August 30, 2024

collage චිත්‍ර

ඉස්සර මම ආසාම වැඩක් තමයි collage චිත්‍ර හදන එක. පුංචි පුංචි පාට කොළ කෑලි කපලා කරන මේ වැඩේ මට ඒ කාලේ පිස්සුවක් වෙලා තිබුණා. මේ කලාව මම කොයිතරම් ප්‍රගුණ කරලා තිබුණා ද කියනවා නම් ටිකක් කල් යද්දී මම බොහොම පුංචි, සියුම් collage පවා කළා. මේවායේ සමහර පුංචි කොළ කෑලි කොයි මම ඇලෙව්වේ ඉඳිකටු තුඩින්. මේ සියුම් කැපිලි වලට මට පුංචි කතුරකුත් තිබුණා මතකයි.

මෙහෙම චිත්‍ර හදන්න උවමනා පාට කඩදාසි එකතු කරන එක ඒ කාලේ මගේ ලොකුම වැඩක්. ඉස්සර ඒවා තියෙන සඟරා එහෙම වැඩිය තිබුණේ නැහැනේ. මගේ මේ mission එක දන්නා නිසා මගේ නෑදෑ හිත මිත්‍රයෝ මට එයාලාට හම්බවුන පාට කොළ තියෙන කැලැන්ඩර්, කාඩ් එහෙම දෙනවා. මේවා පුරවපු පෙට්ටියක් ඒ කාලේ මගේ ඇඳ යට තිබුණා. collage එකක් හදන්න හිතුනාම ඇඳ යටින් මේ පෙට්ටිය ඇදලා අරගෙන කාමරේ පුරාම කොළ කෑලි විසුරුවාගෙන මම පින්තූර හදනවා. සමහර වෙලාවට ඒවාට පැය ගාණක් යනවා. ඒත් වෙලාව ගතවෙනවා දැනෙන්නේ වත් නැහැ.

මගේ teen වයසේ වගේම වයස විසි ගණන් කාලේත් මගේ මිතුරු circles වල හිටිය හැමෝටම වගේ මම මේ විදිහට collage එකක් කරලා හදපු නිර්මාණයක් මගෙන් ලැබිලා තියෙනවා මගේ හිතේ. ඒ කාලේ එයාලගේ උපන්දින වලට, දුක හිතුණු කෙනෙකුට හිත හැදෙන්න වගේම කිසිම හේතුවක් නැතිව ආදරේටත් මම මේවා දුන්නා. ඒ වගේම කැම්පස් යන කාලේ මම නැවතිලා හිටිය බෝඩිමක බිත්ති පාලුයි කියලා කාටූන් චරිත කීපයක්- Sylvester, Piglet, Pooh වගේ කට්ටියගේ පින්තූර මම collage හදාගෙන ගිහින් බිත්තිවල ගැහුවා කියලා මගේ බෝඩිම් සගයෝ සාක්කි.

එක වතාවක් මගේ යාලුවෙකුගේ උපන්දිනයට කාඩ් එකකට මම Donald Duck කෙනෙක් හැදුවා. පැය ගාණක් මහන්සි වෙලා හදපු කාඩ් එක හරි ලස්සනට ආවා, ඉතින් මම ඒක ඉක්මණින් තැපැල් කළා. දවසකට දෙකකට පස්සේ ඒ යාලුවාගෙන් මට කෝල් එකක් එනවා. "හෙල්මලී, මට මේ ආව Donald Duck කාඩ් එක ඔයාගෙන්ද?" බලද්දී පැය ගාණක් මහන්සි වෙලා හැදුව කාඩ් එක මම යවලා තියෙන්නේ ඇතුලේ කිසිම දෙයක් නොලියායි! මේ වගේ collage පිස්සුවක් තියෙන්නේ මට නිසා ඒ මගෙන් බව එයා අනුමාන කරලා.

Stress relief activities ගැන ලොකුවට නොදන්නා කාලෙක පාඩම් වැඩ වලින් හෙම්බත් වුණාම මෙහෙම එක දේකට පැය ගාණක් අවධානය යොමු කරගෙන collage කරපු එකත් එක්තරා විදිහක භාවනාවක් නේද කියලා දැන් හිතෙනවා.

