මේ මම රැකියාව කරන පාසල් පුස්තකාලයේ කතාවක්. මේ පාසල මෙල්බර්න් වල ද්විතීයික බාලිකා පාසලක්, ඒකෙ දැරිවියෝ පොත් කියවිල්ලට බොහොම මනාපයි. මේ විස්තරය පොත් කියවන්න කැමති එකේ ඊළඟ ලෙවල් එක හෙවත් පිස්සුවෙන් පොත් කියවීමේ අවස්තාවක් ගැන.
ළඟදී දවසක හතේ පන්තියේ දැරියක් පුස්තකාලයේදී මාව හොයාගෙන එනවා. අපි ඈ ට අදීති කියමු. ඈ Keeper of the Lost Cities පොත් මාලාවේ පළවෙනි පොත කියවපු බව කියලා දෙවෙනි පොත හොයාගන්න ඈ ට උදවු කරන්න පුලුවන්ද කියලා අහනවා. පොත available බව library system එකේ පෙන්නුවත් පුස්තකාලය පීරලා හොයද්දි අපි දෙන්නටම ඒක හොයාගන්න බැරිවෙනවා. ඒ එක්කම විවේක කාලය ඉවරවෙනවා. පන්තියට යන්න වෙලාව ආවත් අදීතිගේ මූන හොඳ නැහැ. මම ඇගේ නමත් පන්තියත් අහගන්නවා පොත හොයලා ඈට ඊමේල් පණිවිඩයක් තියන්න පොරොන්දු වෙමින්. ඒ වෙනුවෙන් මට ස්තූති කරන ඈ යන්න කලිනුත් 'මම කොහොම හරි ඉක්මණින් මේ දෙවෙනි පොත කියවන්න ඕන' කියලා මට මතක් කරලා දුවලා යනවා.
Exile- Part 2 of the Series Keeper of the Lost Cities by Shannon Messenger |
අදීති ගියාට පස්සේ තව ටිකක් නිවිහැනහිල්ලේ පොත හොයද්දි මට ඒක හම්බවෙනවා. Winter Reads වෙනුවෙන් හදලා තියෙන display එකක ඒක තිබුණු නිසා යි පොත් රාක්ක අතරේ අපි ඒක නොදැක්කේ. ඉතින් මම ඈට email කරනවා පොත හම්බවුණා ඇවිත් අරගෙන යන්න කියලා. ඊළඟ කාලපරිච්ඡේදයේම පුස්තකාලයට එන ඈ ප්‍රීතියෙන් ඉපිලෙමින් පොත අරගෙන යනවා.
කතාව පටන්ගන්නේ දැනුයි. මේ සිද්ධියට පස්සේ දවසේ ඉස්කෝලේ පටන් ගන්න කලින් අදීති පුස්තකාලයට දුවගෙන එනවා කළින් දා අරගෙන ගිය පොතත් අතේ තියාගෙන. මාව හොයාගෙන එන ඇගේ ඇස් දෙක දිලිසෙනවා.
"මම පොත කියවලා ඉවර කළා!" ඈ රහසින් කියනවා. "ඊයේ රෑ නිදාගන්නේ නැතිවම මම පොත කියෙව්වා!" ඈ කියන්නේ ලොකු හපන්කමක් කළ ගානට.
පුදුම වෙන මම ඒ පොත අතට අරගෙන පෙරළලා බලනවා. පිටු 568ක්! මට හිනා. "ඉතින් අද නිදිමත නැද්ද?" මගේ ප්‍රශ්නෙට "නෑ!" කියලා හිනාවෙමින්ම උත්තර දෙන ඇය පොත් රාක්ක අතරට දුවලා යනවා. අදීති ඊළඟට මා ළඟට එන්නේ Keeper of the Lost Cities පොත් මාලාවේ ඊළඟ පොත් හතර උස්සාගෙන. ඈ ඉන්නේ පුදුම සන්තෝසෙකින්.
Keeper of the Lost Cities Series bu Shannon Messenger |
"නිදිමරන්න එපා ඉතින් අදීති, හෙමින් සැරේ කියවන්න!"පොත් ටික ඇගේ නමට නිකුත් කරන ගමන් මම කියනවා.
