July 06, 2018

සිත්තර දවස්!

මා චිත්‍ර නොඇඳි කාලයක් මට මතක නැත. කිසිදිනක ඒ ගැන විශේෂ කුසලතාවයක් නොතිබුණත් චිත්‍ර ඇඳීම මා නිරතුරුවම සිදුකළ බවක් නම් මට හොඳ හැටි මතක ය.  මා කුඩාකල අප නිවසේ මට ඒ සඳහා ඕනෑවටත් වඩා අමුද්‍රව්‍ය තිබිණි. එක් පැත්තක් ලියූ කඩදාසි තාත්තාගේ කන්තෝරු කාමරයෙන් මට ලැබුණේ තොග වශයෙනි. කවරයේ 'ක්ෂේත්‍ර අධ්‍යයන සටහන්' යැයි සඳහන් පැරණි සටහන් පොතක් ද තාත්තාගෙන් මා හට ලැබී තිබිණි. එකල එහි කවරයේ සඳහන් වැකිය කියවා ගැනීමට තරම් මෝරා නොසිටියද, එහි තාත්තාගේ අකුරු අතර හිස්  ඉඩ වල චිත්‍ර අඳින්නට නම් මම බොහෝ උනන්දු වීමි.  අක්කලාගේ පැස්ටල් පෙට්ටි හා පාට පැන්සල් පෙට්ටි ආදියට මා අයිතිවාසිකම් කීවේ පාසැල් යන්නටත් බොහෝ පෙර සිට ය. හතර අත කඩදාසි වපුරාගෙන සිමෙන්ති පොළොවේ මුණින් අතට දිගෑදී වරු ගණන් චිත්‍ර  අඳිමින් කාලය ගතකළ මතකයන් බොහොමයක් මා සතුව ඇත. 'අඳින්න චිත්‍රයක් කියන්න!' යැයි ඉල්ලා මගේ පවුලේ අයට පෙරැත්ත කිරීම එකල මගේ විනෝදාංශය විය. මෙය ඔවුන්ට මහත් හිසරදයක් වන්නට ඇති බව මට වැටහෙන්නේ දැන් මගේ පුතු ත් එවැනිම ඉල්ලීම් නිරතුරුව මා වෙත ඉදිරිපත් කරද්දී ය. සාමාන්‍යයෙන් නිවසේ දහසකුත් එකක් රාජකාරී වල නියැලෙන වැඩිහිටියෙකුට දවසකට හත් අට වතාවක් 'අඳින්නට දෙයක් කීමට' මතක් කරගනු නොහැක. මට නිරන්තරයෙන් 'පෙරහැරක් අඳින්න!', 'දිග..කෝච්චියක් අඳින්න!' වැනි යෝජනා ඔවුන්ගෙන් ලැබෙන්නට ඇත්තේ එවිට වත් පැයකට දෙකකට හෝ මේ කන්කරච්චලයෙන් මිදෙන්නට හැකි වීම නිසා විය යුතුය.  

චිත්‍ර ඇඳීම සඳහා තිබුණු ආසාව නිසා පාසැලේදීත් මා සෞන්දර්ය විෂය සඳහා බොහෝ බැතියෙන් චිත්‍රම තෝරාගත්තෙමි. එහෙත් ඒ සතුට වැඩිකල් නොපැවතුණේ පාසැලේදී අනිවාර්යයෙන් පාවිච්චි කළ යුතුව තිබුණු දියසායම් මට අප්‍රසන්න වීම නිසා ය. 'අමුවෙන් පාට ගෑම' හෙවත් වතුර මුහු නොකර දිය සායම් ටියුබයෙන්ම පින්සලට සායම් තවරා ගෑමට මා ප්‍රිය කළ අතර එය අපගේ පාසලේ චිත්‍ර ගුරුතුමිය සැලකුවේ ආනන්තරිය පාපකර්මයක් ලෙස ය. මේ නිසා චිත්‍ර කාලජේද ගතවූයේ හිත් අමාරුකම් මැද ය. නිරතුරුව චිත්‍ර ගුරුවරියගේ ඇනුම් බැනුම් ලද නිසා 'මට චිත්‍ර අඳින්න බෑ!' යන සිතුවිල්ල මනසට තදින් කා වැදී තිබුණු මට සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සඳහා 'ඩී' අකුරක් ලැබීම ඇදහිය නොහැකි කාරණාවක් විය. 


