February 27, 2026

~ගිනි පුළිඟු වන් කෙටි කවි~


'දිනය පුරා
දැවෙන උදුනින්
තෝරාගනිමි
ගිනි පුළිඟු’

ගිනි පුළිඟු යන නම ලද, ගිනි පුළිඟු වැනි කෙටි කවි එකතුවක පිවිසුම ලෙස මේ කවිය කොයිතරම් උචිත ද! මේ අගනා කෘතිය ගැන දිගු විස්තරයක් වදන් කීපයකට ලඝු කිරීමට ඒ කෙටි කවියම සමත් වේ.

ගිනි පුළිඟු -කෙටි කවි එකතුව පෝලන්ත ජාතික ක්‍රිස්ටෝෆ් චයිෂෙව්ස්කිගේ ‘ෆයර්වර්ඩ්ස් -ටයිනි පොයම්ස්’ නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. ඉතා කුඩා කවි 166කින් සමන්විත මේ කෘතිය සිංහල කියවන්නන්ට රස විඳින්නට අවස්ථාව ලැබෙන්නේ ශ්‍රී ලංකික සහෘදයන් කිහිප දෙනෙකුගේ සාමූහික පරිවර්තන ප්‍රයත්නයක ප්‍රතිපලයක් ලෙසිනි. අමා ඔවිනි අලුත්ගේ, වත්සලා කන්නන්ගර, ලවණ්‍යා විජේසේකර සහ මොහාන් ධර්මරත්න යන අය විසින් මේ කවි රැස පරිවර්තනය කර ඇති අතර එය අපූරු පොතක් බවට සංස්කරණය වී ඇත්තේ මොහාන් ධර්මරත්න ගේ දායකත්වයෙනි.

කවියකු, කතුවරයකු, සමාජ ක්‍රියාකාරියෙකු, ගුරුවරයකු සහ නළුවකු වශයෙන් විවිධ භූමිකා වලට පණ පොවන ක්‍රිස්ටෝෆ් චයිෂෙව්ස්කි, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ සාහිත්‍ය කටයුතු වෙනුවෙන් ඉමහත් සේවයක් සිදුකරන අයෙකි. ෆයර්වර්ඩ්ස් කෘතියේ පිවිසුමේ තම මවට ලියූ ලිපියක කවියා ඇයට ස්තූති කරන්නේ තමන්ට සොබාදහමට අතපොත් තැබීම පිළිබඳවයි. මේ කුඩා කවි වලින් බහුතරයක්ම ස්වභාව ධර්මයේ සුන්දර නිමේෂයන් හා බැඳී පැවතීම සුවිශේෂී කාරණාවකි.

මිහිදුම් හාදුවෙහි
වෙළුණු පොකුණත
නිහඬවම අසුන්ගෙන
අප දෙදෙන

---

හේමන්ත මැහැල්ල
පත් රහිත
සිය නගන සිරුරෙහි
දවටා ගනී ආලෝකය

---

ලෝකය රඟදෙයි
වැහි ගිනි දලු මැද
ඔබ කුඩයක් අතැතිව

කවියක සාන්ද්‍ර බව වැඩිවන්නේ එය කෙටි වූ තරමටය යන්න චයිෂෙව්ස්කිගේ කෙටි කවි වලින් මනාව පිළිබිඹු වේ. මෙවැනි කවියක් කියවීමට ගතවන්නේ කුඩා මොහොතක් වූවත් ඒ ගැන තව බොහෝ වෙලාවක් නැවතී කල්පනා කිරීමට හැකිවීම මෙහි අගය වැඩි කරයි. මනුෂ්‍ය පැවැත්ම ගැනත්, මරණය ගැනත් වචන කීපයකින් කියවන්නාගේ සිතේ ගිනි ඇවිලවීම මේ කෙටි කවි වල සුවිශේෂත්වයයි.

දයාවෙන් ජීවත් වන්න
කැදලි තනන්න, සිහින දකින්න
මුවන්ට කැළැල් ඇති නොවන සේ

----

අප රැස් කරන ලද
ආලෝකය පමණක්
ශේෂ ව
අන් සියල්ල වියැකෙමින්

---

හිඳී කිසිවකු මා තුළ
මගේ කැමැත්තට එරෙහිව
මගෙම තර්කයට එරෙහිව

හැම කවියකටම ගැලපෙන සේ චයිෂෙව්ස්කි කවියා විසින් සිය කැමරාවට හසු කරගන්නා ලද කළු සුදු සේයාරුවක් ඇතුළත් කර තිබීම මේ ‘ගිනි පුළිඟු’ කෘතියට තවත් මානයක් එක් කරයි. කවි වලින් කියවන්නාගේ සිතේ ජනනය කරනු ලබන මායාමය බව මේ සේයා රූ වලින් තවත් තීව්ර කෙරේ.

මුලින් පෝලන්ත භාෂාවෙන් ලියවුණු මේ කවි ඉනික්බිති කතුවරයා සහ පෝලන්ත ජාතික කතුවරුන් කිහිපදෙනෙකු විසින් ඉංග්‍රීසි බසට හරවා කෘතියකට ගොනු කර ඇති අතර ඉහත කී ශ්‍රී ලාංකික පර්වර්තක කණ්ඩායමේ කැපවීම නිසා ඒවා දැන් සිංහල පාඨකයන්ට ද රස විඳීමට ඉඩ හසර සැලසී තිබේ. ඔවුන් විසින් මේ කවිවල රසයත්, ඒවායේ සාන්ද්‍ර ගුණයත් නොනසා සිදුකරන ලද මේ අපූරු පරිවර්තන කාර්යය අගය කළ යුතුය. ‘ගිනි පුළිඟු - කෙටි කවි’ කෘතිය එක් වරක් කියවා අවසන් කරනු ලබන පොතක් නොව, ළඟ තබාගෙන, වරින් වර කියවමින් රස විඳිය යුත්තක් බව එය කියවද්දී ඔබට පසක් වනු ඇත.

