February 26, 2023

පරණ පොතක්



Translation of the poem 'Used Book' by Julie Kane

මාවතේ පියසි මත
තදින් වැසි වැටෙද්දී
විවරව ඇති පොත් හලක් 
ඉදිරියෙන් හමුවීම 
මොනතරම් නම් වාසනාවක්ද!
අනික ඒ සියල්ලම
පාවිච්චි කල පැරණි පොත් 
එක් රාක්කයක තනිකරම කවි පොත්!

ඒ මදිවාට ජැරල්ගෙත්, වෙල්ඩන් කීත්ගෙත්
පොත් දෙකකට මැදිව
හුරුපුරුදු නිල්- ලා කහ පැහැති කවරයෙන්
'83 සිට මුද්‍රණය නතර වූ
මගේ කුඩා පොත හමුවීමම
තව වාසනාවක්!

කවරයෙහි ලා කෝපි පැල්ලම්ය.
නිකුත් වූ පසුව එය
ලන්ඩන් මුද්‍රණාලයෙන්
පසුකළ ඍතු ගණන බලද්දී
එය මා තරම්වත් වයස්ගතව නැත. 

ඉනික්බිති කියෙව්වෙමි
එතුළ ලියා ඇති නම;
ඒ, මා මියෙන තුරු
මට ප්‍රේම කරාවි යැයි
මා සිතූ මිනිසාගේ නම යි
මගේ වාසනාව එතකින්ම නිම විය.

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Watercolour painting

February 22, 2023

ඔබ සිනාසුණා පමණයි!



සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුණා පමණයි
*


ඉතින් ඔබ දුර ගොස්
කල්පයක් ගත වී මුත්
ඒ තරුව සොයමින්
චක්‍රාවාට පීරමි
ඉබාගාතේ ඇවිදිමි

සිනාවෙන් මත් වී
දෑස අඩවන් කර
නොකී සහසක් දේ
සොය සොයා ලතවෙමි
හඬා නම මුමුනමි

බොහෝ දුර ඈතක
තරුවක්ව නැවතුණු ඔබ
සිනාසෙනවා පමණයි
මතක පිටු පෙරලමි
කවි එකින් එක ගිනිලමි


*චරිතා ප්‍රියදර්ශනී පීරිස් ගයන ගීයකින් කොටසක්

painted with watercolours and ink

February 19, 2023

තවත් ඉරිදාවකට යාඥාවක්




Translation of the poem 'Prayer for Another Sunday' by Sharron Crowson

වෙනස්වනසුළු හැමදේටම
ස්තූතිවන්ත වන්න
විවිධ ඍතු, සතුටින් පිරි ප්‍රභාතයන්
අඩ සඳ, රත් පැහැති හිරු

වෙනස්වනසුළු හැමදේටම
ස්තූතිවන්ත වන්න
නිහඬබව, ඇදී යන වලාකුළු
බහින්බස් වන කුරුල්ලන්, සුදු අයිරිස් මල්

වෙනස්වනසුළු හැමදේටම
ස්තූතිවන්ත වන්න
මුහුදු තීරයේ සුළං හඬ
කැපූ තණකොළ, දඟකාර ලේනුන්

වෙනස්වනසුළු හැමදේටම
ස්තූතිවන්ත වන්න
නිති ගැහෙන හදවත්
ප්‍රශ්න නඟන මනස

අප සතුව ඇත්තේ
වෙනස්වනසුළු දේ පමණි
ඒ, අපට අවශ්‍ය හැම දෙයයි
අප සැදුම්ලත් හැම දෙයයි

වෙනස්වනසුළු හැමදේටම
ස්තූතිවන්ත වන්න

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Sketch- Watercolours and ink


