January 10, 2020

ස්තූතියි නෝනා

Translation of the short story 'Thank You, Ma’am' by Langston Hughes





ඇය උස මහත කාන්තාවක්, ඈ ළඟ තිබුණු විශාල අත් මල්ලේ නොතිබුණු දෙයක් නැති තරම්. ඒ මල්ලේ දිග පටිය ඈ උරහිසේ එල්ලාගෙනයි ගමන් කළේ. එක් අඳුරු රැයක, වෙලාව රාත්‍රී එකොළහට පමණ ඈ මෙලෙස තනිවම ගමන් කරමින් උන්නා. හදිසියේම ඈ පසුපසින් දිව ආ කොලුවෙක් ඇගේ මල්ල උදුරාගෙන දුවන්න උත්සාහ කළා. කොලුවා ඇගේ පසුපස සිට මල්ලේ පටිය ඇද්ද වේගයට එය කැඩී ගියා. කොලුවාගේ බරත් මල්ලේ බරත් දෙපැත්තට යෙදුණු නිසා ඔහුගේ සමබරතාවය නැතිව ගියා. ආ පිම්මටම මල්ල සොරාගෙන දිවයන්න සිතාගෙන උන් ඔහු, පාර අයිනට උඩුකුරුව ඇද වැටුණා. කාන්තාව ආපිට හැරී, සැණෙකින් ඔහුගේ පසුපසට පා පහරක් එල්ල කළා. ඉන්පසු ඈ නැඹුරු වී කොලුවාගේ කමිසයෙන් අල්ලා ඔසවා, දත් කුට්ටම් ගැලවී යන තරමට ඔහුව සෙලවූවා. 


“කොල්ලා! මගේ පසුම්බිය අහුලලා දෙනවා!” ඈ ඔහුට කීවා. 

එසේ කියා, ඔහුට එය අහුලාගන්නට නැඹුරුවෙන්නට හැකිවන තරමට අත බුරුල් කළා. 

“උඹට උඹ ගැනම ලැජ්ජාවක් දැනෙන්නේ නැතිද?” ඈ ඇසුවා 

කාන්තාව තමන්ගේ කමිසයෙන් වැරෙන් අල්ලා සිටි නිසා කොලුවා “ඔව් නෝනා" කීවා. 

“මොකටද මේක කළේ?” ඈ ඇසුවා 

“මම හිතලා කළ දෙයක් නෙමෙයි" කොලුවා පිළිතුරු දුන්නා. 

මේ වෙද්දී මඟ යන එන්නන් කිහිප දෙනෙක් නැවතී මේ ජවනිකාව නරඹමින් උන්නා. 

“මං උඹව අත ඇරියොත් උඹ දුවනවා ද?” කාන්තාව ඇසුවා.

“ඔව් නෝනා” කොලුවා කීවා 

“එහෙනම් මම උඹව අතඅරින්නේ නැහැ" කී ඇය ඔහුව අල්ලාගත්වනම හිටියා. 

“මට සමාවෙන්න නෝනා" කොලුවා රහසෙන් මෙන් කීවා 

“හ්ම්.. බලපන් උඹේ මූණේ කිලුටු, මට හිතෙනවා උඹට උඹේ මූණ හෝදලා දෙන්න. උඹේ මූණ හෝදලා දෙන්න ගෙදර කවුරුවත් නැතිද?”

“නෑ නෝනා" කොලුවා කීවා.

“එහෙනම් අද උඹේ මූණ හේදෙන දවස" කී කාන්තාව මහත් බියෙන් පසුවූ කොලුවාව තම පසුපසින් ඇදගෙනම පාර දිගේ යන්නට ගත්තා.

කොලුවාට වයස දාහතරක්, පහලවක් තරම් පෙනුණා. කෙට්ටු, කැහැටු ඔහු, නිල් ජීන්ස් කලිසමක් හැඳ ටෙනිස් සපත්තු පැළඳ සිටියා.

