Translation of the short story ‘House Opposite’ by R K Narayan
කවුළුවෙන් පිටතට නෙත් යොමු කළ තාපසයා ඉබේම වෙව්ලා ගියේය. මාර්ගයෙන් අනෙත්පස නිවසේ වාසය කළේ කිසිම ලැජ්ජාවක් නැති කාන්තාවකි. හැම දිනකම සවස් වෙද්දී විවිධ පිරිමින් පැමිණ ඇගේ දොරට ගසනු දකිනු හැකි විය. නිවාඩු හෝ උත්සව දිනවල දවල් වරුවේ පටන් මෙය සිදුවේ. ඇතැම්විට ඔවුන් ඒ නිවසේ පිල මත ලැගගෙන දුම් බොමින්, දුම්කොළ සපා කාණුවට කෙළ ගසමින් කාලය ගත කළහ. තාපසයාට සිතුණේ ඔවුන් මේ ලොව ඇති සියලුම පව් සිදු කරමින් සිටින බවයි. ඔහු නම් පවුල් වීමෙන් වැළකී, ලෞකික සැප සම්පතින් ඈත් වී අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නට උත්සාහ දරමින් සිටි අයෙකි. ගෙවත්තේ පොල් ගස් දෙකක් සහ ළිඳක් පමණක් සහිත තනි කාමරයකින් යුක්ත වූ මේ නිවස ඔහුට ප්‍රමාණවත් බව ඔහුට හැඟිණි. ඒ නිවස ඉදිරිපස පටු මඟ නිරතුරුව ළමුන්ගෙන් පිරී තිබිණි. ඇතැම් විට තාපසයා ඔවුන්ව කැඳවා, බිම හිඳුවා කුඩා ආදර්ශමත් කතා හා ශුද්ධ වූ පාඨ කියා දුන්නේය. පැරණි දින දර්ශන වලින් කපාගත් දෙවියන්ගේ පින්තූර කිහිපයක් ඔහු බිත්තියේ ගසා තිබුණු අතර දරුවන්ට රස කැවිල්ලක් දී පිටත් කරන්නට පෙර ඒ පින්තූර වෙත වඳින්නට ඔහු ඔවුන්ට අණ කළේය.
ඔහුගේ එදිනෙදා දිනචර්යාව එකම රටාවකට සිදුවිය. ඔහු පක්ෂියෙක් සේ හවස් වෙද්දීම නින්දට යන්නේ නිරුවත් පොළොවේ වැතිරී කොට්ටයක් වෙනුවට ලී කොටයක් හිසට තබා ගෙනය. පටු මඟ කෙළවරේ නිවසේ සිටි සැවුලා අවදි වන්නටත් පෙර පාන්දර හතරට ඔහු පිබිදෙයි. ඉනික්බිති ඔහු ළිඳෙන් නා මුව හමක් මත හිඳ භාවනා කරයි. තරමක් කාලය ගත වූ පසු ඔහු උදුන දල්වා උදෑසන සහ දිවා ආහාරය වෙනුවෙන් චපාති කීපයක් සකසාගනී. ඔහු පිසුවේ තෝරාගත් එළවලු කිහිපයක් වූ අතර අල, ළූනු, බණ්ඩක්කා වැනි දෑ ඔහු මඟ හැරියේ ඒවා මඟින් මිනිස් සිරුරේ නීච ආවේග උත්තේජනය වන බැවිනි.
නමුත් භාවනාවේ ගැඹුරුම පතුලේ සිටිද්දී පවා ඔහුට ඉදිරිපස නිවසේ සිට, සල්ලාලකමින් යුතු රාත්‍රියක් ගෙවා ගනුදෙනුකරුවෙක් පිටවෙද්දී එහි දොරින් නැඟෙන කිරි කිරිය නොඅසා සිටිනු නොහැකි විය. එය වළක්වා ගැනීමට ඔහු තවතවත් දැඩි ලෙස දිව ඉල්ලන රසයන් වළකමින් විවිධ ක්‍රම වලින් සිරුරට දඬුවම් දෙන්නට විය. එසේ කරනුයේ ඇයිදැයි ඔබ ඔහුගෙන් ඇසුවා නම් ඔහුට ඊට පිළිතුරක් නොතිබෙනු ඇත. අපගේ මේ තාපසයා කැඩපත ඉදිරියේ තම මස් පිඬු ඉල්පන, පපුව පුම්බන ක්‍රීඩකයෙක්ගේ විරුද්ධාර්ථය විය. ඒ වෙනුවට ඔහු තම කෘශ බව ගැන සුපරීක්ෂාකාරී වූ අතර ඒ තත්ත්වයට එළඹීමේ ජයග්‍රහණය පිළිබඳව අමුතු සතුටක් ලැබුවේය. ඔහු තමන්ගේ ඉපැරණි ගුරුවරයන්ගේ උපදෙස් ප්‍රශ්න නොනඟාම පිළිපදිමින් සිටි අතර එමඟින් නිර්වාණය කෙරෙහි ළඟා වීමට අපේක්ෂා කළේය.
