February 18, 2020

පදික මාරුව


ගිනිගහන මද්දහනක්. ඈ ඉන්නේ පාරේ විදුලි සංඥා එළි පුවරුව ළඟ, පාර මාරුවෙන්න බලාගෙන. දිග රතු සල්වාර් කමිසයක්. තනි කරලට ගෙතුව නිතඹට දිග කොණ්ඩයක්. මූණ වටේටම කෙස් කැරළි හුළඟට නටනවා- ඒත් ඈට ඒ ගැන වගක් නැහැ. ඇගේ මුළු අවධානයම ඇගේ ඉදිරිපිට තියෙන ප්‍රෑම් එකට යොමුවෙලා. ප්‍රෑම් එකේ ඉන්න පුංචි එකා මෙතැනට නොපෙනුණාට ඒ පැටියා අම්මා එක්ක හුරතල් වෙන බව අම්මාගේ ඉරියව් වලින් කියන්න පුළුවන්. ඈ හිනාවෙනවා, ඔලුව හොල්ලනවා, ප්‍රෑම් එකටම පහත් වෙනවා, මූණ වහන් කරනවා, ආයෙත් බලනවා. සමහරවිට ඒවාට පොඩ්ඩාගෙන් ආපිට හිනා සාගරයක් ලැබෙනවා ඇති. අම්මාට මේ ගිනි අව්ව ගැන වගක් නැත්තේ ඒ නිසා වෙන්න ඇති. ඇගේ මූණ හරි ලාබාල පාටයි. හිනාව හරි සිරියාවයි. අලුත් අම්මෙක්! ප්‍රෑම් එකේ අත්වැටේ කළු පාට කබායක් රඳවලා. දැන් අව්ව වුණාට අද උදේ තද සීතලක් තිබුණා. මේ දෙන්නා මේ උදේ ආව ගමනක් ද දන්නේ නැහැ. ප්‍රෑම් එක යට බඩු මලු දාන්න පොඩි කොටසක් තියෙනවා. මෙතැනට ඒක යන්තමට පේනවා. එතැන උඩ හරියේම තියෙනවා කිරි පිටි ටින් එකක්. ඒක පොඩි පැටියාට වෙන්න ඕන. තව පේනවා බිත්තර තිස් හයේ ඇසුරුමක්. ඒතරම් බිත්තර! සමහරවිට ඈ ඇනවුම් වලට කේක් හදනවා ඇති. ලීක්ස් ගහක දෙකක කොළ මේවා අතරින් පේනවා. දැන් ඈ ගෙදර ගිහින් කිරි බෝතලයක් දීලා පැටියාව නිදිකරවාවී. ඉන්පස්සේ දවාලට උයාවී. ඩිංගක් පරක්කුයි තමයි. ඒත් හැමදාම නෙමෙයිනේ. ඉන්පස්සේ පැටියා නැගිටින්න කළින් ඉක්මණින් ඉක්මණින් කේක් එක හදන්න ගනීවි.

විදුලි සංඥා එළිය වෙනස් වුණා. ඈ ඉක්මන් ගමණින් පාර මාරුවුණේ පොඩ්ඩා එක්ක කෝලම් කරන ගමන්මයි. පදික වේදිකාවේ උස් පහත් තැන් ගැන ඈ ඉබේම වගේ ප්‍රවේසම් වුණේ ප්‍රෑම් එකේ යට හරියේ තියෙන බඩු මලු ගැන හිතුව නිසා වෙන්න ඕන. මේ කඩ පේලියක් කිට්ටුව නිසා අවට ගෙවල් නම් නැහැ. ඈ මේ අව්වේ ප්‍රෑම් එක තල්ලු කරගෙන තව බොහොම දුරක් යන්න නියමිත ඇති. ගෙදර යන්න කළින් රස්නේ වැඩිවෙලා පැටියා අඬාවිද?


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"ලයිට් එක කොළ පාට වුණා අම්මා, යන්නේ නැද්ද? දැන් පිටිපස්සේ අය හෝන් ගහයි!"

"ආ! ඔව්නේ… තව පොඩ්ඩෙන් අමතක වෙනවා… මම මේ කතන්දරයක් පාර පනිනවා බලාගෙන හිටියානේ!"






