February 16, 2022

කතන්දර කියන්නා


Translation of the short story ‘The Storyteller’ by H H Munro

එය බොහෝ උණුසුම් සවස්වරුවක් වූ අතර දුම්රිය මැදිරියද ඊට අනුරූප ව ග්‍රීෂ්මාධික විය. ඊළඟ නැවතුම වූ ටෙම්පල්කෝම්බ් පිහිටා තිබුණේ පැයක දුරිනි. මේ දුම්රිය මැදිරියේ කුඩා දැරියන් දෙදෙනෙක් සහ පිරිමි දරුවෙක් සිටියහ. එක් කෙලවර අසුනක මොවුන්ගේ නැන්දා කෙනෙක් අසුන්ගෙන සිටි අතර අනෙත් කෙලවර අසුනෙහි සිටියේ මේ කණ්ඩායමට සම්බන්ධයක් නොමැති තනිකඩ පිරිමියෙකි. ඔහු ගැන වගක් නොමැතිව කුඩා දරුවෝ නිදහසේ මැදිරියේ සැරිසැරූහ. දරුවන් සහ නැන්දනිය අතර වරින් වර අනවරත ලෙස සිදුවූ කතාබහ ගෙමැස්සෙක්ගේ කරදකාරී ස්වරූපය සිහිපත් කළේ ය. නැන්දා කී බොහෝ දේවල් ඇරඹුණේ 'එපා,' යන්නෙන් වූ අතර දරුවන් කී හැම දෙයක්ම පාහේ ඇරඹුණේ 'ඇයි?' යන පැණයෙනි. තරුණයා කිසිවක් කීවේ නැත. කුඩා පිරිමි දරුවා දුම්රියේ ආසනවලට තඩි බාමින් දූවිලි අවුස්සන්නට වූ විට "එපා, සිරිල්, එපා," යැයි නැන්දා හඬ ගා කීවාය. "එන්න ජනේලයෙන් එළිය බලන්න," ඈ ඊට එක් කළාය.

කුඩා දරුවා කවුළුව අසලට ගියේ අකමැත්තෙනි. "අර බැටළු රංචුව ඒ පිට්ටනියෙන් වෙන පිට්ටනියකට දක්කාගෙන යන්නේ ඇයි?" ඔහු ප්‍රශ්න කළේය.

"එහෙම කරන්නේ අනෙත් පිට්ටනියේ වැඩියෙන් තණකොළ ඇති නිසා වෙන්න ඇති." නැන්දා දුර්වල හඬකින් කීවාය.

"ඉතින් කළින් පිට්ටනියේ ත් සෑහෙන්න තණකොළ තිබුණා නේ. මේ හැමතැනම තියෙන්නේ තණකොළ විතරයිනේ, නැන්දේ, ඒ පිට්ටනියේ ඇතිවෙන්න තණකොළ තිබුණා නේ."

"සමහරවිට අනෙත් පිට්ටනියේ තණකොළ වැඩිය හොඳ ඇති," නැන්දා මෝඩ ලෙස යෝජනා කළාය.

"ඇයි එහෙම වැඩියෙන් හොඳ වෙන්නේ?" ඇසුරු සැණින් නොවැලක්විය හැකි ප්‍රශ්නය ඉදිරිපත් විය.

"අර බලන්න අර හරක් රංචුව!" නැන්දා විශ්මය පිරුණු හඬකින් කීවා ය. දුම්රිය මඟ දිගටම, හැම පිට්ටනියකම හරක් රංචු සිටි නමුත් ඈ මෙවර උන් වෙත දරුවාගේ අවධානය යොමු කරන්නට තැත් කළේ එය කලාතුරකින් පෙනෙන දසුනක් වූ ලෙසිනි.

"අනෙත් පිට්ටනියේ තණකොළ වැඩියෙන් හොඳ ඇයි?" එහෙත් සිරිල් මුරණ්ඩු ලෙසින් විමසුවේය.