හෙල්මලී ගුණතිලක

ගිනි පුළිඟු- කෙටි කවි (2025)
ක්‍රිස්ටෝෆ් චයිෂෙව්ස්කිගේ ‘ෆයර්වර්ඩ්ස් -ටයිනි පොයම්ස්’ හි පරිවර්තනයක්
පරිවර්තනය අමා ඔවිනි අලුත්ගේ, වත්සලා කන්නන්ගර, ලවණ්‍යා විජේසේකර සහ මොහාන් ධර්මරත්න
සංස්කරණය මොහාන් ධර්මරත්න
සුභාවි ප්‍රකාශනයක්



February 24, 2026

එකේ පන්තියේ කතාවක්



එකේ පන්තියට ඉර එළිය වැටෙන්නේ අනිත් හැමතැනටම කළින්. ඒකට හේතුව ඉර එළිය පරක්කු දවසටත් හිනා කිචි බිචියෙන් එළිය අරගෙන පොඩ්ඩෝ ටික පන්තියට දුවගෙන එන නිසා. මේ එකේ පන්තිය භාර ටීචර් මිසිස් රොබර්ට්ස්. පන්තියේ පොඩ්ඩෝ ටික එයාට පණ ඇරලා. මිසිස් රොබර්ට්ස්ගේ ආදරේ නිසා මේ දරු දැරියෝ හැමෝම ඉස්කෝලේ එන්නේ හරි උනන්දුවෙන්. 

ඒත් හදිසියේම එක දවසක් උදේ පන්තියේ දොරකඩ ඉඳන් ළමයින්ව පිළිගන්න මිසිස් රොබර්ට්ස් හිටියේ නැහැ. ඒ වෙනුවට එතැන හිටියේ සර් කෙනෙක්, එයාගේ පෙනුමත් නුහුරුයි. එකේ පන්තියේ පොඩ්ඩෝ ටික පන්තියට නොගිහින් දොරකඩ රැඳුනා.

"ගුඩ් මෝනින්, මම මිස්ට විල්ෆර්ඩ්, අද මම තමයි ඔයාලගේ ටීචර්. මිසිස් රොබර්ට්ස් අසනීප වෙලා නිසා අදට විතරක් ඔයාලගේ පන්තිය බලාගන්නේ මම" ඒ සර් ලොකු හිනාවකින් කිව්වා.

ඒත් පොඩ්ඩෝ අතර කසු කුසුවක්. එක්කෙනා දෙන්නා තමන්ගේ ඩෙස්ක් වලට ගිහින් වාඩි වුණත් හැමෝගෙම ඇස් මිස්ටර් විල්ෆර්ඩ් දිහා ඇලවුණු ගමන්මයි තිබුණේ. මේකට හේතුව ඒ ගුරුවරයාගේ හමේ මේ පොඩ්ඩෝ කවදාවත් දැකලා නැති වෙනසක් තිබුණ එක. එයා විටිලයිගෝ එහෙම නැත්නම් සුදු කබර රෝගයට ගොදුරු වුණු කෙනෙක්. මේ පොඩ්ඩන්ට නම් මේක අමුතුම දසුනක් වුණා. 

එකේ පන්තියේ මේ කැළඹීම ගැන නොදැන මිස්ට විල්ෆර්ඩ් පන්තියේ නම් ලකුණු කරන්නයි ලෑස්තිය. ඒත් පන්තිය පුරාවටම අත් පහලවක් විස්සක් ඉස්සිලා. එහෙම තමයි මිසිස් රොබර්ට්ස් එයාලට කියලා දීලා තිබුණේ, ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් කෑ ගහන්න එපා, තමන්ට ඒ ප්‍රශ්නේ අහන්න වාරයක් ලැබෙනකම් අත උස්සාගෙන ඉන්න කියලා. 

"ආ මේ පන්තියේ ළමයින්ට උදේම ප්‍රශ්න ගොඩාක් තියෙනවා වගේ, මුලින්ම අපි නම් ලකුණු කරලා ඉමු නේද?" මිස්ට විල්ෆර්ඩ් එකේ පන්තියේ නම් ටික ලකුණු කරන්න පටන් ගත්තා. 

"හරි ඔයා අහන්න පළවෙනි ප්‍රශ්නේ" ඉන්පස්සේ මිස්ට විල්ෆර්ඩ් ඉස්සරහා පේළියෙ අත උස්සාගෙන ඉන්න ගෑනු ළමයෙක්ගෙන් පටන් ගත්තා.

"ඔයාගේ හමට මොකද වුණේ?" ජෙසී බොහොම ඍජුවම මිස්ට විල්ෆර්ඩ්ගෙන් ඇහුවා. ඒ එක්කම උඩට ඉස්සිලා තිබුණු ඉතුරු අත් ටික පහළට වැටුණා. අනිත් අයත් අහන්න ඉඳලා තියෙන්නේ ඒ ප්‍රශ්නේ!

මිස්ට විල්ෆර්ඩ් කලබල වුණේ නැහැ. එයාට පුංචි ළමයින්ගේ ඍජු ප්‍රශ්න පුරුදුයි. 