එක හවස් වරුවක ඔහු ජනෙල් පඩියේ රැඳී තිබුණු දැලි කුණු පිස දැමීමට ජනේලය විවර කළ විට ඇය තම නිවස ඉදිරිපස පඩිය මතට වී පාර දෙස නෙත් යොමා සිටිනු ඇස ගැටිණි. ඒ මොහොතේ වේගවත් වූ ලේ ගමනය නිසා ඔහුගේ නළල පුපරු ගසන්නට විය. ඔහු ඇය දෙස උවමනාවෙන් බැලුවේය. ඇයට වාත්තු කළා වැනි මුහුණක් තිබුණත් මේද තට්ටු යට එය ගිලී තිබිණි. එහෙත් ඇයගේ සිරුරේ සරාගී හැඩයක් දක්නට විය. ඇගේ පිරුණු බාහු කොට්ට සේ දිස් වූ අතර සමහර විට ඒවාට මැදි වී සිටීම පිරිමින්ට ආකර්ෂණීය වූවා විය හැක. තමන්ගේ ගුරුවරයාගේ ඉගැන්වීම් අනුවත්, යෝග ශාස්ත්‍රය අනුවත් තමන්ගේ බැල්ම තම නාසයේ තුඩ වෙත නැංගුරම් ලා තබා ගත යුතු වූවත් ඇගේ සිරුර වටා කැරකෙන්නට වූ ඔහුගේ බැල්ම නම් නැවතත් කැඳවා ගැනීමට ඔහු අපොහොසත් විය
'ඇගේ උකුල බෙහෙවින්ම පුළුල්ය, ඇගේ දෙකලවා කෙසෙල් කඳන් වැනිය. සමස්තයක් ලෙස ගත් කළ මෙට්ටයක් වැනි සුවපහසු සිරුරක් ඇති නිසා ගණුදෙනුකරුවන්ට ඇඟේ නූල් පොටක් රහිතව රැය පුරා ඒ මෙට්ටයේ සුව විඳින්නට හැකිය' - මෙසේ සිතෙද්දීම -'මේ නපුරු රාක්ෂයෙක්, මගේ ඉදිරියේ පේන්නේ අකුසලයේ මුහුණුවර,' ඔහු ඒ සිතිවිලි මැඩලමින් මහත් කෝපයෙන් සිතුවේය. පාරේ අනෙත් පස සිටගෙන සිටින මේ හැතිරිය නිසා තමන්ගේ ධ්‍යානය බිඳෙන අයුරුත් තමන් ඉතා දුෂ්කර ලෙස එක්රැස් කරගත් සියලු කුසල් පෙනේරයකට වැටුණු දිය සේ ගිලිහී යන බවත් ඔහුට වැටහිණි.
