July 10, 2022

සොඳුරු ක්වීන්ස්ලන්තයේ දින හතක්

පහුගිය නිවාඩුවේ ඔස්ට්‍රේලියාව ඇතුළේ ටිකක් දුර ගමනක් යන්න අවස්ථාව ලැබුණා. කලිනුත් රට ඇතුළේ හැම ප්‍රාන්තයකටම මේ වගේ ගමන් කීපයක් ගිහින් තිබුණත් කාලය ගතවෙද්දී ඒ ගමන් වල පොඩි පොඩි විස්තර මතකයෙන් ගිලිහෙන නිසා මේ වතාවේ ඒ ගැන විස්තරයක් ලියන්න හිතුණා. වැඩියත්ම ගමනට සහභාගී වෙන්න ඉඩ නොලැබුණු තාත්තාගේ ඉල්ලීමට.

Barron Gorge National Park, Qld

අපේ මේ ගමනේ සම්පූර්ණ දුර 7000km විතර. රටේ ගිනිකොණ දිග මෙල්බර්න් නගරයේ ජීවත්වෙන අපි ඊසාන කෙළවරේ Cairns වලට ගිහින් තමයි මේ ගමන පටන් ගත්තේ. Melb - Cairns අතර තියෙන 3000km තරම් දුර අපි ගියේ ගුවනින්. මේ ගමනට පැය තුනකට වැඩි ප්‍රමාණයක් ගත වෙනවා. Cairns - Sunshine Coast 1900km වගේ දුරක් වාහනයෙන් ගිහින් ආපිට Sunshine Coast - Melbourne 1500km දුර නැවතත් ගුවනින් ආවා. වාහනයෙන් එද්දී අතරමඟ නගර තුනක නවාතැන් ගනිමින් ආවේ. 


Cairns කියන්නේ Queensland ප්‍රාන්තයේ උතුරු කෙළවරේ තියෙන නගරයක්. ඒ නගරයේ තියෙන්නේ මෝසම් සහිත නිවර්තන දේශගුණයක්. මේ දේශගුණය ලංකාවේ දේශගුණයට සෑහෙන්න සමානයි කියලා කිව්වත් අපි ගිය දවස්වල නම් දැනුණේ වැඩිය රස්නේ නැති නුවරඑළියේ දේශගුණය වගේ. මෙහෙ නොවැම්බර් -මැයි කාලය අධික මෝසම් කාලගුණයක් තියෙනවාලු. සෞම්‍ය දේශගුණයක් තියෙන මෙල්බර්න් ඉඳන් ආව අපිට ලංකාවේදී දැකලා ඇහැට හුරු ගහ කොළ දැක්කාම නම් ආයෙත් ලංකාවට ගියා වගේ හැඟීමක් තමයි දැනුණේ. පොල් වතු, කෙසෙල් වතු, උක් වතු එහෙම Cairns නගරය වටේම දකින්න තිබුණා. ඊට අමතරව කැන්ද ගස්, නිදිකුම්බා, ක්‍රෝටන් එහෙම බලන බලන අත හැම තැනම තිබුණා. 








Cairns වල අපි ගිය විශේෂ තැන් මේ. 

  • Kuranda Scenic Railway and Skyrail

මේ Cairns යනවා නම් අනිවාර්යයෙන් යා යුතුම ගමනක්. Cairns වලින් පටන්ගෙන වැසි වනාන්තරයක් හරහා මුහුදු මට්ටමෙන් 327m ඉහළින් තියෙන Kuranda නම් කුඩා ගම්මානයකට විශේෂ දුම්රියකින් යන ගමනක් මේ. මේ ගමනේදී Barron Falls, Stony Creek Falls ඇතුළු බොහොම ලස්සන දිය ඇලි කිහිපයක්ම පහුවෙනවා.

මේ දුම්රිය මාර්ගය හදන්න පටන්ගෙන තියෙන්නේ 1886දී. දුෂ්කර වනාන්තර ප්‍රදේශයක මිනිස් ශ්‍රමයෙන් විතරක් පාලම් සහ බිංගෙවල් රැසක් එක්ක නිමකරලා තියෙන මේ දුම්රිය මාර්ගයත් ඓතිහාසික වටිනාකමින් යුතු එකක්. 



සංචාරකයන් වෙනුවෙන්ම සැකසුණු Kuranda ගම්මානයේ අසිරිය විඳලා ආපිට එද්දී Skyrail නම් Cable Car එකෙන් එන්න පුළුවන්. මේ ගමන හරිම මනස්කාන්තයි. වැසි වනාන්තරය උඩින් යද්දී, පහල ගස් කොළන් වල එක එක කොළ පාටවල් දකිද්දී හරිම ආසා හිතෙනවා. (වීඩියෝ එක පුංචි වීම ගැන සමාවෙන්න. මීට ලොකු කරන්න ට්‍රයි කළා, හරි ගියේ නැහැ)



  • Green Island
මේ දූපත පිහිටා තිබෙන්නේ ප්‍රධාන ගොඩබිමේ සිට 27km දුරින්. මෙය මුළුමනින්ම කොරල් පරයකින් වටවී තිබෙන අතර Great Barrier reef එකටත් අයත් වෙනවා. මේ දූපතට යන බෝට්ටු ගමනත් විශේෂ අත්දැකීමක්. මීට අමතරව දූපතට ගියාට පස්සේ කොරල් පර හොඳින් දැකගැනීමට දිය යට කිමිදීමට (snorkeling) හෝ වීදුරු පතුලක් සහිත කුඩා බෝට්ටුවක යාමට අවස්ථාව තියෙනවා. 




මීට අමතරව Cairns සහ ඒ අවට තියෙන නැරඹීමට වටිනා තැන් කීපයක් මේ 

Crystal Cascades Falls 
Port Douglas 
Josephine Falls 

Cairns City

මේ ගමනේදී අපිට Bundaberg Distilling Company බලන්න යන්න අවස්ථාව ලැබුණා. ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ රම් වර්ගයක් වන Bundaberg Rum නිෂ්පාදනය කරන මේ කර්මාන්ත ශාලාව Sunshine Coast සිට 270km පමණ දුරකින් පිහිටා තිබෙන්නේ. අපට මෙහි කර්මාන්ත ශාලාව නරඹන්න අවස්ථාව ලැබුණා. මේ අවට තිබෙන උක් වතු වල උක් අස්වැන්න සීනි නිෂ්පාදනයට යොදා ගත්තාට පස්සේ ඉතිරිවන අතුරු ඵලය මේ කර්මාන්ත ශාලාවේ රම් නිෂ්පාදනය සඳහා යොදාගන්නවා. 1888 සිට ක්‍රියාත්මක මේ නිෂ්පාදන ක්‍රියාවලිය මඟින් විවිධ වර්ග වල රම් සහ බියර් වර්ග නිපදවෙන අතර ඒවා ජාත්‍යාන්තර සම්මානයට ද පාත්‍ර වී තිබෙනවා. අපට කර්මාන්ත ශාලාව ඇතුළත ඡායාරූප ගැනීමට අවසර ලැබුණේ නැතත්, කැමති වර්ගයකින් රම් වර්ග දෙකක් රස බලන්න නම් අවසර ලැබුණා. 


මීට අමතරව අපි මේ ගමනේ දී Mission Beach, Townsville, Bowen, Airlie Beach, Mackay, Rockhampton, Hervey Bay, Noosa Heads යන ප්‍රදේශ වලත් සංචාරය කළා.

දින හතක් තිස්සේ ගිය මේ ගමනේදී සුවිශේෂී තැන් බොහොමයක් නරඹන්නට ලැබුණා. මේ සටහනට එක් කළේ ඉන් කිහිපයක් පමණයි. සොඳුරු දේශගුණයක් සහිත Queensland ප්‍රාන්තයේ Cairns, Sunshine Coast ප්‍රදේශ වල සංචාරය බොහොම ප්‍රිය ජනක අත්දැකීමක් වුණා. 


July 08, 2022

සියලු දේ දරා සිටීම




Translation of the short story 'Holding Things Together' by Anne Tyler

ඔහුට දස හැවිරිදි වියේදී චිත්‍රපටියක් නරඹන්නට යන්නට හිතවත් පවුලකින් ආරාධනා ලැබුණු බව ඔහු කියයි. ඒ වෙනුවෙන් ඔහු නිල් ඉරි කමිසයක් සහ ටයි පටියක් සහිත අලුත් ඇඳුම් කට්ටලයක් අඳින්නට බලාපොරොත්තු වූයේ ලු. නමුත් ඔහු ටයි පටිය ගැටගසා ගන්නට නොදැන සිටීම මෙහිදී ප්‍රශ්නයක් වී ඇත. ඔහුගේ පියා ඊට පෙර වසරේදී මිය ගොස් තිබුණු අතර නිවසේ සිටි විවිධ කාන්තාවන්- මව, නැන්දා කෙනෙක්, සොයුරියන් දෙදෙනෙක්- ආදී මේ කිසිවෙක් මෙය නිසියාකාරව කරන්නට දැන සිට නැත. ඒ ඉරිදා හවස් වරුවේම මොවුන් ටයි පටිය ගැට ගසමින්, යළි ලෙහමින් අත්හදා බලා ඇති අතර ඒ කටයුතු අවසන් වෙද්දී ටයි පටිය බොහෝ සෙයින් පොඩි වී තිබී ඇත. අවසානයේදී ඔහුගේ නැන්දා ටයි පටිය සිය අත් බෑගයේ රුවාගෙන නගරය වෙත යන බසයක නැග ගොස් ඇත. ‘පැටර්සන් සහෝදරයෝ- පුරුෂ ඇඳුම් ආයිත්තම්’ නම් කඩය ඉදිරිපස සිටගෙන එහි ජනේලයේ රඳවා ඇති මිනිස් අනුරුවේ ටයි පටිය ගැට ගසා තිබුණු ආකාරයට එය ගැට ගසා ගැනීමට ඇය කෙසේ හෝ සමත් වී ඇත. ඉන්පසු ඇය යළි බසයක නැගී ගෙදර පැමිණ, එසේ ගැට ගැසූ ටයි පටිය අල්පෙනිති දෙකකින් ඔහුගේ කමිසයට අමුණා තිබේ. චිත්‍රපටිය නරඹන මුළු කාලය පුරාවටම ඔහු හිස එක් පසෙකට හරවාගෙන දෑත පපුව ආසන්නයේ තබාගෙන, තමන් පසු කරගෙන තම තමන්ගේ ආසන වෙත යන අයගෙන් ඔහුගේ දිග අපිළිවෙල ටයි පටිය ආරක්ෂා කර ගනිමින් පසු වුණේ ලු.


