October 29, 2018

උපාසක කකුළුවෝ, කඩොලාන ආකෘති සහ මඩ ගඳ මතක


"ආ නංගී... එහෙනම් කියන්න බලන්න මූ මොකෙක්ද කියලා!" වටවී සිටින තම සගයන්ගේ උසුළු විසුළු මැද සිසුවෙක් ප්‍රදර්ශන කුටිය භාර සිසුවියගෙන් උපහාසයෙන් අසයි. ඔහුගේ අත්ල මත බොහෝ දුර්වලව අඬු සොලවන මඩ තැවරුණු කකුළුවෙකි.

"ඌ... මේ ..මේ" සිසු රංචුවේ ආගමනය නිසා කලින් කටපාඩම් කළ විස්තර සියල්ල අමතක ව ගිය කෙල්ල තෙපරබායි.."ඌ මේ.. උපාසක කකුළුවෙක්!"

දසත පැතිරෙන්නේ කෙළවරක් නැති හිනා හඬයි. තාපස කකුළුවා උපාසක කකුළුවා වූයේත් ඒ කෙල්ලට පාසැල් කාලය පුරාවටම පවතින නමක් වැටුණේ ත් ඒ අධ්‍යාපනික ප්‍රදර්ශනය දවසේ ය.


පාසැලේ ප්‍රදර්ශනයට අප පන්තියේ ප්‍රදර්ශන භාණ්ඩය ලෙස කඩොලාන පරිසරයක් තනන්නට මුලින්ම අදහස ඇතිවුණේ කාටදැයි මට මේ වෙද්දී මතක් වන්නේ නැත. එහෙත් එය ගුරුවරුන්ගෙන් යෝජනා නොවූ බවත්, අප පන්තියේ සිසුවියන් අතරින්ම යෝජනා සම්මත වූ බවත් මට මතක ය. එවකට සොළොස් හැවිරිදි වියේ උන් අපට ඒ වයසටම උරුම 'සියල්ල කෙසේ හෝ සාර්ථක වේවි!' යන නොසැලෙන විශ්වාසය නම් තිබණු බව මට හොඳාකාරවම මතක ය. අප පාසලේ හතලිස් වෙනි සංවත්සරය සමරන්නට සංවිධානය කරන ලද උත්සව මාලාවේ වැදගත් තැනක් ඒ දැවැන්ත අධ්‍යාපන ප්‍රදර්ශනයට හිමිවිය. ඊට පෙර අපට මතක ඇති කාලයක පාසලේ එවැනි උළෙලක් සංවිධානය කර නොතිබිණි. එවකට එකොළහ වසරේ උන් අපට, කුඩාවුන් මෙන් සිල්ලර රිජිෆෝම් ආකෘති නොතනා ප්‍රදර්ශනයට 'වැදගත්' දෙයක් ඉදිරිපත් කරන්නට මහත් වුවමනාවක් විය. පාසලේ ජ්‍යෙෂ්ඨ පන්තියක ඉගෙනුම ලබන්නන් වීම මේ මාන්නයට එක් හේතුවක් විය. මීට අමතරව සහෝදර පාසැල් වලින් පවා මේ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන බව දැන සිටීමත් එකී පාසැල්හි අප ' හඳුනන' ශිෂ්‍යයන් සිටීමත් මේ උද්යෝගයට තව තවත් හේතු විය. කෙසේ හෝ අපගේ මේ 'කඩොලාන යෝජනාවට' ගුරු මණ්ඩලයෙන් අනුමැතිය ලැබිණි. කළ යුත්තේ කුමක්ද, කෙසේද යන්න පිළිබඳව ඡායාමාත්‍රික හැඟීමක් පමණක් සහිතව අප ඒ කටයුත්තට අතගැසුවේ මහත් ආත්ම විශ්වාසයෙනි.

ආකෘතිමය කඩොලාන පරිසරයක් තැනීමට නම් පළමුවෙන්ම සැබෑ කඩොලාන පරිසරයක් වෙත ගොස් අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනආ යුතු විය. බොරැල්ලේ තිබුණු අපගේ පාසලට ආසන්නම කඩොලාන පරිසරය ඇත්තේ මීගමුවේ බව එදා සම්මත වූ තීරණය හරිදැයි අදටත් මා හට විශ්වාසයක් නැත. එහි ගොස් අවශ්‍ය දේ ගෙන ඒමට කඩිනමින් කණ්ඩායමක් සැකසිනි. කඩොලාන පරිසර වෙත බොහෝ ක්ෂේත්‍ර චාරිකා මෙහෙයවා ඒ ගැන තොරතුරු හොඳින් දැන සිටි තාත්තාවත් ඒ ගමනට එකතු කරගන්නට මට හැකි විය. තවත් දෙමවුපියන් කිහිප දෙනෙක් හා ළමුන් පහළවක් විස්සක් තරම් පිරිසක් ද මේ ගමනට එක විය.


