December 22, 2024

මහාරාජා සහ රැජින


Translation of the story ‘Raja and Rani’ by Rabindranath Tagore



බිපින් කිශෝර් රිදී හැන්දක් මුව හොවාගෙන උපන්නෙකු බැවින් ඔහු මුදල් ඉපයීමට වඩා දෙගුණයක් හොඳින් එය වියදම් කිරීමට දැන සිටියේය. මින් ඇතිවූ ස්වභාවික ප්‍රතිපලය නම් ඔහුට තමන් උපන් නිවසේ වැඩි කල් වාසය කිරීමට නොහැකි වීමයි. .

බිපින් යහපත් පෙනුමක් ඇති සුකුමාර තරුණයෙක් විය. ඔහු ව්‍යාපාර සම්බන්ධයෙන් මෝඩයෙකු වූවත්, ජීවිතයේ හැල හැප්පීම් දරා ගැනීමට නුසුදුස්සෙකු වූවත්, සංගීතයට දක්ෂයෙක් විය. ජගන්නාත් ගේ රියේ රෝදයක් ලෙසින් ඔහු ජීවිතය ඔස්සේ පෙරළී ගියත්, ඔහුට අවශ්‍ය කුමාර ජීවිතය වැඩි කාලයක් තිස්සේ ගෙන යාමට නොහැකි විය.

වාසනාවකට මේ වෙද්දී තරුණ මහාරාජා චිත්තරන්ජන්, ආධුනික නාට්‍ය කණ්ඩායමක් සංවිධානය කිරීමට මහත් උනන්දුවෙන් පසුවිය. බිපින් කිශෝර් ගේ පෙනුමත් සංගීත හැකියාවත් දැක ඒ ගැන පැහැදුණු රාජා, ඔහුව තම කණ්ඩායමට සතුටින් බඳවා ගත්තේය.

චිත්තරන්ජන් උපාධිධාරියකු වූවත් ඔහු අනවශ්‍ය වියදම් කාරයෙක් නොවීය. පෝසතකුගේ පුතෙකු වූවත් ඔහු හැම විටම නියමිත වෙලාවට, නියමිත තැන්වල ආහාර ගැනීමත්, නින්දට යාමත් කළේ ය. කෙසේ වෙතත් ඔහු බිපින් ට ආසක්ත වූයේ සුරාවට ආකර්ෂණය වන්නෙකු ලෙසිණි. ඇතැම් දිනවල ඔහු බිපින් ට සවන් දෙද්දී, ඔහු සමඟ ඔපෙරා තනු නිර්මාණ ගැන සාකච්ඡා කරද්දී ඔවුන් වෙත ගෙනැවිත් තිබුණු ආහාර පාන හීල් වූ අතර රාත්‍රිය ගෙවී ගියේය. තම ස්වාමියාගේ වෙන කිසිදු වරදක් නැතත් ඔහුගේ එකම දුර්වලතාවය බිපින් කිශෝර් වෙත මේ දක්වන අසාමාන්‍ය ඇඟඇලුම් කම බව චිත්තරන්ජන් ගේ සේවකයෝ පවා කීහ.

වසන්තා කුමාරි තරුණ රැජින නම් තම සැමියාට බැන වැදුණේ ඔහු කිසිම වාසනාවක් නොමැති බැබුන් වඳුරෙකු වෙනුවෙන් තම කාලය නාස්ති කරගනු බව කියමිනි. ඔහු අද හෙටම පළවා හළ හැකි නම් ඇයට සැනසීමට හැකි බව ඈ කීවාය.

