June 26, 2019

හයේ පන්තියේ ආර්ථික විද්‍යාව

පුතාලාට ඉස්කෝලේ හැම semester එකටම එක ප්‍රධාන මාතෘකාවක් තියෙනවා. එතකොට ඒ වාරේ ගණිතය, Inquiry වගේ පාඩම් ඔක්කොම මේ මාතෘකාවට සම්බන්ධයි.

'මේ වාරේ අපි පන්තියේ ඉගෙනගන්නේ economy එක ගැන!'
අලුත් වාරේ මුල දවසක පුතා ඉස්කෝලේ ඇරිලා ඇවිත් බොහොම උනන්දුවෙන් කිව්වා. 

' economy එක? හයේ පන්තියේදී?' මම ඇහුවේ සැකෙන් වගේ. අපි ඉස්කෝලේ යද්දී පුංචි පන්තිවලදී ඔය වගේ බරපතල දේවල් කළේ නැහැනේ.

"ඔව්.. ඔව්.. බඩු වලට තියෙන ඉල්ලුම, ඒවායේ සැපයුම, මිළ තීරණය වෙන හැටි වගේ දේවල්" පුතා කටපාඩමින් කිව්වා. පාඩමට හැඳින්වීමක් එදා කෙරිලා කියලා මට හිතුණා. නැත්නම් ඒ එයා දන්නා දේවල් නෙමෙයි.

"ඕවා දැන්ම? අපි ඕවා කළේ ඒ ලෙවල් වලට නේ!" මම ඇහුවේ හිතේ සැකෙන්.

ඒත් පුතාට මගේ ඒ සැකය ගැන වගක්වත් තිබුණේ නැහැ.
"ඒ  පාඩමට හරි ආසා හිතෙනවා අම්මේ.. ඉල්ලුමට සැපයුම නැති උනාම මිළ ඉහළ යන හැටි වගේ දේවල් අපි ඉගෙනගත්තා.. මම තමයි හොඳම උදාහරණෙ කිව්වේ කියලා ටීචර් කිව්වා. හීතල කාලෙට අඹ පිටරටින් ගෙන්නන්න ඕන හින්දා ඒවා ගණන් යන හැටි තාත්තා දවසක් කිව්වානේ. ඒ කතාවයි මම කිව්වේ"

ඒක අහලා නම් මට හිනා ගියා. ඉල්ලුම සැපයුම වගේ ටිකක් සංකීර්ණ සංකල්පයක් කියලා දුන්නු ගමන්ම තේරුණු පුතා ගැන මට පුංචි ආඩම්බරයකුත් දැනුණා. අපි මේවා ඉස්කෝලෙදි ඉගෙනගත්ත මතක අවුස්සද්දි නම් මට දැනුනේ තිත්ත රසක්. අපිට උසස් පෙළ පන්තියේදී ආර්ථික විද්‍යාව ඉගැන්නුව ගුරුවරිය මට මතක් වුණා. මුල්ම දවසේ, පාඩම ගැන කිසිම හැඳින්වීමක් නොකර, ගහෙන් ගෙඩි එන්නා වගේ ඒ ගුරුවරිය අපිට ඉල්ලුම සැපයුම වක්‍රයක් අඳින්න කිව්වා. ඒ කාලේ අපි වක්‍රයක් කියන්නේ ප්‍රස්තාරයකට කියලාවත් හරියට දැනගෙන හිටියේ නැහැ. හිතේ සැකයට, එකිනෙකාගෙන් බලාගෙන අපි එදා එක එක විදිහේ ප්‍රස්තාර ඇන්දා. වචනයක්වත් නොකියා ඒවා හැම එකක්ම බැලුව ඒ ගුරුවරිය ඒවාට රතුපාටින් ලොකු වැරදි ලකුණු දාලා බින්දුවක් දැම්මා. කිසිම දෙයක් උගන්නන්නේ නැතිව පැවරුමක් දීලා, ඒකට වැරදි ලකුණු කරලා ඒ විදියට පලවෙනි දවසෙම අපේ හිත් කඩා දාලා ඒ ගුරුවරිය බලාපොරොත්තු වුණේ මොකක්ද කියලා මට අදටත් පැහැදිලි නැහැ. උසස් පෙළ අවුරුදු දෙකම ඇගේ ඉගැන්වීම් මීට වඩා ලොකු වෙනසක් වුණේ නැති බවත් පලවෙනි දවසේ විෂය ගැන ඇතිවුණු අප්‍රසන්න බව දිගටම තිබුණු බවත් මට හොඳට මතකයි.