February 16, 2023

තාත්තාගේ දෑත

Translation of the short story ‘My Father’s Hands’ by Calvin Worthington

ඔහුගේ රළු දෑත් ඉතාමත් ශක්තිවන්ත විය. පලතුරු ගසක් මුදු ලෙස කප්පාදු කිරීමට මෙන්ම දඩබ්බර කොටළුවෙක් මෙල්ල කර බැඳ දැමීමටත් ඔහුට එක සමාන හැකියාවක් තිබිණි. ලෑල්ලක් මත කොටුවක් ලකුණු කර එය ඉක්මණින්, සාර්ථකව ඉරා ගැනීම ඔහුට පහසු කරුණක් විය. ඔහු ප්‍රතිවාදියෙකුගේ දැඩි හනු ඇටයකට පහර දී තම දෑත් මිටි තුවාල කරගත් අවස්ථා ගැනද ආරංචි තිබිණි. එහෙත් මට නම් හොඳින්ම මතක තිබුණේ තාත්තා මට නිල් උකුස්සෙකුගේ දිලිසෙන පියාසැරිය පෙන්වීම සඳහා, නො එසේ නම් ගුලක නිදන හාවෙකු පෙන්වීම සඳහා නැඹුරු වී මගේ උර මත ඔහුගේ දෑත තැබූ විට මගේ කමිසය හරහා දැනුණු ඒවායේ සුවිශේෂී උණුසුමයි. ඒ දෑත තාත්තාට මහත් සේවයක් ඉටු කර දුන්නත් ඒවා එකම එක කාර්යයකට අසමත් විය: ඔහු කිසි දාක අකුරු උගෙන තිබුණේ නැත.

මගේ තාත්තා ලියන්නට කියවන්නට දැන සිටියේ නැත. අපේ රටේ සාක්ෂරබව අහිමි ජනගහනය සීග්‍රයෙන් අඩුවී ඇති වර්තමානයේ, මට එවැනි අය ගැන දුකක් දැනේ නම් ඒ තම දෑතින් අකුරු ලියන්නට නොහැකිව දුක් විඳි තාත්තා ගැන පමණි. අතීතයේ එක්තරා කාලයකදී ඔහු පාසලේ පළමු ශ්‍රේණියට ඇතුළත් වී තිබුණත්, එකල වැරදි පිළිතුරකට ගුරුවරුන්ගේ පිළියම වී තිබී ඇත්තේ අත්ලට එල්ල කළ අඩි කෝදු පහර දහයකි. කුමක් හෝ හේතුවකට මේ හය හැවිරිදි දරුවාගේ මනස තුළ අකුරු, හැඩ තල, ශබ්ද ආදිය නියමිත රටාවට පිහිටා නැත. ඇතැම්විට ඔහු ඩිස්ලෙක්සියාව වැනි ඉගෙනුම් ආබාධයෙන් පෙලුනා විය හැක. මාස කීපයකට පසු ඔහුගේ පියා ඔහුව පාසලින් ඉවත් කරගෙන ගොවිපොළේ වැඩට යොදවා තිබිණි.

මීට වසර ගණනාවකට පසු හතරේ පන්තිය දක්වා උගත් ඔහුගේ බිරිඳ ඔහුට කියවීමට උගන්වන්න උත්සාහ කර තිබේ. තවත් කාලයකට පසු මම ඔහුගේ විශාල අත මගේ කුඩා දෑතින් හසුරුවමින් ඔහුගේ නමේ අකුරු ලියවන්නට අපහසුවෙන් උත්සාහ කළෙමි. එකල ඔහු මේ කරදරය මඳක් ඉවසා සිටි නමුත් ඒ හැම අවස්ථාවකම ටික වෙලාවකින් නොසන්සුන් විය. එවිට අතැඟිලි නවමින් දිගහරිමින්, අත්ල තෙරපමින් හිඳින ඔහු, දැන් ඇතැයි ප්‍රකාශ කර, නිවසින් පිටවී, දිගු වෙලාවක් තනිවම ඇවිදීමට යන්නේය.

එක දිනක් කිසිවෙකු නොදකී යැයි සිතූ මොහොතක ඔහු තම පුත්‍රයාගේ දෙවෙනි ශ්‍රේණියේ කියවීම් පොත ගෙන, වසන් වී එය කියවීමට උත්සාහ කළ මුත් නොබෝ වෙලාවකින් එහි වදන් ඔහුට දුෂ්කර වැඩි විය. මේ වෙලාවේ ඔහු ඒ පොතේ පිටු තම නළලට තෙරපා හැඬුවේ ‘දෙවියනේ, දෙවියනේ, දරුවෙක්ගේ පොතක්වත් කියවන්න බැරිද මට?” කියමිනි. ඉන්පසු කිසිදිනක පෑනක් කඩදාසියක් ඉදිරියේ ඔහුව අසුන් ගැන්වීමට කිසිම පෙරැත්තයකට නොහැකි විය.

