December 29, 2019

Manga චිත්‍ර


Manga කියන්නේ ජපන් කාටූන් චිත්‍ර පොත් වර්ගයක්. මේවා ළමයි අතරේ හරි ප්‍රසිද්ධයි. ඉස්කෝලේ නිවාඩු කාලේ නිසා පුතා මේ දවස් වල කියවන පොත් ගොඩට Manga පොතුත් එකතුවෙලා. එයා ඒ පොත් ගන්නේ වැඩියත්ම ඒවයේ ඉන්න චරිත බලාගෙන අඳින්නත් එක්ක. එයා අඳින දිහා බලාගෙන ඉඳලා 'ඇයි අපිටත් බැරිද Manga චිත්‍ර අඳින්න!' කියලා හිතලා මාත් ට්‍රයි එකක් දීලා බැලුවා. මේ ඉන්නේ Fairy Tail Zero Series එකේ Mavisගේ මගේ version එක. 

හොඳ උත්සාහයක් කියලා පුතා කිව්වා. 😄😄



December 13, 2019

උගුලට හසුවූ කොටියා


Translation of the short story The Tiger, the Brahman, and the Jackal from Indian Fairy Tales by Joseph Jacobs



එකමත් එක රටක ජීවත් වුණු කොටියෙක් දවසක් උගුලකට අහුවුණා. මේ කූඩුවේ යකඩ කූරු වලින් පිටට එන්න කොයිතරම් උත්සාහ කළත් කොටියාට ඒක කරගන්න බැරිවුණා. කොටියා කේන්තියෙනුත් දුකෙනුත් කූඩුවේ ඒ පැත්ත මේ පැත්ත පෙරළෙමින්, යකඩ කූරු හපමින් දඟලන්න වුණා.

මේ වෙලාවේ අහම්බෙන් වගේ දුප්පත් ගැමියෙක් මෙතැනින් යන්න ආවා. "අනේ..පින් අයිති වෙයි, මාව මේ කූඩුවෙන් එළියට ගන්න!" ඒ බව දැකලා කොටියා විලාප දුන්නා.

"එහෙම නම් කරන්න බැහැ මිත්‍රයා!" ගැමියා හෙමින් සැරේ කිව්වා. "එහෙම කළොත් උඹ මාව කයි!"

"එහෙම වෙන්නේ නැහැ කීයටවත්" කොටියා හතර අතේ දිවුරන්න ගත්තා. "ඇත්තටම ඒකෙ අනිත් පැත්තයි වෙන්නේ. මාව බේරුවොත් මම ඔබතුමාට හැමදාම ණයගැතියි! මම වහලෙක් වෙලා ඔබට සේවය කරන්නම්!"

ඉතින් මේ විදිහට කොටියා අඬමින්, වැළපෙමින්, සුසුම් හෙළමින්, දිවුරන හැටි දකිද්දී කරුණාවන්ත ගැමියාගේ පපුව උණු වෙලා අන්තිමට කූඩුවේ දොර අරින්න එයා කැමති වුණා. කූඩුව ඇරුණු මොහොතේම කොටියා පිටතට පැනලා ගැමියා ව අල්ලාගත්තා.

"උඹ මහා මෝඩයෙක්! දවස් ගාණක් තිස්සේ කූඩුවේ හිරවෙලා ඉඳලා මට දැන් හොඳටම බඩගිනියි. උඹව නොකා ඉන්න මට කිසිම හේතුවක් නැහැ!" කොටියා කෑගැහුවා.

ගැමියා තමන්ගේ ජීවිතේ බේරන්න කියලා කොටියාට බැගෑපත් වුණා. ඒ ගැන කල්පනා කළ කොටියා ගැමියාට මුලින්ම මුණගැහෙන තුන්දෙනා කොටියාගේ තීරණය ගැන දෙන තීන්දුව අනුව ගැමියාට අභය දානය දෙන්න සලකලා බලන්න එකඟ වුණා.

ගැමියා මුලින්ම මේ විස්තරය කීවේ ළඟ තිබුණු රූස්ස ගහකට.

"මොකක්ද උඹ ඔය කරන පැමිණිල්ල?" ගහ ගැමියාගෙන් ඇහුවේ කිසිම අනුකම්පාවක් නැතිව. "මම මෙතැනින් යන හැම කෙනෙකුටම හෙවනක් දෙනවා, ඒත් මට ආපිට ලැබෙන්නේ මොනවාද? මිනිස්සු මගේ අතු කඩලා හරකුන්ට කන්න දෙනවා…ඔතැන වැළපෙන්නේ නැතිව හරි පිරිමියෙක් වෙයන්!"

මේක අහලා ගැමියාට මහා දුකක් දැනුණා. තව ටිකක් ඉදිරියට යද්දී එයාට සෙක්කුවකට බැඳලා උන්නු එළදෙනක් මුණගැහුණා. උගෙනුත් ගැමියාට හොඳ පිළිතුරක් ලැබුණේ නැහැ.

"කළගුණ සැලකීමක් බලාපොරොත්තු වෙනවා නම් උඹ මහා මෝඩයෙක්! දැන් බලපන් මගේ දිහා… මගෙන් කිරි ලැබෙනකම් උන් මට රස කෑම දුන්නා… දැන් මට කිරි නැති නිසා මේ සෙක්කුවට බැඳලා මට කන්න දෙන්නේ පිදුරු!" ඌ කීවා.

තවත් දුක හිතුණු ගැමියා තමන් ඇවිදගෙන යන පාරෙනුත් මේ ගැන අහලා බලන්න කල්පනා කළා.

"මහත්තයෝ.. ආපිට උපකාර බලාපොරොත්තු වෙනවා නම් ඔබ මහා මෝඩයි. දැන් බලන්න මම... බාල මහලු, දුප්පත් පෝසත් හැමෝටම මගෙන් ප්‍රයෝජනයි, ඒත් ඒගොල්ලෝ මාව පාගලා දාලා යන එක විතරයි කරන්නේ. ඒ අයගේ දුම් පයිප්ප වල අළුයි ධාන්‍ය වල පොතුයි විතරයි මට ආපිට ලැබෙන්නේ" පාර කීවා.

මේක අහලා ගැමියා බොහොම දුකෙන් ආපිට හැරිලා එද්දී නරියෙක් මුණගැහුනා.

"මොකද ගමරාළ මේ දුකෙන් වගේ?" නරියා ගැමියාගෙන් ඇහුවා. "ඔහේ නිකම් දියෙන් ගොඩ දැම්ම මාලුවෙක් වගේ නේ"

ඉතින් ගැමියා සම්පූර්ණ විස්තරයම නරියාට කිව්වා.

"මේක හරිම අවුල්සහගතයි නේ." කතාව අහගෙන උන්නු නරියා කීවා. "මට හැමදෙයක්ම පැටලුණා, තරහා නැතිව ආයෙත් ඒ සිද්ද වුණු දේ කියනවාද?"

ගැමියා ආයෙත් වතාවක් මුළු කතාවම නරියාට කීවා. ඒත් නරියා උන්නේ වෙන කල්පනාවක වගේ. එයාට කිසි දෙයක් තේරුම්ගන්න බැරි වුණා.

"හරි පුදුමයි" නරියා දුකෙන් කීවා. "මට ඔය විස්තරය ඔලුවේ රඳන්නේම නැහැනේ. එක කණකින් අහන දේ අනෙත් කණෙන් පිටවෙනවා වගේ. මම ඔය සිද්දිය වුණු තැනට යන්නම්. එතකොට මට ඒ ගැන හරි තීන්දුවක් දෙන්න පුළුවන් වේවි."


ඉතින් නරියාත් ගැමියාත් කළින් කොටියා උගුලට අහුවුණු කූඩුව ළඟට ආවා. කොටියා ගැමියා එනකම් කූඩුව ළඟ වාඩිවෙලා තමන්ගේ නියත් දතුත් උල් කරමින් හිටියා.

"උඹ සෑහෙන්න වෙලාව ගත්තා!" නපුරු කොටියා ගොරවන්න වුණා. "හරි, දැන් අපේ කෑම පටන්ගමු"

"අපේ කෑම කියලා කියන ලස්සන!" අසරණ ගැමියා බයෙන් වෙව්ලමින් හිතුවා "පුදුම සංවේදී කමක් තියෙන්නේ මෙයාගේ කතාවේ"

"අනේ ස්වාමීනි, මට විනාඩි පහක් දෙන්න!" ගැමියා බැගෑපත් වුණා. "මේ නරියා ටිකක් මෝඩ පහේ කෙනෙක්. මෙතැන සිද්ද වුණු දේ ඌට කියලා දෙන්න මට ටිකක් වෙලාව දෙන්න"

මේ ඉල්ලීමට කොටියාගේ අනුමැතිය ලැබුණා. ගැමියා ආයෙත් වතාවක් පුළුවන් තරම් වෙලාව අරගෙන අකුරක් වත් නෑර මුල ඉඳන්ම කතාව කියන්න ගත්තා.

"අනේ මගේ අසරණ ඔලුව!" නරියා දෑත් පටලමින් කෑ ගැසුවා."කෝ බලන්න, කොහොමද මේක පටන් ගත්තේ..ඔහේ කූඩුවේ හිටියා, එතැනින් කොටියා ඇවිදගෙන ගියා..."

"පිස්සුද?" කොටියා මැදට පැන්නා. "උඹ නම් මහා මෝඩයෙක්! මමයි කූඩුවේ උන්නේ!"

"ආ ඔව් ඔව්" නරියා බයෙන් වෙව්ලන බවක් පෙන්නමින් කීවා " ඔව්! කූඩුවේ උන්නේ මම... නෑ මම නෙමෙයි… අයියෝ! මට සිහිකල්පනාව නැතිවේගෙන යනවාද? ඉන්නකෝ බලන්න... කොටියා හිටියේ මිනිහාගේ ඇතුළේ, එතකොට එතැනින් කූඩුව ඇවිදගෙන ගියා… නෑ එහෙම වෙන්නත් බැහැ! අනේ මං ගැන වද වෙන්න එපා ඔබතුමා කෑම කන්න පටන් ගන්න, මට නම් කවදාවත් මේක තේරුම් ගන්න බැරිවෙයි!"

"උඹ මේක තේරුම් ගන්නවාමයි!" නරියාගේ මෝඩකමෙන් කුපිත වුණු කොටියා කෑගැහුවා. "මම මේක කොහොමහරි උඹට තේරුම් කරනවා! මේ බලපන්... මමයි කොටියා!"

"එහෙමයි ස්වාමීනි!"

"අර ඉන්නේ මිනිහා..."

"එහෙමයි ස්වාමීනි!"

"අර තියෙන්නේ කූඩුව..."

 "එහෙමයි ස්වාමීනි!"

"මම හිටියේ කූඩුව ඇතුළේ... තේරෙනවාද උඹට?"

"ඔව්… නෑ… අනේ මට සමාවෙන්න ස්වාමීනි"

"ඒ පාර මොකක්ද?" කොටියා නොඉවසිල්ලෙන් කෑගැහුවා

"අනේ ස්වාමීනි, ඔබතුමා කොහොමද කූඩුව ඇතුළට ගියේ?"

"ඇයි? සාමාන්‍ය විදිහට තමයි ගියේ!"

"අනේ… මගේ ඔලුවත් කැරකෙනවා! මෙහෙම ඇහුවාට තරහා ගන්න එපා ස්වාමීනි, ඒත් සාමාන්‍ය විදිහ කියන්නේ මොකක්ද?"

මේ කතාව අහලා කොටියාගේ ඉවසීමේ සීමාව පැන්නා. ඌ වහාම කූඩුව ඇතුලට පැනලා "මෙන්න මෙහෙමයි මම ඇතුළට ගියේ, දැන්වත් උඹට තේරුණාද?" කියලා කෑගැහුවා.

නරියා බොහොම දක්ෂ විදිහට වහා වහා කූඩුවේ දොර වහලා අගුලු දැම්මා.

"දැන් නම් හොඳටම තේරුණා!” ඉන්පස්සේ නරියා කපටි හිනාවකින් කීවා.

“තරහා අවසරයි, මම නම් හිතන්නේ අපි කරන්න ඕන හොඳම දේ තමයි හැම දෙයක්ම කළින් විදිහටම තියෙන්න අරින එක!"


Illustration by John D. Batten (1912)

Published in Sannasa Newspaper- Dec 2019 Page 32



December 10, 2019

ශෝකය

" Did you know that in Persian the word sad means a dam, a barrier built across a river designed to stop the water from flowing?" Yalda asks

"Yes I did," He replies, smiling.

-From the short story The Interpreter by Kate Elkington

දැන සිටියාද ඔබ
වේල්ලක් බව, ශෝකය
සවිමත් ව බැමි අහුරා
කඳුළු සුරැකිව සඟවන
කිසිත් නොවුණියි අඟවන

හදවතේ සිව් කෙළවර
එවන් බැමි දහසක් බැඳ
සුරකින්නන් ම වේ අප
සිනා පෙන්වන්නන් අප

එපමණක් නොව,

දැන සිටියාද ඔබ
දිය කඳක් බව, ශෝකය
බැමි වේලි හැම පුපුරා
හදවතේ බිම් සිස් කළ
හැඟුම් සූරා දිය කළ

වියරු වී උතුරා යන
එවන් සැඩ රළ පහරක
වරක් හෝ මියැදුණු අප
සිනා පෙන්වන්නන් අප



line drawing by pencil
 


November 28, 2019

වෙනත් නම් තිබුණා

'when we were happy we had other names'- Yiyun Li ගේ කෙටිකතාවක හමුවූ වැකියක් 

සිනාවන් විසිරුණ 
කහ පැහැ හවස් වරුවල
දම් පැහැති, දුක්බර 
මන්දාරම් හි කෙළවර 
අපහට 
වෙනත් නම් තිබුණා
දෑසින් දෑස මිමිණුව  

ලිහී ගිය කවියක  
සිතුවමක පාට බිඳුවක 
දෙතොල් මත නැවතුණු 
සුලැඟිල්ලක පහසක 
අපහට 
වෙනත් නම් තිබුණා 
සුසුමෙන් සුසුම කියැවුණ

සතුට නම් නිම්නය
අත්හළ දුර්ග ගමනක 
අසනි සරයක් සේ
සිහිවේ අදත් ඉඳහිට
අපහට
වෙනත් නම් තිබුණා 
හද බිතු අතර ලියැවුණ


Designs etched on boulders over centuries - Nobby's Beach, Newcastle, NSW


November 21, 2019

When Love Arrives




Phil Kaye and Sarah Kay reciting 'When Love Arrives'- on Button Poetry

“Love arrives exactly when love is supposed to, and love leaves exactly when love must.” 