පිරිමියාගේ මුහුණෙහි වූ අප්‍රසන්න බැල්ම රැවුමක් බවට පත්වෙමින් තිබිණි. ‘කිසි අනුකම්පාවක් නැති තද මිනිහෙක්,’ නැන්දා ඔහුගේ පෙනුමෙන් තීරණය කළාය. ඒ වෙද්දී දෙවෙනි පිට්ටනියේ තණකොළ වල තත්ත්වය ගැන සතුටුදායක තීරණයක් දීමට ඇය සම්පූර්ණයෙන් අපොහොසත් ව සිටියාය.

කණ්ඩායමේ අවධානය වෙනස් අතකට යොමු කරමින් කුඩාම දැරිය "මන්ඩාලාවට යන පාර" නම් කවිය ගයන්නට විය. ඈ දැන සිටියේ ඒ කවියේ පළමු පදය පමණක් වූවත් ඒ දැනුමේ සම්පූර්ණ ප්‍රයෝජනය ලබාගැනීමට ඈ සමත් වූවා ය. ඇය එකම පදය නැවත නැවතත් ගායනා කළේ සිහිනමය නමුත් තද, තියුණු හඬකිනි. ඒ පදය නොනවත්වා දෙදහස් වාරයක් ගායනා කරන්නට කවුරුන් හෝ ඈ සමඟ ඔට්ටුවක් අල්ලා ඇති බවක් තරුණයා ට සිතුණි. ඒ ඔට්ටුව ඇල්ලූ තැනැත්තාට නම් ඔට්ටුව පරදින්නට සිදු වනු ඇත.

"මෙහෙ එන්න මම කතාවක් කියන්නම්," නැන්දා කීවේ ඔහු ඈ දෙස දෙවරකුත් හදිසි සංඥා ලණුව දෙස එක වරකුත් බැලූ පසුව ය.

දරුවන් දුම්රිය මැදිරිය හරහා ඔවුන්ගේ නැන්දා වෙත ආවේ අලසකමිනි. කතන්දර කීමට ඇගේ කුසලතාවය ගැන ඔවුන්ට වැඩි තක්සේරුවක් නොතිබුණු බවක් දිස් විය.

ඈ කතාන්දරය කීවේ පහත් හඬකින් වූ අතර ඇගේ අසන්නන්ගෙන් මතු වූ නොඉවසිලිමත් ප්‍රශ්න කිරීම් නිසා නිරතුරුව ඊට බාධා විය. කිසිම රසයක් නැති, උනන්දුවක් නොදනවන ඇගේ කතාව ගෙතී තිබුණේ ඉතා යහපත් ගතිගුණ ඇති කුඩා දැරියක් ගැනයි. මේ දැරිය ඇගේ යහපත් ගතිගුණ නිසා මිතුරන් රැසක් ඇතිකරගත් අතර කතාව අවසානයේදී පිරිසක් විසින් කෝප ගැන්වුණු ගොනෙක්ගෙන් ඇයව බේරාගනු ලැබෙන්නේ ඇගේ මේ යහපත් චරිත ලක්ෂණ ඔවුන් අගය කළ නිසා ය.

"එයා හොඳ නොවුණා නම් ඒ අය එයාව බේරාගන්නේ නැද්ද?" වැඩිමල් දැරිය විමසුවාය. තරුණයාට ද මේ ප්‍රශ්නය ම අසන්නට සිත් වී තිබිණි.

"ඔව් ඉතින්,” නැන්දා උදාසීන ලෙස කීවාය. "ඒත් එයාලා ඒ දරුවාට අකමැති නම් එයාව බේරගන්න ඔය තරම් හයියෙන් දුවන එකක් නැහැ."

"මම අහපු කතා අතරින් මෝඩ ම කතාව මේක." වැඩිමල් දැරිය ස්ථිර ලෙස කියා සිටියාය.

"ඒක කොයිතරම් මෝඩ කතාවක්ද කියනවානම් මම මුල ටිකෙන් පස්සේ ඇහුම්කන් දුන්නෙත් නැහැ." සිරිල් කීය.

