February 10, 2021

කපුටුස්





“ඇයි අපි ඒ අයට බය?” කපුටුස් තාත්තාගේ පැත්තට ඔලුව කරකවලා ඇහුවා.

තාත්තා උත්තර නොදී පිහාටු පිම්බුවා. දෙන්නාම හිටියේ කොස් ගහක පහළ අත්තක.

“කියන්නකෝ තාත්තේ!” කපුටුස් බල කළා. තාත්තා ඔහොමමයි. ලේසියෙන් වචනයක් ගන්න අමාරුයි.

“එහෙම තමයි. ඒගොල්ලෝ නපුරුයි.” තාත්තා කීවා.

“නපුරුයි නම් අපිට කන්න කෑම ලෑල්ලට එක එක කෑම ජාති දාන්නේ?” අද කපුටුස් කොහොමහරි මේක විසඳා ගන්නයි ලෑස්තිය.

“ඒ දාන්නේ අපිට නෙමෙයිනේ. අර මෝඩ මයිනන්ටයි ලේන්නුන්ටයි නේ.” තාත්තා ඈත බලාගෙන කීවා. කොස් ගහට එපිටින් තිබුණේ කතුරුමුරුංගා ගහ. ඊට එහා කුණු වල. දවස තිස්සෙම ඒ දිහා ඇහැ ගහගෙන ඉන්න එක තාත්තාගේ ප්‍රධාන රාජකාරිය.

කපුටුස් ටිකක් වෙලා නිහඬව කල්පනා කළා. මයිනෝ නම් ටිකක් මෝඩයි තමයි. එකෙක් ‘දුවපාං!’ කීව ගමන් ලවක් දෙවක් නැතිව කට්ටියම ඉගිලිලා යනවා. එහෙම කලබල වුණාට සමහර වෙලාවට අහලක කිසි අනතුරක්වත් නැහැ. ඒත් ලේන්නුන්ගේ නම් මෝඩ බවක් කපුටුස්ට පෙනිලා තිබුණේ නැහැ. ගස් බෙනවල ලොකු කූඩු හදන්න, ඒවාට ඕන කොහු, පුළුන් එහෙම එහෙන් මෙහෙන් උස්සගෙන එන්න සෑහෙන්න කල්පනාවක් තියෙන්න වුවමනායි කියලා තමයි කපුටුස්ට හිතුණේ. ලේනෙක් දවසක් මේ ගෙදර පිටිපස්සේ රෙදි වැලේ වේලෙන්න දැම්ම තුවායක මැද පදාසයක නූල් ගලවලා අරගෙන යන හැටි කපුටුස් බලාගෙන හිටියේ හොඳටම හිනාවෙමින්.

කෑම ලෑල්ලට බත්, පළතුරු එහෙම දාන්නේ තමන්ට නෙමෙයි කියලා කපුටුස් ට පොඩි සැකයක් තිබුණත් ඒක මේ වෙනකම් කවුරුවත් ස්ථිරව කියලා තිබ්බේ නැහැ. තමන් දවසක් එතැන තිබුණු බෙරි වුණු කෙසෙල් ගෙඩියක් කමින් ඉන්දැද්දී ‘ශෝ!.. ශෝ!’ සද්දයක් ඇහිලා ඉගිලිලා ගියත් ඒ ගැන ඊට එහා කපුටුස් කල්පනා කරලා තිබුණේ නැහැ.

“කෑම ලෑල්ල තියෙන්නේ ලේන්නුන්ටයි අනෙත් කුරුල්ලන්ටයි. අපි ඒකෙන් කනවට කකුල් දෙකේ අය කැමති නැහැ.” කපුටුස්ගෙන් ඊළඟ ප්‍රශ්න මාලාව ඉදිරිපත් වෙන්න කලින් තාත්තා පැහැදිලි කළා. “අපි බඩජාරියි කියලා ඒගොල්ලෝ හිතන්නේ.. අනෙත් සත්තුන්ගේ කොටහත් අපි කනවා කියලනේ අපිව පන්නන්නේ.”

“ඉතින් කතාව ඇත්තනේ, අපි ඔක්කොම කනවනේ” කපුටුස් තාත්තාට හරස් ප්‍රශ්නයක් දැම්මා.