වසන්තය




Spring by Linda Pastan

 

Just as we lose hope
she ambles in,
a late guest
dragging her hem
of wildflowers,
her torn
veil of mist,
of light rain,
blowing
her dandelion
breath
in our ears;
and we forgive her,
turning from
chilly winter
ways,
we throw off
our faithful
sweaters
and open
our arms.


 
මව්බිම පුවත්පත යං අතිරේකය 19.11.2019



November 08, 2019

විල්ලුද හාවා

The Velveteen Rabbit | Margery Williams




එක්තරා කාලයක විල්ලුද රෙද්දෙන් නිමවුණු හාවෙක් හිටියා. මුලදී නම් එයා හාවෙක් ඉන්න ඕන විදිහටම හොඳට ලස්සනට, මහතට හිටියා. මේ හාවාට සුදු-දුඹුරු පුල්ලි, ඇත්තම නූල් වලින් නිම වුණු රැවුල් ගස් වගේම රෝස සැටින් රෙද්දෙන් හැඩ වුණු කන් පවා තිබුණා. නත්තල් දවසේ උදේ පිරිමි ළමයාට ලැබෙන්න නියමිත තෑගි පුරවපු මේස් කකුලට මේ හාවා ව දාලා තිබුණේ එයාගේ අත් දෙක මැද්දේ හොලී ඉත්තකුත් රඳවලායි. ඒක හරිම ලස්සන දර්ශනයක් වුණා.


ඒ තෑගි පිරුණු මේස් කකුලේ තව ගොඩාක් දේවල් තිබුණා. කජු පියලි ජාති, දොඩම් ගෙඩි, සෙල්ලම් කෝච්චියක්, චොකලට් ආමන්ඩ් ඇට ටිකක්, යාන්ත්‍රිකව වැඩ කරන සෙල්ලම් මීයෙක් වගේ දේවල් කොයිතරම් තිබුණත් එතැන තිබුණු හොඳම දේ තමයි මේ විල්ලුද හාවා. එදා අඩුම තරමේ පැය දෙකක් වත් ළමයා හාවාට ආදරය කළා. ඊටපස්සේ ඔක්කොම නැන්දලා මාමාලා රෑ කෑමට ආවා, තෑගි දිග ඇරෙන සර සර සද්දේ ඇහුණා. අනෙත් තෑගි ටික බලන්න තිබුණු කලබලයි උනන්දුවයි අතරේ හැමෝටම විල්ලුද හාවා ව අමතක වෙලා ගියා.


ඊටපස්සේ සෑහෙන්න කාලයක් ගතවෙනකම්ම හාවා ජීවත් වුණේ සෙල්ලම් බඩු කාමරයේ අල්මාරියක් ඇතුලේ. කිසිකෙනෙක් එයාව ගණන් ගත්තේ නැහැ. එයා කොහොමත් කුලෑටි නිසාත් විල්ලුද රෙද්දෙන් නිමකරලා තිබුණ නිසාත් අනෙත් මිල වැඩි සෙල්ලම් බඩු නිතරම එයාට ඇනුම් පද කීවා. යාන්ත්‍රික සෙල්ලම් බඩු නම් හිටියේ හරි උඩඟුකමින්. ඒ අයට අලුත් අලුත් අදහස් තිබුණා. ඒ අය තමන්ට පණ තියෙන බවක් මවා පාලා හැම වෙලාවකම අනෙත් සෙල්ලම් බඩු පහත් කරලා සැලකුවා. ඍතු දෙකක්ම තිස්සේ තමන්ගේ ඇඟේ ගාලා තිබුණු තීන්ත වලින් වැඩි හරියක් අහිමි වෙලා තිබුණු සෙල්ලම් බෝට්ටු ආකෘතිය පවා අනෙත් අයගේ පුරසාරම් අහලා පුළුවන් හැමතිස්සෙම තමන්ගේ අංගෝපාංග ගැන කාර්මික නිර්වචන දුන්නා. ලෝකයේ ඇත්තම හාවෝ ඉන්න බව නොදැන හිටිය මේ හාවාට තමන් නම් කිසිම දෙයක අනුරුවක් බව කියන්න විදිහක් තිබුණේ නැහැ. එයා හිතාගෙන හිටියේ අනෙත් හැම හාවෙක්මත් තමන් වගේ ලී කුඩු පුරවලා තිබුණු අය කියලායි. ඒ වගේම ලී කුඩු කියන්නේ බොහොම යල් පැනපු දෙයක් නිසා අලුත් පන්නයේ සමාජ ආශ්‍රයෙදී ඒ ගැන කතා කළ යුතු නැති බවත් එයා දැනගෙන හිටියා. ආබාධිත සොල්දාදුවන්ගේ අතින් නිමවුණු ලී සිංහයා-තිමති- පුළුල් අදහස් දරන කෙනෙක් විය යුතු වුණත් තමන් ආණ්ඩුවට සම්බන්ධ බවක් පෙන්වමින් එයාත් නිතරම හිටියේ හරි උජාරුවෙන්. මේ හැම කෙනාම එකතුවෙලා පුංචි හාවාට තමන් කිසිම වැදගත්කමක් නැති බාල බඩුවක් බව ඒත්තු ගන්නලා තිබුණා. එයාට කරුණාව පෙන්නුවේ හම් අශ්වයා විතරයි.


හම් අශ්වයා අනෙත් හැම කෙනෙකුටම වැඩි කාලයක් සෙල්ලම් බඩු කාමරයේ ජීවත් වෙලා තිබුණා. එයා කොයිතරම් වයසයි ද කියනවා නම් එයාගේ ඇඟේ තැන තැන දුඹුරු ලොම් හැලිලා යටින් තිබුණු මූට්ටුත් මතුවෙලා පෙනුණා. එයාගේ වල්ගයේ නූල්, මාලවල පබළු අමුණන්න උගුල්ලගෙන ගිහින් තිබුණා. ඒත් එයා බොහොම නුවණක්කාරයි. අවුරුදු ගාණක් තිස්සේ යාන්ත්‍රික සෙල්ලම් බඩු මහා සේනාවක් ඇවිත්, උජාරු කතා කියලා, කාලයක් ගිහින් යාන්ත්‍රික දෝෂ ඇතිවෙලා මැරිලා යනවා හම් අශ්වයා හොඳහැටි දැකලා තිබුණා. ඒවා සෙල්ලම් බඩු විතරක් බවත්, කවදාවත් ඊට වැඩි දෙයක් බවට පත්වෙන්නේ නැති බවත් එයා දැනගෙන හිටියා. සෙල්ලම් කාමරයේ බල පැවැත්වුණු මායා බලය හරි අමුතුයි, අපූරු යි. හම් අශ්වයා වගේ කාලයක් තිස්සේ අත්දැකීම් ලබපු වයසක, නුවණක්කාර අයට විතරයි ඒවා ගැන තේරුමක් තිබුණේ.


"පණ ලැබෙනවා කියන්නේ මොකක්ද?"


හාවා දවසක් ඇහුවා. නැනා සෙල්ලම් කාමරය අස්කරන්න එන්න කලින් ඒ දෙන්නා උදුන ඉස්සරහා තිබුණු වැට ළඟ වැතිරිලා හිටියේ.


"ඒ කියන්නේ තමන්ගේ ඇඟ ඇතුලේ සද්ද වෙන මොනවා හරි තියෙන එකටද? දඟ කවන්න යතුරු තියෙන එකද?”


"පණ ලැබෙනවා කියන්නේ තමන්ව හදපු විදිහ නෙමෙයි." හම් අශ්වයා කීවා. "ඒක තමන්ට සිද්ධ වෙන දෙයක්. පුංචි ළමයෙක් තමන්ට සෑහෙන්න කාලයක් තිස්සේ ආදරේ කළා ම, සෙල්ලම් කරන්නම විතරක් නෙමෙයි-ඇත්තටම ආදරේ කළා ම, තමන්ට පණ ලැබෙනවා."


"එතකොට රිදෙනවාද?" හාවා ඇහුවා.


"සමහර වෙලාවට" හම් අශ්වයා නිතරම ඇත්ත කියන නිසා හාවාට ඇත්තම කීවා. "ඒත් පණ ලැබුණා ම රිදුණා ට ගාණක් නැහැ."


"ඒක යතුරකින් දඟ කවනවා වගේ එකපාරට වෙනවාද?" හාවා ඇහුවා. "නැත්නම් හෙමින් හෙමින් වෙන දෙයක් ද?"


"ඒක එකපාරට වෙන දෙයක් නෙමෙයි." හම් අශ්වයා උත්තර දුන්නා. “තමන් ඒ තත්ත්වයට පත්වෙනවා. ඒකට සෑහෙන්න කාලයක් යනවා. ඒකයි ඉක්මණින් කැඩෙනසුළු අයට, තියුණු දාර තියෙන අයට, පරෙස්සමෙන් බලාගන්න ඕන අයට පණ ලැබෙන්නේ නැත්තේ. සාමාන්‍යයෙන් පණ ලැබෙන කාලේ වෙද්දී ආදරය ලැබිලා ලැබිලා තමන්ගේ කෙස් ඔක්කොම හැලිලා, ඇස් ගැලවිලා, හන්දි බුරුල් වෙලා… කොටින්ම කියනවා නම් තමන් හොඳටම කසිකබල් වෙලා. ඒත් ඒ කිසි දෙයක් වැදගත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමන්ට පණ ලැබුණා ම ආයෙත් කවදාවත් කැත වෙන්නේ නැහැ. එහෙම කැතට පෙනුණත් පේන්නේ මේ සිද්ධ වුණු දේ නොතේරෙන අයට විතරයි.”


“ඔයාට නම් පණ ලැබිලා ඇති නේද?” හාවා ඇහුවා. ඒත් තමන් එහෙම ඇහුවේ නැත්නම් හොඳයි කියලා එයාට පස්සේ හිතුණේ හම් අශ්වයා ඒ කතාවට ටිකක් සංවේදී ඇති කියලා මතක් වෙලා. ඒත් හම් අශ්වයා හිනා වුණා විතරයි.


“මේ පිරිමි ළමයාගේ මාමා නිසා මට පණ ලැබුණා.” එයා කීවා. “ඒ නම් අවුරුදු ගණනාවකට ඉස්සර. ඒත් එක සැරයක් පණ ලැබුණා ම ආයෙත් නැතිවෙන්නේ නැහැ. ඒක හැමදාටම යි”


හාවා සුසුමක් හෙලුවා. තමන්ට නම් පණ ලැබෙනවා කියන මායාව සිද්ධ වෙද්දී තව කාලයක් ගතවෙයි කියලා එයාට හිතුණා. එයාට පණ ලබන්න, ඒක අත්විඳින්න ලොකු ආසාවක් තිබුණත් එහෙම වුණොත් තමන් පරණ පාට වෙන එක, ඇස්, රැවුල් ගස් නැතිවෙන එක නම් හරිම දුක හිතෙන වැඩක් කියලාත් හිතුණා. ඒවගේ කරදර නොවී පණ ලබන්න ඇත්නම් කියලා හාවාට හිතුණා.


සෙල්ලම් කාමරය පාලනය කළේ නැනා කියලා කෙනෙක්. සමහරවෙලාවට එයා සෙල්ලම් බඩු හැමතනම විසිරිලා තිබුණු එක ගණන් ගත්තේවත් නැහැ. ඒත් සමහරවෙලාවට කිසිම හේතුවක් නැතිවම එයා සුළි සුළඟක් හමනවා වගේ කලබලෙන් සෙල්ලම් බඩු අල්මාරි වලට වීසි කළා. එයා මේකට කීවේ ‘අස් කරනවා’ කියලා. සෙල්ලම් බඩු ටික- වැඩියත්ම යකඩින් හැදුව සෙල්ලම් බඩු - මේ අස් කිරිල්ලට ඩිංගක් වත් කැමැත්තක් තිබුණේ නැහැ. හාවට නම් මේක ගාණක් වුණේ නැහැ, ඒ එයා මෙළෙක නිසා කොතැනට වැටුණත් හානියක් වුණේ නැති නිසා.


එක හවසක, පිරිමි ළමයා නිදා ගන්න යද්දී එයා හැමදාම තුරුල් කරගෙන නිදාගත්තු පිඟන් මැටි බල්ලා ව හොයාගන්න බැරි වුණා. නැනා ලොකු හදිස්සියක හිටියේ- නින්දට යන වෙලාව පිඟන් මැටි බල්ලන්ව හොයන්න හොඳ වෙලාවක් නෙමෙයි. එයා වටපිට බලද්දී සෙල්ලම් බඩු අල්මාරියේ දොරක් ඇරලා තියෙනවා දැකලා ඉක්මනට එතැනට ගියා.


“ආ මෙන්න.” ඈ කීවා. “ඔයාගේ මේ පරණ හාවා ව ගන්න. එයා හොඳයි ඔයාට ළඟ තියාගෙන නිදාගන්න” එහෙම කියලා ඈ හාවා ව එක කණකින් ඇදලා අරගෙන පිරිමි ළමයාගේ අතට දුන්නා.


