March 07, 2017

පුතුන්

මා බලා සිටියේ ඈතින් පෙනෙන ගොඩනැගිලි සහ තුරු මුදුන් අඳුරු සෙවනැලි වලින් ගිලගන්නා ආකාරයයි. හිරු බැස යමින් තිබුණද තැන තැන රන්වන් ඉරි ඉතිරි කර ගොස් තිබිණි. බිත්තියක් පළලට පැතිරුණු වීදුරු කවුළුව නිසා සය වෙනි මහලේ උන් මට දැනුණේ මා අහසේ පාවෙන්නා මෙනි. අවට පැතිරුණේ බරැති නිහඬ බවකි. ඉඳහිටක ඈතින් ඇසෙන කෙඳිරියක්, බිළිඳු හැඬුමක් නොවන්නට, මෙය රෝහලක් බව ලේසියෙන් අමතක කරන්නටත් තිබිණි.

මා ළය පුරා උණුසුම් තෙතක් දැනෙද්දී මා අත උන් බිළිඳා කෙඳිරියක් නැඟීය. තවමත් පැය ගණනක් වයසැති ඔහු දැනටමත් ඔහුට හැකි සියලු ක්‍රියාකාරකම් සම්පූර්ණ කරමින් ජීවිතය ග්‍රහණය කරගෙන ඇත. උපන් මොහොතේ සිට ඒකායන අරමුණෙන් අහර සොයන්නත්, උණුසුම සොයන්නත් ඔහු උගෙන පැමිණ ඇති සේයි. බිළිඳාගේ තෙත රෙදි කඩ මා ඉවත් කළේ ඔහුගේ මව ගේ නින්ද නොබිඳින්නට පරෙස්සම් වෙමිනි. දරු ප්‍රසුතියේ වෙහෙසත්සැත්කමෙන් පසු ලද වේදනා නාශකවල මත් බවත් නිසා නංගී ගැඹුරු නින්දක පසු වුණා ය. ඇගේ මුහුණ හරහා නින්දෙන්ම විටින් විට වේදනාවේ ඉරි ඇඳී මැකී යනු පෙනිණි. 

තම නින්දට තිබුණු බාධා ඉවත් කෙරුණු නිසා බිළිඳා යළිත් මා අතේ සුවසේ නිදන්නට විය. කාමරයේ තිබුණු එකම පුටුවට බර වූ මා, ඔහු එතූ ෆ්ලැනල් රෙදි පොදිය තුරුළු කරගත්තේ ඔහුගේ අළුත් සුවඳින් හදවත පුරවා ගනිමිනි.

නිරායාසයෙන් මා සිත ඉගිලී ගියේ දස වසරකට එපිට මා පුතු ඉපදුණු දිනය වෙතටයි. ප්‍රසූතියට පෙර දැනුණු සිත කය හිරි වට්ටන බියත්, වදනින් කියා නිම කළ නොහැකි ප්‍රසුති වේදනාවත්, පුතු පළමු වරට අතට ගත් විට දැනුණු ළය පෙලූ රිදුම මුසු සතුටත්, මතකයේ මෑත ඉවුරක තවමත් රැළි ගසමින් තිබිණි.  මවු රටෙන් ඈත රටක රෝහලක උන් මට සැලකිලි කිසිත් අඩුපාඩු නොවුනද රෝහලේ නීති රීති අනුව රාත්‍රියට මා අසල කිසිවෙක් නවතා ගැනීමට නම් අවසර නොලැබිණි. මෙවැනිම පළමු රාත්‍රියක, දරුවා මගේ ඇඳ අසල කුඩා බැසිනෙට්ටුවක බහා තිබුණු අතර නළ මඟින් ඖෂධ ශරීරගත කරමින් තිබුණු බැවින් ඇඳෙන් නොබසින්නට මට අණ පනවා තිබිණි. දින දෙකක් පමණ එකදිගට නිදිවරා තිබුණද අලුත උපන් දරුවා අතපොවන මානයේ නැති නිසාදෝ ඒ රැයේදී නින්ද මා අහලකට වත් ආවේ නැත. ඉතා අපහසුවෙන් ඇඳෙන් බැස සේලයින් කනුවත් තල්ලු කරමින් පුතු ළඟට ගොස් නුහුරට ඔහුව වඩාගෙන නැවතත් ඇඳ වෙත එන්නට මට පැයක් පමණ ගත වූ හැටිත්, පසුව පැමිණි හෙදියක් සිනාසෙමින් මට දොස් කියූ මුත් අප දෙදෙනාට එලෙසම ඉන්නට දුන් හැටිත් මතක් වී මට නැඟුණේ සිනහවකි. ඒ පළමු රාත්‍රියත් අද මෙන්ම බොහෝ දිගු එකක් විය.