'පිරිමින් වහ වැටී විනාශ වූයේ ඒ සුවිශාල බාහු යුවල නිසාද, පියයුරු හෝ දෙකලවා නිසාද' ... 'ඔතැන නොඉඳ ගෙට වරෙන් බූරුවෝ!' ඔහු තමාටම රහසින් බැණ වැදුණේය. හදිසියේම ඇය අනෙත් පස හැරී නිවසට වැදී දොර වසා ගත්තාය. ඔහුගේ සිතිවිල්ලත් ඇගේ ක්‍රියාවත් සමපාත වූයේ අහඹු ලෙස වූවත් ඔහුට ජයග්‍රාහී බවක් දැනුණි. ඔහු ජනේලය තදින් අගුලු ලා කුටියේ ඈතම කෙළවරට වැදී භාවනාව සඳහා මුව හම මත හිඳ ගත්තේය. "ඕම් ඕම් රාමා, ජයරාමා" ඔහු නොනවත්වා ගයන්නට විය. "රාමා" යන වදනම මහත් සේ බලගතු එකක් සේ සැලකුණු අතර විසිර යන සිතුවිලි නතු කරගන්නත් අවධානය නොවෙනස්ව තබා ගන්නත් එහි හැකියාව ප්‍රසිද්ධිව තිබිණි. මේ ස්ත්‍රෝත ගැනත් ඒවායේ සාර්ථක භාවයන් ගැනත් ඔහුට මනා අවබෝධයක් විය. "ශ්‍රී රාමා..." ඔහු නැවත නැවතත් කී නමුත් එය දරුණු උණකට දියාරු බෙහෙතක් පානය කළා සේ නිෂ්පල විය. "ශ්‍රී රාමා ජයරාමා..." ඔහු බලාපොරොත්තු සුන් වූ හඬින් වේගයෙන් කියන්නට වූ නමුත් එහි බලය තත්ත්පරයක් වත් රැඳී තිබුණේ නැත. ඔහුගේ සිතිවිලි වෙනතක යොමු වෙද්දී සිතේ ප්‍රශ්න රැසක් මතු විය. "ඊයේ මම පොළට යද්දී ඒ ගෙදර පඩිපෙළ බැස්ස හාදයා කවුද.. අර කොටු කමිසයක් ඇඳලා, සේද සාළුවක් දාලා හිටියේ? මම මිනිහාව කෙහේදී හරි දැකලා තියෙනවා... කොහෙද? කවද්ද? ආ.. ඒ අර පොළ පාරේ ඉන්න ප්‍රසිද්ධ ඇඳුම් මහන්නානේ! විලාසිතාවට කැමති ගෑනු මිනිස්සු නිතර එයා වටේ රොක් වෙලා ඉන්නේ. එයා එක එක සංගම් කීපෙකම සාමාජිකත්වය තියෙන අතිදක්ෂ මැහුම් කාරයෙක්, එයා ආශ්‍රය කරන්නේ උසස් නිලධාරීනුයි ව්‍යාපාරිකයෝයි. එහෙනම් මෙහෙමයි එයා එයාගේ හවස්වරු ගෙවන්නේ, මිනිස් මෙට්ටයක් උඩ සුව පහසුව වැතිරෙමින්! ඒත් ප්‍රසිද්ධ මිනිස්සු තාමත් ඉඩ දෙනවා ඒ මැහුම්කාරයාට තමන්ගේ මිනුම් පටියෙන් එයාලාගේ ශරීර ස්පර්ශ කරන්න! අපවිත්‍රවීම... හැමතැනම තියෙන්නේ අපවිත්‍රවීම විතරයි, පව්කාර ජීවිත."
ඔහු තනිකමින් පිරුණු කාමරයේ සිට 'රාමා, රාමා!' යැයි කෑ ගැසුවේ බිහිරි අයෙකුට හඬගසන්නාක් මෙනි. මඳ වේලාවකින් මෙය නිෂ්පල ක්‍රියාවක් බව ඔහුට වැටහිණි. රාමා පරිපූර්ණ ආත්මයක් වූවත් ඔහුගේ සාමාන්‍ය මෘදු තැන්පත් ගති බලපැවැත්වුණේ යමෙක් සීමාන්තිකව ඔහුව අවුස්සවන තෙක් පමණි. එවැන්නක් සිදුවුවහොත් ඒ වරදකරු රාවණා වැනි දුෂ්ඨයෙක් වූවත් රාමා විසින් කෝපයෙන් වියරුව ඔහුව සුන්නද්ධූලි කරන ලදී. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් රාමා ඉවසීම ප්‍රගුණ කළ අයෙක් බැවින් ඔහුගේ නම නොකඩවා මැතිරීම සන්සුන් බවත් සාමයත් ගෙන ඒමට නියමිත විය. නමුත් මේ උදාව ඇත්තේ ඊට වඩා දැඩි ක්‍රියාදාමයක් අවශ්‍ය වේලාවකි. සමහරවිට ශිව දෙවියන්ගේ මන්ත්‍රය මීට උපකාරී වනු ඇත. ශිව දෙවියන් භාවනානුයෝගීව සිටිද්දී ප්‍රේමයේ දෙවියන් විසින් කපටි ලෙස ඔහු වෙත එල්ල කළ හීය දැක තම තෙවෙනි ඇස විවර කර ඒ කරදරකරු ව පුළුස්සා දමා අළු බවට පත් නොකළේ ද? අපගේ තාපසයා ශිව දෙවියන්ගේ කැරළි ගැසුණු හිසකෙස් සහ ගිනි පිටවෙන දෑස සිතින් මවාගෙන "ඕම් නමාසිවයා" ලෙසින් මහා හඬින් කියන්නට විය. ඒ පාලු කාමරය ඔහුගේ මේ බැරෑඬි හඬින් දෝංකාර දුන්නේය. ටික වෙලාවක් ගතවන තුරු දසත විසිරුණු ඔහුගේ අශ්ලීල සිතිවිලි නතුව නැවතුණු නමුත් නැවතත් මඳ වෙලාවකින් ඒවා පෙර ජවයෙන්ම ගැහැණිය පසුපසින් දුවන්නට විය.