එදා රෑත් ඊටපස්සේ එළඹුණු රැයවල් ගණනාවකත් විල්ලුද හාවා පිරිමි ළමයාගේ ඇඳේ නිදාගත්තා. ළමයා එයාව තදට තුරුළු කරගත්ත නිසා, එයාගේ ඇඟ උඩට නින්දෙන්ම පෙරලුණු නිසා, සමහර වෙලාවට එයාව හුස්ම ගන්න බැරිවෙන තරමට කොට්ටය යටට තල්ලු කළ නිසා මුලදී මුලදී හාවාට හරි අපහසුවක් දැනුණා. මුළු ගෙදරම නිශ්ශබ්ද රාත්‍රී කාල වල, හඳ එළිය ඉහිරෙද්දී, සෙල්ලම් බඩු කාමරයේ ඉඳන් හම් අශ්වයා එක්ක කතා බහ කරමින් ගත කළ කාලයට ආයෙත් යන්න ඇත්නම් කියලාත් හිතුණා. ඒත් වැඩි කල් නොගිහින් හාවාට මේ හැමදේටම කැමැත්තක් ඇතිවෙන්න ගත්තා. පිරිමි ළමයා හාවා එක්ක නිතර කතා කළා, ඇඳ රෙදි අතරේ එයාට අපූරු බිංගෙවල් හදලා දුන්නා. එයා කිව්වේ ඒ බිංගෙවල් ඇත්ත හාවෝ ජීවත් වුණු ගුල් වගෙයි කියලා. නැනා උදුනට උඩින් ඇති රාක්කේ පහනක් පත්තු කරලා තියලා රෑ කෑමට ගියාම ඒ දෙන්නා රහස් කියමින් එක එක ඉස්තරම් සෙල්ලම් ජාති කළා. පිරිමි ළමයා ට නින්ද ගියාම හාවා එයාගේ පුංචි උණුහුම් නිකට යටට තුරුල් වෙලා හීන දකින්න පුරුදු වුණා. ළමයා රෑ පුරාම හාවා ව තුරුළු කරගෙන නිදා ගත්තා.


මේ විදිහට කාලය ගත වුණා. හාවා හරිම සතුටින් හිටියේ. කොයිතරම් සතුටින් හිටියාද කියනවානම් තමන්ගේ ලස්සන විල්ලුද ලොම් පරණ වේගෙන යන හැටි දැනුණේ වත් නැහැ. තමන්ගේ වලිගේ මූට්ටු ලෙහිලා ගිය බවත් ළමයා හාදු දුන්නු තැන් වල නහයේ රෝස පාට මැකිලා ගිහින් බවත් තේරුණේ නැහැ.


වසන්තය එළඹුණාම දෙන්නා දවස පුරාම ගෙඋයනේ කාලය ගත කළා. ළමයා යන යන හැමතැනම හාවාත් අරගෙන ගියා. හාවා වීල්බැරෝවේ ගමන් ගියා, තණ බිස්සේ සෙල්ලම් සාද වලට හවුල් වුණා. මල් පාත්ති පිටිපස්සේ රාස්බෙරි පඳුරු අස්සේ හාවාට සුරංගනා කුටි තැනුණා. දවසක් හාවා ව ඇඳිරි වැටෙන වේලාවත් පහුවෙනකම් තණබිස්සේ අමතක වෙලා ගිහින් තිබුණේ ළමයා සෙල්ලම් කර කර ඉන්දැද්දිම එයාට ගමනක් යන්න අඬගහලා තිබුණු නිසා යි. හාවා නැතිව ළමයාට නින්ද යන්නේ නැති නිසා එදා නැනා කළුවරේම ඉටිපන්දමක් අරගෙන හාවා ව හොයන්න ආවා. ඒ වෙද්දී පිණි වැටිලා හාවා තෙත් වෙලා හිටියේ. ළමයා හදලා දුන්නු ගුල් වල රිංගලා ඇඟේ හැමතැනම පස් ගෑවිලාත් තිබුණා. නැනා මැසිවිලි කිය කියා තමන්ගේ ඇඳුමේ කොණකින් හාවා ව පිහිදැම්මා.


“ඔයා මේ පරණ හාවා ව ඕනෙමයි කියන හැටි!” ඈ ළමයාට කීවා. “සෙල්ලම් බඩුවක් වෙනුවෙන් මේ තරම් කලබලයක්!”


පිරිමි ළමයා දෑත පාලා ඇඳ උඩ වාඩිවෙලා හිටියා.


“දෙන්න මගේ හාවා ව!” එයා කීවා. “එහෙම කියන්න එපා. එයා සෙල්ලම් බඩුවක් නෙමෙයි. එයාට පණ තියෙනවා!”


ඒක ඇහුණාම හාවාට හරි සතුටක් දැනුණා. හම් අශ්වයා කීව දේ ඇත්ත බව එයාට තේරුණා. සෙල්ලම් බඩු කාමරයේ මායාවට නතුවෙලා තමන් දැන් තවදුරටත් සෙල්ලම් බඩුවක් විතරක් නෙමෙයි. තමන්ට පණ ලැබිලා... ඒ බව කීවේ පිරිමි ළමයාමයි!


එදා රෑ සන්තෝසය වැඩි කමට හාවාට නින්ද ගියේත් නැහැ. එයාගේ පුංචි ලී කුඩු හදවත පුපුරලා යන තරමට ආදරයෙන් පිරිලා ගියා. බොහොම කාලෙකට ඉස්සර දිස්නය නැති වුණු හාවාගේ බොත්තම් ඇස් දෙක අමුතුම ලස්සනකින්, නුවණක්කාර බවකින් හැඩ වුණා. මේ වෙනස කොයිතරම් ද කියනවානම් ඊළඟ දවසේ උදේ නැනා හාවා ව අතට ගනිද්දී හාවාගේ අමුත්තක් දැක්කා. “මේ හාවාගේ මූණේ තියෙනවා නිකම් හැමදේම දන්නවා වගේ පෙනුමක්!” ඈ කීවා.


ඒ ගිම්හාන කාලය සතුටින් පිරුණු එකක් වුණා!


ඒ කට්ටිය ජීවත්වුණු ගෙදර කිට්ටුව පුංචි කැලයක් තිබුණා. ජුනි මාසයේ දිග හවස් වරු වල දී, හවස තේ වේලාවෙන් පස්සේ ඒ කැලයට සෙල්ලම් කරන්න යන්න ළමයා බොහොම ප්‍රිය කළා. මෙහෙම යද්දී එයා විල්ලුද හාවාත් අරගෙන ගියා. කැලේ තැන තැන ඇවිදලා මල් කඩලා එකතුකරන්න යන වෙලාවට, එහෙම නැත්නම් ගස් අතරේ සොල්දාදු සෙල්ලමට යන වෙලාවට ළමයා හාවාට කොළ රොඩු එකතු කරලා පුංචි කැදැල්ලක් හදලා දුන්නා. මෙහෙම කළේ එයා බොහොම හිත හොඳ කෙනෙක් නිසායි. එක හවසක හාවා මෙහෙම වාඩිවෙලා තමන්ගේ විල්ලුද අත් දෙක මැද්දෙන් එහාට මෙහාට යන කූඹි දිහා බලාගෙන ඉන්දැද්දි කිට්ටුව තිබුණු උස පඳුරක් අතරින් අමුතු සත්තු දෙන්නෙක් හෙමින් මතුවෙනවා දැක්කා.


ඒ හිටියේත් තමන් වගේම හාවෝ තමයි, ඒත් අයට හොඳට ලොම් තිබුණා, අලුත් පාටක් පෙනුණා. ඒ හාවෝ දෙන්නාගේ කිසිම මූට්ටුවක් නොපෙනුණ නිසා උන්ට හොඳ නිමාවක් තිබුණු බවක් පෙනුණා. එහෙ මෙහෙ යද්දී ඒ දෙන්නාගේ හැඩය අමුතු විදිහකට වෙනස් වුණා. තමන් වගේ හැමතිස්සෙම එකම හැඩයකට නැතිව ඒ අය එක මොහොතක් හීනියට දිගට පෙනුණා, ඊළඟ මොහොතේ මහතට, රවුමට පෙනුණා. හෙමින් අඩි තියමින්, නහයවල් සොලවමින් ඒ අය මේ හාවා ළඟටම ආවා. සාමාන්‍යයෙන් දුවන පනින අය එහෙම හෙලවෙන්නේ යතුරකින් දඟ කැව්වාට පස්සේ බව දැනගෙන උන්නු හාවා ඒ දෙන්නාගේ යතුරු තිබුණු තැන හරියටම දැකගන්න මහන්සි වුණා, ඒත් එහෙම දෙයක් දකින්න ලැබුණේම නැහැ. පෙනුණ විදිහට මේ අලුත්ම ජාතියේ හාවෝ දෙන්නෙක්.


උන් නහයවල් සොලවමින් පුංචි හාවා දිහා බලාගෙන හිටියා, එයාත් ආපිට ඒ අය දිහා බලාගෙනම හිටියා.


“ඇයි ඔයා නැගිටලා ඇවිත් අපි එක්ක සෙල්ලම් නොකරන්නේ?” එක හාවෙක් ඇහුවා.


“මට සෙල්ලම් කරන්න හිතක් නැහැ” තමන්ට දඟ කවන කොටස් නැති බව කියන්න අකමැති නිසා හාවා එහෙම උත්තර දුන්නා.


“හෝ! ඒක හරි ලේසි වැඩක්” ලොම් පිරුණු හාවා එහෙම කියලා පැත්තට පිම්මක් පැනලා තමන්ගේ පස්සා ගාත් දෙකෙන් හිටගත්තා. “මම හිතන්නේ නැහැ ඔයාට පුළුවන් කියලා!"


“මට පුළුවන්!” පුංචි හාවා කීවා. “මට ඕනෑ තරම් උසට පනින්න පුළුවන්!” එයා එහෙම කියද්දී අදහස් කළේ ළමයා තමන්ව උඩට වීසි කළාම එහෙම පනින්න පුළුවන් බව- ඒත් ඒ බවක් කියන්න එයාට වුවමනාවක් තිබුණේ නැහැ.


“ඔයාට පුලුවන්ද පස්සා ගාත් වලින් උඩ පනින්න?” ලොම් පිරුණු හාවා ඇහුවා.


ඒක හරි දරුණු ප්‍රශ්නයක්. ඒකට හේතුව විල්ලුද හාවාට පස්සා ගාත් තිබුණේම නැහැ! එයාගේ පිටිපස්සේ කොටස අල්පෙනිති ගහන කොට්ටයක් වගේ තනිකරම රවුමට මහලා තිබුණේ. හාවා හෙලවෙන්නේ වත් නැතිව කොළ රොඩු අතරේ වාඩිවෙලා හිටියේ මේ බව අනෙත් හාවෝ නොදකියි කියන බලාපොරොත්තුවෙන්.


“මට එහෙම කරන්න ඕනෑකමක් නැහැ!” එයා ආයෙත් වතාවක් කීවා.

ඒත් කැලේ හාවොන්ට හොඳ තියුණු ඇස් තිබුණා. ඉන් එක හාවෙක් බෙල්ල දිගඇරලා හොඳට බැලුවා.


“එයාට පස්සා ගාත් නැහැ!” එයා කෑගහලා කීවා. “හිතලා බලන්නකෝ.. පස්සා ගාත් නැති හාවෙක්!” එහෙම කියලා එයා හිනාවෙන්න පටන් ගත්තා.


“මට පස්සා ගාත් තියෙනවා!” පුංචි හාවා කෑගහලා කිව්වා. “මම ඒවා උඩ වාඩිවෙලා ඉන්නේ!”


“එහෙනම් ඒවා මේ විදිහට දිග ඇරලා මට පෙන්නන්න!” කැලෑ හාවා කිව්වා. එහෙම කියලා කැරකි කැරකි නටන්න පටන්ගත්තා. ඒක බලාගෙන ඉඳලා පුංචි හාවාට කැරකිල්ලත් හැදුණා.


“මම කැමති නැහැ නටන්න” එයා කීවා. “මම වැඩියම කැමති දඟලන්නේ නැතිව ඉන්න"


ඒත්, එහෙම කියද්දීත් එයාට නටන්න හරි ආසාවක් දැනුණා. එයාගේ ඇඟ ඇතුලේ අලුත්ම, අමුතුම කිතියක් දැනුණා. අනෙත් හාවෝ වගේ තමන්ටත් උඩ පනින්න ලැබෙනවා නම් මේ ලෝකේ ඕන දෙයක් ඒ හිලව්වට දෙන්න පුලුවන් බවක් එයාට දැනුණා.


අමුතු හාවා නැටිල්ල නවත්තලා ළඟටම ආවා. කොයිතරම් ළඟට අවාද කියනවානම් උගේ රැවුල් ගස් විල්ලුද හාවා ගේ කණක ගෑවුණා. එයා එකපාරටම නහය රැළි කරලා, කන් දෙක පහත් කරගෙන ආපස්සට පැන්නා.


“මෙයාගෙන් දැනෙන්නේ හරි සුවඳක් නෙමෙයි!” එයා කෑගැහුවා “මෙයා හාවෙක් නෙමෙයි! එයාට පණ නැහැ!”

“මට පණ තියෙනවා!” පුංචි හාවා කීවා. “මට පණ තියෙනවා! ළමයා ඒ බව කීවා!” එහෙම කියද්දී එයාට ඇඬෙන්නත් ගියා.


ඒ වෙලාවේ අඩි සද්දයක් ඇහුණා, පිරිමි ළමයා එතැනින් දුවලා ගියා. ඒ එක්කම අඩි හප්පලා පුංචි සුදු වලිග ගස්සලා හා අමුත්තෝ දෙන්නාත් අතුරුදහන් වුණා.


“ආයෙත් ඇවිත් මාත් එක්ක සෙල්ලම් කරන්න!” පුංචි හාවා කෑගහලා කීවා. “අනේ ආයෙත් එන්න. මම දන්නවා මට පණ තියෙනවා කියලා!”


ඒත් කිසිම උත්තරයක් ලැබුණේ නැහැ. පුංචි කූඹි ටික විතරක් එහේ මෙහෙ ගියා, අමුත්තෝ දෙන්නා යන්න ගිය තැන තිබුණු පඳුර හෙමින් හෙල්ලුණා. විල්ලුද හාවා තනිවෙලා හිටියා.


“අනේ, ඇයි ඒ අය එහෙම පැනලා ගියේ!” එයා හිතුවා. “ඇයි නැවතිලා මාත් එක්ක කතා නොකළේ?”


අනෙත් හාවෝ දෙන්නා ආයෙත් එයි කියන බලාපොරොත්තුවෙන් සෑහෙන්න වෙලාවක් යනකම් හාවා පඳුරු දිහා බලාගෙන නිසොල්මන් ව හිටියා. ඒත් ඒ අය ආපිට ආවේම නැහැ. ටික වෙලාවකින් ඉර බැහැලා ගිහින් පුංචි සුදු මෙරු එළියට පියාඹලා ආවා, පිරිමි ළමයා ඇවිත් හාවා ව ගෙදර අරගෙන ගියා.