"බොහොම හොඳ ප්‍රශ්නයක්! මට තියෙන්නේ හමේ රෝගයක්. ඒකට විටිලයිගෝ කියලා කියන්නේ. ඒකෙන් වෙන්නේ හමේ තිබුණු පාට අඩුවෙලා මේ සුදු පාට වැඩි වෙන එක. මට ඒකෙන් කිසිම වේදනාවක් නැහැ. ඒ වගේම ඒක බෝ වෙන්නෙත් නැහැ"

මේක අහලා එකේ පන්තිය ටිකක් නිශ්ශබ්ද වුණා. හැමෝම මේ විස්තරේ තේරුම් ගන්න උත්සාහ කරමින් හිටියේ. 

තවත් අතක් උඩට ඉස්සුණා, ඒ ජමාල්.

"ඒකට ඔයා බේත් බොන්නේ නැද්ද, අපේ තාත්තා කියන්නේ ලෙඩ හොඳවෙන්න නම් බේත් බොන්න ඕන කියලා."

"ඔයාගේ තාත්තා හරි, බේත් බිව්වාම ගොඩාක් ලෙඩ හොඳ වෙනවා තමයි. ඒත් මේක නම් එහෙම බේත් බීලා හොඳ කරන්න අමාරු ලෙඩක්. ඒ වගේ ලෙඩත් මේ ලෝකේ තියෙනවා."

ඒ පාර නම් එකේ පන්තියේ පොඩි කසුකුසුවක් ගියා. බේත් බීලා හොඳ වෙන්නේ නැති ලෙඩ! එහෙම දේවල් ගැන මෙයාලා කළින් දැනගෙන හිටියේ නෑ.

ටික වෙලාවකින් තවත් අතක් උඩට ඉස්සුණා. ඒ කටකාර ඉසබෙලා.

"මිස්ටර් විල්ෆර්ඩ්, ඔයාගේ හම සුදු පාට වෙන ලෙඩේ බෝ වෙන්නේ නෑ කියලා ඔයා කිව්වාට, කොයිකටත් ඔයා අද අපේ පොත් අල්ලන්න එපා හොඳේ." එයා කිව්වා.

ඒක අහලා එකේ පන්තියේ ඉතුරු පොඩ්ඩෝ ටික උඩට ගත්ත හුස්ම පහළට නොදා බලාගෙන හිටියා. ගුරුවරයෙකුට තමන්ගේ පොත් අල්ලන්න එපා කියලා ළමයෙක් කියන එක! මිසිස් රොබර්ට්ස් හිටියා නම් ඉසබෙලාගේ මේ කතාවට මොනවා කියයිද!

හැබැයි මිස්ට විල්ෆර්ඩ් නම් ඉසබෙලාගේ ඒ කතාවෙන් කේන්ති ගත්ත බවක් පෙනුණේ නැහැ.

"මම පොරොන්දු වෙනවා මේක මගෙන් ඔයාලට බෝවෙන්නේ නැහැ කියලා. මට දැන් මේක හැදිලා අවුරුදු දහයක් විතර වෙනවා. ඒත් මාත් එක්ක එකම ගෙදර ඉන්න මගේ නෝනාත් දූලා දෙන්නත් තාම තනි පාටට ඉන්නවා!" එහෙම කියලා එයා හයියෙන් හිනාවුණා. "ඕගොල්ලන්ට මාව විශ්වාසයිද?"

මේකට නම් මුළු එකේ පන්තියෙන්ම හයියෙන් "ඔව්!" කියලා උත්තරයක් ලැබුණා.  

මිස්ට විල්ෆර්ඩ්ගේ හමේ පාටේ වෙනස ගැන එකේ පන්තියට තිබුණු ප්‍රශ්න විසඳුණු බවක් තමයි පෙනුණේ. ඒත් මිස්ට විල්ෆර්ඩ් දවසේ පාඩම පටන්ගන්න යද්දී එක පුංචි අතක් උඩට ඉස්සෙනවා දැක්කා. ඒ අසීෆ්. 

"මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ?" මිස්ට විල්ෆර්ඩ් ඇහුවා.

"මිස්ට විල්ෆර්ඩ්, මම හිතන්නේ ඔයා ගහක් වගේ" අසීෆ් තියුණු කටහඬකින් කීවේ පුංචි හිනාවක් එක්ක. 

"එහෙමද? ඒ මොකද ඔයාට එහෙම හිතුණේ?" මිස්ට විල්ෆර්ඩ් ඇහුවා.

"අර බලන්න පිට්ටනිය වටේ තියන ගම් ගස්. ඒවායේ කඳේත් ඔයාගේ හමේ වගේ පාට කීපයක මෝස්‌තර තියෙනවා, හරි ලස්සනයි. ඒ නිසා මම නම් හිතන්නේ ඔයා ගම් ගහක් වගේ!" අසීෆ් දිගටම කියාගෙන ගියා. 

අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ හම ගැන ඉස්කෝලවල ළමයින්ගෙන් එක එක විදිහේ කතන්දර අහලා ඒවාට හොඳට පුරුදුවෙලා හිටිය මිස්ට විල්ෆර්ඩ් මේ කතාව අහලා ටිකක් නිරුත්තර වුණා. 

අසීෆ් ළඟට ඇවිත් එයාගේ පුටුව ළඟ බිමට පහත්වුණු මිස්ට විල්ෆර්ඩ් "ඔයාගේ නම මොකක්ද පුතා?" කියලා ඇහුවා.

"අසීෆ්" අසීෆ් උත්තර දුන්නේ ඇස් දෙක ලොකු කරගෙන

"ඔයාගේ ඒ අදහසට බොහොම ස්තූතියි, අසීෆ්. මම ඊළඟ වතාවේ මගේ හමේ අසනීපෙ ගැන අනෙත් අයට කියද්දී ඔයා කීවා වගේ ගම් ගස් ගැනත් කියන්න ඕන. ඒවගේම ගම් ගහක් දකින හැම සැරයක්ම මට ඔයාව මතක් වෙයි. ස්තූතියි පුතා!" 