පුතාගේ අලුත් පාඩම ගැන තිබුණු උනන්දුව ඉක්මනටම නැතිවෙලා යයි කියලා මම මුලදී හිතුවත් සිද්ධ වුණේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක්. දවස ගානේ ම ඉස්කෝලේ ගිහින් ගෙදර ආව ගමන් පුතා මට ඒ ගැන විස්තර කිව්වේ පුදුම සතුටකින්. ඒ නිසාම ඒ අමුතු පාඩම ගැන තව ටිකක් විස්තර හොයලා බලන්න මටත් හිතුණා.

මේ පාඩමට පුතාගේ හය වසර පන්තිය කණ්ඩායම් කිහිපයකට බෙදලා තිබුණා. එක කණ්ඩායමක සාමාජිකයෝ පස්දෙනයි. මේ අයට ලැබුණු පැවරුම තමයි වෙළඳපල ට අලුත් භාණ්ඩයක් හඳුන්වලා දීම. වෙළඳපල කිව්වේ ඉස්කෝලේ ප්‍රාථමික අංශයේ ළමයි. මුලින්ම කණ්ඩායම සාකච්ජා කරලා අලුත් නිෂ්පාදනයක් ගැන එකඟතාවයකට එන්න ඕන. ඒ භාණ්ඩය ගුරුතුමිය දෙන අමුද්‍රව්‍ය වලින් ළමයින්ටම නිපදවන්න පුළුවන්, ඒ වගේම ඉස්කෝලේ අනිත් ළමයි මිලදී ගන්න කැමති දෙයක් වෙන්න ඕන. නිෂ්පාදනයට කලින් කණ්ඩායමේ නියෝජිතයෝ දෙන්නෙක් වෙන පන්ති කිහිපයකට ගිහින් වෙළදපල අධ්‍යයනයක් කරන්න ඕන. ඒ කියන්නේ අපි මෙහෙම භාණ්ඩයක් හැදුවෙත් ඔයගොල්ලෝ ගන්න කැමතිද, ඒ වගේ දේකට කීයක් ගෙවන්න කැමතිද කියලා අනෙත් පන්තිවල ළමයින්ගෙන් ප්‍රශ්න අහලා සටහන් කරගන්න එක. තමන්ගේ කණ්ඩායමෙන් හදන්න හිතුව භාණ්ඩයට ලැබුණු ප්‍රතිචාර හොඳ නැත්නම් ආයෙත් මුල ඉඳන් වෙන අදහසක් ගැන හිතලා බලන්නයි නියමිත වෙලා තිබුණේ.

අන්තිමේදී භාණ්ඩයක් හරියටම තීරණය කරගත්තාට පස්සේ  නිෂ්පාදන අවධිය. හැම කණ්ඩායමටම ගුරුතුමියගෙන් බොරු සල්ලි එක සමාන  ප්‍රමාණයක් ලැබුණා. ඒ තමයි ප්‍රාග්ධනය. මීට අමතරව ගුරුවරිය ළඟ කාඩ්බෝඩ්, රිබන්, පුළුන්, රෙදි කෑලි, පාට කූරු, කතුරු,  ලියුම්කවර, වගේ අමුද්‍රව්‍ය සහ මෙවලම් තිබුණා. ඒ හැම දේටම නියමිත මිළක් තිබුණා. හැම කණ්ඩායමක් ම තමන්ට ලැබුණු ප්‍රාග්ධනය කළමනාකරණය කරගෙන ගුරුවරියගෙන්  තමන්ට අවශ්‍ය දේ මිලදීගන්න ඕන. අතේ තියෙන සල්ලි එක්ක බලලා භාණ්ඩ නිෂ්පාදනයට වැයවෙන මුදල අනුව තමන් නිෂ්පාදනය කරන ඒකක ගණන තීරණය කරන්නත් ඕන. මීට අමතරව තව අතුරු නීතිත් තිබුණා. පන්තියටම තියෙන්නේ එක laminating machine එකයි. එක stapler එකයි. ඒවා පාවිච්චි කරන්නත් ගුරුතුමියට අර සල්ලි දෙන්න ඕන විතරක් නෙමෙයි, තමන්ගේ වාරය එනකම් ලැයිස්තුවකට නම දාලා බලාගෙන ඉන්නත් ඕන, මුදල් දුන්නු පිළිවෙලටයි පාවිච්චියට අවසර ලැබෙන්නේ. ඒ පියවර හරියකට කල් ඇතිව සැලසුම් කර ගත්තේ නැත්නම් තමන්ගේ වාරය එනකම් බලාගෙන ඉන්දැද්දී නිෂ්පාදනය පමා වෙනවා.

