සමහරදාට කාර්යාලයේ කෑම පැයේදී අපි එළිමහනේ හෙවනක තියෙන බංකුවකට එකතුවෙනවා. අද කණ්ඩායමේ මාතෘකාව වුණේ කොණ්ඩේ. ගෑනු අපිට කොණ්ඩේ ගැන නම් පැය ගණනක් කතා කරන්න දේවල් තියෙනවානේ. ෂැම්පු වර්ග ගැන, හොඳම සැලූන් තියෙන තැන් ගැන එක එක්කෙනාගෙන් විවිධ අදහස් ඉදිරිපත් වුනා. අපේ කට්ටියගෙන් මට විතරක් තියෙන කලු කොණ්ඩයට ලංකාවේදී නම් කිසිම විශේෂයක් නැති වුණත් මෙහෙදී හරියට ඉල්ලුම.
එලීනා අපේ කණ්ඩායමට එකතු වුණේ ළඟදී. මැදිවියත් පහුකරගෙන යන ඇය ප්‍රියමනාප කාන්තාවක්. නිරන්තරයෙන්ම ඇස් දෙකේ දිලිසෙන හිනාව නිසා ඇගෙන් දිස් වුණේ බොහොම මිත්‍රශීලී බවක්.
"මගේ අම්මාට තිබුණේ හොඳටම කැරළි කොණ්ඩයක්. මට පුංචි කාලේදී නිදාගන්න අම්මගේ කොණ්ඩ කැරැල්ලක් අතට ඕනලු. නැත්නම් වරු ගණන් අඬනවාලු. අම්මගේ කොණ්ඩේ කොයිතරම් රැළි ද කියනවානම් හරියට මැගී නූඩ්ල්ස් වගේ!"
එලීනා හිනාවෙවී මතක් කළා.
අපි හැමෝම එලීනාගේ මැගී නූඩ්ල්ස් කතාවට හිනාවුණා.
"කෝ ඉතින් අම්මාගේ කැරළි කොණ්ඩේ ඔයාට ගෑවිලාවත් නැහැනේ." මම එලීනා ට විහිළුවක් කළා. එලීනාගේ ඉත්තෑ කූරු වගේ කොණ්ඩේ කපලා තිබුණේ බොහොම කොටට.
"ආ! මට නම් ඒක ලැබෙන්න කොහොමවත් ඉඩ නැහැ." එලීනා හයියෙන් හිනාවුණා. "මම adopted නේ!"
මොහොතකට මගේ හුස්ම නැවතුණා. මම කීයටවත් නොහිතුව දෙයක්! ඒ බව දැනගෙන හිටියා නම් කීයටවත් මම නොකියන දෙයක්! ඒ ගැන එලීනාගෙන් සමාව ගන්න වුවමනා වුණත් මගේ වචන හිරවෙලා වගේ දැනුණා.
ඒත් අපේ කණ්ඩායමේ අනෙත් අයට නම් ඒ කතාව මට තරම් ගාණක් වුණේ නැහැ.
"ඔයාගේ ඇත්ත දෙමව්පියෝ ගැන ඔයා හොයලා තියෙනවද?" ග්‍රේස් එලීනාගෙන් ඇහුවා. ග්‍රේස් කොහොමත් හරි සෘජුයි. එයා කතාකරන්න කළින් දෙසැරයක් නොහිතන කෙනෙක්. ඒක අනවශ්‍ය පෞද්ගලික ප්‍රශ්නයක් කියලා මට නොරිස්සුමක් ඇතිවුණත් එලීනාට නම් වගක් තිබුණේ නැහැ.
"නැහැ මට කවදාවත් ඒ අය ගැන හොයන්න වුවමනාවක් ඇතිවුණේ නැහැ. මම දන්නවා මගේ උපන් ගම මොර්වෙල් පැත්තේ කියලා. ඊට එහා තොරතුරක් මම කවදාවත් හෙව්වේ නැහැ."
