February 08, 2020

ලේලිය



Translation of the Short-story 'The Daughter in Law' by Julie Bosma



මැක්ඩොනල්ඩ් නෝනා තමන්ගේ අනාගත ලේලියගේ චරිතය ඒතරම් හොඳ නැති බව දැනගත්තේ ගෙදර දොර විවෘත කළ ගමන්ම යි.

ජෝන් හිටියේ ඇගේ කැහැටු උරහිස් උඩින් අතක් දවටාගෙන ඈ ව තුරුලු කරගෙන. ඇගේ කොණ්ඩේ නම් ඒකාන්තයෙන්ම පාට ගන්වලා තිබුණු නිසා යි රත්තරන් පාට පෙනුණේ කියලා මැක්ඩොනල්ඩ් නෝනා ට හිතුණා. අවට හැමුව හීතල වෙලිංටන් හුළඟ ඒ කොණ්ඩේ විසිරුවලා ආයෙත් වතාවක් සායම් උලලා තිබුණු ඇගේ මූණේ අලවලා දැම්මේ බොහොම තදින්. කෙල්ල හිනාවුණා.

"අම්මේ, මේ සෑම්" ජෝන් ඈ ව ඉස්සරහට තල්ලු කරමින් කීවා.

"මුණගැහුණු එක ඇත්තටම සතුටක්" පිරිමි නමක් තිබුණු ඒ කෙල්ල ආයෙත් වතාවක් හිනාවෙලා කීවා.

"ඇතුළට ආවොත් හොඳයි" මැක්ඩොනල්ඩ් මහත්මිය ආපහු හැරිලා ඒ දෙන්නාට ඉස්සරහින් සාලයට ගියා.

ඒ දෙන්නා ගිනි උදුන ළඟ නුහුරු විදිහට හිටගෙන ඉන්න අතරේ තමන්ගේ පිටිපස්සෙන් කෙල්ලගේ මෝඩ හිනාවක් ඇයට ඇහුණා.

"වාඩිවෙන්න පැටියෝ" කියලා ජෝන් කෙල්ල ව හාන්සි පුටුවට තල්ලු කළා. ඊට අවුරුදු දොළහකට කළින් මැක්ඩොනල්ඩ් මහත්තයා මැරුණාට පස්සේ ඒ වෙනකම්ම කිසිකෙනෙක් ඒ පුටුවේ වාඩිවෙලා තිබුණේ නැහැ.

"අර පුටුව ඊට වඩා සැපපහසු වෙයි" හයිය මෙට්ට ඇති දුඹුරු පාට සැටි පුටුව පෙන්නලා මැක්ඩොනල්ඩ් නෝනා කීවාම කෙල්ල මූණ නරක් කරගෙන එතැනට ගිහින් වාඩිවුණා.

"එහෙනම් මේ තමයි ඔයාගේ යාලුවා?" අම්මා ඇහුවා.

"අම්මේ අපි විවාහ ගිවිසගෙන ඉන්නේ, තව මාසෙකින් මඟුල ගන්නවා. අගෝස්තු අටවෙනිදාට දිනේත් දාගෙන තියෙන්නේ. ඇයි මම කළින් කීවේ?" ජෝන් කිසිම ගෞරවයක් නැතිව කියලා සුසුමක් හෙළුවා.

"රොන් යි මායි හිතුවා අම්මා කැමති වෙයි කියලා අපට මඟුල් ගෙදර සැලසුම් කරන්න උදවු වෙන්න " සෑම් කීවා.

"රොන්? කවුද රොන්? මගේ පුතාගේ නම ජෝන්. එයාගේ නැතිවුණු තාත්තාගේ නමත් ඒකමයි" මැක්ඩොනල්ඩ් නෝනා කීවේ නොසතුටින්.

"ඒක පොඩි විහිළුවක්" කෙල්ල තමන්ගේ බාල කොණ්ඩය හදමින් ජෝන් දිහා බලමින් කීවා.
"රොනල්ඩ් මැක්ඩොනල්ඩ් දන්නවාද? අර මැක්ඩොනල්ඩ් එකේ ඉන්නේ. ඒවගේ මම මෙයාට හැමතිස්සෙම කියන්නේ රොන් කියලා, විහිළුවට!"

"මට නම් එතැන කිසිම විහිළුවක් පේන්නේ නැහැ" මැක්ඩොනල්ඩ් නෝනා කිසිම අනුකම්පාවක් නැතිව කීවා. 
"ජෝන් ගේ තාත්තා දන්නවා නම් මිනී වලෙනුත් නැගිටලා ඒවි!"

අහල පහල පිළිවෙලකට තිබුණු හැම කඩ පේළියක්ම අලුතින් අත්පත්කරගත්ත අප්‍රසන්න මැක්ඩොනල්ඩ් කෑම කඩ මතක් වෙලා ඈ කිලිපොලා ගියා. ඒවායේ විකුණන්නට ඇති හැම්බර්ගර් සහ චිප්ස් වල අප්‍රසන්න ගඳ නිතරම මහා පාරටත් දැනෙන හැටි ඈට මතක් වුණා. දවසක් ඒ කඩයක ජනේලයකින් එබිලා බලද්දී ඒ කඩය පිරෙන්න යටිගිරියෙන් කෑගහන ළමයි හිටිය බව ඈ දැක්කා. ඒ ළමයි තමන්ගේ කෑම ලැබුණු ගමන්ම ඒවා බිමට වීසි කරලා ළඟ තිබුණු කැත පාට ගෑව අට්ටාල උඩට නඟින්න දුවලා ගියා.

