'There is nothing like loneliness to bring you to your knees'- Thomas H. Cook, Places in the Dark

November 10, 2015

කුරුළු කූඩුව










 

"සත්තුන්ට දුක හිතෙනවද අම්මා?"

පුතා අහන්නේ දිග ඇරගත්තු පොත දිහා බලාගෙනමයි. කඳුළු නැහැ වගේ පෙන්නන්න ලොකු උත්සාහයක්. ඒත් දිගටි ඇහිපිය තෙත් වෙලා.

"ඇයි පැටියෝ?" 

මම ඇහුවේ ඇයි කියලා නොදැන නෙමෙයි. උත්තරයක් හදාගන්න කල් ගන්නත් එක්ක.

"නෑ.. නිකම්" 

පුතා කිව්වේ ගානක් නැතිව වගේ. උකුල උඩ තිබුණු පොතේ තවත් පිටුවක් පෙරලුනා. රහසින් වගේ ඇස් දෙක පිටිඅල්ලෙන් පිහිදැමුණා.

"දුක හිතෙනවා ඇති පුතේ. දුක කියන්නේ රිදෙනවා වගේ දෙයක් නේ" 
මම පරෙස්සමෙන් වගේ කිව්වා.

අපි වාඩිවෙලා උන්නු තැනට වීදුරු දොරෙන් එපිට මිදුල හරහා වත්තේ මායිම් වැට පෙනුණා. වෙනදා වගේ අද එතැන මල් පිරුණු මල් වැල නැහැ. මිදුලම එළියයි. ඒත් අඳුරුයි. වැට උඩින් එබිලා මේ පැත්තට ඇවිත් වැට පුරාම පැතිරුණු මල් වැල කපන්න අපේ අසල්වැසියා අවසර ඉල්ලුවේ කීප දවසකට කලින්. එපා කියන්න අයිතියකුත් වුවමනාවකුත් තිබුණේ නැති නිසා මල් වැල ඉවත් වුණා. වෙනදාට දම් පාට මලින් බරවෙලා තිබුණු අතු ඉති වෙනුවට ඊයේ අපි හවස ගෙදර එද්දී එතැන තිබුණේ හිස්තැනක්. ඒ හිස්තැනේ ලස්සන බලන්න ඉස්කෝලේ ඇඳුම පිටින්ම පුතා එතැනට දුවගෙන ගියා. ඒ සැණින් ම ඇහුනු කෑගැහිල්ල නිසා මමත් එතැනට ගියා. මල් වැල තිබුණු තැන බිම කුරුළු කූඩුවක් තිබුණා. හරියට පිහාටු වත් නැති පුංචි පැටවූ තුන්දෙනෙක් පුංචි කටවල් ඇර ඇර කෑම ඉල්ලා ඉල්ලා හිටියා. මල් වැලේ අතු ඉති ගොල්ල මැද්දේ එක එක ජාතියේ කුරුල්ලෝ පදිංචි වෙලා උන්නු බව අපි දැනගෙන හිටියා. හවසට පුතා කුරුල්ලන්ට දෙන පාන් කෑලි හොටෙන් අරගෙන සමහර කුරුල්ලෝ මල් වැල අතරට වැදුනා. තමන් දෙන කෑම වලින් නොපෙනෙන තැනක ඉන්න කුරුළු පැටවුන්ගේත් බඩ පිරෙන බව දැනගෙන පුතා සතුටු වුණා. ඒත් එදා නම් කුරුළු කූඩුවත් කුරුළු පැටවු ටිකත් අත ළඟටම ඇවිත්.

"අනේ අම්මා, අපි මේගොල්ලන්ව කන්න දීලා හදාගමු!" 

බිම තියෙන කුරුළු කූඩුව ළඟ ඇන තියාගෙන පුතා බැගෑපත් වුණා.

"මේගොල්ලෝ ඇස් ඇරලාවත් නැහැනේ පුතේ" මම කිව්වේ ඒ පුංචි පැටවු දිහා පරෙස්සමට බලලයි.