කුඩාම දැරිය කතාන්දරය ගැන අදහසක් ඉදිරිපත් නොකළ නමුත් ඈ ඒ වෙද්දී පෙර කී කවියේ තම ප්‍රියතම පදය යළිත් මුමුණන්නට පටන්ගෙන තිබිණි.

"ඔයා ඒතරම් සාර්ථක කතන්දර කාරියක් නෙමෙයි වගේ නේද?" තරුණයා හදිසියේම මැදිරියේ කෙලවර සිට තම හඬ අවදි කළේය.

මේ හදිසි ප්‍රහාරය හමුවේ නැන්දා කෝප වූ බවක් පෙනුණි.

"පොඩි ළමයින්ට තේරුම් යන්න, එයාලාට ආසා හිතෙන විදිහේ කතාවක් කියන එක හරි ම අමාරු වැඩක්." ඈ දරදඬු කටහඬකින් කීවා ය.

"මම ඒ අදහස ට විරුද්ධයි," තරුණයා කීවේය.

"එහෙනම් ඔයා ට පුළුවන් නේ මෙයාලා ට කතාවක් කියලා දෙන්න." නැන්දා ඇනුම්පද ස්වරයෙන් පිළිතුරු දුන්නාය.

"ඔව්, අපිට කතාවක් කියන්න," වැඩිමල් දැරිය ඉල්ලා සිටියාය.

"ඔන්න එකමත් එක රටක," තරුණයා කතාව ආරම්භ කළේය. "බර්තා කියලා හරිම හොඳ ගෑනු ළමයෙක් හිටියා."

ලියලා වැඩී තිබුණු දරුවන්ගේ උනන්දුව මෙය අසා පසු බෑ බවක් පෙනුණි. කවුරුන් කීවද හැම කතාවකම අමුතු සමානකමක් ඇති බවක් ඔවුන්ට සිතෙමින් තිබිණි.

"එයා හැම තිස්සෙම වැඩිහිටියෝ කියන දේවල් ඇහුවා. ඇත්ත කතා කළා. එයාගේ ඇඳුම් පිරිසිදුව තියාගත්තා. එයා කිරි දාලා හැදුව පුඩිං කෑවේ නිකම් ජෑම් විස්කෝතු කන තරම් සතුටින්. එයා පාඩම් වැඩ බොහොම හොඳින් කළා, හැම තිස්සෙම ආචාරශීලීව හැසිරුණා."

"එයා ලස්සනද?" වැඩිමල් දැරිය ඇසුවා ය.

"ඔයාලා එක්කෙනෙක් තරම්වත් ලස්සන නම් නැහැ," තරුණයා පිළිතුරු දුන්නේ ය."හැබැයි එයා දරුණු විදිහට හොඳයි."

මෙය ඇසූ විට අසන්නන් තුළ කතාන්දරය ගැන යම් කැමැත්තක් ඇතිවූ බවක් දිස් විය. "හොඳ" යන වචනය සමඟ "දරුණු" වචනය පාවිච්චි වීම ම කැමැත්ත ඇතිකරවන සුළු නැවුම් බවක් ඉසිලීය. නැන්දා කියන කතන්දර වල නොමැති සත්‍ය බවක් මින් කතාවට එකතු වූ ලෙසක් පෙනුණි.

“එයා කොයිතරම් හොඳයිද කියනවා නම් එයාට ඒ හොඳකමට පදක්කම් කිහිපයකුත් හම්බවුණා. එයා හැමතිස්සෙම ඒවා එයාගේ ගවුමේ අමුණාගෙන හිටියේ. කීකරුකමට එක පදක්කමකුත්, වෙලාවට වැඩ කිරීමට තව පදක්කමකුත්, යහපත් හැසිරීමට තව එකකුත් එතැන තිබුණා. මේවා ලොකු යකඩ පදක්කම් නිසා එයා ඇවිදිද්ද්දී ඒවා එකිනෙක ගැටිලා සද්දයකුත් ආවා. එයා ජීවත් වුණු නගරයේ වෙන කිසිම ළමයෙකුට පදක්කම් තුනක් නම් හම්බවෙලා තිබුණේ නැහැ, ඒ නිසා එයා හොඳටම හොඳ ළමයෙක් වෙන්න ඕන කියලා හැමෝම දැනගෙන හිටියා."