කටු සටහන් චිත්‍ර 

මගේ හැකියාව වැඩියත්ම තිබුණේ කටු සටහන් ඇඳීමට (sketching) බව එකල මා හරියාකාරව වටහාගෙන සිටියේ නැත. විවේක වෙලාවලදී රූපයක් දෙස බලා ඇඳීම, කාටුන් චිත්‍ර ඇඳීම මට මහත් තෘප්තියක් ගෙනදුන් ක්‍රියාකාරකම් විය. කොහෙන්දෝ ලැබුණු Disney Diary නම් පොතක් එකල මා සතුව තිබිණි. එහි මුළු Disney සත්ව සංහතියම විවිධ ඉරියව් වලින් නටමින් ගයමින් ක්‍රීඩා කරමින් සිටියහ. මේ රූප දෙස බලා උන්ව ඒ අයුරින්ම අඳින්නට මට එකල හැකියාව තිබිණි. මේ විනෝදාංශය  තවත් පියවරක් ඉදිරියට තබමින් පාට කොළ කැබලි කොලාජ් ක්‍රමයට අලවා මේවා පාට ගැන්වූ කාලයක් ද තිබිණි. ඇතැම්විට මේ කොළ කැබලි කෙතරම් කුඩා ද යත් මා ඒවා ඇලවීමට යොදාගත්තේ ඉඳිකටු තුඩකි. එකල මා මිතුරියන්ට යැව්වේ මා අතින් මෙසේ නිමවුණු උපන්දින සුබපැතුම් පත් ය. වරක් මෙලෙස වරුවක් තිස්සේ වෙහෙස වී පාට කොළ අලවා සකසා ගත් Donald Duck සහිත උපන්දින සුබපැතුමක් තැපෑලෙන් මිතුරියකට යැවූ පසු ඈ මට දුරකථන ඇමතුමක් දී  සිනාසෙමින් කීවේ ඒ සුබ පැතුම් පතේ කිසිවක් ලියා නොතිබුණු බවයි. චිත්‍රය ගැන කෙතරම් උනන්දු වී ද යත් එය ඇඳ අවසන් වූ පසු එහි සුබපැතුමක් වත් නම ගම වත් ලියන්නට මට අමතක වී ඇත! මෙවැනි සුබපැතුම් තනන්නේ මා බව දැන සිටි මිතුරිය එය මගෙන් බව අනුමාන කර තිබිණි. මෙවැනි කොලාජ් නිර්මාණය කිරීමේ කලාව මා එකල සෑහෙන  ප්‍රගුණ කළ අතර මට ඒ සඳහා පාට කොළ සොයා දීමට ඥාති මිත්‍රාදීහු ස්වේච්ජාවෙන් ඉදිරිපත් වූහ. මෙලෙස කොලාජ් මාර්ගයෙන්  Pooh, Piglet සහ Eeyore මෙන්ම  Sylvester සහ Tweety ආදී කාටුන් චරිත රැසක් මා අතින් පණ ලැබූහ . එකල මේ නිර්මාණ සඳහා මා හට කෙතරම් විවේකය තිබෙන්නට ඇත්දැයි සිතද්දී දැන් නම් දැනෙන්නේ පුදුමයකි.

