මැයි මාසේ දෙවෙනි ඉරිදා mothers' day
සමරන බව කල් ඇතිවම
දැනුම් දෙන්නේ පුතාගේ ඉස්කෝලෙන්. ඒ දවසට කළින් මෙහේ අනිත් හැම ඉස්කෝලයකින්ම කරන්නා
වගේ, පුතාලාගේ ඉස්කෝලෙන් පුංචි තෑගි
කඩයක් දානවා. අම්මලාට දෙන්න ගැලපෙන පුංචි පුංචි තෑගි මේ කඩේ විකුණන්න තියෙනවා. එතැනින්
ස්කාෆ් එකක්, මල් පෝච්චියක්,
පෑන් රඳවනයක් වගේ
දෙයක් ඩොලර් පහකට ගන්න පුළුවන්. මේ සල්ලි වෙන රටක තියෙන පුංචි ඉස්කෝලෙකට ආධාර
කරන්න යොදාගන්නවා. ඉතින් පුතාගේ ඉස්කෝලේ ළමයි තමන්ට පුළුවන් විදිහට සල්ලි අරන්
ගිහින් අම්මලාට මොනවා හරි තෑගි අරන් mothers' day එකට තෑගි දෙනවා. හැමෝටම වාසියක් වෙන වැඩක්.
පුතා මේ අවුරුද්දේ මට තෑගි ගන්න ඩොලර් දහයක්ම ගත්තා කියලා මට කල් ඇතිව
කිව්වේ බොහොම ආඩම්බරයෙන්. තාත්තාගෙන් ඩොලර් පහක් ලැබුණා කියලාත්, 'මගේ සල්ලි වලින්'
ඩොලර් පහක් ගත්තා
කියලාත් කිව්වා. 'මගේ සල්ලි'
කියන්නේ පුතාගේ
උපන්දිනයට එහෙම නෑදෑයින්ගෙන් තෑගි හම්බවෙන සල්ලි. ඒවා බොහොම පරෙස්සමට අරන් තියාගෙන
ඉන්න බවත්, ලේසියකට
හොල්ලන්නේ නැති බවත් මම දැනගෙන හිටියා.
ඉතින් ඉස්කෝලේ තෑගි කඩේ තිබුණේ ගිය සඳුදා. mothers' day ලබන ඉරිදා. සඳුදා
ඉස්කෝලේ ඇරිලා ආව වෙලාවේ ඉඳන් පුතාගේ හිතේ කරදරයක් බව මූණෙන් පෙනුණා.
"ඇයි පැටියෝ, අද තෑගි ගත්තද?" මම ඇහුවා
"ඔව්." තනි උත්තරයක්
"සල්ලි මදි වුණාද?"
"නෑ" ආයෙත් තනි උත්තරයක්
"එහෙනම්?"
"මුකුත් නැහැ"
එහෙම කියලාත් පුතා මගේ පස්සෙන්ම එනවා. මම
පිඟන් සෝදන තැන, රෙදි වනන තැන
මගේ ළඟ හිටගෙන ඉන්නවා. එහෙම කරන්නේ හිතේ
කියාගන්න බැරි ප්‍රශ්නයක් තියෙද්දී කියලා මම අත්දැකීමෙන් දන්නවා. තේ එකක් හදාගෙන ඇවිත්
වාඩිවෙලා මම පුතාව ළඟට අඬගහ ගත්තා.
"දැන් මට ලබන ඉරිදා වෙනකම් මගේ තෑග්ග
හම්බවෙන්නේ නැද්ද?" මම හිනාවෙලා
ඇහුවේ පුතාගේ හිතේ තියෙන අවුල හොයාගන්න මඟක් පාදා ගන්න. මිනිහාගේ මූණේ පුංචි
හිනාවක් ඇඳුනා.
"දැන් දෙන්නත් පුළුවන්.. එක්කෝ අම්මාට දැන්
දෙන්නද? මට ඉරිදා
වෙනකම් ඉවසගෙන ඉන්න බැරි වෙයි කොහොමත්!" පුතා කිව්වා.
" එහෙනම් ගේන්නකෝ බලන්න"
"පුංචි ප්‍රශ්නයක් තියෙනවා හැබැයි."
