September 25, 2021

චාල්ස්


Translation of the short story 'Charles' by Shirley Jackson



මගේ පුතු ලෝරී පෙර පාසල් යෑමට පටන් ගත් දිනයේම කොඩ්රෝයි රෙද්දෙන් මැසූ ඕවරෝල් කලිසම් ඇඳීම නවතා දමා බඳ පටියක් සහිත නිල් පැහැති ඩෙනිම් කලිසම් අඳින්නට පටන් ගත්තේය. අසල්වැසි නිවසක දැරියක් සමඟ ඔහු ඒ පළමු උදෑසන පිටත්ව යන අයුරු බලා සිටි මට, මගේ ජීවිතයේ එක් යුගයක් නිමා වූ බවක් පැහැදිලිවම දැනුණි. මිහිරි කටහඬක් තිබුණු මගේ කුඩා ළදරුවා දිගු කලිසම් පැළඳ චන්ඩි ගමනින් යන, පාරේ කෙළවරදී නැවතී මට අත වනන්නට අමතක වන චරිතයක් බවට පත්ව තිබිණි.


ඔහු යළි නිවසට පැමිණියේද ඒ ආකාරයෙන්මය. නිවසේ ඉදිරි දොර වැරෙන් හප්පා, තොප්පිය බිම විසිකර “කවුරුවත් නැද්ද මෙහේ?” යැයි ඔහු හඬගා ඇසුවේ රළු හඬකිනි.

දිවා ආහාර වෙලාවේදී ඔහු තාත්තා සමඟ ගරු සරු නැතිව කතා කර, බිළිඳු නැඟණියගේ කිරි බඳුන ඉහිරවූ අතර අප විසින් දෙවියන් වහන්සේගේ නම හේතුවක් රහිතව භාවිත නොකළ යුතුයැයි තම ගුරුවරිය පැවසූ බවද කීවේය.

“ඉතින් කොහොමද අද ඉස්කෝලේ?” මා ඇසුවේ උවමනාවෙන් මවාගත් සැහැල්ලු බවකිනි.

“හොඳයි,” ඔහු කීය.

“ඔයා මොනවාවත් ඉගෙනගත්තාද?” ඔහුගේ තාත්තා ඇසීය.

ලෝරී තාත්තා වෙත සීතල බැල්මක් හෙලුවේය. “මම කිසි දෙයක් ඉගෙන ගත්තේ නැහැ.”

“ටීචර් ළමයෙකුට ගැහුවා හැබැයි,” ලෝරී තම පිඟානේ පාන් සහ බටර් දෙස බලාගෙන කීවේය. “එයා කමකට නැතිව හැසිරුණු නිසා.” ඔහු ඊට එකතු කළේ කෑම පුරවාගත් කටින් යුතුවය.

“එයා මොකද කළේ?” මම ඇසුවෙමි. “කවුද ඒ?”

ලෝරී මඳක් කල්පනා කළේය. “ඒ චාල්ස්,” ඔහු කීවේය. “එයා කමකට නැහැ. ටීචර් එයාට ගහලා පන්තියේ මුල්ලට වෙලා ඉන්න කිව්වා. එයා කිසිම කමකට නැහැ.”

“එයා මොකද කළේ?” මා නැවත ඇසුවත් ලෝරී ලිස්සා තම පුටුවෙන් බැස, විස්කෝතුවක් අතට ගෙන යන්නට ගියේ තාත්තා ඔහුට “මේ අහන්න කොල්ලා..” කියද්දීමය.

ඊට පසු දිනයේදී ලෝරී දිවා ආහාරයට හිඳගත් වහාම “ඔන්න අදත් චාල්ස් නරක වැඩක් කළා.” යැයි කීවේය. “අද චාල්ස් ටීචර්ට ගැහුවා.” ඔහු කීවේ පුළුල් සිනාවක් සහිතවය.

“දෙවියන්ට ඔප්පු වෙච්චාවේ,” දෙවියන්ගේ නම නිකරුණේ කීම ගැන සිතමින්ම මම කීවෙමි.

“එහෙනම් එයාට ආයෙත් ගුටි ලැබෙන්න ඇති?”