මින්පසු එළැඹුණේ චිත්‍ර නොමැති ඉඩෝර කාලයකි. සරසවි යද්දී, රැකියාවට යද්දී, විවාහයෙන් පසු, මවක් වූ පසු මට අලස සුවයෙන් වරු ගණන් ගත කර චිත්‍ර අඳින්නට විවේකයක් නොතිබිණි. ඇතැම් විට තිබුණු විවේකයත් වෙන කටයුතු වෙනුවෙන් වැය විය.චිත්‍රයක් අඳින්නට පැන්සලක් පින්සලක් අතින් නාල්ලා දශකයක් හමාරක් ගත විය. එහෙත් පුතු වයසින් වැඩෙත්ම යළිත් මගේ විවේක කාලය එන්න එන්නම වැඩි වෙද්දී මා යළිත් පරණ විනෝදාංශ වෙත හැරෙන්නට වූයේ නිතැතිනි. මෙවර මගේ චිත්‍ර සඳහා ප්‍රධාන මාධ්‍යය වූයේ ලැප්ටොප් පරිගණකයයි. එහි ස්පර්ශ පුවරුව ඔස්සේ MS Paint භාවිතයෙන් චිත්‍ර අඳින්නට අත්හදා බලන්නට මා යොමු වූයේ කෙලෙසදැයි මට ම මතක නැත. MS Paint සාමාන්‍යයෙන් කිසිවෙක් කිසි සැලකිල්ලක් නොදක්වන program එකක් වූවත් මගේ අවශ්‍යතාවයට එය බෙහෙවින්ම ප්‍රමාණවත් විය. 'ඔය වෙනුවට photoshop පාවිච්චි කරන්න! drawing app එකකින් අඳින්න!' යැයි චිත්‍ර ශිල්පයට ලැදි හිතවතුන්ගෙන් මා හට උපදෙස් ලැබුණද ඒ එක් ක්‍රමයක් වත් මා හට Paint යොදාගෙන ඇඳීම තරම් සිතට සෑහුණේ නැත.


Paint යොදාගෙන ඇඳි චිත්‍ර 


 ඒ කෙසේ වෙතත්, තවමත් පෙර සේම ඇතැම් වේලාවට පැන්සලින් කටු සටහන් අඳින්නටත් තදබල දොළදුක් ඇතිවන අවස්ථා ද නැත්තේ නොවේ. එවන් හදිසි අවස්ථා ආදියෙහි ප්‍රයෝජනයට ගැනීමට මා නිතරම අත පාතක sketch pad එකක් තබාගෙන ඉන්නේ එබැවිනි.

                    

'හදිසි' චිත්‍ර 

දැන් නම් මට චිත්‍ර ඇඳීම ගැන අවවාද උපදෙස් දෙන්නට පොඩි දැනමුත්තෙක් ද හිඳී. 'that background doesn't match'.. ' you need more shading on the left'.. 'you seem to have improved a bit' ආදී දේ කියන ඔහු ව සතුටු කරන්නට ලේසි නැත. ඉතින් තවමත් කම්මැලිකමක් දැනුණු විට, සිත නොසන්සුන් වූ විට කුමක් හෝ අයුරකින් චිත්‍රයක් අඳින්නට හැකියාව තිබීමත් එක්තරා ආකාරයක සතුටකි!


14 comments:

  1. අපූරුයි මලී. මාත් මේක දැක්කම මගෙ පාසල් කාලෙට ගියා. ඒ කාලෙ ඉස්කෝලෙම ප්‍රසිද්දයි මාව චිත්‍රවලට. විබාගෙ ලිව්වත් ඉතුරු වෙලාවට මන් කරන්නෙත් චිත්‍ර අඳින එක තමයි. තාමත් ඒ පුරුද්දනම් තියෙනවා. පැන්සලක් පෑනක් කොලයක් විතරක් නෙමෙයි වැලි මිදුලක වුනත් අඳින වැඩේනම් තියෙනවා.