මේ හැම දේටම අමතරව ගුරුතුමිය තවත් ලස්සන වැඩක් සැලසුම් කරලා තිබුණා. ගුරුතුමියගේ අම්මාත් විශ්‍රාම ගිය ගුරුවරියක්. ඒ අම්මාත් දුවගේ පන්තියේ මේ ආර්ථික විද්‍යා ව්‍යාපෘතියට සහාය දෙන්න කැමති වෙලා. ඈට මහන්න පුළුවන් නිසා තමන්ගේ මහන මැෂිමත් අරගෙනම පන්තියට ඇවිත් සති දෙකකට හයේ පන්තියේ ළමයින්ට තමන්ගේ සේවාව සපයන්න ඉදිරිපත් වෙලා. ඒත් ඒ සේවාවත් නිකම් ගන්න බැහැ කියලා ගුරුතුමිය පන්තියට අනතුරු අඟවලා. අනිත් අමුද්‍රව්‍ය මෙවලම් වලට වගේම ගුරුවරියගේ අම්මාගේ සේවාව ගන්නවා නම් ඊට නියමිත මිලක් බොරු සල්ලි වලින් ගෙවන්න නියම කරලා.

මේ විදිහට මේ ව්‍යාපෘතියේ නිෂ්පාදන ඉවර කරන්න නියමිත දවසක් තිබුණා. එදාට ඉන්ටවල් එකට පන්තියේ පුංචි පොලක් තියලා ප්‍රාථමික අංශයේ ළමයින්ටයි ගුරුවරුන්ටයි තමන්ගේ නිෂ්පාදන විකුණන්න නියමිත වෙලා තිබුණා.

පුතාගේ පන්තියේ පුංචි ආර්ථික විද්‍යා පාඩම අහලා මට හරි පුදුම හිතුණා. අපි අවුරුදු ගණනක් ගතකරලා ඉස්කොලේදීත් සරසවියේත් ඉගෙනගත්ත ආර්ථික විද්‍යා සංකල්ප හැම එකම වගේ බොහොම සරලව, ආසා හිතෙන විදිහට එකට කැටි කළ ලස්සන! අනේ අපිට මෙහෙම ගුරුවරු හිටියේ නැහැනේ කියලා මට හීල්ලුණා.

Emoji Key Tag

පන්තියේ ආර්ථික විද්‍යා ව්‍යාපෘතියට පුතාගේ කණ්ඩායම තෝරාගෙන තිබුණේ key tags  හදලා විකුණන්න. ඒවාත් නිකම් ආවාට ගියාට key tags නෙමෙයි. emoji වර්ගයේ ඒවා. emoji භාණ්ඩවලට හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා පුතා කියනකම් මම නම් ඒ බව දැනගෙන හිටියෙවත් නැහැ.  ඒ නිසා හොඳ ලාභයක් ලබන්න පුළුවන් නිසාලු තෝරාගත්තේ. මේවායේ යකඩ මුදු තියෙන කොටස කෑලි දොළහේ කට්ටල හැටියට පුතාගේ කණ්ඩායම ගුරුවරියගෙන් මිළදීගෙන. වැඩිපුරම සල්ලි ගියේ ඒවාට කියලා පුතා කිව්වේ හිතේ අමාරුවෙන්. එක එක emoji වර්ග කහපාට ෆෙල්ට් රෙදි වල ඇඳලා කපන එක, ඇස්, කටවල් එහෙම කපලා ඒවායේ අලවන වැඩ එහෙම කණ්ඩායමේ සාමාජිකයෝ බෙදාගෙන කළා.  ගුරුවරියගේ අම්මාගේ සේවය මිලදීගෙන ඒ ගොල්ලෝ emojiයේ  පලු දෙක එකතුකරලා මූට්ටු කරන කොටස කරගෙන. ඒකටත් තමන්ගේ ප්‍රාග්ධනයෙන් සැලකිය යුතු කොටසක් වැය වුණත් නිමාව ඉස්තරම් කියලා පුතා ඇවිත් මට කිව්වේ හරි ආඩම්බරයෙන්. අන්තිමට පුළුන් පුරවලා ගත්තාම ළමයි ටික බලාපොරොත්තු වුණු විදිහටම key tag එකට හොඳ පෙනුමක් ලැබිලා.