මේ සම්බන්ධයෙන් මට නම් අසන්නට බොහෝ ප්‍රශ්න ඇත. මේ ටයි පටියේ ගැටලුව විසඳා ගැනීමට ඔහුට අසල්වැසියෙක් වෙත යන්නට තිබුණේ නැතිද? ඔහුට වෙනත් කිසිම පිරිමි යාලුවෙක් නොසිටියේද? චිත්‍රපටියක් බලන්නට යාමට ටයි පටියක් පැලන්දේ ඇයි? වයස දහයක දරුවෙක්?


ඔවුන්ට මේ වෙනුවෙන් ආයකටුවක් වත් පාවිච්චි කරන්නට නොතිබුණේ ද?


නමුත් මේ කතාව වුවමනාවට වඩා බරපතල කොට සලකන්නට මට වුවමනාවක් නොමැත. මේ වෙද්දී අප විවාහ වී වසර දෙකක් ගත වී තිබුණු අතර ඔහු තමන් ගැන කතා කරන්නට අකමැති බව මම තේරුම්ගෙන සිටියෙමි. ඔහුගේ ඒ ගති ස්වභාවය කෙතරම්ද යත් ඔහු මේ කතාව මට කීම ගැන මට දැනුණේ පුදුමයකි. ඔහුට එය මතක තිබීමත් ඊට වඩා පුදුමයට කාරණාවක් විය.


හතලිස් වියැති ඔහු මට වඩා පහළොස් වසරක් වැඩුමල්ය. ද්විතියික පාසලක විදුහල්පතිවරයෙක් වූ ඔහු සිරුරෙන් විශාල, සුදුමැලි, තට්ටය පෑදෙමින් සිටින, මහන්සි පෙනුමක් ඇති පුරුෂයෙකි. ඔහු සැමවිටම- තම ප්‍රදේශයේ ෆුට්බෝල් කණ්ඩායමේ තරඟයක්, නොඑසේ නම් එළිමහනේ පැවැත්වෙන සාදයක් වැනි විනෝද අවස්ථා වලදී පවා සම්පූර්ණ බටහිර ඇඳුම් කට්ටලයම ඇන්දේය. නමුත් මේ ඇඳුම්වල හැම විටම කුමක් නමුත් අඩුපාඩුවක් විය. ඔහුගේ කබා කොලර වල පැල්ලම් විය, ඔහුගේ කලිසම් පොඩි වී තිබිණි, ඔහුගේ කමිස සිගරට්වලට පිලිස්සී හිල් සෑදී තිබිණි. ඔහුගේ කබා නිතරම පසුපසින් එල්ලා හැලුණු අතර කමිස කොලර කෙළවරවල් උඩු අතට නැමී තිබිණි.


මේ වෙද්දී ඔහු ටයි පටියක් ගැට ගසන්නට ඉගෙනගෙන තිබුණු බව සැබෑ නමුත් ඔහු කිසි දිනෙක ඉගෙන නොගත් බොහෝ දේ තිබිණි. කැඩුණු ජල කරාමයක් අලුත්වැඩියා කරන්නට ඔහු දැන සිටියේ නැත. කුණාටු සමය එළඹෙද්දී නිවසේ කවුළු වල සවි කළ යුතු ආවරණ සවි කරන්නට ඔහු දැන සිටියේ නැත. සීත කාලයේ වාහනවල රෝද මත දම්වැල් සවිකරන්නට ඔහු නොදත්තේය. මීට හේතුව ඔහු කුඩා කාලයේදීම ඔහුගේ පියා මිය ගොස් තිබීම ද? මා වැඩුනේ පිරිමින් හැම විටම සියලු වගකීම් ගන්නා බව විශ්වාස කරමින් නිසා මට දැනුණේ මා මහත් වංචාවකට ලක් වූ බවකි. මේ නිසා කළ යුතු දේවල් එක්කෝ මම ම අසතුටින් යුතුව කළෙමි, නො එසේ නම් ඒ කාර්යයට පුහුණුව ලත් අයෙක් වෙත එය පැවරුවෙමි. මා නොසිටියා නම් මේ හැම දෙයක්ම බලා කියා ගැනීමට නොහැකිව ඔහුට කුමක් සිදුවනු ඇත්දැයි මම ඇතැම්විට ඔහුට කියමි. මෙම ප්‍රකාශය හැම විටම ඔහුගේ සිත අවුල් කරන්නට සමත් වූ අතර එවිට ඔහු කබායේ අත් වැලමිට තෙක් නවාගෙන, දෑතම සාක්කුවල රුවාගෙන මා වෙතින් ඉවත් ව යයි. එවිට මට ඔහු ගැන අනුකම්පාවක් ඇති වන්නේ මගේ ප්‍රකාශයට එවැනි අහංකාර බවක් එකතු කිරීමට මා අදහස් නොකළ නිසායි.


----------------------------------------------------


මගේ මෝටර් රථයේ තිරිංග පද්ධතියේ ශබ්දයක් නැඟෙන්නට වූයෙන් මට එය පෙන්වීමට එක්සෝන් කාර්මික හල වෙත රැගෙන යාමට සිදුවිය. මේ පසුගිය අප්‍රේල් මාසයේ අලංකාර හරිත පැහැ උදෑසනක වූ නමුත් ඒ උදයේ සතුට විඳින්නට නොහැකි තරමට මගේ මනස කැළඹී තිබිණි. මගේ මෝටර් රථයේ යම් ආබාධයක් වූ විට මා මහත් නොසන්සුන් බවට පත්වේ. ඉන් යන්තම් නුහුරු හඬක් නැගෙද්දී මට සිතෙන්නේම එය ක්‍රියා විරහිත වී මා කොහේ හෝ අධිවේගී මාර්ගයක අතරමං වනු ඇති බවයි. මාවතක් අද්දර මෝටර් රථයේ බොනට්ටුව විවර කරගෙන, සුදු ලේන්සුවක් වනමින් මා සිටින අයුරුත්, මට උපකාර කරන්නට කිසිවෙක් වත් නොනවතින අයුරුත්, අවසානයේදී හිරෙන් පැන යන අපරාධකරුවන් දෙදෙනක් මා දැක නවතින අයුරුත් මට මැවී පෙනේ.


මේ වතාවේදී මා රැකියාවට යද්දී මාර්ග සංඥා එළියක් අසලදී රථයේ තිරිංග තද කරන විට ඉන් උස් හඬක් නැගෙන්නට විය. රථය ආපිට හරවාගත් මා එය එක්සෝන් කාර්මික හල වෙත පදවන්නට වූයේ එහි කාර්මිකයන් මා හොඳින් හඳුනන බැවිනි. එදින රාජකාරියේ සිටියේ වික්ටර් නමැති රතු කෙස් ඇති, බාහුවේ කැරට් අලයක් පච්ච කොටා ඇති කාර්මිකයා ය. “අනේ වික්ටර්, පොඩ්ඩක් ඇහුම්කන් දෙන්නකෝ” කියා ඔහුගේ ඉදිරිපසින් මා රථය පැදවූයේ අඩි කිහිපයකට වරක් තිරිංග තද කරමිනි. තිරිංග වලින් හඬක් නැඟුණත් එය පෙර තරම් තියුණු නැති බවක් මට සිතිණි. එන්ජිම නවතාලූ මම රථයෙන් පිටතට පැමිණියෙමි.


“ඔයා හිතන්නේ ප්‍රශ්නේ මොකක් කියලද?”


ඔහු නාසය අදිමින් කල්පනා කරන්නට වූ අතර මම බලා සිටියෙමි. (එහි සිටියේ මගේ සැමියා නම් ඔහුගෙන් ඉක්මන් පිළිතුරක් ඉල්ලා බල කරමින්, අනවශ්‍ය තොරතුරු සපයමින් ඔහුට වධ දෙනු ඇති නමුත් ඔහුට කල්පනා කරන්නට ඉඩ දෙන්නට මා උගෙන සිටියෙමි.)


“දැන්ද ඕක වෙන්න ගත්තේ?” ඔහු අවසානයේදී ඇසුවේය.


“දැන් විනාඩි පහක් ඇති.”


“ඔයා වැඩිය කොහෙවත් යන්නේ නැහැනේ, ඒ නිසා මේක ලොකු දෙයක් නෙමෙයි වෙන්නත් ඇති.”


“ඒත් මම නවත්තන්න යද්දී නවත්තගන්න බැරි උනොත් මොකද කරන්නේ? බ්‍රේක් ප්‍රශ්නයක් වුණාම මම කලබල වෙනවා වික්ටර්”


“නෑ කලබල වෙන්න එපා. ඔයා ඇතුලට ගිහින් වාඩිවෙලා ඉන්නකෝ. මම මේක බලන්නම්”


මම එහි කාර්යාලය තුළට ගියෙමි. එහි වයිනයිල් පුටු දෙකක් සහ කාර්මික සඟරා ගොඩ ගැසූ පහත් මේසයක් විය. බිත්තියේ රාක්ක මත එන්ජින් තෙල් වර්ග සහ වෙනත් මෝටර් රථ පිරිසිදු කාරක බෝතල් පිළිවෙලට පෙළ ගස්වා තිබිණි. ජොඑල් නමැති උස, රන් පැහැ කෙස් ඇති තරුණයා මෝටර් රථ අමතර කොටස් විස්තර සහිත සඟරාවක් පෙරලමින් සිටියේය.


“සුබ උදෑසනක් මිසිස් එස්.” ඔහු කීවේය. (ඔහු වික්ටර් ට වඩා මා වෙත ප්‍රිය මනාප බවක් දැක්වූයේය. ඔහු මගේ පෙනුමට කැමති බවක් මට සිතී තිබිණි. වරක් ඔහු මා ඇඳුම් මිලදී ගන්නා තැන ගැන ඇසුවේ ඔහුගේ බිරිඳට ඒ ගැන කීමටයි.)


“කාර් එකේ ආයෙත් මොනවා හරි ප්‍රශ්නයක්ද?”


“වික්ටර් මගේ කාර් එකේ බ්‍රේක් බලනවා.” මම පිළිතුරු දුන්නෙමි. “කාර් එකේ වේගේ අඩු කළ ගමන් බ්‍රේක් වලින් අමුතු සද්දයක් එනවා.”


“ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නිතර වෙන දෙයක්.”


“ඇත්තටම?”


“ඔව්, මම ඔයා වුණා නම් ඒක ගැන හිතන්නෙවත් නැහැ.”