සති ගණනක් ගතවුණා. හාවා එන්න එන්නම පරණ පාට වුණත් පිරිමි ළමයා එයාට තිබුණ ආදරේ අඩුවක් නම් වුණේ නැහැ. ඒ ආදරේ කොයිතරම් ද කියනවානම් එයාගේ රැවුල් ගස් ගැලවිලා ගියා, කන් දෙකේ රෝස පාට අළු පාටකට හැරුණා, දුඹුරු පුල්ලි මැකිලා ගියා. එයාගේ හැඩයත් වෙනස් වෙලා හාවෙක්ගේ හැඩය නැතිවෙලා ගියා. ඒත් ළමයාට නම් හාවා හැමදාම ලස්සනට පෙනුණා. පුංචි හාවාට වැදගත් වුණේ ඒ බව විතරයි. සෙල්ලම් බඩු කාමරයේ මායා බලයෙන් තමන්ට පණ ලැබුණු නිසා අනෙත් අයට තමන්ව කොහොම පෙනුණත් ඒ ගැන වගක් වුණේ නැහැ. පණ ලැබුණාට පස්සේ තමන් කොයිතරම් කසිකබල් පාට වුණත් කමක් නැහැ කියලා හාවාට හිතුණා.


ඔය අතරවාරයේ දවසක් පිරිමි ළමයා ලෙඩ වුණා.


එයාගේ මූණ හොඳටම රතුවුණා, එයා නින්දෙනුත් කතා කළා. එයාගේ පුංචි ඇඟ කොයිතරම් රස්නේ වුණා ද කියනවා නම් හාවා ව තුරුල් කරගෙන ඉන්දැද්දි පිච්චෙනවා වගේ දැනුණා. එක එක විදිහේ අමුත්තෝ නිතරම කාමරයට ඇවිත් ගියා. රෑ එලිවෙනකල්ම කාමරයේ පහනක් පත්තු වුණා. මේ හැමදෙයක්ම සිද්ධවෙන අතරේදී විල්ලුද හාවා ඇඳ රෙදි යටට වෙලා හෙල්ලෙන්නේවත් නැතිව හැංගිලා හිටියා. එහෙම හිටියේ ළමයාට තමන්ව ඕන බව දැනගෙන හිටිය නිසා, තමන්ව කවුරුහරි හොයාගෙන අයින් කරාවි කියලා බයෙන්.


ඒක බොහොම දිග වෙහෙසකර කාලයක්. ළමයා අසනීපෙන් නිසා සෙල්ලම් කළේ නැහැ. හාවාට දවස තිස්සෙම කිසිම දෙයක් නොකර ඉන්න එක හරිම කම්මැලි වැඩක් වුණා. ඒත් එයා බොහොම ඉවසීමෙන් ගුලිවෙලා බලාගෙන හිටියේ ඉක්මණටම ළමයාට සනීප වෙනකම්. ආයෙත් මල්, සමනලයන් පිරුණු ගෙවත්තට යන්නත් රාස්බෙරී පඳුරු අතරේ අපූරු සෙල්ලම් කරන්නත් ලැබෙනකම් එයා මඟ බැලුවා. හාවා එහෙම ඉන්න අතරේ ඉස්සරහට කරන්න බොහොම සොඳුරු දේවල් සැලසුම් කළා. අඩ නින්දේ ඉන්න ළමයාගේ කොට්ටය ලඟට හෙමින් සැරේ ගිහින් එයාගේ කණට කොඳුරලා ඒ සේරම දේවල් කිව්වා. ටික දවසක් යද්දී උණ අඩුවෙලා ළමයාට සනීප වුණා. හාවාත් පැත්තකින් තුරුල් වෙලා ඉන්දැද්දි එයාට ඇඳේ වාඩිවෙලා පින්තූර පොත් බලන්න පුළුවන් වුණා. දවසක් ළමයාට ඇඳෙන් බැහැලා ඇඳුම් මාරු කරගන්න පවා අවසර ලැබුණා.


ලස්සන ඉර එළිය ඉහිරුන උදෑසනක කාමරයේ ජනේල ඇරලා තිබුණේ. පිරිමි ළමයාව පොරෝණයකින් ඔතලා සඳලුතලයට ඔසවාගෙන ගිහින් තිබුණා. පුංචි හාවා ඇඳ රෙදි අතරට වෙලා කල්පනා කර කර හිටියේ.


ළමයා හෙට මුහුදු වෙරළ තියෙන පැත්තකට යන්නයි හිටියේ. ඒ වෙද්දී හැම දේම ලෑස්ති කරලා දොස්තරගේ උපදෙස් පිළිපදින්න විතරයි ඉතිරි වෙලා තිබුණේ. ඒ ගැන අනෙත් අය කතා කරද්දී පුංචි හාවා ඇඳ රෙදි යට වැතිරිලා, ඔලුව විතරක් යන්තම් එළියට දාගෙන අහගෙන හිටියා. මුළු කාමරයේම විෂබීජ නැති කරන්නත්, ළමයා අසනීප කාලේ සෙල්ලම් කළ හැම සෙල්ලම් බඩුවක් ම, පොතක්ම පුළුස්සලා දාන්නත් නියමිත වෙලා තිබුණා.


"නියමයි!" හාවා හිතුවා. "හෙට අපි මුහුද තියෙන පැත්තට යනවා!" ළමයා නිතරම මුහුද ගැන කතා කළ නිසා එයාටත් ලොකු රළ පෙරලෙන හැටි, පුංචි කකුළුවෝ, වැලි මාලිගා මේ හැම දෙයක්ම දකින්න ලොකු ආසාවක් තිබුණා.


ඒ වෙලාවේම හාවා ව නැනාගේ ඇහැ ගැටුණා.


"එතකොට මේ පරණ හාවා?" ඈ ඇහුවා.


"ඕකද?" දොස්තර ඇහුවා. "ඕක විෂබීජ ගොඩක් නේ! වහාම පුච්චලා දාන්න. මොකක්ද? විකාර! එයාට අලුත් එකක් ගෙනත් දෙන්න. ආයෙත් ඕක නම් දෙන්න එපා!"


ඉතින් ඔය විදිහට පරණ පින්තූර පොත් එක්ක වෙනත් කුණු කසල ගොඩාක් පුරවපු ගෝනියකට හාවාත් දාලා වත්තේ කෙළවර කුකුල් කොටුව පිටිපස්සට ගිහින් දැම්මා. ගිණි ගොඩක් ගහන්න එතැන නම් කියාපු තැන, ඒත් උයන්පල්ලාට වෙන වැඩ තිබුණු නිසා ඒ වෙලාවේ ඒක කරන්න ලැබුණේ නැහැ. එවෙලේ අර්තාපල් ගලවන්නයි, බෝංචි අස්වැන්න නෙලන්නයි තිබුණු නිසා පස්සෙන්දා පාන්දරම ඇවිත් ඒ ටික පුළුස්සලා දාන්න එයා පොරොන්දු වුණා.


එදා රෑ පිරිමි ළමයා නිදාගත්තේ වෙන නිදන කාමරයක. එයාට නිදාගනිද්දී ලඟින් තියාගන්න අලුත් හාවෙක් ලැබිලා තිබුණා. සුදු පාට ලොම්, ඇත්තම වීදුරු ඇස් තිබුණු එයා හරිම ලස්සන හාවෙක්. ඒත් ළමයා ලොකු උද්යෝගයකින් හිටිය නිසා අලුත් හාවා ගැන එයාට හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. පස්සෙන්දා මුහුදු වෙරළ පැත්තට යන එක කොයිතරම් අපූරු දෙයක්ද කියනවානම් ළමයාට වෙන කිසි දෙයක් ගැන කල්පනා වුණේ නැහැ.


ඉතින් ළමයා මුහුද ගැන හීන දකිමින් නිදාගෙන ඉන්දැද්දී කුකුල් කොටුව පිටිපස්සේ පරණ පින්තූර පොත් ගොඩේ වැතිරිලා උන්නු පුංචි හාවාට හරිම තනිකමක් දැනුණා. ගෝනිය ගැටගහලා නොතිබුණු නිසා ඇතුලේ ටිකක් එහා මෙහා වෙලා ගෝනි කටෙන් ඔලුව එලියට දාලා වටපිට බලන්න හාවාට පුළුවන් වුණා. හැමදාම හොඳ ඇඳක නිදාගෙන පුරුදුවෙලා තිබුණු නිසා හාවා හීතලෙන් වෙව්ලුවා. ළමයා තුරුළු කරගෙනම ඉඳලා හාවාගේ ලොම් තට්ටුවත් තුනී වෙලා තිබුණු නිසා එයින් ආරක්ෂාවක් නම් ලැබුණේ නැහැ. හාවාට ළඟින්ම පෙනුණේ නිවර්තන වනාන්තරයක් වගේ උසට හැදුණු රාස්බෙරී පඳුරු ටික. ඒවායේ හෙවනේ ඉස්සර ළමයාත් එක්ක සෙල්ලම් කළ හැටි හාවාට මතක් වුණා. ඉස්සර ඉර එළිය ඉහිරුණ බොහොම දිග පැය ගණන්වල ගෙවත්තේ ගත කළ කාලය මතක් වෙලා, ඒ දවස්වල ඒ දෙන්නා කොයිතරම් සන්තෝසයෙන් හිටියාද මතක් වෙලා හාවට ලොකු දුකක් දැනුණා. මේ හැම සිද්ධියක්ම එකක් අනෙකට වඩා ලස්සනට එයාට මැවී පේන්න පටන් ගත්තා. මල් පාත්තිවල තැනුණු සුරංගනා කුටි, කැලයේ කොළ රොඩු උඩ වැතිරිලා ගත කළ නිහඬ හවස් වරු, තමන්ගේ අත් දෙක උඩින් පුංචි කූඹි එහේ මෙහේ ගිය හැටි, තමන්ට පණ තියෙන බව දැනුණු ඒ සුන්දර දවස-මේ හැම දෙයක්ම එයාට මතක් වුණා. හාවාට හම් අශ්වයාගේ නුවණක්කාර බව, මෘදු බව, එයා තමන්ට කීව දේවල් මතක් වුණා. හැම දේම අවසාන වෙන්නේ මේ විදිහට නම් ආදරයත් ලබලා, තමන්ගේ ලස්සනත් නැතිවෙලා පණ ලැබුණු එකේ ප්‍රයෝජනය මොකක්ද? මේවා හිතද්දී එකම එක කඳුළු බින්දුවක්-ඇත්ත කඳුළු බින්දුවක්-එයාගේ පාට මැකුණු විල්ලුද නහය දිගේ ගලාගෙන ඇවිත් බිමට වැටුණා.


එතකොටම හරිම පුදුම දෙයක් සිද්ධ වුණා. කඳුළු බින්දුව බිමට වැටුණු තැන, ගෙවත්තේ කොහේදී වත් නොදැකපු ජාතියේ අමුතුම මලක් පැන නැඟුනා. කොළ මැණිකක දිස්නය තිබුණු හීනි දිගටි කොලත් ඒ මැද්දේ රත්තරන් පාට කෝප්පයක් වගේ මලකුත් තිබුණා. ඒක කොයිතරම් ලස්සනද කියනවා නම් හාවාට අඬන්නත් අමතක වෙලා වැතිරිලා ඒ දිහාවේ බලාගෙනම හිටියා. ටික වෙලාවකින් මලේ පෙති දිගඇරිලා සුරංගනාවියක් එළියට ආවා.


ඈ මුළු ලෝකේම හිටිය ලස්සනම සුරංගනාවිය. ඇගේ ගවුම මහලා තිබුණේ මුතු ඇටයි පිණි කැටයි එකතු කරලා. ඇගේ බෙල්ල වටේත් කෙහෙරැළි අතරේත් මල් ගවසලා තිබුණා. ඇගේ මූණත් ලස්සන මලක් වගේ පෙනුණා. ඈ පුංචි හාවා ළඟට ඇවිත් එයාව තුරුළු කරගෙන, අඬලා තෙත් වෙලා තිබුණු එයාගේ පුංචි විල්ලුද නහයට හාදුවක් දුන්නා.


"පුංචි හාවෝ" ඈ කීවා, " ඔයා දන්නවාද මම කවුද කියලා?"


හාවා ඈ දිහා හොඳහැටි බැලුවා. ඈව කළින් දැකලා හුරු බවක් දැනුණත් ඒ කොහෙදිද කියලා හාවාට මතක් වුණේ නැහැ.


"මම තමයි සෙල්ලම් කාමරයේ මායාවට අධිපති සුරංගනාව" ඈ කීවා. "ළමයි ආදරය කළ සෙල්ලම් බඩු බලාගන්නේ මම තමයි. ඒවා පරණ වෙලා, අබලන් වෙලා ළමයින්ට තවදුරටත් ඕනේ නැති වුණාම මම ඒවා අරගෙන ගිහින් පණ දෙනවා."


"මට කළින් පණ තිබුණේ නැද්ද?" පුංචි හාවා ඇහුවා.


"පිරිමි ළමයා ඔයාට ආදරේ කළ නිසා ඔයාට පණ තියෙන බවක් දැනුණේ එයාට විතරයි. ඒත් දැන් ඔයා හැම කෙනෙකුටම දැනෙන විදිහට පණ ලබන්න හදන්නේ"


එහෙම කියලා ඈ පුංචි හාවා ව දෑතින්ම තුරුළු කරගෙන කැලයට පියාඹලා ගියා.


ඒ වෙද්දී හඳ පායලා තිබුණු නිසා හැමතැනම ආලෝකය පැතිරුණා. ගස් වල අතු තුහින වැටිලා රිදී පාටට දිලිසෙමින් තිබුණු නිසා මුළු කැලයම ලස්සනට පෙනුණා. ගස් අතරේ එළිමහනක කැලෑ හාවෝ තමන්ගේ හෙවනැලි එක්ක සෙල්ලම් කරමින්, විල්ලුද තණ පලසේ නටමින් හිටියා. සුරංගනාවිය දුටුව ගමන් ඒ අය තමන්ගේ නැටුම් නවත්තලා රවුමට හිටගෙන ඈ දිහා දෑස් දල්වාගෙන බලා හිටියා.


