවා. "අපෝ නැහැ, මම හිතන්නේ නැහැ ඒ අය ප්‍රසිද්ධ අය කියලා. ඒත් මට ඔබට සහතික වෙන්න පුළුවන් ඒ දෙන්නාම පුදුම විදිහට කඩවසම් බව. ඒ අය ඔබ වගේම උස, තරුණ, කඩවසම් අය."

බිලී නැවත වතාවක් පොත දෙස බැලුවා.

"මේ බලන්න" ඔහු එහි සඳහන් දින පෙන්වමින් කීවා. "මේ අන්තිම සටහන අවුරුදු දෙකකටත් වඩා පරණයි."

"ඇත්තද?"

"ඔව්, ඇත්තටම. ඒ වගේම ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ් ඊටත් අවුරුද්දකට කලින්- ඒ කියන්නේ ඒ සටහන අවුරුදු තුනකට වඩා පරණයි."

"දෙවියනේ," ඈ හිස සොලවමින්, කෝමල ලෙසින් සුසුමක් හෙළමින් කීවා. "මට දැනුනේවත් නැහැ. කාලය අපව පසුකරගෙන වේගයෙන් ගතවෙනවා නේද විල්කින්ස් මහත්මයා?"

"මගේ නම වීවර්." බිලී කීවා. "වී-ව-ර්"

"ආ ඔව්නේ!" ඈ සෝපාවේ වාඩිවෙන ගමන් කීවා. "මටත් පිස්සු! සමාවෙන්න මට. එක කනකින් ඇහෙන දේ අනෙත් කණෙන් පිටවෙනවනේ වීවර් මහත්තයා"

"දන්නාවද වැඩක්?" බිලී කීවා. "මේ හැම දෙයක්ම ගැන වඩාත්ම පුදුමම කාරණාව මොකක්ද දන්නවාද?"

"නැහැනේ, මම දන්නේ නැහැ"

"මේකයි, මලෝලන්ඩ්, ටෙම්පල් කියන මේ නම් දෙකම මට මතක තියෙන්නේ වෙන වෙනම නෙමෙයි. මොකක් නමුත් අරුම පුදුම හේතුවකට ඒ නම් දෙක එකකට එකක් සම්බන්ධයි වගේ මට හිතෙනවා. ඒ දෙන්නාම එකම දෙයක් නිසා ප්‍රසිද්ධ වුණු බවක්. මම කියන දේ තේරෙනවාද? හරියට නිකම් ඩෙම්සිගෙයි ට්යුනේගෙයි නම් දෙක වගේ... චර්චිල්ගෙයි රූසවෙල්ට්ගෙයි නම් දෙක වගේ."

"හරි විනෝදජනකයිනේ" ඈ කීවා. "ඒත් දැන් මෙතැනට එන්නකෝ. ඇවිත් සොපාවේ මගේ ළඟින් වාඩිවෙන්න. ඔබ නිදාගන්නට යන්න කලින් මම හොඳ තේ කොප්පයකුත් ඉඟුරු විස්කෝතුවකුත් දෙන්නම්."

"ඇයි කරදර වුණේ?" බිලී ඇහුවා. "ඔබෙන් මම එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. "

ඔහු පියානෝව අසල සිටගෙන ඇය කෝප්ප පීරිසි එහා මෙහා කරන ආකාරය බලාගෙන සිටියා. ඉක්මනින් එහා මෙහා යන ඇගේ පුංචි සුදුමැලි දෑතේ රත් පැහැති නිය තිබුණු බව ඔහු දුටුවා.

"මට සෑහෙන්න විශ්වාසයක් තියෙනවා මම ඒ අය ගැන දැක්කේ පත්තරයක බව" බිලී කීවා. "මට තව තත්පරයකින් මතක් වේවි. මට සහතිකයි ඒ බවට"

කෙනෙකුගේ මතකයේ කෙළවරක අපැහැදිලිව ලතවෙන මෙවැනි දෙයක් තරම් වෙනත් හිරිහැරයක් නැති තරම්. ඔහු එය අත හරින්නට කොහෙත්ම සූදානම් වුණේ නැහැ.

"විනාඩියක් ඉන්න" ඔහු කීවා. "විනාඩියක් ඉන්න. මලෝලන්ඩ්... ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ්.. මේ අර ඊටන් වල පාසැල් ශිෂ්‍යයා නේද? බටහිර පළාතේ පා ගමනින් සංචාරයක යද්දී හදිසියේම..."

"තේ එකට කිරි දාන්නද?" ඈ ඇහුවා. "සීනි?"

"ඔව්.. ඔව්.. දාන්න... සංචාරයක යද්දී හදිසියේම.."

