බොහෝ දුර අතීතයක අහල පහල ගෙවල් දහයක පහළවක ළමුන් එකතු වී කළ හැංගිමුත්තමක ප්‍රබේදයක් වූ 'අයිස්පයිස්' නම් සුවිශේෂී සෙල්ලමක් මගේ නිධන්ගත මතකයන් අතරේ තිබේ. (මෙහි නම 'I Spy' යන දෙවදන ඇසුරෙන් බිහිවූවා විය හැකි බව සිතෙන්නේ දැන් ය) මේ සෙල්ලම අති සරල විය. මෙහි සොයන්නා බාරයේ, බිම නිශ්චිත තැනක (බොහෝවිට විලුඹෙන් රවුමට අඳින ලද 'හඳක' ) තබන ලද පොල් ලෙල්ලක් විය. සොයන්නා සීයට ගණන් කරන අතරතුර හැංගෙන්නන්ට අහල පහළ ඕනෑම ගෙවත්තක හැංගෙන්නට අවසර තිබිණි. මේ නිවෙස් වටා තාප්ප, වැට කඩොලු අවමයෙන් තිබුණු යුගයකි. හැංගී සිට, සොයන්නාට රහසින් කෙසේ හෝ දිව විත් පොල් ලෙල්ලට පා පහරක් එල්ල කරන්නා දිනුම් ය. සොයන්නා පොල් ලෙල්ලද පරෙස්සම් කරන අතරේම සොයන කාර්යයේ නිරත විය යුතුය. එහෙත් මෙතරම් විස්තරාත්මකව මට මේ සෙල්ලම මතක තිබෙන්නේ එහි නියැලෙන්නට අවස්ථාව ලද නිසා නොවන බව කණගාටුවෙන් වුව කිව යුතුමය . එකල අප නිවසේ අහල පහල කොලු කෙලි රංචුව මේ සෙල්ලමට එක්රැස් වෙද්දී සිවුහැවිරිදි වියේ පමණ වූ මා නිවසේ දමා ඊට එක් වෙන්නට යන්නට මගේ අක්කලා දෙදෙනාට අවසර නොතිබිණි. 'යන තැනක චූටි නංගීවත් අරගෙන යන්න!' යැයි අම්මාගෙන් ඔවුන්ට නිරතුරුව අවවාද ලැබෙන්නට ඇත්තේ මා තනි කර දමා ඔවුන් එසේ ගිය විට මගෙන් මදි නොකියන්නට ලැබෙන කන් කරච්චලය නිසා විය යුතුය. සෙල්ලම් පොළට මා රැගෙන ගිය විට මා අනතුරකට පත් නොවන සේ බලා ගත යුතු වීමත්, එවිට සිතු සේ සෙල්ලමේ නිරත වන්නට නොහැකි වීමත් අක්කලාට මහත් කරදරයක් වන්නට ඇත. මීට ඔවුන් සොයාගත් පිළියම නම් අගය කළ යුතුය. මා කැටුව යන ඔවුහු, තනිව බසින්නට නොහැකි තරමේ උසින් යුත් ගේට්ටු කණුවක් මත මා හිඳුවා, සෙල්ලම වෙත පලා යන්නට පුරුදු ව සිටියෝය. මේ ගේට්ටු කණුව තිබුණේ 'අයිස්පයිස්' සෙල්ලමේ වැදගත්ම- 'හැපනිං'ම තැන වන සොයන්නා සහ පොල් ලෙල්ල අසල වීම නිසා මා සෙල්ලමට සම්බන්ධ නොවන බව මට අමතක වන්නට ඇත. උසක වාඩිගෙන සිටීමේ වාසිය ප්‍රයෝජනයට ගෙන පොල් ලෙල්ලට පයින් ගසන්නට එන්නන් පිළිබඳව 'ඔන්න එනවා.. ඔන්න එනවා!' යැයි සොයන්නාට ඔත්තු සැපයීමට පොඩි කමට මා පසුබට වූයේ නැත. සෙල්ලම අවසානයේදී, ඔත්තු සැපයීමෙන් ඔද වැඩී සිටි මා ගේට්ටු කණුවෙන් බාගෙන අක්කලා ගෙදර ගෙන ගියේ ද ඉතා අමාරුවෙනි. මේ උද්දාමය නිසා මා සෙල්ලමට නොගත්තා යැයි කේලමක් නම් කිසිසේත් නොකියවෙන බවට ඔවුහු විශ්වාස කළහ.
