"මගේ සිවිලිමේ සතෙක් පදිංචි වෙලා!"
උදේ ම, වැඩට ආව ගමන් ම බඩු මුට්ටුත්
පැත්තකින් නොතියා ඇනා කෑගැහුවා. හරියට ඒක කියන්න කෙනෙක් ලැබෙනකම් ඉවසන්න
බැරිව හිටියා වගේ. ඇනා ට ලස්සන දිග දුඹුරු කැරළි කොණ්ඩයක් තියෙනවා. එයා ට
කේන්ති ගියහම ඒ කොණ්ඩය නිතර ගස්සනවා. අද නම් සෑහෙන්න තරමේ කේන්තියක
ගැස්සිල්ලක් එතැන තිබුණා.
"සතෙක්? වළහෙක් වගේ?"
මැතිව් ඇහුවේ පාන්
පෙත්තක් ටෝස්ටරේට දාන ගමන්. වැඩි දෙනෙක් උදේ කෑම හදාගෙන කෑවේ වැඩට ඇවිත්.
මැතිව් ට කොයි දේත් විහිළුවක්. ගණන් ගන්න තරම් බරපතල දේවල් නැති තරම්.
"පිස්සුද මනුස්සයෝ? වලස්සු කොහෙද මේ රටේ?"
ඇනා තාම කේන්තියෙන්. විහිළුවක්
නොතේරෙන තරමට. කේන්තිය මැතිව් එක්කද සතා එක්කද කියලා පැහැදිලි නැහැ.
"එක්කෝ පොඩි පොසම් කෙනෙක්, නැතිනම් ලොකු මීයෙක්! ඊයේ රෑ පුරාම මගේ
සිවිලිමේ ජිම්නාස්ටික් කළා!"
ඇනා ට ඇඬෙන තරම්. ඇනා මේ ගේ ගත්තේ ළඟදී.
ඉන්නෙත් තනියම. සද්දේ නිසා රෑ තිස්සේ දැනුණු බයයි, කේන්තියයි කලවම් වෙලා.
"මොකද මම කරන්නේ?" ඇනා ඇහුවේ කෑ ගහලා වගේ.
"මරන්න!" මැතිව් කියද්දීම "මරන්න එපා!" මම කිව්වා. හරියට කළින් කතාවෙලා වගේ.
ඇනා පුදුමෙන් අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා.අපි දෙන්නාටම හිනා.
"මම කිව්වේ ඇත්තට" මම කිව්වා
"මමත් කිව්වේ ඇත්තට!" මැතිව් ත් දෙවෙනි වෙන්න ලැස්ති නැතිව කිව්වා.
"පොඩ්ඩක් ඉන්න.. පොඩ්ඩක් ඉන්න!"ඇනා පුටුවක් ඇදගෙන වාඩිවුණා. බෑග් එකෙන්
කොලේකුයි පෑනකුයි ඇදලා ගත්තා."දෙන්නාම මට වෙන වෙනම හේතු කියන්න තමන්ගේ
යෝජනාවට." ඇනා එහෙමයි. හරි පිළිවලයි. ඕනෑවට වැඩිත් එක්ක.
"වස දීලා මරලා දාන්න තියෙන්නේ ඕකුන්ව!" මැතිව් ටෝස්ට් කළ පාන් හපන ගමන් කිව්වා."ජරා සත්තු!"
"හේතු.. හේතු!" ඇනා මතක් කළා
"උන්ගේ ජරාව ට පිච්චිලා සිවිලිම දිරනවා!දඟලද්දී කඩාගෙන වැටෙන්නත්
පුළුවන්!"
මැතිව් කිව්වේ මට රවන ගමන්. හරියට ඇනා ගේ සිවිලිමේ ජිම්නාස්ටික්
කළේ මම වගේ!
"දැන් ඔයා කියන්න බලන්න" ඇනා මගේ පැත්තට හැරුණා.
"පවු කියලා හිතෙන්නේ නැද්ද? සිවිලිමට එන්න බැරිවෙන්න එන තැන් වහලා දාන්න"
මම කිව්වේ උදේ ම වැඩක් කරන්න කියලා දිග ඇර ගත්තු ෆයිල් එක වහලා දාන ගමන්.
අද වැඩක් කරන්න වෙන්නේ නැහැ ඉතින්!
"මරු උපදෙස් ජානුගේ!" මැතිව්
හිනාවුණ තරමට පාන් හිරවෙන්නත් ගියා. "කොහොමද ඌ නෑ කියලා හිතාගෙන පාරවල් ටික
වැහුවාට පස්සේ ඌ ඇතුලේ ඉඳලා තිබුනොත්? එහෙම නම් ඇනා ට ස්ථිර පදිංචි
කාරයෙක් ඉන්නවා"
"එළියට යනකම් බලලා නේ මෝඩයෝ වහන්නේ!" ඒ පාර මම මැතිව් ට රැව්වා. "උන් රෑට එළියට යනවා! නිශාචර!!"
"මේ පොඩ්ඩක් ඔය දෙන්නා ඉන්නවද රණ්ඩු නොවී!" ඇනා මැදිහත් වුණා. "ජානු මට
කියන්න 'පවු' කියලා ඔයා කිව්වේ මොකක්ද කියලා? ආගම් ගාවගන්න බැහැ ප්‍රායෝගික
ප්‍රශ්න වලට හරිද?"