මෙහෙම කියලා ආයෙත් තමන්ගේ මේසය ළඟට යද්දී මිස්ට විල්ෆර්ඩ්ගේ ඇස් දෙකේ හීනි දිලිසුමක් තිබුණු බව එකේ පන්තියේ කවුරුවත්ම දැක්කේ නැහැ. 


(සත්‍ය කතාවක් ඇසුරින්)

AI picture


February 20, 2026

නොනිමි නරි කතා


ඉතින් ඒ නරියා මොන වගේද?
සුරංගනා කතාවක, රහස් ආයිත්තම් ඇඟ ලූ කුමාරයෙක් වගේ

ඌ මොනවාද හොයමින් හිටියේ?
තරු අතරින් තණබිමට වැටුණු හාවෙක්ව

ඌ හැඩට කොණ්ඩය පීරලා කුමාරයෙක් වගේ ඔටුන්නක් හිසලා හිටියාද?
නෑ, ඌ රළුයි, උරුලෑ ගඳකුත් තිබුණා, හැබැයි හරිම ලස්සනයි
අපිට ලස්සන අවතක්සේරු කරන්න බැහැනේ නේද?


ඉතින් ඔයා කාර් එක නැවැත්තුවා ද?
නෑ, මම යමින් උන් ගමන දිගටම ගියා, මට ඒ ගමන ගැන මතක නැහැ

එහෙනම් මොනවාද මතක?
නරියා ගැන, නරියා ගැන!

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'More of the Unfinishable Fox Story' by Mary Oliver

පසු සටහන- මම නරින්ට බොහොම කැමති කෙනෙක්නෙ. මෙල්බර්න් නගරයේ නරි හිටියාට අපිට උන්ව දකින්න වෙන්නේ පාර තොටේ වාහන වලට හැපිලා මැරිලා ඉන්දැද්දී තමයි. මෙයාලගේ මායාමය ලස්සන නිසා මම නිතරම නරි අඳිනවාත් එක්ක. මගේ ප්‍රියතම කිවිඳියක් වන Mary Oliverත් මං වගේම නරි ෆෑන් කෙනෙක් බව මම දැනගත්තේ මේ කවිය දැක්කාම!
මේක තමයි මේකේ මම කැමතිම කෑල්ල-

//එහෙනම් මොනවාද මතක? නරියා ගැන, නරියා ගැන!// 😅


image of fox sketched by hand

 

February 16, 2026

දාරක වියෝගයේ වේදනාව කටු තුඩින් ලියන අයියන්දේ - විදෙසක ලිවිසැරිය



මෙලොව කවර මවකට හෝ පියකුට වුව සිදු විය හැකි ලොකුම ඛේදවාචකය තමන්ගේ දරුවකු අහිමි වීම බවට විවාදයක් නැත. එය ඔවුන්ගේ මනසට කිසි දින සුව නොවන තුවාලයකි. ඉසබෙල් අයියන්දේ විසින් රචිත ‘ද වින්ඩ් නෝස් මයි නේම්’ නම් පොතට පදනම් වන්නේ දශක කිහිපයක් ඔස්සේ මෙලෙස එකිනෙකා අහිමි වූ දරුවන් සහ මවුපියන් කිහිප දෙනකුගේ එකට ඈඳුණු ජීවිත පිළිබඳ කතාවකි. 

“ලෙටීෂියා සතු වඩාත් බියකරු මතකය නම් රාත්‍රියක රියෝ ග්‍රන්දේ ගඟින් එතෙර වූ දිනයයි. එවේලේ ඇයගේ පියා රබර් ටියුබයක ආධාරයෙන් පා වෙද්දී, ඈ ලණුවකින් ඔහු වෙත ගැටගසා තිබිණි. ලෙටීෂියා එතෙක් පරිස්සම් කරගෙන තිබුණු, අඳුරේ පවා දිලිසෙන කුඩා කුරුසය සැඩ දියේ වැටී සැඟව ගියේ එදිනය. පසු කලෙකත් ඈ ඇතැම් රාත්‍රීන්වල බිය වී අවදි වූයේ ඒ බියකරු දිනයේ දැනුණු සීතල, ත්‍රාසය, අඳුර, නිහඬ බව, යාච්ඤා මිමිනුම් සහ ගං දියේ සැඩ රළ ළඟ ළඟම දැනීම නිසාය.” 

‘ද වින්ඩ් නෝස් මයි නේම්’ හි කතාන්දරය ගෙතෙන්නේ එකිනෙකාට කිසිම ඥාතිත්වයක් නැති සැමුවෙල්, ලෙටීෂියා සහ ඇනීටා වටාය. මේ තිදෙනාම තම ළමා අවධියේ විවිධ ආකාරයේ බිඳවැටීම්වලට ලක් වූ, විවිධ හේතු මත තම මවුපියන්ගෙන් වෙන් වීමට සිදු වුණු අයයි. ඒ හැම වෙන් වීමක්ම තමන්ගේ කිසිම වරදක් රහිතව, ඔවුන් කිසියම් ජාතියක්, ජන වර්ගයක් නියෝජනය කිරීම නිසා සිදු වූ ඒවාය. තනිකමේ සහ අසරණ බවේ පතුලක් නොපෙනෙන දුක ඔවුහු හොඳින් හඳුනිති. එමෙන්ම ඒ දුක් ජය ගැනීමේත්, ඊට අනෙකාට සවියක් වීමේත් ක්‍රම ඔවුහු ඉවෙන් මෙන් දනිති. මේ නිසා අවසානයේදී ඔවුන් එකිනෙකා වෙත බැඳෙන්නේ ලේ ඥාතිත්වයටත් වඩා සවිමත් බැම්මකිනි. 