February 15, 2020

අකල් වැහි

කැම්පස් එකට වහින්නේ එක පාරට. හදිස්සියේම අකල් වැහි සේලයක් ගස් මුදුන් වලින් බිමට පාත් වෙනවා. ඒ වෙලාවට බංකුවල, බැමිවල වාඩිවෙලා උන්නු, ගස් යට, තණකොළ බිස්සේ කතාකර කර උන්නු හැමෝම හෙවණක් හොයාගෙන දුවනවා. සමහරවිට කැම්පස් එකට වහින්නේ එකපාරට නෙමෙයි වෙන්නත් ඇති. අනිත් තැන් වලට වගේම අහස කළු කරලා, නපුරු වෙලා වරුවක් තිස්සේ වහින්න අරඅඳිනවා ඇති. සමහර විට කැම්පස් එකේ කාටවත් අන්තිම වෙනකම් ඒ බව පේන්නේ නැතිව ඇති. අහසේ නපුරු කම ගහ කොළ වියනෙන් වැහිලා යනවා ඇති. ඈත එන වැස්සේ සද්දේ කතා බහ හිනා වලට මුවා වෙනවා ඇති

එහෙම එක පාරට වැටුණු වැස්සක් දිහා මම කැන්ටිමේ ඉඳන් බලාගෙන හිටියේ වරුවක් තිස්සේ. ඒකට ඕපන් කැන්ටිම කිව්වේ බිත්ති වෙනුවට වැඩියම තිබුණේ කවුළු-කුලුණු නිසාද, එතැන බොහොම විවෘතව හිතන්න පරිසරයක් තිබුණ නිසාද කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒ කැන්ටිම වටේටම රූස්ස ඇහැළ ගස්. ඒත් මල් කැන් වෑස්සෙන ඇහැළ ගස් නෙමෙයි. කාලෙකට තද කහ පාට මල් වලින් පිරිලා තිබුණු වල් ඇහැළ ගස්. මල් පිපෙන කාලෙට ඕපන් කැන්ටිම වටේට ඇතිරිල්ලක් වගේ මේ කහ මල්පෙති විසිරුණේ කැන්ටිමේ පුටු මේස වල කහ පාටට ඔච්චම් කරන්න වගේ.

මම හිටියේ තුන්වෙනි තේ කෝප්පේ බොන ගමන්. මගේ වටේට ළමයි රංචු පිටින් කැන්ටිමට ආවා ගියා. විෂය කරුණු ගැන ගලාගෙන ගිය තර්ක, දේශපාලන බහින් බස් වීම්, විහිළු තහළු, කතන්දර සද්ද මගේ වටේට රැළි ගැහුවා. ඒත් ඒවා හැම දෙයක්ම ඇහෙන නෑහෙන තරමට මගේ හිත ඇතුළේ සද්දේ ඝෝෂාවක් වෙමින් තිබුණේ. විසඳුම් නැති ප්‍රශ්න කීපයක්ම හිත ඇතුළේ එකා පස්සේ එකා දිව්වේ තරඟයට වගේ. සුලේඛා මගේ ළඟට ඇවිත් උරහිසට අත තියනකම් මම හිටියේ පියවි ලෝකයට බොහොම ඈතින්. වැස්සේම දුවගෙන ආව නිසා සුලේඛා හිටියේ හති අරිමින්. එයාගේ කැරලි කොණ්ඩෙන් එක සීරුවට වතුර බින්දු වෑස්සුණා. ගවුම තෙතබත් වෙලා තිබුණා.

'ලෙක්චර් එකට ආවේ නැත්තේ ඇයි?' කියලා නොඅහාම සුලේඛා අද සටහන් ටිකේ ෆොටෝ කොපි ටික මගේ ළඟින් තිබ්බා. ඊටපස්සේ මගේ හිස් තේ කෝප්පයත් අරගෙන ගිහින් අපි දෙන්නාට තේ දෙකකුත් වඩේ දෙකකුත් ගෙනත් මගේ ළඟින් වාඩිවුණා. ප්ර්ශ්න අහලා, අතොරක් නැතිව දොඩවලා නිශ්ශබ්දතාවය පුරවන්න උත්සාහ නොකරන සුලේඛා ගේ මේ ගතිගුණ මම එයාට කැමති වෙන්න ලොකුම හේතුවක්. මං වෙනුවෙන් මේ සටහන් ෆොටෝ කොපි කරන්න කැම්පස් එක ඉස්සරහ කඩපේළියේ වැස්සේම රස්තියාදු වුණු නිසායි එයා මෙතරම් තෙමිලා තිබුණේ කියලා මට තේරුණා. මට සුලේඛා ගැන පපුව හීරෙන තරමේ ආදරයකුත් උහුලාගන්න බැරි දුකකුත් දැනුණා. මම වචනයක්වත් නොකීවට ඒ ටික එහෙමම තේරුණු ගානට සුලේඛා මගේ උරහිසට ඔළුව තිබ්බා.

