February 12, 2021

ඉස්කෝලේ වයසට කළින් දරුවාට පොත් දාහක් කියවමු!

ඉස්කෝලේ වයසට කළින් දරුවාට පොත් දාහක් කියවමු!

ඒක නිකම් කරන්න බැරි වැඩක් කියලා හිතුනා නේද? ඒත් ඒක ප්‍රායෝගිකව, සාර්ථකව කෙරෙන ව්‍යාපෘතියක්. 1000 Books Before School කියන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පුස්තකාල හරහා ක්‍රියාත්මක වෙන වැඩසටහනක්. මේ වැඩසටහනෙන් පොඩ්ඩන්ගේ භාෂා හැකියාව බොහොම සීග්‍රයෙන් වැඩි වෙන බවත්, ජීවිත කාලෙටම පොත් වලට ආදරේ පරම්පරාවක් බිහිවෙන බවත් ඔප්පු වෙලා තියෙනවා.

ඔය වගේ දේවල් පිටරටවල කළාට ඕවා අපිට කරන්න බැහැ කියලා හිතුණාද? ඇත්තටම අපිට බැරිද? පොත් දාහක් කියද්දී බරපතලව හිතුනට පුංචි ළමයින්ගේ පොත්වල තියෙන්නේ පිටු කීපයයි. පොතක් කියවලා ඉවර කරන්න යන්නේ පොඩි කාලයයි. ඒත් වැඩියි වගේද? දාහක් නෙමෙයි නම් අඩුම ගණනේ පොත් සීයක්? දරුවෙක්ගේ පළවෙනි අවුරුදු පහේදී එක අවුරුද්දකට පොත් විස්සක් කියලා දෙන්න බැරිද අපිට? එහෙම හිතුවොත් ඇත්තටම මේක බැරි වැඩක් නෙමෙයි.

දරුවෙකුට තනියම පොත් කියවන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු පහක් විතර වුණාම. ඒත් අපි ඒගොල්ලන්ට පොත් හඳුන්වලා දෙන්න ඒ වෙනකම් ඉන්නවා කියන්නේ පොත් ගැන ආසාව ආදරය ඇතිකරන්න පුළුවන් අවුරුදු පහක් අපතේ යවනවා කියන එක.

දරුවෝ පුංචිම කාලේ වර්ණ හැඩතල අඳුනාගන්න අවධියේදී ඒගොල්ලන්ට පොත් පෙන්වමින්, ශබ්ද නඟලා කියවීමෙන් ඒ අය ඒවාට අවධානය යොමුකරන්න ගන්නවා. වයස මාස ගණනකදී වුණත් මේ වගේ දේවල් ඒ අයගේ මොලය වර්ධනයට හේතුවෙනවා. බබාට මාස දහයක් අවුරුද්දක් වගේ කාලේදී අපි පොතක් පෙන්වලා කියන ශබ්ද අනුකරණය කරන්න ඒ අය උත්සාහ කරනවා. පොතේ කතාවට අමතරව පාට ගැන, සත්තු ගැන විවිධ දේවල් කියලා දෙන්න මේක හොඳම අවස්ථාවක්.

පොඩ්ඩෝ තවත් ටිකක් ලොකු වුනාම කතා පොත්වල සිද්ධ වෙන දේවල් තරමකට තේරෙද්දී, ඒ අය මේ ඇහෙන කතා රස විඳින්න ඉගෙනගන්නවා. පොත් කියවන වෙලාව අම්මලා තාත්තලා එක්ක දැවටිලා ඉන්න වෙලාවක්, අලුත්ම මායා ලෝකෙකට යන්න වෙලාවක් බව ඒ අය ඉගෙන ගන්නවා. එහෙම වුණාට පස්සේ නම් පොත් කියවිල්ලෙන් ගැලවෙනවා බොරු! මේ වෙලාව පොඩ්ඩන්ට ලෝකේ ගැන කියලා දෙන්නත් හොඳ අවස්ථාවක්. පොතේ කතන්දරේට සමාන්තරව කතාබහක් ඇතිකරගැනීමෙන් මේක කරන්න පුළුවන්. 'ඒ අලි පැටියා අම්මා කියන දේ අහන්නේ නැතිව දුවලා ගිහින් ගඟට වැටුණා! පුතා නම් අම්මා කියන දේ අහනවා නේද?" වගේ පුංචි පාඩම් කතාව ඇසුරෙන් උගන්නන්න පුළුවන්.