“හම්බවුනා නේන්නම්,” කී ලෝරී. “උඩ බලන්න,” යැයි තාත්තාට කීය.

“මොකටද?” තාත්තා ඇසුවේ උඩ බලමිනි.

“බිම බලන්න,” ලෝරී කීවේය. “මෙන්න මගේ ඇඟිල්ලක්… ඔයා මහා මෝඩයෙක්.” කී ඔහු ඔහු උමතු ලෙස සිනාසෙන්නට විය.

“චාල්ස් මොකද ටීචර්ට ගැහුවේ?” මම ඉක්මණින් ඇසුවෙමි.

“ටීචර් රතු පාට පාට කූරු වලින් පාටකරන්න කියලා චාල්ස්ට කීව නිසා.” ලෝරී කීවේය. “එයාට ඕන වුණේ කොළ පාටින් පාට කරන්න. ඉතින් එයා ටීචර්ට ගැහුවා, ටීචර් එයාට ගැහුවා. පස්සේ ටීචර් අනෙත් ළමයින්ට කිව්වා එයා එක්ක සෙල්ලම් කරන්න එපා කියලා ඒත් හැමෝම සෙල්ලම් කළා.”

තුන්වෙනි දවසේ - ඒ පළමු සතියේ බදාදා දවසේ- චාල්ස් විසින් දැරියකගේ හිසෙහි සී සෝව වද්දා ලේ ගලන තුවාල සිදු කළ නිසා විවේක කාලයේදී ඔහුට පන්තියට වී සිටින්නට ගුරුවරිය අණ කර තිබුණි. බ්‍රහස්පතින්දා චාල්ස්ට පන්ති කාමරයේ මුල්ලට වී සිටින්නට සිදු වී තිබුණේ කතන්දර වෙලාවේදී නොනවත්වා අඩි හැප්පීම නිසාය. සිකුරාදා චාල්ස්ට කළු ලෑල්ලේ ලිවීමේ වරම් අහිමි වූයේ ඔහු රටහුණු වීසි කළ බැවිනි.

“ඔයා හිතනවද පෙර පාසල ලෝරීට ගැලපෙන්නේ නැහැ කියලා? මේ චන්ඩිකම්, නරක වචන… අනික මේ චාල්ස් කියන ළමයා දෙන්නේ හරි වැරදි ආදර්ශයක් නේ.” ඒ සතියේ සෙනසුරාදා දින මම සැමියාට කීවෙමි.

“ඕක හරි යයි,” ඔහු පිළිතුරු දුන්නේ මගේ සිත හැදෙන අයුරිනි. “ඔය චාල්ස් වගේ මිනිස්සු ලෝකේ ඉන්න පුළුවන් නේ. මෙයාට පස්සේ ඒ වගේ අය මුනගැහෙනවට වඩා හොඳයි ඒක දැන්ම සිද්ධ වෙන එක.”

සඳුදා ලෝරී පමා වී නිවසට ආවේ ආරංචි රැසක් සමඟිනි. “චාල්ස්,” ඔහු නිවස වෙත එන කන්ද නැඟගෙන එද්දීම කෑ ගැසුවේය. මා සිටියේ ඔහු එනතුරු කරදර සිතින් යුතුව දොරකඩට වී මඟ බලාසිටිමිනි. “චාල්ස්,” ඔහු මහා හඬින් කීය, “අදත් නරක විදිහට හැසිරුණා.”

“එන්න ගේ ඇතුළට,” ඔහු කිට්ටුවට ආ විට මම කීවෙමි. “ ඔයා එනකම් දවල් කෑම සුදානම් කරලා තියෙන්නේ.”

“අම්මා දන්නවද අද චාල්ස් මොකද කළේ කියලා?” ඔහු මා පසුපසින් ගෙතුලට එමින් ඇසුවේය. “චාල්ස් ඉස්කෝලෙදි කොයිතරම් හයියෙන් කෑ ගැහුවද කියනවානම් එයාලා එකේ පන්තියේ ළමයෙක්ව එව්වා ටීචර්ට කියන්න එයාව නිශ්ශබ්දව තියාගන්න කියලා. ඒ නිසා චාල්ස්ට ඉස්කෝලෙන් පස්සේ නවතින්න වුණා. ඉතින් අනෙත් ළමයිනුත් නැවතිලා එයා දිහා බලාගෙන හිටියා.”