"මම ඔයාලට සෙල්ලම් කරන්න අලුත් යාලුවෙක් ගෙනාවා." සුරංගනාවිය කීවා. "ඔයාලා එයාට බොහොම කරුණාවන්ත වෙලා හාවන්ගේ ලෝකයේ හැම දෙයක්ම එයාට කියලා දෙන්න ඕන. මින්පස්සේ එයා හැමදාටම ඔයාලා එක්ක ඉන්නයි යන්නේ.”


එහෙම කියලා ඈ පුංචි හාවාට හාදුවක් දීලා එයාව තණ බිස්සෙන් තිබ්බා.

"දුවලා ගිහින් සෙල්ලම් කරන්න පුංචි හාවෝ!" ඈ කීවා.


ඒත් පුංචි හාවා නිසොල්මන්ව මොහොතක් වාඩිවෙලා හිටියා. අනෙත් කැලෑ හාවන්ගේ නැටුම් දකිද්දී එයාට හදිසියේ මතක් වුණා තමන්ගේ පස්සා ගාත් ගැන. තමන් තනි හැඩේට නිමවලා තියෙන බවක් ඒ අය දකිනවාට හාවාට අකමැත්තක් දැනුණා. සුරංගනාව අන්තිම වතාවට තමන්ට හාදුවක් දෙද්දී තමන් සම්පූර්ණයෙන්ම වෙනස් කළ බව එයා දැනගෙන හිටියේ නැහැ. නහයට පුංචි කිතියක් නොදැණුනා නම් තව සෑහෙන්න වෙලාවක් හෙල්ලෙන්නෙවත් නැතිව ලැජ්ජාවේ එයා එහෙමම ඉන්න තිබ්බා. පුංචි හාවා නහය කසන්න තමන්ගේ පස්සා ගාතයක් ඉබේම ඉස්සුවා. ඒ වෙලාවේ තමයි තමන්ට පස්සා ගාත් තියෙන බව එයා දැනගත්තේ! ඊට අමතරව පරණ විල්ලුද රෙද්ද වෙනුවට තමන්ට දැන් දිලිසෙන දිග දුඹුරු ලොම් තියෙන බවත්, ඉබේම වගේ නැටවෙන කන් තියෙන බවත්, තණකොළ වල ගෑවෙන තරමේ දිග රැවුල් ගස් තියෙන බවත් හාවා දැක්කා. පස්සා ගාත් ලැබීමේ සතුටට එයා ලොකු පිනුමක් ගහලා තණබිස්ස වටේටම පැන පැන ගියා. එහෙම බොහොම උද්යෝගයෙන් අනෙත් අය කළ විදිහට ඒ පැත්තට, මේ පැත්තට පනිමින්, කැරකෙමින් උන්නු හාවා හදිසියේ මතක් වෙලා, නැවතිලා සුරංගනාවිය හොයද්දි ඈ අතුරුදහන් වෙලා තිබුණා.


අවසානයේදී හාවා අනෙත් හාවෝ අතරේ ඇත්තම, පණ තියෙන හාවෙක් බවට පත්වුණා.


හේමන්ත කාලයත් සීත කාලයත් ගෙවිලා ගියා. වසන්ත කාලය ආයෙත් ඇවිත් උණුසුම්, හිරු එලිය පිරුණු දවස් එළඹුනාම පිරිමි ළමයා ගේ පිටිපස්සේ කැලයට සෙල්ලම් කරන්න ගියා. එහෙම සෙල්ලම් කරද්දී හාවෝ දෙන්නෙක් පඳුරු අතරින් රිංගලා ඇවිත් එයා දිහා එබිලා බැලුවා. ඉන් එක්කෙනෙක් තනි දුඹුරු පාටයි. ඒත් අනෙත් එක්කෙනාගේ ඇඟේ ලොම් යටින් අමුතු පුල්ලි ලකුණු තිබුණේ හරියට ඉස්සර ඒ ඇඟේ පුල්ලි තිබුණා වගේ. ඒ පුංචි සිනිඳු නහයේත්, රවුම් කළු ඇස් දෙකේත් මොකක්දෝ හුරුපුරුදු බවක් දැනුණු නිසා ළමයා මෙහෙම හිතුවා


"අර හාවා නම් මම උණ හැදිලා උන්නු කාලේ නැතිවුණු මගේ පරණ හාවා වගේමයි!"


ඒත් ඒ එයාගේ පරණ හාවා ම බව ළමයා දැනගෙන හිටියේ නැහැ. ඒ හාවා ඇවිත් තිබුණේ තමන්ට මුලින්ම පණ දුන්නු පුංචි ළමයාව බලලා යන්න යි.





The Velveteen Rabbit by Margery Williams, Illustrations by William Nicholson Published in 1922

Photo: From the book Velveteen Rabbit- Wikimedia Commons



October 28, 2019

නීත්‍යානුකූල පිටස්තරයා - රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ 2019 සාහිත්‍ය පරිවර්තන තරඟයේ දෙවෙනි ස්ථානය


ලංකාවේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පසුගියදාක තිබුණු ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය වෙනුවෙන් පරිවර්තන තරඟයක් සංවිධානය කරනු ලැබුවා . ඒ තරඟයේ ඉංග්‍රීසි-සිංහල භාෂා ප්‍රවර්ගය යටතේ තරඟයට ඉදිරිපත් වීමට නම් පරිවර්තනය සඳහා කෙටිකතා තුනක් අතරින් එකක් තෝරාගැනීමට නියමිතව තිබුණා. ඒ තරඟයට ඉදිරිපත් වී මා කළ පරිවර්තනයට තරඟයේ දෙවෙනි තැන ලැබුණා. ඒ දිනුමට අදාළ මගේ පරිවර්තනයත්, මුල් කෙටිකතාවත් පහතින් -


Literary Translation Competition - 2019- (English- Sinhala Category) Second Place
Translation of the short story Legal Alien by Rutangye Crystal Butungi


නීත්‍යානුකූල පිටස්තරයා






ඒ පිළිගැනීමේ නිලධාරිනිය මගෙන් වෛද්‍ය උපදේශන ගාස්තුවක් අය නොකරන්නේ මම ඇගේ පෙළපතේ කෙනෙක් නිසා බව මට අදහාගන්නත් බැරිවුණා. ඒ වගේ වංචනික වැඩ කළේ දේශපාලනඥයෝ සහ ලොකු ව්‍යාපාරිකයෝ කියලයි මම හිතාගෙන හිටියේ. ඒත් මේ වගේ පුංචි නගරයක තියෙන වෛද්‍ය සායනයක පිළිගැනීමේ නිලධාරිනියක් කරන වංචාවක් නිසා මට වාසියක් වෙමින් තිබුණා. මේක හොඳ වැඩක් ද නරක වැඩක්ද කියලා මට නොතේරුණත් ඒ ගැන වද නොවෙන්න මම හිතා ගත්තා. ඒ වෙද්දී මම එක එක කාර්යාල වලට දුවමින්, ලියකියවිලි සහතික කරගනිමින් දවසම ගත කරලා තිබුණා. දැන් මට ඕන වෙලා තිබුණේ දොස්තරවරයෙක් ලවා මගේ වෛද්‍ය පරීක්ෂාව කරගෙන, ඒ වාර්තාව සහතික කරලා මුද්‍රා තියාගන්න. ඒත් මෙතැන වෛද්‍ය පරීක්ෂණයේ ගාස්තුවට අමතරව ලොකු උපදේශන ගාස්තුවකුත් අය කරන බව තේරුණාම නම් මම ලැස්ති වුණේ මෙතැනින් පිට වෙලා යන්න. ඒත් පෝරමයේ තිබුණු මගේ නම දැකලා පිළිගැනීමේ නිලධාරිනිය “ඒ කියන්නේ ඔයා අපේ ගමේ නේ! ඇයි ඔයාගේ වාසගම මට මුලින් නොකිව්වේ, කිව්වා නම් මම විශේෂයක් කරනවානේ" කියලා අපේ භාෂාවෙන් මා එක්ක කතාකරන්න පටන් ගත්තා.

“ඔයාගේ ගම කොහේද කියලා මට කිව්වා නම් මම ඔය ලොකු උපදේශන ගාස්තුව ගෙවන්න කියලා කියන්නේ නැහැ. කොහොමත් මට අදට ඇති තරමට ලැබිලා තියෙන්නේ, ඒ නිසා ඒ ගාන ගෙවන්න කරදර වෙන්න ඕන නැහැ. ඊළඟ ලෙඩා එළියට ආවාම ඔයාගේ පරීක්ෂණයට ඇතුළට යන්න පුළුවන්.” වාසනාවකට වගේ ඈ මේ අන්තිම වාක්‍ය ටික කීවේ ඉංග්‍රීසියෙන්. ඊටපස්සේ ආයෙත් අපේ භාෂාවෙන් දොඩවාගෙන යන්න පටන් ගත්තා. ඈ කීව එක වචනයක් වත් මට නොතේරුණු බව ඈට කියන්න මට හයියක් තිබුණේ නැහැ. ඒ, මට මගේ මව් භාෂාවෙන් කතාකරන්න බැරි බව ගැන හේතු දක්වන්න සුදුසු දවසක් නෙමෙයි.


මගේ මව් භාෂාවේ අඩුපාඩුව මට මුලින්ම තේරුණේ 93 දී මම පුංචි කෙල්ලෙක් ව හිටිය කාලේදී බව මම ඈට එළිදරව් කරන්න යන්නේ නැහැ. එදා තාත්තා මාව පන්ති කාමරය ළඟට එක්කගෙන ගිහින් මාව එතැන තියලා ගියා. ඊටපස්සේ මම අඬන එක නතර කළේ ගුරුවරයා මාව පන්තිය ඇතුළට එක්කගෙන ගියාම. ඒ පන්ති කාමරය බොහොම ලොකු එකක්! එතැන බංකු පහළොවක විතර, එක බංකුවක ළමයි හත් දෙනා බැගින් ළමයි සීයකට වැඩිය වාඩිවෙලා හිටියා. කිලුටු බිත්තිවල ගාලා තිබුණු නිල් පාට තීන්ත දඟ ළමයි තැනින් තැන පලුදු කරලා තිබුණා. ඒ පන්තියේ අල්මාරි, ගුරු මේස, බුමුතුරුණු, නිදාගන්න වෙන් කළ තැන්, පිඟන් ගඩොල් වගේ කිසි දෙයක් තිබුණේ නැහැ. ළමයි රංචුවක්, බංකු කීපයක්, සිමෙන්ති පොළොවක්, පන්තිය ඉස්සරහ හිටවලා තිබුණු පරණ කළු ලෑල්ලක් වගේ දේවල් විතරයි තිබුණේ. ඒ හැම දෙයකම මහා පරණ පාටක් තිබුණා. කාමරය හැඩ කරන්න අදහස් අරගෙන තිබුණේ ‘ඇඩම්ස් ෆැමිලි’ කියන රූපවාහිනී වැඩසටහනේ කතාවකින්ද කියලා හිතන්න තරම් කාරණා තිබුණා. පන්තියේ පිටිපස්සේ කොටසේ බිම හැමතැනම ළමයින්ගේ මලු විසිරිලා තිබුණේ ඒ හැම එකක් ම එල්ලලා තියන්න ඇතිවෙන්න කොකු නොතිබුණු නිසා. මුහන්ගසිමා මහතා කියලා තාත්තා කතා කළ කෙනා පන්තියේ ගුරුවරයා වෙන්න ඕන කියලා හිතලා මම එයාගේ දිහා බලලා “ශීතකරණය කෝ?” කියලා ඇහුවා.

මුලින්ම ඇහුණේ පන්තියේ ළමයි පුදුමයෙන් හුස්ම ඉහළට අදින හඬ, ඊළඟට ඇහුණේ හැමෝම හිනාවෙන හඬ. මම ආයෙත් අඬන්න පටන් ගත්තා. මුහන්ගසිමා මහතා මගේ ළඟට පහත් වෙලා “මේක පන්ති කාමරයක්. අපි පන්ති කාමර වල ශීතකරණ තියාගන්නේ නැහැ. කැන්ටිමේ ඇර මේ මුළු ඉස්කෝලෙටම ශීතකරණයක් නැහැ. ආ නැහැ... කුස්සියේ අලුත් එකක් තියෙනවා-” කියලා හෙමින් කිව්වා.

“එතකොට මම විවේක වෙලාවට කන්න ගෙනාව කෑම ටික කොහෙද තියන්නේ?”

“ඒවා ඔයාගේ මල්ලේ තියෙන්න අරින්න, මල්ල පන්තිය පිටිපස්සෙන් තියන්න"

එයා පන්තියේ පිටිපස්සට මාව එක්කගෙන ගිහින් එතැන හයිය කොක්කක එල්ලලා තිබුණු මල්ලක් කලබලයෙන් බිමට අතඇරලා මගේ මල්ල එතැන එල්ලුවා.


මට මේ අලුත් වටපිටාව තේරුම් ගන්න අමාරු වුණා. ඕස්ට්‍රේලියාවේ නම් ළමයි තිස් දෙකක් හිටිය මගේ දෙක වසර පන්තිය තමයි ඉස්කෝලේ තිබුණු ලොකුම පන්තිය. එහේ හැම පන්තියකම විවේකය කාලෙ එනකම් ළමයින්ගේ කෑම තියන්න ශීතකරණයක් වගේම ඕන නම් කෑම ආයෙත් රත් කරගන්න මයික්‍රෝවේව් උදුනකුත් තිබුණා. මගේ ඕස්ට්‍රේලියාවේ පන්තියේ කතන්දර වේලාවට අපට වාඩිවෙන්න බුමුතුරුණු තිබුණා, ගණිත ගැටලු විසඳන්න රතු, නිල් ඝනක තිබුණා. චිත්‍ර අඳින්න, අලුත් දේවල් ගැන හිතන්න, හවසට නිදා ගන්න එහෙම වෙන වෙනම වෙන් කළ තැන් ඒ පන්තියේ තිබුණා. මෙහේ වගේ නෙමෙයි, එහෙදි නම් අපිට කැමති ඇඳුමක් අඳින්න නිදහස තිබුණා. ඒත් මේ ඉස්කෝලේ නම් මට දණහිස ට ම දිග සුදු මේස් දාන්නත්, අම්මාට මල්ලි හම්බවෙන්න ඉන්දැද්දී ඇන්දා වගේ කොළ-සුදු කොටු ගවුමක් අඳින්නත් සිද්ධ වුණා. එකම වෙනස මේ ගවුමේ ඉනට පටියක් තියෙන එක. ඒක මහා අමුතු නිල ඇඳුමක්!