උපාධිය අතඇරලා රස්සාවකට යන එක ගැන අවසාන තීරණය ගන්න මට තව දවස් දෙකතුනයි තිබුණේ. ඇත්තටම කියනවානම් එතැන ගන්න තීරණයක් තිබුණේ නැහැ. අනිවාර්යයෙන් කළ යුතු දේ කරන දවස කල් දමමින් මම හිටියේ. අම්මාගේ ඇදුම රෝගය නිතර නිතර උත්සන්න වුණේ බය හිතෙන විදිහට. අම්මාව බලාගන්න ගමේ නැවතුණොත් මට කැම්පස් එන අදහස අතඅරින්න වෙනවා. දිගටම කැම්පස් හිටියොත් ළඟදීම ට්රේොනින් එකට කොහේ හරි ආයතනයකට යන්න වෙන නිසා මට අම්මාව බලාගන්න යන්න වෙන්නේ නැහැ. මේ හැම දේටම වඩා සල්ලි කියන ප්ර ශ්නය මගේ හැම සිතිවිල්ලක්ම යටපත් කරගෙන නැගිට්ටා. අම්මාගේ අසනීපෙට යන බෙහෙත් හේත් වලට වියදම් කරන්න නම් මට අනිවාර්යයෙන් ස්ථිර ආදායමක් වුවමනා වුණා. මේ තරම් කල් කළ විදිහට මගේ ශිෂ්‍යාධාර සල්ලි වලින් වියදම් පිරිමහගන්න පුළුවන් මට්ටම ඒ වෙද්දී පහුවෙමින් තිබුණේ. අම්මා වෙනුවෙන් මම උපාධිය අත ඇරියා කියලා දැනගත්තොත් අම්මාට වාවන්නේ නැති වෙයි. අම්මාට හැමදාම තිබුණු ලොකුම හීනය මම උපාධියක් ගන්න එක. ඒත් මොනවා කරන්නත් අම්මා ජීවත් වෙලා ඉන්න ඕන. අවුරුදු දෙකක් තිස්සේ එක එක ප්ර්ශ්න මැද්දේ ආපු මේ දුර මට අම්මා වෙනුවෙන් අතාරින්න පුළුවන් බව මට ඒත්තු යමින් තිබුණා. සමහර දාට රෑ මැදියමට මම තිගැස්සිලා ඇහැරෙන්නේ අම්මා කෙඳිරිගාන සද්දේ හීනෙන් වගේ ඇහිලා. අම්මාට ආයෙත් ඇදුම උත්සන්න වෙලාද හිත හිත ගෙවුණ ඒ රැයවල් මගේ හුස්මත් හිර කළා.

මම නිහඬව හිටිය අතරේ සුලේඛා පැවරුමක් සම්පූර්ණ කරන්න පටන්ගෙන තිබුණා. ඔළුව ගිනිගෙන උන්නු මගෙන් මේ දවස්වල බින්දුවක් වත් උදවු නොලැබුණත් මේ හැම පැවරුමක් ම සුලේඛා අතින් මං වෙනුවෙනුත් අලුතෙන් ලියවෙන බවත් ඒවාට මටත් නොඅඩුව ලකුණු ලැබෙන බවත් මම දැනගෙන හිටියා. මේ හැම හැලහැප්පිල්ලක් මැද්දෙම නොවෙනස් ව මගේ ළඟ හිටිය සුලේඛා වගේම හොස්ටල් එකේ ගජේට මාව තියාගත්ත, තමන්ගේ කලිසම කමිසේ ඉඳන් මාත් එක්ක බෙදාගත්ත, කැන්ටිමෙන් කන්න සල්ලි නැති උණාම එක ප්ලේන්ටිය බෙදාගත්ත යාළුවො ටිකත් නොහිටින්න මට පිස්සු හැදිලා හුඟ කල්.