තම තරුණ බිරියගේ ඉරිසියාවකට සමාන මේ හැසිරීම් ගැන මහරාජා චිත්තරන්ජන් යටි සිතින් සතුටු විය. මේ ලෝකයේ සිටින්නේ තමන් ආදරය කරන පිරිමියා පමණකැයි ගැහැනුන් සිතන බව ඔහු තනිවම සිනාසෙමින් සිතුවේ ය. මීට අමතරව අගය කිරීමක් ලැබිය යුතු තවත් පිරිමින් සිටිනු හැකි බව ඔවුන් කල්පනා කරන්නේ නැත. ඔවුන් සිතන පරිදි මෙලොව එකම යහපත් පිරිමියා නම් තම දෙසවනට විවාහ පොරොන්දු කෙඳිරූ තැනැත්තා ය. තම සැමියාගේ ආහාර වේල මඳක් ප්‍රමාද වීම ඇයට මහා මෙරක් තරම් ගැටලුවක් වන නමුත් සැමියා මත යැපෙන්නන් ට කෑම කටක් වත් නොමැති වූවත් ඔවුන් එය පිත්තල බොත්තමක් තරම්වත් ගණන් ගත්තේ නැත. ස්ත්‍රී පාර්ශවයේ මේ අසාධාරණ හැසිරීම විරෝධය පෑ යුතු වර්ගයේ එකක් වූවත් චිත්තරන්ජන්ට ඒ ගැන අප්‍රසාදයක් දැනුණේ නැත. මේ නිසා ඔහු තම බිරිඳ ඉදිරියේදී බිපින් සමඟ බරපතල සාකච්ඡා වල නිරත වූයේ ඇයව අවුස්සා ඇගේ නොරිස්සුම රස විඳීමට ය.

නමුත් මේ මහාරාජා චිත්තරන්ජන් ට සහ රැජින ට ක්‍රීඩාවක් වැනි වූ දේ බිපින් ට නම් මහත් ව්‍යසනයක් විය. ඊට හේතුව, රැජින මේ අවාසනාවන්ත යැපෙන්නා වෙත උවමනාවෙන්ම දැක්වූ නොසලකහැරීම දැක ඒ නිවසේ සේවකයන් ඊටත් වඩා උවමනාවෙන් ඔහුව නොසලකා හැරීමයි. ඔවුන් නිරතුරුවම බිපින් ගේ සුවපහසුව ගැන සොයාබැලීමට අතපසු කිරීම ඔහුගේ මහත් සිත් තැවුලටත්, දොම්නසටත් හේතු විය.

වරක් රැජින, පුටේ නම් සේවකයාට දොස් පවරමින් මෙසේ ඇසුවේය. “උඹ කිසි වෙලාවක වැඩක් පලක් කරනවා පේන්න නැහැ, දවස තිස්සෙම මොනවද මිනිහෝ කරන්නේ?”

“සමාවෙන්න මැඩම්, මගේ දවසම ගෙවෙන්නේ මහරාජා ගේ අණට බිපින් බාබුගේ සාත්තුවට,” අසරණ සේවකයා ගොත ගැසීය.

“ඇයි උඹේ බිපින් බාබු මහාරාජා කෙනෙක් ද?” මෙය අසා රැජින නොරිස්සුමෙන් විමසුවා ය. පුටේ ට මෙය ප්‍රමාණවත් විය. ඊළඟ දිනයේ පටන් ඔහු බිපින් බාබුගේ ඉඳුල් පිඟන් ඉවත් නොකළ අතර ඇතැම් දිනවලදී ඔහුගේ ආහාර ආවරණය කරන්නටද අමතක කළේය. මේ නිසා බිපින්ට නුහුරු ලෙස තම පිඟන් කෝප්ප සෝදා ගැනීමටත්, බොහෝ අවස්ථාවල නිරාහාරව සිටීමටත් සිදු විය. නමුත් මේ ගැන කන් කෙඳිරි ගා රාජාට පැමිණිලි කිරීම ඔහුට තරම් වූයේ නැත. සේවකයන් සමඟ සණ්ඩු සරුවල් ඇති කරගැනීම වැනි මට්ටමකට තමන්වම පහතට හෙළා ගැනීමට අකමැති වූ බැවින් ඔහු මේ අපහසුතා නොසලකා සිටීමට සමත් විය. එබැවින් බිපින් කෙරෙහි රාජා ගේ කැමැත්ත වැඩි වෙද්දී රාණි ගේ අකමැත්තද සීමාන්තික ලෙස වැඩිවිය.

