March 30, 2021

රාජම්ගේ වික්‍රම

ස්වාමි සහ යාලුවෝ (තුන්වන පරිච්ඡේදය)

Translation of  Chapter 3 of the book Swami & Friends by R. K Narayan




ස්වාමිනාදන් ගේ ආච්චි ජීවත් වූයේ ගෙදර සාලයත් කෑම කාමරයත් අතරේ තිබුණු පටු අඳුරු තීරුවේය. ඇගේ සියලුම බඩු බාහිරාදිය ඒ කොටසේ තිබුණි. ඇගේ විසිතුරු ඇඳ බුමුතුරුණු පහකින්, ඇඳ ඇතිරිලි තුනකින් සහ කොට්ටා පහකින් සමන්විත විය. එහි පන් කොළ පෙට්ටියක්, තඹ කාසි, කරදමුංගු, කරාබු නැටි, පුවක් ආදිය තිබුණු කුඩා ලී පෙට්ටියක්ද විය.

රෑ කෑමෙන් පසු ආච්චිගේ තුරුලට වී, ඇගේ උකුලේ හිස තබාගෙන හිඳිද්දී කරදමුංගු කරාබුනැටි සුවඳ මැද ස්වාමිනාදන් ට බොහොම සුවපහසු, සුරක්ෂිත බවක් දැනුණි.

"ආච්චි!" ඔහු සතුටින් කෑ ගැසුවේය. "ආච්චි දන්නේ නැහැ, රාජම් මරු කොල්ලෙක්!" ඉන්පසු ඔහු රාජම් සහ මනී අතර මුලින් ඇති වුණු සතුරු කමත්, ඉන්පසු ඇති වුණු මිතුරු කමත් පැහැදිලි කළේය.

"දන්නවාද? එයාට පොලිස් ඇඳුමකුත් තියෙනවා" ස්වාමිනාදන් කීය.

"හැබෑද? ඒ මොකටද එයාට පොලිස් ඇඳුමක්?" ආච්චි ඇසුවාය.

"එයාගේ තාත්තා තමයි පොලිසියේ ලොක්කා. මෙහෙ ඉන්න ඔක්කොම පොලිස්කාරයන්ගේ ලොක්කා." ඒ බව අසා ආච්චි පුදුම වුණු බවක් පෙනුණි. සැබෑවටම එය බොහොම ඉහළ තානාන්තරයක් වෙන්නට ඇති යැයි ඈද කීවාය. ඇගේ සැමියා- ස්වාමිනාදන් ගේ සීයා- බොහොම බලගතු උප මහේස්ත්‍රාත් කෙනෙක් හැටියට රාජකාරි කළ කාලයේ පොලිස් නිලධාරීන් ඔහු ඉදිරියේ වෙවුලුම් කෑ හැටි ගැනත්, දරුණුම හොරුන් ඔහුව දැකලා පැනලා දිවූ අයුරු ගැනත් ඈ ඉන්පසු විස්තර කියන්නට විය. ආච්චි කතාව ඉවර කරන තුරු ස්වාමිනාදන් බොහොම ඉවසිල්ලෙන් බලාගෙන සිටියේය. ඒත් ඈ විස්තර, වකවානු පටලවමින් දිගටම කතා කළාය.

"ඔය ඇති ආච්චි" අවසානයේදී ඔහු බොහොම අවිනීත විදිහට කීවේය. "ඉන්නකෝ මම රාජම් ගැන දෙයක් කියන්න. ආච්චි දන්නවාද එයාට ගණිතයට ලකුණු කීයක් ලැබුණාද කියලා?"

"එයාට සම්පූර්ණ ලකුණු ලැබුණාද දරුවෝ?" ආච්චි ඇසුවාය.

"නැහැ අනේ! එයාට ලකුණු සීයෙන් අනූවක් ලැබුණා."

"බොහොම හොඳයි, උඹත් එයා වගේ ලකුණු ගන්න ඕන, හරිද? උඹ දන්නවාද ස්වාමි, ඉස්සර උඹේ සීයා දෙන උත්තර වලට සමහර වෙලාවට පරීක්ෂකවරු බයවෙනවාලු. අනෙත් අයට යන වේලාවෙන් දහයෙන් පංගුවක් වත් යන්නේ නැහැලු සීයාට ප්‍රශ්නවලට උත්තර දෙන්න. විභාගේ සමත් වුණු වෙලාවේ සීයාට විසාල පදක්කමක් ලැබුණා!"