“එයා ඉතින් මොකද කළේ?”

“එයා නිකම් වාඩිවෙලා හිටියා.” ලෝරී තම පුටුව මතට නඟිමින් කීවේය. “ආ තාත්තා! ඔයා නිකම් දූවිලි පිරුණු කොස්සක් වගේ”

“චාල්ස්ට අද ඉස්කෝලෙන් පස්සේ නවතින්න වෙලානේ.” මම සැමියාට කීවෙමි. “අනෙත් අයත් එයා එක්ක නැවතිලා.”

“ඔය චාල්ස් මොන වගේද?” ඔහු ලෝරීගෙන් විමසුවේය. “එයාගේ අනෙත් නම මොකක්ද?”

“එයා මට වඩා ලොකුයි.” ලෝරී කීවේය. “එයාට එළියට දාන සපත්තුත් නැහැ, එයා කවදාවත් කබායක් අඳින්නෙත් නැහැ.”

ඒ සඳුදා හවස් වරුවේ පෙර පාසලේ පළමු ගුරු දෙගුරු රැස්වීම යෙදී තිබිණි. බිළිඳු දියණියට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී තිබුණු බැවින් මට ඊට සහභාගී වන්නට නොලැබුණත් චාල්ස්ගේ මව මුණගැහීමට මට තදබල උවමනාවක් තිබිණි.

“අපේ ටීචර්ගේ යාලුවෙක් අද ඉස්කෝලෙට ආවා එයාව හම්බවෙන්න.” අඟහරුවාදා ලෝරී හදිසියේම කීවේය.

“චාල්ස්ගේ අම්මාද?” සැමියාත් මාත් ඇසුවේ එකවර ය.

“නෑහ්” ලෝරී අවඥාවෙන් කීය. “එයා මිනිහෙක්. එයා අපිට එක එක ව්‍යායාම කරන්න කිව්වා, පහත් වෙලා කකුලේ ඇඟිලි අල්ලන්න කිව්වා. මේ බලන්න.” ඔහු පුටුවෙන් බැස ගොස් නැමී තම පා ඇඟිලි ඇල්ලුවේය. “මෙන්න මේ විදිහට.” ඉනික්බිති ඔහු සන්සුන් ලෙස නැවත පුටුවට නැඟ තම ගෑරුප්පුව අතට ගත්තේය. “චාල්ස් නම් ඒ ව්‍යායාම කළේවත් නැහැ.”

“ඒකට කමක් නැහැ,” මම උද්යෝගයෙන් කීවෙමි. “ඇයි චාල්ස් ව්‍යායාම කරන්න අකමැති උනාද?”

“නෑහ්” ලෝරී කීය. “ටීචර්ගේ යාලුවා එක්ක ප්‍රශ්නයක් වුණ නිසා එයාට ව්‍යායාම කරන්න ඉඩ දුන්නේ නැහැ.”

“එයාගේ සුපුරුදු නරක හැසිරීමද?”

“එයා ටීචර්ගේ යාළුවාට පයින් ගැහුවා.” ලෝරී කීවේය. “ටීචර්ගේ යාලුවා චාල්ස්ට කිව්වා මේ මම කරන විදිහට පහත් වෙලා කකුලේ ඇඟිලි අල්ලන්න කියලා, චාල්ස් එයාට පයින් ගැහුවා.”

“ඔයා හිතන්නේ එයාලා චාල්ස්ට මොනවා කරයි කියලාද?” ලෝරීගේ පියා ඔහුගෙන් ඇසීය.

ලෝරී ඉතා සෙමෙන් උරහිස් හැකිලුවේය. “ඉස්කෝලෙන් එළවලා දායි මං හිතන්නේ,” ඔහු කීය.