“අනේ ජොඑල්, ඔයා හරි ඇති කියලා මම ප්‍රාර්ථනා කරනවා”


එසේ කියා මම සොපාවේ හරි බරි ගැසී වාඩි වී මගේ සාය දෙදන වටා විසිරුවා සකසා ගත්තෙමි. ඒ වෙද්දීත් මට සැනසිල්ලක්, මා කුඩා වූ බවක් දැනෙමින් තිබිණි. ජොඑල් සිටගෙන සිටියේ හිරු එළිය තීරුවක් වැටෙන තැනක නිසා දූවිලි අංශු අලස ලෙස ඔහුගේ හිස වටා කැරකෙමින් දිස් විය. මා හිඳ සිටි පුටුව උණුසුම්ව, සුමට ව දැනුණු අතර ඒ කාර්යාලයේ කොතැනකින් හෝ පදම් කළ සම් පුසුඹක් දැනෙන්නට විය. මෝටර් රථයේ දෝෂයක් නැතැයි කියමින් මා කැඳවාගෙන යන්නට වික්ටර් ආ විට මට එතැනින් ඉවත්ව යන්නට මහත් අකමැත්තක් දැනුණි. මට මුළු උදය වරුවම වුවත් එතැන ඉන්නට හැකියාව තිබිණි.


-----------------------------------------------------


මගේ සැමියා පැදවූයේ ප්ලයිමත් රථයකි. එහි ඉදිරිපස වම් කොටස එබී ගොස්, පසුපස ලාම්පුවක් බිඳී, පසුපස දකුණු ජනේලයේ කුඩා හිරු ලකුණක් මෙන් ඉරි තැලුමක් විය. මේ රථය පාවිච්චි කර අවසාන කිරීමට ඔහු ඉටාගෙන සිටි බව- එය බලෙන් යටත් කරගත යුතු දෙයක් බව, එය ක්‍රියා විරහිත වූ දිනෙක ඉන් බැස ඉවත් වී යන්නට සූදානම් බව ඔහුගෙන් දිස් විය. මේ රථයත් ඔහුගේ දුර්වර්ණ වූ ඇඳුම් කට්ටල සහ ගෙවී ගිය පාවහන් වැනිම විය. ඔහු මෙලෙස හැසිරුණේ ඇයි? මා නම් පැදවූයේ ෆෝඩ් රථයකි. ෆෝඩ් රථ වලට අමතර කොටස් සොයා ගැනීම ඉතා පහසු බව මගේ විශ්වාසයයි. වසර පහක් පැරණි වූවත් මගේ රථයට තවම අලුත්ම පෙනුමක් ඇත. එහි එන්ජිමෙන් පවා දිස් වන්නේ අලුත් පෙනුමකි. පසුගිය වසරේ මම රථයේ එන්ජිම මුදල් ගෙවා හුමාලයෙන් පිරිසිදු කරගත්තෙමි. එසේ කළ හැකි බව බොහෝ දෙනා නොදන්නා මුත් එය සැබවින්ම කළ හැකි දෙයකි.


කාලගුණය වියළි ව පවතී නම් ඔබට මගේ සැමියාගේ මෝටර් රථය මත ද්විතියික පාසලේ සිසුන් දුසිම් දෙකක් පමණ තමන්ගේ නම් ලියා ඇති අයුරු දකිනු හැකිවෙනු ඇත. මීට අමතරව විවිධ කුණුහරුප ද සිනා මුහුණු සහ එකිනෙකා වෙත කළ ආදර ප්‍රකාශනද මෙහි ඇත. රථයේ ඇතුළත ආසන මත ඉරී ගිය ෆයිල් කවර සහ සඟරා විසිරී තිබේ. රථයේ බිම පොඩි වුණු සිගරට් අසුරන දක්නට ඇත. ඔහු රථය ධාවන ගියරයට දමද්දී අමුතු බියකරු හඬක් නැඟෙන අතර එන්ජිම ක්‍රියා විරහිත කර සෑහෙන වෙලාවක් ගත වන තුරු එය ඉන්ධන දවාලයි. මීට අමතරව රථයේ යම් කොටසක් බුරුල් ව ඇති නිසා ඔහු හදිසියේ වංගුවක් ගන්නා හැම විටම ඉන් නැඟෙන්නේ බලු කුක්කෙක්ගේ වැනි කෙඳිරියකි. මේවා පරීක්ශාකරගත යුතු බව මම ඔහුට මතක් කරමි. “යන්ත්‍රයක වටිනාකම රඳා පවතින්නේ ඔයා ඒකට දෙන සාත්තුවේයි.”


එසේ කියද්දී මට දැනෙන්නේ මා මගේ පියා බවට පත්වෙමින් ඇතැයි යන විකාරරූපී හැඟීමයි. මගේ පියා ඉතා පිළිවෙලට කටයුතු කරන අයෙක් වූ අතර, මා මෝටර් රථයක ටයරයක් මාරු කරගන්නට ඉගෙන ගන්නා තුරු ඔහු මට මගේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ඉඩ දුන්නේ නැත. කෙසේ වෙතත් මගේ අදහස නිවැරදි බව මම දනිමි.


“අපි කොහේ හරි අතරමං වුණොත් මොකද කරන්නේ?” මම ඔහුගෙන් අසමි. “අපි බොහොම දිග ගමනක් යමින් ඉන්දැද්දී මංතීරු අටක් තියෙන අධිවේගී පාරක් මැද්දේදී කාර් එක කැඩුණොත් මොකද කරන්නේ?”


“මේක බොහොම ඉස්තරම් කාර් එකක්,” මගේ සැමියා පිළිතුරු දෙයි.


මගේ කතාවෙන් ඔහුගේ සිත රිදී ඇති බව මට කිව හැක. ඔහු රියදුරු අසුනේ කුදු ගැසී හිඳ සුක්කානම මත තබාගත් එක අතකින් පමණක් රිය පදවන්නට වෙයි. ඔහු නිරතුරුවම රිය පැදවූයේ ඉතාමත් වැරදි ආකාරයට ය. ඉක්මන් ආරම්භ, හදිසි හැරවීම්, වෙව්ලන නැවතීම් ඒ ගමන් වල බහුල විය. මාර්ග සංඥා එළි වලදී ගියරය නියුට්‍රල් කිරීමට ඔහු ප්‍රතික්ෂේප කරයි. ඔහු එසේ කළ යුතු බව මා කී විට “ස්වයංක්‍රීය ගියර් තියන කාර් එකක් ගන්න එක වැඩක් තියෙනවද ජීවිතයම ගියර් මාරු කර කර ගත කරනවානම්?” ඔහු අසයි.


“එහෙම කරන්නේ කාර් එක ක්ෂය වෙන එක අඩු කරගන්න, නැත්නම් වෙන මොකකටද?”


ඊට නුරුස්නා හඬක් නඟන ඔහු, මහත් ශබ්දයක් නඟමින් රථය නැවතත් ධාවනය කරයි. යළිත් වදනක් වත් නොකියන බවට මම මටම පොරොන්දු වෙමි. නමුත් රථය පැයට සැතපුම් හැටක වේගයෙන් වංගුවක් ගනිද්දී අතක් රථයේ ඉදිරි පුවරුව වෙත තබා නොවැටී සිටින්නට උත්සාහ ගනිමින් නිහඬ ප්‍රතිචාරයක් දැක්වීම මට වළක්වා ගනු නොහැක.


------------------------------------------------------


පසුගිය ජුනි මාසයේදී විශ්ව විද්‍යාලයේදී මා සමඟ එකම කාමරයේ නවාතැන්ගෙන උන් මිතුරියක් මා බැලීමට පැමිණි අතර මම ඇයව දිවා භෝජනයට අවන්හලකට රැගෙන ගියෙමි. මගේ සැමියා ඇයට අකමැති බැවින් මේ ගමන ගියේ අප දෙදෙනා පමණි. (ඔහු කියන්නේ ඇය කට සැර, ඇට්ටර ගැහැණියෙක් බවයි. නමුත් මගේ අදහස නම් ඔහු ඇය ගැන ඊර්ෂ්‍යාවෙන් පසුවන බවයි. ගැහැණුන් තම මිතුරියන් සමඟ සැබෑ ප්‍රමාණයට වඩා සමීප බව පිරිමි නිතරම සැක කරති.) මමැ ඇය ව ඇයගේ නෑනාගේ නිවසින් රැගෙන ‘නාඩුලී’ නම් මට කලාතුරකින් යන්නට අවස්ථාව ලැබෙන ඉතාලි අවන්හලට රැගෙන ගියෙමි. බී ඉතා පියකරුව සිටියාය. ඇය හිර සුදු කලිසමක් සහ බුරුල් බ්ලවුසයක් හැඳ සිටි අතර පොටවල් කිහිපයකින් යුත් කොරල් මාලයක්ද පැළඳ සිටියාය. ආහාර ගනිද්දී අපට කතාකරන්නට ඕනෑතරම් දේවල් විය. අපි අපගේ රැකියාවන්, ස්වාමි පුරුෂයන්, පැරණි මිතුරන් ආදී දේ ගැන දොඩමලු වූයෙමු. එහෙත් අපගේ කෝපි ඇනවුම ලැබෙන වේලාව වෙද්දී අපගේ කතාබහ අවසන් ව තිබිණි. ආපිට එද්දී අපි පහසු නිහඬතාවයකට වැටී සිටියෙමු. බී ගීයක් මුමුණමින් තම අත රථයේ කවුළුවෙන් පහතට එල්ලා හැලෙන්නට හැර සිටියාය. මම සේන්ට් ජෝන්ස් මාවත් ඔස්සේ රථය පහසුවෙන් පදවද්දී ඉබේටම මෙන් මාර්ග සංඥා එළි කොළ එළි දල්වමින් අපට ධාවනයට ඉඩ දුන්නේය.


එහෙත් මා වමට හැරවිය යුතු ඩෙල්මෝ ප්‍රදේශයේ දී හදිසියේම, කිසිම හේතුවක් රහිතව රථයේ එන්ජිම නතර විය. “ඒ මොකක් වුණා ද?” මට කියැවුණි. මා ගියර මාරු කර නැවතත් රිය පණ ගන්වා ගත්තෙමි. එහෙත් ෆර්ගන් පාරේ මාර්ග සංඥා පුවරුව අසලදී රථය නැවතත් නතර විය. ඉනික්බිති මා වේගය අඩු කළ හැම විටම රථය නතර විය. එහි ඉදිරිපස පුවරුවේ රතු සහ කොළ අවදානම් එළි දැල්වෙමින් තිබිණි. මගේ පසුපසින් සිටි රියදුරෝ තම රථවල නලා නාද කරමින් සිටියහ. ඇක්සලරේටරය මත වූ මගේ පය වෙව්ලන්නට විය. “අනේ දෙවියනේ, මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙලා,” මම බී ට කීවෙමි.


“ඔයාගේ තෙල් ඉවරවෙලාද දන්නේ නැහැ.” ඈ කීවාය.


“තෙල්? මේක තෙල් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? නවතින නවතින සැරේට කාර් එක ආයෙත් ස්ටාට් කරන්න පුළුවන් නේ. ඒක මහා විකාර අදහසක්.”


බී මා දෙස බලා කිසිත් නොකියා සිටියාය. බෙහෙවින් කලබල වී සිටි මා හට ඇයගෙන් සමාව ගැනීමට මතක් වූයේ වත් නැත. “මේ අහන්න, මම එක්සෝන් එකට යන්න ඕන,” මම කීවෙමි.


