October 20, 2025

"මෙහෙම ඇහුවාට මුකුත් හිතන්න එපා"



“ඔයා නම් ඉතින් හැම දේම හොඳට ප්ලෑන් කරනවනේ, වැඩේ හොඳට යයි” සමුද්‍රා ළඟටම ඇවිත් කියද්දී තනුජා හිටියේ කේටරින් සර්විස් එකේ කට්ටියට මේස ටික පෙන්නමින්. තනුජාලාගේ ගෙදර එදා රෑට තියෙන පාටියට ඒ වෙද්දී හැමදේම සූදානම් වෙමින් තිබුණා. වත්තේ තැන තැන මේස පුටු තියලා, ගහ කොළ බල්බ් වැල් වලින් එළිය කරලා අමුතුම ලස්සනක් පෙනුණා.

“අනේ සමුද්‍රා, ඔයාලා ආවාද? කොච්චර දෙයක්ද කළින්ම ආව එක? යං වාඩිවෙන්න” තනුජා සමුද්‍රාව වැළඳගන්න ගමන් කිව්වා. සමුද්‍රා ගේ සැමියා ජානක, තනුජාගේ සැමියා සමන්ගේ විශ්ව විද්‍යාල කාලයේ මිත්‍රයෙක්. ඒ යාළුකම නිසා එයාලා කාලෙක ඉඳන් ආශ්‍රය කරනවා. නිතරම නැතත්, උත්සවයක්, මරණයක් වුණාම යනවා එනවා. තමන්ගේ අලුත් ගෙදරට ගෙවදින පිරිතෙන් පස්සේ සතියේ, දෙන්නාගේම යාලු මිත්‍රයින්ට රෑ කෑමට ආරාධනා කරන්න තනුජාත් සමනුත් තීරණය කරලා තිබුණා. අන්තිමේදී ඒක අමුත්තෝ තිහක් හතළිහක් එන්න නියමිත සාදයක් බවට හැරුණා. 

“ඔයාගේ නෑයෝ එහෙමත් ඔක්කොම ඇවිල්ලා ද?” සමුද්‍රා සාලේ පැත්තට යන ගමන් දොර රෙදි එහා මෙහා කරමින්, කාමරවලට එබෙමින් ඇහුවා. ජානක බොහොම හොඳ ගතිගුණ ඇති මනුස්සයෙක් වුණත් මොකක්දෝ හේතුවකට මේතරම් කාලෙකට තනුජාගේ හිතේ සමුද්‍රා ගැන නම් පැහැදීමක් ඇති වෙලා තිබුණේම නැහැ. සමුද්‍රා ගේ සුහද කතාබහට යටින් මොකක්දෝ පිරිමැහෙන්නේ නැති අවුලක් එයාට හැමදාම දැනුණා. ඒත් සමන් ගේ යාළුවො ආශ්‍රය කරද්දී ඒ යාලුවන්ගේ බිරින්දෑවරුන්ගෙන් මිදෙන්න පුළුවන් කමක් තිබුණේ නැති නිසා තනුජා ඒ කවුරු එක්කත් හැමදාම සිනාමුසුව හිටියා.  

“මගේ නෑයෝ ඔක්කොම ආවේ ගිය සතියේ තිබුණු පිරිතටයි දානේටයිනේ සමුද්‍රා. දුර නිසා එයාලා ඊට පස්සේ ආපහු ගියා. අද එන්නේ අපේ යාළුවො ටික තමයි. තව සමන්ගේ අයියලායි, නංගිලායි ඉන්නවා, එයාලා මේ ළඟ නේ ඉන්නේ” තනුජා පැහැදිලි කළා. ඒත් ප්‍රශ්නේ ඇහුවාට ඒකට උත්තරේ අහගන්න සිහියක් සමුද්‍රා ට නොතිබුණේ අලුත් ගෙදර දොර ජනෙල්, මේස පුටු සිසාරා එයාගේ ඇස් දුවමින් තිබුණු නිසා. ඒ බැල්මේ මොකද්දෝ ඉරිසියාවක් තැවරිලා තියෙනවාද කියලාත් තනුජා ට හිතුණා. 

ඒ වෙලාවේ එතැනට ආවේ සමන් ගේ අයියාගේ දුව මනීෂා. එයාගේ අතේ මල් පොකුරක් තිබුණා. 