නිසි පුහුණුවීම් වලින් අනතුරුව සුභද්‍රහරන් නම් ඔපෙරාව මහජන දැක්මට සූදානම් විය. මෙහි වේදිකාව තැනුනේ රජ වාසලේ මිදුලේ ය. ක්‍රිෂ්ණා ගේ චරිතය මහාරාජා චිත්තරන්ජන් විසින් රඟ පෑ අතර බිපින් පණ පෙව්වේ අර්ජුන ගේ චරිතයටයි. ඔහු කෙතරම් මිහිරි ව ගී ගැයුවේ ද! ඔහු කෙතරම් පියකරු ද! නරඹන්නන් මහත් සතුටින් අත්පොළසන් දෙන්නට විය.

නාට්‍යය අවසන් වූ පසු චිත්තරන්ජන් තම රැජින වෙත පැමිණ ඒ ගැන ඇගේ අදහස් විමසුවේය.

“ඇත්තටම, බිපින් අර්ජුනගේ චරිතය හරිම අපූරුවට කළා. එයා වංශවත් පවුලක කෙනෙක් වගේ තමයි හරියටම පේන්නේ. එයාට තියෙන්නේ එයාටම ආවේනික කටහඬක්!”

“එතකොට මම කොහොමද? මම ලස්සන නැද්ද? මගේ කටහඬ මිහිරි නැද්ද?” චිත්තරන්ජන් කවටකමින් ඇසුවේය.

“ඔයා ඉතින් වෙනම කතාවක් නේ” කී රැජින නැවතත් බිපින් කිශෝර් ගේ නාටකීය හැකියාවන් වර්ණනා කරන්න පටන් ගත්තාය.

ඉක්බිති තත්ත්වය සහමුලින්ම වෙනස් වූ අතර ප්‍රශංසා කරන්නා අවලාද නඟන්නට පටන්ගත්තේය. මෙතුවක් කල් තම බිරිඳ ඉදිරියේ බිපින් ගේ ගුණ වර්ණනා කිරීමට පසුබට නොවූ ඔහු, දැන් සිතුවේ මිනිසුන් වැඩි දුර නොසිතා බිපින් ගේ හැකියාවන් අතිශයෝක්තියෙන් වර්ණනා කරන බවයි. ඔහුගේ පෙනුමේවත් කටහඬේ වත් ඇති සුවිශේෂී බව කුමක්ද? මීට ටික කලකට ඉහතදී ඔහු ද එවැනි වැඩිදුර නොසිතන්නෙකු ව සිටියද, හදිසියේම, අභිරහස් ක්‍රමයකට චිත්තරන්ජන්ගේ සිතීමේ හැකියාව දියුණු වී තිබිණි!.

ඉනික්බිති එළඹුණේ මාලිගාවේදී බිපින් ගේ සියලු පහසුකම් ගැන සොයා බැලෙන කාලයකි.

“බිපින් කාලයක් තිස්සේ යමක් කමක් තිබුණු කෙනෙක් නිසා එයාට රාජ සභාවේ සුළු සේවකයෝ එක්ක නවාතැන් දෙන එක වැරදියි නේද?” රැජින මහාරාජාගෙන් විමසුවාය.

“හඃ!” කියා ඊට කෙටියෙන් පිළිතුරු දුන් මහාරාජා මාතෘකාව වෙනස් කළේ ය.

රාජකීය ළදරුවාගේ ඉඳුල් කට ගෑමේ මංගල්‍යය වෙනුවෙන් තවත් ප්‍රසංගයක් පවත්වන්නට රැජින යෝජනා කළ විට මහාරාජා චිත්තරන්ජන් එය නෑසුණු සේ සිටියේ ය.

දිනක් තම යහන නිසි ලෙස නොසැකසීම ගැන මහාරාජා පුටේ නම් සේවකයාට බැන වැදුණු විට “මම මොනවා කරන්නද අවසර, මැඩම් මට අණ දීලා තියෙන්නේ දවසම බිපින් බාබු ව බලාගන්න කියලා” යැයි ඔහු පැවසුවේ ය.