තාත්තා උත්තර නොදී රවලා බැලුවා. තාත්තාගේ පිහාටු පිම්බිල්ලෙන් එයා ඉන්නේ කේන්ති ගිහින් කියලා කපුටුස් දැනගත්තා. තමන් මුලින් ඇහුව ප්‍රශ්නේ ආයෙත් අහලා තාත්තගේ මේ කේන්තියම දික් කරගන්නවාද එහෙම නැත්නම් වෙන දවසක අලුතින්ම කේන්තියක් ලෑස්ති කරගන්නවාද කියලා ටිකක් වෙලා කල්පනා කළ කපුටුස් ආයෙත් ඒ ප්‍රශ්නෙම ඇහුවා.

“ඉතින් තාත්තේ අපි ඇයි ඒ අයට බය?”

ගෙයි පිළිකන්න පැත්තේ ඉඳලා ආව ගෑනු කෙනෙක් කුණු වල පැත්තට වතුර කොරහක් වීසි කරලා ආයෙත් ඇතුලට ගියා. ඔය ඉඳුල් වතුර එක්ක තියෙන්නේ ළූනු පොතුයි, දෙහි බෑයවලුයි කියලා අත්දැකීමෙන් දන්නා නිසා කපුටුස්වත් තාත්තාවත් ඒ ගැන බලන්න යන්න කරදර වුණේ නැහැ.

“ඉස්සර දවසක උඹේ මුත්තෙක් ඔය කකුල් දෙකේ කෙනෙක්ගෙන් වෙඩි කෑවාලු.” තවත් ටිකක් වෙලා නිශ්ශබ්දව හිටිය තාත්තා අන්තිමේදී කීවා.

“වෙඩි?” කපුටුස් ඇහුවේ ඔලුව කරකවලා බලමින්. “ඒ රස ජාතියක්ද තාත්තේ?”

“මෝඩයෝ! වෙඩි කෑවාම මැරෙනවා!” තාත්තා කේන්තියෙන් කෑගැහුවා.

කළින් වතාවක තමන් මේ විදිහට තාත්තාගේ කේන්ති දික්කරගත්ත වෙලාවක තාත්තා තමන්ට රිදෙන්න කෙටුවා කියලා කපුටුස්ට මතක තිබුණ නිසා එයා කොස් අත්ත උඩ තාත්තාගෙන් ටිකක් ඈතට වුණා. තාත්තාගේ සද්දේ ඇහිලා ආයෙත් ගෙදර පිළිකන්න පැත්තෙන් එබිකම් කළ ගෑනු කෙනා ‘දොරකඩ ඉඳන් කපුටෙක් කරව් කරනවා… නෑයෙක් එන්න වගේ!’ කියලා ගේ ඇතුළේ හිටිය කෙනෙකුට හයියෙන් කිව්වා. ඒක අහලා කපුටුස්ට හිනාවකුත් ගියා. ‘මෙහෙම මෝඩ උදවියටනේ අපි බය!’ එයාට හිතුණා.

එදා රෑ වෙද්දී ගේ ඉස්සරහ අඹ ගහේ සුපුරුදු තැන ඉඳගෙන නිදාගන්න හැදුව කපුටුස්ට සැරෙන් සැරේ එක එක විකාර හීන පෙනිලා ඇහැරුණා. එයාගේ හිත කීවේ කකුල් දෙකේ අයට බය වෙන්න ඕන නැහැ කියලාමයි. ඒ අයට වීසි කරන්නත් මේ තරම් රස කෑම තියෙනවා නම් ඒ ගෙවල් ඇතුළේ කොයිතරම් ජාති ඇතිද? අර තාත්තා කීව ‘වෙඩි’ කතාව මොකක්ද? තාත්තා කීව විදිහට ඒගොල්ලෝ ඕනෑකමින් මුත්තාව මැරුවා කියලා කපුටුස්ට හිතාගන්නම බැරි වුණා. මරනවා තියා පාරේදී කපුටෙක් දැක්කත් ඒ අය කවදාවත් දෙසැරයක් හැරිලා බලන්නේවත් නැහැ. එහෙනම් මුත්තා කකුල් දෙකේ අයගේ වෙඩි කියන ජාතිය කෑවේ කොහොමද? ‘වෙඩි’ රසද දන්නෑ! අඩ නින්දේ වැනි වැනි හිටිය කපුටුස්ට හිතුණා.