“මෙතන ඉස්සරහ ටෙක්සාකෝ පෙට්‍රල් ස්ටේෂන් එකක් තියෙනවා.”


“ඒත් මගේ කාර් එක ගැන දන්නේ එක්සෝන් එකේ අය. අනික වැඩි දුරකුත් නැහැ.”


මෙසේ කියද්දීම නැවතත් එන්ජිම නතර විය.


“හොඳ වෙලාවට අපි මොකක් හරි හයිවේ එකක නොහිටියේ,” ගවුම් අතෙන් දෑස පිසදමමින් මම කීවෙමි. බී මා දෙස හිස හරවා බලනු මට දැනුණි.


අප එක්සෝන් කාර්මික හල වෙත එද්දීම රථය අවසන් වතාවට වෙවුලුම්කා නතර වූයේ කාන්තාරයේ අතරමං වූවෙක් කෙම්බිමකට පිළිපන් අයුරිනි. මම රථයෙන් පිටතට පැන, එහි දොරද නොවසා ගරාජය වෙත දිව ගියෙමි. ඔසවන ලද ෆොක්ස්වැගන් රථයක් යට ජොඑල් උරුවම් බාමින් සිටගෙන සිටියේ දෑස් කුඩා කර ඉහළ බලමිනි.


“ජොඑල්? අනේ මගේ කාර් එකට ලොකු ප්‍රශ්නයක් වෙලා,”


එය අසා ඔහු උරුවම් බෑම නැවත්වූයේය. “ආ කොහොමද මිසිස් එස්?” ඔහු කීය


“මං වෙනුවෙන් ඔයාට පොඩ්ඩක් ඒ ගැන බලන්න පුලුවන්ද?”


හිරුරැස් විසිරෙන එළිමහනට ඔහු මා පසුපසින් පැමිණියේය. ඔහුගේ සන්සුන් සාමකාමී විලාසය නිසා මට ඒ වෙද්දීත් සහනයක් දැනෙමින් තිබිණි. මා ඔහුට රථයේ රෝග ලක්ෂණ කියද්දී ඔහු කලබල රහිතව බොනට්ටුව ඇර, එහි ඒ මේ අත බලමින් සිටියේ කලින් උරුවම් බාමින් සිටි ගීය මුමුණමිනි.


“ස්ටාට් කරන්න බලන්න” ඔහු කීය.


මම රථයට නැග එය පණ ගන්වා නැවත ඔහු නවත්වන්නට කී විට එය ක්‍රියා විරහිත කළෙමි. ඉන්පසු නැවත ඔහු වෙත ගොස් බොනට්ටුව යට බලන්නට ඔහුට එකතු වුණෙමි. ඔහුගේ දිගු ඇඟිලි අන් අයගේ ඇඟිලි වලට වඩා සජීවී ව පෙනුණේ එහි නැමි වල මජං තැවරී තිබුණු බැවිනි. ඔහු එන්ජිමේ වූ කුඩා කළු කම්බියක් සෙලවූවේය.


“පෙට්‍රල් පොම්පයේ ප්‍රශ්නයක්ද?” මා ඔහුගෙන් ඇසුවේ පෙරදී මේ ගැන නරක අත්දැකීමක් තිබුණු නිසාය. (මා මෝටර් රථ කොටස් ගැන ඉගෙන ගත්තේ සොල්දාදුවන් භූ ගෝලය ඉගෙන ගන්නා ආකාරයට, අත්දැකීමෙනි.)


“හරියටම කියන්න බැහැ, මම මේක ඇතුළට අරගෙන යනවා. වැඩි වෙලාවක් යන එකක් නැහැ.”


මා මේ බව බී ට කී විට ඈ ද රථයෙන් පිටතට ආ අතර අප දෙදෙනා කාර්යාලය වෙත පිය මැන්නෙමු. ගිම්හාන ඍතුවේදී මෙහි පදම් කළ හම් සුවඳ වඩාත් තදින් දැනෙන්නට විය. මම එහි වූ අසුනක් මතට කඩා වැටී දෑස වසාගෙන හිස ඇළ කරගත්තෙමි.


“මට සමාවෙන්න” මම බී ට කීවෙමි. “මගේ කාර් එකේ ප්‍රශ්නයක් වුණාම මම හරියට කලබල වෙනවා.”


“මම ඔයා වුණා නම් මොකද කරන්නේ දන්නවද? මම මෝටර් රථ තාක්ෂණය ගැන පාඨමාලාවක් හදාරනවා,” ඈ කීවාය.


මම දෑස් විවර කර ඇය දෙස බැලුවෙමි.


“ඔව්,” ඈ කීය. “අපේ වත්තේ තණකොළ වල ප්‍රශ්නයක් ඇවිත් මට කරදර දෙද්දී මම ඒකයි කළේ. මම

ගිහින් උද්‍යාන අලංකරණය ගැන ඉගෙන ගත්තා. හැමදාම උදේ හයට නැගිටලා ඒකට ගියා. ඊටපස්සේ මැෂිමක් අරගෙන තණ බිස්සෙම හුණුගල් ඇතිරුවා…”


“හරි,” මම කීවෙමි. “ඒත් මට දැනටමත් සෑහෙන්න වැඩ තියෙනවනේ.”


“නිර්භීත වෙන්න! දැන් ඉස්සර වගේ ගෑනු -පිරිමි වගකීම් කියලා ඒවා නැහැ. කෙළින්ම තමන් කැමති දේ කරන්න.”


මම ඒ ගැන මොහොතක් කල්පනා කළෙමි.


“බී,” මම අවසානයේදී ඇසුවෙමි. “මට ඇත්ත කියන්න. ඔයා එහෙම කළේ ඔයා ඒක කරන්න කැමති නිසාද නැත්නම් ඒ වැඩේ කරන්න වෙන කෙනෙක් නැති නිසාද?”


“හ්ම්ම්ම්?” ඈ කීවාය. ඒ වෙද්දී ඈ එහි තිබුණු සඟරාවක් කියවන්නට ගෙන තිබුණු අතර අලසව එහි පිටු පෙරලමින් සිටියාය. මගේ පැනය එතරම් වැදගත් සේ ඈ නොසැලකූ බව පැහැදිලිව පෙනුණි.


ටික වෙලාවකට පසු ජොඑල් තම දෑත රෙදි කැබැල්ලක පිසිමින් පැමිණියේය. “ඒක ෆිල්ටරයේ ප්‍රශ්නයක්,” ඔහු මට කීය. “ඔයාගේ ෆිල්ටරය මාරු කරන්න වෙලා.”


“ඒක ලොකු ප්‍රශ්නයක්ද?”


“නැහැ, අපිට හවස පහ වෙද්දී ඒක කරලා තියන්න පුළුවන්.”


“මම මගේ නෑනාට කතාකරන්නම්, එයාට පුළුවන් අපිව ගන්න එන්න.” බී කීවාය.


“ඒත් මේක හැදුවාට පස්සේ කාර් එක ප්‍රශ්නයක් නැතිව දුවයිද? ආයෙත් මග හිටින එකක් නැහැ නේද?” මම ඇසුවෙමි.


“එහෙම වෙන්න හේතුවක් නැහැ.” ජොඑල් කීය.


ඔහු මගේ නම විශාල කාර්යක්‍ෂම අකුරින් පෝරමයක ලිව්වේය. මිසිස් සිමන්ස්.

දෙවෙනි පේලිය වෙත ආ විට ඔහුගේ පැන්සල නතර විය.


“ලිපිනය? දුරකථන අංකය?” ඔහු ඇසීය.


“හතරයි හතරයි හතරයි හතර, නෙල්සන් පාර, අටයි හතරයි හතරයි දෙකයි දෙකයි හතරයි හතර.”


“හතර ඔයාගේ වාසනාවන්ත අංකය වගේ,” ඔහු කීය.


“නැහැ, ඒක නමය.”


ඔහු හිස ඔසවා බලා සිනාසුණේය.


“ඉතින් ඔයා ඇහුව නිසා කිව්වේ.” කියා මා ද සිනාසුණේ බී ගේ බැල්ම මඟ හරිමිනි. මට දැනුණේ මා නැවතත් මෝඩ ලෙස හැසිරෙන තරුණියක් බවට පත්වී ඇතැයි යන ප්‍රසන්න හැඟීමකි. සවස පහ වෙද්දී සියලු දේ යහපත් වනු ඇතැයි යන සිතිවිල්ල මට මහත් ප්‍රමෝදයක් ගෙන දුන්නේය.



විශාල දම් පැහැති කැඩිලැක් රියකින් පැමිණි බී ගේ නෑනා අපව එතැනින් නංවාගෙන මා නිවසට බැස්සුවාය. රථයෙන් පිටවීමට පෙර මම නැවත වතාවක් බී ගෙන් සමාව ඉල්ලුවෙමි. “මේ අහන්න,” ඈ කීවාය. “ඕක අමතක කරන්න. ඒත් දැන් හවසට ඔයා ආයෙත් ගරාජ් එකට යන්නේ කොහොමද? ඔයාව ආයෙත් බස්සන්න ඕනද?”


“නැහැ නැහැ, ඒ වෙද්දී ඇල්ෆ්‍රඩ් ගෙදර ඇවිත් ඉඳීවි,” මම කීවෙමි.


“එයා ඇවිත් නොහිටියොත් එහෙම…”


“එහෙම උනොත් මම කෝල් කරන්නම්,” මම පොරොන්දු වුනෙමි.


නමුත් මා සිතූ පරිදිම මා නැවත එක්සෝන් කාර්මික හල වෙත රැගෙන යාමට යන්තමින් වෙලාව ඇතිව මගේ සැමියා නිවසට පැමිණියේය. ඔහු පැමිණියේ අවසාන මොහොතේ බැවින් ඔහු නිවසට පැමිණි වහාම ඔහුව නැවත ආපිට කැඳවාගෙන යන්නට මට සිදුවිය. ඔහුගෙන් පෙනුණේ අවුල් වූ පටලැලි සහගත බවකි. ඔහු මාව රථයේ රැගෙන ගියේ වෙනදාටත් වඩා දුර්වල ලෙස රිය පදවමිනි.


“මොකක් වුණා කියලද කිව්වේ කාර් එකට? ගිය සතියේ ඒක හොඳට තිබුණා නේ.” ඔහු දකුණට හරවද්දී රථයේ රෝදයක් පදික වේදිකාව මතින් ගියේය. රතු පැහැයට හැරෙමින් තිබුණු කහ මාර්ග සංඥා එළියක් මැදින් ඔහු රථය ධාවනය කළේය. එක්සෝන් කාර්මික හල වෙත එළඹුණු විට ඔහු අපැහැදිලි බැල්මකින් කවුළුවෙන් පිටත බැලුවේය.