පන්ති භාර ගුරුවරියත් නොහිතුව තව පියවරක් ඉස්සරහට යන්න මේ කණ්ඩායමට පුළුවන් වෙලා. ඒ තමයි ඉස්කෝලේ වටේ ගිහින් තමන්ගේ අනාගත පාරිභෝගිකයන්ගෙන් pre- orders ගත්තු එක. ඒ කියන්නේ 'අපි emoji key tags හදනවා, ඔයා කැමති එක කිව්වොත් අපි හදලා දෙන්නම්' කියලා ගැනුම්කරුවන් එක්ක පොඩි deal එකක් ගහන එක. මේ වගේ පියවර නිසා මේ කණ්ඩායමට නොහිතුව තරමේ ඇනවුම් ලැබිලා. ආර්ථික විද්‍යාව ගැන ගැඹුරින් නොදැන හිටියත් මේගොල්ලෝ එක එක වර්ගයේ වෙළඳපල කොටස් වල කැමැත්තට අනුව තමන්ගේ භාණ්ඩය බොහොම සීරුවට ස්ථානගත කරලා කියලා මට තේරුණා. පන්තියේ අනිත් කණ්ඩායම් බිත්ති සැරසිලි, සුබපැතුම් පත්, පෑන් රඳවන, කාසි දාන පුංචි පර්ස් වගේ දේවල් හදන බව පුතා දවස ගානේ ඇවිත් වාර්තා කළා. එයා ඒ දවස් ටිකේ ඉස්කෝලේ ගියේ හරිම ආසාවෙන්. 'key tag project එකේ වැඩ තියෙනවා!' කියලා හැමදාම වගේ පාන්දරින්ම ඉස්කෝලේ යන්න පෙරළි කළා. ඉස්කෝලේ වැඩකට පුතාගේ මේ වගේ උනන්දුවක් ඊට කලින් මම කවදාවත් දැකලා තිබුණේ නැහැ.

පුතාගේ කණ්ඩායමේ key tags උණු කැවුම් වගේ විකුණුනු බව පන්තියේ පොළ දවසේ පුතා ගෙදර ඇවිත් කිව්වේ බොහොම සන්තෝසයෙන්. ඉස්කෝලේ ප්‍රාථමික අංශයේ පුංචි පාරිභෝගිකයන්ට මේ පොළ ගැන දැනුවත් කරන්න කල් ඇතිව පුතාගේ පන්තියේ ළමයි ඉස්කෝලේ පුරා වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කරලා, උදය රැස්වීමේ නිවේදන කරලා තිබුණු එක මීට හේතු වෙන්න ඇති. එදා pre- orders දීපු අය වේලාසනින්ම ඇවිත් තමන්ගේ බඩු අරගෙන ගියාලු. ප්‍රාග්ධනයට යෙදෙව්වේ බොරු සල්ලි උනත් බඩු විකුණලා පුතාලාට අදායම ලැබිලා තිබුණේ ඇත්ත සල්ලිවලින්. හැම භාණ්ඩයකම මිළ ඩොලර් 4-5 වගේ ගණනකට නියම කරන්න ගුරුවරිය උපදෙස් දීලා තිබුණා. ලැබුණු ආදායම පිළිවෙලට ලියාගන්න එක, මුළු ආදායම කණ්ඩායමේ සාමාජිකයන් අතරේ සමානව බෙදාගන්න එකත් මේ ව්‍යාපෘතියේම කොටසක්. ඉතින් අන්තිමට පුතාගේ කණ්ඩායම හැදුව හැම key tag එකක් ම  විකිණිලා, ආදායමෙන් තමන්ගේ කොටසත් අරගෙන පුතා එදා ගෙදර ආවේ රටක් රාජ්‍යයක් දිනුව ගාණට.

ගුරුවරියගේ අම්මා පන්තියට කරපු උදවු වලට පන්තියේම ළමයි තමන්ට ලැබුණු සල්ලි වලින් කොටසක් දාලා පුංචි තෑග්ගක් අරන්, කාඩ් එකක හැමෝම අත්සන් කරලා දීලා තිබුණේ කවුරුවත් කියලා නෙමයි.
'අපි ටීචර් ගේ අම්මා ගේ සේවය ගත්තාට දුන්නේ බොරු සල්ලි නේ, එයා ආවේ අපිට මේ project එක කරන්න උදවු වෙන්න නේ.. ඒනිසා අපි හිතුවා තෑග්ගක් දෙන එක හොඳයි කියලා' පුතා මට ඒගැන පැහැදිලි කළේ එහෙමයි.