"මම අවුරුදු ගණනාවක් ම ඒ පදක්කම මාල පෙත්තක් වගේ දාගෙන හිටියා. කොයි කාලේද මම එක ගැලෙව්වේ? ඔව්, උඹේ නැන්දා ඉපදුණු වෙලාවේ… නෑ නැන්දා ඉපදුණු වෙලාවේ නෙමෙයි, උඹේ තාත්තා ඉපදුණු වෙලාවේ.. මට මතක හැටියට ඉපදිලා දහ වෙනි දවසේ … නෑ.. නෑ..මට මතක තිබුණා හරි, ඒ උඹේ නැන්දා ඉපදුණු වෙලාවේ තමයි. කෝ දැන් ඒ පදක්කම? මම ඒක උඹගේ නැන්දාට දුන්නා- ඒකි ඒක මකවලා වළලු හතරක් හදාගත්තා. මෝඩ ගෑනි! ඒවා මහා තුනී වළලු! මම හැමදාම කියන්නා වගේ අපේ පවුලේ අයගෙන් ලොකුම මෝඩි ඒකි තමයි.."

"අයියෝ ඇති ආච්චි! කිසි වැඩකට නැති පරණ කතා ගැන වදවෙන්නේ මොකටද? මම රාජම් ගැන කියන කතා අහගෙන ඉන්නේ නැතිද?"

"ආ ඔව්... ඔව් කියපන්"

"ආච්චි, රාජම් පොඩි කාලේ එයා කොටියෙක් මරලා තියෙනවාලු"

"හැබෑට? හරි නිර්භීත ළමයෙක් නේ"

"ආච්චි ඔහොම කියන්නේ මාව සතුටු කරන්න. ආච්චි ඒක විශ්වාස කරන්නේ නැහැ නේද?"

ස්වාමිනාදන් බොහොම උනන්දුවෙන් ඒ කතාව කියන්නට විය. රාජම් ඔහුගේ පියා සමඟ දවසක් කැලෑවේ නැවතුණු අයුරු, කොටි දෙදෙනෙක් හදිසියේ කඩා පැන්න අයුරු,. ඉන් එකෙක් පසුපසින් ඇවිදින් තාත්තාව බිම දැමූ අයුරු ඔහු විස්තර කළේය. අනෙත් කොටියා රාජම් ව එළවාගෙන යද්දී ඔහු පඳුරක් පසුපස හැංගී ඌට මැරෙන්නම වෙඩි තිබ්බේලු. "ආච්චි, ඔයා නිදිද?" කතාවේ අන්තිමදී ස්වාමිනාදන් ඇසුවේය.

"නෑ නෑ කොල්ලෝ මම අහගෙන ඉන්නේ"

"එහෙනම් කියන්න බලන්න රාජම් ගේ ඇඟට කොටි කීදෙනෙක් පැන්නා ද?"

"රාජම්ගේ ඇඟට කොටි දෙන්නෙක් විතර පැන්නානේ" ආච්චි පිළිතුරු දුන්නාය.

ආච්චි මේ ආකාරයට කරුණු වැරදියට කීම ගැන ස්වාමිනාදන් ට කේන්තියක් ඇතිවිය. "මම මෙතැන උගුර බැරැන්ඩි වෙනකම් වැදගත් දේ කියනවා, ඔයාට ඒ මැදදී නින්ද ගිහින් වෙන වෙන මනස්ගාත ඔළුවට එනවා. මම ආයෙත් නම් ඔයාට කිසි දෙයක් කියන්නේ නැහැ. මම දන්නවා ඔයා මේ ගැන උදාසීන ඇයි කියලා. ඔයාට රාජම් ව පෙන්නන්න බැහැ."