තෑග්ග ගේන්න යන්න ගිහින් පුතා නැවතුණා. "මම අම්මාට තෑගි දෙකක් ගන්න හිතාගෙන හිටියේ. එකයි ගන්න ලැබුණේ.
කමක් නැද්ද?" ආයෙත් අර කරදර
මූණ.
"ඒකට මොකද? ඔයානේ මගේ ලොකුම තෑග්ග!" මම පුතාව ළඟට
ඇදලා ගත්තා.
"අම්මා! ඉන්නකෝ පොඩ්ඩක් කතාව අහන්න!"
"ඔන්න අපේ පන්තියේ ළමයි තෑගි ගන්න යන්න පේළියක්
හැදුනා. විලියම් දන්නවනේ- අර ළඟදී ඉස්කෝලෙට ආවේ- එයා පේළියෙන් අයින් වුණා. ටීචර්
ඇහුවා ඇයි කියලා. එයා බිම බලාගෙන කිව්වා සල්ලි ගෙනාවේ නැහැ කියලා. ටීචර් සැරට
කිව්වා සල්ලි ගෙනාවේ නැතිවුනාට කරන්න දෙයක් නැහැ- ඔයාව මට පන්තියේ තනියම තියලා
යන්න බැහැ- ඔයාත් පේළියට එකතු වෙන්න කියලා. මෙච්චර කළින් දැනුම් දීලාත් සල්ලි
ගේන්න බැරිවුනාද කියලාත් කිව්වා. විලියම්ගේ ඇස් දෙකේ කඳුළු පිරුණා. එයා ඒවා
නොපෙනෙන්න ආයෙත් බිම බලාගත්තා. මම ඉතින් පේළියේ මගේ ළඟට එයාව අඬගහ ගත්තා. තෑගි කඩේට යන අතරේදී මම විලියම් ගෙන් ඇහුවා සල්ලි
අමතක වුණා ද කියලා. එයා ඔලුව වනලා නැහැ කිව්වා. පස්සේ හෙමින් සැරේ කිව්වා එයාගේ
අම්මා කිව්වා කියලා මේ ටිකේ වියදම් වැඩියි, ඒ නිසා සල්ලි දෙන්න විදිහක් නැහැ කියලා. මට
දුක හිතුනා අම්මා... මම මගේ ඩොලර් දහයෙන් පහක් එයාට දුන්නා. කමක් නැහැ නේද?
එතකොට මම තෑගි දෙකක් ගන්නවා වෙනුවට එයාට එකයි, මට එකයි. එහෙම හොඳයි
නේද?" පුතා එක
හුස්මට කියාගෙන ගියා.
මගේ ඇස් දෙකට කඳුළු පිරුණා. මේ පුංචි කොල්ලා
ඇතුළේ ලොකු මිනිහෙක් ඉන්නවා කියලා මට හිතුණා.
"ඒ වගේ දේවල් කරන්න හිතෙන එක තමයි ඔයා
මට දෙන ලොකුම තෑග්ග!"මම පුතාගේ ඔලුව අතගාලා කිව්වේ කඳුළු හංගාගෙන. කඳුළු
දැක්කා නම් ඒ මට තෑගි දෙකක් නොලැබුණු එකට
දුකට කියලා පුතාට හිතෙන්නත් බැරි නැහැ!
පුතා මට ගෙනත් තිබුණේ සුවඳ කවපු ඉටිපන්දමක්
එක්ක ඉටිපන්දම් රඳවනයක්. අපි දෙන්නා එකතු වෙලා ඒ ඉටිපන්දම පත්තු කළා. ටික වෙලාවකින්
මුළු ගෙදරම සුවඳ වුණා. පන්තියේදී පුතාලා අම්මලාට දෙන්න bookmarks හදලා තිබුණා. පුතා
හදපු bookmark එකේ එයාම
තෝරගත්තු quote එකක් තිබුණා.
"what is done in love is done well.” – Vincent van Gogh
"what is done in love is done well.” – Vincent van Gogh
ඇඬෙනවා...