ඈ හිනාවෙලා පොත් ටික අරගෙන දුවලා යනවා. මම මොනවා කිව්වත් ඈ තව දවස් කීපයක් පොත් කියවන්න නිදි මරණ බව නම් ඒකාන්තයි. ඉතින් ආසාවෙන් පොත් කියවීමෙයි පිස්සුවෙන් පොත් කියවීමෙයි වෙනස ඕක තමයි!
මේ පුංචි සිද්ධියෙන් මගේ හිත අතීතෙට ගියා. දෙයියනේ අපිත් මෙහෙම පිස්සුවෙන් පොත් කියෙව්ව කාලයක් තිබ්බා නේද කියලා මට මතක් වුණා. මම එහෙම කියවපු එක පොතක් තමයි උපුල් ශාන්ත සන්නස්ගල ගේ වස්සාන සිහිනය පොත.
වස්සාන සිහිනය පොත ප්‍රකාශයට පත් වුණේ මම ඕලෙවල් පන්තියේ වගේ ඉන්න කාලේ මගේ හිතේ. ඒ කාලේ ඒක පොතක් විතරක් නෙමෙයි උන්මාදයක් වුණා. ඒකෙ තිබුණු නිසඳැස් කෙල්ලෝ පොත්වල අන්තිම පිටුවල ලිව්වා. පෙම්වතුන්ට ලියුම් වල ලියලා දුන්නා. එහෙම වුණාට ඒ වෙද්දී මට නම් මේ පොත කියවන්න ලැබිලා තිබුණේ නැහැ. අලුතින්ම පළ වුණු ආදර කතාවක් අරන් දෙන්න කියලා අම්මලාට කටක් ඇරලා කියන්නත් බැහැනේ. පොත කියවන්න නොලැබුණු එකට විස්සෝපයෙන් කාලය ගතවෙද්දී එක සිකුරාදා හවසක මගේ නෑදෑ අයියා කෙනෙක් අපේ ගෙදර ආවා. එයාගේ ළඟ අලුත්ම වස්සාන සිහිනය පොතක් තිබුණා. අයියාගෙන් පොත ඉල්ලගෙන බලද්දී මට කැමති නම් ඒක කියවන්න පුළුවන් බවත්, ඒත් ඊළඟ දවසේ එයා පාන්දරින් පිටත් වෙලා යද්දී පොත වුවමනා බවත් කීවා. අදීති ට වගේ නෙමෙයි ඔන්න එදා මට නම් deadline එකක් තිබුණා! ඉතින් මම එදා රෑ නිදාගන්නේ නැතිව වස්සාන සිහිනය කියෙව්වා. අවුරුදු දාසයක විතර කෙල්ලෙක් රැයක් තිස්සේ වස්සාන සිහිනය පොත කියවද්දී කතාවේ ඉන්න චාපා සහ කසුන් වෙනුවෙන් අඬන්නත් සෑහෙන්න වෙලාවක් ගතවුණු බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මම හිතන්නේ ඒ මහා රෑ පානේ මම ඒ පොතේ තිබුණු නිසඳැස් සටහන් පොතක ලියාගත්තා ද කොහෙද. කොහොමහරි පස්සෙන්දා වෙද්දී කියවලා ඉවර වෙලා පොත අයිතිකාරයාට භාරදෙන්න මට පුළුවන් වුණා. රෑ තිස්සේ නිදිමරලා අඬ අඬ පොත කියවලා ඇස් රතු වෙලා මූන තඩිස්සි වෙලා තිබුණත් මම හිටියේ කොහොමහරි වස්සාන සිහිනය කියවපු ප්‍රීතියෙන් පිනා ගිහින්. ඉන්පස්සේ සෑහෙන්න කාලයක් යනකම් අර පොතෙන් ලියාගත්ත නිසඳැස් කටපාඩම් වෙලා තිබුණු බවත් දැන් නම් ආසාවට එකක් වත් මතක් නොවෙන බවත් ඒ එක්කම කියන්න වෙනවා.