“කාර් ඒක හදලා කියලා ස්ථිරවම දැනගන්නකම් යන්න එපා ඔන්න හරිද?” මම කීවෙමි. (එවැනි දේ ඔහුට කිව යුතුය.)


මා රථයෙන් බැස ගරාජයට යද්දී ජොඑල් කැරකෙන මේසයක් මත ටයරයක් තබාගෙන එය කරකවමින් සිටියේය. මා දුටු විට ඔහු සිනාවක් පෑවේය. “ඔක්කොම හරි,” ඔහු කීවේය. “දැන් හිතට හොඳයි ද?”


“ඇත්තටම හොඳයි.” කී මා ආපිට හැරී මගේ සැමියාට ඇත වැනුවේ ඔහුට දැන් යා හැකි බව සන් කරමිනි. ඔහු ද මට අත වැනු අතර ඔහුගේ කමිස අත දුරට දිස් වූයේ පාවිච්චි කර ඉවත ලූ කඩදාසි මල්ලක් ලෙසිනි. ඔහුගේ කිළුටු රථය හඬ නංවමින් මාර්ග තදබදයේ අතුරුදන් වනු දකිද්දී කුමක් හෝ හේතුවකට මට දුකක් දැනුණි.


----------------------------------------------------


මට මගේ සැමියාව මුලින්ම මුණ ගැසුණේ මා ගුරු විද්‍යාලයේ ශිෂ්‍යයෙක් ලෙස ඔහුගේ පාසලට පුහුණුවට ආ විටයි. මා ඉගැන්වීමට කිසි සේත් අකමැති වූවත් (දැන් මම රැකියාව කරන්නේ පුස්තකාලයකයි) ගුරුවරයෙක් වීමේ සහතිකය ලබා ගත යුතු යැයි එකල මට සිතී තිබුණි. මෙය අනාගතයේ සිදුවිය හැකි කරදරයකට- එනම් මට කසාද බඳින්නට නොහැකි වුවහොත්, නො එසේ නම් අඩු වයසින් වැන්දඹු වූවොත්- ආදී දේකට පිළියම් වශයෙන් සිදු කරන ලද්දකි.


මට ඇල්ෆ්රෙඩ් මුලින්ම හමු වෙද්දීත් ඔහු මේ ලෙසම අපිළිවෙල, නිතර දේවල් අමතකවනසුළු පුද්ගලයෙක් විය. එකම වෙනස ඔහුට එකල විශාල බලාධිකාරයක් තිබුණු බවක් දිස් වීමයි. මිස්ට සිමන්ස් විනයක් නොමැති පන්ති වලට අකමැති අයුරු ගැන අන් ගුරුවරු කතා කරනු මට ඇසුණි. පන්තියක් පරීක්ෂා කිරීමට ඔහු පැමිණි විට එහි සිසුන් හරහා විදුලියක් දිවූ බවක් පෙනුණි. ඔහු සිටින විට සිසුන් වඩාත් අවධානයෙන් යුතු විය. ගුරුවරයා පවා වඩාත් ඍජු බවක් පෙන්වූයේය. වර්තමානයේදී මම කෑම මේසයේ ඔහු ඉදිරිපසින් අසුන්ගෙන පෙර ඔහුගෙන් දිස් වූ ප්‍රශ්නයට ලක් නොවූ ආත්ම විශ්වාසයේ දිලිසීම දකින්නට මහත් සේ උත්සාහ කරමි. දෑස් වපර කර ඔහු ව දුර සිට දකින්නට උත්සාහ කරමි. මගේ බැල්ම දැක කලබල වන ඔහු තම ගෑරුප්පුව අත හැර ගනී. “ඇයි, මොකක්ද ප්‍රශ්නේ?” ඔහු අසයි. “මම මොකක් හරි වැරද්දක් කළා ද?” එහෙත් දැනුදු පවා, ඉඳහිට මා පාසලට ගිය විට, ඔහු කොරිඩෝවේ ඉදිරිපසින් එනු දකින ගුරුවරු වඩාත් ඍජුව සිටගැනීමට උත්සාහ දරනු මා දැක තිබේ.


අප පෙම් කරන සමයේදී ඔහු කුමන දේවල් කරන්නට දන්නේදැයි ඇසීමට මට මතක් වූයේවත් නැත. මෝටර් රථයක තෙල් මාරු කරන්නට ඔහු දැන සිටියේද? දැල් දොරක් සවිකරන්නට ඔහු දැන සිටියේද? සෑම පිරිමියෙකුටම මේවා පුළුවන් බැවින් ඔහුටත් අනිවාර්යයෙන් ඒ හැකියාවන් ඇති බව මම විශ්වාස කළෙමි. අනෙක ඔහුට ඒවා නොහැකි වූවත් කිමද? මම ඔහුට පෙම් කළෙමි. ඔහුගේ කමිස අත කෙළවර බොත්තමක් එක නූලකින් එල්ලෙනු දැකීමෙන් පවා මගේ ගත දුර්වල වී යන තරම් ආදරයක් මට ඔහු ගැන දැනුණි. කෑමකට අවන්හලක් වෙත මා රථයෙන් කැඳවාගෙන යද්දී ඔහුට පාර වැරදී අතරමං වූ විට එකල මට මහත් සතුටක් දැනුණේ, කෑම ගැනීම ගැන මගේ උනන්දුවක් කොහොමත් නොතිබුණු නිසයි. මා ඇඟිලි ගැන්නේ මගේ නිවස පිහිටා තිබුණු තට්ටු ගොඩනැඟිල්ල ඉදිරිපස තම රථය නවත්වා ඔහු මා වැළඳ ගන්නා මොහොත එළඹෙන තුරු පමණි. ඔහුගේ අත් (ඒවායේ නියපොතු කවාකාර වූ අතර රෝස පැහැතිව, කරගැට රහිතව තිබුණු ඔහුගේ දෙඅත්ල ඔහු ගැන අනතුරු ඇඟවීමක් සේ මා ගත යුතුව තිබිණි.) මා මූර්තියක් සේ අඹන බවක්, ඒවාට මැදි වී මා වඩාත් හැඩ වී, උස් වී, සිහින් වී, අලංකාර වන බවක් මට දැනුණි. එවන් මොහොතක් ඔහු බිත්තියක විදුලි පේනුවක් මාරු කරන්නට දන්නේදැයි ඇසීමට සුදුසු අවස්ථාවක් නොවීය.


ඉනික්බිති අපි විවාහ වී කෝකර් පාරේ වූ තරමක් පැරණි නිවසක පදිංචියට ගියෙමු. එය දුෂ්කර කාලයක් විය. මගේ දෙමව්පියන් ඇල්ෆ්රඩ් ගැන කලකිරීමෙන් පසුවූ අතර ඒ නිසා ඔවුහු මගේ ජීවිතයෙන් තරමකට ඈත් වූහ. මට දැනුණේ මා අනාථ වූ බවකි. මේ මා පුස්තකාලයේ රැකියාව ඇරඹූ කාලයයි. හැම හවස් වරුවකම මා හෙම්බත් වී, දෙපා රිදුම් දෙද්දී නිවසට පැමිණි පසු රෑ කෑම සැකසීම, කුණු කසල පිටතට ගෙන යාම, නිවස පිරිසිදු කිරීම වැනි කටයුතු කළ යුතු විය. සති අන්ත වලදී මම ගෙවත්තේ තණකොළ කපා, පඳුරුවල අතු පෑහීම සිදු කළෙමි. නිවසේ පොළොව සේදීම, එය ඔප දැමීම, කාමරවල තීන්ත ගෑම ආදිය සිදු කෙරුණේද මගේ අතිනි. මගේ සැමියා විවිධ දොරකඩවල සිටගෙන බලා සිටීම පමණක් සිදු කළේය. මා මින් අදහස් කරන්නේ ඔහු කම්මැලියෙක් බව නොවේ. ඔහු මේ කාර්යයන්ට උදව් කළ යුත්තේ කෙසේදැයි දැන නොසිටියා පමණකි. කුණු කසල පාරට ගෙන යාම මා ඔහුට පැවරුවහොත් ඔහු ඉතා සතුටින් එය සිදු කරනු ඇත. නමුත් එසේ කරද්දී ඔහුට කසල බඳුනේ පියන වසන්නට අමතක වන අතර එහි ප්‍රතිපලයක් ලෙස බල්ලන් කසල බඳුන පෙරළන්නට ඉඩ තිබේ. ඔහු තීන්ත හැමතැනකම හැලුවේය, අලුත වානිෂ් ගෑ පොළොවේ ඇවිද්දේය, ජනේලයක් විවර කරන්නට ගොස් එය කඩා දැමුවේය. ඔහු පිළිවෙලකට මුදල් පරිහරණය කරන්නට කිසිදිනක උගෙන නැති බව මා සොයාගත්තේ පසුවය. මේ නිසා ඔහුගේ චෙක්පොත් කලමණාකරණය කිරීමට පොහොසත් අසරණ වැන්දඹුවන්ට ලබාදෙන වර්ගයේ විශේෂ සේවකයෙක්ගේ සේවාව බැංකුවෙන් ලබා දී තිබිණි. මීට අමතරව නිවසේ ඔහුගේ ලියන මේසයේ වෙනම කොටසක් වෙන් වී තිබුණේ මාර්ග නීති උල්ලංඝනය වෙනුවෙන් ලැබී නොගෙවූ දඩ කොළ වෙනුවෙනි.


ඉතින් මම මේ දඩ ගෙවා දමා, චෙක්පොත පාලනය කිරීම අතට ගෙන වාර්ෂික අය වැයක් සැකසුවෙමි. ගෙවූ බදු මුදල් ආපසු ලබා ගැනීම සඳහා අඩු කළ හැකි වියදම් මොනවාදැයි සොයාගැනීමට ඔහුගෙන් ප්‍රශ්න ඇසීම සිදු කළෙමි. (මගේ ළමා කාලයේදී මේ කටයුත්ත සිදු කළේ මගේ පියා ය.) මෙසේ කරද්දී මට දැනුණේ මා වඩාත් විශාල වී, මගේ උරහිස් පළල් වන බවකි. උඩුකුරු කළ විවර අත්ලක් පා අන් පුද්ගලයාට සාධාරණ ලෙස සිතන්නට ඇරයුම් කරන තාත්තාගේ ඉරියව්ව මම ද අනුකරණය කරමින් සිටියෙමි. “දැන් හොඳට කල්පනා කරලා බලන්න ඇල්ෆ්‍රඩ්. ඔයා මුද්දර ගත්තාද? ලිපිද්‍රව්‍ය? ඔයාගේ රාජකාරියට අදාළ මොනවා හරි පොත් ගත්තාද?”


“පොත්?” එවන් අවස්ථා වලදී ඔහු අසයි. “ඔව්, මම හිතන්නේ ගත්තා.”


“කීයක් වුණාද ඒවාට? ඔයාට රිසිට් තියෙනවද?”