"දරුණු විදිහට හොඳ ළමයෙක්" සිරිල් පෙරදී කී පදය උපුටා දැක්වී ය.

"මේ දැරියගේ හොඳකම ගැන හැමෝම කතාවුණා, අන්තිමේදී ඒ රටේ ඔටුනු හිමි කුමාරයාටත් ඒ ආරංචිය අහන්න ලැබුණා. කුමාරයා කිව්වා බර්තා මේ තරම් හොඳ නිසා එයාට සතියකට වතාවක් කුමාරයාගේ උද්‍යානයේ ඇවිදින්නට අවසර දෙන්න කැමති බව. මේ උද්‍යානය තිබුණේ නගර සීමාවෙන් පිට. ඒක බොහොම ලස්සන උද්‍යානයක් වුණත් මේකට කවදාවත් ළමයින්ට එන්න දුන්නේ නැහැ. ඒ නිසා බර්තාට මේ උද්‍යානයට යන්න ලැබුණ එක ලොකු ගෞරවයක්."

"ඒ උද්‍යානයේ බැටළුවෝ හිටියා ද?" සිරිල් ඇසුවේ ය.

"නෑ" තරුණයා පිළිතුරු දුන්නේ ය. "බැටළුවෝ නැහැ."

"ඒ මොකද ඒකෙ බැටළුවෝ නොහිටියේ?" ඒ පිළිතුරෙන් පැන නැඟෙන නොවැලක්විය හැකි ප්‍රශ්නය ඉනික්බිති මතුවිය.

නැන්දා තම මුවට සිනාවක් නැඟීමට ඉඩ දුන්නාය.

“කුමාරයාගේ අම්මා එක සැරයක් හීනෙන් දැකලා තියෙනවා කුමාරයා මරණයට පත්වෙන්නේ එක්කෝ බැටළුවෙක් නිසා එහෙම නැත්නම් ඔරලෝසුවක් නිසා කියලා. ඒ නිසා කුමාරයා උද්‍යානයේ බැටළුවෝ තියාගත්තේත් නැහැ මාලිගාවේ ඔරලෝසු තියාගත්තේත් නැහැ.”

මෙය අසා නැන්දා ගේ මුවින් ප්‍රසාදය දනවන ශබ්දයක් පිටවෙන්නට ගියත් ඇය එය යටපත් කර ගත්තාය.

“ඉතින් කුමාරයා මැරුණේ බැටළුවෙක් නිසාද ඔරලෝසුවක් නිසාද?”

“එයා තාම ජීවතුන් අතර ඉන්න නිසා අපට කියන්න විදිහක් නැහැ එයාගේ අම්මාගේ හීනේ හැබෑ වෙනවද නැද්ද කියලා.” තරුණයා ගණනකට නොගෙන කීවේය. “කොහොම වෙතත් ඒ උද්‍යානයේ එහේ මෙහේ දුවමින් පොඩි ඌරු පැටව් නම් සෑහෙන්න හිටියා.”

“උන් මොන පාට ද?”

“මූන සුදු පාට- කළු ඌරෝ, කළු තිත් තිබුණු- සුදු ඌරෝ, තනිකර කළු ඌරෝ, සුදු ලප තිබුණු- අළු ඌරෝ, තනි සුදු ඌරෝ, මේ ඔක්කොම වර්ග හිටියා.”

මේ උද්‍යානයේ තිබුණු අපූරු දේ ගැන විස්තර දරුවන්ගේ සිත් තුළට කිඳා බසින්නට ටිකක් ඉඩ දුන් තරුණයා නැවතත් කතාව ආරම්භ කළේ ය.