"බිත්තර වලින් එලියට ඇවිත් දවසක් දෙකක් විතර ඇති මං හිතන්නේ, මේ තියෙන්නේ බිත්තර කටුත්" 

තිත් වැටුණු බිත්තර කටු කිහිපයකුත් කූඩුවේ පිහාටු ඇතිරිල්ල යට තිබුණා. අලුත උපන් කුරුළු පැටවු තුන්දෙනෙක්!

"අපි දෙන කෑම කාලා මේගොල්ලෝ මැරෙයි පැටියෝ, තාම උපන් ගමන් නේ" මම කිව්වේ පුතාගේ ආසාව නොදැක නෙමෙයි.

"අපි ආයෙත් මේ කුරුළු කූඩුව උඩකින් තියමු. එතකොට ඒ පැටවුන්ගේ අම්මා තාත්තා ආයෙත් ඒවි, සමහරවිට"

එහෙම කිව්වට මටවත් ඒ ගැන ලොකු විස්වාසයක් තිබුණේ නැහැ. ගහක, වැලක හොඳම තැනක් බලලා හදන කුරුළු කුඩුවක තැන වෙනස් වෙනවාට කුරුල්ලෝ කැමති නැහැ.

පුතාගේ උදවු ඇතිව මම ඒ කුරුළු කූඩුව ළඟ තිබුණු වෙන ගහක අත්තක රැඳෙව්වා. ඒ වෙද්දීත් කුරුළු පැටවු කෑම ඉල්ලමින් හිටියේ. කුරුළු දෙමව්පියන්ට ආයෙත් කුඩුව හොයාගන්න ඉඩ දීලා මම පුතා එක්කගෙන ගෙට ගියා. ඒත් එදා ඇඳිරි වැටෙනකම් පුතා වීදුරු දොර ළඟින් හෙල්ලුනේ නැහැ. කහ හොට කුරුළු ජෝඩුවක් කුරුළු කූඩුව හොය හොයා මල් වැල තිබුණු තැන කැරකෙන හැටි, තාම කුරුළු පැටවු කෑ ගහ ගහා කෑම ඉල්ලන හැටි, කූඩුව තියෙන අළුත් තැන අහලටවත් කුරුළු ජෝඩුව නොයන හැටි නිමක් නැති විස්තර මට වීදුරු දොර ළඟින් ලැබුණා. මේක සතුටින් ඉවර වෙන කතාවක් නොවෙන බව මට ඒ වෙද්දී ඉවෙන් වගේ දැනුණා. 

එදා නිදාගන්න යද්දිත්, පුතාගේ ඔලුවේ තිබුණේ කුරුළු පැටව් ගැන. මොකක්දෝ හේතුවකට රෑ වෙද්දී නම් කුරුළු දෙමවුපියෝ අවතැන් වුණු කුරුළු කුඩුවට එන්න ඇති කියලායි පුතා විස්වාස කළේ. තමන් කළුවරට බය තරමටම ඒ කුරුළු පැටවුනුත් බය ඇති කියලා ඒ පුංචි හිතට හිතෙන්න ඇති. පස්සෙන්දා ඉර එළිය කුරුළු පැටවු ගැන සුබ ආරංචියක් ගෙනේවි කියලා පුතා නිසා මමත් ඉබේම වගේ හිතුවා.

වෙනදාට කීප පාරක් පෙරැත්ත කළත් නැගිටින්න කම්මැලි කරන පුතා පස්සෙන්දා උදේ මටත් කළින් නැගිටලා වීදුරු දොර ළඟ හිටගෙන හිටියා. අළුත් තැන තිබුණු කුරුළු කූඩුවේ ඈතට නම් කිසිම හැලහොල්මනක් පෙනුණේ නැහැ. 