රොනල්ඩ් මැක්ඩොනල්ඩ් කියන්නේ කවුද කියලා මැක්ඩොනල්ඩ් නෝනා දැනගෙන හිටියේ නැති වුණත් ඈට ඒ ගැනත් හොඳ හැඟීමක් තිබුණේ නැහැ. ඈ ඇස් දෙක අඩවන් කරලා ආයෙත් වතාවක් කෙල්ල දිහා බැලුවා.

"මේ මහා බාල, ජරා, අයාලේ යන එකියක්! මේකිට මගේ ජෝන් ව බඳින්න දෙන්න බැහැ! කොහොමවත්ම බැහැ!" ඈට හිතුණා.

"අම්මේ තේ එකක් බොමු ද?" සමන්තා ව තුරුළු කරගන්න ගමන් ජෝන් ඇහුවා. "මට වගේම සෑම්ටත් තේ කෝප්පයක් ඕනවෙලා ඇත්තේ දැන් නම්"

"අනේ ඔව් මටත් එකක්, මිසිස් එම්" හැතිරිය කීවා.

මිසිස් එම්! හැබෑටම!

"ජෝන් මම ඔයා කැමතිම ජාතියේ කප්කේක් හැදුවා." සැටිය උඩ සිද්ද වෙන ආලවන්තකම් නොපෙනෙන්න ඊට උඩින් ඇති බිත්තිය දිහා බලාගත්වනම ජෝන්ගේ අම්මා කීවා.

"නියමයි අම්මා! ඒත් අමතක කරන්න එපා, මට අයිසිං නොදාපු එකක්!" කියලා ජෝන් කියද්දී සමන්තා කිසි හේතුවක් නැතිව ආයෙත් වතාවක් ඇගේ මෝඩ හිනාව හිනාවුනා.

"මම නම් හරි ආසයි අයිසිං දැම්ම ඒවාට" ඈ කීවා. "පාට පාට සීනි කුඩු දැම්ම ඒවාටත් ආසයි"

"මම නම් කැමති අරුමෝසම් නැතිව" ජෝන් කීවා. "ගෑනු ගැන මගේ කැමැත්ත නම් ඒකෙ අනිත් පැත්ත!"

මැක්ඩොනල්ඩ් නෝනා අකමැත්ත පෙන්නන්න වැරෙන් හුස්මක් පිඹලා කුස්සියට යන්න ගියා. එහෙම යද්දී තමන්ගේ රෝස පාට සෙරෙප්පු ඇතුලේ දෙපා බොහොම බර බවක් ඈට දැනුණා.

අඳුරු කුස්සිය එළිය කරන්න තරමට දිස්නය දෙමින් තිබුණු කප්කේක් ටික ඈට බොඳ වී පෙනුණා. ඈ ජෝන් වෙනුවෙන් හැදුව අයිසිං නොදැම්ම කප්කේක් එක ඇඟිල්ලකින් අල්ලලා පුළුවන් තරම් අනිත් ඒවායින් ඈතට කළා. කුස්සියේ බේසම යට අල්මාරිය තමන් අරින හැටි ඈ බලාගෙන හිටියේ රෝබෝ කෙනෙක් වගේ. මී පාසානම් අසුරණය ඇගේ අතට ආවේ ඉබේම.

කප්කේක්වල රෝස පාට අයිසිං උඩින් ඈ ඒවා යාන්ත්‍රිකව විසිරවූවා. මී පාසානම් අසුරනයේ තිබුණු කැට වර්ගයත් අයිසිං වල දීප්තිමත් රෝස පාටම බව දකිද්දී ඈට පුදුමයක් දැනුණා. ඈ ඒවා යන්තමට තෙරපුවා. ඇගේ ඔලුවේ අමුතු සැහැල්ලුවක්, හිස් බවක් දැනෙන්නට වුණා. අයිසිං නැති කප්කේක් එකත් අනෙත් ඒවාට එක්කළ ඈ, ඒවා සාලයට රැගෙන ගියා. තැටිල්ල ගෙන යද්දී ඇගේ දෑත වෙවුලුවේ වත් නැහැ .

"හැමෝටම කප්කේක් ගෙනාවා!" කියද්දී ඇගෙන් පිටවුණේ ඇගේ කටහඬ නෙමෙයි. "අපට අයිසිං දැම්ම ඒවා, ජෝන් ට මුකුත් නැති ඒවා"

"අපි බැන්දාට පස්සේ නම් මම කැමති දේවල් ඔයාටත් කන්න කියලා බල කරන්න මට සිද්ද වෙනවා" කෙල්ල කීවා.

"බලාගෙන ඉන්නේ මොකටද? ඔයා වෙනුවෙන් මම දැන් උනත් ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි!"

එහෙම කීව ජෝන් අයිසිං කළ කප්කේක් එකක් අතට අරගෙන පුළුවන් තරම් කට ඇරලා ඒක කටට දාගත්තා.


Published in Sannasa- February 2020 issue
Photo: peakpx.com




1 comment: