මෙලොව කවර මවකට හෝ පියකුට වුව සිදු විය හැකි ලොකුම ඛේදවාචකය තමන්ගේ දරුවකු අහිමි වීම බවට විවාදයක් නැත. එය ඔවුන්ගේ මනසට කිසි දින සුව නොවන තුවාලයකි. ඉසබෙල් අයියන්දේ විසින් රචිත ‘ද වින්ඩ් නෝස් මයි නේම්’ නම් පොතට පදනම් වන්නේ දශක කිහිපයක් ඔස්සේ මෙලෙස එකිනෙකා අහිමි වූ දරුවන් සහ මවුපියන් කිහිප දෙනකුගේ එකට ඈඳුණු ජීවිත පිළිබඳ කතාවකි.
“ලෙටීෂියා සතු වඩාත් බියකරු මතකය නම් රාත්‍රියක රියෝ ග්‍රන්දේ ගඟින් එතෙර වූ දිනයයි. එවේලේ ඇයගේ පියා රබර් ටියුබයක ආධාරයෙන් පා වෙද්දී, ඈ ලණුවකින් ඔහු වෙත ගැටගසා තිබිණි. ලෙටීෂියා එතෙක් පරිස්සම් කරගෙන තිබුණු, අඳුරේ පවා දිලිසෙන කුඩා කුරුසය සැඩ දියේ වැටී සැඟව ගියේ එදිනය. පසු කලෙකත් ඈ ඇතැම් රාත්‍රීන්වල බිය වී අවදි වූයේ ඒ බියකරු දිනයේ දැනුණු සීතල, ත්‍රාසය, අඳුර, නිහඬ බව, යාච්ඤා මිමිනුම් සහ ගං දියේ සැඩ රළ ළඟ ළඟම දැනීම නිසාය.”
‘ද වින්ඩ් නෝස් මයි නේම්’ හි කතාන්දරය ගෙතෙන්නේ එකිනෙකාට කිසිම ඥාතිත්වයක් නැති සැමුවෙල්, ලෙටීෂියා සහ ඇනීටා වටාය. මේ තිදෙනාම තම ළමා අවධියේ විවිධ ආකාරයේ බිඳවැටීම්වලට ලක් වූ, විවිධ හේතු මත තම මවුපියන්ගෙන් වෙන් වීමට සිදු වුණු අයයි. ඒ හැම වෙන් වීමක්ම තමන්ගේ කිසිම වරදක් රහිතව, ඔවුන් කිසියම් ජාතියක්, ජන වර්ගයක් නියෝජනය කිරීම නිසා සිදු වූ ඒවාය. තනිකමේ සහ අසරණ බවේ පතුලක් නොපෙනෙන දුක ඔවුහු හොඳින් හඳුනිති. එමෙන්ම ඒ දුක් ජය ගැනීමේත්, ඊට අනෙකාට සවියක් වීමේත් ක්‍රම ඔවුහු ඉවෙන් මෙන් දනිති. මේ නිසා අවසානයේදී ඔවුන් එකිනෙකා වෙත බැඳෙන්නේ ලේ ඥාතිත්වයටත් වඩා සවිමත් බැම්මකිනි.
“ඒ කතාබහ අතරතුරදී ඇති වූ දිගු විරාමයේදී ලෙටීෂියා කඳුළු පිසලන්නට වූ අතර, සැමුවෙල් තමන්ගේම අතීතය සිහියට නඟාගත්තේය. තම හදවතේ රහස් කුටියක සිර කර තිබුණු වේදනාත්මක මතක නැවත ඔහු වෙත වේගයෙන් ගලා එන්නට විය. ඒ කෑගැසීම්, දසත පැතිරුණු දුම්රොටු, තමන්ට දැනුණු බිය සහ දුම්රියපොළේදී තමාට සමු දුන්, ශෝකයෙන් පීඩිත තම මවගේ රුව ඔහුට යළි සිහි විය.”