බදාදාත් බ්‍රහස්පතින්දාත් සුපුරුදු ලෙස ගෙවුණි. කතන්දර වේලාවේදී චාල්ස් කෑ ගැසීමත් තවත් ළමයෙක්ගේ බඩට ගසා ඔහුව හැඬවීමත් සිදුවී තිබිණි. සිකුරාදා චාල්ස්ට නැවතත් පාසලෙන් පසුව නතර වීමට සිදු වූ අතර අනෙත් ළමෝ හැම දෙනාමද ඔහු සමඟ නතර වූහ.

පෙර පාසලේ තුන්වන සතිය වෙද්දී චාල්ස් අප නිවසේ වැදගත් තැනක් ඉසිලීය. බිළිඳිය හවස් වරුව පුරාම හැඬූ විට ඈ ‘චාල්ස්’ වී සිටියාය. ලෝරී කුඩා කරත්තයකට මඩ පුරවා කුස්සිය හරහා ඇදගෙන ආ විට ඔහු කළේ ‘චාල්ස් වැඩකි’. සැමියාගේ වැලමිට දුරකථන රැහනේ පැටලී දුරකථනයත්, අළු බඳුනත්, මල් බඳුනත් මේසයෙන් බිමට වැටුණු විට, මොහොතක් නිසොල්මන්ව හිඳ ඔහු පවා කීවේ “නිකම් චාල්ස් වගේ,” කියා ය.

තුන්වන සහ හතරවන සති තුළ චාල්ස් පුනුරුත්ථාපනය වන බවක් දිස් විය. “අද චාල්ස් හොඳට හිටිය නිසා ටීචර් එයාට ඇපල් ගෙඩියක් දුන්නා,” ලෝරී තුන්වන සතියේ බ්‍රහස්පතින්දා බැරෑරුම් ස්වරයකින් කීවේය.

“මොකක්?” සැමියාත් මාත් ප්‍රවේශමෙන් ඇසුවෙමු. “ඔයා ඔය කියන්නේ චාල්ස් ගැනද?”

“ඔව් චාල්ස්,” ලෝරී කීවේය. “එයා පන්තියට පාට කූරු බෙදුවා, ඊටපස්සේ පොත් ටික අස් කළා. ටීචර් කිව්වා එයා ටීචර්ගේ උදව්කාරයා කියලා.”

“මොකද වුණේ?” මා ඇසුවේ බලවත් සැකයෙනි.

“එයා ටීචර්ගේ උදවුකාරයා වුණා, එච්චරයි,” ලෝරී කීවේ උරහිස් ගස්සමිනි.

“මේ චාල්ස් ගැන කියන දේවල් ඇත්ත වෙන්න පුලුවන්ද?” එදින රාත්‍රියේදී මම සැමියාගෙන් ඇසුවෙමි. “මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද?”

“බලාගෙන ඉන්නකෝ,” ඔහු කීවේ අවිශ්වාසයෙනි. “චාල්ස් වගේ කෙනෙක් එක්ක වැඩ කරද්දී මෙහෙම වෙනවා කියන්නේ එයා සැලසුමක් ගහනවා වෙන්න පුළුවන්.”

ඔහු කී දේ වැරදි බවක් පෙනුණි. සතියකට වැඩි කාලයක් තිස්සේ චාල්ස් ගුරුවරියගේ උදවුකාරයා විය. හැම දිනකම ඔහු පන්තියට විවිධ දේවල් බෙදා දෙමින්, විවිධ දේවල් අසුරා තබමින් සිටි අතර කිසිවෙක්ට පාසලෙන් පසුව නැවතීමට සිදු වූයේ නැත.

“ලබන සතියේ ආයෙත් ගුරු දෙගුරු රැස්වීමක් තියෙනවා.” එක් හවස් වරුවක මම සැමියාට කීවෙමි. “මම එදාට චාල්ස්ගේ අම්මාව හොයාගන්න ඉන්නේ.”

“එයාගෙන් අහන්න චාල්ස්ට මොකද වුණේ කියලා,” ඔහු කීය. “මම කැමතියි දැනගන්න.”

“මටත් ඕන දැනගන්න.” මම කීවෙමි.