මේ අපූරු ආර්ථික විද්‍යා පාඩම මතක් වෙන්න මටත් key tag එකක් ගේන්න කියලා මම පුතාට සල්ලි දුන්නා. මගේ ළඟ තියෙන ඒ  සිහිවටනයේ පින්තූරයක් තමයි ඉහතින් තියෙන්නේ. 

සංකීර්ණයි කියලා අපි හිතාගෙන ඉන්න ආර්ථික විද්‍යා සංකල්ප හරිම සරලව, ළමයි පුංචි කාලෙම කියලා දෙන්න පුළුවන් බවට මේ හයේ පන්තියේ ආර්ථික විද්‍යා ව්‍යාපෘතිය හොඳ උදාහරණයක්. මේ වගේ දේවල් විෂය මාලාවලට එකතුකරන අධ්‍යාපනඥයින් වගේම ඒවා බොහොම ලස්සන විදිහට පන්තියට ඉදිරිපත් කරන ගුරුවරුත් ඉන්න එක වාසනාවක්. ඊට අමතරව කිසිම වාසියක් නොලබා තමන්ගේ කාලය ශ්‍රමය හයේ පන්තියේ කොල්ලෝ කෙල්ලෝ ටිකක් වෙනුවෙන් සති දෙකක් දන් දෙන්න ලෑස්ති ගුරුවරියගේ අම්මා වගේ අය නම් බොහොම සුවිශේෂී උදවිය. මෙහෙම ඉගෙනගත්තු ආර්ථික විද්‍යා සංකල්ප පුතාට ලේසියෙන් අමතක වෙන එකක් නැති බව නම් මට හොඳටම විශ්වාසයි.

පසු ස‍ටහන

මේ මාතෘකාවට අදාළ නොවුණත් පසු සටහනක් එකතු කරන්න හිතුණා ආර්ථික විද්‍යා ගුරුවරයෙක් ගැන. ඉස්කෝලෙදි විෂය එපා කරපු ගුරුවරියක් හිටියට මගේ මොකක්දෝ වාසනාවකට මට බොහොම ඉස්තරම් ටියුෂන් ගුරුවරයෙක් ලැබුණා ඒ විෂයට. ඒ, ඒ කාලේ හොරණ විද්‍යාරත්න පිරිවෙනේ ඉගැන්නුව ජයසිරි සිල්වා සර්. සර් නිකම් විනොදෙට වගේ ටියුෂන් කළේ. කවදාවත් මහා පරිමාණයෙන් පන්ති කරන්න, tutes ගහලා බෙදන්න සර් ට වුවමනාවක් තිබුණේ නැහැ. ළමයි හත් අට දෙනෙක් එකතුකරගෙන විෂය කියලා දෙන්න විතරයි ඕන වුණේ. උසස් පෙළට ගිය අලුත ඒ ටියුෂන් පන්තියට ගිය මුල්ම දවසේ ජයසිරි සර් පන්තියේ ළමයින්ට ආර්ථික විද්‍යාව ඇසුරෙන් ඔප්පු කරලා පෙන්නුවා ඇයි අපි කැම්පස් යන්න ඕන කියන එක. ඒකට ලොකු ගණනය කිරීමක් ඇතුලත් වුණා. අම්මාගෙන් බීපු කිරි වල ණය, තාත්තාලා අම්මලා අපි වෙනුවෙන් වෙහෙස වුණු, නිදිමරපු, වියදම් කළ, අවස්ථා කැප කළ ඒවායේ ණය වගේ ලොකු විස්තරයක් ඒකට ඇතුලත් වුණා. අවසාන නිගමනය තමයි දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉටු කළාම ඒ ණය කැපිලා යන හැටි. මේ විස්තරය කොයිතරම් තාත්විකව, හිත ඇද ගන්න විදිහට කියලා දුන්නාද කියනවානම් පන්තියේ ළමයි ටික අහගෙන හිටියේ කටවල් ඇරගෙන. ඒ දේවල් අපි හැමෝම දැනගෙන හිටිය දේවල් උනත් මට නම් කවදාවත් එහෙම තර්කානුකූලව හිතට දැනිලා තිබුණේ නැහැ. මං හිතන්නේ මං වගේම එදා පන්තියේ හිටිය හැමෝම තමන්ට උපරිමයෙන් මහන්සි වෙන්න අධිෂ්ටාන කරගන්න ඒ කතාව හේතු වුණා. සර් ඒ අවුරුදු දෙකේ පුදුම ලස්සනකට ආර්ථික විද්‍යාව ඉගැන්නුවා. අන්තිමට සර්ගෙන් ලැබුණු විෂය දැනුම නිසා මමත් ආර්ථික විද්‍යාව ඉහලින් සමත් වුණා. 

