November 15, 2026

හොල්මන් කතා පොකුරක්

බ්ලොග් වල හොල්මන් කතා රැල්ලක් ප්‍රවර්ධනය කෙරුණේ කොරල්/ බසු සුසංයෝගයෙන්. එහෙම රැළි වලින් හරි බ්ලොග් නොනැසී තියාගන්න පුළුවන් නම් අපි කොහොම හරි සපෝට් එකක් දෙන්න එපාය. ඒ නිසා මෙන්න මගෙන් තව හොල්මන් කතා දායකත්වයක්.

මුලින් කියන්න ඕන මේවා එකක් වත් ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් නොවන බව. මම කලින් පෝස්ට් එකේ කීව විදිහට අවුරුදු ගානක් බොරැල්ල කනත්ත එහාපැත්තෙ ඉස්කෝලෙට ගිය නිසා හොල්මන් උදවිය මාත් එක්ක අනඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවාද කොහෙද. ඒ නිසා මේ පහතින් තියන කතා මම අහපුවා විතරයි.

ජපුරේ හොල්මන්

ජපුර සරසවියේ හොල්මන් තියෙන බවට බොහොම තද විශ්වාසයක් තියෙනවා. භීෂණ කාලේ ජපුරේ එක ගොඩනැගිල්ලක වධකාගාරයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ කාමර ටික නම් තාම කෞතුකාගාරයක් හැටියට සංරක්ෂණය කරලා අවුරුද්දකට වතාවක් වගේ (මට මතක හැටියට) ශිෂ්‍යයන්ට බලන්න විවෘත කරනවා. ඒ නිසා තාර්කිකව ගත්තොත් tortured souls ඒ බිමේ තාම සැරිසරනවා කියන එක වෙන්න පුලුවන්.

පළවෙනි ජපුරේ හොල්මන් කතාව පිරිමි හොස්ටල් එකේදී වුණු දෙයක්, අපේ මිතුරෙක් කීවේ. සරසවියට ආව මුල කාලේදී ඒ මිතුරා බැහැරට ගිහින් රෑ වෙලා හොස්ටල් එකට ඇවිත්. උඩ තට්ටුවට යන්න පඩිපෙළ නගිද්දී වටපිට කිසි කෙනෙක් නැතිලු. මැදක් හරියක තරුණයෙක් වාඩිවෙලා සිගරට් එකක් බොනවලු. මිතුරා ඔහුව පහුකරගෙන යද්දී තරුණයා නිහඬව ම සිගරට් එක දික්කරලා. සාමාන්‍යයෙන් අඳුරන්නේ නැති වුණත් තමන් බොන සිගරට් එකෙන් උගුරක් ළඟ ඉන්න කෙනාට දෙන එක සිරිත නිසා මිතුරා ඒක අරගෙන උගුරක් ඇදලා ආපිට දීලා "යන්නං අයියේ" කියලා දිගටම පඩිපෙළ නැග්ගා ලු. ඒත් පඩි කීපයක් නැගලා නිකමට වගේ හැරිලා බලද්දී එතැන කවුරුවත් හිටියේ නැහැලු. මිතුරා කාමරේට දුවලා තියෙන්නේ විදුලි වේගෙන්! මේ පඩිපෙළේ හොල්මන නිතරම මහා රෑට දකින්න ලැබෙන කෙනෙක් බව තමයි පස්සේ ආරංචි වෙලා තියෙන්නේ. ඒ වගේම හොස්ටල් එකේ නාන කාමර වල මහා රෑට කිසි කෙනෙක් නැතිවත් නාන, කාරන සද්ද, ගිහින් බැලුවාම ටැප් ඉබේ ඇරිලා තියෙන හැටි එහෙම හරි සුලබයි කියලා අපේ මිතුරෝ කිව්වා. ජපුරේදී මැරුණු ශිෂ්‍යයෝ ජපුර දාලා නොගිහින් එහෙම ඉන්නවා කියලා තමයි නිගමනය.