"පුතු, ඔහොම ඉන්න- මම බලලා එන්නම්" මම කිව්වේ පාන්දර පින්නේ පුතා එලියට යනවට අකමැත්තටත් වැඩිය එතැන මොනවා දකින්න තියේවි දැයි දැනුණු බය නිසා.

මම හිතුවා වගේම ඒ වෙද්දී හැමදේම ඉවර වෙලා තිබුණා. පුංචි කුරුළු පැටවු ටික එකට ගුලිවෙලා නිසොල්මන්ව හිටියා. කුඩුවේ පතුලේ පිහාටු ඇතිරිල්ල අවුල් වෙලා තිබුණා. මම කූඩුව එහා මෙහා නොකර පුතා ළඟට ගියේ එයා මගෙන් උත්තරයක් බලාගෙන ඉන්න බව දන්නා නිසා. 

"උන් මැරිලා නේද අම්මා?" මම උත්තර දෙන්න කලින්ම පුතා ඇහුවේ මගේ මූණ කියවලා.

"ඇයි අම්මා උන්ගේ අම්මලා කෑම අරගෙන ආවේ නැත්තේ? කුඩුවේ තැන වෙනස් වුනාට ඒගොල්ලන්ගේ පැටවු ම නේ!" 

අකාලේ මැරුණු කුරුළු පැටවු තුන්දෙනෙක් උදේ පාන්දරම පුතාගේ ඇස් කඳුළුවලින් පුරවලා තිබුණා.

"සත්තු හිතන්නේ අපි හිතන විදිහට නෙමෙයි පුතා" මම පුතාව ළඟට අරගෙන කිව්වා.

"කුරුළු කූඩුවේ තැන වෙනස් වුණු නිසා අළුත් තැනට යන එක අනතුරක් කියලා ඒ ගොල්ලෝ හිතන්න ඇති"

ඒ උත්තරේ පුංචි හිතේ පටලැවිල්ල ලෙහන්න සමත් වුණේ නැති බව මට තේරුනේ වෙනදා තොරතෝංචියක් නැතිව ඇහෙන කියවිල්ල, හිනාව තව දවස් කීපෙකට පුතාගෙන් නොදැකපු නිසා. පුතාගේ ඒ දුක තවත් වැඩිවුණේ වැඩිහිටි කුරුළු ජෝඩුව මල් වැල තිබුණු තැන පියාඹමින්, කෑගහමින් තමන්ගේ පැටවු හොයන්න මහන්සි වුණු නිසා. ඉස්කෝලෙන් පස්සේ, හවසට වීදුරු දොර ළඟ බිම පුංචි කාර් අහුරක් ඉහිරවාගෙන සෙල්ලම් කරද්දීත් පුතා සැරෙන් සැරේ ඒ කුරුළු දෙමවුපියන්ගේ දුක දිහා නිශ්ශබ්දව බලාගෙන හිටියා.
..................................................................
"ටික කාලයක් ගිහිල්ලා දුක දැනෙන එක නවතිනවාද අම්මා?"

පුතා තාමත් දිග ඇරගත්තු පොත දිහා බලාගෙනමයි.

"ඔව් පැටියෝ, ටික කලක් ගිහින් නවතිනවා" 

මම හෙමින් සැරේ පුතාගේ කම්මුලේ බේරුණු කඳුළු ඉරක් අත්ලෙන් මකන ගමන් කිව්වා.

5 comments:

  1. සමහර පොඩිළමයින්ට ඒවා අමතක වෙන්නෙ නෑ. අම්මා දුක්වෙන නිසා එයාල අමතක වුනා වගේ පෙන්නනවා.

    'පොසම් හදිසියක්' කතාවත් දාන්නකො.

    ReplyDelete
  2. ස්තූතියි නගෝ, දාන්නම් හෙමින් සැරේ :)

    ReplyDelete
  3. දෙබස් තියන තැන් ඡෙදයෙන් එලියට අරගන ලියුවනං තව හොදයි වගේ මගේ හිතේ

    ReplyDelete
  4. අටම්- Done! thanks

    ReplyDelete