දැන් නම් මම වැඩිපුරම කරන්නේ චිත්‍ර අඳින එක. ඒත් පොඩ්ඩක් හිතුවොත් දැනුත් collage බැරි නැහැ.

මේ එහෙම හදපු collage book mark එකක්. මේකේ මුළු දිග අඟල් හයක් විතර ඇති. 




August 22, 2024

Book Week 2024

අගෝස්තු මාසේ තුන්වෙනි සතිය කියන්නේ ඕස්ට්‍රේලියාවේ පාසල්වල 'Book Week' හෙවත් පොත් සමරන සතිය. මේ සතිය බොහෝ වෙලාවට සංවිධානය කරන්නේ ඉස්කෝලවල පුස්තකාලවලින්. මේ රටේ ප්‍රාථමික පාසල්වල පවා සම්පත් බහුල පුස්තකාල තිබීම විශේෂත්වයක්. ඉතින් පුංචි කාලේ ඉඳන් දරුවන් තුළ ඇති කියවීමේ ආසාව සමරන්න හොඳම කාලයක් මේ Book Week එක. 

මේ සතියේදී පාසල්වල විවිධ වැඩසටහන් සංවිධානය කෙරෙනවා. පොත් කතුවරු අමුත්තන් හැටියට ගෙන්වලා සකච්ඡා, වැඩමුළු පවත්වනවා, පොත් සල්පිල්, ප්‍රදර්ශන, පොත් ගැන පුංචි තරඟ තියෙනවා. ඒ වගේම මේ සතියේ දවසක ඉස්කෝලවල book week parade එකක් තියෙනවා. එදාට ළමයින්ට පොතක තමන් කැමතිම චරිතයක් විදිහට ඇඳගෙන එන්න පුළුවන්. ගුරුවරුත් මේ විනෝදයටම එකතු වෙලා පොත් වල චරිත වගේ ඇඳගෙන එනවා. ඉන්පස්සේ පාසල් රැස්වීමක තමන් ආස පොත් ගැන කතුවරු ගැන හැමෝම අදහස් බෙදාගන්නවා. ඇත්තටම ඒක හරි රසබර අත්දැකීමක්.

Children's Book Council of Australia (CBCA) එකෙන් මේ සතියට සමාන්තරව සම්මාන උළෙලක් පවත්වනවා. එයින් හොඳම ළමා පොතට, යෞවන වයසේ දරුවන්ට ලියවුණු පොත් අතරින් හොඳම පොතට, හොඳම පොත් චිත්‍ර නිර්මාණ ශිල්පියාට වගේ විවිධ අංශවලින් ජයග්‍රාහකයෝ තෝරනවා. ඒ වගේම හැම අවුරුද්දකම Book Week එකට අදාළ තේමා පාඨය තීරණය කරන්නෙත් CBCA එකෙන්. මේ අවුරුද්දේ ඒ පාඨය 'Reading is Magic'. පාසල්වල Book Week උත්සව සංවිධානය කරද්දී මේ තේමාව උදව්වට ගන්නවා. 

මම රැකියාව කරන්නේ ද්විතියික පාසලක පුස්තකාලයක නිසා අපි Book Week සමරන්නේ තරමක් සාහිත්‍යමය පැත්තට බර වෙන්න. පාසලේ විවිධ වසරවලට නිර්දේශිත කියවීම් පොත් ලියූ කතුවරු මේ සතියේ පාසලට ගෙන්වන්න අපි මහන්සි වෙනවා. එයාලාගේ කතාබහ අහද්දී, වැඩමුළු වලට සම්බන්ධ වෙද්දී පාසලේ සිසුවියන්ට ඒ ලිවීම් රටා ගැන, ලිවීමේ ක්‍රමෝපායන් ගැන වඩාත් හොඳ අවබෝධයක් ලැබෙනවා. එයාලට ඒ කතුවරුන්ගෙන් ප්‍රශ්න අහන්න, එයාලා එක්ක තර්ක කරන්න ඉඩකඩ ලැබෙනවා. Book Week එකේ අන්තිම දවස අපි වෙන් කරන්නේ පාසලේ සිසුවියන්ගේ ලේඛන නිර්මාණ බෙදාගන්න අවස්තාවක් දෙන්න. එදාට පුස්තකාලයෙන් open mic event එකක් සංවිධානය කරනවා. දරුවන්ට තමන් ලීව කවි කතා ඉදිරිපත් කරන්න, ඒවා ගැන කතාකරන්න ඒක හොඳ අවස්තාවක්. ඒ වගේම නිර්මාණකරණයේ යෙදෙන ගුරුවරුත් එදාට එයාලගේ නිර්මාණ දරුවන් එක්ක බෙදා ගන්නවා.