වැස්ස එන්න එන්නම තවත් තද වුණා. ඈත කස ගස් ටික නොපෙනෙන තරමට මීදුමක් පැතිරිලා තියෙනවා අපි හිටිය තැනට පෙනුණා. වෙනදාට දවාලට කඩි ගුලක් ඇවිස්සුණ තරමට කලබල කැම්පස් එක වැස්ස නිසා නිසොල්මන් වෙලා තිබුණා. මහා වැස්සේ තෙමි තෙමි දුවන කෙනෙක්, කුඩයක් අතින් ගත්තු කෙල්ලෙක් දෙන්නෙක් විතරක් වැහි දුමාරයෙන් මතුවෙලා ආයෙත් නොපෙනී ගියා. කඩදාසි මිටියක්ම පිරෙන්නට සීරුවෙන් මොනවාදෝ ලියමින් හිටිය සුලේඛා ගේ අතට හිරිකඩ ඉහුණත් එයාට ඒ ගැන නිනව්වක් තිබුණේ නැහැ. මගේ ළඟ තිබුණු ෆයිල් කවරයක් හිරිකඩ එන පැත්තට තියලා මම සුලේඛා ව වැස්සෙන් මුවාකළා.

මගේ අවධානය එයාට යොමු වෙලා කියලා තේරුණු සුලේඛා ලියවිල්ලෙන් ඔළුව ඉස්සුවා.

"සචිත් අපි අම්මාව කොළඹ ගේමු" එයා ස්ථිර කටහඬකින් කිව්වා.
එක තත්පරයකට මගේ හිතේත් බලාපොරොත්තුවක් ඇවිලිලා නිවිලා ගියා.

"මටවත් ඉන්න හරියකට තැනක් නැති එකේ එහෙම කරන්නේ කොහොමද සූ?"මගේ කටහඬේ පරාජිත බව මටම දැනුණා.

ඒත් සුලේඛා ඒ අදහස කිව්වේ ආවාට ගියාට නෙමෙයි කියලා මට තේරුණේ එයා තව දිගට විස්තර කියද්දී.
"මම මේ කිට්ටුවෙන් ඇනෙක්ස් එකක් හොයාගෙන ඔයාගේ අම්මාත් එක්ක ඒකෙ ඉන්නම්. එතකොට රෑකට උණත් අම්මාට අමාරු උණොත් මං ඉන්නවානේ. දවල්ට අපි දෙන්නා මාරුවෙන් මාරුවට අම්මාව බලාගමු. අපේ යාළුවො ටිකත් උදවුකරයිනේ." සුලේඛා කිව්වේ මේ ගැන සෑහෙන්න දුර කල්පනා කළ ගානට.

"ඒත්.. සල්ලි?"මම වචන එළියට දැම්මේ අමාරුවෙන්. හැම ප්ර ශ්නයකම විසඳුම නවතින්නේ සල්ලි ළඟින් බව මට ඒ වෙද්දී ඕනෑවටත් වඩා ඒත්තු ගිහින් තිබුණේ.

"මම දැන් බෝඩිමට ගෙවන ගානට වඩා ඕනනම් ටිකක් වැඩිවෙයි ඇනෙක්ස් එකක්. මට හවුලට නවතින්න යාළුවෙක් දෙන්නෙක් හොයාගන්න බැරිවෙන එකක් නැහැ. එතකොට අපිට උයාගෙන කන්නත් පුළුවන්. කෑමට වියදමත් අඩුයි. ඔයා කිව්වා නේද ටියුෂන් කරන්න විදිහක් තිබුණා නම් ගාණක් හොයාගන්න පුළුවන් කියලා? මම අපේ බෝඩිමේ ඇන්ටි ගෙන් ඇහුවා. එයා කැමතියි එයාගේ පුතාටයි තව ළමයි කීප දෙනෙකුටයි කැම්පස් ළමයෙක්ගෙන් ටියුෂන් ගන්න. අපි ඉතුරු ටිකකොහොම හරි කරගමු සචිත්. ඔයා ඩිග්රිය අතාරින්න හිතන්න එපා. අපි ඉක්මනටම අම්මාව ගේමු!"

සුලේඛා කිව්වේ එක හුස්මට. එයාගේ ඇස් දෙකේ බලාපොරොත්තු පිරිලා තිබුණා. මං වගේම එයාත් රෑ නිදි නැතිව කල්පනා කරලා කරලා මේ නිගමනයට ඇවිත් තිබුණු බව මට තේරුණා.

"ඒත්...සුලේඛා...මගේ අම්මාව..ඔයා බලාගන්න?"මගේ වචන හිරවුණේ ඇස් දෙකට කඳුළු පිරෙද්දී. සුලේඛා බොහොම කලාතුරකින් හම්බවෙන විදිහේ ගතිගුණ තියෙන කෙනෙක් බව දැනගෙන හිටියත් මං වෙනුවෙන් එයා මේ වගේ කැපකිරීමක් කරයි කියලා මට කවදාවත් හිතිලා තිබුණේ නැහැ.