මා පළමු වරට බිළිඳෙකු රැකබලාගත්තේ ලොකු අක්කාගේ පුතු ඉපදුණු විටයි. එවකට උසස් පෙළ විභාගය ලියා අවසන් ව ගෙදර උන් මට එය මහත් ප්‍රීති ජනක විනෝදාංශයක් විය. දරුවාගේ වැඩපළට අම්මාත් අක්කලාත් උන් බැවින් මට පැවරුණේ අත් උදවු රාජකාරී ය. ඔහුගේ කැරළි ගැසුණු හිසකෙස් හැඩට පීරන්නටත්, දවසට කීප වතාවක් මල් මැසූ අළුත් කමිස අන්දන්නත් මම කැපවී සිටියෙමි. එය එක්තරා ආකාරයක බෝනිකි සෙල්ලමක වැඩි දියුණු අවස්ථාවක් වැනි විය. බිළිඳාගේ පෙකණිය වේලී හැලී යන්නට පෙර දිනයක ඔහුව නාවද්දී තුවාලය පෑරී ලේ වෑස්සුණු හැටිත්, ඒ දැක අසල උන් මා එසැණින් ක්ලාන්ත වූ හැටිත් මට හොඳහැටි මතක ය! උදෑසන හිරු එළිය වැටෙන්නට ළදරුවා ව ගෙමිඳුල ට රැගෙන යෑම එකල දිනචරියාවේ මගේ ප්‍රියතම අංගයක් විය. පිණි ඉහුණු ගහකොළ, අලුත පිපුණු මල් පෙන්වමින් ඔහු සමඟ මම බොහෝ වෙලාවක් මිදුලේ ගත කළෙමි. බිළිඳෙකුගේ දෑස රූප හඳුනාගන්නට කල් ගතවෙන බවත්, මුලින්ම පෙනෙන්නේ ඇතැම් පාට පමණක් බවත් මා උගත්තේ මේ ගමන් වලදීයි. තවත් කලකට පසු පොඩි අක්කාගේ පුතු උපදිද්දී මා සරසවියෙන් පිටවූවා පමණි. ප්‍රසූතියෙන් පසු ඇතිවූ සංකූලතාවයක් නිසා පොඩි අක්කා ඉතා අවදානම් තත්ත්වයක දවස් කීපයක් ගත කළා ය. ඒ වකවානුවේදී සිරින්ජයකින් කිරි පොවමින් හාමත් වන්නට නොදී ඒ පුතු රැක බලාගත්තේ අම්මාත් මාත් ය. පසු කලකදී පොඩි අක්කා නැවත රැකියාවට ගිය පසු පුතාගේ වැඩි වගකීම මට පැවරිණි. ඒ මා රැකියාවක් බලාපොරොත්තුවෙන් නිවසට වී උන් කාලයයි. කරදරයක් නැති දරුවෙකු වූ ඔහුට කැවීමට පෙවීමට අපහසු වූයේ නැත. එහෙත් දිනක් පළතුරු කවද්දී කැබැල්ලක් සිරවී ඔහු කහින්නට වූ හැටිත්, නාසයෙන් පළතුරු දියර වැගිරුණු හැටිත් මතක් වෙද්දී දැනුදු ඇඟ කිළි පොලා යයි. දැන් මේ කොලුවන් දෙදෙනාම මටත් වඩා උස ඉලන්දාරි වී ඇත. ඔවුන්ව වඩාගෙන සුරතල් කළ කාලය අද ඊයේ නොවන බව සිහිවෙන්නේ ඔවුන්ගේ උස මහත දකින විට පමණි.