“උද්‍යානයේ මල් නොතිබුණු එක ගැන බර්තාට හරි දුක හිතුණා. එයා ඇස්වල කඳුළු පුරවාගෙන එයාගේ නැන්දලාට පොරොන්දු වෙලා තිබුණා කුමාරයාගේ මල් වත්තෙන් මල් කඩන්නේ නැහැ කියලා. එයාට ඒ පොරොන්දුව රකින්න වුවමනාව තිබුණා, ඒත් කඩන්න මල් නොතිබුණු නිසා එයාට දැනුණේ මහා මෝඩ හැඟීමක්.”

“ඇයි මල් නොතිබුණේ?”

“ඌරෝ ටික කාපු නිසා,” තරුණයා වහාම පිළිතුරු දුන්නේ ය. “උයන්පල්ලෝ කුමාරයා ට කියලා තිබුණා ඌරෝ යි මල් යි දෙජාතියම තියාගන්න බැහැ කියලා. ඉතින් එයා ඌරෝ තෝරාගෙන තිබුණා.”

කුමාරයාගේ ඒ තීරණයේ විශිෂ්ඨ බව අනුමත කරමින් ළමුන් අතර කසුකුසුවක් නැඟුණි. සාමාන්‍ය ජනතාව අතරින් බහුතරයක් දෙනා මේ තීරණය නොගන්නට ඉඩ තිබිණි.

“ඒ උද්‍යානයේ බොහොම අපූරු දේවල් තිබුණා. නිල් පාටත්, රත්තරන් පාටත්, කොළ පාටත් මාළු පිරුණු පොකුණු තිබුණා. එකපාරටම එක එක නුවණක්කාර දේවල් කියන ගිරව් රංචු ගස්වල හිටියා. ඒ උද්‍යානයේ හමින්බර්ඩ් කුරුල්ලෝ ජනප්‍රියම ගීත මිමිණුවා. බර්තා උද්‍යානයේ ඇවිදිමින් ලොකු විනෝදයක් ලැබුවා. “මම මේ තරම් ඉස්තරම් විදිහට හොඳ නොවුණා නම් මේ ලස්සන උද්‍යානයට ඇවිත් වටපිට බලමින් මෙහෙම විනෝද වෙන්න ලැබෙන්නේ නැහැ,” ඈ තමන්ටම කියාගත්තා. ඈ ඇවිදිද්දී ඇගේ පදක්කම් තුන එකට ගැටිලා නැඟුණු ශබ්දය නිසා එයාට නිරන්තරයෙන් මතක් කෙරුණා එයා කොයිතරම් හොඳද කියලා. ඒත් හදිසියේම මහා විශාල වෘකයෙක් වටපිට බලමින් උද්‍යානය මැද්දෙන් ඇවිදගෙන ආවේ රෑ කෑමට හොඳ පුෂ්ටිමත් ඌරු පැටියෙක් ඉන්නවාද කියලා සොයමින්.”

“ඌ මොන පාට ද?” ළමෝ තීව්ර වූ උනන්දුවෙන් යුතුව විමසුවහ.