"ඔව්! එතකොට පස්සේ කාලෙක ඒ නැන්දම්මා මේ ලේලි එක්ක රණ්ඩුවෙන එකක් නැහැනේ!" සුලේඛා හිනාවෙලා කිව්වා.

එයා එහෙම විහිළුවක් කරලා මගේ හිත සැහැල්ලු කරන්න උත්සාහ කළත් එයාගේ ඇස් දෙකේත් කඳුළු පිරිලා ඉතිරෙමින් තිබුණා.

මට කියන්න තිබුණු දේවල් පපුවේම හිරවෙලා නතරවුණා. මුකුත්ම නොකියා මම සුලේඛා ගේ අත තදින් අල්ලා ගත්තා. එයා කඳුළු පිහිදාගෙන ආයෙත් කලින් වගේ හිනාවුණා.

හදිසියේම ඇදගෙන වැටුණු තරම්ම ඉක්මනට වැස්ස නැවතුණා. ඇහැළ ගස් වල උස අතු අතරින් අව්ව තීරු අමාරුවෙන් පහළටරිංගන්න උත්සාහ කළා. සමහරවිට කැම්පස් එකට වැටෙන අකල් වැහි නතර වෙන්නෙත් එකපාරට නෙමෙයි වෙන්න ඇති. හෙමින් හෙමින් වලාකුළු ගහගෙන ගිහින් වැස්ස තුරල් වෙනවා ඇති. ඒත් කැන්ටින්වල මේස ළඟ ඉඳගෙන බැරෑරුම් කථාවල පැටලිලා ඉන්න අයට ඒ බව පේන්නේ නැතිවා වෙන්නත් ඇති.



Classic Magazine, Dept of Public Administration, University of Sri Jayawardenepura 2020, Vol 8, pages 29-30

-----------------------------------------------------------------------------------------------------------------
Classic කියන්නේ ජ'පුර රාජ්‍ය පරිපාලන විද්‍යා අධ්‍යනාංශයෙන් වාර්ෂිකව ප්‍රකාශනය කරන සඟරාවක්. සරසවියෙන් පිටවෙලා අවුරුදු බර ගණනක් වුණත්, ලංකාවෙන් පිට හිටියත්, හැම අවුරුද්දෙම මේ සඟරාවට කෙටි කතාවක් ලියලා එවන්න කියලා මට බොහොම ආදරයෙන් බලකරන මිතුරියක් දැන් සරසවියේ ඇදුරු මඩුල්ලේ ම ඉන්න නිසා මටත් ඒ සඟරාවේ කොටසක් වෙන්න ඉඩ ලැබෙනවා. මේ ඒකෙ 2020 කලාපය. තාම සඟරාවේ online version එකක් නැති නිසායි කතාව මේ විදිහට දැම්මේ. Classic සඟරාව වෙනුවෙන් මම ලවා කෙටි කතාව ලියවා ගත්තාට පවිත්‍රා මධුවන්ති මිතුරියට මගේ ආදරය!


Photo-Open Canteen from Lanka University News

February 08, 2020

ලේලිය



Translation of the Short-story 'The Daughter in Law' by Julie Bosma



මැක්ඩොනල්ඩ් නෝනා තමන්ගේ අනාගත ලේලියගේ චරිතය ඒතරම් හොඳ නැති බව දැනගත්තේ ගෙදර දොර විවෘත කළ ගමන්ම යි.

ජෝන් හිටියේ ඇගේ කැහැටු උරහිස් උඩින් අතක් දවටාගෙන ඈ ව තුරුලු කරගෙන. ඇගේ කොණ්ඩේ නම් ඒකාන්තයෙන්ම පාට ගන්වලා තිබුණු නිසා යි රත්තරන් පාට පෙනුණේ කියලා මැක්ඩොනල්ඩ් නෝනා ට හිතුණා. අවට හැමුව හීතල වෙලිංටන් හුළඟ ඒ කොණ්ඩේ විසිරුවලා ආයෙත් වතාවක් සායම් උලලා තිබුණු ඇගේ මූණේ අලවලා දැම්මේ බොහොම තදින්. කෙල්ල හිනාවුණා.

"අම්මේ, මේ සෑම්" ජෝන් ඈ ව ඉස්සරහට තල්ලු කරමින් කීවා.

"මුණගැහුණු එක ඇත්තටම සතුටක්" පිරිමි නමක් තිබුණු ඒ කෙල්ල ආයෙත් වතාවක් හිනාවෙලා කීවා.