“පුංචි, මම මල් වාස් ටික කුස්සියේ තියාගෙන හදන්නම්. නැත්නම් අපේ දෝණි එක්ක බැහැ, ඔක්කොම අදීවී.” මනීෂා කිව්වේ සමුද්‍රා එක්කත් හිනාවෙන ගමන්.  

සමුද්‍රා ගේ බැල්ම එසැණින් යොමු වුණේ මනීෂාගේ දිහාවට. එයා මනීෂා දිහා උඩ ඉඳන් පහළටත්, මනීෂාගේ ඇඟේ දැවටෙන එයාගේ චූටි දුව දිහාත් හොඳින් බැලුවා. 

“මේ තනුජාගේ මල් කුමාරි නේද? ඒ කාලේ බෝලේ වගේ පෙරළි පෙරළි හිටියේ… දැන් දුවෙකුත් ඉන්නවද?” සමුද්‍රා හරි ලෙන්ගතුකමින් වගේ ඇහුවේ පොඩි කෙල්ලගේ ඔලුව අතගාන ගමන්. 

“ඔව්, ඔව් මනීෂා තමයි අපේ මල් කුමාරිට හිටියේ, ඔයාට මතකයි නේද? හරි පුතේ ඔයා මල් වාස් ටික හදන්නකෝ. එහෙනම් සමුද්‍රා ඔයාත් පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න, මම අර කේටරින් කට්ටිය කෑම අරින එක බලලා ඔයාට බොන්න දේකුත් අරගෙන එන්නම්” තනුජා නැගිට්ටේ කුස්සිය පැත්තට ආපිට යන්නයි. 

“පොඩ්ඩක් ඉන්න, ඔයාගෙන් බඩුවක් අහන්නත් තියෙනවා.” සමුද්‍රා මනිෂාට යන්න ඇරලා තනුජාගේ අතින් ඇදලා ආයෙත් වාඩි කරවා ගත්තා. “අරයා ගැන” එයා ඇස් දෙකෙන් පෙන්නුවේ පිටුපාලා යමින් හිටිය මනීෂා ව.

“අපේ මනීෂා ගැන? ඇයි සමුද්‍රා?” තනුජා නැවතුණා.

තනුජාලා කසාද බඳිද්දී මනීෂාට අවුරුදු හතක් අටක් විතර. ඒ හුරුබුහුටි, කටකාර කෙලි පැටික්කිට තනුජා මුල් හමු වීමෙන්ම ආදරේ වුණා. එයාලගේ මඟුල් ගෙදර මල් කුමාරි වුණු දවසේ මනමාල ජෝඩුව පිටත්වෙලා යන වෙලාවේ එයාලා එක්ක යන්න ඕන කියලා මනීෂා හොඳටෝම ඇඬුව හැටි තනුජාට හොඳට මතකයි. ඒ කාලේ ‘තනු පුංචි’ කියමින් තමන්ගේ පස්සෙන් වැටිලා තොරතෝංචියක් නැතිව කියවමින් හිටි කෙල්ල දැන් කසාද බැඳලා අම්මා කෙනෙක් වෙලා නේද කියන එක සමහර වෙලාවට තනුජාට අදහා ගන්නත් බැහැ. මනීෂා ගැන තනුජාට හැමදාම දැනුණේ තමන්ගේ දරුවන්ට තරම්ම ගැඹුරු බැඳීමක්.

සමුද්‍රා මනීෂා ගැන කියන්න හදන්නේ සතුටු කාරණයක් නෙමෙයි කියලා තනුජාට හිතුණේ සමුද්‍රා ඇස් කරකවන හැටි දැකලා. “මම මෙහෙම ඇහුවාට මුකුත් හිතන්න එපා ඔන්න තනු, ඔයාගෙන්ම අහන්න ඕන කතාවක් මේක. ඔය මනීෂා බඳිනකොට ඔය දුව හම්බවෙන්න හිටියා නේද?” සමුද්‍රා හඬ බාල කරලා අහද්දී එයාගේ ඇස් දෙකෙන් බේරුණේ රස කෑමක් ලැබුණු කෙනෙකුගේ පෙරේතකමක්.