"ආගමක් නැහැ මෙතන!" මම ඒකට විරුද්ධ උනා."හිතන්න
ඔයා වස දීලා මරලා දාන සතා- පොසම් හරි මොකා හරි- එනකම් කවුරු හරි බලාගෙන
ඉන්නවා කියලා? ඉතින් ඒක පවු නැද්ද?" මම ඇහුවා
"කවුරුහරි?" ඇනා යි මැතිව් යි දෙන්නාම ඇහුවේ එකට. මට පිස්සුද වගේ අදහසක් ඒ ප්‍රශ්නේ තිබුණා.
"උගේ යාලුවෙක්? නෑයෙක්?" මම හිනාවුණා."ආදරේ කරන තව පොසම් කෙනෙක්?"
"ජානු ට උණ වගේ ද?" මැතිව් බොරුවට උණ බලන්න වගේ අත දිග ඇරලා ඇහුවා. "නිකම් කලන්තෙයි වගේ ද?"
"අනේ මන්දා ජානු අර තඩි ප්‍රේම කතා පොත කියවද්දි මම හිතුවා මොනවා හරි
වෙයි කියලා" ඇනා ත් හිනාවුණා.
මගේ පොත් කියවීමේ ඇබ්බැහියටයි, ප්‍රේම කතා
කියවිල්ලේ විශේෂයටයි මේ කට්ටිය මට හැමදාම විහිලු කළා. ඒ වෙද්දී ප්‍රශ්නේ
විසඳුනේ නැතත් ඇනා ගේ කොන්ඩේ ගැස්සිල්ලයි කේන්තියයි නැතිවෙලා තිබුණා.
සාමාන්‍යෙන් ඇනා හිනාවෙනවා කියන්නේ හොඳ ලක්ෂණයක්.
"හරි දෙන්නෙක් ගෙන් මම
උපදෙස් ඇහුවේ.. මොකක් හරි කරන්නම්කො මම!" කියලා එයා යන්න ගියා.
"ගෑනුන්ගේ පිස්සු!" ඇහෙන්න නෑහෙන්න මුමුණ මුමුණ මැතිව් ත් යන්න ගියා.
ඊළඟ දවසේ ඇනා වැඩට ආවේ නැහැ. හදිසියක් කියලා පණිවිඩයක් තියලා තිබුණා.'පොසම් හදිසියක්' ද දන්නේ නැහැ කියලා මැතිව් මට කියලා හිනාවුණා.
තුන්වෙනි දවසේ වැඩට ආව ගමන් ඇනා ආවේ අපිව හොයාගෙන.
'ජානු කියපු දේ බාගයක්
හරි!" මාව දැක්ක ගමන් කිව්වා. මම කිව්ව දේ මොකක්ද කියලාත් ඒ වෙද්දී මට අමතක
වෙලයි තිබුණේ.
"පෙරේදා මම ගෙදර යද්දී ගේ ඔක්කොම හැඩි වෙලා. හරියට
සතෙක් දුවලා වගේ. මම දැනගත්තා අර සතා ගේ ඇතුලේ කියලා. සද්ද නැතිව ගේ පුරා
බලද්දී රෙදි හෝදන මැෂිම පැත්තෙන් සද්දයක් එනවා.මම බය වුන පාර අර සත්තු
අල්ලන කොම්පැනියකට කතා කළා.අපරාදේ කියන්න බැහැ පැය කාලක් ඇතුලත ඒ මිනිස්සු
ආවා. සතා නම් පොසම් තමයි. ගේ පුරා ඇවිදිද්දී මැෂිම ඇතුලට වැටිලා. මම ඒක
ඇරලා තියලා යන්න ඇති. ඉතින් ඒකෙන් එළියට එන්න බැරිව ඉඳලා තියෙන්නේ" ඇනා එක
හුස්මට කිව්වා.
"ඉතින් කෝකද ජානු කියලා හරි ගිය ටික?" මැතිව් මැදට පැන්නා. මැතිව් හරි අකමැතියි තව කෙනෙකුට දිනුම දෙන්න.
"එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ම ඉඳලා ඒක ඇතුලේ!" ඇනා හිනාවුණා. "ජෝඩුවක්! ඒ
මිනිස්සු කිව්වා පැටවු දාන්න තැනක් වෙන්න ඇති දෙන්නත් එක්ක හොයන්න ඇත්තේ
කියලා!"
"ඉතින් ඒ ගොල්ලෝ අල්ලාගෙන ගිහින් මරනවාලු ද?" මම ඇහුවා. මට නම් වැදගත් වුණේ ඒක.
"නෑ කැලේට අතාරිනවාලු" ඇනා කිව්වා
"අන්න ජානු අතාරින තැන අහගන්න.. අතාරින තැන අහගන්න!" මැතිව් කෑ ගැහුවේ හදිසියේ මතක් වෙලා වගේ.
"ඒ මොකටද?" මම ඇහුවේ රවන්න මූණ හදාගන්න ගමන්. මොකක් හරි කමකට නැති කතාවක් අහන්න වෙන බව දැනගෙන.
"ඇයි අර ඔයාගේ ප්‍රේම කතා පොත ගිහින් දෙන්න! වොෂින් මැෂින් වලට නොවැටී හරි
විදිහට ප්‍රේම කරන්න ඉගෙන ගන්න!!"
මැතිව් කිව්වේ මම කොල ගුලියකින් එල්ල කළ
පාර වලක්වන ගමන්.