“උගේ මුළු ඇඟම මඩ පාටයි, දිව කළු පාටයි. උගේ ලා අළු පාට ඇස් දෙක හිතන්නවත් බැරි නපුරුකමකින් දිලිසුණා. උද්‍යානයට ඇතුල් වුන ගමන්ම ඌ දැක්කේ බර්තා ව. බර්තා ඇඳගෙන හිටිය ගවුමේ කොයිතරම් බබලන සුදු පාටක් තිබුණා ද කියනවානම් ඒක ඈත තියාම පැහැදිලිව පෙනුණා. බර්තාත් වෘකයාව දැක්කා. මේ උද්‍යානයට එන්න අවසර නොලැබුණා නම් කොයිතරම් හොඳ ද කියලා එයාට හිතෙන්න ගත්තා. එයා හයියෙන් දුවලා ගියා, ඒත් වෘකයා බොහොම වේගයෙන් එයාගේ පිටිපස්සෙන් එලවාගෙන ආවා. බර්තා දුවලා ගිහින් මර්ටල් පඳුරු ගොල්ලකට ළඟා වෙලා ඉන් ලොකුම පඳුර අස්සේ හැංගුනා. වෘකයා පඳුරු ඔස්සේ ඉව කරමින් එද්දී උගේ කළු පාට දිව කටෙන් එළියට ඇදිලා තිබුණේ. උගේ ඇස් දෙක කේන්තියෙන් දිලිසුණා. බර්තා හිටියේ හොඳටම බයවෙලා. “මම මේ තරමට ඉස්තරම් විදිහට හොඳ නොවුණා නම් මේ වෙද්දී බොහොම පරෙස්සමට නගරයේ ඉන්න තිබුණා.” එයා තමාටම කියාගත්තා. ඒත් මර්ටල් මල් වල පුසුඹ බොහොම සැරට දැනුණු නිසා බර්තා හැංගිලා හිටිය තැන වෘකයාට හොයාගන්න බැරි වුණා. ඒ පඳුරු ටිකත් ගන සැරේට හැදිලා තිබුණු නිසා බර්තාව හොයාගන්න සෑහෙන්න වෙලාවක් ගතවෙන්න ඉඩ තියෙන බව වෘකයාට තේරුණා. ඒ නිසා ඌරු පැටියෙක් හොයාගෙන කන එක ඊට වඩා ලේසියි කියලා ඌට හිතුණා. වෘකයා තමන්ගේ ළඟින්ම එහෙ මෙහෙ යද්දී බර්තා බයෙන් වෙව්ලමින් හිටියේ. එයා වෙව්ලද්දී කීකරුකම වෙනුවෙන් ලැබුණු පදක්කම යහපත් හැසිරීමට ලැබුණු පදක්කමේත්, වෙලාවට වැඩ කිරීම වෙනුවෙන් ලැබුණු පදක්කමේත් ගැටුණා. මෙතැනින් ඉවතට යමින් හිටිය වෘකයාට මේ සද්දේ ඇහිලා ඌ ටිකක් නතරවෙලා අහගෙන හිටියා. පදක්කම් ගැටෙන සද්දේ ඇහුණේ ඌට කිට්ටු පඳුරකින්. වෘකයා පඳුරට පනිද්දී උගේ අළු පාට ඇස් නපුරුකමිනුත් ජයග්‍රාහී බවිනුත් දිලිසුණා. ඌ බර්තාව පඳුරෙන් එළියට ඇදලා අරගෙන කෑල්ලක්වත් ඉතුරු නොකර කාලා දැම්මා. අන්තිමට ඉතුරු වුණේ බර්තා ගේ සපත්තු දෙකයි, ඇඳුමෙන් කෑල්ලකුයි, ඉස්තරම් විදිහට හොඳට හැසිරීම නිසා ලැබුණු පදක්කම් තුනයි විතරයි."

“අන්තිමේදී ඌ ඌරු පැටවු මැරුවේ නැද්ද?”

“නෑ උන් ඔක්කොම බේරුණා.”

“මේ කතාවේ පටන්ගැන්ම හරි නැති වුණත් ඒකට බොහොම ලස්සන අවසානයක් තියෙනවා.” බාලම දැරිය කීවාය.

“ඒක තමයි මම අහලා තියෙන ලස්සනම කතාව.” වැඩිමල් දැරිය දැඩි තීරණාත්මක හඬින් කීවාය.

“ඒක තමයි මම අහලා තියෙන එකම ලස්සන කතාව,” සිරිල් කීවේය.

නැන්දාගෙන් නැඟුනේ මීට විරුද්ධ අදහසකි.

“පොඩි දරුවන්ට කියා දෙන්න වටිනා කතාවක්ද ඒක? මෙයාලාට අවුරුදු ගාණක් තිස්සේ ප්‍රවේසමෙන් ඉගැන්නුව දේවල් ඔක්කොම අනතුරේ දැම්මා”

“ඒ කොහොම වුණත්, මම එයාලාව විනාඩි දහයක් නිහඬව තියාගත්තානේ. ඔයාට ඒකවත් කරන්න බැරි වුණා නේ.” තරුණයා පිළිතුරු දුන්නේ දුම්රියෙන් පිටවීමට සූදානම්ව තම බඩු බාහිරාදිය එක් රැස් කරගනිමිනි.