පවුලේ බාලයා වූ මට කුඩා කල සෙල්ලම් බඩු කිහිපයක්ම තිබුණු නමුත් මෙයින් වැඩි හරියක් අක්කලාගෙන් උරුම වූ ඒවා විය. මේවා අතර තනි ප්ලාස්ටික් අච්චුවේ වක්කරන ලද අතපය ඇඟට ඇලුණු බෝනික්කෙක්, 'මල්ටි මූන්ස්' නම් වූ රවුම් බිල්ඩින් බ්ලොක්ස් එකතුවක් සහ ලී ඩොමිනෝ පෙට්ටියක් විය. තනිකරම 'මගේ' නොවූ නිසාදෝ ඒවා ගැන මට තිබුණේ ප්‍රවේසම් කළ යුතුය යන බිය මුසු දුරස් බවකි. එහෙත් මා කුඩා කාලයේදී අප පිටරටක තාවකාලිකව පදිංචියට ගිය නිසාත් එතෙක් ලංකාවේදී මා සතු ව තිබුණු පරණ සෙල්ලම් බඩු එහි යද්දී ගෙන නොගිය නිසාත් එහිදී අලුත්ම සෙල්ලම් බඩු වලට උරුමකම් කියන්නට මට හැකි විය. එහිදී මුල් කාලයේදී ලැබුණු බෝනික්කන්ට 'බියුටි, රෝසි' වැනි සම්ප්‍රදායික බෝනිකි නම් දුන් මා කල් යද්දී 'අර්සුලා, ෆෙලිසිටි' වැනි අරුමෝසම් නම් කෙරෙහි නැඹුරු වූයේ ඒ වෙද්දී වැළඳී තිබුණු පොත් කියවීමේ ඇබ්බැහිය නිසා විය යුතුය. වසර කිහිපයක් ගත වෙද්දී විවිධ වර්ණයන්ගේ සහ ප්‍රමාණයන්ගෙන් යුතු බෝනිකි පවුලක්ම මා සතු විය. එකල මගේ කාලය ගත වූයේ මේස යට, ඇඳන් යට සෙල්ලම් ගෙවල් දමමිනි. ඇඳි සහිත පුටුවක ඇඳි හරහට ලෑල්ලක් දමා තට්ටු දෙකේ සෙල්ලම් ගෙවල් ද නිර්මාණය විය. සෙල්ලම් ගෙදර තාත්තා වන්නට පිරිමි බෝනික්කෙක් නැති කමින් එක බෝනික්කියකට සිය හිස කෙස් දන් දෙන්නට සිදුවූ අතර ඈ ඊට විරෝධය පෑ බවක් නම් මට මතක නැත!
බෝනිකි දරුවන් රැසක් සිටි මගේ සෙල්ලම් ගෙදර විවිධ අර්බුද තිබිණි. කලකට මේ හැම දෙනාම වසංගත වලට ගොදුරු වී බෙහෙත් ගන්නට ගෙන යා යුතු විය. එවිට දොස්තර වී බෙහෙත් දෙන්නේද මා මය. වද මල් තලා සකසා ගත් රෝස පැහැති වතුරෙන් ඒ සියලු රෝග නිවාරණය වූයේ ඒ දොස්තර ඉන්ජෙක්ෂන් කටුවලට බය නිසාම නොවේ. තවත් දිනවලදී මේ බෝනිකි සේනාව වතුර බේසමකට දමා පිහිනුම් ඉගැන්වීම සිදු කෙරිණි. බෝනික්කන්ගේ අතපය සවිවන තැන්වල ඇති සිදුරුවලින් වතුර ඇතුල්වී හිස් උදර කුහර පිරී ඔවුන් ගිලෙන්නට වැඩි වේලාවක් ගතවන්නේ නැත. එවිට පිහිනුම් සැසිය අතරමඟ නැවතී ප්‍රථමාධාර සැසිය ඇරඹේ. නිතර නෑමෙන් හා පිහිනුම් අභ්‍යාස වල යෙදීමෙන් මේ බෝනිකි පවුලේම හිසකෙස්, පීරන්නට නොහැකි තරමට අවුල් වී ගැට ගැසී තිබිණි. ඔවුන්ට තිබුනේ සැබෑ හිසකෙස් නොවන බවත්, හිසකෙස් වෙනුවට තිබුණු ඒ කෙඳි වර්ග නිරතුරුව වතුර සහ සබන් ඇසුරේ ගැවසීම ප්‍රිය නොකළ බවත් කුඩා මා දැන සිටියේ නැත. 'තෙල් දැම්මා නම් කොණ්ඩේ සුරුන්ඩං ගැහෙන්නේ නැහැ!' යැයි ලංකාවේදී ආච්චී නිතර කී කතාවක් සිහිවී, වෙන තෙලක් සොයාගනු නොහැකි නිසා ඒ හැමදෙනාටම කුස්සියේ එළවලු තෙල් බෝතලයෙන් තෙල් තලිය බැගින් මා නිතර ලබාදුන් නමුත් එහි ප්‍රතිපලය තවත් ශෝකජනක විය.