මෙයින් කෝපයට පත් රාජා “පුහ්! බිපින් බාබු රජෙක් කියලා දැන් නේ මම දන්නේ! ඇයි ඌ ට උගේ පිඟන් තනියම හෝදාගන්න බැරිද?” යැයි කෑ ගැසීය. මින් අනතුරුව සේවකයා තම ස්වාමියාගේ අණ පිළිපදින්නට පටන් ගත් බැවින් බිපින් නැවතත් පෙර සේම අසරණභාවයට පත් විය.

දැන් දැන් බිපින් ගේ ගීතවලට රැජින ප්‍රිය කළා ය. ඇයට ඒවා බෙහෙවින්ම මිහිරි වූ අතර ඈ ඒවායේ කිසි දොසක් නොදැක්කා ය. හවස්වරු වලදී ඇගේ සැමියා බිපින් සමඟ මිහිරි සංගීතය ගැන සාකච්ඡා කරද්දී ඈ යාබද කාමරයක පැලල්ලක පසුපස සිට ඊට සවන් දුන්නා ය. වැඩි කල් ගත වීමට මත්තෙන් මහාරාජා නැවතත් නියමිත වෙලාවට ආහාර ගැනීමත්, නින්දට යාමත් පුරුදු පුහුණු කරන්නට විය. සංගීත සාද අවසන් වූ අතර රජ වාසලට බිපින් ගේ සේවාව තවදුරටත් අනවශ්‍ය විය.

මහාරාජා චිත්තරන්ජන් සාමාන්‍යයෙන් මධ්‍යහ්නය දක්වා නිවසින් බැහැර ව තම ඉඩකඩම් පාලන කටයුතු සිදු කළේ ය. දිනක් ඔහු වේලාසනින් ආපිට පැමිණ මාලිගාවේ කාන්තාවන් ගේ කොටසට යද්දී තම රැජින යමක් කියවමින් සිටිනු දුටුවේය. ඒ කුමක්දැයි ඔහු ඇසු විට ඇය තරමක් පසුබානු පෙනුනත් ඉනික්බිති කීවේ “මම මේ බිපින් බාබු ගේ සින්දු පොතෙන් සින්දු කීපයක් කියෙව්වා, ඔයාගේ සංගීත විනෝදාංශය නවත්තලා දැම්මාට පස්සේ අපිට ඉතින් සංගීතය අහන්න ඉඩක් නැති වෙලාම ගියානේ.”

සංගීතය නම් විනෝදාංශය තම සැමියාගේ මනසින් මකා දැමීමට වෙහෙස වූයේ තමන් බව ඇයට ඒ මොහොතේ අමතක වූවා වැනි විය.

මීට පසු දින රාජා චිත්තරන්ජන් විසින් බිපින් ව තම නාට්‍ය කණ්ඩායමෙන් නිර්දය ලෙස ඉවත් කරනු ලැබුවේ ඒ අහිංසකයාට මින් මතුවට කෑම වේලක් වත් ලැබෙන්නේ කෙලෙසදැයි නොසිතමිනි.

බිපින් ට වැඩියත්ම ශෝකයක් දැනුණේ තමන්ව මෙලෙස සේවයෙන් පහ කිරීම නිසා නොවේ. ඔහු මහාරාජාට සේවය කළේ මුදලට නොව අවංක භක්තිමත් බැඳීමකිනි. මහාරාජාගේ මේ හදිසි වෙනස් වීම ඔහුට වටහා ගැනීමට නොහැකි විය.

“මේ දෛවය තමයි, දෛවය තමයි!” ඔහු තමාටම කියාගත්තේය. ඉනික්බිති ඔහු බරැති සුසුමක් හෙලා, තම පරණ ගිටාරය එහි ආවරණයේ හොවාගෙන, තමන් සතුව ඉතිරිව තිබුණු කාසි දෙක පුටේ ට සමුගැනීමේ තෑග්ගක් සේ පිරිනමා, තමන්ට එකදු මිතුරෙකු වත් නොමැති විසල් ලෝකය වෙත පිය නැඟුවේ ය.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Picture generated by Canva AI

සිසිල සඟරාව -  දෙසැම්බර් 2024 කලාපය 
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)