අපගේ ගමනට යොදාගෙන තිබුණේ කසිකබල් බාග ලොරියකි. මීගමුවේ සිට ආපසු ගෙනෙන්නට තිබුණු ද්‍රව්‍ය ගැන අසා වෙනත් කිසිම ලොරිකරුවෙක් මේ කොන්තරාත්තුව බාර නොගත්තා විය හැක. අපට නම් ඒ අබලන් ලොරියේ ගමන සුඛෝපභෝගී රථයක ගමනකට වඩා විනෝදජනක විය. අතනින් මෙතැනින් එකතු කරගත් උදලු, ගෝනි, අලවංගු, යකඩ තාච්චි රැසක් ද ලොරියේ පසුපස විය. ගමනේ අරමුණ වූ බරපතල කාරනාව ගැන සාකච්ඡා කරනු වෙනුවට මීගමුවට යනතෙක් ම නොනනවත්වාම ගී ගැයූ අපට මෙය තවත් විනෝද චාරිකාවක් විය. 

එදා දණක් මඩේ බැස, කඩොලාන පැළ උදුරමින්, මුල් ගලවමින්, ගෝනි වලට මඩ එකතු කරමින්, කඩොල් ගස්වල අතු කපමින් පැය ගණනක් ගත කළ අප, හවස් වෙද්දී හඳුනාගත නොහැකි තරමට මඩ වැකී කළු පැහැ වී තිබිණි. එමෙන්ම ආරම්භයේදී තිබුණු උද්යෝගයද ක්‍රමක්‍රමයෙන් පලුදු වෙමින් තිබිණි. "මීට වඩා ලේසි දෙයක් තෝරාගන්න තිබ්බේ නැද්ද?" "මං කිව්වා වගේ සුර්ය ග්‍රහ මණ්ඩලය හදන්න තිබ්බේ.." අතනින් මෙතැනින් කසු කුසු ඇසෙන්නට විය. එහෙත් කණ්ඩායම් නායිකාවගේ රැවුම් ගෙරවුම් මැද අවශ්‍ය අමුද්‍රව්‍ය එක්රැස් කෙරිණි. මඩ අවුස්සද්දී තැන තැන මතු වූ කකුළුවන් රැසක් ද අප අල්ලාගත්තේ උන් අපගේ කඩොලාන ආකෘතිය ට තාත්වික බවක් එක කරනු ඇතැයි යන බොළඳ සිතුවිල්ලෙනි. උන්ට කොළඹ ඒම සඳහා කලපු දිය පිරවූ බාල්දියක් ලැබිණි.එදා අපට ගිය කාර්යය සම්පූර්ණ කරගන්නට අප හා ගිය වැඩිහිටියන්ගේ නොමඳ සහාය ලැබිණි. එකතු කරගත් සියල්ල ඉතා වෙහෙසවී ලොරියේ පටවාගෙන මීගමුවෙන් පිටවෙද්දී ඇඳිරි වැටෙන්නට ආසන්න වී තිබිණි. ආපසු ගමනේදී හෙම්බත් වූ කෙල්ලන්ගේ දැඩි නිහඬබව මිස ගී හඬක් නම් නෑසුණු බවක් මට මතක ය.

