May 01, 2020

එහෙම නෑ

A translation of the short story 'Tain't So' by Langston Hughes

ලුසී කැනන් මෙනවිය ඉතා යහපත් සුදු කාන්තාවක් වූවත් ඇයට කළු උදවිය පෙන්නන්ට බැරි බව එකල ජෝ මාමා නිතර කීවා. ඇය බටහිර පෙදෙසේ කැලිෆෝනියාව වෙත පදිංචියට ආ පසුවත් මේ ගති වෙනස් වී නැහැ. ජෝ මාමා ඇයගේ ගිනි උදුන පිරිසිදු කරමින් ඇයට සේවය කළ මුලු කාලය පුරාවටම ඇය ඇයගේ දකුණේ ගති අතහැරගත් බවක් දකින්නට තිබුණේ නැහැ. ඇය කිසි විටක ඔහුට ජෝ මහතා කියා ඇමතුවේ නැහැ. ඔහුට පමණක් නොව, කිසිම කළු ජාතිකයෙකුට ඇය 'මහතා' නොකී බවත්, බැප්ටිස්ට් පල්ලියේ පාදිලිතුමා, සැන් හොසේ ප්‍රාන්ත විද්‍යාලයේ උපාධිධාරියෙක් වූවත් ඔහුට පවා ඇය එසේ ආමන්ත්‍රණය නොකළ බවත් සත්‍යයක්. ඇලබාමාවේ උන්නත්, කැලිෆෝනියාවේ උන්නත්, කළු උදවියට 'මහතා, මහත්මිය' කියා අමතන්නට ලුසී කැනන් මෙනවියගේ දිව නැමුණේ නැහැ.

ඇය නිතරම පසු වූයේ කුමක් හෝ අසනීපයකින්. දුර්වලව සිටි ඇයටත්, සියලු යහපත් දකුණුබද සුදු කාන්තාවන්ට මෙන්ම වරින්වර කලන්තයක් හැදුණා. ක්‍රමක්‍රමයෙන් වයසට යද්දී ඇගේ අසනීප උත්සන්න වී අවසානයේදී ඇවිද ගන්නට අපහසු වන තරමට ඇය ඔත්පල වුණා.ඉතින් මේ කාලයේදී තමයි ඇය රෝග සුව කරන්නෙක් වෙත ගියේ.

වයසක කැනන් මෙනවිය රෝග සුව කරන්නෙක් වෙතින් ඇගේ පයේ ආබාධයත් හදවතේ රෝගයත් එක වරින්ම සුවපත් කරගත් ආකාරය ජෝ මාමා මට කී රසවත් ම කතාවක්.

අවුරුදු තුනක් පමණ කාලයක් තිස්සේ ඇයට ඇවිදගන්නට ඉතා අපහසු වී තිබුණු අතර සැරයටියක් භාවිතා කළත් ඇයගේ දකුණු පාදයේ දණහිසෙන් ඉහල දැනුණු වේදනාවකින් ඇය නිරතුරුව පීඩා වින්දා. එමෙන්ම ඇයගේ හදවතත් නිතරම ලෙඩ දෙමින්, නවතින්න සූදානම් ව තිබුණේ. නිවසේ නිතරම භෝජන සංග්‍රහ පවත්වමින්, තමන්ගේ කළු සේවකයන් ව මරවමින් වැඩ ගත්තත් මේ දකුණුබද කාන්තාව පසුවුණේ අයහපත් සෞඛ්‍යයෙන්.

ඇගේ මිතුරියක් වන උතුරු ප්‍රදේශයේ වාසය කළ විශ්‍රාමික වයසක කාන්තාවක් තමන්ගේ ජීවිතේ අවසාන කාලය ගත කරන්නත්, තමන්ගේ විශාල බැංකු ගිණුම හිස් කරන්නත් කැලිෆෝනියාවට පදිංචියට ආවේ මේ කාලයේදී. ජෝ මාමා කියන විදිහට එක්තරා අලුත් අවුරුදු දවසක මැය කැනන් මෙනෙවිය මුණගැසුණු වෙලාවක මෙසේ කීවාලු.

"ඔබ නිතරම වේදනාවෙන් පසුවෙනවා නේද? ඉන්න හැම දොස්තරගෙන්ම උපදෙස් ගත්තත්, හැම බෙහෙතක්ම පාවිච්චි කළත් කිසිම ගුණයක් නැහැ නේද? මම පාවිච්චි කරන ප්‍රතිකාර ක්‍රමය ගැන මොකද කියන්නේ, ශ්‍රද්ධාවෙන් උත්සාහ කරලා බලමු ද?"