පස්සෙන්දා වෙනදාට වැඩිය කළින් කපුටුස් ඇහැරුණේ මොකක්දෝ අමුතු සද්දයක් ඇහිලා. රෑ තිස්සේ අනම් මනම් විකාර හිතමින් හිටිය නිසා එයාට නින්ද ගියේ එළිවෙන ජාමේ. පාන්දර, යන්තම් එළිය වැටීගෙන එද්දී මිදුල පුරා පැතිරුණු මීදුම අතරින් කපුටුස්ට ඈතින් ‘කාක් කාක්’ හඬක් ඇහුණා. හැබැයි ඒ කපුටෙක්ගේ හඬක් නම් නෙමෙයි. කපුටු බාසාව නොදන්නා කෙනෙක් අමාරුවෙන් වචනයක් දෙකක් කියන්න උත්සාහ කරන හඬක්. ඒ අමුතු සද්දේ ඇහිලා නිදිමත කොහේ ගියාද කියලා නැති වුණ කපුටුස්, සද්දේ එන පැත්තට ඉක්මණින්ම පියෑඹුවා.

ගෙදර මිදුලේ සුදු ඇඳගත්තු කකුල් දෙකේ කෙනෙක් හිටියා. පිනි බාන නිසාද කොහෙද ඒ කෙනා සුදු සාළුවක් ඔලුවේ ඉඳන් පොරවාගෙනත් හිටියා. එයාගේ අතේ කෙසෙල් කොළයක් එලුව පලංගනාවක සුවඳ හමන කෑමක් තිබුණා. ‘කාක් කාක්’ කියමින් හිටියේ මේ කෙනා තමයි. එහෙම කියමින් එයා වටපිට ගස්වල මුදුන් දිහා බැලුවේ යමක් හොයනවා වගේ. එහෙම බලමින්, පලංගනාවේ තිබුණු කෑම ගුලියක් අතේ තියාගෙන ඒ කකුල් දෙකේ කෙනා මිදුල වටේ ඇවිද්දා.

කපුටුස් උගුරැස්ස ගහේ අත්තක වාඩිවෙලා මේ සිද්ධිය ගැන විපරමින් බැලුවා. මෙහෙම සිද්ධියක් කළින් කවදාවත් නොදැකපු එයාට, කළින් දවසේ රෑ තිස්සේ කල්පනා කළ මනස්ගාත එක්ක මේ පේන්නේ හීනයක්ද කියලාත් හිතුණා. එහෙම දෙගිඩියාවෙන් ඉන්දැද්දී කකුල් දෙකේ කෙනා උගුරැස්ස ගහ යටට ආවා, කපුටුස් දිහා එක එල්ලේ බැලුවා, ආයෙත් වතාවක් ‘කාක්, කාක්’ කිව්වා. එහෙම කරලා පලංගනාවේ තිබුණු කෙසෙල් කොළය කෑම ටිකත් එක්කම උගුරැස්ස ගහ යට බැම්ම උඩින් තියලා යන්න ගියා.