ගොවිපොළේත්, මාර්ග ඉදිකිරීම් කණ්ඩායම් සමඟත් පසු කලෙක කර්මාන්ත ශාලාවල රැකියා වලදීත් තාත්තාගේ දෑත ඔහුට මනා සේ සේවය කළේය. ඔහු තියුණු මනසකින් යුතු වූ අතර ඔහුගේ වැඩ කිරීමේ උනන්දුව කිසිවෙකුට සම කළ නොහැකි විය. දෙවෙනි ලෝක යුද්ධයේදී පයිප්ප වෑද්දුම් කරුවෙකු සේ සේවය කළ ඔහු, විශාල යුධ නැව් වල සංකීර්ණ වෑද්දුම් කටයුතු සිදු කළේය. ඔහුගේ උනන්දුවත් දක්ෂකමත් නිසා ඔහුට ඔහුගේ අංශයේ ප්‍රධානියෙකු වීමට අවස්ථාව ලැබුණත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍රය ඔහුගේ අතට ලැබුණු විට ඒ සියල්ල අහෝසි විය. ඒ ප්‍රශ්න පත්‍රයේ අකුරු ඔස්සේ තම අතැඟිලි දුවවමින් නැවක අභ්‍යන්තරයේ දිවෙන සංකීර්ණ පයිප්ප රටාවන් ගැන ඔහු කල්පනා කළේය. මේ පයිප්පවල හැම නැම්මක්ම වංගුවක්ම කටපාඩමින් දැන සිටියත් ඔහුට ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්නට කියවන්නට හැකියාවක් තිබුණේ නැත.

නැව් අංගනය වසා දැමුණු පසු ඔහු කපු නිෂ්පාදන කම්හලක සේවයට ගියේය. මෙහි ඔහු රාත්‍රී වැඩ මුරයක සේවය කර තම නින්ද වෙනුවෙන් වෙන් කළ යුතු හෝරාවන් දිවා කාලයේ ගොවිපොළේ නඩත්තුව සඳහා කැප කළේය. කපු කම්හලත් වසා දැමුණු පසු ඔහු සෑම උදෑසනකම රැකියාවක් සොයා පිටත් විය. ඒ සෑම දිනකම ආපිට පැමිණි පසු ඔහු රෑ කෑම සකසමින් සිටි අම්මාට කීවේ “එයාලාගේ විභාග කරන්න බැරි අයව එයාලා ගන්න කැමති නැහැ”යනුවෙනි.

කාගේ හෝ ඉදිරිපිටදී තමන්ගේ නම ලිවීම වෙනුවට x සලකුණක් යෙදීම ඔහුට හැමවිටම දුෂ්කර වූ නමුත් වඩාත්ම දුෂ්කර මොහොත එළඹුණේ තම සදාදර ගොවිපොළේ ඔප්පුවේ මේ සලකුණ යොදා එය වෙනකෙකුට අයිති වනු බලා සිටි දවසේ යි. ඒ කාර්යය අවසන් වූ පසු ඔහු බොහෝ වෙලාවක් ගතවනතුරු නොපෙනෙන දෑසින් කඳු නිම්නය දෙස බලාගත්වනම කවුළුව ඉදිරිපස සිටගෙන සිටියේ අතෙහි වූ පෑන සෙමෙන් කරකවමිනි. ඒ හවස්වරුවේ ගොවිපොළේ මඩුවක සැඟවුණු මම බොහෝ වෙලාවක් යන තුරු වැළපුනෙමි.

ටික කලකින් ඔහුට තවත් කපු කර්මාන්තශාලාවක රැකියාවක් ලැබුණු අතර අපි එහි සේවක නිවාසයක පදිංචියට ගියෙමු. මේ ප්‍රදේශයේ එක්වැනිම වූ මෙවැනි නිවාස සිය ගණනක් විය. තාත්තා නගරබද ජීවිතයට කිසි දිනක හැඩ ගැසුණේ නැත. මේ කාලයේදී ඔහුගේ දෑසේ නිල අව පැහැ ගැන්වුණු අතර කොපුල් තරමක් වැහැරී පෙනුණි. එනමුත් ඔහුගේ දෑත පෙර සේම ශක්තිමත් විය, මා උකුලට ගෙන ඔහුට ඇසෙන්නට බයිබලය කියවන්නැයි ඔහු ඉල්ලද්දී මට ඒ දෑතේ උණුසුම පෙර සේම දැනුණි. මගේ කියවීමේ හැකියාව ගැන මහත්සේ ආඩම්බර වූ ඔහු, මා සංකීර්ණ වාක්‍ය උච්චාරණයට උත්සාහ ගනිමින් කියවද්දී පැය ගණන් ඊට සවන් දුන්නේය.