"ශ්‍රද්ධාව?" වයසක ලුසී කැනන් මෙනවිය ජැස්මින් තේ කෝප්පය තොල ගැන ගමන් ප්‍රශ්න කළා. 

"ඕව් අනේ" උතුරුබද සුදු කාන්තාව කීවා." ශ්‍රද්ධාව! මගේ ළඟ ඉන්නවා ලෝකේ ඉන්න හොඳම ශ්‍රද්ධාවෙන් රෝග සුවකරන්නා" 

"ඔහු කවුද?" ලුසී කැනන් මෙනවිය ඇසුවා.

"එයා කාන්තාවක් අනේ" ඇගේ මිතුරිය කීවා. "ඇය රෝග සුවකරන්නේ ඇගේ විශ්මිත බලයෙන්. ඇය ඉන්නේ හොලීවුඩ් වල." 

"මට ඇගේ ලිපිනය දෙන්න" ලුසී මෙනවිය කීවා. "මම යන්නම් එයාව හම්බවෙන්න. ඇගේ ප්‍රතිකාර වලට කීයක් අය කරනවාද?" අනෙත් මිනිසුන් හිතූ තරමට ලුසී මෙනවියට වත්කමක් තිබුණේ නැහැ.

"ඩොලර් දහයක් විතරයි" අනෙත් කාන්තාව කීවා. "එක ප්‍රතිකාරයකට ඩොලර් දහයයි. ගිහින් ලෙඩ හොඳ කරගෙන එන්නකෝ"

"මම කිසි දවසක ඔය දේවල් විශ්වාස කළේ නැහැ." ලුසී මෙනවිය කීවා. "විශ්වාස නොකළෙත් නැහැ. ඒත් එතැනට ගිහින් බලන්න ඕන." මෙහෙම කියද්දී එතැනට තව මිතුරියන් පිරිසක් ඇවිත් කතාවට බාධා කළ නිසා ඇයට ඒ රෝග සුවකරන්නා ගැන තවත් විස්තර අසා දැනගන්නට නොහැකි වුණා.

ඒත් ඊට දින කිහිපයකට පසු ලුසී මෙනවිය පැසඩේනා සිට හොලීවුඩ් දක්වා දුර ගෙවා ගමන් කර, එහි උන් ඇගේ මිතුරියකගේ නිවසේ නවාතැන් ගෙන, සඳුදාවක පාන්දරම රෝග සුවකරන්නා හමුවන්නට ගියා.

රෝග සුව කරන්නියගේ නිවසට යන ගමන ඇය සෙමෙන් එහෙත් අහංකාරයෙන් ගියේ ඇයගේ සුපුරුදු හැරමිටිය බිම අනිමින්, කොර ගසමින්, හදවතේ රිදුමට මනසින් විඳවමින්.

එදා අලංකාර උදෑසනක වාතාශ්‍රය විඳින්නට ලැබුණත්, උදේට හොඳ කෑම වේලක් ගෙන තිබුණත්, ලුසී මෙනවියට (ඇයට සිතුණු පරිදි) කිසිම සනීපයක් දැනුණේ නැහැ. මුළු ඇඟ පුරාම දැනෙන වේදනාවත්, හැරමිටියක් අනිමින් යන්නට සිදුවුණු නිසා ඇතිවුණු අබ්බගාත හැඟීමත් පමණයි ඇයට දැනුණේ.

ඇය සොයමින් ගිය නිවසට ළඟා වුණා. ඒ විශාල නිවසේ ඉදිරිපස, අලුතෙන් ඇඳි සංඥා පුවරුවක මෙසේ ලියා තිබුණා.

||පෝලීන් ජෝන්ස් මෙනවිය||

"එහෙනම් ඒකයි ඇගේ නම" ලුසී මෙනවිය කල්පනා කළා. "පෝලීන් ජෝන්ස්, ජෝන්ස් මෙනවිය"

"සීනුව නාද කර ඇතුල්වන්න" ලියූ කුඩා කාඩ්පතක් සීනුවට ඉහලින් සවිකර තිබුණා. ලුසී මෙනවිය නිවසට ඇතුල් වුණා. ඇයව පිළිගන්නට කිසිකෙනෙක් නොසිටීම ගැන මඳක් වික්ෂිප්තයට පත්වුණත් ඇය අසුන්ගෙන හොලිවුඩ් හි ඉමහත් ප්‍රසිද්ධියට ලක් වූ රෝග සුවකරන්නිය වන ජෝන්ස් මෙනවිය එනතුරු බලා සිටින්නට වුණා. ඇය වේලාසනින්ම පැමිණියේත් වැඩි වෙලාවක් රස්තියාදු නොවී ඉක්මණින්ම තමන්ගේ කාර්යය කරගෙන පිටවී යන්නට සිතාගෙනයි. ඒ වෙද්දී උදෑසන නමය පහු වුණා විතරයි. එහි කාර්යාලය විවෘතව තිබුණත් එහි කිසිවෙක් සිටියේ නැහැ. ඉතින් ලුසී මෙනවිය තමන්ගේ කාර්යය ඉටු කරගන්නට බලාගෙන සිටියා. විනාඩි දහයක් ගත වුණා. පහළවක්, විස්සක් ගත වුණා. ඇයට නොඉවසුම් ගතියක්, කැළඹුමක් දැනෙන්නට වුණා. එතැන කියවන්න සඟරාවක් වත් තිබුණේ නැහැ.