පොත් ඇසුරේ හැදෙන දරුවන්ගේ ලෝකය පුළුල් වෙන බවට තර්කයක් නැහැ. එහෙම දරුවන්ගේ සහකම්පනය (empathy) සාපේක්ෂව වැඩියි. ඒ අය නිර්මාණශීලි යි. වචනාවලිය (vocabulary) දියුණුයි. මේ දරුවෝ ඉස්කෝලේ යන වයස එද්දී තාර්කික හැකියාවෙන්, සංයමයෙන් ඉදිරියෙන් ඉන්නවා. තමන්ගේම කියලා පොත් එකතුවක් තියෙන දරුවෙක් සාමාන්‍යයෙන් පොත් ඉරන්නේ නැහැ, ඒවායේ බලි කුරුටු අඳින්නේ නැහැ. ඒ පොත් ටික තියන්න පුංචි රාක්කයකුත් ලෑස්ති කරලා දුන්නොතින් දරුවෝ පිළිවෙලත් ඉගෙනගන්නවා.

මේ අදහස හොඳ වුණාට ළමයින්ට කියලා දෙන්න ඔයතරම් පොත් කොහෙන්ද හොයාගන්නේ, ඕවාට වෙලාව කොහෙන්ද කියලාත් හිතෙනවා නේද? පුස්තකාල පහසුකම් තියෙන අයට නම් හොඳම තෝරාගැනීම දරුවන්ට ගැලපෙන පොත් පුස්තකාලයෙන් ගන්න එක. ඒකට හේතුව ළමයින්ගේ කියවීම් මට්ටම් ඉක්මණින් වෙනස්වෙද්දී නිරන්තරයෙන් පොත් මිළදී ගන්න සිද්ධ වෙන නිසා. ඒ පහසුකම නැත්නම් මොනවද කරන්න පුළුවන්? ළමයින්ට සෙල්ලම් බඩු හැටියට ගෙනත් දෙන ප්ලාස්ටික් කෑලි වෙනුවෙන් වැය කරන මුදලෙන් පොතක් දෙකක් ගන්න එක ඊට වඩා ප්‍රයෝජනවත්. දරුවන්ගේ උපන්දිනවලට පොත් තෑගි දෙන්න කියලා අපිට අනිත් අයට යෝජනා කරන්න පුළුවන්. අපිටත් පුරුද්දක් හැටියට අනිත් දරුවන්ට තෑගි දෙද්දී ඒ දේ කරන්න පුළුවන්. දෙමව්පියෝ කීපදෙනෙක් එකතුවෙලා තමන්ගේ දරුවන්ගේ පොත් බෙදාගන්න එක, කියවලා ඉවර වුණු පොත් වෙනත් පුංචි දරුවන්ට දෙන එක අමාරු වැඩ නෙමෙයි.

දරුවෝ එක්ක පොත් කියවන්න දවසකට පොඩි වෙලාවක් නැහැ කියන අයට නම් ඉතින් දෙන්න පිළියමක් නැහැ. තමන්ගේ එදිනෙදා පුරුදු ගැන, දිනචර්යාව ගැන, ළමයින් වෙනුවෙන් ගතකරන කාලය ගැන තව ටිකක් හිතන්න කියලා තමයි ඒ අයට කියන්න වෙන්නේ.