ජයසිරි සර් ඊට වැඩිකල් නොගිහින් රිය අනතුරකින් අකාලේ නැතිවුණා. ඒ වෙද්දී සර් ට අවුරුදු පනහක්වත් නැහැ මං හිතන්නේ. හොඳ මිනිස්සු යන්න ගියත් තමන්ගේ හොඳ ඉතිරිවෙන බවට ජයසිරි සර් හොඳ උදාහරණයක්.




June 20, 2019

'පෙර පාසැල් ගිය පළමු දවස'


First Day of Kindergarten | Margaret Hasse

පාසල් බස් රියේ පඩි බොහෝ උස නමුත්
විලියම් එඩිතරව එය නැඟ ගනී 
දොරවල් වැසේ 
ඇඟිලි සලකුණු වැකි කිලිටි වූ කවුළුවකින් ඔහු එබී බලයි 
මම පාරේ කෙළවර සිට
සොල්දාදු බිරිඳක් ලෙසින්
ඔහුට අත වනමි 

දහවල් දොළහට 
කහ පැහැති බස් රිය 
මා යළිත් සිටගෙන සිටින එතැනටම
ඔහුව ගෙනත් ඇරලවයි 

ඔහු නැති අතරේ 
මා වරුවක්ම එතැන බලා සිටි බව 
ඔහු සිතයි 
මා උදය වරුවෙම ටෙනිස් ගැසූ බව දැනගත් විට 
ඔහුගේ මුහුණ ඇකිලී යන්නේ  
කුණු කූඩයට දැමූ කඩදාසියක් ලෙසිනි
ඔහුගෙන් ස්වාධීනව මට සැරිසරනු හැකි බව 
දැන් ඔහුට වැටහෙමිනි 
අතැර දැමීම නම් ගැඹුරු ලිඳෙන් 
ඉනූ කඳුළු ඔහුගේ දෑසේ මතුවේ 

මා ඔහුගේ ප්‍රථම ප්‍රේමයයි 
ඔහුගේ ලොකුම කළකිරීමයි 


Bus steps are too high, but William clambers up gamely.
Doors shut. He peers out a print-marked window.
From the street corner, I wave like a soldier's bride
as his bus turns a corner and pulls away.

At noon, the yellow bus returns him to the same place
where I'm standing again.
He thinks I stayed, waiting in his absence.
When he finds out I played tennis all morning,

his forehead crumples like paper in a wastebasket.
Now he knows I can move on my own without him,
tears drawn from the well of desertion form in his eyes.


I’m his first love, and his greatest disappointment. 



- Margaret Hasse, "First Day of Kindergarten" from Milk and Tides, published by Nodin Books.


Margaret Hasse ගේ මේ කවිය බොහොම හදවතට සමීප කවියක්. දරුවා මුලින්ම පාසැලට/පෙරපාසලට ගිය දවසේ එයා එනකම් එතැනම බලාගෙන ඉන්න ජාතියේ, නැත්නම් මේ විදිහට ටෙනිස් ගහන්න යන ජාතියේ අම්මලා දෙවර්ගයම ඉන්නවා. බොහෝ විට පලවෙනි ළමයා තමන්ගේ ග්‍රහණයෙන් මිදීම අම්මලාට දරාගන්න අමාරු බවත්, දෙවෙනි, තුන්වෙනි, අන්තිම ළමයින්ගෙන් මේ වගේ පොඩි වෙලාවකට හෝ නිදහස් වීම තාවකාලික සහනයක් බවත් මම දැකලා තියෙනවා. සමහරවිට කවියේ එන විලියම් මේ අම්මාගේත් වැඩිමලා නොවෙන්න පුළුවන්. ඒත් අම්මලාට තමන් නැතිව පැවැත්මක් නැහැ කියලා නම් පුංචි ළමයි නිතර හිතනවා. ඒ තමන් උපන් දවසේ ඉඳන් අම්මලා තමන්ටම කැප වෙලා ඉන්නවා දකින නිසා.