"උඹ මගේ පුතෙක් උනා නම් මම උඹට හරි වැරැද්ද කියලා දෙනවා. දැනට මට කරන්න පුළුවන් උඹේ මූණ හෝදන එක විතරයි. උඹට බඩගිනි ද?" කාන්තාව ඇහුවා

"නෑ නෝනා" ඔහුව ඇදගෙන යන අතරදීම කොලුවා පිළිතුරු දුන්නා. "මාව අතාරිනවා නම් ලොකු දෙයක්"

"මම අර පාරෙන් හැරිලා එද්දී මගෙන් උඹට කරදරයක් උනා ද?" ඇය ඇහුවා

"නෑ නෝනා" කොලුවා කීවා. 

"ඒත් උඹ ඇවිත් මාත් එක්ක ගැටුණා. මේ මුණගැහිල්ල ඉක්මනට ඉවරවෙයි කියලා උඹ හිතනවා නම් උඹට වැරදිලා. මම උඹව අතාරින වෙලාව ආවාම ලුයෙලා බේට්ස් වොෂින්ටන් ජෝන්ස් කියන්නේ කවුද කියලා උඹට හොඳට මතක හිටීවි."

කොලුවාගේ මුහුණ දහදියෙන් තෙත් ව ගියා, ඔහු දඟලන්නට පටන් ගත්තා. ජෝන්ස් මහත්මිය මොහොතකට නැවතී ඔහුව ඇගේ ඉදිරිපසට ඇදගත්තා. ඉන්පසු ඔහුගේ ගෙල වටා අතක් යවා ඔහුට සෙලවෙන්නට බැරිවෙන තරමේ තදින් අල්ලාගෙන නැවතත් ඔහුව හැත්තෑපස් වන වීදිය දිගේ ඇදගෙන යන්නට වුණා. ඇගේ නිවස වෙත ආ විට ඇය කොලුවා ව එහි ඇතුළටම ඇදගෙන ගොස් නිවසේ පසුපස තිබුණු මුළුතැන්ගෙයක් සහිත විශාල කාමරය වෙත එළඹුණා. ඉන්පසු ඈ විදුලි බුබුල දල්වා දොර විවර ව තැබුවා. මේ විශාල නිවසේ අන් කාමර කුලියට ගත් අයගේ සිනා හා කතා හඬ කොලුවාට ඇසුණා. සමහර කාමරවල දොරවල් විවර ව තිබුණු නිසා කාන්තාවත් ඔහුත් තනිව නැති බව ඔහුට වැටහුණා. ඇගේ කාමරය මැද සිටගෙන උන් ඇය තවමත් පසු වූයේ ඔහු ව අල්ලාගත් ගමන්මයි.

"උඹේ නම මොකක්ද?" ඈ ඇසුවා.

"රොජර්" කොලුවා පිළිතුරු දුන්නා.

"එහෙනම් රොජර්, අර බේසමට ගිහින් උඹේ මූණ හොදාගනින්" කී කාන්තාව අවසානයේදී ඔහුව අත්හැරියා. රොජර් දොර දෙසත්- කාන්තාව දෙසත්- නැවතත් දොර දෙසත් බලා බේසම අසලට ගියා.

"ටිකක් වෙලා වතුර ගලාගෙන යන්න අරින්න-රත් වෙනකම්" ඈ කීවා. "මෙන්න හොඳ තුවායක්"

"නෝනා මාව හිරේ දාන්න එක්කගෙන යන්නද හදන්නේ?" කොලුවා මුහුණ සෝදාගන්නට බේසම වෙත පහත්වෙමින් ඇසුවා.

"ඔය කිලුටු මූණ එක්ක නම් මම උඹව කොහෙවත් එක්කගෙන යන්නේ නැහැ." කාන්තාව කීවා. "මම මේ කන්න දෙයක් උයාගන්න බලාගෙන ගෙදර එද්දී උඹ ඇවිත් මගේ පසුම්බිය උදුරාගන්න හදනවා! මේ තරම් රෑ වෙලා තිබුණත් සමහරවිට උඹත් කාලා නැතිව ඇති, නෑ නේද?"

"මගේ ගෙදර කවුරුවත් නැහැ" කොලුවා කීවා.