“ඒ කතාබහ අතරතුරදී ඇති වූ දිගු විරාමයේදී ලෙටීෂියා කඳුළු පිසලන්නට වූ අතර, සැමුවෙල් තමන්ගේම අතීතය සිහියට නඟාගත්තේය. තම හදවතේ රහස් කුටියක සිර කර තිබුණු වේදනාත්මක මතක නැවත ඔහු වෙත වේගයෙන් ගලා එන්නට විය. ඒ කෑගැසීම්, දසත පැතිරුණු දුම්රොටු, තමන්ට දැනුණු බිය සහ දුම්රියපොළේදී තමාට සමු දුන්, ශෝකයෙන් පීඩිත තම මවගේ රුව ඔහුට යළි සිහි විය.”

අයියන්දේ මේ කතාව ඉදිරියට ගෙනයන්නේ එහි එක් එක් චරිතයේ දෘෂ්ටිකෝණයෙනි. මේ නිසා අවතැන් වීමේ පීඩාකාරි බව කොයි තරම් සංකීර්ණද යන බව මෙන්ම ඒ හැම කතාවකම හරය කොතරම් එකිනෙකට සමානද යන බව පෙන්වීමට ඈ සමත් වී තිබේ. මීට සමාන්තරව, මෙවැනි හඬක් නැති අවතැන් වූවන් වෙනුවෙන් කිසිම වාසියක් නොලබා, තම කාලය, ශ්‍රමය, ධනය කැප කර සටන් කරන කණ්ඩායම් ගැනත් ලේඛිකාව මේ කෘතියෙන් තතු මතු කරන්නීය. මේ අරමුණට කැප වූ විවිධ ස්වේච්ඡා ආයතනවල සාමාජිකයන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාත්, මූල්‍ය, නෛතික සහ සමාජීය දායකත්වය නිසාත් මේ පීඩිතයන්ගේ ජීවිත අංශුමාත්‍රිකව හෝ යහපත් අතට හැරෙන බව ඇය මේ කතාවෙන් පෙන්වයි. 

චිලී සම්භවයක් ඇති ඉසබෙල් අයියන්දේ 1942දී උපත ලැබුවේ පීරුහිදීය. ඈ පොත් 30කට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති අතර, ඒවා භාෂා 42කට පරිවර්තනය වී ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් ලබා තිබේ. සාහිත්‍ය ලෝකයට ඇයගෙන් ලැබුණු දායකත්වය වෙනුවෙන් අයියන්දේ ගෞරව ආචාර්ය පදවි පහළොවකින් පිදුම් ලබා තිබේ. ලිවීමට අමතරව ඈ මානව හිමිකම් සුරැකීමේ අරමුණ වෙනුවෙන්ද තම කාලය වෙන් කරන අතර, ඇය අරඹා ඇති මානවවාදි පදනම ලොව පුරා පීඩාවට පත් කාන්තාවන් සහ දැරියන් වෙනුවෙන් පෙනී සිටී.  

ඉසබෙල් අයියන්දේ තම පදනමේ කටයුතු ගැන පවසන මේ අදහසින් ඇයගේ ජීවන දර්ශනයත් ‘ද වින්ඩ් නෝස් මයි නේම්’ කතාවේ සාරයත් මැනවින් හුවා දැක්වේ:

“ඇතැම් විට අප සතුව ඇති සීමිත සම්පත්වලින් කළ හැකි දේ ක්ෂුද්‍ර වීම ගැන මම කම්පාවට පත් වෙමි. එහෙත් අප විසින් ලෝකය වෙත කරනු ලබන බලපෑම සංඛ්‍යාවලින් ගණනය කළ නොහැකි බව මගේ කණ්ඩායමේ සාමාජිකයෝ මට සිහිපත් කරති. අපගේ මෙහෙය මැනිය හැක්කේ ජීවිතවලිනි.”

හෙල්මලී ගුණතිලක

සිළුමිණ - විදෙසක ලිවිසැරිය 15.02.2026 

February 09, 2026

ටෙලිෆෝන් මතක


පහුගිය දවසක අපේ පුතාත්, ලොකු අක්කාගේ පුතාලත් ඇතුළු තරුණ ළමයි කීපදෙනෙක් එක්ක කතාබහක ඉන්දැද්දී 'ටෙලිෆෝන්' ගැන මාතෘකාව ආවා. මේ ළමයි නම් හොඳටම දැනගෙන හිටියේ මොබයිල් ෆෝන්ස් ගැන විතරයි. ලෑන්ඩ් ෆෝන්ස් වුණත් එයාලා දැනගෙන හිටියේ බොත්තම් ඔබන, ස්පීකර් දාන්න පුළුවන් වර්ගයේ ඒවා. පරණ ජාතියේ ඉලක්කම් කරකවන ෆෝන් එකක් අපේ ගෙදර තිබුණු බව තාත්තාත්, අක්කාත්, මාත් කීවම එයාලට හරි පුදුමයි. ඉතින් ඒ කතාබහෙන් තමයි මේ ටෙලිෆෝන් මතක සටහන මතු වුණේ.