මීළඟ අභියෝගය වූයේ කඩොලාන පරිසරය ගොඩනැඟීම ය. සති අන්තයක් පුරාවටම වෙහෙසවී අපේ 'කඩොලාන' නිමවන්නට එකාමෙන් අප වෙහෙසුණේ ප්‍රදර්ශනය එළඹෙන සතියේ ඇරඹෙන බැවිනි. මේ ව්‍යාපෘතියේ අපිරිසිදු ස්වභාවය නිසාමදෝ අපට මේ සඳහා පාසලේ කොණක කඩා දමන්නට නියමිතව තිබුණු පන්ති කාමරයක් ලැබිණි. බිමට ඉටිකොළ එලා, ඒ මත කළු පැහැති මඩ තට්ටු අතුරා, උදුරාගෙන ගෙනා විවිධ වර්ගයේ කඩොල් පැළ එහි සිටුවා යම්කිසි ආකාරයක කඩොලානක් නිර්මාණය කරන්නට අපට හැකි විය. වෙන වෙනම කපාගෙන ආ වායුධර මුල් මඩේ සිටුවා, කරු මුල් කයිරු මුල් කඩොල් අතු වලට තබා බැඳ තිබුණු නිසා එහි එක්තරා තාත්වික ස්වරූපයක් දිස් විය. ඉතා ප්‍රවේසමෙන් රැගෙන ආ කකුළු රංචුව මෙහි අත්හැරියහොත් උන් පන්ති කාමරය පුරා දිවයන බව අපට මතක් වූයේ මේ සියලු කටයුතු අවසන් වූ පසු යි. කෙසේ හෝ උන්ගෙන් ප්‍රයෝජනයක් ගත යුතු බැවින් උන් නූල් මඟින් කඩොල් මුල් වෙත බැඳ තබන්නට යෝජනා වූයේ වෙන කළයුතු කිසිවක් සිතාගත නොහැකි තැනයි. වාසනාවකට උන් ඉතා අහිංසක කකුළු විශේෂයක් වූ බැවින් මේ 'නූල් බැඳීම' අපට ශාරීරික හානි නොවන සේ සිදුකල හැකි විය. අප විසින් අඳුරු කඩදාසි අලවා පන්ති කාමරයේ ජනේල වසා තිබුණේ කඩොලාන පරිසරයට ගැලපෙන ලෙස යි. එහෙත් හවස් වෙද්දී එය 'අඳුරු වැඩියි!' යැයි රැස්ව සිටි පිරිස අතරින් අදහස් මතුවන්නට විය. කොහෙන්දෝ සොයාගත් වයර් පටක් පන්ති කාමරයේ තිබුණු විදුළි පේනුවට සම්බන්ධ කර ඊට විදුලි බුබුලක් අමුණා කඩොල් ගස් අතර රඳවන්නට එක් මිතුරියක් ඉදිරිපත් වූයේ ස්වේච්ඡාවෙනි. තමන් 'වයර් වැඩ දන්නා' බවත් ' මේ වගේ වැඩ ගෙදරදීත් කර ඇති' බවත් ඈ පැවසුවේ මහත් වැදගත් කමකිනි. එහෙත් වයර් පට අතට ගත් සැණින් ඈ විදුලි සැර වැදී වෙව්ලන්නට වූයේ නොසිතූ පරිදි ය! රැස්ව සිටි කිසිවෙකුටවත් කර කියාගත දෙයක් නොමැතිව තත්පර දෙකතුනක් ගතවන්නට ඇත. කුමක් හෝ හාස්කමකට වැඩි වෙලාවක් ගතවන්නට මත්තෙන් ඈට ඒ වයර් පට අතහැරිණි. එසේ නොවුණා නම් කුමකින් කුමක් සිදුවන්නට තිබිණි දැයි මතක් වෙද්දී දැනුදු මගේ ගත සිත හිරිවැටී යයි. කම්පනය හැර වෙනත් හානියක් සිදු නොවී තිබුණු මිතුරිය එවෙලේම ගෙදර පිටත් කෙරිණි. කඩොලාන ආකෘතිය ආලෝකමත් කිරීමේ යෝජනාව වහාම අහෝසි කෙරිණි. මේ සියලු දේ සිදුවෙද්දී අප හා එකම ගුරුවරයෙක් වත් වැඩිහිටියෙක්වත් නොසිටියේ කුමන අතපසු වීමකින්දැයි දැන් නම් සිතාගත නොහැක. එහෙත් කෙසේ හෝ තවත් උපද්‍රව නොවී අපගේ කඩොලාන පරිසර ආකෘතියේ වැඩ අවසන් විය.