"නෑ නෑ එයා හොඳ අපූරු කොල්ලෙක්" ආච්චි රාජම් ව කිසිදිනෙක දැක නැති වූවත් එසේ කීවේ ඇත්තටම මෙනි. එය අසා ස්වාමිනාදන් ට සතුටක් දැනුණි. නමුත් ඒ සමඟම ඔහුට අලුත් සැකයක් ඇතිවිය.

"ආච්චි සමහරවිට ඔයා අර කොටියාගේ සිද්ධිය විශ්වාස කරන්නේ නැතිව ඇති"

"නෑ මම ඒ කතාවේ හැම වචනයක්ම විශ්වාස කරනවා" ආච්චි කරුණාවෙන් කීවාය.

ඒ බව අහලා ස්වාමිනාදන් ට සතුටක් දැනුණි. "එයා බොරුකාරයෙක් කියලා චෝදනා කරන ඕනෑම කෙනෙකුට එයා වෙඩි තියන්න ඉඩ තියනවා" ඔහු ඊට එකතු කළේ තර්ජනයක් හැටියටය.

ඉන්පසු ආච්චි හරිස්චන්ද්‍ර රජුගේ කතාව කියන්නට අරඹන්නට අවසර ඉල්ලුවාය. හරිස්චන්ද්‍රට තමන්ගේ නමේ හැටියටම රජකමත් බිරිඳ ත් දරුවාත් අහිමි වී නැවතත් අන්තිමේදී ඒ හැම දේම ලැබේ. කතාවේ මැදදී ස්වාමිනාදන් නින්දෙන් තාලෙට ගොරවන හඬ ඇසුණු බැවින් ආච්චිත් නිදාගන්නට හාන්සි වූවාය.

සෙනසුරාදා හවස. සෙන්සුරාදාවල් ඉරිදාවල් එළඹුණේ බොහොම කලාතුරකින් බැවින් ස්වාමිනාදන් ට සිතුණේ ගෙදර සිට ආච්චි හෝ අම්මා හෝ සමඟ ඕපාදූප කියමින්, ගණන් හදමින් ඒවා නාස්ති කරගැනීම මහා විකාරයක් බවයි. හවස්වරු වල රස්තියාදු නොගසා ගෙදර සිට පාසලේ වැඩ කළ යුතු බව තාත්තා නම් ස්වාමිනාදන්ට පැහැදිලිවම අණ දී තිබුණි. නමුත් මේ අණ පිලිපැදුනේ කලාතුරකිනි.

ස්වාමිනාදන් තමන්ගේ පාඩම් කාමරයේ නොඉවසිල්ලෙන් හිඳගෙන ඉංග්‍රීසි පොතේ තිබුණු කවියක තේරුමක් තේරුම්ගන්න උත්සාහ කරන බවක් පෙන්වමින් සිටියේය. ඔහුගේ තාත්තා සේද කබාය හැඳගෙන කණ්නාඩිය ඉදිරිපිට සිටගෙන තලප්පාව බඳිමින් විය. ඊළඟට තිබුණේ ඇස් කණ්නාඩි පැළඳීමයි. ස්වාමිනාදන් බොහොම උනන්දුවෙන් මේ ක්‍රියාවලිය නැරඹුවේය.