මුහන්ගසිමා මහතා පන්තියේ පිටිපස්ස හරියේ තිබුණු බංකුවකට මාව එක්කගෙන ගියා. එතැන ළමයි පස් දෙනෙක් වාඩිවෙලා හිටියා.

හීනි තොල් තියෙන ගැහැණු ළමයෙක් ළඟින් මට වාඩි වෙන්න පෙන්නලා “ඩේසි හොඳ ළමයෙක්, එයා ඔයා එක්ක යාළු වෙයි" කියලා එයා හෙමින් හිනා වෙවී යන්න ගියේ ලොකු හිනාවක් අමාරුවෙන් නවත්ත ගත්ත විදිහට. මම එතැනින් වාඩිවෙලා ‘හෙලෝ’ කීව ගමන්ම ඩේසි මගෙන් ඈත් වුණු විදිහට බංකුවේ හිටිය අනිත් ළමයි තල්ලු වෙලා බිම වැටෙන්නත් ගියා. එයා පොතටම ඔළුව ඔබාගෙන මුහන්ගසිමා මහතත්යා කලු ලෑල්ලේ සටහන් කරලා තිබුණු ගණිත ගැටලු විසඳමින් හිටියා. ඝනක පාවිච්චි නොකර මට ඊට කලින් කිසි දවසක දොළහට පහලවක් එකතු කරන්න සිද්ධ වෙලා තිබුණේ නැති නිසා මට කිසිම දෙයක් තේරුණේ නැහැ. ආයෙත් වතාවක් පන්තියේ ළමයි මට හිනාවෙයි කියලා බය හිතුණු නිසා මම ඒවා ඉල්ලුවේ නැහැ. පාඩම පැහැදිලි කරන්න කියලා මම ඩේසිගෙන් ඉල්ලන්න උත්සාහ කළ හැම සැරයකම එයා මගෙන් ටික ටික ඈත් වුණා. එයා මාව ප්‍රතික්ෂේප කරන බවත් එතැන මට බිඳින්න බැරි බාධකයක් තිබුණු බවත් මට තේරුණා.

බාධක. මගේ අවධානය ආයෙත් වතාවක් පිළිගැනීමේ නිලධාරිනියගේ නොනවතින දෙඩවිල්ලට යොමු වුණා. ඈ කීවේ සායනයේ අමුත්තන්ට වෙන් කළ කොටසේ ඇගේ ඉස්සරහින් වාඩිවෙන්න කියලා බව මට යන්තම් තේරුණා. මේ වෙද්දී 2011 අවුරුද්දත් ලබලා තිබුණත් තවමත් මට බිඳින්න බැරි මේ වගේ බාධක තියෙන බව මට තේරුම් ගියා. ඈ මට කියනවා ඇත්තේ මොනවා වෙන්න ඇති ද? මේ වෙද්දී අවුරුදු දහඅටක් ගත වෙලා තිබුණත් මම තවම පන්තියේ අනිත් ළමයි හෙමින් සැරේ මඟඇරලා ගිය ඒ කෙල්ලම බව මට හිතුණා. මේ බාධකය නිසා මට නිතරම පිටස්තර සමාජ කණ්ඩායම් එක්ක එකතුවෙන්න අමාරුවක් දැනුණා. එක්කෝ මම අනිත් මිනිස්සුන්ගේ ජීවිතවලට ලං වෙන්න උත්සාහ කරද්දී, මං කියන දේ නොතේරෙන නිසා ඒ අය මාව මඟඇරලා යනවා. නැත්නම් මට ඒ අය කියන දේ නොතේරෙන බව කියන්න ලැජ්ජාවෙන් මම ම ඒ අයව මඟඇරලා යනවා. මේ මොහොතේදී මේ පිළිගැනීමේ නිලධාරිනියගෙන් මිදිලා ගිහින් හැංගෙන්න ඇත්නම් කියලා මට හිතුණා. මට අපේ භාෂාවෙන් ව කතාකරන්න බැරි බව ඈ දැනගත්තොත් මොනවා වෙයිද? ඈ තවදුරටත් මාව ඇගේ ගමේ කෙනෙක් විදිහට දකී ද, නැත්නම් මම ඇගෙන් ප්‍රයෝජන ගත්ත බව හිතලා උපදේශන ගාස්තුව නොගෙවා ඉන්න මට දුන්නු අවස්ථාව නැති කරයි ද? මේ වෙද්දී මම වයස නිසා ඇතිවෙන බාධක, අධ්‍යාපන මට්ටම නිසා ඇතිවෙන බාධක, ගැහැණු බව නිසා ඇතිවෙන බාධක වගේ හැම දෙයකටම මුහුණ දීලා තිබුණත් මේ භාෂාවේ බාධකය තරම් ඒ කිසිම එකක් මං පිටස්තරයෙක් බව මට ඒත්තු ගන්වලා තිබුණේ නැහැ. ගෑනියෙක් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන එක ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් උනත්, කෙනෙකුට තමන්ගේම භාෂාව ඉගෙනගන්න බැරි වුණු එක තේරුම් ගන්න පුළුවන් බොහොම කීප දෙනෙකුටයි. වාසනාවකට ඒවෙලාවේ එතැනට තවත් ලෙඩ්ඩු කීප දෙනෙක් ආවා! පිළිගැනීමේ නිලධාරිනියගේ අවධානය යොමු වෙලා තිබුණේ ඒ අයට එතැන අයකරන ලොකු උපදේශන ගාස්තුව ගැන විස්තර කරන්නයි. එක ලෙඩෙකුට තිබුණේ කෙන්යානු උච්චාරණයක්. මේ හින්දා එයාට උගන්ඩාවේ භාෂා එකක්වත් කතා කරන්න බැරි ඇයි කියලා අනෙත් අයට ඉබේම තේරෙන එක එයාගේ වාසනාවක් කියලා මට හිතුණා. ඊළඟ වතාවේදී මාත් කොහේ හරි ගියාම පිටරටක විදියට කතා කළොත් හැම කෙනෙක්ම මා එක්ක ඉබේම ඉංග්‍රීසියෙන් කතා කරයි. ආහ්! මේ හැම දෙයක්ම නිසා මම ඉස්කෝලේ ගිය මුල් දවස ගැන මට ආයෙත් ආයෙත් මතක් වෙනවා.

පන්තියේ ඩේසි එක්ක සිද්ධ වුණු ජවනිකාවෙන් පස්සේ සමාජ විද්‍යාව පාඩමට වෙලාව ආවා. ඒ ගුරුවරිය කෙට්ටු, උස කෙනෙක්. එයා පන්තිය ඉස්සරහට ඇවිත් "සුබ උදෑසනක් P.3 K" කිව්වේ කෙඳිරිලි සද්දෙකින්.

"සුබ උදෑසනක් නකාන්වගි මෙනවිය!" ළමයි හැමදෙනාම පුටු වලින් නැගිටලා එයාට ආචාර කළා.

"හොඳයි, වාඩිවෙන්න. කෝ අලුත් ගෑනු ළමයා?"

හැමදෙනාම පිටිපස්ස හැරිලා මගේ දිහා බලන්න පටන් ගත්තා.


"ආ, තාම ඔයාගේ කොණ්ඩේ කැපුවේ නැතිද? විදුහල්පතිතුමා ඔයාට කොණ්ඩය දිගට තියාගන්න අවසර දුන්නාද?

අනිත් කෙල්ලන් කාටවත් කොණ්ඩේ නොතිබුණු බව ඒ වෙද්දී මට පෙනිලා තිබුණේ නැහැ. මට ඒ ගැන හිතන්නවත් ඉඩ නොතියා ගුරුතුමිය පන්තියේ ඉස්සරහ පේළියක වාඩිවෙලා උන්නු පිරිමි ළමයෙක් පිටිපස්සට යවලා මට එයාගේ පුටුවේ ඉඳගන්න කිව්වා. ඒ විදිහට පන්තියේ ඉස්සරහ පුටුවක ඉන්දැද්දී අනිත් ළමයින්ගේ බැල්ම මගේ පිට පසාරු කරගෙන යනවා වගේ මට දැනුණා. පාඩමෙන් භාගයක් ගෙවෙද්දී ඇහුව කිසිම ප්‍රශ්නයකට මට උත්තර දීගන්න බැරිවුණු එක ගැන මට මහා මෝඩ බවක් දැනෙන්න පටන්ගෙන තිබුණා. ලෝකයේ මුලින්ම පහල වුණු මිනිස්සු දෙන්නා, මුන්ටු සහ සේරා ගැනයි ගුරුතුමිය ප්‍රශ්න අහමින් හිටියේ. ඊටපස්සේ ඈ ගිපිර්, ලාබෝන්ග් ගැන මොකක්දෝ කතන්දරයක් කියන්න ගත්තා. ඊළඟට ලෝකයේ හැඩය ගැන ඇහුවා. ඇති යන්තම්! ඒකට උත්තරේ නම් හරියටම දැනගෙන හිටිය නිසා මම ඉක්මනටම අත ඉස්සුවා.

"ඔව් අලුත් ගෑනු ළමයා, නැගිටලා අපිට උත්තරය කියන්න"

"ඒක රවුම්" මම සතුටින් කෑ ගැහුවා.

ඒක අහලා මුළු පන්තියම මහා හයියෙන් හිනාවුණා

"ආයෙත් කියන්න!"

මගේ අලුත් යාළුවොත් මගේ උච්චාරණය අනුකරණය කර කර ඔච්චම් කරනකම්ම මගේ උත්තරය ආයෙත් ආයෙත් කියන්න කියලා ගුරුවරිය මට කීවා. මම වාඩිවුණේ ඔළුව අවුල් වෙලා. හැම කෙනෙක්ම මට හිනාවෙමින් හිටියා.

විවේක කාලය ආවාම මට ලොකු සහනයක් දැනුණා. ආයෙත් කිසිම පාඩමකට නොයන්න කොහේ හරි හැංගිලා ඉන්න ඇත්නම් කියලා මට හිතුණා! කෑම කන්න යන්න කලින් ගුරුවරුන්ට ඒ අය ඉගැන්නුව පාඩම් වලට ස්තූති කරන්න මම ගියා. ඒගොල්ලෝ පන්තිකාමරයේ බරාඳයේ ඒ අයගේ මේසේ වටේට වාඩිවෙලා හිටියා. මම ස්තූති කළ එකෙන් ඒගොල්ලෝ අතරේ එක්තරා විදිහක විවාදයක් ඇතිවුණා.


“ආ.. බලන්නකෝ පිටරට ඉඳන් ආවාට මේ කෙල්ලට හොඳ ගති සිරිත් තියෙනවා!” එක ගුරුවරයෙක් කීවා

“ඒ කියන්නේ ඔය පිටදේසක්කාරයන්ට හොඳ සිරිත් නැහැ කියන එක ද?” මුහන්ගසිමා මහත්තයා කතා කරද්දී නිතරම කරුණාවන්ත බවක්, දිරි ගන්වන ගතියක් පෙන්නුවා.

“එහෙම නෙමෙයි, ඒ අය ආපහු ආවහම මහා නැහැදිච්ච ආඩම්බර ගති පෙන්නන්නවානේ. ඒත් මේ කෙල්ල අපිට ඉගැන්නුව එකටත් ස්තූති කරනවා”

“ළමයා..හරි දැන් සීනුව ගහන්න කලින් ගිහින් විවේක කාලය ගන්න”

ආයෙත් ඇවිත් වැඩිවෙන්න තැනක් හොයද්දී තව ටික වෙලාවක් මුහන්ගසිමා මහත්තයා ළඟටම වෙලා හිටියා නම් වැඩිය හොඳයි කියලා මට හිතුණේ ළමයි ටික ඔක්කොම මාව මඟ හරිමින් හිටිය නිසා යි. ඒ ඉස්කෝලේ බොහොම ලොකු එකක්. ප්‍රධාන ගේට්ටුවෙන් විහිදුණු පාර අවසන් වුණේ වටරවුමකින්. පාරේ වම් පැත්තේ ප්‍රාථමික 1, ප්‍රාථමික 2 නමින් ප්‍රාථමික පන්ති තිබුණා. (මේවාට කීවේ P.1, P.2 කියලා.) ඉස්කෝලේ ඉතිරි කොටස තිබුණේ පාරෙන් දකුණු පැත්තේ. මේ පැත්තේ ඉස්කෝලේ කුස්සිය, කාර්යාලය, ප්‍රධාන ශාලාව, ගුරු කාමරය තිබුණා. හැම ශ්‍රේණියකම පන්ති පහක් තිබුණා. ඒවාට N, P, S, K සහ U අකුරු දීලා තිබුණේ නකසෙරෝ ප්‍රාථමික විද්‍යාලය, කම්පාලා, උගන්ඩාව කියන ඉංග්‍රීසි වචනවල මුල් අකුරු පාවිච්චි කරලා. එදා උදේ තාත්තායි මායි විදුහල්පතිවරයාගේ කාර්යාලයට වාර්තා කළ වෙලාවේ කහ, නිල්, රතු, කොළ සහ සුදු පාට අතරින් මම කැමතිම පාට මොකක්ද කියලා එයා ඇහුවා. මම "කොළ" කියලා කීවේ ඕස්ට්‍රේලියාවේ ඉස්කෝලෙදි මම කොළ පාට නිවාසයේ හිටිය නිසා. ඒ නිසා මාව P.3 K පන්තියට ඇතුළත් කළේ හැම K පන්තියක්ම එලාන්ඩ් නිවාසයේ කොළ පාට ගොඩනැගිල්ලේ තිබුණු නිසා යි. හැම ගොඩනැගිල්ලකම ශ්‍රේණි පහට අයිති පන්ති පහට නියමිත පන්ති කාමර තිබුණු නිසා කවුරු නමුත් මේ ඉස්කෝලේ හොඳට සැලසුම් කරලා කියලා මට හිතුණා. එක පන්තියක ළමයි සීයකට වැඩිය හිටිය නිසා ඊට ඉඩකඩ ඇතිව පන්ති කාමර බොහොම ලොකුවට හදලා තිබුණා. P.3, P.4 ගොඩනැගිලි අතර වැටකින් වෙන්කළ තණකොළ පිට්ටනියක් තිබුණා. මම මගේ P.3 ගොඩනැඟිල්ලේ ඉස්තෝප්පුවේ ගුරුවරුන්ගේ මේසයට කිට්ටුවෙන් පඩියක් උඩ වාඩිවෙලා අම්මා මගේ කෑම පෙට්ටියට දාලා තිබුණු පාන් සහ කේක් කන්න පටන් ගත්තා. එතකොටම ඩේසි තවත් පිරිමි ළමයෙක් එක්ක මගේ ළඟට ඇවිත්


"ළමයා ඔයා එඩී මර්ෆි එක්ක කතා කරලා තියෙනවාද?" කියලා ඇහුවා.