අයියන්දේ මේ කතාව ඉදිරියට ගෙනයන්නේ එහි එක් එක් චරිතයේ දෘෂ්ටිකෝණයෙනි. මේ නිසා අවතැන් වීමේ පීඩාකාරි බව කොයි තරම් සංකීර්ණද යන බව මෙන්ම ඒ හැම කතාවකම හරය කොතරම් එකිනෙකට සමානද යන බව පෙන්වීමට ඈ සමත් වී තිබේ. මීට සමාන්තරව, මෙවැනි හඬක් නැති අවතැන් වූවන් වෙනුවෙන් කිසිම වාසියක් නොලබා, තම කාලය, ශ්‍රමය, ධනය කැප කර සටන් කරන කණ්ඩායම් ගැනත් ලේඛිකාව මේ කෘතියෙන් තතු මතු කරන්නීය. මේ අරමුණට කැප වූ විවිධ ස්වේච්ඡා ආයතනවල සාමාජිකයන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාත්, මූල්‍ය, නෛතික සහ සමාජීය දායකත්වය නිසාත් මේ පීඩිතයන්ගේ ජීවිත අංශුමාත්‍රිකව හෝ යහපත් අතට හැරෙන බව ඇය මේ කතාවෙන් පෙන්වයි.
චිලී සම්භවයක් ඇති ඉසබෙල් අයියන්දේ 1942දී උපත ලැබුවේ පීරුහිදීය. ඈ පොත් 30කට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති අතර, ඒවා භාෂා 42කට පරිවර්තනය වී ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් ලබා තිබේ. සාහිත්‍ය ලෝකයට ඇයගෙන් ලැබුණු දායකත්වය වෙනුවෙන් අයියන්දේ ගෞරව ආචාර්ය පදවි පහළොවකින් පිදුම් ලබා තිබේ. ලිවීමට අමතරව ඈ මානව හිමිකම් සුරැකීමේ අරමුණ වෙනුවෙන්ද තම කාලය වෙන් කරන අතර, ඇය අරඹා ඇති මානවවාදි පදනම ලොව පුරා පීඩාවට පත් කාන්තාවන් සහ දැරියන් වෙනුවෙන් පෙනී සිටී.
ඉසබෙල් අයියන්දේ තම පදනමේ කටයුතු ගැන පවසන මේ අදහසින් ඇයගේ ජීවන දර්ශනයත් ‘ද වින්ඩ් නෝස් මයි නේම්’ කතාවේ සාරයත් මැනවින් හුවා දැක්වේ:
“ඇතැම් විට අප සතුව ඇති සීමිත සම්පත්වලින් කළ හැකි දේ ක්ෂුද්‍ර වීම ගැන මම කම්පාවට පත් වෙමි. එහෙත් අප විසින් ලෝකය වෙත කරනු ලබන බලපෑම සංඛ්‍යාවලින් ගණනය කළ නොහැකි බව මගේ කණ්ඩායමේ සාමාජිකයෝ මට සිහිපත් කරති. අපගේ මෙහෙය මැනිය හැක්කේ ජීවිතවලිනි.”
හෙල්මලී ගුණතිලක
සිළුමිණ - විදෙසක ලිවිසැරිය 15.02.2026

මේ පොතේ සිංහල පරිවර්තන දෙකක් තියේ.
ReplyDeleteඑකක් නෛතිකව සරසවිය කරපු එකක්. පරිවර්තිකාව මුදිතා ලක්මිණී වැන්දබෝනා.
අනිත් එක මම බුක්ෂොප් එක්ක දැකල පොටෝ ගහන් ආවෙ. පහන් ල කරපු එකක් වගේ මතක. ඒකෙ පරිවර්තක වත් මතක නෑ. ඒ ගැන මුදිතා ට දැනුම් දෙන්න කියල හිතං ගත්තට ඒ වැඩේ වුනේ නෑ.
මං ළඟ අය්යන්දේ ගෙ පොත් කීපයක් තියේ. (ඔව්.. ඔව්.. පරිවර්තන තමා 😃😃)
කියවල තියෙන්නෙ අනන්ත සැලස්ම විතරයි 😂😂😂 අපි ඒමයි. පොත් ගන්නව විතරයි. කියවන්නෑ. ගොඩ ගහන් ඉන්නව. තණ්හාවනේ 🙈🙈🙈
අය්යන්දේ, Isabel Allende Foundation එක හදනනෙ එයාගෙ දියණිය වෙනුවෙන්. පෝලාගෙ මරණයෙන් පසුව. Paula, The Sum of Our Days ලියන්නෙ දියණියගෙ වියෝවෙන් පසුව නෙව. දෙකේම සිංහල පරිවර්තන තියේ. සම් ඔෆ් අව ඩේ'ස් වල පරිවර්තනය කොටස් දෙකකට තමා පරිවර්තනය වුණේ. ( පොත් දෙකම ගත්ත කියල මතකයි. සිංහල පරිවර්තන දෙකේ නම් මතක නෑ. ගෙදර නැති නිසා බලල කියන්න විදිහක්නෑ .)