තාත්තා ඇස් කණ්නාඩියත් පැළඳු පසු ඉතිරිව තිබුණේ ඔරලෝසුව බැඳීමයි. ස්වාමිනාදන්ට සතුටක් දැනුණි. මේ අවසාන කාර්යයට පසු තාත්තා උසාවිය බලා පිටත් වේ. එවෙලේම එක අතක වතුර ජෝගුවකුත් අනෙත් අතේ බුලත්, පුවක් තැටිල්ලකුත් රැගෙන අම්මා එතැනට ආවාය. තාත්තා වතුර බී අම්මා වෙතට අත දිගු කළේය. අම්මා ඔහුට පුවක් ටිකක් සමඟ සීරුවට නැවූ බුලත් කොළ දුසිම් බාගයක් දුන්නාය. ඔහු ඒ සියල්ලම මුවේ ලාගෙන මහත් සතුටින් හපන්නට විය. ස්වාමිනාදන් ලොම් පිරුණු බැටළුවෙක් ගැන තිබුණු කවිය මහා හඬින් කියන්නට ගත්තේය. තාත්තා රිදී දුම්කුඩු පෙට්ටියක් සහ ගෙදර තිබුණු රෙදි අතරින් කිසි දවසක නොසේදූ බවක් පෙනුණු තිත් වැටුණු ලේන්සුවක් ගෙන මොන මොනවාදෝ කරන්නට විය. ඉන්පස්සේ ඔහු බාහුවේ කුඩය එල්ලා ගත්තේය. සාමාන්‍යයෙන් මෙය ගමන ඇරඹෙන බවට අන්තිම සලකුණයි. මේ වෙද්දී ස්වාමිනාදන් උන්නේ පොත වසා දමා නැගිටින්නට ඔන්න මෙන්නයි. තාත්තා කාමරයෙන් පිටතට යන්නට ඉතිරිව තිබුණේ තව මොහොතයි. අම්මා තාත්තාව නවත්වා "ඒක නෙමෙයි, මට මාරු සල්ලි ඕන, අද ඇඳුම් මහන මනුස්සයා එනවා. පහුගිය දවස් හතරේම ඒ මිනිහා මගෙන් සල්ලි ඉල්ලලා කරදර කළා" කීවාය. ස්වාමිනාදන් මේසය යට තමන්ගේ අඩි හප්පන්නට විය.

"හෙට එන්න කියන්න" තාත්තා කීවේය. එහෙත් අම්මා බල කළ නිසා ඔහු නැවතත් තමන්ගේ ලියන මේසයට ගොස්, එහි යතුරු සොයා විවර කර, ඉන් පසුම්බියක් ගෙන ඈ ට මාරු සල්ලි දුන්නේය

"මේ මාසේ ඉතිරි වියදම් කොහොම කරන්නද මන්දා" ඔහු කීවේ පසුම්බියට එබී බලමිනි. ඉනික්බිති ඔහු ලියන මේසය යතුරු ලා, කැඩපතින් බලා තලප්පාව සකසාගෙන, හොඳ දුම්කුඩු උගුරක් ඇද, නහය ලේන්සුවෙන් පිසදා එළියට ගියේය. ස්වාමිනාදන් සැනසුම් සුසුමක් හෙලුවේය.

"දොර අගුල් දාගන්න" තාත්තාගේ කටහඬ පිටත දොරටුව දිහාවෙන් විහිදිණි.

දොර අගුල් වැටෙන හඬ ස්වාමිනාදන් ට ඇසුණි. තාත්තා වංගුවෙන් හැරී යනතුරු ජනේලයෙන් බලා උන් ඔහු ඉනික්බිති එතැනින් ඉවත් විය.

කෝකියාට හවස කෝපි වේල පිළියෙළ කිරීම ගැන උපදෙස් දෙමින් අම්මා කුස්සියේ සිටියාය. ආච්චි සිටියේ තම ඇඳේ වාඩිවී ය. "කොලුවා මෙහෙ වරෙන්" ආච්චි ඔහු දුටු ගමන් බෙරිහන් දෙන්නට විය.

"මට බැහැ, දැන් වෙලාව නැහැ"

"වරෙන්කො, මම උඹට කැවුම් තුනක් දෙනවා" ඈ කෑ ගෑවාය.

ස්වාමිනාදන් ඒ පොරොන්දුව ගණනකට නොගෙන දිව ගියේය.

"කොහෙද උඹ යන්නේ?" අම්මා ප්‍රශ්න කළාය.

"මම ගමනක් යන්න ඕන" ස්වාමිනාදන් බොහොම බැරෑරුම් මුහුණකින් පිළිතුරු දුන්නේය.

"උඹ අව්වේ රස්තියාදු ගහන්න නේද යන්නේ?"

"අපොයි නැහැ" ඔහු බොහොම කෙටියෙන් කීය.

"කිසි පරෙස්සමක් නැතිව එහෙ මෙහෙ ඇවිදලා උණ හදාගන්න?"

“නැහැ අම්මා මම එහෙ මෙහෙ ඇවිදින්න නෙමෙයි යන්න හදන්නේ"

"තාත්තා කීවා නේද නිවාඩු දවස්වල ගෙදර ඉන්න කියලා?"