"ඊටන් වල පාසැල් ශිෂ්‍යයා?" ඈ ඇහුවා. "නෑ නෑ , කොහොමවත්ම එයා වෙන්න බැහැ. මලෝලන්ඩ් මහත්මයා මා ළඟට එද්දී එයා පාසැල් ශිෂ්‍යයෙක් නෙමෙයි කියලා මට සහතිකයි. එයා ඒ වෙද්දී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඉතින් එන්න, ඇවිත් මෙතන මා ළඟින් වාඩිවෙලා මේ උදුනේ ගින්දරෙන් උණුසුම් වෙන්නකෝ. ඔබේ තේ කෝප්පය ලෑස්තියි."

ඇය සෝපාවේ ඇගේ අසල හිස් ඉඩ පෙන්වා ඔහුට සන් කර බිලී එතැනට එන තුරු සිනාමුසු මුහුණින් ඔහු දෙස බලා සිටියා. ඔහු සෙමෙන් කාමරය හරහා පිය මැන ඇවිත් සෝපාවේ කෙළවරින් වාඩිවුණා. ඇය ඔහුගේ තේ කෝප්පය ඔහු ඉදිරියේ කනප්පුව මත තැබුවා.

"ඉතින්.." ඈ කීවා. "හොඳට සැප පහසුයි නේද?"

බිලී තේ කෝප්පය තොල ගාන්නට වුණා. ඇයත් එලෙසින්ම කළා. තත්පර තිහක් පමණ වෙලාවක් දෙන්නාම නිශ්ශබ්දව සිටියා. එහෙත් ඇය ඔහු දෙස බලා සිටින බව බිලී දැන සිටියා. ඇගේ සිරුර ඔහු දෙසට අඩක් හැරවී තිබුණා. ඈ තේ කෝප්පයට ඉහළින් ඔහු දෙස නෙත් යොමා සිටින බව ඔහුට දැනුණා. වරින්වර ඇය වෙතින් හමන කිසියම් සුවඳක් ඔහුට දැනුණා. එය අප්‍රසන්න සුවඳක් නොවුණු අතර ඔහුට ඉන් සිහි ගැන්වුණේ කවරක්දැයි ඔහුට හරියටම සිතාගන්නට බැරිවුණා. ඒ වෝල්නට් අච්චාරු සුවඳද? අලුතින් පදම් කළ හම්ද? රෝහලක පටු ආලින්ද වල දැනෙන සුවඳ ද?

"මලෝලන්ඩ් මහත්මයා නම් තේ බොන්න රුසියෙක්." ඇය හෙමින් සීරුවේ කීවා. "ආදරණීය මලෝලන්ඩ් මහත්මයා තරම් තේ බොන කෙනෙක් මම මුළු ජීවිතයටම දැකලා නැහැ."

"ඔහු යන්නට ඇත්තේ ළඟදී නේද?" බිලී විමසුවා. ඔහු ඒ වෙද්දීත් අමුත්තන්ගේ විස්තර පොතේ දුටු නම් දෙක පිළිබඳව සිත වෙහෙසවමින් සිටියේ. දැන් නම් ඒ නම් පුවත්පත් සිරස්තලයක දුටු බවට ඔහුට සෑහෙන විශ්වාසයක් තිබුණා.

"යන්න?" ඇය විශ්මයෙන් දෙබැම උස් කරමින් ඇසුවා. "ඇයි කොල්ලෝ, ඔහු කවදාවත් යන්නට ගියේ නැහැ. ඔහු තාම ඉන්නවා. ටෙම්පල් මහත්මයාත් තාම ඉන්නවා. ඒ දෙන්නාම තුන්වෙනි තට්ටුවේ එකට ඉන්නේ."

බිලී ප්‍රවේශමෙන් ඔහුගේ තේ කෝප්පය කනප්පුව මත තබා ගෙහිමි කාන්තාව දෙස දෑස් විදා බැලුවා. ඇය මඳහසක් පා, ඔහුව අස්වසන්නට මෙන් ඇගේ සුදුමැලි අතකින් ඔහුගේ දණහිසක් පිරිමැද්දා.

"කියන්න ඔබේ වයස කීයක් විතරද?" ඇය ඇසුවා.

"දාහතයි"

"දාහතයි!" ඇය විස්මයෙන් කෑගැසුවා. "නියමම වයස. මලෝලන්ඩ් මහත්මයාටත් දාහතයි. ඒත් එයා නම් ඔබට වඩා ටිකක් මිටියි මට මතක හැටියට, ඔබේ තරම් දත් සුදු පාටට තිබුණේත් නැහැ. වීවර් මහත්මයා ඔබ දන්නවාද ඔබට බොහොම ලස්සන සුදු පාට දත් තිබෙන බව?"