ReplyDeleteහොයා ගන්න පුලුවන් වුනොත් අලවන්නම්.
ඔයාගෙ මේ රිවිව් එක අගෙයි. 🥰🥰🥰
මහේෂ්, පොත් ගන්නවායි, කියවනවායි කියන්නේ දෙකක් නේ, ඒ දෙක සමපාත වෙන්න අත්‍යවශ්‍යම නෑ :D
ReplyDeleteලංකාවේ අවසර රහිත පරිවර්තිත ප්‍රකාශන ගැන අපි කතා නොකර ඉමු. අවසර ගත්තු ඒවා 1% වගේ කියලා කවුරුහරි කිව්වත් මට නම් පුදුම නැහැ. විදෙස් ලේඛකයෙක් කෝටි ගානක නඩුවක් දාපු දවසක මිසක් ලංකාවේ මිනිස්සු පාඩම් ඉගෙන ගන්නේ නැහැ.
මම ඇත්තටම අයියන්දේ ගේ පොත් කලින් කියවලා තිබුණේ නැහැ. එයාගේ ලිවීම් රටාව රසවත්. මේ සටහන ලියන්න කරුණු හොයද්දි එයාගේ දුවගේ විස්තරය දැනගත්තා. අසනීපයකට බෙහෙත් කරද්දී වෛද්‍යවරුන්ට සිදු වුණු අත්වැරදීමක් නිසානේ එයා මැරිලා තියෙන්නේ. දුව ගැන ලීව පොතත් කියවන්න හිතුණා ඒ විස්තරයෙන් පස්සේ. ඒත් දුක වැඩිද දන්නේ නැහැ. මම දැන් එහෙම දරාගන්න අමාරු පොත් මඟ අරිනවා පුළුවන් තරම් :\
මමත්...............
ReplyDeleteදුක් සහිත නම් සෑහෙන්න උත්සහ කරනවා නොකියව ඉන්න. එත් ඔයාගේ විචාර අපිව පොළඹවනවා වගේ. මට මේක කියවද්දී fernando සිංදුව මතක් වුනා. River Grande නිසාද කොහෙද. මොන වෙලාවේ ඇහුවත් හිතේ බරක් ඉතුරු කරන සින්දුවක්. අපි මේ ලේකඛයන්ට කෘතඥ වෙමු. සමහර දේ වැළලී යා නොදී ඉතිරි කලාට
කුමුදු මේකේ දුක්බර සිද්ධි තිබුණත් කියවගෙන යන්න අමාරු තරමේ දුක නැහැ. සිංහල පරිවර්තනයකුත් තියෙනවා කියලා මහේෂ් කියලා තිබ්බා. හොයලා බලන්න
Delete"සාහිත්‍ය ලෝකයට ඇයගෙන් ලැබුණු දායකත්වය වෙනුවෙන් අයියන්දේ ගෞරව ආචාර්ය පදවි පහළොවකින් පිදුම් ලබා තිබේ" Wow, එච්චර ගොඩක්!
ReplyDeleteමම එක පොතක් කියවලා තියෙනවා Island Beneath the Sea. Teteගෙ කතාව. ඒකෙ නැටුම් සහ voodooට තමයි මම ආසම.
Lotus මාත් මේ එයාගේ කියවපු පලවෙනි පොත. සමහර ලේඛකයෝ ගැන වර්ණනා වැඩිවෙන තරමට කියවන්න හිතෙන්නේ නැති අසනීපයක් තියෙනවා මට! :D
Delete"Although he faces criminal charges in the Russian city, Savitsky will probably have access to plenty of books that Beloguzov hasn’t already read" 🤣😂. බස්සගෙ ලින්ක් එකේ මේ කොටස කියවලා හිනා වෙලා මැරුනා. හැබැයි ඉතින් අන්ඩර්ස්ටෑන්ඩබ්ල්; Russian research station එකක්නෙ.
ReplyDeleteබස්සා - ඔන්න මම නම් end එක spoil කළේ නෑ, මම අහිංසකයි! :D
ReplyDelete