"ඔව් ඒත් මගේ චිත්‍ර ගුරුවරයා මට කීවා ඇවිත් එයාව මුණගැහෙන්න කියලා" ඔහු දුක්මුසුව කීවේය. "මම චිත්‍ර විභාගෙන් අසමත් උනොත් ඔයා තමයි වගකියන්න ඕන!"

ස්වාමිනාදන් ග්‍රොව් වීදිය දිගට දිවගොස් දකුණට හැරී අබු පාර ඔස්සේ ඇවිදගෙන ගියේය. වහලය පහත, කිසි ඔපයක් නැති නිවසක් ඉදිරිපිට නැවතුණු ඔහු පහත් හඬකින් උරුවම් බාන්නට විය. මොහොතක් බලා හිඳ ඔහු යළිත් වතාවක් උරුවම් බෑවේය. දොරේ දම්වැල ඉවත් කෙරෙන හඬ නැඟී, දොර මඳක් විවර වී මනී ගේ මුහුණ මතු විය.

"මෝඩයා! මගේ නැන්දා ඉන්නවා, ගෙට එන්න එපා. මම එනකම් අර ඈතට වෙලා හිටපන්"

ස්වාමිනාදන් එතැනින් ඉවත් වී ගසක සෙවනට වී සිටියේය. ඉර එළිය බොහොම තදින් පොළොවට වැටෙමින් තිබුණි. පාරේ කිසි කෙනෙක් නොසිටි තරම් විය. කානුවක් අද්දර බූරුවෙකු තමන්ගේ පැහැදිලි හෙවනැල්ල දෙස ඉවසිල්ලෙන් බලා සිටියේය. හරකෙක් පළල් කොළ පාට කෙසෙල් කොලයක් හපනු පෙනුණි. ටික වෙලාවක් යද්දී මනී හෙමින් සීරුවේ ඔහුගේ නිවසින් පිටතට ආවේය.

රාජම් ගේ තාත්තා වාසය කළේ ලෝව්ලි ව්‍යාප්තියේය. (එය නම් කර තිබුණේ කලක් මල්ගුඩි ප්‍රදේශයේ ප්‍රධාන ඉංජිනේරු හැටියට සේවය කළ ෆ්‍රෙඩ්රික් ලෝව්ලි ගේ නමිනි) මෙහි බොහොම අලංකාර බංගලා පනහක් පමණ තිබුණු අතර, ඒවායින් වැඩි ප්‍රමාණයක වාසය කළේ රාජ්‍ය නිලධාරීන්ය. ට්‍රිචිනපලි වෙත සම්බන්ධවෙන මාර්ගය මේ නිවාස පෙළට යාර කිහිපයක් එහායින් වැටී තිබුණි.

රාජම් ගේ නිවස වෙත යන අඩිපාර ඔස්සේ ස්වාමිනාදන් සහ මනී බොහොම බයාදුව යමින් සිටියහ. ඔවුන්ව දැක නිල ඇඳුම් ඇඳගත් පොලිස්කාරයෙකු නවතින්න කියා කෑගසමින් දිව ආවේය. ස්වාමිනාදන්ට නම් සිතුනේම ආපහු හැරී පැනලා දුවන්නට ය. පොලිස්කරු හා කතාකරන්නයැයි ඔහු මනීට බැගෑපත් විය. ඔවුන් එතැනට ආ හේතුව පොලිස්කරු විමසූ විට "රාජම් ගෙදර ඉන්නවා නම් අපි ආවේ එයාව හම්බවෙන්න. එයා අපිට එන්න කීවා," මනී ඕනෑවටත් වඩා අප්‍රවේසම්කාරීව පිළිතුරු දුන්නේය. එය අසා පොලිස්කරු පුදුම ආකාරයට මිතුරු වෙසක් ගෙන ඔවුන්ව රාජම් ගේ කාමරයට කැඳවාගෙන ගියේය.