දෙවෙනි කතාව කිව්වෙ තවත් සරසවි මිතුරෙක්. විභාග කිට්ටු වෙද්දී ළමයි පාඩම් කරන්න සරසවියේ තැන තැන තියෙන study rooms පාවිච්චි කරනවා. මේ කාමර සාමාන්‍ය පන්ති කාමරයක් තරම් විශාලයි. බිත්තිවල වහලේ ඉඳන් පහලට අඩි තුනක් විතර දැල් ගහලා තියෙනවා වාතාශ්‍රය ලැබෙන්න. දවසක් රෑක ඒ මිතුරා තව මිතුරෙක් එක්ක මෙයින් කාමරයක පාඩම් කරමින් ඉඳලා. මැදියම් රෑත් පහුවෙලා මිතුරාට තද නිදිමතක් ඇවිත්. ඒ නිසා එයා සටහන් මිටියටම ඔලුව තියාගෙන නිදාගෙන. එහෙම ඉන්දැද්දී හදිසියේම එයාට සීතලක් දැනිලා ඇහැරිලා. මේසෙන් ඔලුව උස්සලා ඉස්සරහා බලද්දී කෙලින්ම ඉස්සරහා දැක්කේ අර දැලේ දෑතින් එල්ලිලා කොන්ඩේ කඩාගෙන, සුදු සාරියක් ඇඳගෙන එක එල්ලේ කාමරේ ඇතුල බලාගෙන ඉන්න ගෑනු ළමයෙක් ලු. මිතුරා බය වුණු පාර වටපිට බලද්දී එයා එක්ක හිටිය අනිත් මිතුරාත් එයාට එහා පැත්තේ මේසෙට ඔලුව තියාගෙන නිදි ලු. එයාව බලෙන් ඇහැරවලා ජනේලේ පෙන්නද්දී ඒත් අර ගෑනු ළමයා එල්ලිලා ඉන්නවාලු. දෙන්නාම භ්‍රාන්ත වෙලා බලා ඉන්දැද්දී එසැණින් එයා අතුරුදන් වෙලා. හැබැයි ඒ දර්ශනය දෙන්නාම දැක්ක නිසා ඒක එක්කෙනෙක් දැකපු හීනයක් එහෙම නෙමෙයි කියලා හිතන්න වෙනවා. ඒ මිතුරෝ දෙන්නා සෑහෙන්න කැළඹිලා හිටියා ඒ සිද්ධියෙන් පස්සේ. විභාගෙට ලිව්වෙත් ටිකක් අමාරුවෙන්. ඒ නිසා මේක උන් දෙන්නාගේ අතේ රෝලක් නොවන බව අපට විස්වාස කරන්න වුණා. පස්සේ ආරංචි වුණු හැටියට ඒ study room එකට එහාපැත්තෙ තිබුණු ගැහැනු නේවාසිකාගාරයේ ශිෂ්‍යාවක් තමන්ගේ ගමේ පෙම්වතා එක්ක වුණු ප්‍රශ්නයක් නිසා නෙවාසිකාගාරයේදී ගෙළ වැල ලාගෙන මැරිලා තියෙනවාලු කාලෙකට ඉස්සර. ඊට පාවිච්චි කරලා තියෙන්නේ සුදු සාරියක් කියලා තමයි කතාව තිබුණේ. 


ඕස්ට්‍රේලියානු හොල්මන්

තුන්වෙනි කතාව ටිකක් හාස්‍යයට බර එකක්, ඕස්ට්‍රේලියානු හොල්මනක් ගැන. මම වැඩ කරපු බාලිකා පාසලක කැන්ටිම තිබ්බේ බිල්ඩිමක බේස්මන්ට් එකේ වගේ තැනක, පඩි කීපයක් බැහැලා යන්න ඕන. ඉස්කොලේ කවුරුත් නැති හවස් වරු/ රාත්‍රී කාලවලට මේ පඩිපෙළේ වාඩිවෙලා කැන්ටිම දිහා බලාගෙන දිග ගවුමක් ඇඳපු ගෑනු ළමයෙක් ඉන්න බවත්, කවුරුහරි එයාව දැක්ක සැණින් අතුරුදන් වෙන බවත් හවසට ඉස්කෝලේ පිරිසිදු කරන්න එන cleaners ලා කණ්ඩායම කීපවරක් ඉස්කෝලෙට දැනුම් දීලා තිබුණා. දවල් වරුවේ මේ 'ගෑනු ළමයා'ව දැක්ක කෙනෙක් නැති වුණත් මේක urban legend එකක් වගේ ඉස්කෝලේ කෙල්ලෝ අතරේ පැතිරුණේ විදුලි වේගෙන්. මේ කැන්ටිමෙන් lunch order එකක් දාලා ඒකෙ පමාවට බලාගෙන ඉන්න ආදි ශිෂ්‍යාවක් කියලා තමයි ස්ටාෆ් එකේ අපි නම් හිනාවුණේ. cleaners ලා ඔය වගේ දෙයක් හදලා කියයි කියලා හිතන්න අමාරු නිසා මේකේ මොකක් නමුත් ඇත්තක් තියෙන්න ඇති 