මේ වෙද්දී අක්කලා 'සෙල්ලම් ගෙවල් දාන' වයස පසුකර සිටි බැවින් මේවා එක්තරා ආකාරයක මගේ තනිකම් සෙල්ලම් විය. මටත් එරට අහල පහල ළමා ලපටි සේනාවක් උන් නමුත් ඔවුන් ප්‍රිය කළේ දුවන පනින ගස් නගින සෙල්ලම් ය. පාසැල් ගොස් පැමිණි පසු ඔවුන් සමඟ එම කලබල සෙල්ලම්වල නිරත වූ මම හවස් වෙද්දී මගේ සෙල්ලම් ගෙදර වෙත ඇදී ඒම නොවරදවාම සිදුවිය. සෙල්ලම් ගෙදරට මට සාමාන්‍යයෙන් අක්කලාගෙන් ලැබුණේ උදවු නොව කෙලි කවටකම් ය. ඇතැම් දිනවල මා එද්දී සෙල්ලම් ගෙදර ශීතකරණය ලෙස මා පාවිච්චි කළ බිස්කට් පෙට්ටිය තුළ මගේ කුඩාම බෝනික්කන්ව සිර අඩස්සියේ රඳවා තිබිණි. එක්කෝ සෙල්ලම් ගෙදර හැම භාජනයකටම වතුර පුරවා තිබිණි. නැතිනම් අප නිවසේ උන් බර ගණනක් වූ බළල් සාමාජිකයන්ගෙන් කෙනෙක් සෙල්ලම් ගෙදර සතපවා තිබිණි. එකල රණ්ඩු කෙක්කක් වූ මාත් මෙම කෙනහිලි ලේසියෙන් අතහැරියේ නැත. පවුලේ බාලයා වූ නිසා මට 'ගුටි නොලැබෙන ප්‍රතිශක්තිය' හිමිව තිබුණු අතර මා එයින් ඕනෑවටත් වඩා ප්‍රයෝජන ගත් බව මතක් කරන්නේ ආඩම්බරයෙනි. එහෙත් එකල දහතුන් වියේ පමණ සිටි පොඩි අක්කා මගේ බෝනිකි පවුලට ඇඳුම් මසා දෙන්නට නම් ස්වේච්ජාවෙන් ඉදිරිපත් වූවා ය. අම්මා අපේ ඇඳුම් මසද්දී ඉතිරි වෙන රෙදි කැබලි ගෙන ඒවායෙන් බෝනික්කන්ට විසිතුරු ඇඳුම් මසන්නට ඇය හපනියක් විය. මගේ සෙල්ලමකට හවුල් වීමට තිබුණු වුවමනාවකට වඩා මෙය ඇයගේ විනෝදාංශයක් වන්නට ඇති බව මට දැන් සිතේ. කෙසේ වෙතත් මේනිසා එකල අප තිදෙනාට අලුත් ඇඳුම් ලැබුණු විට අඩුම තරමේ මගේ බෝනිකි සේනාවෙන් එක් අයෙකුටවත් ඒ රෙද්දෙන්ම ඇඳුමක් තිබිණි.