මා අත උන් බිළිඳා අත පය සොලවන්නට වූයෙන් මගේ අඩ නින්දත්, මතක ආවර්ජනයත් බිඳිණි. කවුළුවෙන්ව පිටත තනි කළු පැහැය කියාපෑවේ රාත්‍රිය එළැඹි තිබුණු බවයි. කාමරයෙන් පිටත ට්‍රොලි ශබ්දත්, කටහඬවල මුණු මුණුවත් වැඩි වී තිබිණි. ඇහැරී උන් බිළිඳා මගේ උනුහුමේ කිරි සොයන්නට විය. ඔහුගේ මව ඇහැරවා ඔහුගේ කුස පුරවාලීම ඇයට පැවරූ මම යළිවරක් කවුළුව අද්දරට පිවිසුණෙමි. තවත් වසර කිහිපයකින් අප නැවත ලංකාවට පැමිණි විට මේ කොලු පැටියාත් දුවමින් පනිමින් සිටිනු ඇත. තවත් කාලයකින් ඔහුත් උස් මහත් වී, 'එකල කුඩාවට සිටියේ මොහු ම දැයි' සිතෙන තරමට ලොකු මිනිසෙක් වී සිටිනු ඇත. ඉඳහිට දකින්නට ලැබෙන ලොකු මාමාත්, ලොකු නැන්දාත් ඔහුගේ මතකයෙන් ඈත් වන්නටත් ඉඩ ඇත. එහෙත් කෙතරම් කාලය ගත වූවත් ඇතැම් මතක හා බැඳීම් නොවියැකෙන බව මේ වෙද්දී මම හොඳ හැටි දැන උන්නෙමි. අද දවසේ මතකයත් අදින් ඇරඹුණු මේ බැඳීමත් එවැන්නක් වනු ඇතැයි මම නිහඬව ප්‍රාර්ථනා කළෙමි. කවුළුවෙන් එපිට කොළඹට ඉහළින් පැතිරුණු ගණ අඳුරු අහසේ තරු එක දෙක මෝදු වෙමින් තිබිණි. එක් දිනක් ගෙවී යමින් තිබුණත් තවත් නැවුම්  දිනක් නිසැකවම එළඹෙන්නට නියමිතව තිබුණි.

My brand new nephew- Ninewells Hospital, Sri Lanka- Dec 2016

8 comments:

  1. ලස්සන අත්දැකීම් ලස්සනට ලියලා

    ReplyDelete
  2. පුතුන් ගැන මතක! ලස්සනයි!

    ReplyDelete
  3. හරිම අපූරුයි!

    ReplyDelete
  4. පුචි සිදුවීමක් දැනෙන්න ලියලා

    ReplyDelete
  5. ස්තූතියි කට්ටියටම- පොඩ්ඩක් 'මෙමරි ලේන්' එකේ ඇවිදලා ආවා! :)

    ReplyDelete
  6. මමත් අළුත උපන් දරවන් වඩාගන්න බොහොම ප්‍රියකරන කෙනෙක්. සාමාන්‍යයෙන් දරුවන් ඉන්නා මව්වරුන් පවා වෙන කෙනෙකුගේ අළුත උපන් දරුවෙක් අවශ්‍යතාවයකින් තොරව වඩාගන්න මදක් පැකිලෙනවා මම දැකලා තියනවා. ඒ අළුත උපන් දරුවන්ගේ බෙල්ල අතපය නිසිලෙස තමන්ගේ අත් මත රඳවා ගැනීම ඉතා සිහි කල්පනාවෙන් කල යුතු දෙයක් නිසා. මමත් එහෙම මුලින්ම වඩා ගත් මගේ සොහොයුරියන්ගේ ළමයින් දැන් ලොකු ළමයි.

    ReplyDelete
    Replies
    1. //සාමාන්‍යයෙන් දරුවන් ඉන්නා මව්වරුන් පවා වෙන කෙනෙකුගේ අළුත උපන් දරුවෙක් අවශ්‍යතාවයකින් තොරව වඩාගන්න මදක් පැකිලෙනවා මම දැකලා තියනවා.// ඒක නම් ඇත්ත තිසර, කාලයක් නොකෙරෙද්දී පොඩි නුහුරු+බය ගතියක් දැනෙනවා. වැඩියත්ම අනුන්ගේ ළමයි නම්! ඒත් එක සැරයක් වඩාගත්තාට පස්සේ ඒක හරියනවා. පිරිමි අනුන්ගේ අලුත උපන් දරුවන් වඩාගන්නවා මමත් වැඩිය දැකලා නැහැ.එහෙනම් ඔබ සුවිශේෂ කෙනෙක්!:)

      Delete