“නැහැ, මගේ අතින් නැතිවෙන්න ඇති ඒවා.”


“ඩොලර් පහක්? දහයක්?”


“මට හරියටම කියන්න බැහැ.”


“ඒ පොත්වල නම් මතක් කරන්න. එතකොට සමහර විට මතක් වෙයි. ඩොලර් පහලවක්? විස්සක්? විසි පහට අඩු ද?”


“අනේ මම දන්නේ නැහැ ලුසී, මොකටද ඕවා? ඔයතරම් විස්තර වැඩක් තියෙනවද?”


මා නින්ද නොයෑමේ රෝගයෙන් පෙළෙන්නට විය. නිදි යහනේදී මගේ දෑත් ඉබේම තරයේ මිට මෙලවුණු අතර මා කොතෙක් උත්සාහ කළත් ඒවා ලිහිල් කළ නොහැකි විය. මට දැනුණේ නිවස පාලනයට අදාළ සියලුම රැහැන් මගේ අතේ ඇති බවකි. මා සියල්ල දරා සිටි අතර සියල්ල රඳා පැවතුණේ මා මත බව මට හැඟිණි.



-------------------------------------------------


“මම එන්ජිම පණ ගැන්වූවාම මුලදී කිසි ප්‍රශ්නයක් නැහැ,” මම ජොඑල් ට පැහැදිලි කළෙමි. “ඒත් මම ටිකක් වේගයෙන් යද්දී මම බලාගෙන ඉන්නවා අර ‘ක්ලික්’ සද්දේ ඇහෙනකම්. ඔයා දන්නවනේ අර වාහනේ ගියර් මාරු වුණ බව අඟවන ක්ලික් සද්දේ? ඒත් ඒක ඇහෙන්නේ නැහැ වගේ. ඒ වගේම මට නිකම් හිතෙනවා එන්ජිමෙන් නිකම් කෙඳිරියක් වගේ එනවා කියලා. නිකම් වැරදි සද්දයක්- මට ඒක පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ.”


“ට්‍රාන්ස්මිෂන් එක නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න,” ජොඑල් කීවේය. “එහෙම වුණොත් නම් ලොකු වියදමක් යයි.”


අප සිටියේ මාර්ග සංඥා එළියක් අසළ නැවැත්වූ මගේ රථයේ වූ අතර රථය පදවමින් සිටියේ ඔහු ය. ඔහු මගේ ඉල්ලීම පරිදි රථයේ ගියරයන් පරීක්ෂා කරමින් සිටියේය. එය අගෝස්තු මාසයේ දැඩි හිරු රශ්මිය සහිත උණුසුම් දවසක් විය. (ජොඑල්ගේ මුහුණ දහදිය නිසා ඔප වැටී තිබුණු අතර ඔහුගේ කහ පැහැති කෙස්වල ද දිදුලන පෙනුමක් විය.) මා මගේ රිය කවුළුව විවර කළේ නැත. දහදියෙන් තෙත් වන මේ හැඟීමට මා ප්‍රිය කළේ ඒ උදය වරුවම මා තැවුල් සිතෙන් පීඩිතව, සීතලව ගත කළ නිසා ය. මාර්ග සංඥා එළි මාරුවන තුරු සන්සුන් ව බලා සිටියදී ජොඑල් “Let it be” සින්දුව උරුවම් බාමින්, ඇඟිලි තුඩුවලින් සුක්කානම මත තාලය අල්ලමින් සිටීම ගැන මට ප්‍රසාදයක් දැනුණි. මගේ රථය ඉතා කීකරුව, යටහත් පහත් ලෙස සිටින බවක් පෙනුණි.


“අලුත් එකක් ගන්න වුණේ නැත්නම් හොඳයි.” මම කීවෙමි


“ඕන වෙන එකක් නැහැ.” ඔහු කීවේය.


මාර්ග සංඥා එළිය වෙනස් වූ විට ජොඑල් රථය වේගයෙන් ඉදිරියට ගත්තේය. සෙමෙන් රථ පදවන්නන් පසු කරන්නට මං තීරු මාරු කරමින් ඔහු රථය පැදවූයේය. මෙසේ යද්දී ඔහු හිස ඇළ කර එන්ජිමේ හඬ අසන්නට විය. “මට නම් ඇහෙන්නේ හරියට ගියර් මාරු වෙනවා වගේ.” ඔහු කීවේය.


“තව විනාඩියක් බලන්න, එක විනාඩියක්…”


මා ද සවන්දෙමින් සිටි නමුත් මා තනියම රිය පදවද්දී ඇසුණු දේ මට එවෙලේ ඇසුණේ නැත.


අපි මාර්ග සංඥා එළි රහිත කුඩා පාරකට හැරුනෙමු. ජොඑල් රථය නවතා, නැවත පණ ගන්වා පැයට සැතපුම් හැට දක්වා එහි වේගය වැඩි කළේ පරීක්ෂාවෙන් එන්ජිමට සවන් දෙමිනි. ඔහු තිරිංග තද කර, ගියර් මාරු කරද්දී ඔහුගේ අතැඟිලි සෙලවුණේ මනා සේ තෙල් යෙදූ යන්ත්‍රයක කොටස් මෙනි. “අපි ආයෙත් දුවලා බලමු.” ඔහු කීවේය.


දෙවෙනි වතාවේදී ධාවනය කළ පසු අප හදිසියේම එළඹුණේ පුදුම දනවන තැනකට ය. ඒ ගෝල්ඩන්රොඩ් මල් සහ ඉවත ලූ බීර කෑන් පිරුණු පිටියකි. ඔහු රථය නවත්වා උඩු තොලේ දහදිය පිටි අත්ලෙන් පිසදා ගත්තේය. “මම හිතන්නේ,” ඔහු පිටිය වෙත නෙත් යොමාගෙන කීවේය. ඔහුගේ දෑස (ඒ දිගටි නිල් දෑස කවුළු දෙකක් සේ දීප්තිමත්ව දිස් විය) පසුපස ඔහු දන්නා සියලු දේ අඩංගු ලේඛන ඒ මොහොතේදී පිළිවෙලට විමර්ශනය වනවා ඇතැයි මට මැවුනි. “මට නම් පේන්නේ මේකේ ප්‍රශ්නයක් නැහැ වගේ,” ඔහු අවසානයේදී හිස සොලවා කීවේය.


මෙය අසා මට සැනසිල්ලක් දැනෙන්නට ඇතැයි ඔබ සිතන්නට ඉඩ තිබුණත් සිදු වූයේ අනිකකි. රථයේ යම් දෝෂයක් තිබුණා නම් එය අලුත්වැඩියා කළ හැකි අතර තවත් කාලයකට ඉන් ගැටළුවක් ඇති නොවන බවට සහතික විය හැක. නමුත් එහි දෝෂයක් හඳුනා නොගැනුණු විට මා සිතේ ඇති වූයේ මහත් අවිනිශ්චිත බවකි. මම සුසුමක් හෙලා මගේ පසුම්බිය වැරෙන් අල්ලා ගත්තෙමි. ජොඑල් හිස හරවා මා දෙස බැලුවේය.


“මම හිතන්නේ මට පිස්සු හැදීගෙන එනවා,” මම ඔහුට කීවෙමි.


“අනේ නැහැ..”


“මම හිතන්නේ මම මේ කාර් එක ගැන ඕනාවට වඩා බරපතලව හිතනවා. දැන් දැන් මම අධිවේගී පාරවල් වල මේකේ යන එක නැවැත්තුවා. මට ගරාජ් එකක් ළඟ පාතක නැති වුණාම බයයි. මම කැමතිම වෙළඳසැලේ තියෙන ඡන්ද දායිකාවන්ගේ සංගමයේ රැස්වීම් වලට මම දැන් යන්නේ නැහැ. මේ නගරේදී වුණත් මම දැන් යන්නේ ගරාජ් එකක් තියෙන පාරවල් වල විතරයි. ගෙවල් විතරක් තියෙන පාරවල් වල යද්දී මට බයක් දැනෙනවා.”


“අයියෝ මේ කාර් එක හොඳට තියෙනවානේ,” ඔහු සුක්කානමට තට්ටුවක් දමමින් කීවේය. “ඔයා ඔහොම බය වෙන්න ඕන නැහැ.”


“මට බයයි වැඩි කල් නොගිහින් මට ගෙදරටම වෙලා ඉන්න වෙයි කියලා.”


මෙය අසා ඔහුට සිනා පහළ විය. “ඉතින් මොකද?” ඔහු කීය. “ගෙදර ඉන්න එකේ වැරැද්ද මොකද්ද?”


“එහෙම වුණොත් මුලින්ම මගේ රස්සාව නැති වෙයි.”


“මම නම් කැමතියි මගේ නෝනාට ඔයාගේ ප්‍රශ්නේ තිබ්බා නම්,” ඔහු කීය. “එයා නම් දවසම කරන්නේ කාර් එක අරන් එහෙ මෙහෙ රවුම් ගහන එක. මාව ගරාජ් එකෙන් බස්සලා දවසම රස්තියාදු ගහනවා, අපේ සල්ලි ඔක්කොම වියදම් කරනවා, අන්තිමට බබාටත් තෙහෙට්ටුයි.”


“ඒත් එයාට කාර් එකේ ප්‍රශ්නයක් වුණොත් කතාකරන්න ඔයා ඉන්නවනේ.” මම කීවෙමි.


“කොහෙද? මේ අධිවේගී පාරේ හැතැප්ම හතළිහක් ඈත දී? ඔය ඈත තියන කෝවෙට්, කේමාට්, ටූ ගයිස් කඩ පැත්තේ? එයා ඒවායින් ගන්නෙත් මහා බාල දේවල්. පොඩි පොඩි ස්වෙටර්, බාල පාට ප්ලාස්ටික් කරාබු… සල්ලි වියදම් වෙන එක නෙමෙයි මට ප්‍රශ්නේ. ඒත් එයා එහෙම වියදම් නොකර හොඳ දෙයක් ගන්න ඒ සල්ලි ඉතුරු කරගන්නවා නම්, අර ඔයාගේ දුඹුරු පාට කබාය වගේ දෙයක්- මතකයි නේද ඒ කබාය? එහෙම කළා නම් කොයිතරම් හොඳද. මම එයාට කියනවා, ඒත් ඔයා හිතනවද එයා ඇහුම්කන් දෙනවා කියලා?”


“සමහරවිට එයාට පාලු ඇති,” මම කීවෙමි.