අසූව දශකයේ මැද හරියේදී ලංකාවේ ගෙවල් වල ලෑන්ඩ් ෆෝන්ස් වැඩිය තිබුණේ නැහැ, ඒවා තිබුණේ ආයතන වල, පොස්ට් ඔෆිස් වල එහෙම තමයි. ඔය කාලේ අපේ ගෙදර තිබුණා අඳුරු කොල පාට, නොම්මර කරකවන ටෙලිෆෝන් එකක්. ඒක තියලා තිබුණේ ගෙදර ඉස්සරහම තිබුණු කන්තෝරු කාමරේ මේසයක් උඩ තියපු ලොකු ටෙලිෆෝන් ඩිරෙක්ට්‍රි එකක් උඩ. ඔය පොත පෙරළලා තමයි ඒ කාලේ කාගේ කාගේත් නොම්මර හොයාගත්තේ. මේ පොත බස්නාහිර පළාතට වෙනමම ද මුළු රටේම නොම්මර එක පොතක තිබුණා ද කියලා මට මේ වෙද්දී මතක නැහැ.

ඒ කාලේ ඉතින් වැඩිය කාටවත් ටෙලිෆෝන් නොතිබුණු නිසා අපිට නම් ඕක තිබ්බත් කතාකරන්න කෙනෙක් හිටියේත් නැහැ. තාත්තා ට නම් ඒකට රාජකාරී ඇමතුම් ආවා. ඕක ring වෙද්දී කුස්සියටත් ඇහුණා- එහෙමට සද්දයි. ඒ කාලේ ටෙලිෆෝන් answer කළේ වැඩිහිටියෝ විතරයි, ඒ තරම් වැදගත් තැනක් ගෙදර එකට ලැබුණා. ඒ වගේම තමයි ඒ කාලේ තමන් ඉන්න දුරකථන කලාපෙන් පිට කලාපයකට කෝල් එකක් ගන්නවා නම් 'එක්ස්චේන්ජ්' එකක් හරහා ගන්න සිදු වුණු එක. ඉතින් අපි පානදුර එක්ස්චේන්ජ් එකට කතාකරලා අපිට ඕන නොම්මරේ කියනවා. එතැන ඔපරේටර් ඒ නොම්මරේට කතාකරලා, අපිට ආයෙත් කෝල් කරලා 'මෙන්න ඔයාගේ කෝල් එක' කියලා සම්බන්ධ කරනවා. මේකට විනාඩි දහයක් පහලවක් යන්න පුළුවන්, ඉන්ස්ටන්ට් කෝල්ස් කියලා ජාතියක් තිබුණේ ළඟ පාතට විතරයි. මට මතකයි කළුබෝවිල හිටිය අපේ පුංචි අම්මාලගේ ගෙදරට අම්මලා ඒ විදිහට එක්ස්චේන්ජ් එක හරහා කෝල්ස් ගන්නවා. 

ඊට අමතරව අපේ ගෙදර තිබුණු ටෙලිෆෝන් එකෙන් පොඩි සමාජ මෙහෙවරකුත් වුණා. ඒ කාලේ අපේ පළාතේ තරුණයෝ එක එක තාක්ෂණික රස්සාවලට මැද පෙරදිග රටවලට යන්න පටන්ගෙන තිබුණ කාලේ. ඒත් එයාලගේ පෙම්වතියො හිටිය ලංකාවේ. ඉතින් මේ අයියලා අපේ ගෙවල් අහල පහල හිටිය එයාලගේ පෙම්වතියන්ට කෝල් කළේ අපේ ගෙදර ටෙලිෆෝන් එකට. ඒකත් කෝල්ස් දෙකකට තමයි සිද්ධ වුණේ. මුලින් කතාකරලා ෆෝන් එක ගන්න අම්මාට කියනවා 'ඇන්ටි, ලාලනී ට තව විනාඩි දහයකින් ඔහෙට ඇවිත් ඉන්න කියන්න පුලුවන්ද?' වගේ පණිවිඩයක්. ඊටපස්සේ විනාඩි දහයකින් ආයෙත් කතාකරනවා ලාලනී එක්ක කතාකරන බලාපොරොත්තුවෙන්. ඔය විනාඩි දහය ඇතුළත අහල පහල ගෙවල් වලට මේ පණිවිඩය අරගෙන යන රාජකාරිය පවුලේ බාලයා වශයෙන් මට තමයි පැවරුණේ. ඒ කාලේ වයස අවුරුදු දහයක් වගේ තරමේ හිටිය මට මේ පෙම්වතුන්ගේ කෝල්ස් වල තිබුණු වැදගත්කමක් ලොකුවට තේරුණේ නැහැ, හැබැයි මං එක පයින් මේ පණිවිඩ ගෙන යාම කළා.  

අනුන්ගේ ගෙදරකට ගිහින් තමන්ගේ පෙම්වතා එක්ක ටෙලිෆෝන් එකෙන් කතාකරන්න සිද්ධ වෙනවා කියන එක ඒ කාලේ මේ අක්කලාට මහා කරදරකාරී වැඩක් වෙන්න ඇති කියලා දැන් නම් හිතෙනවා. හැබැයි ඉතින් එයාලට කතාකරන්න තිබුණු එකම ක්‍රමයත් ඒකනේ. ෆෝන් එක තිබුණේ ගෙදර පොදු තැනක නෙමෙයි නිසා එයාලට ඒ කතාබහට උවමනා privacy එක නම් තිබුණා. හැබැයි ඉතින් සමහර දාට ඔය කෝල්ස් අතර පෙම්වතුන් ජෝඩුවගේ රණ්ඩුත් සිද්ධ වුණු බව මතකයි. ඒ බව අපි දැනගන්නේ අදාළ අක්කා කෝල් එක ඉවරවෙලා කඳුළු පිහදමමින් "තෑන්ක් යූ ඇන්ටි, ගිහින් එන්නම් නංගි" කියලා හැඬුම්බරව අපේ ගෙදර අයට කියද්දී. හැබැයි කියන්න සන්තෝසයි, මම එහෙම ටෙලිෆෝන් පණිවිඩ ගැන පණිවිඩ අරගෙන ගිය ඔක්කොම ජෝඩු කසාද බැඳලා දැන් දරු මුනුපුරොත් ඉන්නවා! 