ඒ සතියේ සිකුරාදා වෙද්දී තත්ත්වය සාමාන්‍ය අතට පත්වී තිබිණි. “දන්නවද අද චාල්ස් මොකක්ද කළේ කියලා?” ඔහු දිවා කෑම මේසයේදී ඇසුවේ පුදුමය තැවරුණු කටහඬිනි. “එයා අද කෙල්ලෙකුට එක වචනයක් කියන්න කියලා කිව්වා. එයා ඒක කිව්වාම ටීචර් එයාගේ කට සබන් දාලා හේදුවා. චාල්ස් හිනාවුණා.”

“මොකක්ද වචනේ?” ඔහුගේ තාත්තා මෝඩ ලෙස ඇසුවේය.

“ඒක හොඳටම නරක නිසා මට ඔයාට රහසින් තමයි කියන්න වෙන්නේ.” ලෝරී කීය. එසේ කියා ඔහු පුටුවෙන් බැස තාත්තා වෙතට ගියේය. තාත්තා හිස පහත් කළ අතර ලෝරී ඉතා සතුටින් ඔහුට රහසින් යමක් කීවේය. තාත්තාගේ ඇස් පුදුමයෙන් මහත් විය.

“චාල්ස් පුංචි කෙල්ලෙකුට ඕක කියන්න කිව්වා?” ඔහු ඇසුවේ ගෞරවය මිශ්‍ර කටහඬිනි.

“ඒ කෙල්ල ඒක දෙසැරයක් කිව්වා,” ලෝරී කීවේය. “චාල්ස් එයාට කිව්වා ඒක දෙසැරයක් කියන්න කියලා.”

“ඉතින් චාල්ස්ට මොකද වුණේ?” සැමියා විමසුවේය.

“මුකුත් නැහැ,” ලෝරී පිළිතුරු දුන්නේය. “එයා පාට කූරු බෙද බෙදා හිටියා.”

සඳුදා උදය වරුවේදී චාල්ස් කුඩා දැරියව අත හැර ඔහුම ඒ නරක වචනය තුන් හතර වරක් කියා තිබුණු අතර ඒ හැම වතාවකදීම සබන් දමා ඔහුගේ මුව සෝදා තිබිණි. මීට අමතරව ඔහු රට හුණු වීසි කළ බවද වාර්තා විය.

ඒ හවස් වරුවේදී මා ගුරු දෙගුරු රැස්වීමට යන්නට පිටත් වෙද්දී සැමියා මා සමඟ දොරකඩට ආවේය. “රැස්වීමට පස්සේ තේ එකක් බොන්න චාල්ස්ගේ අම්මාව මෙහෙට අඬගහගෙන එන්න,” ඔහු කීවේය. “මට එයාව බලාගන්න ඕන.”

“ඒ ඉතින් එයා ආවොත් තමයි,” මා කීවේ යාඥා ස්වරූපයෙනි.

“එයා එයි.” ඔහු කීය. “එයාලාට චාල්ස්ගේ අම්මා නැතිව ගුරු දෙගුරු රැස්වීමක් තියන්න විදිහක් මට නම් හිතාගන්න බැහැ.”

රැස්වීම පුරාවටම මා පසුවූයේ නොසන්සුන්ව ය. එහි සිටි හැම කෙනෙක් දෙසම පරීක්ෂාවෙන් බැලූ මා චාල්ස් පිළිබඳ රහස සැඟවී තිබුනේ ඒ තැන්පත් විනීත මුහුණු අතරින් කවරකදැයි සොයන්නට විය. ඉන් එක් මුහුණක වත් ඊට ගැලපෙන පීඩිත බවක් තිබුණේ නැත. රැස්වීම අතරේ කිසිවෙක්වත් නැගී සිට තම පුතුගේ හැසිරීම ගැන සමාව ඉල්ලුවේ නැත. කිසිවෙක්වත් චාල්ස් ගැන සඳහන් කළේ නැත.

රැස්වීමෙන් පසු මම ලෝරීගේ පෙර පාසල් ගුරුවරිය හඳුනාගෙන ඈ වෙතට ගියෙමි. ඈ අත තේ කෝප්පයක් සහ චොකලට් කේක් කැබැල්ලක් සහිත පිඟානක් තිබුණු අතර මා අත තිබුණේ තේ කෝප්පයක් සහ මාෂ්මෙලෝ කේක් කැබැල්ලක් සහිත පිඟානකි. අපි දෙදෙනා ප්‍රවේශමෙන් එකිනෙකා වෙත ළඟා වී සිනා පෑවෙමු.