“වෙන්න ඇති,” ඔහු කීවේය. “ඒත් මම නම් හරි කැමතියි ටිකක් හරි ගෙදර ඉන්න බිරිඳක් හිටියා නම්. අනිත් දේ තමයි, එයා තමන් ගැන කිසි සැලකිල්ලක් නැහැ. එයා එයාගේ කොන්ඩේ දිගට වැවෙන්න ඇරලා තියෙන්නේ. හැමදාම මම ගෙදර ආවාම ‘මේ කවුද මේ?’ කියලා මට හිතෙනවා. මම කියන්නේ ඒක මට හැමදාම පුදුමයක් වගේ. මට ඒකට කවදාවත් හුරුවෙන්න බැහැ. මට හිතෙනවා හැමදාටම මේකද එතකොට මට උරුම කියලා. මේ නටු ගැහුණු කොන්ඩේ තියෙන ගෑනු කෙනාත් එක්කද මම ඉන්න ඕන කියලා. හරියට මට අමතකවීමේ ලෙඩක් තියෙනවා වගේ, මේක සිද්ධ වුණේ කොහොමද කියලා මට මතක නැහැ වගේ දෙයක්.”


“මේ දේවල් මේ තරම් සදාකාලිකයි කියලා කවුරුවත් අපට කිව්වේ නැහැ.” මම කීවෙමි.


“නැහැ නේන්නම්,” ඔහු කීය. “අපිට ඒත්තු යන විදිහට කවුරුවත් කිව්වේ නැහැ.”


ඔහු මදෙස බැලුවේය. ඔහුගේ දෑත සුක්කානමෙන් ඉවතට වැටුණි. අපගේ නිහඬ බව උළුප්පමින් පිටතින් නැඟුණු පලඟැටි හඬ මට ඇසෙන්නට විය.


“ඉතින්?” මා කියූ විට ජොඑල් ද “ඉතින්! දැන් නම් වික්ටර් ට කේන්ති ගිහිල්ලාත් ඇති” යැයි කීවේය. ඉනික්බිති ඔහු රථය පණ ගන්වා ආපසු හරවා ගත් අතර අපි ආපිට ගරාජය වෙත ගමන් කළෙමු.


පසුගිය සැප්තැම්බර් මාසයේදී මා මගේ දෙමව්පියන් බලන්නට ඔවුන් වෙසෙන දකුණු පෙදෙසට ගියේ සතියක කාලයටයි. ඒ ගමන් අසාර්ථක එකක් විය. මා ඔවුන්ගෙන් වෙන්ව ගත කර තිබුණු කාලය දිගු වැඩි වීම නිසා අප අතර තිබුණු යම් බැඳීමක් දරදඬු වී තිබිණි. කෑම මේසයේදී මගේ නංගී ඔවුන් සමඟ විහිලු තහළු කරන අයුරු බලා සිටිද්දී මා තවත් අනාථ වූ බවක් මට හැඟිණි. තාත්තා ඔහුගේ වැඩ කාමරයට වී විවිධ දේවල් ගලවමින් නැවතත් සවි කරමින් කාලය ගත කළේය. අම්මාත් මාත් එකිනෙකා වෙත කෙතරම් ආචාරශීලී වීද යත් එය වේදනාත්මක අත්දැකීමක් විය. ආපසු එන්නට කාලය එළඹුණු විට මට දැනුණේ සැනසිල්ලකි.


මා මුණගැසීමට ඇල්ෆ්‍රඩ් දුම්රියපොළට පැමිණ තිබුණේ රෝස මල් කළඹක් අතැතිවයි. මට ඔහු දැකීම මහත් සතුටක් විය. ඔහුගේ පොඩිවුණු ඇඳුම් මට ගෙන ආවේ සැනසිලිදායක් විශ්වසනීය හැඟීමකි. ඔහුගෙන් වහනය වූ පැරණි දුම්කොළ පුසුඹ මගේ විඩා නිව්වේය. “ඔයාව ආයෙත් දාලා යන්න මට ඉඩ දෙන්න එපා” මම ඔහුට කීවෙමි. ඔහු සිනාසී රෝස මල් පොකුර මගේ අතට දුන්නේය.


නිවස බලා යද්දී ඔහු මගේ පවුලේ අය ගැන විස්තර ඇසුවේය. අප දෙදෙනාගේ විවාහය නමැති අදහසට ඔවුන් මේ වෙද්දී හුරු වී ඇත්ද? “ආ ඔව් ඔව්” මා ඔහුට පිළිතුරු දුන්නේ නොසැලකිල්ලෙනි. මගේ පවුලේ අයට අපි දෙන්නා ගැන තිබුණු බලපෑම කුමක්ද?


ඔහු නිවස ඉදිරිපස රථය නැවත්වූයේ රෝද දෙකක් පදික වේදිකාව මත සිටින ලෙසයි. ඔහු මගේ ගමන් මල්ල රථයෙන් පිටතට ගත් අතර අපි දෙදෙනා දෑත් පටලාගෙන නිවස වෙත දිවෙන පඩිපෙළ නැග්ගෙමු.


“ඔයාට පෙනේවි මම ඔයා වෙනුවෙන් වත්තේ තණකොළ ටික කැපුව බව,” ඔහු කීවේය.


මෙය අසා මට පුදුමයක් දැනුණි. තැන තැන සරත් සමයේ පළමු පත් විසිරී තිබුණු අපගේ අපිළිවෙල තණ බිස්ස වෙත මම නෙත් යොමු කළෙමි. කුමක් හෝ විසින් එහි තැන තැන කා දැමූ බවක් පැහැදිලිව පෙනෙන්නට විය. තණබිස්ස කපද්දී ඔහුට මඟහැරුණු පටු තණකොළ තීරු මගේ ඇස ගැටුණි.


“අනේ ඇල්ෆ්‍රඩ්!” මම කීවෙමි


ඔහු නොසන්සුන් ලෙස මා දෙස බැලුවේය.


“ඒක කොයිතරම් හොඳ දෙයක්ද?” මම කීවෙමි.


“ඔව්, ඒත් ලුසී- මට තණකොළ කපන මැෂිම ගැන නම් සැකයි.”


“තණකොළ කපන මැෂිම ?”


“ඔව්, මම කියන්නේ ඒකෙ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ.”


“ආ, අපි පස්සේ බලමු.”


“ඒක අතන තියෙනවා ඔයාට බලන්න ඕන නම්.”


ඔහු අදහස් කළේ එය නිවස අසල තණ බිස්සේ තිබෙන බවයි. ඔහු එය එළිමහනේ තබා තිබිණි. එය විදුලියෙන් ක්‍රියාත්මක වූ මිළ අධික යන්ත්‍රයක් වූ අතර එලෙස එළිමහනේ තැබිය යුතු එකක් නොවීය. නමුත් මා ඔහුට ඒ බව කීවේ නැත.


“මොකක්ද ප්‍රශ්නේ?” මම ඇසුවෙමි.


“මේ..”


ඔහු මගේ ගමන් මල්ල නිවසේ දොරකඩ තබා තණකොළ කපන යන්ත්‍රය වෙත ගොස් එහි විදුලි සැපයුම අක්‍රිය නොකරම එය අනෙත් පස හරවා (මේ බව දැක මම සිතින් වෙව්ලා ගිය නමුත් කිසිවක් නොකීවෙමි) එහි කැපුම් තල වෙත අත දිගු කළේය. “මේ පේනවාද?”


දැන් නම් ඒවා කැපුම් තල බවක් පෙනුණේ නැත. දැන් ඒවා දිස් වූයේ ඇද වී ඇඹරුණු යකඩ කැබලි ලෙසයි.


“දෙයියනේ, මොකද මේ වුණේ?” ඇසූ මම වඩාත් හොඳින් පරීක්ෂා කිරීමට යන්ත්‍රය වෙත කිට්ටු වුණෙමි. ඒ ඇඹරුණු යකඩ ගොඩ මැද යකඩ නොවන යමක්, කැපුම් තල වලට වඩා පැතලි, පළල් යමක් සිරවී ඇති අයුරු මට පෙනුණි. “මේ තණකොළ කපද්දී කකුල් දෙකට හානි නොවෙන්න තියෙන කෑල්ල නේ, මේක මැෂිමේ පිටිපස්සට හයිකරලා තියෙන එකක්නේ.” මම කීවෙමි.


“ඒක ගැලවිලා වගේ පේන්නේ.” ඇල්ෆ්‍රඩ් කීවේය.


“ඔව්, ඒත් ඒක ගැලවිලා වැටෙද්දී ඔයා දිගටම තණකොළ කපාගෙන ගියාද? කපන තල වලට අහුවෙලා ඒක ඇඹරිලා යනකම් බලාගෙන හිටියද?”


“එහෙම දෙයක් වෙන බවක් මට දැනුණේ නැහැ.” ඔහු කීය.


“ඒත් මහා ලොකු සද්දයක් එන්න ඇතිනේ!”


“මම හිතුවා… ඒක.. මම දන්නේ නැහැ. මම හිතුවා මැෂිමට කෝටුවක් අහුවුණ නිසා ඒක අමුතු විදිහට හැසිරෙනවා කියලා.”


තණකොළ කපන යන්ත්‍රයෙන් විවිධ බියකරු හඬවල් නැගෙද්දී ඇල්ෆ්‍රඩ් දිගින් දිගටම, උත්සාහය අත් නොහැරම එය තල්ලු කරන අයුරු මට පැහැදිලිව මැවී පෙනෙන්නට විය. ඒ සිතිවිල්ල මට ගෙන ආවේ මහත් බලාපොරොත්තු සුන් වූ හැඟීමකි. මට ඉන් මිදෙන්නට නොහැකි විය.


“අයියෝ ඇල්ෆ්‍රඩ්,” මම කීවෙමි. “ඔයාට කිසි දෙයක් හරියට කරන්න බැරිද? හැමදාම හැමදේම කරන්න ඕන මම ද?”


එය ඇසුණු විට නැමී සිටි ඔහු සිරුර කෙළින් කොට මා දෙස බැලුවේය. ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබිණි. වෙනදාට ලා අළු පැහැතිව තිබුණු ඔහුගේ දෑස විශාල වී අඳුරු වී තිබුණු අතර එහි දිස් වූයේ කළු ඉංගිරියාවන් පමණි.


“ඔයා ඔහොම කියයි කියලා මම දැනගෙන හිටියා ලුසී,” ඔහු කීවේය.


“ඔයා දැනගෙන හිටියා නම් මොකද එහෙම ….”


“මම කරන කිසිම දෙයක් ඔයාට හරියන්නේ නැහැ. ඔයාට හැමදේම තිතට කරන්නත් ඕන, ඒවා ඔයාට තනියම කරන්නත් ඕන. මම මොනවා හරි කරන්න ගියාම මගේ ළඟ හිටගෙන මට දොස් කියන ඒකයි, මම කරන හැම දේකම වැරදි දකින එකයි, මට සවුත්තු කරන එකයි විතරයි ඔයා කරන්නේ. ඔයාට හැම තිස්සෙම හැම දෙයක්ම පාලනය කරන්න ඕන, ඔයාට හැමතිස්සෙම බලය ඕන.”