සමුද්‍රා කීව දේ තමන්ට හරියට ඇහුණා ද කියලා තනුජාට එකපාරට හිතාගන්න බැරිවුණා. මනීෂා බැඳලා දැන් අවුරුදු පහක් හයක් ඇති, එයාගේ දුවටත් දැන් අවුරුදු තුනක් විතර. තනුජාට මුලින් හිතුණේ සමුද්‍රා මේ මනීෂා ව වෙන කවුරුහරි එක්ක පටලවාගෙන කියලායි. 

“ඔයාට වැරදිලාද කොහෙද සමුද්‍රා, අපේ මනීෂා බැඳලා දැන් කොච්චර කල්ද! වෙන මනීෂෙක් වෙන්නැති” එයා හිනාවෙලා කිව්වා.

“නෑ නෑ.. ඔය මනීෂා ගැනම තමයි අනේ මං අහන්නේ, මම ළඟදී එයාලගේ මඟුල් ෆොටෝ දැක්කා, එතකොට තමයි මට නෝටිස් වුණේ”

සමුද්‍රා ජයග්‍රාහී ලීලාවෙන් කීවේ තනුජාගේ අතකුත් අල්ලාගෙන.

තනුජාට ඒ වෙද්දීත් මේ කතාවේ අග මුල තේරුණේ නැහැ. මීට අවුරුදු පහ හයකට කළින් තිබුණු මනීෂාගේ මඟුල් ගෙදර විස්තර එයා මතක් කරගන්න උත්සාහ කළා. පිරිපුන් ඇඟක් තිබුණු මනීෂා එදා ඔසරියට හරි හැඩට හිටියා. ඒ මඟුල් ගෙදර පින්තුර මේ තරම් කාලයක් ගිහින් සමුද්‍රා දැක්කේ කොහොමද? අනික මොකක්ද මේ බබෙක් හම්බවෙන්න හිටිය කතාව?

“ඔයා මේ කියන්න හදන දේ මට තේරෙන්නේ නැහැ, වහෙන් ඔරෝ නැතිව කෙළින් කියන්නකෝ” තනුජා තරමක නොරිස්සුමකින් කිව්වා. සමුද්‍රා මේ ලෑස්ති වෙන්නේ කොහෙන් හරි හොයාගත්තු කුණු ගොඩක් අවුස්සන්න බව එයාට පැහැදිලි වුණා. 

“ඕකේ මොකක්ද අනේ තේරුම්ගන්න අමාරු? අපේ නෑදෑ දුවෙක් මනීෂා ගේ යාලුවෙක්ලු. මමත් ළඟදී දැනගත්තේ. එයාගේ පරණ පින්තුර වගයක් බලද්දී තමයි මම දැක්කේ මනීෂා ගේ මගුල් දවසේ ගත්තු පින්තූර ටිකක්. ඒ පින්තූර වල ඔයාලයි, සමන්ගේ අයියලායි හිටිය නිසායි මම අඳුනාගත්තේ, නැත්නම් අපිට ඔය කෙල්ලන්ව මතක නැහැනේ අනේ. ඔසරිය ඇන්දාට බඩ මේං මෙහෙම නේද? මට නම් අම්මෝ කියලා හිතුණා. අද පාටියට ආවාම ඕක කොහොමහරි ඔයාගෙන් අහන්න ඕන කියලා මම මතක තියාගත්තා! ඒක අහද්දී මේ බඩ්ඩත් මෙතැනම ඉඳී කියලා කවුද හිතුවේ” සමුද්‍රා කැකිරි පැලුවේ හරි විනෝදජනක දෙයක් කීව විදිහට.