ප්‍රදර්ශනය මහත් උත්සවශ්‍රීයෙන් ඇරඹිණි. පන්තියේ සිසුවියන් කණ්ඩායම් කර 'එක්සිබිෂන් ඩියුටි' හෙවත් කුටියට පැමිණෙන අමුත්තන්ට කඩොලාන ගැන විස්තරයක් සැපයීමේ කටයුත්ත පවරා තිබිණි. ඩියුටි තිබුණු අය ඒ වෙනුවෙන් සැකසුනු විශේෂ ලාංඡනය පැළඳගෙන විස්තර කිරීම් කළේ මහත් ආඩම්බරයෙනි. මුල් දිනවල අමුත්තන් ලෙස බොහෝවිට පැමිණියේ අවට පාසැල් වල ප්‍රාථමික සිසුන් බැවින් කිසිදු හැලහප්පීමක් ඇති වූයේ නැත.ඩියුටි නොතිබුණු සෙස්සෝ පාසලේදී කලාතුරකින් ලැබුණු මේ නිදහස විඳිමින්, අයිස්ක්‍රීම් කමින්, ප්‍රදර්ශන භුමියේ සෙනඟ අතරේ හඳුනන මුහුණු සොයමින් ඇවිදිමින් කාලය ගත කළ හ. එහෙත් අපගේ ප්‍රදර්ශන කුටියට අප නොසිතු දෙයක් සිදුවෙමින් තිබිණි. කඩොලාන පරිසරය තනන්නට කතිකා කර ගනිද්දී, ගස්වලින් කපන ලද අතු සහ මඩ ආදියට සතියක් ගතවෙද්දී සිදුවිය හැකි දේ ගැන අප කල්පනා කර තිබුණේ නැත. අවාසනාවකට මෙන් ප්‍රදර්ශනයේ තෙවැනි දිනය පමණ වෙද්දී කඩොල් ගස් වල කොළ මැලවී අඩපණ වී තිබිණි. ජනෙල් වසා තිබුණු කුටිය,පල් වී තැම්බුණු මඩ ගඳින් පිරී තිබිණි. මීට අමතරව කඩොල් මුල් වෙත ගැටගසන ලද කකුළුවන් උන්ගේම කකුළු කතුරෙන් නූල් කපාගෙන දසත දිව ගොස් තිබිණි. ඇතැම් කකුළුවන් මිය ගොස් සිටි අතර ඇතැම් උන් පණ අදිමින් සිටියේ ආහාර නොමැති කමින් විය යුතුය. කුටියේ තිබුණු මඩ ගඳ ට කකුළු මළ කුණු පිලී ගඳත් එක් වී ඉන් නිකුත් වූයේ ඔක්කාර ඇතිකරවන දුර්ගන්ධයකි. අවාසනාවකට මෙන් අප බලාපොරොත්තුවෙන් උන් සහෝදර පාසැල් වල ශිෂ්‍යයන් ප්‍රදර්ශනය නැරඹීමට ඒමට තෝරාගෙන තිබුණේ ප්‍රදර්ශනයේ අවසාන දින කිහිපය ය. ඉතින්, උසස් මට්ටමක ප්‍රදර්ශන කුටියක් පෙන්වා 'කොල්ලන්ගෙන් ලකුණු ලබාගන්නට' බලා උන් අපට අන්තිමට ඉතිරි වූයේ මඩ ගඳ ගහන පන්ති කාමරයක් පමණි! එහෙත් නාඳුනන කොල්ලන් පැමිණ අපට කවටකම් කරන්නට තැත් කරද්දී හඳුනන කොල්ලන් පැමිණ තත්ත්වය වහා සමනය කළ බවත් කිව යුතුම ය. අසාර්ථක ප්‍රදර්ශන කුටියක් සැලසුම් කළාට ප්‍රදර්ශනය අවසන ගුරුවරියන්ගෙන් බැනුම් අසන්නට අප සූදානම් සරීරයෙන් උන්නත් පුදුමයකට මෙන් එවැන්නක් සිදු වූයේ නැත. සමහරවිට ඒ ගඳ ගසන කඩොලාන ආකෘතිය මඟින් ඉදිරියේදී වත් සැලසුම් සහගතව වැඩ කිරීම පිළිබඳව වටිනා පාඩමක් අප උගත් නිසා තවත් දඬුවම් අනවශ්‍ය යැයි ඔවුන් සිතන්නට ඇත!



pic- DBV facebook page
 


16 comments:

  1. දේවි බාලිකාවෙ ගෑණු ළමයි පන්ති කාමරයක් ඇතුලෙ කඩොලාන පරිසරයක් හදලා ඔයින් බේරුනා ඇති.
    අර "උපාසක කකුළුවා" දැන් ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙද?