මගේ පුතාට අවුරුදු තුනක් විතර කාලේ දවසක් එයාව එයාගේ යාළුවෙක්ගේ උපන් දින උත්සවයකට ඇරලවලා මම ඒ පැය දෙකේදී ගෙදරට වුවමනා දේවල් කිහිපයක් ගන්න වෙළඳ සැලකට ගියා. ආයෙත් පුතාව ගන්න ගියාම 'අම්මා මං  එනකම් මොකද කළේ?' කියලා එයා මගෙන් ඇහුවා. 'පුතා එනකම් මම මේ පඩිය උඩට වෙලා අඬ අඬා හිටියේ!' මම හිනාවෙලා විහිලුවට කිව්වා.

ඒත් පුතා ඒක බාරගත්තේ බොහොම බැරෑරුම් විදිහට "ඇයි ඉතින් ඇඬුවේ.. මම ඉක්මනට එන බව අම්මා දන්නවානේ!" පුතා හිනාවක් වත් නැතිව ව පිළිතුරු දුන්නා. මං විහිලුවට කී දේ ඇත්තක් හැටියට එයා බාරගත්තු බව මට තේරුණා. තමන් නැතිව අම්මා එහෙම අඬ අඬා ඉන්න ඉඩ තියෙන බවට පුතාගේ තිබුණු ඒ ඒකායන විස්වාසය නිසා මං කීවේ බොරුවක් බව එයාට කියන්න මට දුක හිතුණා. බොහොම කාලෙකට පස්සේ මේ කවිය දකිද්දි මට මේ සිද්ධිය ආයෙත් මතක් වුණා.

මිනිස් හැසිරීම් වල පුංචි අහුමුලු වල තියෙන මේ වගේ දිලිසෙන තැන් තමන්ගේ කවි වල මතුකරන්න Margaret Hasse බොහොම දක්ෂයි

Photo by Annie Spratt- free photos on Unsplash.com


May 31, 2019

මොණර කතා


වැසි බර දිනවලදී
බරාඳ වැට මත
තෙත තිර රෙදි මෙන්
ඔවුහු එල්ලී සිටිති
සෙබඩ නඩය නම්
ගඟට වැටී තෙතබත් වුණු
අළු පැහැ කොට්ට මෙනි

එහෙත් වියලි දිනවලදී නම්
මෙතැන උත්සවයකි
දිලිසෙමින්, බැබලෙමින්
ගිගිරි සොලවමින්
ස්පාඥ්ඥ නැටුම ඇරඹේ

සවිමත් අළු පැහැති දෙපා මතින්
ගොවිපොළේ තැන තැන
නගරයෙන් නගරයට
මේ ප්‍රසංගය ගෙන යමින්
ඔවුහු අහංකාරව ඇවිදිති

ගායනය නම්
වෙන කෙනෙකුට පැවරුවා නම් යහපත් ය 
සිතෙන තරමට අති බිහිසුණු ය
එය සින්ඩරෙල්ලාගේ සොයුරිය වැනි ය
එතරම් අවලස්සනක් ගැන
එළිපිට සඳහනක් කරන්නට
කවුරුත් බියෙනි
මේ හැම අතරේ
පුංචි බුචර් කුරුල්ලෙක්
අවධානයක් නොලබාම
කණුවක් උඩ හිඳ
සිත් කුල්මත් කරමින් ගී ගයයි 



On wet days
they hang on the verandah railing
like wet curtains
the peahens
become grey cushions
that fell in a river

but on dry days
celebration
shimmer and tremble
shake that castanet
the Spanish dance begins

up goes the opera set
raised as if a cord were pulled
or a child’s stand-up picture book
opened

their strong grey legs
strut and hawk this show
around the farm
from town to town

and the singing
so gruesome
it were best left to others
however
like Cinderella’s sister
no-one dares mention
such ugliness to them
while the little plain butcher bird
sings so ravishingly
sitting almost unnoticed on a post

Kate Llewellynගේ මේ කවිය මොණර රංචුවක් හිතේ අඳින්නේ බොහොමත් නිරායාසයෙන්. වැසි දින තෙතබත් ව තටු හකුලාගෙන ගත කර ඉර පෑයූ දිනවලට පුරුදු අහංකාර රැඟුම් රඟන මේ මොණර රංචුව කවියේ වචන අතරින් මැවී පෙනෙන්නා වගේ.