'එක් හවස්වරුවකට ඇය අඩුම තරමේ හය වතාවක්වත් තම නිවසේ දොර අරී- ඇය ඔවුන් හැමදෙනා සමඟ එක්වර නිදිවදිනවා විය හැකිද?' මේ සිතිවිල්ල නිසා ඔහුට සිනා පහළ වූ නමුත් ඒ සමඟම අති බලවත් දෙවියන් වෙත භාවනාවෙන් බැඳී තිබුණු සිත ඉන් ගිලිහුණු බව ද ඔහුට වැටහිණි. ඔහු තම දෑත මිට මොළවා නළලට ගසා ගත්තේය. ඉන් යම් රිදුමක් දැනුණු නමුත් ඔහුගේ අවධානය ඉන් වැඩි දියුණු විය. "ඕම් නමාසිවයා" ...එහෙත් ඔහුගේ මනසේ එක් කොටසක ඉදිරිපස නිවසේ දොරේ කිරිකිරිය සටහන් වෙමින් තිබිණි. ඇය, බාල තරුණ මහලු හැම දෙනාමත්, ඇඳුම් මසන්නන් සහ ශිෂ්‍යයනුත් (මීට දවස් කීපයකට පෙර ඇල්බට් මිෂන් නේවාසිකාගාරයේ තරුණ උපාධි ශිෂ්‍යයෙක් ඇයගේ දොර අසල හිඳිනු ඔහු දැක තිබිණි.) නීතිඥයන් සහ විනිසුරුවරුන්ද (ඇයි එහෙම වෙන්න බැරිද?) තම දඟර අතරේ සිරකරමින් ගොදුරු කර, විනාශ කරන සර්පයෙක් බව ඔහුට සිතිණි. ඉතින් හැම කෙනෙක්ම මෙලෙස තම ප්‍රකෘති ආශාවන්ගේ ඉමහත් පීඩනයට නතුව ඇති විට මේ ලෝකයේ ජනගහනය නොනවත්වා වැඩිවීම පුදුමයක් නොවේ! 'අහෝ ශිව දෙවියනි, මේ ගැහැණිය ඉවත් කළ යුතුයි. කවදාක හෝ ඇය අභිමුඛයට ගොස් ඇයට මෙතැනින් පිටව යන ලෙස කිව යුතුයි' යැයි ඔහු සිතුවේය. "විවර කානුවක් සේ ලෙඩ රෝග ද දහ ජරාවද පතුරවමින් සිටින පවුකාර ගැහැණිය, මැදිවියේ මැහුම්කරුවාගේ පටන් උපාධි ශිෂ්‍යයා දක්වා ඔබ පතුරුවා ඇති වසංගතය ගැන සිතන්න. ඔබ තනන්නේ මනුෂ්‍ය වර්ගයාව විනාශ කරන්නටයි. ඔබේ පවු ගැන පශ්චත්තාප වී, හිස බූ ගා, ඔය පුළුල් උකුල ගෝනියකින් වසා දේවාල දොරකඩට ගොස් හිඟා කන්න. නොඑසේ නම් ලබන ආත්මයේ පිරිසිදු උපතක් ප්‍රාර්ථනා කර සාරයු ගඟේ ගිලී මියැදෙන්න.." රැය පුරාම ඔහු මෙලෙසින් ඇය සමඟ මනසින් දෙබස් කී අතර ඇය එක් මොහොතකටවත් ඔහුගේ මනසින් ගිලිහුණේ නැත.