වරක් ගුවන්විදුලි වැඩසටහනකදී පූජකවරයෙක් ‘තම පවුලේ අයට අවශ්‍ය දේ සපයා දීමට නොහැකි මිනිසා සොරෙකුටත් මිත්‍යාදෘෂ්ටිකයෙකුටත් අන්ත වන අතර ඔහුට ස්වර්ගයේ දොරටු නොඇරෙනු ඇත’ යැයි දේශනා කරනු ඔහුට ඇසී තිබිණි. බයිබලයෙන් මේ වැකිය ඔහුට ඇසෙන්නට කියන්නැයි ඔහු මගෙන් නිරතුරුව ඉල්ලා සිටියත් මට කිසිදිනක එය සොයාගනු නොහැකි විය. ඇතැම් දිනවලදී ඔහු කෑම මේසය අසල අසුන්ගෙන බයිබලයේ පිටු පෙරළමින් ගත කළේ කිසියම් හාස්කමකින් ඔහුට නිවැරදි පිටුව සොයාගැනීමට හැකිවනු ඇතැයි සිතූ ලෙසිනි. එවැනි දිනවල ඔහු ඒ පොත දෙස බලාගත්වනම කාලය ගත කළ අතර ඔහුගේ දෑතින් අකුරු ලියනු නොහැකි නිසා දෙවියන් විසින් ඔහුව ස්වර්ගයට භාර නොගනු ඇත්දැයි ඔහු කල්පනා කරමින් පසුවන බව මම දැන සිටියෙමි.

වරක් එක සති අන්තයක අම්මා තම සොයුරිය බලන්නට ගියාය. මා මගේ අලුත්ම සෙල්ලම් කරත්තය තනමින් සිටි අතරේදී තාත්තා රෑ කෑමට යමක් ගෙන ඒමට කඩයට ගියේය. කෑමෙන් පසු අතුරුපසට මා පුදුම වන සුළු දෙයක් ඇතැයි කියූ ඔහු කුස්සියට ගොස් ටින් බඳුනක් විවර කරන හඬ මට ඇසිනි. ඉනික්බිති තද නිහැඬියාවක් පැතිරුණි. කුස්සියේ දොරකඩට ගිය මා දුටුවේ විවර ටින් එකද අතැතිව ඔහු එහි සිටගෙන සිටින අයුරුයි. “පින්තූරේ පෙනුණේ පෙයාර්ස් වගේමයි” ඔහු සෙමෙන් කීවේය. ඉනික්බිති ඔහු පසුපස දොරකඩ පඩිය මත වාඩිවිය. තම පුතු ඉදිරියේ ඔහු ලැජ්ජාවට පත්ව ඇති බව මම දැනගත්තෙමි. ටින් බඳුනේ ලේබලයේ ‘සුදු අල’ යැයි සඳහන්ව තිබුණත් එහි පින්තූරයේ සැබවින්ම පෙනුණේ ඒවා පෙයාර්ස් ලෙසිනි.

එදා ඔහු වෙත ගොස් ළඟින් හිඳ ගත් මම, අහසේ තරු රටා මට පෙන්වාදෙනු හැකිදැයි ඔහුගෙන් ඇසුවෙමි. ‘බිග් ඩිපර්’ ඇතුළු අනෙත් තරු රටා සියල්ල තිබෙන තැන් ඔහු දැන සිටි අතර ඒවායේ මැවුම ආදී දේ ගැන එදා අපි නොයෙක් විස්තර කතා කළෙමු. එදා ඔහුව අපහසුතාවයට පත් කළ ඒ ටින් බඳුන බොහෝ කාලයක් ගතවන තුරු ඔහු තම ලී මඩුවේ තට්ටුවක් මත තබාගෙන සිටියේය. ඒ අකුරු අතපත ගෑමෙන් ඔහුට ඒවා කියවීමේ හැකියාව ලැබේවි වැනි හැඟීමෙන් ඔහු එය අතට ගෙන ඒ මේ අත හරවමින් සිටිනු මා කීප වරක් දැක ඇත.

මීට වසර ගණනාවකට පසු, අම්මා අන්ත්‍රා වූ විට තාත්තාට මා සමඟ පදිංචියට ඒමට පෙරැත්ත කිරීමට මම උත්සාහ කළෙමි. එහෙත් නගරය කෙළවරේ සතුන් කිහිප දෙනෙකු හදාගනිමින්, ගෙවත්තකින් වටවූ කුඩා නිවසක විසු ඔහු එය අතහැර ඒමට මනාප වූයේ නැත. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙමින් තිබුණු අතර ඒ වෙද්දී කීප වරක් දරුණු නොවන වර්ගයේ හෘදයාබාධ නිසා ඔහු රෝහල්ගතව තිබිණි. වයස්ගත වෛද්‍ය ග්‍රීන් ඔහුව සතිපතා පරීක්ෂා කර බෙහෙත් නියම කළේය. හෘදයාබාධයක මුල් ලකුණු දැනෙද්දී දිව යට තබාගත යුතු නයිට්‍රෝග්ලයිසරින් පෙත්තක්ද වෛද්‍යවරයා ඔහුට නියම කර තිබිණි.