“එයා මහා අසතුටින් ඉන්න ගෑනියෙක්!” ටෙම්පල්කෝම්බ් දුම්රියපළේ වේදිකාව ඔස්සේ ඇවිද යමින් ඔහු තමාටම කියා ගත්තේ ය. “තව මාස හයක් යනකම් ඔය ළමයි ටික පොදු තැන් වලදී නොගැලපෙන කතාවක් ඉල්ලලා එයාට වධ දෙන බවට කිසි අනුමානයක් නැහැ!”

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
photo- pxhere




10 comments:

  1. නියම කතාවක්.ස්තූතියි.🙏👌😊

    ReplyDelete
  2. හැමදාම බණ කියන අපේ හාමුදුරුවරුන්ට කියවන්නත් මේ කතාව හොඳයි.

    ReplyDelete
  3. ෂෝක් කතාව (and, as usual, your translation).

    මම නිරීක්ෂනය කරලා තියෙන දෙයක් තමයි පොදු ස්ථාන වලදි (උදා. air port boarding areas), සාමාන්‍යයෙන් දෙමව්පියන්ට හෝ අනිත් වැඩිහිටියන්ට වැඩියෙන් වද දෙන්නෙ දකුනු ආසියාතික හා middle-eastern පවුල්වල ලමයි කියලා. මට හිතෙන්නෙ ඒකට හේතුව communication style එක. හැමවෙලේම කියන්නෙ 'එපා', නැත්නම් ප්‍රශ්නයක් ඇහුවොත් 'දන්නෙ නෑ', 'පන්ඩිතකම් කතා කරන්න එපා' කියලා. ඊට සාපේක්ශව westerners හැමවිටම පොඩ්ඩන් එක්ක interactive communication එකක යෙදෙනවා. 'අපි යන්නෙ මේ මේ තැන්වලට, ඔයා කැමතියි නේද', 'නැත්නම් ඔයා කැමති කොහොමද' වගේ අහමින් පොඩ්ඩන්වත් decisions වලට හවුල් කරගන්න නිසා.

    ReplyDelete
    Replies
    1. Thank you Lotus

      ඒක සහතික ඇත්ත. ඒ වගේ පොදු තැන්වලදී තමයි අපි ඒවා දකින්නේ, ගෙදරදීත් ඔහොම ඇති. ළමයින්ට තිස්සෙම එපා කියන එක ඒ වෙනුවට වෙන විකල්පයක් දෙන්නේ නැති එක ආසියාතික දෙමව්පියන්ගේ පොදු ලක්ෂණයක්. ළමයි ළමයි බව අමතක, එයාලා වැඩිහිටියෝ වගේ එක තැනක වාඩිවෙලා පිළිවෙලට ඉඳීවි කියලා බලාපොරොත්තු වෙන එක තමයි මීට හේතුව. දරුවාටත් වටිනාකමක් දීලා ගෞරවයක් දීලා treat කරන එක මමත් මේ රටවල දෙමව්පියන්ගෙන් නිරීක්ෂණය කළ හොඳ ලක්ෂණයක්.

      Delete
  4. හරිම ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
  5. ළමයි ප්‍රශ්න අහනව හැම දෙයක් ගැනම. ඒක දිගින් දිගටම පෝෂණය කළොත් හරි තොරතුරුවලින්, ගොඩක් වෙලාවට ලොකු වුණහම ළමය දක්ෂයෙක් වෙයි. අලි පැටියට හොඬවැලක් හම්බුණෙත් ඒ විදිහෙ කුතුහලයක් නිසාලු කියල රඩියාඩ් කිප්ලිං ගෙ කතාවක තියෙනව.

    ReplyDelete