ඒ රාත්‍රිය බොහෝ දුෂ්කර එකක් විය. ඔහු නිරුවත් බිම ඒ මේ අතට පෙරළෙමින් පසු වූවේය. අළුයමටත් පෙර පිබිදෙද්දී ඔහු තීරණයක් ගෙන තිබිණි. ඔහු වහාම මෙතැනින් පිටවී, නල්ලප්පාගේ අරඹ හරහා ගොස් ගඟේ එහා ඉවුර වෙත ළඟා වීමට ඉටා ගත්තේය. ඔහුගේ හිසට ස්ථිර සෙවනක් අවශ්‍ය වූයේ නැත. මඟදී හමුවන ඕනෑම දේවාලයක, අම්බලමක හෝ නුග සෙවනක ඔහුට විවේක ගනු හැක. ඔහුගේ ගුරුවරයාගෙන් උගත් එක්තරා පුරාණ කතාවක් ඔහුගේ සිහියට නැඟිණි. එක්තරා වෛශ්‍යාවක් මරණයෙන් පසු දෙව්ලොවට යැවුණු අතර ඈව විවේචනය කළ ධර්මිෂ්ඨ සමාජ ශෝධකයාව යවා තිබුණේ යම ලොවටයි. වෛශ්‍යාව පව් කළේ තම සිරුරින් පමණක් වූවත් සමාජ ශෝධකයාගේ මනස දූෂණය වී තිබීමත් වෛශ්‍යාව ගැනත් ඇගේ කටයුතු ගැනත් පමණක් සිතීම නිසා තම සිත වෙන කිසිවක් වෙත යොමු නොකිරීමත් මීට හේතුව බව ගුරුවරයා කියා තිබිණි.
අපගේ තාපසයා තමන් සතු වූ දේවල් ස්වල්පය වේවැල් පෙට්ටියකට අසුරා ගත්තේය. එහි තඹයෙන් තැනූ දෙවි රුවක්, නවගුණවැලක්, මුව හම සහ කුඩා පිත්තල පාත්තරයක් විය. මේ පෙට්ටියත් අතින් ගෙන ඔහු නිවසින් පිටතට අඩිය තබා තම පසුපසින් දොර සෙමෙන් වැසුවේය. ඒ අලුයම් හෝරාවේ අවට සැරිසරමින් සිටි අයගේ රූප දිස් වූයේ සෙවනැලි ලෙසයි. කිරිකරුවෙක් තම හරකාව දක්කමින් ඉදිරියෙන් යමින් සිටියේය. කුලීකරුවෝ යකඩ ඉනි සහ උදලු රැගෙන රාජකාරියටත්, කූඩා රැගත් කාන්තාවෝ පොළටත් යමින් සිටියහ. ඔහු එක්වරක් නැවතී තමන් අතහැර යමින් සිටි නවාතැන දෙස බැලුවේය. එවිටම ඉදිරිපස නිවසින් දුක්මුසු හඬක් ඇසුණි
"ස්වාමිජි,"
ඒ නිවසේ කාන්තාව මල් ද පලතුරු ද පිරවූ තැටිල්ලක් ගෙන ඔහු අසලට විත් එය ඔහුගේ දෙපා මුළ තැබුවාය. ඉන්පසු බැතිබර පහත් හඬකින් මෙසේ කීවාය.
"අනේ ස්වාමිජි මගේ මේ පූජාව පිළිගන්න. අද මගේ අම්මාව සිහිකරන්නයි මේක සකස් කළේ. මම ශාන්තුවරයෙක්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා... මට අනුකම්පා කරන්න.."
ඇයට දොස් පැවරීමට ඔහු සූදානම් කරගෙන තිබුණු සියලු දෙබස් මේ මොහොතේදී ඔහුගේ මනසින් ගිලිහිණි. ඇගේ තරබාරු සිරුරත්, දෑස් වටා කළු වී ඇති අයුරුත් දුටුවිට ඔහුට ඇය කෙරෙහි අනුකම්පාවක් දැනුණි. ඇය ඔහු ළඟ වැඳ වැටෙද්දී ඇගේ හිසකෙස් නොසැලකිලිමත් ලෙස පාට ගන්වා ඇති බවත්, හිසකෙස් බෙදෙන ඉර පළල් වී තට්ටය පෑදී ඇති බවත් ඒ හරහා පිච්ච මල් වැලක් බුරුල්ව එල්ලා වැටෙන බවත් ඔහු දුටුවේය. පූජාව භාරගැනීමේ සංකේතයක් ලෙස ඈ අත වූ තැටිල්ල ඇඟිලි තුඩකින් ස්පර්ශ කළ ඔහු වදනකුදු නොදොඩා වීදිය ඔස්සේ යන්නට ගියේය.
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
From the Collection of short stories ‘Under the Banyan Tree and other Stories’ by R K Narayan, Published by Heinemann (1985)
Copyright free photo from PXhere