හරියටම මේ සිද්ධ වුණේ මොකක්ද කියලා නිනව්වක් නැතිව කපුටුස් ඒ කෑම ටික දිහා තව ටික වෙලාවක් බලාගෙන හිටියා. කකුල් දෙකේ කෙනා මේ කෑම තමන්ට දුන්නා වෙන්න බැහැ. එහෙම කෑම දාන්නේ කෑම ලෑල්ලටනේ. අනික තාත්තා කීව විදිහට ඒ අය කපුටෝ කෑම කනවට කැමතිත් නැහැනේ. හැබැයි ඒ කෙනා තමන්ගේ දිහා බලලා නුහුරට ‘කාක්, කාක්’ කීව විදිහට කපුටුස්ට නම් තේරුණේ ‘කන්න, කන්න’ කියනවා වගේ. කොයිකටත් කියලා කපුටුස් කෑම එක තියෙන බැම්මට පියෑඹුවා. අම්මෝ සුවඳේ බැහැ! කපුටුස් ඩිංග ඩිංග කෑම ටිකට ලං වෙලා පැත්තකින් රස බැලුවා. වෙනදාට මේ කෑම ජාතියේ දංකුඩ පිළිකන්නේ කොස් ගහ මුලට හලන නිසා කපුටුස් මේවා අඳුරනවා. ඒත් අද නම් ඒවායෙන් වෙනදා දැනෙන කර රහ නැහැ. අමුතු තෙල් සුවඳකුත් එනවා. මේ දිව්‍ය භෝජනේ රස බලන්න ගත්ත කපුටුස්ට, කෑමක් ලැබුනාම නෑයින්ටත් අඬගහලා මිසක් කන්නේ එහෙම නැහැ කියලා අම්මා පුංචි කාලේ ඉඳන් කට පාඩම් කළ චාරිත්තරේත් අමතක වුණා. එයා ඒ කෑම ටික ඔක්කොම කටට දෙකට ගිල දැම්මා.

කාලා ඉවරවෙලා ආයෙත් අඹ ගහට ඉගිලෙද්දී කපුටුස්ට මත් ගතිය වගෙයි. උදේම හිස් බඩ මෙතරම් කෑමක් කෑවාමයි! අර තාත්තා කීව ‘වෙඩි’ මේවා වෙන්න බැරිද කියලා කපුටුස්ට හදිසියේ හිතුණේ හොට ගහේ අතුල්ලද්දී. එයා මොහොතක් ගල් ගැහුණා. මුත්තා වගේ එයාත් මැරෙයිද කියලාත් හිතුණා. නෑ වෙන්න බැහැ! තාත්තාට කියන්න ඕන කකුල් දෙකේ අය හරි හොඳයි කියලා. තමන්ට අඬගහලාම රස කෑමක් දුන්නා කියලා. මෙතරම් කල් නිස්කාරණේ අහිංසක කකුල් දෙකේ අයට බයවුණේ. තාත්තලාගේ හණමිටි අදහස්! දවල් වෙද්දී පිළිකන්න පැත්තේ දොරෙන් ඇතුලටත් පියාඹලා බලන්න ඕන කියලාත් කපුටුස්ට හිතුණා. එතකොට ඒගොල්ලෝ තවත් රස කෑම දෙයිනේ. එහෙම හිතමින්, තනියම හිනාවෙමින්, ඉර නගින්න කළින් තව ඩිංගක් නිදාගන්න කපුටුස් ඇස් දෙක පියාගත්තා.


Digital sketch with oil brush tool

දිනමිණ- වසත් සුළඟ, 10-02-21. 15 පිටුව
http://epaper.dinamina.lk/Home/ShareArticle?OrgId=358cfb39&imageview=1




8 comments:

  1. Harima pankadu post eka!Ithama rasawath.

    ReplyDelete
  2. Replies
    1. Thank you Pra Jay!
      So you are back with the වැට! :)

      Delete
  3. Replies
    1. Thank you Bassa
      ඒ කපුටුස්ගෙ සද්ද ටික තමයි මරු!:D

      Delete
  4. මේක හරිම ලස්සන කතාවක් හෙල්මලී. කපුටෝ ගැන මට නම් හරියට දුක හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මාලනී ඇන්ටි, මගෙත් අනුකම්පාවක්/ආදරයක් තියෙනවා කපුටෝ ගැන. අපේ ගෙදර මම කුරුල්ලන්ට කෑම දානවා. පාන් තියෙන දාට ලොකු කපුටෙක් ඇවිත් පාන් කෑලි කීපයක් එක හොටට අරගෙන ගිහින් bird bath එකේ දාලා පොඟවගෙන තමයි හැමදාම කන්නේ. පුරුද්දක් හැටියට එහෙම කරන්නේ ගිලින්න අමාරුවක් නිසාද කියලා මට හරියට දුක හිතෙනවා. එයා මටත් බය නැතිම තරම්.ළඟටම එනවා.හැබැයි අනෙත් කුරුල්ලෝ නම් එයා එක්ක රණ්ඩු! :)

      Delete