ඉතින් මෙහෙමයි ඕස්ට්‍රේලියාවේ අපේ Book Week ගතවෙන්නේ. පොත් කියවීම අපි එදිනෙදා හැමදාම කරන දෙයක් වුණත් පොත් සමරන්න මේ විදිහට සතියක් ලැබෙන එක හරිම සුවිශේෂී දෙයක්. 

Author - Wendy Orr

Caroline Jane Knight- Fifth great niece of Jane Austen

Author - Maxine Beneba Clarke



August 15, 2024

අප හොඳින් සූදානම් ව සිටිය යුතු ය



ප්ලෝවර් කුරුල්ලන් සමුගැනීමේ ගීතය ගයන තාලයට
මිය ඇදුණු නරියෙක්, එක් විවර ඇසකින් කඳු පල්ලම දෙස බලන විදිහට
සියලු පත් ගිලිහී ගොස්, ඉනික්බිති ඇතිවන දිගු ඉසිඹුවට
‘අප කිසිදිනක නැවත හමුනොවිය යුතුයි’ කිසිවෙකු කියන ආකාරයට
කේක් ගෙඩිය පුස්වලින් වැසෙන රටාවට
කිරි යොදය ඇඹුල් වන වේගයට
ආපසු නොඑන්නම ගං දිය ගලා යන රිද්මයට
ආපසු නොඑන්නම දවස් ගතවන තාලයට
යමෙකු නැවත පැමිණියත් ඒ හීනයකම පමණක් වන මොහොතට

අප හොඳින් සූදානම් ව සිටිය යුතුය


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

Translation of the poem 'We should be well prepared' by Mary Oliver

පසු සටහන
Mary Oliver මම බොහොම කැමති කිවිඳියක්. ඈ ස්වභාව ධර්මය ගැන කවි ලියන විදිහ හරි නැවුම්. ඒ වගේම ඒ කවි වල ජීවිතයත් ලස්සනට පටලවලා තියෙනවා. මෑතක මම මටම තෑග්ගක් හැටියට Mary Oliver ගේ කවිපොතක් ගත්තා. ඒකෙ පිටු 455ක්! ඒ පොත ගැන සටහනක් වෙනම ලියන්න වෙනවා. ඒත් නිසොල්මන් වෙලාවක, අලුතින් අතට ලැබුණු පොත පෙරලද්දී මේ කවිය ළඟ මම නතර වුණා. මේක ඒ මොහොතට හරියටම ගැලපෙන කවිය. මම ඒක ඒ වෙලාවේම පරිවර්තනය කළා. 
මේ හැමදේටම අපි හොඳින් සූදානම් ව සිටිය යුතුයි !  

photo- early spring view from my window

August 12, 2024

කැන්වස් චිත්‍ර!


අපේ පළාතේ පුස්තකාල ජාලයෙන් ළඟදි Tiny Art Show කියලා වැඩසටහනක් සංවිධානය කළා. ඒකෙ ප්‍රචාරණ විස්තර වලදී කියලා තිබුණේ මේ තරඟය වෙනුවෙන් තරඟකරුවන්ට පුස්තකාලයෙන් 10cm x 10cm පුංචි කැන්වස් එකක් ලැබෙන බව. මේකේ චිත්‍ර ඇඳලා පුස්තකාලයට බාර දුන්නාම එයාලා අපිට අංකයක් දීලා චිත්‍ර ටික නම ගම නැතිව තරඟයට ඇතුල් කරලා ජයග්‍රාහකයෝ තෝරනවා කියලාත් තිබුණා. Tiny art show කියලා දෙයක් මම කලින් අහලා තිබුණේ නැති නිසා කුතුහලයටම මාත් මේ තරඟයට ඇතුල් වෙලා කැන්වස් එකක් ගත්තා. 