තාත්තා ගැන මා සතුව ඇති අවසන් සුන්දර මතකය නම් කඳු බෑවුමක තණ පිටියක නැම්මක් ඔස්සේ ඔහු මගේ දරුවන් දෙදෙනා සමඟ ගමන් කරමින් සිටි මොහොතයි. ඒ මොහොතේත් - දැන් වයස්ගත වීම නිසා රැළි වැටුණු- ඔහුගේ විශාල උණුසුම් දෑත දරුවන්ගේ උර මත රැඳී තිබිණි. ඔහු නැවතී වසර ගණනාවකට පෙර මා ඔහු සමඟ පිහිනීමට සහ මාළු බෑමට ආ පොකුණ දරුවන්ට පෙන්වනු මා දුටුවේය. එදින රාත්‍රියේ මා මගේ පවුලේ සාමජියකින් සමඟ අලුත් රැකියාවක් සහ අලුත් නිවහනක් වෙනුවෙන් විදේශගත විය. ඉන් සති තුනකට පසු තාත්තා හෘදයාබාධයකින් අන්ත්‍රා විය.

තාත්තාගේ අවසන් කටයුතු වෙනුවෙන් මම තනිවම ආපසු පැමිණියෙමි. වෛද්‍ය ග්‍රීන් මා වෙත පැමිණ සිය ශෝකය පළ කළේය. තමන් තාත්තාට අලුතෙන් නයිට්‍රෝග්ලයිසරින් බෙහෙත් වට්ටෝරුවක් නියම කළ බවත් ඔහු එය ඔසු සලින් ලබාගෙන තිබුණු නමුත් අවසන් මොහොතේදී මේ පෙති තාත්තා ළඟ නොතිබීම ගැන තමන් තරමක් වද වන බවත් ඔහු කීවේය. තාත්තා හෘදයාබාධයේ ලකුණු පහල වෙද්දීම මින් පෙත්තක් ගත්තේ නම් උදවු ලැබෙන තුරු ඔහුගේ ජීවිතය බේරෙන්නට තිබුණු බව ඔහුගේ අදහස විය.

පල්ලියේ අවමංගල්‍ය පූජාවට පැයකට පමණ පෙර තාත්තාගේ ගෙවත්තේ මම සක්මන් කරමින් සිටියෙමි. අසල්වැසියෙකු විසින් මෙහි කෙළවරක ඔහු වැටී සිටිද්දී ඔහුව සොයාගෙන තිබිණි. උතුම් මිනිසෙක් තම ජීවිතය අවසන් කළ තැන නතර වූ මම ශෝකයෙන් නැඹුරු වී පොළොව මත අතැඟිලි දුවවන්නට වුනෙමි. මගේ දෑතට අඩක් පසට යටවුණු ගඩොල් කැටයක් අසුවුණේ එවිටයි. වැඩිදුර නොසිතා මා එය ඉවතට විසි කරන්නට තැත් කරද්දී ඊට යටවී තිබුණු කුඩා ප්ලාස්ටික් බෝතලය මගේ නෙත ගැටුණි. ඇඹරී, ඇදවී - එහෙත් නොබිඳී තිබුණු මේ බෝතලය ගඩොල් කැටයෙන් වැරෙන් පහර දීම නිසා මෘදු පසේ අඩක් ගිලී තිබිණි.

නයිට්‍රෝග්ලයිසරින් පෙති සහිත කුඩා කුප්පිය මගේ අත්ලේ තබාගෙන සිටිද්දී පෙර දිනක එහි මූඩිය විවර කිරීමට තාත්තා කලබලයෙන් උත්සාහ කරන අයුරුත්, එය අසමත් වූ තැන ගඩොලකින් පහර දී එය විවර කරන්නට තැත් දරන අයුරුත් වේදනාත්මක දසුනක් මට මැවී පෙනුණි. තාත්තාගේ විශාල උණුසුම් දෑත මරණය සමඟ සටනේදී පැරදුණු හේතුව මට වැටහී ගියේය. බෙහෙත් සහිත කුඩා කුප්පියේ ලේබලයේ මෙසේ සඳහන් වී තිබිණි. “කුඩා දරුවන්ට විවර කිරීමට නොහැකි ලෙස සැකසූ මූඩියකි. විවර කිරීම සඳහා පහතට තෙරපා කරකවන්න.” පසුව ඔසුසලෙන් විමසූ විට වැඩි ආරක්ෂාවක් සඳහා මේ අලුත් වර්ගයේ බෙහෙත් කුප්පි පාවිච්චියට ගත්තේ මෑතක බව ඔවුහු තහවුරු කළහ.