"කවුද එඩී මර්ෆි?" මම ඇහුවා.

"අර ‘කමින්ග් ටු ඇමෙරිකා’ චිත්‍රපටියේ රඟපෑවේ"

"මම එඩී මර්ෆි අඳුනන්නේ නැහැ. මම ආවේ ඕස්ට්‍රේලියාවේ ඉඳන්, ඇමෙරිකාවේ ඉඳන් නෙමෙයි"

"මේ කොල්ලා කියනවා ඔයාගේ තාත්තා කළු ඇමෙරිකානුවෙක් කියලා! තාත්තා ඔයාව එක්කගෙන එනවා එයා දැක්කා ලු, තාත්තා ඇමෙරිකන්කාරයෙක් වගේ කතා කරනවාත් ඇහුණා ලු."

"නෑ මගේ තාත්තා උගන්ඩාවේ කෙනෙක්, ඒත් අපි කලින් හිටියේ ඕස්ට්‍රේලියාවේ."

"දැක්කනේ.. මම කිව්වේ!" ඩේසි පිරිමි ළමයාට කියලා ඒ දෙන්නා රණ්ඩු වෙවී ම යන්න ගියා. ඊටපස්සේ විවේක කාලේ ඉවර වුණා.

ඉංග්‍රීසි ගුරුවරිය නම් හරිම අප්‍රසන්න කෙනෙක්. ඈ පන්තියේ ඉස්සරහින්ම තිබුණු මගේ බංකුවෙන් වැඩ පටන් ගත්තා. ඒ උගන්ඩාවේ ඉස්කෝලෙක මම ගත කළ පළවෙනි දවස නිසා මට කරන්න ගෙදර වැඩ තිබුණේ නැහැ. ඒ නිසා මට ඈ ඉල්ලුව ගෙදර වැඩ පෙන්නන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ ගුරුවරිය අනිත් ළමයින්ගේ වැඩ ගැන කියලා අපහාස කර කර කෑ ගහනවා ඇහුණාම ඈ මා ළඟට නොඑනවා නම් හොඳයි කියලා මට හිතුණා. ඒත් මම හිටියේ ඒ පේළියේ හතරවැනියාට නිසා මට දැනුණු බය ගැන වැඩි දුර හිතන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ.

"කෝ ගෙදර වැඩ?" ඇය මගෙන් ඇහුවා.

"මම.."

"මට අනම් මනම් කියන්න නම් ලෑස්ති වෙන්න එපා!! කෝ ඔයාගේ ගෙදර වැඩ?"

මම ඊට පිළිතුරු දෙන්නත් කලින් ඈ මගේ මූණ හරහා හයියෙන් කම්මුල් පාරක් ගැහුවා.

"ඇහුණේ නැද්ද මම හැමෝටම කියනවා ගෙදර වැඩ පොත් බංකුව උඩින් ඇරලා තියන්න කියලා- "

මම අලුත් ළමයෙක් බව කියලා පන්තියේ හැම පැත්තෙන්ම ඇහුණු කෑ ගැහිලි සද්ද වලට ඈව නිස්සද්ද කරන්න පුළුවන් වුණා.

"ආ, සමාවෙන්න" කියලා ගාණක් වත් නැතිව කියලා ඊළඟ ළමයාටත් වැරදි ඉංග්‍රීසියෙන් කෑගහ ගහා ඈ ඉස්සරහට ගියා.

මගේ අම්මාගෙන් ඇරෙන්න මම ඊට කලින් කවදාවත් කාගෙන්වත් කම්මුල් පාරක් කාලා තිබුණේ නැහැ. දවසක් මම සුපර්මෑන් වෙන්න හිතාගෙන අල්මාරියක් උඩ ඉඳන් පහතට ඉගිලිලා, දණහිස උලුක්කු වෙලා, මැරුණා වගේ බිම හාන්සි වෙලා හිටියා. මට සිහිය ආවාම අම්මාට දැනුණු බයත්, සතුටත්, කේන්තියත් නිසා ඈව බය කළ එකට මට කම්මුල් පාරක් දෙන එක විතරයි කරන්න පුළුවන්කම තිබුණේ. ඒත් ගුරුවරයෙක් ළමයෙකුට ගහන්නේ ඇයි? ඕස්ට්‍රේලියාවේ දී නම් එක සැරයක් ළදරු පාසැලේ ළමයෙකුට පාරක් ගැහුව ගුරුවරයෙක්ව අත්අඩංගුවට ගත්තා. එහේදී නම් ළමයින්ගේ අයිතිකාරයින්ටයි භාරකාරයින්ටයි ඇරෙන්න වෙන කිසි කෙනෙකුට ළමයින්ට ගහන්න අවසර නැහැ. ඒවගේම ඒවගේ වෙලාවල් වලට දෙමව්පියන්ට උනත් තමන්ගේ දරුවන්ට දඬුවම් කරන්න පුළුවන් ප්‍රමාණය සීමා කරලා නීති දාලා තිබුණා.

පහර දීම්. මම පහුගිය කාලය තිස්සේ ඊට කොයි තරම් හුරුවෙලාද කියලා හිතද්දීත් හරි අමුතුයි. මේ ගොඩනැගිල්ලේම පිටත බෝම්බෝ පාරේ නිකරුණේ හැසිරෙන අයට පොලීසියේ නිලධාරීන් පහර දෙන සද්දෙටවත් මම දැන් කැලඹෙන්නේ නැහැ. මේ සායනය තිබුණේ හතරවන තට්ටුවේ නිසා ඊට කඳුළු වායුවෙන් නම් ලොකු බලපෑමක් වුණේ නැහැ. පිළිගැනීමේ නිලධාරිනිය අනෙත් රෝගීන් ගේ වැඩකටයුතු ඉවර කරලා ආයෙත් මගේ පැත්තට හැරුණා. ඇගේ කතා විලාසෙන් ඇය ඒ කියන්නේ නිතරම සිද්ධ වෙන කැරලි කෝලාහල ගැන බව මට තේරුණා. මුඅම්මාර් ගඩාෆි මැරුණ දවසේ ඉඳන් අපේ ජනාධිපතිත් තනතුරෙන් අයින් කරන්න පුළුවන් බව විපක්ෂය විශ්වාස කරන්නේ. මේ නිසා ඒ අය හැම සඳුදාවකම ‘රැකියාවට පා ගමනින්’ කියලා විරෝධතා ව්‍යාපාරයක් කළා. මේකට අනුව විපක්ෂයේ සාමාජිකයෝ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගේ අය තමන්ගේ කාර්යාල වලට ගියේ පයින්. නිකම්ම අතන මෙතැන කාලේ ගතකළ අයයි, නගරයේ රස්සාවල් කළ අයයි පාරවල් අද්දර ඉඳන් උද්ඝෝෂකයන්ට දිරි දෙන්න ප්‍රීති ඝෝෂා කළා, නැත්නම් ඒ අය එක්ක එකතු වුණා. මේ නිසා හැම සඳුදාවක ම පොලිස් නිලධාරීන් ඒ සෙනගට කඳුළු වායුවත්, රෝස පාට කලවම් කළ වතුරත් එල්ල කරමින් තමන්ගේ විශේෂ වාහනවල නැඟලා පාරවල් දිගට සංචාරය කළා. උද්ඝෝෂකයින්ව අල්ලලා ඇප පිට නිදහස් කරනකම් හොරකම් වෙන එක නවත්තන්න කියලා කඩ සාප්පු පැය කීපයකට වහලා දැම්මා. ඊටපස්සේ ‘රැකියාවට පා ගමනින්' ව්‍යාපාරය නිසා තමන් ලාභ ලබන එකට බාධාවුණු බව කියලා ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණය කළා. මේ විරෝධතා ව්‍යාපාරය පාවිච්චි කරලා ආචාර්යවරු තමන්ගේ සති අන්තය දික්කරගන්න බව කියලා සරසවි ශිෂ්‍යයෝත් මේකට එකතුවුණා. මාස ගාණක් තිස්සේ මේක චක්‍රයක් වගේ කොයිතරම් සිද්ධ වුණාද කියනවානම් සැරෙන් සැරේ සෞඛ්‍යය සේවකයෝ, ගුරුවරු, නීතිඥයෝ එහෙම වැඩ වර්ජනය කරමින් මීට එකතු වුණා. මේ දිනචර්යාව නිසා පරෙස්සමට ගෙදරටම වෙලා ඉන්න මගේ නම් කැමැත්තක් තිබුණත් මගේ ලියකියවිලි යවන්න නියමිතව තිබුණේ මේ සතියේ.

අද උදේම ඉර නගින්නත් කලින් (උද්ඝෝෂකයෝ ‘රැකියාවට පා ගමනින්’ යන්නත් කලින්) මම කුලී රථයක් අරගෙන නුවණක්කාරව කල්පනා කරලා නගරයේ මැද හරියෙන් ඈත, කලබල අඩු පැතිවල කාර්යාල වලට ගියා. ඊටපස්සේ හවස් වරුවේ හිත හයිය කරගෙන තැන් තැන්වල ඉතිරිවෙලා තිබුණු කෝලාහල මැද්දෙන් නගරයේ කාර්යාල වලට ආවා. මගේ ඇස්වලින් කඳුළු වායුව හෝදාගත්තේ වෙළඳ ගොඩනැඟිලිවල සෙනග පිරුණු වැසිකිළි ඇතුළේ හැංගිලා ඒවායේ ජල කරාම වලින්. පිටත දුම් පිරුණු පාරවල්වලට යන්න බැරි නිසා හැම සේවකයෙක්ම තමන්ගේ කාර්යාල ඇතුළේම හිටිය එකෙන් මගේ වෛද්‍ය සහතිකය ඇර අනිත් හැම ලියවිල්ලකටම අත්සන් සහ මුද්‍රා ලබාගන්න මට පුළුවන් වුණා. අඩුම තරමේ කෝලාහලකාරයෝ උද්ඝෝෂණ නවත්තලා තමන්ගේ ගෙවල්වලට යනකම් මගේ පවුලේ වෛද්‍ය මධ්‍යස්ථානයට යන්න කුලී රථයක් ගන්න කුලී රථ ගාලට යන්න මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ. මේ නිසා වෛද්‍ය සායනයක නාම පුවරුවක් දැක්ක ගමන් වැඩිම ආරක්ෂාකාරී බව පෙනුණු ඒ ගොඩනැගිල්ලට මම ඇතුල් වුණා. ඉතින් දැන් මම මෙතැන ඉඳන් මේ පිළිගැනීමේ නිලධාරිනියගේ නොනවතින දෙඩවිල්ල දිහා බලාගෙන ඉන්නේ එහෙමයි. එවෙලේම ලේ ගලන දරුවෙක් උස්සාගෙන කට්ටියක් සායනයට දුවගෙන ආව නිසා අපේ බොරු කතාබහට බාධාවුණා. ඒ ලේ ගැලුවේ දරුවාගේ නළලෙන් ද ඇහෙන් ද කියලා මට හරියටම පැහැදිලි වුණේ නැහැ. කොහොම වුණත් ළමයාගේ නහයෙන් ගැලුව හොටු දියර එක්ක ලේ මුහු වෙලා මූණේ වම් පැත්ත පුරාම ගෑවිලා තිබුණා. ඒ අම්මා විලාප දෙමින් හිටියා. හෙමින් අඬමින් හිටිය තුවාල ලැබුණු ගැහැණු ළමයාට වැඩිය අම්මා බයවෙලා හිටිය බවක් පෙනුණා. ඒ ගැහැණු ළමයාට වයස අවුරුදු අටක් තරම් වෙන්නැති. ඇය ට ඉක්මණින් ප්‍රතිකාර කරන්න හදිසි ප්‍රතිකාර ඒකකයට අරගෙන යද්දී ඒ බියකරු සිද්ධිය නිසා වත් පිළිගැනීමේ නිලධාරිනිය නිශ්ශබ්ද වේවි කියලා මම හිතුවා. ඒත් මට වැරදිලා තිබුණා. ඒ සිදුවීම ඈට තවත් දොඩවන්නට කරුණු පාදා දීලා තිබුණා. ගෑනු උදවියයි කෙල්ලොයි අඬන්නේ කොයිවගේ දේවල් ගැනද වගේ දෙයක් ඈ කියන්න පටන් ගත්ත බව මට තේරුණා. ගෑනු ළමයි අඬනවා බලන එක මට හරි අමාරු වැඩක්. එයාලා මට අර අමතක කරන්න බැරි මුල් දවස ආයෙත් මතක් කරවනවා.