"ඇතුළට ආවොත් හොඳයි" මැක්ඩොනල්ඩ් මහත්මිය ආපහු හැරිලා ඒ දෙන්නාට ඉස්සරහින් සාලයට ගියා.

ඒ දෙන්නා ගිනි උදුන ළඟ නුහුරු විදිහට හිටගෙන ඉන්න අතරේ තමන්ගේ පිටිපස්සෙන් කෙල්ලගේ මෝඩ හිනාවක් ඇයට ඇහුණා.

"වාඩිවෙන්න පැටියෝ" කියලා ජෝන් කෙල්ල ව හාන්සි පුටුවට තල්ලු කළා. ඊට අවුරුදු දොළහකට කළින් මැක්ඩොනල්ඩ් මහත්තයා මැරුණාට පස්සේ ඒ වෙනකම්ම කිසිකෙනෙක් ඒ පුටුවේ වාඩිවෙලා තිබුණේ නැහැ.

"අර පුටුව ඊට වඩා සැපපහසු වෙයි" හයිය මෙට්ට ඇති දුඹුරු පාට සැටි පුටුව පෙන්නලා මැක්ඩොනල්ඩ් නෝනා කීවාම කෙල්ල මූණ නරක් කරගෙන එතැනට ගිහින් වාඩිවුණා.

"එහෙනම් මේ තමයි ඔයාගේ යාලුවා?" අම්මා ඇහුවා.

"අම්මේ අපි විවාහ ගිවිසගෙන ඉන්නේ, තව මාසෙකින් මඟුල ගන්නවා. අගෝස්තු අටවෙනිදාට දිනේත් දාගෙන තියෙන්නේ. ඇයි මම කළින් කීවේ?" ජෝන් කිසිම ගෞරවයක් නැතිව කියලා සුසුමක් හෙළුවා.

"රොන් යි මායි හිතුවා අම්මා කැමති වෙයි කියලා අපට මඟුල් ගෙදර සැලසුම් කරන්න උදවු වෙන්න " සෑම් කීවා.

"රොන්? කවුද රොන්? මගේ පුතාගේ නම ජෝන්. එයාගේ නැතිවුණු තාත්තාගේ නමත් ඒකමයි" මැක්ඩොනල්ඩ් නෝනා කීවේ නොසතුටින්.

"ඒක පොඩි විහිළුවක්" කෙල්ල තමන්ගේ බාල කොණ්ඩය හදමින් ජෝන් දිහා බලමින් කීවා.
"රොනල්ඩ් මැක්ඩොනල්ඩ් දන්නවාද? අර මැක්ඩොනල්ඩ් එකේ ඉන්නේ. ඒවගේ මම මෙයාට හැමතිස්සෙම කියන්නේ රොන් කියලා, විහිළුවට!"

"මට නම් එතැන කිසිම විහිළුවක් පේන්නේ නැහැ" මැක්ඩොනල්ඩ් නෝනා කිසිම අනුකම්පාවක් නැතිව කීවා. 
"ජෝන් ගේ තාත්තා දන්නවා නම් මිනී වලෙනුත් නැගිටලා ඒවි!"

අහල පහල පිළිවෙලකට තිබුණු හැම කඩ පේළියක්ම අලුතින් අත්පත්කරගත්ත අප්‍රසන්න මැක්ඩොනල්ඩ් කෑම කඩ මතක් වෙලා ඈ කිලිපොලා ගියා. ඒවායේ විකුණන්නට ඇති හැම්බර්ගර් සහ චිප්ස් වල අප්‍රසන්න ගඳ නිතරම මහා පාරටත් දැනෙන හැටි ඈට මතක් වුණා. දවසක් ඒ කඩයක ජනේලයකින් එබිලා බලද්දී ඒ කඩය පිරෙන්න යටිගිරියෙන් කෑගහන ළමයි හිටිය බව ඈ දැක්කා. ඒ ළමයි තමන්ගේ කෑම ලැබුණු ගමන්ම ඒවා බිමට වීසි කරලා ළඟ තිබුණු කැත පාට ගෑව අට්ටාල උඩට නඟින්න දුවලා ගියා.

රොනල්ඩ් මැක්ඩොනල්ඩ් කියන්නේ කවුද කියලා මැක්ඩොනල්ඩ් නෝනා දැනගෙන හිටියේ නැති වුණත් ඈට ඒ ගැනත් හොඳ හැඟීමක් තිබුණේ නැහැ. ඈ ඇස් දෙක අඩවන් කරලා ආයෙත් වතාවක් කෙල්ල දිහා බැලුවා.