ඇත්තටම නම් මේ තරම් චිත්‍ර අඳින මම කවදාවත් කැන්වස් එකක චිත්‍ර ඇඳලා තිබුණේ නැහැ  ඒ වගේම කැන්වස් වල අඳින්න පාවිච්චි කරන්න ඕන විශේෂ තීන්ත වර්ග තියෙනවද එහෙමත් මම හොයලා තිබුණේ නැහැ. ඒ නිසා ඕන දෙයක් කියලා හිතලා මගේ ළඟ තියෙන පාටවලින් මේ චිත්‍රය ඇඳලා පුස්තකාලයට භාර දුන්නා. 

ඉතින් එහෙම බොහොම අහඹු විදිහට ඇන්ද චිත්‍රයට මට peoples choice තෑග්ග ලැබිලා කියලා දැනගන්න ලැබුණාම මට ම පුදුමයි!

It is never too late to try something new කියන්නේ ඕවාට තමයි! 



August 02, 2024

අන්තිම පත්‍රය



වොෂින්ටන් චතුරශ්‍රයෙන් බටහිර පෙදෙසේ මංමාවත් බොහෝ පැටලිලි සහගතය. ඒවා ඒ මේ අතට දිව යයි, ‘පෙදෙස්’ යැයි නම් කළ කොටස් වලට කැඩී යයි. මේ ‘පෙදෙස්’ ද නගරයට අමුතුම හැඩතල සහ කෝණ ලබා දී තිබිණි. මින් එක් මාවතක් නම් වට කීපයක් කැරකී දෙතුන් වතාවක් එයම කැපී යන සේ පිහිටා ඇත. වරක් එක් චිත්‍ර ශිල්පියෙක් මේ මාවතේ මෙවැනි සිදුවීමක් විය හැකි යැයි සිතුවේය. මුදල් නොමැති නිසා වෙළඳ සැලකින් චිත්‍ර ඇඳීමේ ආම්පන්න ණයට ගත් සිත්තරෙකු සිටී යයි උපකල්පනය කරන්න. ණයකරු සිත්තරාව සොයාගෙන මේ වීදිය දිගේ පැමිණියේ නම් ඔහුට ණය මුදල නොලබා ආපිට එන තමන්ව වුව මේ මාවතේදී මුණගැසිය හැක!

ඉතින් වැඩි කල් නොගොස් ග්‍රිනිච් විලේජ් යැයි නම් ලබා තිබුණු නගරයේ මේ අපූරු කොටස වෙත සිත්තරුන් පැමිණෙන්නට විය. ඔවුන් සෙව්වේ තමන්ගේ නිර්මාණ කටයුතු වලට ගැලපෙන, මනා සේ ආලෝකය ඇති උතුරු දෙසට හැරුණු ජනේලද, දහ අට වෙනි සියවසේ ආරට තැනුණු කුරිංචි වහලද, ඕලන්ද මෝස්තරයේ සොල්දර සහ මිළෙන් අඩු ගෙවල් කුළී ආදී දෑ ය. ඉනික්බිති ඔවුහු හය වන වීදියෙන් පිව්ටර් ලෝහ කෝප්ප ද, ව්‍යංජන දමන බඳුන් ද ගෙන්වාගෙන ඒ පෙදෙස ජනාවාසයක් බවට පත් කරගත් හ.

සූ සහ ජොන්සි ජීවත් වූයේ මෙහි නූස් තෙමහල් ගොඩනැගිල්ලක ඉහළම මහලේ වූ කුඩා නිවසක ය. ‘’ජොන්සි’ නම ජොආනා නමේ කෙටි ව්‍යවහාරය විය. මේ දෙදෙනාගෙන් එක් අයෙකු මේන් නගරයෙන් ද අනෙකා කැළිෆෝනියාවෙන් ද පැමිණ තිබිණි. අටවෙනි වීදියේ “ඩෙල්මෙනිකෝ’නම් අවන්හලකදී මුලින්ම හමුවූ මොවුහු, කතාබහේදී තමන් එකම වර්ගයේ කලා නිර්මාණ, චිකරි සලාද සහ ලොකු අත් දැමූ ගවුම් වලට කැමති බව සොයාගත් අතර පසු කලෙක දෙදෙනා එක නිවසක් කුළියට ගැනීමේ තීරණයට මේවා හේතු විය.

මේ පහුගිය මැයි මාසයේ දී ය.