තනුජාට දැනුණේ තමන්ගේ ඉස් මුදුණින් ගින්දර පිටවෙනවා වගේ. එයාට සමුද්‍රා ට කම්මුලට ගහන්න තරම් කේන්තියක් ආවා. මනීෂා කසාද බැඳලා මාස පහක් හයක් ගත වුණාට පස්සේ දවසක එයා හිතේ අමාරුවෙන් තමන්ව හොයාගෙන ආව හැටි තනුජාට මතක් වුණා. ඒ, ඒ වෙද්දී එයාලා හිතුව විදිහට දරුවෙක් පිළිසිඳ නොගත්ත ගැටලුව. ඉස්සර ඉඳන්ම තමන්ගේ අම්මාටත් වඩා තනුජා පුංචි එක්ක හිතේ තියෙන දේවල් බෙදාගන්න මනීෂා පුරුදු වෙලා හිටිය නිසා මේ ප්‍රශ්නයත් එයා මුලින්ම කීවේ තනුජා ට. එයාලාට තව වයස තියෙන නිසාත්, තාම වැඩි කාලයක් ගත වෙලා නැති නිසාත් ඒ ගැන කරදර වෙන්න අවශ්‍ය නැති බව කියලා තනුජා එයාගේ හිත හදන්න උත්සාහ කළත් මනීෂා හිටියේ හිතේ අමාරුවෙන්. ඒ නිසා අන්තිමේදී තනුජා පවුලේ අය එක්කත් කතා කරලා මනීෂාත් ඇගේ සැමියාවත් එයාලා දන්නා වෛද්‍යවරයෙකුට යොමු කළා. මූලික පරීක්ෂණ කීපයකින් පස්සේ මනීෂා ට යම් ප්‍රමාණයක් බර අඩු කරගන්න උපදෙස් දුන්නු ඒ වෛද්‍යවරයා ඖෂධ මාත්‍රාවකුත් නියම කළා. මනීෂා ඒ වෛද්‍ය උපදෙස් අකුරටම පිළිපැද්දේ පවුලේ හැම කෙනෙක්ම පුදුම කරමින්. ඒ කාලේ එයා රස්සාවට යන ගමන්ම ව්‍යායාම කරලා, කෑම පාලනය කරලා කොහොම හරි බරත් අඩු කරගත්තා. අන්තිමේදී කසාද බැඳලා අවුරුදු එකහමාරක් විතර යද්දී මනීෂා ස්වාභාවිකවම ගැබ් ගත්තා. සමන්ගේ පවුල් වල තුන්වෙනි පරම්පරාවේ පළවෙනි දරුවා එන්න නියමිත බව දැන ගත්තාම හැමෝම සතුටින් පිනා ගිය හැටි තනුජාට අද වගේ මතකයි. එහෙව් කෙල්ලට සමුද්‍රා මේ කරන අපහාසය මොකක්ද? අනෙත් අතට ඒවා හොයන්න සමුද්‍රා කවුද?

හොඳ හුස්මක් අරගත්ත තනුජා වටපිට බලලා පහත් හඬින් මෙහෙම කිව්වා. 

“සමුද්‍රා ඔයා අද මොන කුණු ගොඩක් ඔලුවේ පුරවාගෙන ආවාද කියලා මම දන්නේ නැහැ, හැබැයි නිකරුණේ මිනිස්සුන්ට පද හදන්න එපා. ඔය කෙල්ලට බැඳලා ටික කලක් යනකම් ළමයි නැතිව ඉන්දැද්දී ඒකි ව දොස්තර ලා ළඟට එක්කගෙන ගියේ මමයි. ඒ නිසා මම දන්නවා ඒවායේ දින වකවානු හරියටම. එහෙම උනත්, නැතත් ඔයා කවුද ඕවා අවුස්සන්න? අනික දැන් අවුරුදු පහක් හයක් පරණ කතාවක් ගැන? ඔයාට අනිත් මිනිස්සු සන්තෝසෙන්, ප්‍රශ්න නැතිව ඉන්නවා දකින්න හරි අමාරු බව මට කළින් ඉඳන් තේරිලා තියෙනවා. ඔයාගේ ඔය කුණු ගොඩවල් වෙන කාටහරි කියන්න, මෙහෙ නම් ඕවාට ඉඩ නැහැ!”

එහෙම කියලා තනුජා නැගිටලා යන්න ගියේ ආපහු හැරිලාවත් බලන්නේ නැතිව. ඒ නිසා ඒ කෙළින් උත්තරෙන් සමුද්‍රාගේ මූන කළු වෙලා ගිය බව එයා දැක්කේ නැහැ. සමන් ට වුවමනා නම් දිගටම ජානක එක්ක යාළුකම් තියාගන්න පුළුවන් බවත්, සමුද්‍රා නම් ආයෙත් එහෙ නාවට කමක් නැති බවත් සමන්ට කියන්න තනුජා ඒ එක්කම හිතා ගත්තා. 

මේ කිසි දෙයක් නොදන්නා මනීෂා, තනුජා ව හොයාගෙන ගිහින් මල් පුරවපු මල් බඳුන  එයාගේ අතේ තියන හැටි සමුද්‍රා බලාගෙන හිටියේ ඇද වුණු මූණෙන්. 


photo- Gemini


October 13, 2025

මුණගැසීම

අරුණෝදයකදී, හිම මිදුණු මිටියාවතක් හරහා
අපි අස්රියක ගමන් කරමින් සිටියෙමු
අඳුර මැදින් ආලෝකය නැඟුණේ රත් පියාපතක් මෙනි

හදිසියේම, පාර හරහා හාවකු දිව ගිය විට
ඔබ අත දිගු කර එය පෙන්වීය

ඒ බොහෝ කලකට පෙරදීයි
දැන් ඒ හාවාත්,
ඒ දසුන පෙන්වූ මිනිසාත්,
ජීවතුන් අතර නොමැත

ප්‍රේමවන්තය,
කොතැනකද ඒ හැමදේම?
අතක සෙලවීම, ගල් කැටවල සර සරය
ඒවා සැඟවුණේ කොහි ද?

මා විමසන්නේ ශෝකයෙන් නොව,
විමතියෙනි

Translation of the poem Encounter, by Czeslaw Milosz
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

පෝලන්ත සහ ඇමෙරිකානු මිශ්‍ර සම්භවයක් ඇති Czeslaw Milosz ලිතුවේනියාවේ උපන්නෙකි. විසිවන සියවසේ විශිෂ්ඨ ම කවියන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන ඔහු, 1980 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත්තේය

Digital art



October 03, 2025

පෙලගේයා


පෙලගේයා අකුරු නොදත් කාන්තාවක් විය. ඇයට තමන්ගේ නම වත් ලිවීමට නොහැකි විය.

අනෙත් අතට පෙලගේයා ගේ සැමියා සෝවියට් ආණ්ඩුවේ වැදගත් නිලයක් හෙබවූවෙකි. ඔහු ද අතීතයේදී පිටිසර ගැමියෙකු ව සිටි නමුත්, වසර පහක් තිස්සේ නගරයේ වාසය කිරීම නිසා ඔහු තම නම ලිවීමට පමණක් නොව, ඊටත් වඩා බොහෝ දේ උගෙන තිබිණි. තම බිරිඳ සාක්ෂර බවින් තොර වීම ඔහුට මහත් ලැජ්ජාවක් විය.

“පෙලගේයුෂ්කා, ඔයා අඩුම තරමේ ඔයාගේ නම වත් ලියන්න ඉගෙන ගන්න,” ඔහු පෙලගේයා ට නිතර කීවේය. “බලන්න මගේ වාසගම කොයිතරම් සරල එකක් ද කියලා. කුච්-කින්, ඒත් ඔයාට ඒක ලියන්න වත් බැහැ. මේක හරි ලැජ්ජාවක්.”

පෙලගේයා මේ චෝදනා ගණන් ගත්තේ නැත. “දැන් මම ඕවා ඉගෙන ගන්න මහන්සි වෙලා පලක් නැහැ ඉවාන් නිකොලවිච්,” ඈ මීට පිළිතුරු දුන්නාය. “දැන් මට වයසයි. මගේ ඇඟිලිත් දරදඬු යි. මේ කාලේදී අකුරු ඉගෙනගෙන වැඩක් තියෙනවද? ඔය අලුත් පුරෝගාමී කට්ටියට කියන්න අකුරු ඉගෙනගන්න කියලා. මම මෙහෙමම වයසට යන්නම්.”

පෙලගේයා ගේ සැමියා බෙහෙවින් කාර්යබහුල කෙනෙකු වූ අතර ඔහුට තම බිරිඳ වෙනුවෙන් නාස්ති කිරීමට වැඩිපුර කාලය තිබුණේ නැත. ‘අයියෝ පෙලගේයා!’ යැයි කීමට මෙන් ඔහු හිස සැලූ මුත් මීට පිළිතුරු දෙන්නට ඔහු තැත් දැරුවේ නැත. 