"මේ මහා බාල, ජරා, අයාලේ යන එකියක්! මේකිට මගේ ජෝන් ව බඳින්න දෙන්න බැහැ! කොහොමවත්ම බැහැ!" ඈට හිතුණා.

"අම්මේ තේ එකක් බොමු ද?" සමන්තා ව තුරුළු කරගන්න ගමන් ජෝන් ඇහුවා. "මට වගේම සෑම්ටත් තේ කෝප්පයක් ඕනවෙලා ඇත්තේ දැන් නම්"

"අනේ ඔව් මටත් එකක්, මිසිස් එම්" හැතිරිය කීවා.

මිසිස් එම්! හැබෑටම!

"ජෝන් මම ඔයා කැමතිම ජාතියේ කප්කේක් හැදුවා." සැටිය උඩ සිද්ද වෙන ආලවන්තකම් නොපෙනෙන්න ඊට උඩින් ඇති බිත්තිය දිහා බලාගත්වනම ජෝන්ගේ අම්මා කීවා.

"නියමයි අම්මා! ඒත් අමතක කරන්න එපා, මට අයිසිං නොදාපු එකක්!" කියලා ජෝන් කියද්දී සමන්තා කිසි හේතුවක් නැතිව ආයෙත් වතාවක් ඇගේ මෝඩ හිනාව හිනාවුනා.

"මම නම් හරි ආසයි අයිසිං දැම්ම ඒවාට" ඈ කීවා. "පාට පාට සීනි කුඩු දැම්ම ඒවාටත් ආසයි"

"මම නම් කැමති අරුමෝසම් නැතිව" ජෝන් කීවා. "ගෑනු ගැන මගේ කැමැත්ත නම් ඒකෙ අනිත් පැත්ත!"

මැක්ඩොනල්ඩ් නෝනා අකමැත්ත පෙන්නන්න වැරෙන් හුස්මක් පිඹලා කුස්සියට යන්න ගියා. එහෙම යද්දී තමන්ගේ රෝස පාට සෙරෙප්පු ඇතුලේ දෙපා බොහොම බර බවක් ඈට දැනුණා.

අඳුරු කුස්සිය එළිය කරන්න තරමට දිස්නය දෙමින් තිබුණු කප්කේක් ටික ඈට බොඳ වී පෙනුණා. ඈ ජෝන් වෙනුවෙන් හැදුව අයිසිං නොදැම්ම කප්කේක් එක ඇඟිල්ලකින් අල්ලලා පුළුවන් තරම් අනිත් ඒවායින් ඈතට කළා. කුස්සියේ බේසම යට අල්මාරිය තමන් අරින හැටි ඈ බලාගෙන හිටියේ රෝබෝ කෙනෙක් වගේ. මී පාසානම් අසුරණය ඇගේ අතට ආවේ ඉබේම.

කප්කේක්වල රෝස පාට අයිසිං උඩින් ඈ ඒවා යාන්ත්‍රිකව විසිරවූවා. මී පාසානම් අසුරනයේ තිබුණු කැට වර්ගයත් අයිසිං වල දීප්තිමත් රෝස පාටම බව දකිද්දී ඈට පුදුමයක් දැනුණා. ඈ ඒවා යන්තමට තෙරපුවා. ඇගේ ඔලුවේ අමුතු සැහැල්ලුවක්, හිස් බවක් දැනෙන්නට වුණා. අයිසිං නැති කප්කේක් එකත් අනෙත් ඒවාට එක්කළ ඈ, ඒවා සාලයට රැගෙන ගියා. තැටිල්ල ගෙන යද්දී ඇගේ දෑත වෙවුලුවේ වත් නැහැ .

"හැමෝටම කප්කේක් ගෙනාවා!" කියද්දී ඇගෙන් පිටවුණේ ඇගේ කටහඬ නෙමෙයි. "අපට අයිසිං දැම්ම ඒවා, ජෝන් ට මුකුත් නැති ඒවා"

"අපි බැන්දාට පස්සේ නම් මම කැමති දේවල් ඔයාටත් කන්න කියලා බල කරන්න මට සිද්ද වෙනවා" කෙල්ල කීවා.

"බලාගෙන ඉන්නේ මොකටද? ඔයා වෙනුවෙන් මම දැන් උනත් ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි!"

එහෙම කීව ජෝන් අයිසිං කළ කප්කේක් එකක් අතට අරගෙන පුළුවන් තරම් කට ඇරලා ඒක කටට දාගත්තා.