මා කරන්නේ එතරම් තාර්කික ක්‍රියාවක් නොවන බව දැන දැනම මම නගරයට ගොස් හම් බැම්මෙන් බඳින ලද කුඩා ශබ්ද කෝෂයක් සහ රන් ආලේපිත පෑන් කට්ටලයක් මිලට ගත්තෙමි. තාත්තාට සමු දෙද්දී, යහපත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වූවත් කිසි දාක අකුරු ලියන්නට නොහකි වුණු, කාලයක් උණුසුම්ව තිබුණු තාත්තාගේ විශාල දෑත මැද මම ඒවා රැඳෙව්වෙමි.

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

From the book ‘Elephants are Dainty Birds’ (1978) Jacaranda Press

digital sketch using stylus



February 12, 2023

මැහුම්කාර අයිරිනා - අසම්පූර්ණ සුරංගනා කතා #2

 අසම්පූර්ණ සුරංගනා කතා #2


“අනේ මන්දා, අදත් වහින්න වගේ!”

අයිරිනා ගස්වල අතු අතරින් එබිලා අහස දිහා බලලා තමන්ටම කියාගත්තේ නොරිස්සුමෙන්. රාස්බෙරි පඳුරේ කොළ අතරින් අව්ව තීරු තීරු වැටිලා තිබුණත් ඈත අහසේ තිබුණේ අඳුරු මූසල පෙනුමක්. වැස්සොත් අදත් වැඩ ඉවර කරගන්න වෙන්නේ නැහැ, එකතු වුණ වැඩ ටික මතක් වෙද්දී අයිරිනාට ඔලුව අවුල්වෙනවා වගේ දැනුණා. මෙහෙම වෙලාවට එයා කරන්නේ ලැයිස්තු හදන එක. වැඩ ඉවර කරගන්න ඒකෙන් ලොකු උදව්වක් නැහැ තමයි, ඒත් කරන්න තියෙන වැඩ ලැයිස්තුගත කරද්දී හිත හරි ටිකක් හැදෙනවා. සමහර වෙලාවට අයිරිනාගේ ලැයිස්තු වලත් ලැයිස්තු තියෙනවා.

“දවස් දෙකකින් බාරදෙන්න තියෙන මොනාක් සමනල තටු කට්ටල තුනයි, තනි සුදු කට්ටල දෙකයි ”

ඒ වෙද්දීත් සමනල තටුවක් ගොතන ගමන් හිටිය නිසා මේ සැරේ අයිරිනා ලැයිස්තුව හදන්නේ හිතෙන්. දිග ඇදෙමින් යන තම්බර්ජියා වැලක නටුවක හරි බරි ගැහිලා වාඩිවෙන ගමන් එයා කරන්න තියෙන වැඩ ටික මතක් කරන්න ගත්තා.

“අන්ඩ දාන්න දුන්න ජිප්සී සලබ තටු එකයි, අලුතින් තිත් මහන්න දුන්න ලේඩි බර්ඩ් කුරුමිණි පියන් කට්ටල පහයි….”