ටික කලකට කළින් මටත් මේ වගේ ම මොණරු රංචුවක් ඕස්ට්‍රේලියාවේ තස්මේනියා ප්‍රාන්තයේ, ලෝන්සේස්ටන් හි Cataract Gorge නම් සුන්දර පරිසරයේදී මුණ ගැහුණා. මේ, සංචාරකයන්ට Tamar ගඟ හරහා chair-liftsවල නැඟී එතෙර කඳු ප්‍රදේශයට ගොස් සිරි නරඹන්නට අවස්ථාව සලසන තැනක්. මෙතැනට පිවිසේද්දීම, රථ ගාල පුරාම සක්මන් කරන මොණර රංචුවක් දකින්න පුළුවන්. එන යන රථ තඹ සතේකට මායිම් නොකරන ඔවුන් මහා පාර මැද පිල් විදහා නටන්නෙත්, රථවල වහල මතට නැගී අහංකාර බැලුම් හෙලන්නෙත් ඔවුන් ඒ බිමේ අයිතිකරුවන් වගේ.

අප එහි ගිය දින තද මීදුමක් තිබුණු අතර පිල් කළඹෙන් වෑස්සෙන දිය සහිතව වැටක් මතට වී උන් උඩඟු මොණර තරුණයෙක් කැමරාවට හසු වුණේ මෙලෙසයි. 

At Cataract Gorge- Tasmania


ලංකාවේ, රත්නපුර ප්‍රදේශයේ අපගේ ඥාති නිවසක ගෙවත්තේත් මෙවැනිම මොණර පවුලක් පදිංචිව ඉන්නවා. උස කඳු ගැටයක ඇති ඒ නිවසට යා යුත්තේ බෑවුම් සහිත පටු ගුරු පාරකින්. මේ මඟ දෙපස ඇති උස ගස් මත ලැග දවස ගතකරන මේ මොණර රංචුව උස් හඬින් හඬගා අමුත්තන්ගේ පැමිණීම නිවැසියන්ට සැල කරනවා. 'බල්ලෝ හදන්න මහන්සි වෙන්නේ මොකටද මොණරු ඉන්දැද්දී!' යැයි කියමින් එහි ගෙහිමියා හිනැහෙනවා . එහෙත් දිනක් රාත්‍රී වෙලාවක අප ඒ නිවෙසට ගිය විට වත්තේ දසතින් ඇසුණේ අඳුර විනිවිදිමින් උස් හඬින් ගැයෙන මොණර ගීත. පරිසරයේ අඳුර ට එක් වෙලා දෙකන් කීරි ගස්වන ඒ මූසල හඬ ගෙන ආවේ සංකා සහගත හැඟීමක්. ඒ මතකය නැවත විඳිද්දී ඉහත කවියේ මොණරුන්ගේ කෑ ගැසීම් ගැන and the singing, so gruesome, it were best left to others යැයි කීම ඉතාම සුදුසු බව මට සිතෙනවා.

May 28, 2019

SBS රේඩියෝවේ සහස් පියවර පොත ගැන කතාබහ

ඕස්ට්‍රේලියාවේ SBS රේඩියෝව ලෝකයේ වැඩිම භාෂාමය විවිධත්වයක් සපයන රේඩියෝ ජාලයයි. එය භාෂා 70ක වැඩසටහන් අසන්නන් මිලියන තුනක් වෙත ගෙන යනවා. ඉතින් මේ මහා විශාල මාධ්‍ය ජාලයේ මටත් මගේ සහස් පියවර පොතටත් පුංචි ඉඩක් අද වෙන් වුණා. SBS සිංහල රේඩියෝ කණ්ඩායම මසකට වරක් පවත්වන සාහිත්‍ය සම්භාෂණ වැඩසටහනට සහභාගි වන්නට මට ලැබුණු ආරාධනාව මම පිළිගත්තේ බොහොමත්ම සතුටින්. මා වෙනුවෙන් මේ ඉඩකඩ වෙන්කළ SBS රේඩියෝ ජාලයේ වැඩසටහන් නිෂ්පාදිකා දිල්රුක්ෂි විජේසූරියටත් කතාබහට එක් වූ ප්‍රවීණ ලේඛක ජගත් ජේ. එදිරිසිංහ ටත් මගේ ස්තූතිය පිදෙනවා.