“මම ලොකු උවමනාවක් තිබුණා ඔයාව මුණගැහෙන්න,” මම කීවෙමි. “මම ලෝරීගේ අම්මා.”

“අපි හැමෝම හරි උනන්දුයි ලෝරී ගැන,” ඈ කීවාය.

“එයා පෙර පාසලට නම් කැමතියි,” මම පිළිතුරු දුන්නෙමි. “එයා හැමතිස්සෙම ඒ ගැන තමයි කියවන්නේ.”

“අපිට මුල සති දෙක තුනේදී හැඩගැහෙන්න ටිකක් අමාරු වුණා,” ඈ සංයමයෙන් යුතුව කීවාය. “ඒත් දැන් එයා හොඳ උදවුකාරයෙක්. ඉඳහිට පොඩි අතපසුවීම් වෙනවා නම් තමයි.”

“ලෝරී සාමාන්‍යයෙන් හරි ඉක්මණින් හැඩ ගැහෙනවා,” මම කීවෙමි. “මම හිතන්නේ මෙතැනදී නම් වෙන්න ඇත්තේ චාල්ස්ගේ බලපෑම.”

“චාල්ස්?”

“ඔව්,” මා පිළිතුරු දුන්නේ සිනාසෙමිනි. “ඔයාලට චාල්ස් නිසා හොඳට වැඩ ඇති නේද?”

“චාල්ස්?” ඈ ඇසුවාය. “මේ පෙර පාසලේ චාල්ස් කියලා ළමයෙක් නැහැ.”

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

from 'Shirley Jackson: Novels and Stories (1949)'


6 comments:

  1. හෙහ්, හෙහ් නියමයි. මඟක් කියවත්දී, මෙහෙමෙ වෙයි කියල හිතුනා.

    ReplyDelete
  2. මේ තරම් දුරට 'රඟපෑමක්' කර දෙමාපියන් රැවටිය හැකි පෙර පාසල් දරුවෙක් සිටීම තරමක් අස්වාභාවික වගෙයි මට පෙනෙන්නේ.

    ReplyDelete
  3. පොඩි ළමයි බොරු ගොතනවා කියල අපි හිතුවත් ඒ එයාලගේ ලෝකයේ පරිකල්පනයක්. මට මතක විදියට මමත් පාසලේදී යාළුවන්ට බොරු ප්‍රබන්ධ ගොතල මා එහි චරිතයක් කරලා කියා තිබෙනවා.

    ReplyDelete
  4. සෑහෙන්න ලමා මනස විවරණය කරන කතාවක්. මම කැමතී චාල්ස්ගෙ තාත්තගෙ ඉවට. ස්‍තූති පරිවර්තනය කලාට.

    ReplyDelete
  5. චාල්ස් AKA ලෝරීට පුංචි වගකීම දෙමින් ඔහුව little-helper කෙනෙක් කරපු ටීචටත් ප්‍රශංසාවක් දෙන්න ඕනෙ. ගෙදරදි අම්මට හා තාත්තට ලෝරී දුන් 'අප්ඩේට්ස්' අනුව මටනම් හිතුනෙ පොඩි කාලෙ ඉඳන්ම අපි යම් 'නුසුදුසු' දෙයක් කරනකොට අපේ හිත ඒක ගැන දැනුවත් කියලා.

    ReplyDelete
  6. ස්තූතියි හැම දෙනාටම!

    පුංචි ළමයි නිර්මාණාත්මක බොරු කියන්න දක්ෂ වුණත් මේ කතාවේ ලෝරී කොලුවා නම් සුවිශේෂම චරිතයක්!:D
    මුල් කතාව කියෙව්වාම මේක පරිවර්තනය කරන්නම ඕන කියලා මට හිතුණේ ඒක ලියලා තියෙන අපූරු තාලය නිසා.

    ReplyDelete