ලංකාවට ආ පසු මගේ ප්‍රධාන සෙල්ලම් සගයා ඥාති සොයුරෙක් විය. ඔහුටද සෙල්ලම් ගෙවල් සඳහා ඉවසුමක් තිබුණේ නැති අතර ක්‍රිකට් ගැසීම මඩේ නැටීම ආදියට වැඩි නැඹුරුවක් දැක්වීය. මේ නිසා මේ කාලය වෙද්දී බෝනික්කන් නැලවීමත්, සෙල්ලම් බත් ඉවීමත් මගෙන් ඉබේම ගිලිහී යන්නට විය. නමුත් එතෙක් පිටරටක උන් නිසා ඒ වෙද්දී මට නුහුරු කාර්යයක් ව තිබුණු කෝම්පිට්ටු තැනීම මා උගත්තේ ඔහුගෙනි. කොම්පිට්ටුව නොකැඩෙන්නට නියම පදමට වතුරත් වැලිත් එකතු කරන අයුරු ඔහුගෙන් ප්‍රගුණ කළ මා නොබෝ කලෙකින් එහි ප්‍රවීණයෙක් බවට පත් වූ අතර ඒවා කෝටු කැබලි හා මල් ආදියෙන් 'අයිසිං' කරන මට්ටමටත් දියුණුවක් ලැබී ය. එහෙත් හැමදාම හවුලේ කෝම්පිට්ටු තැනූ අප දෙදෙන දිනක් කුමක් හෝ නෝක්කාඩුවක් නිසා තරඟයට මිදුලක් පිරෙන්නට කෝම්පිට්ටු තැනූ දවසක් ද මට හොඳහැටි මතකය. ඒ සොයුරාගේ පවුලේ උදවිය පදිංචිය සඳහා ඈතකට ගිය විට මගේ ඒ සෙල්ලම් කාලපරිච්ජේදයට ද නැවතීමේ තිතක් වැටිණි. මින්පසු වයසින් මේරීමත්, පාසැල් වැඩ කටයුතු අධික වීමත් නිසා ක්‍රමක්‍රමයෙන් සෙල්ලම් මඟ හැරී ගිය අතර ඒවා මේ වෙද්දී සුන්දර මතක අහුරක් ලෙස පමණක් හිතේ කොණක ඉතිරි ව ඇත. පුදුමයට කරුණ නම් එකල නාවා කවා පොවා පණ මෙන් සුරැකි බෝනිකි සෙනඟ ඇතුළු සෙසු සෙල්ලම් බඩු වලට සිදුවූ දෙයක් වත් මේ වෙද්දී මතක නැති වීමයි.
මෙලෙසම කුඩා කල පුළුන් පිරවූ සතුන් රැසක් තුරුළු කරගෙන 'my babies!' යැයි කියා, ඔවුන්ට නම් දී, ඇඳ මත පේලියට තබා, හදා වඩා ගත් කොලුවෙක් අපේ ගෙදරත් හිඳී. ඉස්සර නම් ගමනක් යද්දී ගෙන යායුත්තේ කොයි සතාද යැයි තීරණය කිරීමට roster එකක් පවා තිබිණි. දැන් දැන් ඒ සත්ව පවුල වෙත අවධානය යොමු වන්නේවත් ඒ ගැන කතාකෙරෙන්නේ වත් නැතිම තරම් ය. 'don't you love your animals anymore?' යැයි මා ඇසූ විට 'නෑ' කියන්නත් නොහැකිව 'ඔවු' කියන්නත් නොහැකිව ලැජ්ජාවෙන් හිනාවෙන්නේත් ඒ කොලුවා ය. ඉතින් කාගේ කාගේත් සෙල්ලම් කාලය ඉතා කෙටි බව සංවේගයෙන් මතක් කර ගැනීමට ඒ හිනාවම ප්‍රමාණවත් ය.
ඔය කියන කාලයේ හැංගිමුත්තන් සෙල්ලම් කළ කොලු කෙලි බුරුත්ත දැන් අම්මලා තාත්තලා.සමහර අය සීයලා ආච්චිලාත් වෙලා. ඒ කාලේ සිටි වැඩි හිටි නැන්දලා මාමලාගෙන් නම් බොහෝ දෙනෙක් දැන් පරලොව ගිහිල්ලා. ඒ වගේම දැන් ඒ ගෙවල් වලින් ඒ ලෙසටම තිබෙන්නේ කිහිපයයි. අනිත් සියල්ලම හඳුනා ගැනීමට බැරි තරම් නවීකරණය වෙලා. ඒ මදිවාට සෑම ඉඩමක්ම තාප්ප වලින් වටවෙලා, බොහෝ වෙලාවට ගේට්ටු වලටත් ඉබ්බෝ දාලා. දශක තුන හතරකදී සිදුවී ඇති වෙනස හිතා ගන්නටවත් බැහැ !.
ReplyDeleteතාත්තා- ඔව් ඒක නම් ඇත්ත. දැන් ඉන්න පරම්පරාව නම් අපි දැක්කත් අඳුරන්නේ නැතිවෙයි ඒ පැත්තේ ආයෙත් ගියොත් එහෙම!