"මේ මොකද?" ඇය නොඉවසුමෙන් කීවා "මට කවදාවත් මෙහෙම වෙලා නැහැ!"

බිත්තියේ තිබුණු පුවරුවක මෙසේ ලියා තිබුණා.

|| විශ්වාස කරන්න ||

"මම තව විනාඩි දහයක් බලනවා" තමන්ගේ මුතු ඇල්ලූ ප්ලැටිනම් අත් ඔරලෝසුව දෙස බලමින් ලුසී මෙනවිය කීවා.

ඒත් ඒ විනාඩි දහය ගතවෙන්නට කළින් තවත් කාන්තාවක් ඉදිරි දොරෙන් ඇතුලු වී අසුන් ගත්තා. ඒ කළු කාන්තාවක් බව දුටු ලුසී මෙනවිය විශ්මයෙන් ඒ දෙස බලාගෙන සිටියා. ඒ මහත කළු කාන්තාවක්!

"මට නම් මේ උතුරු පළාතට කවදාවත් හුරුවෙන්න බැරි වේවි" ලුසී මෙනවිය තමන්ටම කියාගත්තා. "දැන් මෙතැන ඉන්න බොහොම බලවත්- මගේ මිතුරිය කියන විදිහට බොහොම බලවත්- ශ්‍රද්ධාවෙන් ලෙඩ හොඳ කරන්නිය කළු එවුන්ටත් බෙහෙත් කරනවා! ඇලබාමා වල නම් කවදාවත් නීග්‍රෝ ලෙඩෙක් මෙහෙම ඇවිත් සුදු මිනිස්සු එක්ක එකට වාඩිවෙන්නේ නැහැ!"

තමන්ට තව බලාගෙන ඉන්නට විනාඩි පහක් තිබුණත් එතරම් වේලාවක් නිශ්ශබ්දව ඉන්නට ලුසී මෙනවියට හැකියාවක් තිබුණේ නැහැ. ඇයට කතාකරන්නම වුවමනා වී තිබුණා -ඊට නීග්‍රෝ කෙනෙක් වුව සෑහුනා. ඇය තමන්ගේ ප්‍රියතම මාතෘකාව වන තමන් ගැන කතාකිරීම ඇරඹුවා.

"මට නම් ඇත්තටම අද උදේ ඉඳන් හරිම අමාරුයි." ඇය කළු කාන්තාවට අවමාන වන හඬකින් කතාබහ ඇරඹුවා.

"එහෙම නෑ" නීග්‍රෝ කාන්තාව සන්සුන් ව කීවා. ලුසී මෙනවිය මෙයින් මඳක් පසු බෑවත් නැවත ධෛර්යය ගත්තා.

"එහෙම තමයි" ඇය තරහින් කීවා. "මගේ හදවත නවතින්න ඔන්න මෙන්න. මට හුස්ම ගන්නත් බැහැ"

"කොහොමවත්ම එහෙම නෑ" කළු කාන්තාව කීවා.

"මොකක්?" ලුසී මෙනවිය කෑ ගැසුවා. "මේ මොන ලැජ්ජා නැති ගෑනියෙක් ද? මම මේ කියන්නේ -එහෙම තමයි! මම මෙතැනට ආවේත් හරිම අමාරුවෙන්."

"එහෙම නෑ" නීග්‍රෝ කාන්තාව යළිත් සන්සුන් ව කීවා

"මගේ හර්දය වස්තුවට අමතරව" ලුසී මෙනවිය කියාගෙන ගියා, "මගේ දකුණු උකුල් ඇටේත් ලොකු වේදනාවක් තියෙනවා, මම වාඩිවෙලා ඉන්නෙත් හරි අමාරුවෙන්"

"මම කියන්නේ එහෙම නෑ කියලා"

"මම කියන්නේ එහෙම තමයි කියලා," ලුසී මෙනවිය කෑගැසුවා. " කෝ මේ ලෙඩ හොඳ කරන කෙනා? මම මොකටද මෙතන ඉඳගෙන මේ අවමාන විඳින්නේ? මට නම් බෑ! මාව මැරෙයි! මේක මහා අපරාධයක් නේ"

"එහෙම නැහැ" මහත කළු කාන්තාව බොහොම සන්සුන්ව කියනු අසා ලුසී මෙනවිය අසුනින් නැගිට්ටා. ඇයගේ සුදුමැලි මුහුණ දරුණු රත් පැහැයක් වී තිබුණා.