"ඒවා ඔය පෙනෙන තරම් ලස්සන නැහැ" බිලී කීවා. "කටේ පිටිපස්ස හරියේ දත් ඔක්කොම පුරවලා තියෙන්නේ"

"ටෙම්පල් මහත්මයා නම් ඔයිට වඩා ටිකක් වැඩිමල්" ඈ ඔහු කී දේ නෑසුණු ගණනට කීවා. "එයාට නම් විසි අටක්. ඒත් ඒ බව එයා මට නොකීවා නම් මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. එයාගේ මුළු ඇඟේම එක කැළලක් වත් තිබුණේ නැහැ."

"මොකක්?" බිලී ඇසුවා.

"ඔහුගේ සම ළදරුවෙක්ගේ වගේ"

ඉනික්බිති මඳ නිහැඬියාවක් ඇතිවුණා. බිලී තම තේ කෝප්පය ගෙන තේ උගුරක් බී නැවත එය සෙමෙන් පීරිසිය මත තැබුවා. ඇය වෙන යමක් කියන තෙක් ඔහු බලා සිටියත් ඇය නිහඬ බවක ගැලී සිටියා. ඔහු යටි තොල විකමින් කාමරයේ ඈත කෙලවර වෙත දෑස් යොමුකරගෙන සිටියා.

"අර ගිරවා," ඔහු අවසානයේදී කීවා. "දන්නවද වැඩක්? මම පාරේ ඉඳන් ජනේලයෙන් එබිලා බලද්දී මම හොඳටම රැවටුණා. මම හිතුවෙම ඌට පණ තියෙනවා කියලා."

"අවාසනාවකට ඌට දැන් නම් පණ නැහැ."

"හරිම දක්ෂ විදිහට ඒ වැඩේ කරලා තියෙනවා," ඔහු කීවා. "ඌට පණ නැහැ කියලා හිතන්නවත් බැහැ. කවුද මේක කළේ?"

"මම"

"ඔබ?"

"ඔව් මම තමයි," ඈ කීවා. "ඒ වගේම ඔබට මගේ පුංචි බැසිල් ව මුණගැහුණාද?" ඇය ගිනි උදුන ළඟ සුවපහසු ලෙස වකුටුව නිදන ඩෑශන්ඩ් බල්ලා පෙන්වමින් ඇසුවා. බිලී ඒ දෙස බැලුවා. ඒ එක්කම ඒ සතාත් මේ තරම් වෙලාවක් ගිරවා මෙන්ම නිහඬව නිසොල්මන්ව උන් බව ඔහුට හදිසියේම මතක් වුණා. ඔහු අතක් දිගු කර බල්ලාගේ පිට යන්තම් ස්පර්ශ කළා. ඒ හම තදට, සීතලට ඔහුගේ අතට දැනුණා. එහි ලොම් පසෙකට කර බලද්දී මනා ලෙස සුරකින ලද අළු පැහැති සම පෙනෙන්නට තිබුණා.

"දෙවියන්ට ඔප්පු වෙච්චාවේ" ඔහු කීවා. "මේක හරිම අරුම පුදුම දෙයක්නේ" ඔහු බල්ලාගෙන් ඉවතට හැරී ඔහු අසල අසුන්ගෙන උන් කාන්තාව දෙස මහත් ගෞරවයෙන් බැලුවා. "මේවා කරන්න හරි අමාරු ඇති නේද?"

"පොඩ්ඩක්වත් අමාරු නැහැ." ඈ කීවා. "මගේ සුරතලුන් අන්තරා වුණාම මමම ඔවුන්ට පුළුන් පුරවා සකස් කරනවා. තව තේ කෝප්පයක් බොමුද?"

"එපා, බොහොම ස්තූතියි" බිලී කීවා. ඒ තේවල යන්තමට තිත්ත ආමන්ඩ් රසක් තිබුණු නිසා ඔහුට ඒ ගැන වැඩි කැමැත්තක් දැනුණේ නැහැ.

"ඔබ පොත අත්සන් කළා නේද?"

"ආ ඔව් ඔව්"

"ඒක හොඳයි. මොකද පස්සේ මට ඔබේ නම අමතක වුණොත් මට මෙතැනට ඇවිත් පොත බලලා මතක් කරගන්න පුළුවන්. අදටත් මම ඒක නිතරම කරනවා මලෝලන්ඩ් මහත්මයාගේ නමත් අනෙත් කෙනා...මේ.."

"ටෙම්පල්," බිලී කීවා. "ග්‍රෙගරි ටෙම්පල්. මම මෙහෙම ඇහුවාට තරහා වෙන්න එපා, ඒත් පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත මෙහෙට වෙන කවුරුවත් අමුත්තෝ ආවේ නැද්ද?"

ඇය තේ කෝප්පය ඉහළට ඔසවාගෙන, හිස මඳක් ඇළ කර, ඇස් කොනින් බලා ඔහුට තවත් මෘදු සිනාවක් පෑවා.

"නැහැනේ," ඈ කීවා. "ඔබ විතරයි"





From the book ‘Kiss Kiss’ by Roald Dahl, first published in 1960

Picture- painting by Van Gogh, wikimedia commons