නමුත් දිනක් ඉවාන් නිකොලවිච් විශේෂ කුඩා පොතක් නිවසට ගෙන ආවේය. 

“මෙන්න පෝල්‍යා,” ඔහු කීවේය. “මේ තමයි අලුත්ම ක්‍රමයට සකස් කළ මූලික කියවීම් පොත. මම ඔයාට මේකෙන් අකුරු උගන්නන්න හදන්නේ.” 

පෙලගේයා මීට පිළිතුරු දුන්නේ මඳ සිනහවකිනි. ඉනික්බිති ඈ එය අතට ගෙන, අනෙත් පැත්ත හරවා කණ්නාඩි මේසයේ ලාච්චුවකට දැමුවේ “ඕක ඔන්නොහෙ මෙතැන තිබුණාවේ, අඩු ගානේ අපේ මුණුබුරෝ වත් මේක පාවිච්චි කරාවිනේ” කියන්නට මෙනි. 

දිනක් පෙලගේයා ඉවාන් නිකොලවිච් ගේ කබායක් අණ්ඩ දැමීමට සැරසුණේ එහි අතක් ඉරී තිබුණු බැවිනි. මේසයට වාඩි වී, ඉඳිකටුව සූදානම් කර, කබාය අතට ගනිද්දී එහි සාක්කුවක යම් දෙයක් සර සර හඬ නඟනු ඈට දැනුණි. 

එහි ඇත්තේ මුදල් නෝට්ටුවක්දැයි සිතමින් ඈ එය පිරික්සා බැලුවාය.

නමුත් එහි තිබුණේ ලිපියකි. ඉතාමත් පිළිවෙල, කුඩා අත් අකුරින් ලියන ලද පිරිසිදු ලියුම් කවරයක එය බහා තිබුණු අතර ඉන් විලවුන් සුවඳක් ද නික්මිණි. 

පෙලගේයාට තිගැස්මක් දැනුණි. ඉවාන් නිකොලවිච් තමාව රවටනවා විය හැකිද? ඔහු උගත් කාන්තාවන් සමඟ පෙම් හසුන් හුවමාරු කරගනිමින් තම අකුරු බැරි බිරිඳ ව අවඥාවට ලක් කරමින් ද? ඈ ලියුම් කවරයෙන් ලිපිය පිටතට ගත්තාය. නමුත් අකුරු නොදත් බැවින් ඈ ට එහි වූ කිසිවක් කියවා ගනු නොහැකි විය. ජීවිතයේ පළමු වතාවට තමන්ට අකුරු බැරි වීම පිළිබඳව පෙලගේයා ට පසුතැවීමක් දැනුණි. 

‘මේක වෙන කෙනෙකුගේ ලියුමක් බව ඇත්ත, ඒත් මේකේ තියෙන දේ මම දැනගන්න ඕන. සමහර විට මේකෙන් මගේ මුළු ජීවිතයම වෙනස් වේවි, මේ ලියලා තියෙන දේවල් නිසා මට ආයෙමත් ගමට ගිහිල්ලා ගොවිපලක වැඩ කරන්න වේවි.’ ඈ කල්පනා කළා ය. 

මෑතක සිට ඉවාන් නිකොලවිච් වෙනස් වී ඇති බවක් කල්පනා වී පෙලගේයා හඬන්නට විය. ළඟදී සිට ඔහු තම උඩු රැවුල අලංකාරව පවත්වා ගැනීම පිළිබඳව වැඩි අවධානයක් දක්වන බවත් නිතර තම දෑත සෝදන බවත් ඇයට සිහි විය. ලියුම දෙස බලාගත්වනම ඈ පහර කෑ ඊරියකු සේ වැළපුනා ය. ඇයට කියවාගන්නට නොහැකි මේ ලිපිය වෙනත් අයෙකු ලවා කියවා ගැනීමත් මහත් ලැජ්ජාවට කාරණාවක් බව ඇයට සිතිණි.. 