ශීත කාලය එළඹෙද්දී ග්‍රීනිච් විලේජ් වෙත අමුතුම අමුත්තෙක් පැමිණියේ ය. දොස්තරවරු නියුමෝනියාව ලෙස හැඳින්වූ ඔහු, අයිස් මෙන් සීතල තම අතැඟිලි වලින් අතර මඟ දී හමුවන අය ස්පර්ශ කරමින් ජනපදය පුරා ඇවිද්දේය. මේ අමුත්තා නගරයෙන් නැගෙනහිර පෙදෙසේ එඩිතරව ඇවිද්දේ මහත් සෙනඟක් ගොදුරු කර අඩපණ කර දමමිනි. එහෙත් වංකගිරියක් සේ සැදුණු පටු මාවත් සහ පාසියෙන් හැඩ වූ ‘පෙදෙස්’ සහිත නගරයේ මේ කොටසේ ඔහු ඇවිද ගියේ හෙමි හෙමිනි.

නියුමෝනියා මහතා යහපත් ගති ඇති කරුණාවන්ත මහතෙක් නොවීය. කැලිෆෝනියාවේ මෘදු සුළඟ වැදී තුනී වූ ලේ සහිත, සිරුරෙන් කුඩා තරුණියක් ඔහු වැනි කලහකාරී, තදින් හුස්ම ගන්නා වියපත් මිනිසෙකුට ගැලපෙන ප්‍රතිමල්ලවයෙක් වූයේ නැත. නමුත් ජොන්සි ඔහුගේ ප්‍රහාරයට හසු වූවාය. ඉනික්බිති ඇය තම යකඩ ඇඳේ නිසොල්මන්ව වැතිර, කවුළුවෙන් එපිට යාබද නිවසේ ගඩොල් බිත්තිය දෙස බලාගත්වනම බලා සිටියා ය.

දිනක් කාර්යබහුල දොස්තරවරයා සූ ව කොරිඩෝව වෙත කැඳවූවේය.

“ඇගේ ජීවිතේ බේරීමේ සම්භාවිතාව දහයෙන් එකක් වගේ තමයි,” ඔහු තම අත වූ උෂ්ණත්වමානය සොලවමින් කීවේය. “ඒකත් ඈට ජීවත්වෙන්න උවමනාවක් තියෙනවා නම් විතරයි. අසනීප වුණාම මිනිස්සු මෙහෙම මල්ශාලා ගැනම හිතන්න ගත්තාම වෛද්‍ය විද්‍යාව විහිළුවක් වෙනවා. ඔයාගේ යාලුවා හිත හදාගෙන ඉන්නේ එයාට හොඳ වෙන්නේ නැහැ කියලා. එයාගේ හිතේ මොකක් හරි කරදරයක් තියෙනවද?”

“එයාට කවදාහරි නේපල්ස් වරායේ චිත්‍රයක් අඳින්න වුවමනා වෙලා තිබුණා.” සූ කීවා ය.

“චිත්‍ර? පුහ්! එහෙම නෙමෙයි, දෙසැරයක් හිතන්න වටින මොනවා හරි දෙයක් එයාගේ හිතේ තිබුණා ද? පිරිමියෙක් ගැන එහෙම?”

“පිරිමියෙක්?” සූ අසද්දී ඇගේ කටහඬේ යුදෙව්වන්ට ආවේනික උච්ඡාරණය පැහැදිලිව රැව් දෙනු ඇසිනි. “පිරිමියෙක් ගැන දෙසැරයක්- නෑ නෑ ඩොක්ටර්, එහෙම දෙයක් තිබුණේ නැහැ.”

“ඒක තමයි දුර්වලකම එහෙනම්,” දොස්තරවරයා කීවේය. “විද්‍යාවට කරන්න පුළුවන් හැම දේම මම කරන්නම්. හැබැයි මගේ ලෙඩෙක් තමන්ගේ අවමංගල පෙරහැරේ අශ්ව කරත්ත ගාන ගණන් කරන්න පටන් ගත්ත ගමන් මම මගේ බෙහෙත් වල ඇති සුව කිරීමේ ගුණයේ අනාවැකිය සීයට පනහකින් අඩු කරනවා. ඔයා කොහොමහරි කරලා එයාව ළඟ එන සීත ඍතුවට ගැලපෙන කබා මෝස්‌තර ගැන කතා කරන්න පෙළඹෙව්වොත් එයාගේ ජීවත් වීමේ සම්භාවිතාව පහෙන් එකක් දක්වා ඉහළ යාවි.”