හතරවෙනි කතාවත් ඕස්ට්‍රේලියානු හොල්මනක් ගැන. රෝහලක වැඩ කරන මිත්‍රයෙක් රෑ වැඩමුරයක් ඉවර වෙලා underground car park එකට යන්න කොරිඩෝවක් දිගේ ඇවිදගෙන ගිහින්. රාත්‍රී කාලය නිසා පලාතම පාලුයිලු. එකපාරටම කොරිඩෝවේ එයාගේ ඉස්සරහින් තිබුණු දොරක් ඇරගෙන ටයි කෝට් දාලා ෆුල් සූට් ඇඳපු කෙනෙක් මතුවෙලා. සාමාන්‍යයෙන් එහෙම ඉස්සරහට හම්බවෙන අය ගැන වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ නැහැනේ. ඒත් මිතුරා ට ඒ මනුස්සයා දිහා බැලිලා තියෙන්නේ එයාගේ අසාමාන්‍ය උස නිසා. අඩි හයහමාරක් විතර උස ඒ මනුස්සයා තරමක් කුදු වෙලාත් ලු හිටියේ. ඒ වගේම ඒ මනුස්සයාගේ මූන දැක්කාම එයා බොහොමත්ම වයස බවක් පෙනුණාලු. ancient කියලා තමයි මිතුරා කිව්වේ. කොහොම හරි ඒ පුද්ගලයා මිතුරාව පහුකරගෙන කොරිඩෝවේ දිගට ඇවිදගෙන ගියාලු. ඒ වෙලාවේ ගානක් නැති වුණත් මිතුරාට පස්සේ තමයි හිතිලා තියෙන්නේ that was odd කියලා. පලවෙනි කාරණාව visiting hours පහුවෙලා නිසා ඒ අමුත්තෙක් වෙන්න බැහැ, හොඳටම වයස නිසා/යුනිෆෝම්, doctors' coat ඇඳගෙන නොහිටිය නිසා ස්ටාෆ් එකේ කෙනෙක් වෙන්න බැහැ. ලෙඩෙක් නම් ෆුල් සූට් ඇඳන් යන්නේ නැහැ. ඊළඟ දවසේ වැඩට ගිහින් මිතුරා හොයලා බලලා ඒ කොරිඩෝවේ තියෙන්නේ මොන අංශය ද කියලා. (එයා ඉස්පිරිතාලේ වෙනම පැත්තක වැඩකරන කෙනෙක්) එහෙම හොයද්දි ඒ මෝචරියට access කරන කොරිඩෝව බව දැනගෙන එයාට හීන් දාඩිය දැම්මා ලු! 


කොහොමහරි මේ කතා වලින් මට නම් හිතෙන්නේ හොල්මන් කියන්නේ බොහොම අහිංසක harmless ජාතියක් කියලා. එක්කෝ ජනේලෙක එල්ලිලා එහෙම නැත්නම් ඇවිදිමින්, වාඩිවෙලා හිටියට එයාලගෙන් කාටවත් කරදරයක් නැහැ. අපි තමයි මේ එයාලට බයවෙලා ජීවිතේ complicated කරගෙන තියෙන්නේ. හා නැද්ද?

පින්තූර දෙකම ජෙමිනි ට විස්තරේ කිව්වාම හදලා දුන්නේ. අපිට දැන් අපේම කියලා හොල්මන් රූපයක්, කොරල් තුමා කියන්නා වගේ හොල්මන් කතාවක් හදාගන්න පහසුකම් තියෙනවා නේද කියලා හිතුවම බයත් හිතෙනවා ටිකක්! 

තවත් හොල්මන් කතා කියවන්න:

බ්ලොග් පෙට්ටගමෙන් හොල්මන් කතා:


1 comment:

  1. //එහෙම රැළි වලින් හරි බ්ලොග් නොනැසී තියාගන්න පුළුවන් නම්...//

    ආන්න ඒකයි අවයවය. 🙏💐( "නිදහස් සිතුවිලි" රවිගෙ පෝස්ට් එකක් දාලා)
    ගලමල්තුමාත් එකක් ලියලා. පුදුමයි, ඒත් ඇත්තයි, සිසිර තාරකා නින්දෙ හිටි "යාං හෑල්ල"ත් එකක් ලියලා.

    ආයෙ එන්නම්, කීප වතාවක් කමෙන්ට් වැටුනම

    ReplyDelete