"කෝ මේ ලෙඩ හොඳ කරන කෙනා?" කාමරයේ වටපිට බලමින් ඇය කෑ ගැසුවා.

"මේ මෙතැන ඉන්නවා" කළු කාන්තාව කීවා.

"මොකක්?" ලුසී මෙනවිය කෑගැසුවා. "තමුන්-ඇයි- ඒ කොහොමද?"

"මම මිස් ජෝන්ස්"

"මම කවදාවත් මෙහෙම විකාරයක් අහලා නෑ." ලුසී මෙනවිය හුස්මක් ඉහලට ගනිමින් කීවා." කළු ගෑනු කෙනෙක් මේ විදිහට ප්‍රසිද්ධ වෙන්නේ කොහොමද? මේ කියන්නේ බොරු ද කොහෙද!"

"එහෙම නෑ" කාන්තාව සන්සුන් ව කීවා.

"මම නම් තව එක විනාඩියක් වත් මෙතැන ඉන්නේ නැහැ" ලුසී මෙනවිය කෑ ගැසුවා.

"එහෙනම් ඩොලර් දහයයි," කළු කාන්තාව කීවා. "ඔබට කොහොමත් ඔබේ ප්‍රතිකාරය ලැබුණා නේ.

"ඩොලර් දහයක්! හොඳටම වැඩියි!"

"එහෙම නෑ"

ලුසී මෙනවිය කේන්තියෙන් තමන්ගේ පසුම්බිය ඇර ඩොලර් දහයේ නෝට්ටුවක් ගෙන, එය මේසය මතට දමා ගසා, තදින් හුස්මක් ගෙන ඉතා වේගයෙන් එතැනින් පිට වුණා. ඇය සන්සෙට් මාවත ඔස්සේ සෑහෙන දුරක් විදුලි වේගයෙන් ඇවිද්දේ තමන්ටම දොඩවමින්. 

"'එහෙම නෑ'" ඇය තමන්ටම කියාගත්තා. "'එහෙම නෑ!' මම කියනවා මට අසනීපයි කියලා ඒ ගෑනි කියනවා 'එහෙම නෑ!' කියලා."

ඈ තරුණ කෙල්ලක් මෙන් ඉතා වේගයෙන් ඇවිදිමින් සිටියා. ඇයට කොයිතරම් කේන්ති ගොස් තිබුණා ද යත් ඇයට ඇයගේ සියලු රෝගාබාධ- ඇගේ හදවත ගැන පවා- අමතක වී තිබුණා. හදිසියේම ඇය කෑ ගසන්නට වුණා "දෙවියන්ට ස්තූති වේවා! අවුරුදු තුනකට පස්සේ පළවෙනි වතාවට මම සැරයටියක් නැතිව ඇවිදිනවා!"

තමන්ට හුස්ම ගැනීමේදී කිසිම ආබාධයක් නැති බවත් කකුලේ වේදනාව දැනුණේත් නැති බවත් එවිට ඇයට වැටහුණා. ඇයගේ කේන්තිය මඳක් අඩු වුණා. හිරු එළිය ඉතා සුන්දරව පැතිරෙමින් තිබුණා. ඇයට සනීපයක් දැනුණා. 

"මට හිතෙන විදිහට කළු මිනිස්සු ළඟ මහා අමුතු අද්භූත මායා බල තියෙනවා." ඇය තනියම සිනාසෙමින් කීවා. ඒ එක්කම ඇගේ මුහුණ නැවතත් කේන්තියෙන් පිරුණා. "ඒත් උන්ගේ තියෙන ලැජ්ජා නැතිකම! උතුරු පළාතට පදිංචියට ආව ගමන්ම - තමන්ට පෝලීන් ජෝන්ස් මෙනවිය කියාගන්න හැටි.. ඒ උද්ධච්චකම! ලොකුකම හිතට අරගෙන 'එහෙම නෑ' කියලා කීප සැරයක් කියලා මගෙන් ඩොලර් දහයක් අය කළ හැටි!"

'එහෙම නෑ!' ඇගේ හිත ඇතුළෙන් පැහැදිලි කටහඬක් ඇසුණා



'Tain't So' from The Collected Works of Langston Hughes, Volume 15: The Short Stories

Photo by Erickson-St. Paul / Public domain






No comments:

Post a Comment