දොස්තරවරයා යන්නට ගිය පසු සූ ඔවුන් චිත්‍ර අඳින කාමරයට ගොස් ජපන් කඩදාසි නැප්කිනයක් පෙඟෙන තුරු හැඬුවාය. ඉනික්බිති ඈ ජොන්සිගේ කාමරයට තම චිත්‍ර ආම්පන්න ද රැගෙන ගියේ කිසි බරක් පතලක් නැති ගමනින්, තාලයක් උරුවම් බාමිනි.

ජොන්සි කවුලුව වෙත මුහුණ හරවා වැතිර සිටියේ ඇඳේ රැල්ලක් වත් නොනඟා ය. ඈ නින්දේ පසු වේ යැයි සිතමින් සූ උරුවම් බෑම නැවත්වූවාය.

ඈ තම ආම්පන්න සකසාගෙන සඟරාවක් වෙත යැවීමට තීන්තයෙන් සිතුවමක් අඳින්නට විය. තරුණ සිත්තරුන් කලාව වෙත මං පාදා ගැනීම සඳහා තරුණ ලේඛකයන් සාහිත්‍යය වෙත මං පාදා ගැනීමට සඟරා වෙත එවූ කතන්දර වෙනුවෙන් සිතුවම් ඇඳිය යුතු ය. සූ මේ කතාවේ කතානායකයා වූ අයිඩහෝ ගොපල්ලාගේ සිතුවම ඇඳ, අශ්වයන් මත ගමනටම ගැලපෙන සේ ඔහු හැඳ සිටි අගනා කලිසම සිතුවම් කරද්දී ඇයට ඇඳ දෙසින් නොකඩවා නැඟෙන පහත් හඬක් ඇසුණි. ඈ වහා වහා ඒ අසලට ගියා ය.

ජොන්සි දෑස් අයාගෙන කවුළුවෙන් පිටත බලා ආපස්සට ගණන් කරමින් සිටියා ය.

“දොළහයි,” ඈ කීවා ය. ඉනික්බිති ටික වෙලාවකින් “එකොළහයි,” කී ඇය, “දහයයි, නමයි, අටයි, හතයි” යැයි එකවරම මෙන් කීවා ය.

මෙසේ ගණන් කිරීමට ඇත්තේ කුමක්දැයි සූ මහත් උනන්දුවෙන් කවුළුවෙන් එපිට බැලුවා ය. පහත පෙනෙන්නට තිබුණේ හිස්, මූසල ගෙවත්තකි. අඩි විස්සක් එපිටින් වූයේ යාබද නිවසක හිස් ගඩොල් බිත්තියයි. මුල කොටස දිරූ පැරණි අයිවි වැලක් මේ ගඩොල් බිත්තියේ මඟක් දුර පැමිණ තිබිණි. ශාරදයේ සීතල හුස්ම වැදී මේ වැලේ බොහෝ පත් ගිලිහී තිබුණු අත‍ර, නිරුවත් වීමට ආසන්න එහි ඉපල් අතු, කැඩී යමින් තිබුණු ගඩොල් අතරේ එල්ලී තිබෙනු පෙනුණි.

“මොකක්ද අනේ?” සූ ඇසුවා ය.

“හයයි,” ජොන්සි රහසින් මෙන් කීවා ය. “දැන් ඒවා ඉක්මණින් ඉක්මණින් වැටෙනවා. දවස් තුනකට කළින් එතැන සීයක් විතර තිබුණා. ඒවා ගනිද්දී මගේ ඔලුවත් රිදුණා. ඒත් දැන් ලේසියි. අන්න තව එකක් වැටුණා. දැන් ඉතිරි පහක් විතරයි.”

“මොනවා පහක් ද කෙල්ලේ? කියන්නකෝ මට”

“අර අයිවි වැලේ කොළ. අන්තිම කොළේ වැටුණාම මාත් යන්න ඕන. ඒ බව මම දවස් තුනක් තිස්සේ දැනගෙන හිටියා. ඇයි දොස්තර ඔයාට කිව්වේ නැද්ද?”