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් මම 'ඒ මම නෙමෙයි' කිව්වාම ඕන කෙනෙකුට හිතෙන්නේ ඒ බොරුවට කියලා! :P ඇත්තටම නම් ඒ මම නෙමෙයි.. ඒ ළමයා දැන් ලංකාවේ කොළඹ පැත්තේ (වෙන)බාලිකාවක උගන්නනවා!:D

      Delete
  2. ඊට අවුරුදු දහයකට පස්සේ තිබුණ පණස්වෙනි සංවත්සරය මට මතක් වුණා අක්කා. ප්‍රදර්ශනේ විස්තරනං ඔයිට වඩා ඒ හැටි වෙනසක් නෑ. :D

    ReplyDelete
    Replies
    1. හානේ ඇත්තද? :D ලියන්නකෝ බලන්න පනහේ කාලේ අත්දැකීම් ටිකත්! අපි කට්ටියක් ඒ සංවත්සරේට එන්නත් කතාවෙලා, ඒත් බැරිවුණා.. දාසයෙදී වගේ නෙමෙයි විසිහයේදී රාජකාරී වැඩියි නේ! ;)

      Delete
  3. අපේ පාසලේ දරුවොත් මේ වගේම exhibition කරපු හැටි මතක් වුණා . විශ්වය කියලා එකක් හදලා අන්තිමට කළුවර කාමරයක් විතරයි. කොහොමටත් exhibition ඉවර වුනහම මැටි loads පිටින් අදින්න වුණා . සුන්දර අතීතය ඔබේ ලිපිය සමග මතක් වුණා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවාට මාලිනී ඇන්ටි! :) ඔව්..exhibition කියන්නේ ඉස්කෝල වල ඇතුවත් බැරි නැතුවත් බැරි දේවල් නේ!

      Delete
  4. අපි ඒ කාලෙ කනත්ත බාලිකාව ගණං ගන්නෙවත් නෑ දන්නවද?

    හැබැයි දේවී එකෙයි අපෙයි කලර්ස් එකමයි.සිල්වර් ඇන්ඩ් මෙරූන්...:)

    ReplyDelete
    Replies
    1. අපිට ඒ කාලේ ඔය හඩු කොල්ලෝ ගණන් ගත්තේ නැහැ කියලා හරි අඩුපාඩු වුණා.. දන්නවද? :P

      ඔව් ඔව් සිල්වර් ඇන්ඩ් මෙරූන්..:D (අපේ ලාංජනේ තියෙන්නේ සුදු නෙලුම් මලක්නේ, හරි නම් ඕක වයිට් ඇන්ඩ් මෙරූන් වෙන්න ඕන! ඒත් ඉතින් පෙනුම සිල්වර් දැම්මාම නේ)

      Delete
  5. හි හි හි
    කඩොලාන ඛන්නෝ ටිකක් නේද? පුදුමයි ඒ පැත්තේ මිනිස්සු ඔය ගස් උදුරනකොට පොලු උස්සගෙන ආවේ නැතුව

    ReplyDelete
    Replies
    1. //කඩොලාන ඛන්නෝ// ඒක නම් නියම නම!
      පුදුමෙකට එහෙම අකරතැබ්බයක් වුණේ නැහැ. අපි වගේ ස්වීට් ගෑනු ළමයි ටිකක් ගිය නිසා වෙන්න ඇති! :D

      Delete
  6. හික් හික් හොඳ වැඩේ දෙලොවක් අතර කස්ටියට...අපිත් ආවා ඔය එක්සිබිෂන් එක බලන්ඩ....අපේ යාලුවෙක් 'අඳුනන' කෙනෙක් ඉඳලා තියෙන්නේ ඔයාලගේ පන්තිවල.......!! ඒ කොහොම උනත් ඒ දවස් වල අපි කනත්ත දිගේ එන්ඩ ඇවිත් වෙච්ච අකරතැබ්බ කීපයක් ඉදිරියෙදි ලියන්ඩ හිතාගෙන ඉන්නවා!!

