June 25, 2024

සමතුලිතය

සිතින් මවාගත් කුඩා තරාදියක
එක් පසෙක ලමි
මතකය ඉතිරි කර ගිය සුන්බුන්
ඒවා ඇත්තේ බොහොම ටිකකි.

අනෙත්පස ලමි
මට අනුමාන කළ හැකි අනාගත සිද්ධි
සංවත්සර, අහිමිවීම්

එක් පසෙක ලමි
අම්මාගේ සිනිඳු හම් අත්වැස්ම
එය දැන් වැහැරුණු තන බුරුල්ලක් වැනි ය

අනෙත් පස ලමි
මගේ කුඩා මුනුපුරාගේ අතින් ගිලිහුණු
වූල් අත්වැස්මක්
ළඟදීම ඔහුට එය කුඩා වැඩි වනු ඇත

ඔහු තෙහැවිරිදි ය
ඈ යන්නට ගොස් හරියටම තෙවසරකි

සමතුලිතය නම් සරලව
අනාගතය හා අතීතය තරම්ම
වර්තමානය සැබෑවක් වන මොහොතයි
අප පෝෂණය කරන වාතය
නොසිතාම ආශ්වාස ප්‍රශ්වාස කිරීමයි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem 'Balance' by Linda Pastan
Digital painting




6 comments:

  1. කාලය කෙමෙන් කෙමෙන් ගත වෙලා යන්නෙ හරිම පුදුම විදිහටයි!තත්පරයෙන්, තත්පරයට-මිනිත්තුවෙන් මිනිත්තුවට-දවසින් දවස-සතියෙන් සතිය අපිටත් හොරෙන්ම ගෙවිල යනව. ගෙවිල ගිහිල්ල.අපි වැඩක යෙදිල හිටියත් නැතත්,අපි යම් කිසිවක් කලත් නොකලත්, ඉකුත් වෙලා යන එකමදේ තමයි කාලය.ටිකක් නැවතිලා හිතල බලනකොට පුදුම හිතෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත, බලන්න මේ අවුරුද්දෙන් බාගයකුත් ගෙවුණු හැටි නේද?
      හැබැයි මෙහෙම කතාවකුත් තියෙනවා :)
      'කාලයේ ප්‍රධානම සොඳුරු බව නම් එය කල් ඇතිව නාස්ති කිරීමට නොහැකි වීමයි.'- Arnold Bennett

      Delete
  2. නියමයි ,කවි පරිවර්ථනයක් උනත් හැමෝටම කරන්න බෑ
    මම නෙරුඩා මහත්තයගේ පරිවර්ථනයක කරපු කවි වගයක් තිබුන
    පස්සෙ හිමීට දාන්නම්

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ලෙමන් මහත්තයා!
      ඔව් මාත් අහම්බෙන් තමයි කවි පරිවර්තනයට යොමුවුණේ. කාලයක් තිස්සේ දිනමිණ පත්තරේ කවි පිටුවට පරිවර්තිත කවියක් යවන රාජකාරිය කරලා දැන් නිකම් ඒ වැඩේ ලේ වලට එකතු වෙලා.
      නෙරුඩා ගේ කවි ටික බලන්න මඟ බලාගෙන ඉන්නේ.

      Delete
  3. හ්ම්ම්...
    පුතා ඉපැදෙද්දිම අම්ම කාලක්‍රියා කරලද

    ආච්චි නැතිවුණ දාක පුතාට යන කල මොකක්ද වගේ අදහසකුත් අන්තිමට ආව.

    ඔක්කම මතක විතරක් ඉතුරු වේවිද.

    ReplyDelete
    Replies
    1. නැහැනේ නේද? මේ සිතිවිල්ල ආච්චිගේ තමයි, ඒත් මැරිලා තියෙන්නේ ඇගේ අම්මා. මුනුබුරා ඉපදුණු දවස්වලම තමන්ගේ අම්මා නැතිවීම නිසා ජිවිතයේ චක්‍රාකාර බව ගැන ඈ ආයෙත් හිතලා කියලා මට හිතුණේ.

      Delete