මනීටත් ස්වාමිනාදන්ටත් දැනුණේ ඒ කාමරය මහා විශාල එකක් බවයි. එහි ඇත්තම පුටු තිබුණු අතර රාජම් ගේ පොත්පත් පිළිවෙලට ඇහිරූ විශාල මේසයක්ද එහි විය. ඔවුන් වඩාත්ම පුදුම වුණේ මේසය මත තිබුණු ටයිම්පීස් ඔරලෝසුව දැකීමෙනි. මේ තරම් පොඩි කොල්ලෙක් ටයිම්පීස් ඔරලෝසුවක අයිතිකරුවෙක්! ඔහුගේ තාත්තා පුදුම සහගත මනුස්සයෙක් විය යුතු බව ඔවුන්ට සිතුණි.

ටික වෙලාවකින් රාජම් කාමරයට ඇතුල් විය. තමන්ගේ යහළුවන් ඇවිත් ඇති බව දැන හිටියත් ඔහු ඔවුන්ව මඳ වෙලාවක් රස්තියාදු කළේ ඔහුගේ තාත්තාත් එලෙසම කරන බව දැක තිබුණු නිසායි. ඒනිසා ඔහු නියපොතු හපමින් යාබද කාමරයේ මිනිත්තු කිහිපයක් ගත කර තිබුණි. තවත් ඉවසන්නට බැරිවුණු විට ඔහු යාළුවන් සොයා කාමරයට කඩා වැදුණේය.

"වාඩි වෙන්න කොල්ලනේ, වාඩි වෙන්න" ඔවුන් හිටගෙන උන් බව දැක ඔහු කෑ ගැසුවේය. නොබෝ වෙලාවකින් ඔවුන් අනම් මනම් දොඩන්නට විය. ගුරුවරුන් ගැන, පන්තියේ සගයන් ගැන, දෙමව්පියන් ගැන, සෙල්ලම් ගැන, සෙල්ලම් බඩු ගැන ඔවුහු කතාකළහ.

රාජම් ඔවුන් ව අල්මාරියක් වෙත කැඳවාගෙන ගොස් එහි දොරවල් හැර දැමූ විට එහි තිබුණු අරුම පුදුම දේ ඔවුහු දුටුවහ. එහි පුංචි දුම්රිය කට්ටල, විස්මිත යාන්ත්‍රික සෙල්ලම් බඩු, විජ්ජාකාරී ලාම්පු, ලොකු පින්තූර පොත් ගොන්නක් සහ තවත් දේ සිය ගණනක් තිබුණි.

මනී නම් වැඩියෙන්ම උනන්දුවක් දැක්වූයේ කාමරයේ කෙළවරක තිබුණු භයානක පෙනුමකින් යුතු වායු තුවක්කුව ගැනය. රාජම් ඔවුන්ට කැමති ඕනෑම දෙයක් අතපත ගා බලන්නට අවසර දුන්නේය. ස්වාමිනාදන් කාමරය පුරා සෙල්ලම් කෝච්චියක් යවමින් සිටියේය. මනී ඉදිරිපස බිත්තියට දුන්නකින් නොනවත්වාම ඊතල විදිමින් විය. ඒ ක්‍රීඩාවෙන් හෙම්බත් වුණු පසු ඔහු තුවක්කුව ගෙන ඊයම් මුනිස්සම් වලින් ලී බඩු වලට වෙඩි තියමින් ඒවා පලුදු කරන්නට පටන් ගත්තේය.

"තමුසෙලා කාට හරි බඩගිනි ද?" රාජම් විමසුවේය.

"නෑ" ඔවුන් කීවේ ඕනෑවට එපාවට මෙනි.

"ඒයි" රාජම් කෑ ගැසුවේය. එය ඇසී පොලිස්කරුවෙක් කාමරයට ඇතුළු විය.

"ගිහින් කෝකියාට කියනවා තුන්දෙනෙකුට කෝපි යි, කෙටි කෑම මොනවා හරියි ගේන්න කියලා." ඔහු ආයාසයක් නැතිවම ඒ අණ දුන්නු විදිහත් ඔහුගේ බලපුළුවන්කාරකමත් ගැන අනෙත් දෙදෙනාට මහත් පුදුමයක් සහ ප්‍රසාදයක් දැනුණි.