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නේ තව ආව කස්ටිය! ඔයගොල්ලෝ වගේ 'අඳුනන' අය එන එක ගැන තමයි අපේ ලොකුම උනන්දුව තිබුණේ, ප්‍රදර්ශනය priority list එකේ පල්ලෙහා! :D

      Delete
  7. /බොහෝ ක්ෂේත්‍ර චාරිකා මෙහෙයවා ඒ ගැන තොරතුරු හොඳින් දැන සිටි තාත්තාවත් ඒ ගමනට එකතු කරගන්නට මට හැකි විය/
    මේ වැඩේ පටන් ගැනීමේදී මටත් පොඩි තල්ලුවක් දෙන්නට හැකි වූ නිසා, comments කිහිපයක් ආවාට පස්සේ යමක් ලියන්නට හිතුනා. ඔය කියන මීගමු කඩොලානේ ක්‍ෂේත්‍ර අධ්‍යයනයක් සඳහා ඊටත් අවුරුදු තිහකට විතර කලින් මම ගොස් තිබුණා. ඒ මතකය පිට ගියාට ඒ වනවිට පැරණි කඩොලාන හොඳටම වෙනස් වෙලා. කලින් තිබුණු ජෛව විවිධත්වය විනාශවෙලා. මේ කණ්ඩායමේ කිසි කෙනෙක් කලින් කඩොලානක් දැක තිබුණේවත් නැහැ. එතනට ගිය ගමන්ම කිහිප දෙනෙක් "ඊ..ය්..යා, ඊ..ය්..යා" කියන්නට පටන් ගත්තා. එක්කෙනෙක් මඩ ඇති තැනක අඩිය තැබු ගමන්ම ලිස්සා ගොස් පස්ස බිම ඇණුනා. කොහොම හරි ඒ අසල සිටි අය කිහිප දෙනෙකුගේත් උදව්ව ඇතිව අවශ්‍ය දේවල් රැස් කර ගත්තා. කකුළුවන් දුටු ගමන්ම භයවී පස්සට පැනපු අය ටික වෙලාවකට පසු උන් අල්ලා ගන්නා හැටි කියා දුන්නට පස්සේ පහසුවෙන් අල්ලා ගත්තා. තාපස කකුළුවන් වෙනත් බෙල්ලෙකු හැරදමා ගිය බෙලි කටුවක් තුළ සැඟවී සිටින බව මම කියාදුන්නා. ප්‍රදර්ශනයේ තිබුණේ සාමාන්‍ය කකුළුවන්. ඒ උනත් ඒ සියල්ල පටලවාගෙන 'උපාසක කකුළුවා' කියලා. මම තුන්වෙනි දිනයේ ප්‍රදර්ශනය බලන්නට යනවිට එතැන අංග සම්පුර්ණ කඩොලානක් වෙලා තිබුණා. මඩ ගඳ, මැරුණු කකුළුවෝ, ගුල් වලින් එලියට ඇවිත් ටිකදුරක් ඇවිදින කකුළුවෝ ආදියත්, කයිරු මුල්, කරු මුල්, දනිස් මුල් ආදී සියලුම අනුවර්තනත් ඉතාම හොඳින් ප්‍රදර්ශනය කර තිබුණා.
    මෙය ඉතාමත් අගයකින් යුක්ත ප්‍රදර්ශන භාණ්ඩයක් බව බොහෝ දෙනෙකු සඳහන් කර තිබුණා.

    ReplyDelete
    Replies
    1. තාත්තා-ඇත්තටම ඒ කාලේ හැටියට අපිට තිබුණු පහසුකම්/දැනුම/ ඉස්කෝලෙන් ලැබුණු සහයෝගය වගේ දේවල් වල හැටියට ඔය ගණනට ආකෘතියක් හදාගත්ත එක ලොකු දෙයක්! ටිකක් අසාර්ථක උනත් ඉස්කෝලේ වෙන කවුරුවත් මේ වගේ මහා පරිමාණ වැඩක් කරලා තිබුණේ නැති නිසා අපිට පොඩි පිළිගැනීමක් නොතිබුණා නෙමෙයි. ඒත් කිසිම පෙර සූදානමක් නැතිව දේවල් කළ හැටි ගැන දැන් නම් පුදුමත් හිතෙනවා. කෙනෙකුට කරන්ට් වැදුනාම කොහොමද කියලා පුතාට පැහැදිලි කරන්න ගිහින් මට මේ කතාව මතක් වුණේ. මෙහෙ හැම පොඩි දේටම Risk assessment, safety procedures එක්ක හැදෙන පුතා මගේ යාළුවාට කරන්ට වැදුණු කතාව අහලා ටිකක් වෙලා යනකම් කටඋත්තර නැතිව හිටියා! :)

      Delete