“මේ මොන විකාරයක්ද?” සූ කීවේ මනා සේ මවා ගත පිළිකුලෙනි. “මේ වැලක පරණ අයිවි කොළ වලයි ඔයාට සනීප වෙන එකෙයි මොකක්ද තියෙන සම්බන්දෙ? ඔයා හරි නරකයි, ඉස්සර මේ වැලට ඔයා හරි ආදරෙයි නේ. නිකම් පිස්සියෙක් වෙන්න එපා. මොනවද දන්නවාද දොස්තර උදේ කිව්වේ? එයා කිව්වා ඔට්ටු අල්ලන බාසාවෙන් කිව්වොත් ඔයාට හොඳ වෙන්න තියෙන ඉඩ දහයට එකක වාසියක් කියලා. ඒක නිකම් අපි ට්‍රෑම් එකක නැගලා නිව් යෝක් යන්න, එහෙම නැත්නම් අලුත් ගොඩනැගිල්ලක් පහු කරගෙන යන්න තියෙන සම්භාවිතාව වගේ. දැන් මේ කැඳ ටිකක් බොන්නකෝ. ඊටපස්සේ මේ සුඩී එයාගේ චිත්‍රෙ ඇඳලා ඉවරකරන්න ඕන. එතකොට එයාට පුළුවන් අර කතෘ මිනිහාට ඒක විකුණලා සල්ලි අරගෙන එයාගේ අසනීප දරුවාට පෝට් වයිනුත් කෑදර තමන්ට ඌරු මස් ගාතයකුත් අරගන්න.”

“ඔයා තව වයින් ගේන්න අවශ්‍ය වෙන එකක් නැහැ,” ජෝන්සි කීවේ තම දෑස කවුළුවෙන් එපිට රඳවාගෙනම ය. “අන්න තව එකක් වැටුණා. එපා, මට කැඳ ත් එපා. දැන් ඉතුරු හතරයි. කළුවර වැටෙන්න කලින් අන්තිම කොළෙත් වැටෙනවා මට බලන්න ඕන. ඊටපස්සේ මාත් යනවා.”

“ආදර ජොන්සි,” සූ ඈ වෙත නැඹුරු වෙමින් කීවා ය. “මට පොරොන්දු වෙනවද මම මේ වැඩේ කරලා ඉවර වෙනකම් ජනේලෙන් එළිය නොබලා, ඇස් දෙක වහගෙන ඉන්නවා කියලා. මම මේ චිත්‍ර ටික හෙට වෙද්දී දෙන්න ඕන. මට ඒකට ආලෝකය ඕන, නැත්නම් මම මේ පැලැල්ල පහත් කරනවා.”

“ඔයාට බැරිද එහා කාමරේ ඉඳන් චිත්‍ර අඳින්න?” ජොන්සි සීතල හඬකින් ඇසුවා ය.

“මම වඩාත් කැමතියි ඔයා එක්ක මෙතන ඉන්න,” සූ කීවාය. “අනික මම කැමති නැහැ ඔයා ඔය විකාර අයිවි කොළ දිහා බලනවාට.”

“එහෙනම් ඔයා ඉවර වුන ගමන් මට කියන්නකෝ,” කී ජොන්සි දෑස් පියාගෙන නිසොල්මන් වූවේ බිමට ඇද වැටුණු පිළිමයක් ලෙසිනි. “මට ඒ අන්තිම කොළයත් වැටෙනවා බලන්න ඕන. මට දැන් බලාගෙන ඉඳලා මහන්සියි. මට කල්පනා කරලාත් මහන්සියි. මට හැමදේම අත ඇරලා අර මහන්සිය නිසා වැටිලා යන අසරණ කොළ වගේ පහතට පාවෙලා යන්න ඕන.”

“දැන් නිදාගන්න උත්සාහ කරන්නකෝ,” සූ කීවාය. “මම දැන් යන්න ඕන බර්හ්මන් ට කතා කරලා මට පතල් කාරයාගේ චිත්‍රෙ අඳින්න එයාට ඒ චරිතේ අනුරුවක් හැටියට ඉන්න පුළුවන් ද අහන්න. මම විනාඩියෙන් එනවා, මම එනකම් හෙල්ලෙන්න එපා.”