    ලස්සන සටහනක්.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මාත් විභාග වලදී වේලාව ඉතුරු උනාම චිත්‍ර ඇන්ද බව මතක් වුණේ දුමී කිව්වමයි. බලාගෙන ගියාම කට්ටියම එක වගේ නේද? ඇඳපු චිත්‍ර ටිකක් දාන්නකෝ අපිටත් බලන්න!

      Delete
  2. මමනං අපේ ඉස්කෝලේ චිත්‍ර උගන්නපු මිස්ගෙන් ගුටිත් කාලා තියෙනවා. :D අක්කලාගෙ කාලෙත් 'සුමී' මිස් හිටියද ඉස්කෝලෙ? අපිට ඉගැන්නුවේ ඒ මිස්.

    MS Paint වලින් අක්කා මේ ඇඳලා තියෙන ඒවා හරි ලස්සනයි. අක්කා ArtRage tool එක පාවිච්චි කරලා තියෙනවද? ඒකෙන් හරි natural පෙනුමක් එන්න අඳින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. හප්පා මෙන්න සුමී මිස්ගේ තවත් ගෝලයෙක්! :D ඔව් ඔව් එයා තමයි පුද්ගලයා..චිරාත් කාලයක් වැජඹුනානේ අපේ ඉස්කෝලේ!චිත්‍ර මිස්ගේ කතා නම් පොතක් ලියතහැකි නේද? ඔන්න මම ටිකක් ලිව්වා- මේක කියවලා බලන්න familiarද කියලා! ;)
      http://hotchocolatedays.blogspot.com/2017/12/blog-post_25.html

      ඔයා කිව්ව ටූල් එක ට්‍රයි කරලා බලලා කියන්නම් කොහොමද කියලා!

      Delete
  3. සිත්තරු සිත්තරියො මට නම් පේන්නෙ මහ අද්භූත හැකියාවක් තියෙන උදවිය විදිහට.

    ඒ මම හිතන්නෙ ඔය අනික් කලා කටයුතු පොඩ්ඩ පොඩ්ඩ ඇහැක් උනාට මගෙ චිත්‍ර ඇඳීමේ හැකියාව නම් අන්තිමයි...අන්න ඒ හින්ද වෙන්න ඕන...:)

    /'you seem to have improved a bit'/

    So what do you say to him, I mean your little art appraiser?

    Yes Sir..thank you sir...you are too kind sir..I will try to improve a little bit more Sir...:)

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න ඉතින් තමුන්මනේ තමුන්ට බැහැ කියලා කියන්නේ.. අනික් කලා කටයුතු පොඩ්ඩ පොඩ්ඩ පුළුවන් නිසා මේකත් පොඩ්ඩක් හරි පිහිටලා නැති වෙන්න බැහැ!

      Little art appraiser has very high standards. also his OCD levels seem to be much higher than mine. Looking at him I sometimes wonder what I have created! :D

      //Yes Sir..thank you sir...you are too kind sir..I will try to improve a little bit more Sir..//

      that sounds about right! ;)

      Delete
  4. මේ සටහන මගින් වසර තිහක් පමණ ඈතට මතකය ඇදී යනවා. චිත්‍ර ඇඳීමට පටන්ගත් මුල් කාලය මටත් මතකයි. ඒ චිත්‍ර අඳින විට ගෙදර සිටි පූසාත් ළඟටම එනවා නේද?
    මා දන්නා ආකාරයට ඔය හසුරු කෞශල්‍යය කුඩා කාටත් උපතින්ම තිබෙනවා. එය මඟ හැරි යාමට පෙර වර්ධනය කරගැනීමෙන් සිත්තරෙකු විය හැකියි. දැන් පොඩි පුතා අඳින චිත්‍ර වලත් උසස් නිර්මාණ ශක්තියක් තිබෙන බව පෙනෙනවා.
    මගේ අලුත් පොතට රේඛා චිත්‍ර ඇඳීම අලුත් පැවරුමක් ලෙස භාරදුන්නේ ඒ දක්ෂතාවය ගැන පැහැදීමක් තිබෙන නිසයි. ඒ පොත නුදුරු අනාගතයේදීම ප්‍රකාශනයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
    තව තවත් පරිගණක ආශ්‍රිත චිත්‍ර ඇඳීමට ධෛර්යය, ශක්තිය සහ කාල වේලාව ලැබේවායි පතනවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තාත්තා, තාත්තාගේ අලුත් පොතට චිත්‍ර අඳින එක තමයි මගේ ඊළඟ project එක!