එලීනා හිනාවෙමින් කීවා. මම ඒ වෙද්දීත් හිටියේ කතාකරන්න වචන හොයමින්. අනවශ්‍ය ප්‍රශ්නයක් අහලා අනවශ්‍ය මාතෘකාවක් පටන්ගත්තා කියන වරදකාරී හැඟීම මගේ වටේ දැවටෙමින් තිබුණා.
"එක්දාස් නමසිය පනස් ගණන් වලදී ඕස්ට්‍රේලියාවේ ළමයි දරුකමට අරගෙන හදාගන්න හරි පිළිවෙලක් තිබිලා නැහැ. මාව අම්මලා අරන් තිබුණේ ඇන්ග්ලිකන් පල්ලියක් හරහා. ඊට අවුරුදු කීපෙකට පස්සේ මල්ලිවත් අරන් හදාගෙන තියෙන්නේ එහෙමමයි. මල්ලි නම් ඉපදිලා දවස් තුනෙන් පල්ලියේ පඩිය උඩ තියලා ගිය බබෙක්ලු." එලීනා තවත් විස්තර කිව්වා.
"මල්ලී ඉපදිලා මුල දවස් දෙක තුනේදී එයාට හරියට කිරි හම්බවෙලා නැති බවක් පෙනුණා කියලා ඒ දවස්වල දොස්තරලා අම්මලාට කිව්වාලු. ඒ නිසාද මන්දා මල්ලි හරි බඩගිනිකාරයා. ඊට පස්සෙත් හැමදාම කොයිතරම් කෑම ලැබුණත් එයාගේ බඩගිනි නිවුනේම නැහැ! අම්මා ඉස්සර එයාට කිරි බෝතල් හදන්නේ එක පෝලිමටලු. දැන් නම් එයා මහා මිනිහෙක්- ඒත් බඩගින්න නම් එහෙම්මමයි!" එහෙම කියලා එලීනා හයියෙන් හිනාවුණා. අනෙත් අයත් ඊට එකතු වෙද්දී මම නම් හිනාවුණේ ආයාසයෙන්.
කෑම වෙලාව ඉවරවෙලා හැමෝම යන්න නැගිටිද්දී මම එලීනාගේ අතින් අල්ලලා නැවැත්තුවා. මගේ හිතේ ඉතුරුවෙලා තිබුණු වරදකාරී හැඟීම ගැන එයාට මොනවා හරි කියන්න මට වුවමනා වුණා.
"මට සමාවෙන්න එලීනා. ඒ කතාව මතුවුණේ මම නිසානේ. ඔයා adopted බව මම දැනගෙන හිටියේ නැහැ."
එලීනා මගේ අත එයාගේ දෑතින්ම අල්ලාගෙන හිනාවුණා.
"ඒකෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. මාව adopt කරපු දෙමව්පියෝ ගැන මම ඕන තැනක හරි ආඩම්බරෙන් කතාකරනවා. ඒ වගේ ආදරයක් මටයි මල්ලිටයි මුණගැස්සූ එකට මම දවස ගාණේ දෙවියන්ට ස්තූති කරනවා!"
නිදි නැතිව අඬන පුංචි කෙල්ලෙක්ව නලවන්න තමන්ගේ කොණ්ඩ කැරැල්ලක් අතට දුන්නු, බඩගිනි නිවෙන්නේ නැති පුංචි කොල්ලෙකුට ඇති තරම් කිරි හදලා දුන්නු අම්මා කෙනෙකුගේ ආදරය එලීනාගේ ඇස් දෙක ඇතුළේ දිලිසෙනවා මට පෙනුණා
Copyright free photo from Pixabay
මෙහේ දරුවෙක් හදන්න ගත්තොත් පදිංචිය වෙනස් කරනවා අනෙක් අය දැනගන්න එක වළක්වන්න.
ReplyDeleteතමන්ගෙම කුසින් දරුවෙක් බිහි නොකලත් සැබෑ අම්මා කෙනෙක් වෙන්න පුලුවන් සමහර කාන්තාවන්ට.
ReplyDeleteදරැවෙකුට ආදරය කරන්න එයාව වදන්නම ඕනේ නැහැ. එලීනගේ අම්මා ඒක ඔප්පු කරලා තියනවා.
ReplyDelete