තමන්ට මේ තරම් වැඩ ගොඩ ගැහුණේ ළඟ එන වසන්ත ඍතුව නිසා බව අයිරිනා දන්නවා. වැඩි වැඩියෙන් මල් පිපෙන කාලයට සමනල්ලු වෙන්න බලාගෙන මේ කාලේ දළඹුවෝ කෝෂගත වෙනවා වැඩියි. හරියටම කෝෂයෙන් නික්මෙන දවස වෙද්දී සමනල තටු කට්ටල ටික බාරදෙන්න අයිරිනාට ඇනවුම් දීලා තමයි එයාලා කෝෂ ඇතුලේ හැංගෙන්නේ. ඒ නිසා ඒ වැඩ නම් කොහොමත් පරක්කු කරන්න බැරි බව අයිරිනා දන්නවා. දැනුත් එයා හිටියේ මොනාක් සමනල තටුවක වැඩ ඉවර කරන ගමන්. එක එක වර්ගවල, පාටවල මැහුම් වැඩ වල නිරන්තරයෙන්ම යෙදිලා හිටියත් අයිරිනා හිත යටින් වැඩියෙන්ම ආසා කළේ මොනාක් සමනල තටුවලට. ඒවායේ ඇස් නිලංකාර කරවන කහ තැඹිලි පාටත් කළු පාට ඉරිත් හීනවලදී පවා අයිරිනාගේ ඇස් පියන් යට ඇඳුනා. මේ කැමැත්තට හේතුව මොනාක් සමනල්ලු ලස්සන වුනත් විෂ බව තමන් කොහේදෝ ඇහුව කතාවද නැත්නම් දවසක් තරුණ මොනාක් සමනලයෙක් අයිරිනාව මල් ගාලකදී හම්බවෙලා එයාගේ ඇස් දෙකේ පාට ලස්සනයි කීව නිසාද? සමහරවිට හේතු දෙකම වෙන්නැති. ඒත් ඒ හේතු දෙක එකිනෙකට පරස්පර නිසා ඒ ගැන වැඩිය නොහිතා ඉන්න එයා උත්සාහ කළා.

“තව වැඩ තියෙනවා, ඇයි මැහුම් බඩු ගේන්න!” අයිරිනා තමන්ටම මුමුණා ගත්තේ එක සමනල තටුවක වැඩ ඉවරකරලා පැත්තකින් තියමින්. දොළ පාරෙන් එහා කඩ මණ්ඩියේ රොබින් නෝනාගේ කඩේ තමයි හොඳම මැහුම් බඩු තිබුණේ. දොළ පාරෙන් එගොඩ මෙගොඩ වෙන්න ගෙම්බන්ගෙන් උදවු ඉල්ලන්න වෙන එක කරදර වැඩක් වුණත් තමන්ගේ ගනුදෙනුකාරයෝ වෙනුවෙන් ඉස්තරම්ම අමුද්‍රව්‍ය ගන්න අයිරිනා හැමතිස්සෙම උත්සාහ කළා.

“කහ නූල් පන්දු දුසිම් බාගයයි, තැඹිලි දුසිමයි. රතු දුසිමයි, සුදු රේන්ද යාර තුනයි. පළගැටි පවුලටම ඊළඟ ඍතුවට අලුත් ඇඳුම් මහන්න බාරදෙන බවක් එදා තණ බිස්සේදී මුනගැහිලා පළගැටි අම්මා කීවා. ඒ ඇඳුම් ටිකටත් රෙදි බොත්තම් දැන්ම ගෙනත් තියාගන්න ඕන.” අයිරිනා හිතෙන් තව ලැයිස්තුවක් හදන්න පටන් ගත්තා.

අඩුම ගානේ වසන්ත කාලෙටවත් තමන්ගේ වැඩ වලට අත් උදවු කාරයෙක් ගන්නවද කියලා අයිරිනා ආයෙත් කල්පනා කළා. තමන්ට නොකඩවා ඇනවුම් එන්නේ තමන්ගේ මැහුම් වැඩ වල ඉස්තරම් ප්‍රමිතිය නිසා ඒ වැඩ නම් වෙන කිසි කෙනෙකුට පවරන්න බැහැ. ඒත් අඩුම ගානේ කඩේ යවන්න, වැඩ ඉවර ඇනවුම් ගිහින් බාර දෙන්න වගේ සිල්ලර වැඩ වලට කුරුමිණි කොල්ලෙක්වත් වැඩට ගන්න වෙන බව එයාගේ යටි හිත කිව්වා.

“තාවකාලිකව වැඩට අරගෙන, වැඩපළ කොහොමද එහෙම බලලා…”

“ඩාං.. ඩෝං.. දඩාං!”

අයිරිනාගේ සිතුවිලි හදිසියේම නැවතුණේ රාස්බෙරි පඳුරේ මුල හරියෙන් ඇහුණු ලොකු සද්දයක් නිසා. බරැති යමක් පෙරළෙන, පඳුරු තැලෙන හඬ අඳුනාගන්න එයාට අමාරු වුණේ නැහැ.

“දෙවියනේ! ආයෙත් වතාවක් මෙතැන හා පවුලක්වත් පදිංචි වෙන්න හදනවාද?” අයිරිනා තමන්ටම කියාගත්තා.