කෑම වර්ග රැසක් පිරුණු බන්දේසියක් ගෙන කෝකියා කාමරයට පැමිණියේය. ඔහු එය මේසය මත තබද්දී තමන්ගේ බලය පෙන්වන්නට මේ හොඳ වේලාවක් බව රාජම් ට සිතුණි.

"ඕක මේසෙන් අයින් කරපන්!" ඔහු කෝකියාට කෑ ගැසුවේය.

කෝකියා එය මේසයෙන් ඉවත් කර පුටුවක් උඩින් තැබුවේය.

"මෝඩ බූරුවා, ඔතැන තියන්නත් එපා, අයින් කරපන්"

"කොහෙන්ද රාජු මම ඒක තියන්න ඕන?" කෝකියා ඇසුවේය.

"තක්කඩියා! කපටියා! උඹ මට එකට එක කියන්න එනවාද?"

කෝකියා මූණ ඇද කර තමන්ටම මොනවාදෝ මුමුණා ගත්තේය.

"ඕක මේසය උඩින් තියපන්" රාජම් අණ කළේය.

"මට ඔහොම කිසි සැලකිල්ලක් නැතිව කතාකරනවා නම් මම ඒ වග ඔයාගේ අම්මාට කියනවා" ඒ අණ පිළිපදින ගමන් කෝකියා හෙමින් සැරේ කීවේය.

"ඉතින් කියපන්, මම බය වෙයි," රාජම් ගෝරනාඩු කළේය.

ඉනික්බිති ඔහු කෝප්පයක් තුළට එබී බලා එය කිළුටු බව කියමින් කෝකියාට බැණ වදින්නට විය. කෝකියා වරක් හිස ඔසවා ඔහු දෙස බලා "කෑම ඕන නම් කුස්සියට ඇවිත් කන්න" කියමින් බන්දේසිය ගෙන යන්නට ගියේය.

කෑම කන්නට බලාගෙන කටට කෙළ උනමින් උන් ස්වාමිනාදන්ට සහ මනීට ඒ සිද්ධිය මහත් කළකිරීමක් විය. යහළුවන් ඉදිරිපිට තම සේවකයාගෙන් අපහාස විඳින්න ලැබීම රාජම් ට නම් මහා දරුණු පහරක් සේ දැනුණි. ඔහු මොහොතක් නිසොල්මන් ව සිටියේය. ඉන්පසු මවාගත් සිනාවකින් "ඔය කෝකියා මහා කාලකණ්නි මෝඩයෙක්…මට විනාඩියක් දෙන්න" කියා කාමරයෙන් පිටතට ගියේය.

ටික වෙලාවකින් ඔහු යළි පැමිණියේ ඔහුම කෑම බන්දේසිය ඔසවාගෙන ය. මේ පරාජයේ ලක්ෂණ දැක ඔහුගේ මිතුරන් පුදුමයට පත්විය. මෙයින් ඔප්පු වූයේ ඔහුට කෝකියාව යටත් කරගන්න බැරිවුණු බවයි. රාජම් කෝකියාට වෙඩි තියා මරා නොදැමුවේ ඇයිදැයි ස්වාමිනාදන් කල්පනා කළේය. තමන්ගේ ක්‍රමයට, විනාඩි කිහිපයකට කෝකියාව යටත් කරගන්න පුළුවන්දැයි අසන්නට මනී ට වුවමනා විය. එහෙත් රාජම් පැහැදිලි කිරීමක් කර ඔවුන් ව යළි සන්සුන් කළේය.

"මටම මේ බන්දේසිය ගේන්න වුණා. මම කුස්සියට ගිහින් කොකියාගේ නොහැදුණු කමට පාඩමක් උගන්නන්න ඌට හොඳවැයින් පයින් පාරක් දුන්නා. අන්න ඌ කුස්සියේ වැටිලා ඉන්නවා සිහි නැතිව!"



Original Text from the book Swami & Friends by R. K Narayan, first published in 1934.
Cover Artist- R. K Laxman

2 comments:

  1. සුන්දර කථා! මල්ගුඩි දවස + ටයි මහත්තයා එකතුව ලමා ලෝකයට මොන තරම් එළියක් උනාද?

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ කාලේ බොහොම ආසාවෙන් බැලුව කතා තමයි මේවා!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...