දැන් තියන මොබයිල් ෆෝන්ස් අපට ඉස්සරට වැඩිය ප්‍රයෝජන බව, නැතිව බැරි බව ඇත්තයි. හැබැයි මට හිතෙන්නේ තිස්සෙම අත පාත තියෙන නිසා අපට ඒකෙ අගය අඩුයි කියලා. එක්ස්චේන්ජ් එකක් හරහා කතාකරලා, බලාගෙන ඉඳලා, දුරබැහැර ට කෝල්ස් ගන්න වුණා නම්, අපේ ආදරණීයෙකුගේ කටහඬ අහන්න අසල්වැසි ගෙදරකට ගිහින් බලාගෙන ඉන්න වුණා නම් සමහර විට අපට දැන් අපේ අතේ තියෙන මේ ක්ෂණික පණිවිඩ හුවමාරු උපකරණයේත් අගය වැඩි වැඩියෙන් දැනේවි!


Picture-AI 


February 02, 2026

ජෝජ් සහ රංජි



මගේ ඥාති සොයුරු ජෝජ්, නැවත වතාවක් අසල්වැසි නගරයේ මානසික රෝහලින් පැන ගොස් ඇතැයි මට ආරංචි වූ විට වැඩි කල් නොගොස් ඔහු මගේ දොරකඩ පෙනී සිටිනු ඇති බව මම දැන සිටියෙමි. සාමාන්‍යයෙන් මෙය සිදු වූයේ ක්‍රිකට් සමය ඇරඹීමත් සමඟ ය. ‘ප්‍රශ්නයක් නැහැ,’ මම කල්පනා කළෙමි. ‘මිනිහා ආවාම මම කෝච්චියේ දාගෙන ආයෙත් ඉස්පිරිතාලෙට අරගෙන යනවා’

ජෝජ් පහුගිය වසර කීපය පුරාවට කීප වතාවක්ම මේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතර ඔහු දරුණු පුද්ගලයෙකු නොවුණු නිසා ඔහුට එහි යම් තරමක නිදහසක් ලැබී තිබුණි. මේ නිසාම ඔහු ඉඳහිට ‘ටෙස්ට් තරඟයක’ ක්‍රීඩා කිරීමට රෝහලින් බැහැරට ගියේය. ජෝජ් සිතා සිටියේ තමන් නැපෝලියන් බව වත් ගෙන්ගිස් කාන් බව වත් නොව, ක්‍රිකට් ක්‍රීඩාවේ කුමාරයා ලෙස සැලකුණු ශ්‍රේෂ්ඨ රංජි නම් ක්‍රීඩා තරුව බවයි. මින් නොනැවතී තමන් ඉන්දියානු ක්‍රිකට් පිළේ නායකයා බවද ඔහු ඇදහුවේ සැබවින්ම රංජි  ක්‍රීඩා කළේ එංගලන්ත පිළ වෙනුවෙන් බව වත් නොසලකමිනි.

ඉතින් ජෝජ් මගේ දොරකඩ පෙනී සිටි විට ඔහු එක අතකින් ක්‍රිකට් පිත්තක් ද අනෙත් අතින් බෝල් ගාඩ් පැළඳුමක් ද රැගෙන සිටීම ගැන මා පුදුම වූයේ නැත.

“ඔයා ලෑස්ති නැද්ද?” ඔහු ඇසුවේය. “මැච් එක එකොළහට පටන්ගන්නවා”

දුම්රිය පිටත් වන්නේ එකොළහ පසු වී විනාඩි පහළවක් ගෙවුණු තැන බව සිහි වී මම මෙසේ කීවෙමි.

“තව ඕනෑ තරම් වෙලාව තියෙනවා, මම ලෑස්ති වෙනකම් ඇවිත් මොනවා හරි බොමු” 

ජෝජ් අසුන් ගෙන බියර් වීදුරුවක් ඉල්ලුවේය. මා ඔහුට එය ගෙනැවිත් දුන් විට ඔහු නොපමාව එය අසල වූ මීවන පැළයක් සහිත පෝච්චියට වත්කෙරුවේ “ඒකට තිබහ පාටයි” යැයි පවසමිනි. 

මා ඉක්මණින් සූදානම් වූයේ ඔහු මීළඟට වීදුරු ඩිකැන්ටරය සමඟ පිති හරඹ කරතැයි බියෙනි. ඉනික්බිති ඔහුගේ අත ගෙන නිවසින් පිටවූ මම රික්ෂෝවකට හඬ ගැසුවෙමි. 

“ස්ටේෂමට යමු,” මම රික්ෂෝ රියදුරුට රහසින් කීවෙමි. 

“ෆෙරෝස්ශා කොට්ලා,” ජෝජ් දිල්ලියේ ප්‍රසිද්ධ ක්‍රිකට් පිටියේ නම හඬ නඟා කීවේය. 

යා යුතු තැන මඟදී හෝ රියදුරු ට පැහැදිලි කිරීමේ අදහසින් මම ජෝජ් ව රික්ෂෝවට නංවා ගත්තෙමි. 