"එහෙනම් අපි කමු" කාන්තාව කීවා. "උඹට එක්කෝ දැන් බඩගිනි ඇති, නැත්නම් උඹ බඩගින්නේ ඉන්න ඇති. ඒකයි මගේ පසුම්බිය උදුරන්න හැදුවේ!"

"මට නිල් පාට හම් සපත්තු දෙකක් ඕන" කොලුවා කීවා.

"උඹට හම් සපත්තු ඕන නම් මගේ පර්ස් එක උදුරන්න ඕන නැහැනේ" 

ලුයෙලා බේට්ස් වොෂින්ටන් ජෝන්ස් මහත්මිය කීවා. "උඹට මගෙන් අහන්න තිබුණා"

"නෝනා?" කොල්ලා වතුර බේරෙන මුහුණෙන් ඈ දිහා බැලුවා. බොහොම දිග නිහැඬියාවක් පැතිරුණා. කොලුවා මුහුණ පිසදාගත් පසු ඊළඟට කළ යුත්තේ කුමක්දැයි නොදැන නැවත වතාවක් මුහුණ පිසදාගත්තා. කාමරයේ දොර තිබුණේ විවර ව. ඔහුට කොරිඩෝව දිගේ දිව යන්නට පුළුවන්කම තිබුණා. බොහොම වේගෙන් දුවලා දුවලා යන්නට පුළුවන්!

කාන්තාව සෝපාවේ වාඩිවී සිටියා. "මාත් කලකට ඉස්සර තරුණ ව හිටියා. ලබාගන්න බැරි දේවල් වලට ආසා කළා." ටික වෙලාවකට පස්සේ ඈ කීවා.

තවත් දිග නිහැඬියාවක් පැතිරුණා. කොලුවාගේ කට ඇරුනා. තමන් ඔරවන බව නොදැනම ඔහු එරෙව්වා.

"අ..හා! උඹ හිතුවා මම 'ඒත්' කියයි කියලා නේද? උඹ හිතුවා මම 'ඒත් මං අනුන්ගේ පසුම්බි හොරකම් කළේ නැහැ' කියයි කියලා. එහෙම කියන්න මගේ ලෑස්තියක් තිබුණේ නැහැ." ඈ කතාව මඳකට නතර කළා. නිහඬ බව පැතිරුණා.

"මමත් එක එක දේවල් කරලා තියෙනවා. ඒ මොනවාද කියලා මම උඹට කියන්නේ නැහැ, දෙවියන් ඒ ගැන දන්නේ නැත්නම් මම දෙවියන්ට කියන්නේත් නැහැ. හැම කෙනාටම ඔය වගේ පොදු දේවල් තියෙනවා. දැන් වාඩිවෙයන්, මම කෑමට මොනවාහරි ලෑස්ති කරනකම්, අර පනාව උඹේ කෙස් ගස් අතරින් යවපන් ඩිංගක් මනුස්ස පාට වෙන්න"

ඒ කාමරයේ එක කෙළවරක ඉස්කිරීමක් පසුපස උදුනකුත් ශීතකරනයකුත් තිබුණා. ජෝන්ස් මහත්මිය නැගිට එතැනට ගියා. කොලුවා දුවලා යයිද කියා ඈ බැලුවේ නැහැ. ඒ වගේම සෝපාව උඩ තිබුණු තමන්ගේ පසුම්බිය ප්‍රවේසම් ද කියා ඈ බැලුවේත් නැහැ. ඒත් කොලුවා සොපාවට පුළුවන් තරම් දුරින්, කාමරයේ එහා කෙළවරින් වාඩිවුණා. මෙතැන උන්නොත් කාන්තාවට ඔහුව පහසුවෙන්ම පෙනෙනු ඇතැයි ඔහු සිතුවා. කාන්තාව තමන්ව විශ්වාස කිරීම ගැන ඔහුට විශ්වාසයක් තිබුණේ නැහැ. ඈට ඔහු ගැන අවිශ්වාසයක් ඇති වේ යැයි ඔහුට අවිශ්වාසයක් තිබුණා. ඔහු ඇගෙන් අවිශ්වාසයක් ලබන්නට සුදානමක් තිබුණේ නැහැ.