Deleteඔබ කුඩා කල බෝනික්කෝ නාවපු කතාව කියෙව්වාම මට මගේ දුව කුඩා කාලේ කරපු දෙයක් මතක් උනා. එක දිනක රෑ දොළහට විතර මගේ බිරිඳ මාව අවදි කරලා ""සාලයෙන් අමුතු සද්දයක් එනවා "" කියලා කිව්වා. හොඳින් ඇහුම් කන් දුන්නාම 'ෂූ ස්' ගාලා හරියට නයෙක් පිඹිනවා වගේ සද්දයක් විනාඩි දෙක තුනකට වරක් ඇහෙනවා. අප ජීවත් වූ මෙල්බර්න් නගරාශ්‍රිත ප්‍රදේශයේ විසකුරු සතුන් නොමැති බව දන්නා නමුත් මේ සද්දේ එන්නේ මොන සතෙකුගෙන්ද කියලා මට හිතා ගන්න බැහැ. කෝකටත් ආරක්ෂාවට කියලා මම සීතල කාලයට පාවිච්චි කරන ugg බූට්ස් දෙකකුත් දාගෙන ගනකම ඩෙනිම් කලිසමකුත් ඇඳගෙන ඇඳුම් රාක්කේ පොල්ලකුත් ගලවාගෙන සාලෙට ආවා. මම සාලෙට ආවාට පසුත් සද්දේ වරක් දෙවරක් ඇහුනා. සෑහෙන වෙලාවකට පසු මට ඒ සද්ද කරන සතාව අහු උනා. ඒකා අස්සයෙක්. දුවගේ සෙල්ලම් බඩු පෙට්ටියේ ඉන්න පොඩි ප්ලාස්ටික් අස්සයෙක්. ඒකාගේ එක කකුලක් ඉස්සුවාම හේශාරවය කරනවා. අනික් කකුල ඉස්සුවාම ගැලොපින් සද්දේ එනවා. මගේ දුව නාන කොට ඒකාවත් බාත් ටබ් එකේ දාලා නාවලා. සර්කිට් එකට වතුර ගිහිං. සැරින් සැරේට තෙමිච්ච ස්පීකර් එකෙන් එන සද්දේ හරියටම සර්පයෙක් පිඹින්නා වාගේ.
ReplyDeleteSam-ඒක නම් නියම වැඩේ! විසකුරු සර්පයෝ නැති බව දැනගෙන හිටිය නිසා බය අඩු උනාට ලංකාවේ උනා නම් නයෙක් කියලමයි හිතෙන්නේ!අර මුනින් හැරෙව්වාම අඬන බෝනික්කෙක් හිටියා මටත්. එයාගේ ඒ සද්දේ එන පුංචි මැෂිම තිබුණේ පිට මැද්දේ. එයාගෙත් වතුර ගිහින් වෙන්න ඕන කාලෙකට පස්සේ 'ඥාව්' සද්දයක් වගේ එන්න ගත්තා. මේ කතාව දැක්කාමයි මටත් මතක් වුණේ!
Deleteතැන්කිව් වේවා තැන්කිව් වේවා පොඩි කාලෙට හැට්ටර්වත් ගෙනිච්චට.
ReplyDeleteබොරු කියන්ඩ ඕනේ නැහැ මිසී අපිනං බෝනික්කෝ නලවන සෙල්ලං කළේ නං ටිකක් ලොකු මහත් උන කාලෙක තමයි.
හිච්චි එකා කාලේ ඉතිං ඉස්කෝලේ ඇරිලා සවසට බෝල් ගැසීම (අර ක්‍රිකට් කියල සමහරු කියන්නේ) තමා ජීවිතේ.පොසොන් කාලෙට නං සරුංගල් ඇරීම.
Uniqe කියන්නේ ක්‍රිකට් ප්ලේ කරන ලෝකේ කිසිම තැනක එහෙම නැහැ. ගඟේත් ෆිල්ඩර් කෙනෙක් ඉන්නවා ඔරුවක් තියාගෙන. (හැබැයි ගඟට ගැහුවොත් අවුට් ඈ)
කෙසෙල් නූලෙන් පුඩු ගසා මාදු ගඟේ ඉස්සන් ඇල්ලීමත් සති අන්තයට බොහොම විනෝද ජනකයි. අම්මගෙන් අසන බැණුන් නං ඉතින් බෝම සෝක ජනකයි.
ජයවේවා!
Myself Hattor.
Hattor-හප්පා බොහොම සුන්දර ළමා කාලයක්නේ! ලියන්නකෝ ඉතින් විස්තර ඇතිව අපිටත් රසවිඳින්න. අපේ කතා නම් ඉතින් ඔය මාදු ගඟේ ඉස්සෝ අල්ලන කතා තරම් රසවත් නෑ...
Delete//අපිනං බෝනික්කෝ නලවන සෙල්ලං කළේ නං ටිකක් ලොකු මහත් උන කාලෙක තමයි.// ඒවා නම් ජීවිත කාලෙටම ප්‍රයෝජනවත්! :D