මේ සටහන පුංචි උදාහරණයකින් ඉවර කරන්නම්. මම රැකියාව කරන්නේ මෙල්බර්න් නගරයේ පෞද්ගලික ද්විතියික පාසැලක පුස්තකාලාධිපතිනියක් හැටියට. මේ පාසැලේ ඉන්නේ අවුරුදු 13-18 අතරේ ගැහැණු ළමයි. මෙල්බර්න් නගරයේ උසස් පෙළ විභාග ප්‍රතිපල අතින් ඉදිරියෙන්ම ඉන්න පාසැලක් මේක. මේ පාසැලේ ළමයි හැමකෙනෙක්ම තාක්ෂණයත් එක්ක හැදුණු වැඩුණු අය. පාසැලේ වැඩකටයුතු වලට ලැප්ටොප් පරිගණකයක් ඒ සිසුවියන්ට අනිවාර්යයි. මේ වගේ පරිසරයක හැදුනත් මේ ළමයි පොත් කියවන්න හරිම ආසයි. ඒක පිපාසයක් කියන්න පුළුවන් තරම්. අලුත්ම පොත් ජාති කියවන්න, යාළුවො එක්ක තරඟෙට කියවන්න ඒ අයගේ පුදුම උනන්දුවක් තියෙන්නේ. ඒ උද්යෝගය දකිද්දී මට හරිම ආසා හිතෙනවා. මේ මම දකින්නේ පුංචිම කාලේ ඒ දරුවෝ තුළ පොත්වලට ඇතිකළ ආදරයක ප්‍රතිපල බව මම දන්නවා. උපන් දවසේ ඉඳන් අලුත්ම තාක්ෂණය එක්ක හැදුණු ළමයි පොත් කියවීමට මේ තරම් කැමතියි නම් ඒ කියන්නේ තාක්ෂණය ඒකට බාධාවක් නෙමෙයි කියන එක නේද? ඒ දරුවෝ අධ්‍යාපන කටයුතු වලින් කැපී පේන්නත් මේ පොත් කියවීම හේතු වෙනවා.

පොත් කියවන පුරුද්ද අපේ දරුවන්ට තෑගි කරන එක අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්. එයින් නිර්මාණය වෙන සහකම්පනයක් ඇති තාර්කික දරුවා හෙට ලෝකයට බොහොම ප්‍රයෝජනවත් වේවි.

-හෙල්මලී ගුණතිලක-
photo- 1000 Books Before School Project




2 comments:

  1. මේ ලිපියෙන් ඉස්මතු කරන අදහස වන්නේ දරුවන් තුළ තිබෙන සහජ හැකියාවක් යහපත් ආකාරයකට ගොඩ නගා ගන්නා එක් සරල පිවිසුමකි. අපගේ සස්කෘතියේ තිබුණු වැදගත් අංගයක් වන දරු නැලවිලි දැනට ක්‍රමක්‍රමයෙන් අභාවයට යන බව පෙනේ. දරුවෙකුට වයස වසර තුන හතරක් වන විට වැඩිහිටියෙකු විසින් ළමා ගීතයක් තාලයට ගායනා කරන විට හෝ ළමා කතන්දරයක් තේරුම් කර දෙන විට තරමක් දුරට හෝ රස විඳිය හැකිය. මේ සමගම අකුරු කියවන වයස පැමිණිවිට තමන්ම අකුරු ගලපා වචන උච්චාරණය කිරීමට උත්සාහ ගනියි. අවබෝධයකින් යුක්තව යමක් ඉගෙනීමේ මූලාරම්භය මෙය විය හැකියි. මේ අවස්ථාවේදී දරුවන්ට අත දීමේ හොඳම ක්‍රමය මෙහි සඳහන් කර ඇති ආකාරයට පොත් කියවීමට නැඹුරු කිරීමයි.
    මෙසේ බලන කළ පොත් දහසක් කියවීමේ සංකල්පය පොත් සියයක් කියවීම දක්වාවත් ඉදිරියට ගෙන ගියහොත් අනාගත බාල පරම්පරාවට මහත්
    සෙතක්ම උදාවනු ඇත. මෙම සංකල්පය දෙමාපියන්ගේ විමසිල්ලට භාජන විය යුතු නවතම අදහසකි.

    ReplyDelete
  2. Nice to meet a fellow librarian. I work in an academic library in US. My kids read about 1200 book on average per year. I started reading to them when they were less than two. You are correct. If you get them into the habit early, 1000 books by kindergarten is not an unattainable goal.

    ReplyDelete