 අසම්පූර්ණ සුරංගනා කතා #2

-හෙල්මලී ගුණතිලක-


Painting- Watercolour paints


February 07, 2023

දෘෂ්ටි මායා



අවදිවීමෙන් පසු
සිහිය එළඹෙන්නට පෙර ඇති
සුළු මොහොත තුළ,
මට අහිමි වූ දේ අමතක
නිමේෂය තුළ,
මට ජීවත් වන්නට ඉඩ දෙන්න

දුනුවායන් රැසකගේ ඉලක්කය
මා බව දැනී
රිදුම් එළඹෙන්න පෙර

කිණිසි දමා ගසන්නන්
සිය ක්‍රීඩා පුහුණුවට
මා තෝරාගෙන යැයි
දැනෙන්නට පෙර

කුණාටුවකට හසුව
දිය යට
මා හුස්ම සිරවෙමින්යැයි
දැනෙන්නට පෙර

නින්දත් නොනින්දත්
අතර ඒ ඉඩ තුළ
ජීවත් වන්නට ඉඩදෙන්න

අප තවමත් අපගේම බව
මටම කියාගන්නට ඉඩදෙන්න

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Hallucinate' by Marianne David

ශ්‍රී ලංකික කිවිඳියක් වන Marianne David දශක දෙකක අත්දැකීම් ඇති ජනමාධ්‍යවේදිනියකි. දැනට ලංකාවේ ප්‍රධාන පුවත්පතක උප කතුවරිය ලෙස සේවය කරන ඇය, විවිධ සමාජීය කරුණු ගැන නිදහස් මාධ්‍යවේදිනියක් ලෙසද ලේඛනයේ යෙදෙන්නීය. ඇගේ 'All of the Oranges' කාව්‍ය එකතුව 2021 ග්‍රේෂන් සම්මාන උළෙලේ දීර්ඝ ලැයිස්තුගත විය.


Original poem- www.orangegerberas.blogspot.com

Digital painting



February 03, 2023

'මලකැයි කියා'


මං සින්දුවලට කැමති වෙන්නේ කිරලා මැනලා, තේරුම් ව්‍යාකරණ බලලා කියන එක මං ගැන දන්නා අය හොඳට දන්නවා. ඒකට exceptions නැහැමයි කියලා මම හිතාගෙන හිටියේ. නැහැ කිව්වට නැත්තේමත් නැහැ කියලා හිතෙන වර්ගයේ සින්දුවක් හදිස්සියේ අහන්න ලැබුණා. මට අලුත් වුණාට මේ සින්දුව අවුරුදු දහයක් විතර පරණයි! ඒ තමයි කසුන් කල්හාර ගයන මලකැයි කියා සින්දුව.

මේක අහද්දී මුලින්ම වශී වුණේ කසුන්ගේ කටහඬට. කසුන්ගේ ගායනයට කොහොමත් මගේ තදබල කැමැත්තක් තියෙනවා. එයාගේ 'මීදුම් දුමාරයේ' සින්දුව එහෙම මගේ කැමති ලයිස්තුවේ උඩ හරියෙන්ම තියෙනවා. මේකේ තනුවත් සිත් ඇද ගන්නා සුළුයි. ඒත් සින්දුව අහද්දීමත් වචන නිසා තාලේ පොඩ්ඩක් එහා මෙහාද කියලාත් හිතුණා. වැඩි හොඳට පස්සේ සින්දුවේ වචන ටික search කරලා බැලුවා.

මේ සින්දුවේ පද රචනය චරිත් විජේතුංගගේ. චරිත් හදිසියේවත් කවදා හරි මේ සටහන කියෙව්වොත් no offence හොඳේ, මට නම් දැනෙන්නේ මේකේ random වචන ටිකක් එකතු කරලා වගේ. අනික ඔසු මලක් කියන එකෙන් අදහස් කළේ මොකද්ද කියන එක මට නොතේරෙන්නේ මගේ නොතේරුම් කමටද මන්දා. ඉතින් කොහොම හරි අන්තිමට සිංදුවල තේරුම් බල බල කැමති වෙමින් හිටිය මම ශබ්ද රසය විතරක් බලලා මේකට කැමති වුණා. (මැද තියෙන අර ඔපෙරා ටයිප් කෑලි ටිකත් නොතිබ්බත් හොඳයි ඉතින්)

ඔහොම කල්පනා කරමින් ඉන්දැද්දී තමයි සින්දුවේ visual එක දැක්කේ. හම්මේ ඉතින් උද්දික ප්‍රේමරත්නනේ ඒකෙ ඉන්නේ. ඒ නිසා තුනෙන් දෙකක බලය දීලා සින්දුවට කැමති වෙන්න හිත හදාගත්තා.