මුලින්ම කියන්න ඕන සුද්දීට මගේ කිසිම අයිතිවාසිකමක් නැති බව.
වෙන රටක ඉන්න මගේ යාලුවෙක් එක්ක කෙරෙන මෙසෙන්ජර් කෝල් වලට නිතරම ඒ පැත්තේ ඉඳන් එබිකම් කරන, ඒ කෝල් එන වෙලාවටම 'මට එළියට යන්න ඕන, දොර අරින්නකෝ... මට ඇතුළට එන්න ඕන... ආයිත් දොර අරින්නකෝ, ඔය කතා කළා ඇති, මාව අතගාන්නකෝ... ඔය කෑම කනවද? මට ටිකක් දෙන්නකෝ' වගේ ඉල්ලීම් ඉදිරිපත් කරන මේ ලලනාව මට අඳුනාගන්න වුණේ බලෙන්ම කීවොත් තමයි හරියටම හරි. ඒත් ඉතින් අර තරම් දුරක ඉඳන් බිම ඇතිල්ලිලා කාරිය ආදරේ පෙන්නද්දී සුද්දී ගැන කේන්ති අරගන්නේ කොහොමද?
මේ චිත්‍රෙ අඳින්න ගත්තේ සුද්දී ව අඳින අදහසකින් නෙමෙයි. ඒත් සුද්දී එයාගේ සුපුරුදු බලහත්කාරකමෙන් ඇවිල්ලා චිත්‍රය මැද්දේ මටත් පිටිපස්ස හරවලා වාඩිවුණා. හැබැයි එයා මම මේ කියන හැම දෙයක්ම අහගෙන ඉන්නේ.. පේන්නේ නැද්ද එක කනක් මේ පැත්තේ!
සුදු පාටට හුරු සුද්දී ව මම මේ චිත්‍රයට ටිකක් වැඩිපුර පාට කළේ "Colour her in Amma... give her a texture Amma!" කියමින් මාව උනන්දු කළ මගේ පොඩි චිත්‍ර විචාරකගේ බල කිරීමට. stylus එකකින් චිත්‍ර අඳින්න මට පුරුදු කළේ එයා නිසා ඒ ඉල්ලීම් අහක දාන්නත් බැහැනේ.
ඉතින් සුද්දී, මේක ඔයාට... මාව මතක් වෙන්න!

digital painting with stylus