      Delete
  5. මම කිසිම දාක චිත්‍ර අදින්න උනන්දුවක් හෝ දක්ශතාවක් නොතිබ්බ කෙනෙක්.හැබැයි දුවගේ ඉල්ලීම් පිරිමහන්ඩ මිකී මවුස් දස දහස් වතාවක් අදින්ඩ උනා. රස්සාවක් නැති දවසක මම යනවා ඩිස්නි කම්පැනියට මිකීව අදින්ඩ...

    ReplyDelete
    Replies
    1. දුව මිකී මවුස් ෆෑන් කෙනෙක් ද? :D අපිටත් බලන්නත් එක්ක දාන්නකෝ ලොකු මල්ලී ඇඳපු මිකී මවුස් කෙනෙක් එහෙම!

      Delete
  6. මගේ පෙනෙන විදිහට ඔබගේ චිත්‍ර නිර්මාණ ඉතා ඉහල මට්ටමක පවතිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉයන්, ඉස්කෝලේ චිත්‍ර ගුරුවරියගෙන් නම් ලැබුණේ තනිකරම අයහපත් ප්‍රතිචාර. ඒ ඒ ගුරුවරියගේ පෞද්ගලික අදහස මිසක් සාධාරණ ඇගයීමක් නෙමෙයි කියලා තේරුම් ගන්න තරම් අපි සමාජේ ගැන දැනගෙන හිටියේ නැහැ ඒ කාලේ. ඒ නිසා බැහැයි කියලාම හිතාගත්තා. අම්මා ඉගැන්වූ පාසැලේ චිත්‍ර ගුරුවරයා මගේ චිත්‍රයක් දැකලා පෙරැත්ත කරලා ජපානයේ කනගාවා චිත්‍ර තරඟයට යැව්වා එක සැරයක්.ඒකට රිදී පදක්කමක් හම්බවුණා. එහෙම හම්බ වුනහමවත් මගේ හැකියාව ගැන අදහස වෙනස් වුණේ නැහැ. එතරමට හිතට කාවැදිලා තිබුණේ!

      Delete
  7. මගේ චිත්‍රයක් සම්බන්ධයෙන් මගේ දෙමව්පියන්ට තියන මතකය මේ වගේ එකක්. දවසක් 'අපි ගමේ ගිහින්' කියල අඳින්න කිව්වහම.. කලු පාටින් පාරකුයි, දෙපැත්තේ කොලපාටින් තණකොලයි ඇඳලා තිබ්බලු.. මේකෙ කෝ කවුරුත් නැහැනේ කිව්වහම මම කිව්වලු මේ තියෙන්නේ ගමේ යන පාර, කවුරුවත් නැත්තේ ඔක්කොමලා ගමේ ගිහින් නිසා කියලා. ඔය වගේම අපේ ගෙදර කියල අඳින්න කිව්වහම, ඔක්කොමලා ගෙදරයි පවුලයි ඇඳලා තියනකොට මම ගෙදර විතරක් ඇඳලා කිව්වලු පවුලේ අය ගේ අතුලේ නිසා පේන්නෙ නෑ කියලා. මම හිතන්නේ මම මාර කම්මැලි චිත්‍ර අඳින්න. ඒ නිසාම ඕලෙවල් වලට තොරගත්තේ සංගීතය.

    ReplyDelete
    Replies
    1. තිසර ඒ කාලේ ඉඳන්ම thinking out of the box පුරුදු පුහුණු කරලා වගේ! :D

      Delete