පෙලගේයා මේ ලිපිය කණ්නාඩි මේසයේ ලාච්චුවක සඟවා කබාය අණ්ඩ දමා අවසන් කළා ය. ඉනික්බිති ඈ ඉවාන් නිකොලවිච් නිවසට පැමිණෙන තුරු බලා සිටින්නට විය. ඔහු පැමිණි විටත් සිදු වූ කිසි දෙයක් ගැන ඉඟි නොකරන්නට ඈ වග බලා ගත්තාය. ඒ වෙනුවට ඈ බොහෝ සන්සුන් ව, සාමකාමී කටහඬින් ඔහුට කීවේ තමන්ට කියවීමට නොහැකිව කල් ගෙවා ඇති වී ඇති බවත්, යම් ඉගෙනුමක් ගැන ඇගේ විරෝධයක් නොමැති බවත් ය. 

මෙය අසා ඉවාන් නිකොලවිච් ප්‍රීතියෙන් පිනා ගියේය. “නියමයි!” ඔහු කීවේය. “මම ම ඔයාට උගන්වන්නම්” 

“හරි එහෙනම් පටන් ගමු,” ඈ පිළිතුරු දුන්නාය.

ඈ මෙසේ කීවේ ඉවාන් නිකොලවිච් ගේ මනාව කපන ලද කුඩා උඩු රැවුල දෙස බලාගත්වනම ය. 

දෙමාසයක් තිස්සේ පෙලගේයා දිනපතා කියවීමට උගත්තා ය. අකුරු ලිවීමටත්, ශබ්ද එකතු කර වචන කීමටත්, වාක්‍ය මතක තබාගැනීමටත් ඈ ඉවසිලිවත් ව උගත්තාය. එමෙන්ම හැම සන්ධ්‍යාවක ම ඈ ලිපිය ලාච්චුවෙන් පිටතට ගෙන එහි රහස් පණිවිඩය ලෙහා ගැනීමට තැත් කළාය.

නමුත් එය පහසු කාර්යයක් වූයේ නැත. 

මේ කලාව ප්‍රගුණ කිරීමට පෙලගේයා ට තෙමසක් ම ගත විය. 

දිනක් ඉවාන් නිකොලවිච් රැකියාව සඳහා පිටත් වූ පසු පෙලගේයා ලිපිය ලාච්චුවෙන් පිටතට ගෙන කියවන්නට වූවා ය.  එහි කුඩා අත් අකුරු ඇයට කියවීමට අපහසු වූවත් ඒ වෙද්දීත් ඉන් හැමූ ලා විලවුන් සුවඳ කෙසේ හෝ කියවන්නට ඈ ව උනන්දු කළේ ය. 

ඒ ලිපිය ආමන්ත්‍රණය කර තිබුණේ ඉවාන් නිකොලවිච්ටයි. 

හිතවත් කුච්කින් සහෝදරයා වෙත 

මා පොරොන්දු වූ පරිදි මේ සමඟ මූලික කියවීම් පොත එවනවා. එය පාවිච්චි කර ඔබගේ බිරිඳට දෙතුන් මසකින් කියවීමේ හැකියාව ලබාගනු හැකිවනු ඇතැයි මා විශ්වාස කරනවා. ඔබ කෙසේ හෝ ඈ ඒ සඳහා පොළඹවා ගන්නා බවට මට පොරොන්දු වෙන්න. ලියන්නට කියවන්නට බැරි පිටිසර ගැහැනියක් වීම කොයිතරම් පිළිකුල් සහගත දෙයක් දැයි ඇයට පැහැදිලි කරන්න. 

විප්ලවයේ සංවත්සරය සැමරීමට අප හැකි සෑම ආකාරයෙන්ම රට තුළ නිරක්ෂර බව අහෝසි කිරීමට අපේක්ෂා කරන නමුත් කුමක් හෝ හේතුවකට අපට අපගේ සමීපම අය අමතක වන බවක් දක්නට ඇත.

කෙසේ හෝ මේ කාර්යය කරන්න, ඉවාන් නිකොලවිච්.

සමාජවාදී ආචාරය සමඟ 

මරියා බ්ලොකීනා 

පෙලගේයා මේ ලිපිය දෙවරක් කියවූවා ය. ඉනික්බිති ශෝකයෙන් යුතුව තම දෙතොල් තද කර ගත් ඈ, යම් ආකාරයක රහස් අපහාසයක් ලැබූ බවක් දැනී, හඬා වැටෙන්නට විය. 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the short story Pelageya by Mikhail Zoshchenko

AI generated photo