එදා ඉංග්‍රීසි පාඩම පුරාවටම මම හිටියේ හෙමින් ඉකිබිඳිමින්. ඒ ගුරුවරිය නිසා මං අහලා තිබුණු අමීන් ගේ කතා මට ආයෙත් මතක් වුණා. අපි ආයෙත් උගන්ඩාවට ආවේ අමීන් ජනාධිපතිවරයා තවදුරටත් උගන්ඩාව පාලනය නොකරන නිසා බව තාත්තා කිව්වා. අතිගරු මුසවේනි ජනාධිපතිවරයා ආයෙත් වතාවක් රටේ සාමය ඇති කළ නිසා අපිට තවදුරටත් රටෙන් පිටුවහල්වෙලා ඉන්න වුවමනාවක් තිබුණේ නැහැ. අමීන් නොහිටියා නම් සමහරවිට මට මගේම රටේ, අලුත් ඉස්කෝලෙක පිටස්තරයෙක් බව නොදැනෙන්න ඉඩ තිබුණා. අක්කලාට නම් තව අවුරුදු කීපයක් සිඩ්නි නගරයේ ඉන්න වුවමනා වුණත් තාත්තා කිව්වේ තාත්තාට මැරෙන්න වෙලාව ආවාම ඉන්න ඕන තමන්ගේම රටේ බවයි. පහුගිය අවුරුදු දෙකක කාලයක් තිස්සේ අපිට අලුතින් ගෙයක් හදන්න තාත්තා උගන්ඩාවට සල්ලි එව්වා. ඒවගේම තාත්තා ඕස්ට්‍රේලියාවේ ගුරු විද්‍යාලෙක උප විදුහල්පතිවරයෙක් හැටියට රස්සාව කළ නිසා මැකරේරේ විශ්ව විද්‍යාලෙන් බැහැ කියන්න බැරි තරමේ ලොකු රස්සාවක් දෙන්න සූදානම් වෙලා තිබුණා. තාත්තා කීව විදිහටම මටත් උගන්ඩාවේදී සාමය අත්විඳින්න පුළුවන් වේවි කියලා මම හිතාගෙන හිටියත් මට ඒ වෙනුවට ලැබුණේ ඉංග්‍රීසි ගුරුවරියගෙන් කම්මුල් පාරක්. ඒ බය හිතෙන සිද්ධිය නිසා මම මගේ කලිසම තෙමා නොගෙන ඉන්න උත්සාහ කරමින් හිටියේ. ආයෙත් කවදාවත් ඉස්කෝලෙට එන්නේ නැහැ කියලා මම හිතා ගත්තා. ඒත් ගුරුවරිය පාඩම ඉවර කළ ගමන්ම මගේ ළඟ හිටිය ළමයි ටික මගෙන් සමාව ඉල්ලමින්, මට රස කැවිලි දෙමින්, ටික කලකින් මට මේ වගේ ගුටි කන එක හුරුවේවි කියමින් මගේ වටේට එකතු වුණා. හිටිහැටියේම මම යාලුකම් ඇතිකරගනිමින් හිටියා. අනෙත් ළමයින්ට මං ගැන තිබුණු බය නැති වෙලා තිබුණා. මගේ රට වුණු උගන්ඩාව මම හරියට අඳුනාගන්න පටන්ගත්තේ එහෙමයි.

මුලදී නම් උගන්ඩාව හරිම අප්‍රසන්න වුණා! මම උගන්ඩාවේ ඉස්කෝලෙට ඇතුළත් කරන්න සති තුනකට කලින්, අපි ඒ රටට ආව මුල් දවස් වලදී, එක දිගට දවස් දෙකක්ම එහේ විදුලිය විසන්ධි වුණා. ඊටපස්සේ දවසක් ඇර දවසක් රෑට විදුලිය විසන්ධි වුණා. එහේ තිබුණේ UTV, CTV නමින් රුපවාහිනී නාලිකා දෙකක් විතරයි. මේ නාලිකා දෙකේ තිබුණේ කාටූන් වැඩසටහන් පහක් විතරයි. ඒවා පින්ගු, සුපර්බුක්, කිසිෆර්, ඩක් ටේල්ස් සහ ඩිඩි කියන ඒවා. ඩිඩි කාටූන් වැඩසටහනක් නොවුණත් ඒකෙ හිටියේ විකටයෙක් නිසා එයා ව බලන එක හරි විනෝදයක් වුණා. ඕස්ට්‍රේලියාවේදී නම් විදුලි විසන්ධි වීමක් වුණේ අවුරුද්දකට සැරයක් හරි දෙසැරයක් හරි විතරයි. එහෙම වුණෙත් මාස හයකට විතර කලින් දැනුම් දීලා. එහේ දවල් රෑ තිස්සේ කාටූන් විතරක්ම පෙන්නන්න වෙන්වුණු නාලිකා දෙකක්ම තිබුණා. මෙහේ නම් කාටූන් පෙන්නුවේ සතියේ දවස්වල හවස් වරුවේ විතරක් නිසා මම සතිඅන්ත ගත කළේ මගේ අහල පහළ අය එක්ක ක්වෙප්නා බෝල සෙල්ලමයි ඩූල් ජිල්බෝල සෙල්ලමයි ඉගෙනගනිමින්. ඊටපස්සේ ගතවුණු කාලය පුරාවටම මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා. වැඩිහිටියන්ට ආචාර කරද්දී දණ නවන්නත්, මටෝකේ කෙසෙල්, ලෙලි ගහලා ඒවායේම කොළ වල ඔතලා වාෂ්පයෙන් තම්බාගන්නත් මම ඉගෙන ගත්තා. විදුලිය විසන්ධි වුණු වෙලාවට අඟුරු ඉස්තිරික්ක පාවිච්චි කරලා රෙදි මැද ගන්නත්, දර පාවිච්චි කරලා ඉවුම් පිහුම් කරන්නත් මම ඉගෙන ගත්තා. ගුරුවරුන්ගෙන් වේවැල් පාර වදිද්දී නොරිදෙන්න ඉස්කෝලේ නිල ඇඳුමට යටින් කොට කලිසම් තුනක් අඳින්නත් මම හුරු වුණා. ඔවිනෝ වෙළඳපොලෙන් බඩු ගනිද්දී හෙට්ටු කරන්න පුළුවන් තරමට ලුගන්ඩා භාෂාව ඉගෙන ගන්නත් වත්තේ තිබුණු කුණු අතරින් හොයාගත්ත සැහැල්ලු දේවල් වලින් ක්වෙප්නා බෝල හදන්නත් මට පුළුවන් වුණා. මට තවදුරටත් ඕස්ට්‍රේලියානු උච්චාරණයක් තිබුණේ නැහැ. මගේ යාළුවෝත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඕස්ට්‍රේලියාවත් ඇමෙරිකාවත් අතර වෙනස ඒ අය දැනගත්තා. පිටරටවල ඉන්න හැම උගන්ඩා වැසියෙක්ම රස්සාවට කරන්නේ වැසිකිළි පිරිසිදු කරන එකත් ඉස්පිරිතාල වල මුත්‍රා පෝච්චි පිරිසිදු කරන එකත් නෙමෙයි කියලා ඒ අය ඉගෙන ගත්තා. පිටරට ඉඳන් ආව හැම ළමයෙක්ම ගහකට වත් නැග ගන්න බැරි අහංකාර නැහැදුණු අය නොවන බවත් සමහර වේලාවට තමන්ගේ විසිතුරු සෙල්ලම් බඩු අනිත් අයත් එක්ක බොහොම ත්‍යාගශීලීව බෙදාගන්න ඒ පිටස්තරයෝ ලෑස්ති බවත් ඒගොල්ලෝ තේරුම් ගත්තා. තමන්ගේ ජීවිතයේ පළවෙනි අවුරුදු නමය වෙන මහාද්වීපයක ඉංග්‍රීසි කතා කරමින් ගත කළ කෙනෙක් එක්ක ගමේ ගොඩේ භාෂාවෙන් කතා කරන එක තේරුමක් නැති වැඩක් බවත් ඒ අය ඉගෙනගත්තා. අපි ආයෙත් ඒ රටට ගියාට පස්සේ අපේ ගෙදර ඉඩකඩ තිබුණු නිසා අවුරුදු ගාණක් යනකම් එක එක නෑයෝ නිතර නවාතැන් ගන්න නොආවා නම් මට දැන් තේරෙන ලුගන්ඩා භාෂා ප්‍රමාණෙ වත් කතා කරන්න බැරි වෙන්න ඉඩ තිබුණා. අපි ලුගන්ඩා භාෂාවෙන් කතාබහ කරන්නේ ඒක අපේ භාෂාව නිසා නෙමෙයි, රටේ අගනගරය වන බුගන්ඩාලන්තයේ තාත්තාට රස්සාවක් ලැබුණු නිසා යි. එහේ ජීවත්වෙන අනිත් හැම ගෝත්‍රයකම අයත් තමන්ගේ භාෂාවට අමතරව ලුගන්ඩා භාෂාවත් කතා කරන්න පුරුදු වුණා. ඒත් අවුරුද්දකට සැරයක් දෙසැරයක් විතරක් තමන්ගේ ගමට යන මං වගේ කීපදෙනෙකුට නම් තමන්ගේ අනන්‍යතාවය ගැන පොඩි පොඩි ප්‍රශ්න මතුවෙන එකත් ‘ඔයාට තමන්ගේම භාෂාව කතාකරන්න බැහැ!’ කියලා කවුරුහරි කීවාම අනිත් මිනිස්සු උපහාසෙන් බලන එකත් සදහටම සිද්ධ වුණා.


ඒත් අද නම් මම ඒ බැල්ම ලබන්න බලාපොරොත්තුවක් නැහැ. මේ පිළිගැනීමේ නිලධාරිනියට අපේ මවු භාෂාවෙන් ඔහේ දොඩවන්න ඉඩ ඇරලා, නියමිත වෙලාවට ඔළුව වනමින් හිනාවෙමින්, පුදුමය පෙන්නමින් මම ඉන්නේ, ලොකු උපදේශන ගාස්තුව නොගෙවා දොස්තරගේ කාමරයට යන්න තියෙන එකම විදිහ ඒක නිසායි. දොස්තර මගේ වෛද්‍ය පෝරමය පුරවලා මුද්‍රා තිබ්බාට පස්සේ මම එතැනින් පිටවෙලා ලුගන්ඩා භාෂාවෙන් හරි ඉංග්‍රීසියෙන් හරි පිළිගැනීමේ නිලධාරිනියගෙන් සමුගන්නවා. ඈත් මට ඒ භාෂා දෙකෙන් කොයි එකෙන් සමු දුන්නත් ඈට ඒකෙ අමුත්තක් දැනෙන එකක් නැත්තේ කම්පාලා නගරයේ හැම කෙනෙක්ම ලුගන්ඩා භාෂාව හරි ඉංග්‍රීසි හරි කතා කරන නිසා යි. මම මෙතැනින් පිටවුණාට පස්සේ වෛද්‍ය සහතිකය අනෙත් ලියකියවිලි ටිකට එකතු කරලා තානාපති කාර්යාලයට යොමු කරනවා. ටික දවසකින් ඒ අය මට කතා කරලා මගේ රටින් පිටවෙලා ඕස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන්න යන්න වීසා අනුමත වුණාද කියලා දැනුම් දෙයි.

-හෙල්මලී ගුණතිලක


 Link to the original short story- Legal Alien by Rutangye Crystal Butungi

Copyright free photo bybill wegener from Unsplash


October 24, 2019

ජෙරනියම් තෑගි


සාමාන්‍යයෙන් වාහනය එලවාගෙන යද්දී පාර දෙපැත්තේ තියෙන දේවල් නොදකින කෙනෙක් හැටියට මම නම් දරලා තියෙන්නේ. ඒත් සතියකට වතාවක් පුතාව පන්තියකට අරගෙන යන පාරක නම් මම නොවැරදීම බලන එක තැනක් තියෙනවා. ඒ හරිම පිළිවෙලට තියෙන ලස්සන මල් පිරුණු ගෙවත්තක්. ඒ වත්තේ සීරුවට, බොහොම හැඩට හැදුව පාත්ති පිරිලා තියෙන්නේ එක එක පාටවල ජෙරනියම් මල්වලින්. වත්තේ තණකොළත් පිළිවෙලට කපලා, එක වල් පැලයක්වත් දකින්න නැහැ. සමහර දවස්වලට මම එතැනින් යද්දී වයසක කෙනෙක් ඒ මල් පැළවලට සාත්තු කරනවා පේනවා. ඒ වත්ත ලස්සනට තියෙන්නේ එයාගේ මහන්සියෙන් කියලා පැහැදිලියි. 

ඒත් මේ කතාව ඒ ගෙවත්ත ගැන ම විතරක් නෙමෙයි. එක සතියක මම එතැනින් යද්දී ඒ ගෙවත්ත ළඟ පාර අයිනේ කීප දෙනෙක් හිටියා. පයින් යන කීපදෙනෙක් එතැන නැවතිලා බිම තිබුණු දෙයක් අරගෙන යනවා මම දැක්කා. වාහනේ එතැනින් යන පුංචි වෙලාවේ මට ඊට වැඩිය දෙයක් බලාගන්න බැරිවුණා. ආපහු එද්දී මම වුවමනාවෙන්ම ඒ දිහා බැලුවා. අර ගෙවත්තේ ජෙරනියම් මල් පැල කප්පාදු කරලා ඉවත් කළ දඬු එක ගොඩකට එකතු කරලා පාර අයිනෙන් තියලා තියෙනවා මම දැක්කා.

Free, Enjoy!
කියලා අතින් ලියපු කාඩ්බෝඩ් කෑල්ලකුත් ඒ ලඟින්ම තිබුණා. ඒ, ඒ ගෙවත්ත අයිතිකාරයා තමන්ගේ වත්තේ ලස්සන අනිත් අයත් එක්ක බෙදාගන්න දරපු පුංචි උත්සාහයක්. තමන්ගේ වත්තේ මල් පැලයක් කාටවත් දෙන්න අකමැති මිනිස්සු ඉන්න ලෝකෙක ඒක බොහොම ලොකු දෙයක් හැටියටයි මට නම් හිතුණේ. ඒ කිට්ටුවෙන් වාහනය නැවැත්තුව මමත් එතැනින් මල් දඬු තුනක් අරගත්තා. ඒ ගෙදර දොර ජනෙල් වහලා තිබුණු නිසා ඒ වෙනුවෙන් ස්තූති කරන්න නම් කෙනෙක් ළඟපාතක හිටියේ නැහැ. ගෙදර ඇවිත් මම ඒවා මල් පෝච්චිවල හිටෙව්වා.

ඊයේ බලද්දී ඒ ජෙරනියම් පැළවල මල් පිපිලා. බොහොම නිර්ලෝභී කෙනෙකුගෙන් ලැබුණු දෙයක් නිසා ඒ මල් දකිද්දී දැනෙන සතුට වැඩියි. ඊළඟ දවසේ ඒ ගේ ළඟින් යද්දී ඒ ගෙවත්තේ අයිතිකාරයා හිටියොත් ඒ සතුට ගැන කියන්න ඕන කියලා මට හිතුණා. සමහර වෙලාවට තව කෙනෙකුට සතුටක් දෙන්න වැඩිය මහන්සි වෙන්න ඕන නැති බවට මේක හොඳ උදාහරණයක්!