“එහෙමද ඔයාට පේන්නේ?” මම ඇසුවෙමි. “ඔයා හිතනවද මම මෙහෙම වුණේ මගේ කැමැත්තෙන් කියලා? ඔයා හිතනවද මට ඇත්තටම හැමදේම පාලනය කරන්න ඕන කියලා? ඉතින් ගන්නකො පාලනය! ඇයි ඔයා ඒක ගන්නේ නැත්තේ? ඔයා හිතනවද කවුරු හරි ඒක ගන්නවානම් මාත් එල්ලිලා ඉඳීවි කියලා? ගන්නකො ඉතින්!”


මෙසේ කියා මා ඔහුගේ මුහුණ ඉදිරිපස මගේ දෑත වැනුවේ එහි ඇති සියලු දේ ඔහුට දෙන බව දක්වමිනි. නමුත් ඔහු මා දෙස බලා සිටියේ උදාසීන බැල්මකිනි. ඔසවා තිබුණු දෑත මම පහත හෙලුවෙමි. ඔහු තණකොළ කපන යන්ත්‍රය වෙත ගොස් එය නැවත උඩු අතට හරවා, විදුලියෙන් විසන්ධි කර, ගරාජය වෙතට තල්ලු කරගෙන යන අයුරු මම බලා සිටියෙමි: එය, එල්ලා හැලෙන ඇඳුමක් හැඳ සිටින, මඳක් කොර ගසමින් යන විශාල, දුක්මුසු මිනිසෙක්ගේ දසුනක් විය.


------------------------------------------------


මෑත දී නම් මගේ මෝටර් රථය කරදරයක් නොදී ධාවනය වෙමින් තිබෙන නමුත් මා ඒ ගැන වධ වීම නම් නැවතී නැත. මා අවසාන වතාවට එක්සෝන් කාර්මික හල වෙත ගියේ රථයට ඉන්ධන ලබාගැනීමටයි. එය ඔක්තෝම්බරයේ මීදුම් බර දිනයක් වූ අතර ඒ සරත් ඍතුවේ පළමු සීතල දවසද විය. එදා එහි රාජකාරියේ සිටියේ ජොඑල් ය. ඔහුගෙන් දිස් වුයේ සැර පරුෂ පෙනුමකි. සමහර විට ඔහු වෙරිමතින් පසුව එළඹෙන අකර්මන්‍ය බවින් පෙලුනා විය හැක. පෙර දින ඇල්ෆ්‍රඩ් නින්දට ගිය පසු මහා රෑ වන තුරු රූපවාහිනිය නරඹමින් මා අවදිව සිටි බැවින් මටද හිසේ ඇම්මක් විය. එබැවින් මා කළේ ජොඑල් දුටු විට ඔහුට හිසින් සන් කිරීම පමණි. ඔහුද ආපිට එලෙස සන් කර ඉන්ධන පොම්පය වෙත ගොස් රථයට ඉන්ධන පුරවන්නට විය. ඉන්ධන පිරෙන අතරතුර ඔහු දෑත් බැඳ බලා සිටියේය. මා ද එක එල්ලේ රථයෙන් ඉදිරිපසට නෙත් යොමා සිටියේ ඉදිරි වීදුරුවේ මගේ හුස්මෙන් හුමාලය බැඳෙන අයුරු නරඹමිනි. ඉනික්බිති මම ඔහුට ඩොලර් හයකුත් ශත විසි හතරක් ගෙවා මගේ පසුම්බිය ගමන් මල්ලෙහි ලාගෙන එතැනින් ඉවතට රථය ධාවනය කළෙමි.


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 


Holding Things Together- a short story by Anne Tyler
New Yorker Magazine, January 24, 1977 pp 30- 35

photo- Pixabay


පසු සටහන -

Anne Tyler ගේ නවකතා ගැන මා ලියූ බ්ලොග් සටහන නිසා ඇගේ පොතකින් කොටසක් හෝ පරිවර්තනය කරන මෙන් මගේ බ්ලොග් පාඨක මිතුරු මිතුරියන්ගෙන් ඉල්ලීමක් ලැබුණි. ඇගේ මේ Holding Things Together කෙටිකතාව පරිවර්තනයට මඟ පෑදුණේ ඒ අනුවයි. දිගු-කෙටි කතාවක් වූවත් මෙය පරිවර්තනය කිරීම සුමට, ප්‍රීතිමත් කාර්යයක් විය. මෙමඟින් Anne Tyler ගේ නිර්මාණයට සාධාරණයක් ඉටු කරන්නට මට ඉඩ ලැබුණාදැයි නොදන්නාමුත් ඉඩක් ලදහොත් සියුම් මිනිස් භාවයන් මනා සේ අකුරු බවට හරවන ඇයගේ පොත් කියවන්නැයි යළිදු ඔබට ඇරයුම් කරමි. 

මේ පරිවර්තනයට පැකිලෙමින් සිටි මට ඒ සඳහා උනන්දු කළ සහෘදයන්ට තූති! 

නැලවිලි ගීතය - ලන්ඩන් කවි, ජූලි 2022

June 26, 2022

Anne Tyler ගේ පොත්

එක හුස්මට කියවන්න පුළුවන් පොත් හම්බවෙන්නේ කොයිතරම් කලාතුරකින්ද? පොතක විස්තරේ බලන්නේවත් නැතිව 'මේක රස පොතක්' කියලා සහතිකවම දැනගෙන අපි කියවන්න ගන්නේ කී කාලෙකට සැරයක්ද? කතුවරයෙක්ගේ අලුත් පොතක් එනකම් ඇඟිලි ගැන ගැන මඟ බලාගෙන ඉන්නේ කොයිතරම් අඩුවෙන්ද?

Anne Tyler කියන්නේ මට ඒ වගේ කතුවරියක්. එයාගේ අලුත් පොතක් පිට වෙනකම් මඟ බලාගෙන ඉන්න, පිට වුණාම කොහොම හරි හොයාගන්න, නිදිමරාගෙන පැය ගාණක් ඇතුලත කියවලා ඉවර කරන වර්ගයේ පොත් තමයි මේවා. පොත් එක්කම ජීවිතේ ගතකරන මට මේ වගේ ආසක්ත වීම් වෙන්නේ කලාතුරකින් කියලත් කියන්න ඕන. ඒත් කවදාවත් Anne Tyler මගේ බලාපොරොත්තු කඩ කරලා නැහැ.

මම මුලින්ම Anne Tylerගේ පොතක් කියෙව්වේ අහම්බෙන්, පුස්තකාලෙන් අරගෙන. ඒ Digging to America (2006) කියන පොත. ඒක කියවලා හොඳටම රස වැටිලා මම ඒ බව මාත් එක්ක වැඩකළ මිතුරියෙක් වුණු හෙදර්ට ඒ ගැන කිව්වා. සිනාමුසුව මගේ විස්තරේ අහගෙන හිටිය ඈ ඊළඟ දවසේ ආවේ පොත් පුරවපු පෙට්ටියකුත් අරගෙන. ඒ පෙට්ටියේ එදා මෙදා තුර Anne Tyler ලීව හැම නවකතාවක්ම තිබුණා. බලද්දී මම නොදැන හිටියාට හෙදර්ත් ඒ වෙද්දී Anne Tylerගේ හොඳ රසිකාවක්. ඒ වෙලාවේ මට දැනුණේ සෙල්ලම් බඩු තොගයක් එක සැරේ තෑගි ලැබුණු ළමයෙකුගේ සතුටක්! ඉතින් ඒ පොත් එකතුව මම එකක් පස්සේ එකක් එක හුස්මට කියෙව්වා. ඒ පොත් පෙට්ටිය කියවලා ඉවර වෙද්දී Anne Tyler මගේ හිතේ ස්ථිරවම පදිංචි වෙලා ඉවරයි.

මේ තරම් විශේෂ වෙන්න Anne Tylerගේ ලිවීමේ රහස ඇත්තටම මොකක්ද? ඒ තමයි එයා ලියන්නේ අතිශයින් සාමාන්‍ය එදිනෙදා දේවල් ගැන වීම. බොහොම සාමාන්‍ය මිනිස් හැසිරීම්, පවුල් ඇතුලේ තියෙන පුංචි දිලිසීම්, හැල හැප්පිලි, කඩා වැටීම්, දිනුම් ගැන Anne ලියන්නේ අපිවත් ඒ පවුල් වලට වැළඳගෙන, මුහු කරගෙන. ඒත් මේ සාමාන්‍ය දේවල් බොහොම සියුම්ව කැටයම් කළ, ඔප දැම්ම භාජනයක් වගේ තමයි අපේ අතට ලැබෙන්නේ. එක එක අතට ඒකෙන් පේන දිස්නය, ලස්සන -වෙනස්. මිනිසුන්ගේ ගති විධි සියුම්ව නිරීක්ෂණය කරලා ඒවා අකුරු කරන්න Anne Tylerතරම් දක්ෂ ලේඛකයෙක් මට නම් හමුවෙලා නැහැ. අවුරුදු ගණනාවක් පුරා දිවෙන පවුලක කතා බොහොම පුංචි පොතකට කැටි කරන Anne ඒවා පවුලේ එක එක සාමාජිකයන්ගේ කෝණවලින් අපිට ඉදිරිපත් කරන්නේ අපටවත් නොදැනෙන්න.
 
Anne Tyler 1941දී ඇමෙරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ උපන්නියක්. ඇය මේ වෙද්දී නවකතා 23ක් පළ කර තිබෙනවා. ඒවා අතරින් Dinner at the Homesick Restaurant (1982), The Accidental Tourist (1985) යන ඒවා ප්‍රබන්ධ සඳහා වන පුලිට්සර් සම්මානයට නිර්දේශ වුණු අතර Breathing Lessons (1988) යන නවකතාව 1989 දී එම සම්මානය දිනා ගත්තා. මීට අමතරව ඇගේ ලේඛනය වෙනුවෙන් ඇය මෑන් බුකර් සම්මානය ඇතුළු සම්මාන රැසක් ලබාගෙන තිබෙනවා. ඇගේ පොත් විසිතුනම කියවූ පාඨකයෙක් හැටියට මම නම් වැඩියම කැමති ඇගේ Patchwork Planet (1998) නවකතාවට. ඒ වගේම මේ විස්තරය ලියන්න හේතු වුණේ Anne Tylerගේ අලුත්ම නවකතාව වන French Braid (2022) මම ඊයේ පෙරේදා එක හුස්මට කියවලා ඉවර කළ නිසා.

පාඨකයෙක් පොතක් කියවෙලා ඉවරවෙලා 'අනේ තව ටිකක් කියවන්න තිබුණා නම්, අපරාදේ ඉවර වුණේ' කියලා හිතනවා නම් ඒ තමයි ලේඛකයෙක් ලබන ලොකුම දිනුම කියලා මම හිතන්නේ. ඒ අතින් නම් Anne Tyler බොහොම ඉහළින්ම දිනුම්!