“ස්ටේෂමටයි යන්න ඕන” මඟදී මම තරමක් හඬ නඟා කීවෙමි.

“කොට්ලා” මගේ ඥාති සොයුරු එවැනිම තානයකින් ස්ථිරව පැවසීය.

රික්ෂෝ රියදුරු ක්‍රිකට් පිටිය වෙත එක එල්ලේම ධාවනය කරන්නට විය. බැලූ බැල්මට මා කී දේට වඩා ජෝජ් කී දේ ඔහු වෙත වැඩි බලපෑමක් කර ඇති බවක් පෙනුණි.

“මේ බලනවා,” මම ඔහුගේ උරහිසට තට්ටු කරමින් පැවසීය. “මේ මගේ නෑදෑ වෙන කෙනෙක්, එයාගේ ඔලුව හොඳ නැහැ. එයා මේ එහෙම අයට බෙහෙත් කරන ඉස්පිරිතාලයකින් පැනලා ඇවිත් තියෙන්නේ. අද දවස ඇතුළත මම මිනිහාව ආයෙත් එතනට බාර දෙන්න නම් අපි එකොළහයි කාලේ කෝච්චිය අල්ලා ගන්න ඕන.”

රික්ෂෝ රියදුරු ධාවනය බාල කර ජෝජ් දෙසත් මා දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය. ජෝජ් ඔහු වෙත උද්යෝගීමත් සිනාවක් පා, මා පෙන්වා තම නළලට ඇඟිල්ලෙන් තට්ටු කළේය. රියදුරු අනුකම්පාවෙන් හිස වනා, ක්‍රිකට් පිටිය වෙත නොකඩවා රික්ෂෝව ධාවනය කරන්නට විය. 

උමතු බවත් ප්‍රකෘති සිහියත් අතර වෙනස සියුම් බව මා කවදත් විශ්වාස කළ නමුත් එය මෙතරම් සියුම් යැයි කෙදිනකවත් සිතා තිබුණේ නැත. අන්තිමේදී කරදරේ වැටුණේ මායි! සැබවින්ම උමතුවෙන් පසුවූයේ ජෝජ් ද, මා ද, රියදුරු ද?

මේ වෙද්දී අපි ක්‍රීඩා පිටිය වෙත එළඹෙමින් සිටියෙමු. දවසක් පුරාවටම ක්‍රිකට් ක්‍රීඩාව නරඹන ජෝජ් ව බලාගැනීමට මගේ කිසිම අදහසක් තිබුණේ නැත. ඒ තරඟ කෙතරම් ඒකාකාරී වූවත් ඔහු ඒවා අතරේදී බෙහෙවින් උනන්දුවටත්, කලබලයටත් පත් වෙයි. වරක් ඔහු පිටිය වටා වූ බාධක මතින් පැන තම පිත්ත ද රැගෙන විකට්ටුව වෙත ගොස් තිබුණේ තුන් වන පිතිකරු ලෙස (මෙය රංජි ගේ ප්‍රියතම ප්‍රවේශය ලු) තරඟ කිරීමේ අදහසිනි. මෙදින ජෝජ්ව පිටියෙන් ඉවතට කැඳවාගෙන යන්නට උත්සාහ කළ තරඟ විනිසුරුට ඔහු පහරදී තිබිණි. තවත් අවස්ථාවක ඔහු පිටිය හරහා දිව ගොස් තිබුනේ බෝල් ගාඩ් පැළඳුමෙන් පමණක් සැරසීගෙනයි. 

එදින නම් රික්ෂෝවේ ගමන බාල වෙද්දී ඉන් බිමට පැන ඉවතට දිවගොස්, රියදුරුට නියම ත්‍රාසයක් දුන්නේ මායි. ජෝජ් සතුව මුදල් තිබුණේද, එදින රියදුරු ට ගෙවීමක් සිදුවුණි ද යන වග මට කිසි දිනක දැන ගන්නට ලැබුණේ නැත. සාමාන්‍යයෙන් රික්ෂෝ රියදුරන් දරුණු ජන කොටසක් බවට ප්‍රචලිත නමුත් මානසික රෝගීන් ද එවැනිම අය බවට විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් මේ සිද්ධිය ගැන පසු කලෙක ජෝජ් ට මතක තිබුණු බවක් පෙනෙන්නට තිබුණේ ද නැත. 

මීට දින තුනකට පසු මට මානසික රෝහලින් පණිවිඩයක් ලැබුණේ ජෝජ් විසින්ම නැවත එහි පැමිණ ඇති බව කියමිනි. එසේ පැමිණෙද්දී තමන් ශතකයක් ගැසූ බවට ඔහු පාරම්බාමින් සිටි නිසා ඔහු යම් ආකාරයකට ඒ ක්‍රිකට් තරඟයට සම්බන්ධ වූවා ද විය හැක.

ජෝජ් දරුණු මිනිසකු නොවූවත්, අදටත් මට ඒ රික්ෂෝ රියදුරු ගැන නම් යම් සැකයක් පවතින්නේ මා නැවත කිසි දිනක ඔහු ව දිල්ලියේදී නොදුටු බැවිණි. ඔහු වෙනත් ප්‍රදේශයකට පදිංචියට නොගියේ නම් ඔහුගේ මේ අතුරුදන්වීම ජෝජ් ගේ රික්ෂෝ ගමන සමඟ සම්බන්ධයක් ඇති බව මගේ අදහසයි. කොහොමත් කොට්ලා ක්‍රීඩාංගනය පිහිටා ඇත්තේ යමුනා ගංගාව ආසන්නයේම ය.


 පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the story George and Ranji by Ruskin Bond

Picture- Gemini