ReplyDelete:)
Deleteදිළී නුඹෙ ලොව එලිය කරනා අහසෙ රැඳි පුන්සඳ තරම්
ReplyDeleteවෙළී සෙනෙහෙන් තවත් හිතකට සිනා කැන්දන්නට තරම්
සැලී දඟ දෙන පුංචි වයසට එවැන්නක් කෙරුමට තරම්
මලී තුටුවෙණු නුඹේ පුත් සඳ ළමා ලෝකෙට ඉස්තරම්.....
ජයවේවා!!!
දුමි,
Deleteමටත් හරි ආඩම්බරයි. මේ පුතා මගේ මුණුපුරා. මලී මගේ දුව
අහන්නත් සතුටුයි. මලීත් මලීගේ පියාත් වෙන වෙනම හඳුනගත්තට පියා සහ දුව බව දැනන් හිටියේ නෑ. සතුටුයි හඳුනාගන්න ලැබීම. බ්ලොග් ලෝකයේ මගේ ප්‍රියතමයන් දෙදෙනෙක්ම දුවත් පියාත් වීම මට තවත් සතුටක්.
Deleteජයවේවා!!!
කවියට ස්තූතියි දුමින්ද, ඔන්න දැන් නෑකම් දන්නවා නේ! :)
Deleteමෙවන් මුණුබුරෙක් ලද මව සහ සීයා ද නිවුනේ වෙයි :)
Deleteතිසර-නිබ්බුත පද? :D
Deleteතනි ඇහැට අඩෙනාවා
ReplyDelete:)
Deleteහරි සංවේදී කතාවක්නේ.කොයි තරම් පරිත්‍යාගශීලී වැඩක්ද පුතා කරළා තිබෙන්නේ. පුංචි කාලේ සිටන්ම නැති බැරි අය ගැන හිතන එක හරිම් ඉස්තරම් වැඩක නේද ?. කල වැදගත් යුතුකම ගැන අනිත් අයගේ ප්‍රතිචාරය ගැන හිතන්නට නොහැකි වීම නිසයි දුක්මුසු මුහුණක් පෙන්වන්නට ඇත්තේ. එම පරිත්‍යාගශීලී යුතුකමට සීයාගේත් ආදරය සහ ස්තුතිය පිරිනමන බව කියන්න.
ReplyDeleteසීයාගේ හොඳ පුරුදු මුණුපුරාට ඇවිත්.
Deleteපුතා ඒ වගේ දේවල් වලට වැඩිපුර සංවේදියි කියලා එයාගේ ගුරුවරියත් මට කිව්වා. ලොකු වෙද්දීත් ඒ පුරුදු දිගටම තිබුණොත් හොඳයි.
Delete//"ඒ වගේ දේවල් කරන්න හිතෙන එක තමයි ඔයා මට දෙන ලොකුම තෑග්ග!"// +++
ReplyDeleteබොහෝ ළමයින් ළමාකමට තම තමන්ගේ දේවල් වෙන කාටවත් දෙන්න කැමති නෑ. තරමක් ලොකු වයසට ආවහම තමයි අනිත් අයගේ දුක තේරුම් අරගෙන මේ වගේ දේවල් හිතලා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් පොඩි වයසෙදිම මේ විදිහට හිතෙනවා නම් අලුතෙන් උගන්නන්න දෙයක් තියන එකක් නෑ :)
එක නම් ඇත්ත තිසර, ඒත් පුතා පුංචි කාලේදී ඔය තමන්ගේ දේවල් කාටවත් නොදෙන ලක්ෂණය එයාටත් තිබ්බා. සෙල්ලම් බඩු එහෙම කාටවත් අල්ලන්නවත් දෙන්නේ නැහැ. ඒත් ලොකු වෙද්දී මේ ගතිගුණ පේන්න ගත්තා. ළඟදී city එකේ පාරේ නිදාගෙන ඉන්න homeless අයව දැකලා මාසයක් විතර ඒ ගැන ම කතාකළා. ඔව්, අලුතෙන් උගන්නන්න දෙයක් නම් නැති වෙයි වගේ. empathy කියන දේ දෙන්නත් බැහැ, තියෙනවානම් නැති කරන්නත් බැහැනේ.
Delete