"නෝනාට කාව හරි කඩේට යවන්න එහෙම ඕනද?" කොලුවා ඇසුවා. "කිරි වගේ දෙයක් එහෙම ගෙන්න තියෙනවාද?"

"නෑ එහෙම වුවමනාවක් නම් නැහැ. උඹට ඕන නම් කිරි ටිකක් ගෙනෙන්. මම මේ කල් කිරි වලින් කොකෝවා බීමක් හදන්න ලෑස්ති වුණේ."

ඈ ශීතකරණයෙන් ගත් බෝංචි සහ හැම් රත් කර, කොකෝවා බීම ත් සමඟ මේසය මත තැබුවා. ඔහුට ලැජ්ජාවක් ඇතිවිය හැකි නිසා ඔහුගේ නවාතැන ගැන වත්, පවුලේ උදවිය ගැනවත්, එවැනි වෙන කිසිම දෙයක් ගැනවත් ඇය ඔහුගෙන් විමසුවේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ආහාර ගන්නා අතරේදී ඇය කරන රැකියාව ගැන ඈ ඔහුට කීවා. හෝටලයක රූපලාවණ්‍යාගාරයේ ඈ කරන රැකියාව ගැන, රූපලාවණ්‍යාගාරය බොහෝ රෑ වනතුරු විවෘත ව ඇති හැටි, එහි ඈ කළ යුතු දේ ගැන, ඊට පැමිණි විවිධ ගැහැනුන් ගැන , රන්වන් කෙස් ඇත්තියන් ගැන, රත් පැහැ කෙස් ඇත්තියන් ගැන, ස්පාඤ්ඤ ජාතික ගැහැනුන් ගැන ඇය විස්තර කළා. ඉනික්බිති ශත දහයක් දී ඈ මිලදීගෙන තිබුණු කේක් ගෙඩියෙන් පලුවක් කපා ඔහුට දුන්නා.


"තව කන්න පුතා" ඈ කීවා.

ආහාර ගෙන අවසන් වූ පසු ඈ නැගිට මෙසේ කීවා.

"මෙන්න, මේ ඩොලර් දහය අරගෙන ගිහින් උඹට නිල් හම් සපත්තු දෙකක් ගනින්. ඊළඟ සැරේ මගේ වත් වෙන කාගේවත් පසුම්බි උදුරාගන්න ලෑස්ති වෙන්න එපා. වැරදි ක්‍රමවලින් හොයාගත්තු සල්ලිවලින් ගන්න සපත්තු දැම්මෝතින් උඹේ කකුල් පිච්චිලා යාවි! මට දැන් ටිකක් විවේක ගන්න ඕන. මීටපස්සේ උඹ හරි විදිහට හැසිරේවි කියලා මම හිතනවා පුතා"


ඇය ඔහු කැටිව නිවසේ ඉදිරි දොර වෙත ගියා. 'සුබ රාත්‍රියක්, හොඳින් ඉන්න කොල්ලෝ!' ඔහු පඩිපෙළ බැස යද්දී පාර දෙස බලමින් ඈ කීවා.

ලුයෙලා බේට්ස් වොෂින්ටන් ජෝන්ස් මහත්මියට "ස්තූතියි නෝනා" කියනවාට වැඩි දෙයක් කියන්නට කොලුවාට වුවමනාව තිබුණා. ඔහුගේ තොල් සෙලවුණත් ඔහුට එය වත් කියාගන්නට හැකිවුණේ නැහැ. පාළු ඉස්තෝප්පුව අසල නැවතුණු ඔහු දොරකඩ සිටි මහත කාන්තාව දෙස හිස ඔසවා බැලුවා. ඉනික්බිති ඇය දොර වසා දැමුවා.


Original Story- Thank You, Ma’am by Langston Hughes. Published in 1958
Photo- Copyright free image from public domain

Published in Sannasa- January page 26


1 comment:

Related Posts Plugin for WordPress, Blogger...