Published in Sannasa- February 2020 issue
Photo: peakpx.com




February 04, 2020

ජනවාරියේදී නත්තල් ගස්



"දෙසැම්බර් මාසයේදී සල්ලි දීලා නත්තල් ගස් ගන්නේ මොකටද? ජනවාරි වෙද්දී ඕනෑතරම් නිකම් හොයාගන්න පුළුවන්කම තියෙද්දී!" 
මේ කාටූනය පළ වෙලා තිබුණේ New Yorker සඟරාවේ ජනවාරි 23 කලාපයේ. New Yorker සඟරාවේ කාටූන් සාමාන්‍යයෙන් හාස්‍ය රසයෙන් ඉහළයි. කෑම පැයේ දී කෑම කන ගමන් රස විඳින්න නියමයි.  ඇත්තටම මේ කියන විදිහට ජනවාරි වෙද්දී හැමෝම වීසි කරලා දාලා තියෙන නත්තල් ගස් ඕන තරම් හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒ වෙද්දී නත්තල් ඉවර නිසා ඒවායෙන් වැඩක් නැහැ. කොයිතරම් ගස් නිකම් හොයාගත්තත් නත්තල් සැරසිල්ලට පරක්කු වැඩියි. 

මේ කාටූන් චිත්‍රයේ මේ තරම් විග්‍රහ කරන්න දෙයක් නම් නැහැ තමයි. සමහර විට මේ චිත්‍ර ශිල්පියා වත් මේ තරම් ඒ ගැන හිතුවේ නැතිව ඇති! ඒක දැක්කාම මට එකට කෙළින්ම අදාළත් නැති, නැත්තෙත් නැති කතාවක් මතක් වුණා. මගේ මිතුරියකට ඉන්නවා නව යොවුන් වයසේ දියණියක්. මේ අම්මයි දුවයි නිතරම රණ්ඩු. මගේ මිතුරිය හැමතිස්සෙම කෙල්ලට බැනගත්තු ගමන්මයි ඉන්නේ. කෙල්ලත් දැන් දැන් අම්මාගේ අදහස් වලට එරෙහි වෙමින් කතාකරනවා. සිය දහස්  වෙනි වතාවටත් මිතුරිය මේ නෝක්කාඩුව මට කියද්දී "ඔයා තිස්සෙම බනින්නේ නැතිව පොඩ්ඩක් දූ එක්ක හොඳින් කතා කරන්න බලන්නකෝ. එයා කියන දේවල් වලට ඇහුම්කන් දෙන බවක් තේරුණොත් ඔය මුරණ්ඩු ගතිය අඩු වෙන්න බැරි නැහැ" කියලා මම කිව්වා.

"හපෝ.. එහෙම කතාකරන්න ගියාම එයා එක්කෝ මහා බොළඳ කතාවක් කියයි, නැත්නම් මහා පණ්ඩිත කතාවක් කියයි!. ඕවා අහද්දී මගේ කේන්ති තවත් ඇවිස්සෙනවා! මම ඉන්නේ එයා තව ටිකක් ලොකු වෙලා වැඩිහිටි විදිහට හිතන්න ගන්නකම්. එතකොට මම එයා එක්ක යාලුවෙක් වගේ ඉන්නයි හිතාගෙන ඉන්නේ" මිතුරිය කීවා.  

ඒක අහලා මම නිරුත්තර උනා. ඒ දූගේ වයසේදී අතිශයින්ම බොළඳ වැඩ නොකළ, තමන්ට වඩා කෙනෙක් නැහැයි කියලා හිතාගෙන අතිශයින්ම පණ්ඩිත වැඩ නොකළ අය අඩුයි. අපි වැඩිහිටි වුණු ගමන් ඒවා අමතක වෙන්නේ ඇයි? ඒකත් අතඇරලා දාමු. ඒ දුව ගතකරන මේ බොළඳ + පණ්ඩිත කාලේදී තමන්ට ඇහුම්කන් නොදී නිරන්තරයෙන් බැණවැදුණු  අම්මා එක්ක එයා වැඩිහිටියෙක් වෙලා යාලුවෙක් වගේ ඉන්න ලෑස්තිවෙයිද? 

අපිත් සමහර වෙලාවට දෙසැම්බර් වල ගේන්න ඕන නත්තල් ගහ- නත්තල් පහුවෙලා උනත් කමක් නැහැ- නිකම් හම්බවෙනකම් බලාගෙන ඉන්න වෙලාවල් තියෙනවා නේද කියලා මට මේක දැක්කාම හිතුණා.