බර්හ්මන් ඔවුන්ට පහත මාලයේ විසූ වයස්ගත චිත්‍ර ශිල්පියෙකු විය. වයස හැටත් පසු කරමින් සිටි ඔහුට මයිකල් ආන්ජලෝගේ චිත්‍රයේ මෝසස්ට වැනි කැරළි සහිත යටි රැවුලක් තිබිණි. නරාශ්වයෙකුගේ වැනි හිසක් තිබුණත් ඔහුගේ සිරුර කුඩා බහිරවයෙකුගේ වැනි විය. බර්හ්මන් කලාවේ පරාජිතයෙකි. හතලිස් වසරක් තිස්සේ ඔහු පින්සල් හරඹ කළත් කලාවේ දෙවඟනගේ දිගු ගවුමේ වාටිය ස්පර්ශ කිරීමටවත් ඔහුට හැකි වී නැත. හැම විටම ඔහු විශිෂ්ඨ කළා නිර්මාණයක් බිහි කිරීමට සූදානම් ව සිටියත් කිසි දිනක ඒ කාර්යය ආරම්භ කර නොතිබුණි. වසර ගණනක් පුරාවටම ඔහු ඉඳහිට වෙළඳ දැන්වීමක් වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කළා මිස වෙන කිසිම චිත්‍රයක් ඇඳ තිබුණේද නැත. ජනපදයේ තරුණ සිත්තරුන්ට චිත්‍ර ඇඳීමට වෘත්තීය ලෙස පෙනී සිටින මිනිස් අනුරුවක් වෙනුවෙන් ඉහළ මිළක් ගෙවීමට නොහැකි නිසා ඔහු ඒ කාර්යය කර දී යම් මුදලක් ඉපයුවේය. වුවමනාවට වඩා ජින් පානයට ලැදි වූ ඔහු නිතරම කතා කළේ බිහිවන්නට නියමිත තම විශිෂ්ඨ කලා නිර්මාණය ගැනයි. අන් අය ඔහුව දුටුවේ දෙවෙනි මහලේ විසූ තරුණ සිත්තරියන් දෙදෙනා ව ආරක්ෂා කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් ව සිටින, අනුන්ගේ දුර්වලකම් ගැන අවඥාවෙන් සලකන සැර පරුෂ කුඩා වයසක මිනිසෙකු ලෙසයි.

සූ යද්දී ඔහු පහත මාලයේ තම කුටියේ අඩ අඳුරේ සිටි අතර ඔහු වෙතින් ජුනිපර් බෙරී සුවඳක් තදින් වහනය විය. ඔහුගේ කුටියේ එක් කෙළවරක හිස් කැන්වසයක් තිබුණේ ඔහු විසිපස් වසරක් තිස්සේ බලා සිටින විශිෂ්ඨ නිර්මාණයේ නිමිත්ත එළඹෙන තුරුයි. ජොන්සිගේ හිතළුව ගැන ඔහුට විස්තර කළ සූ, ඇයත් නොබෝ දිනකින් ලෝකය අතහැර පත්‍රයක් ලෙසටම දුර්වල ව, සැහැල්ලු ව පාව යනු ඇතැයි තමන්ට ඇති බිය ගැන පැවසුවාය.

මෙවැනි විකාර රූපී මනස්ගාත ගැන තමන්ගේ ඇති පිළිකුලත් අවඥාවත් ගැන බර්හ්මන් කෑ ගසා කීවේ බමන මතින් රත් පැහැ වූ තම දෑසින් කඳුළු වැගිරෙද්දී ය. “මොන විකාරයක්ද?” ඔහු කෑ ගැසුවේය. “වැලකින් කොළ වැටුණා කියලා මිනිස්සු මැරෙනවා කියලා හිතන්න තරම් මෝඩයෝ ඉන්නවාද? මම එන්නේ නැහැ තමුන්ගේ චිත්‍ර ඇඳිල්ලට පෙනී ඉන්නත්, තමුන්ට බැරි වුණා මේ විකාරවලින් යාලුවාව බේරාගන්න. පවු අසරණ ජොන්සි මිස්!”

“ඈට බොහොම අසනීපයි, ඒ වගේම ඈ දුර්වලයි.” සූ කීවාය. “උණ විකාරය නිසා එයාට මේ වගේ අමුතු දේවල් හිතෙනවා. කමක් නැහැ බර්හ්මන් මහත්තයා, මගේ චිත්‍රයට පෙනී ඉන්න ආවේ නැතිවාට කාරි නැහැ, මම නම් හිතන්නේ තමුන් මහා නරක නාකි මිනිහෙක් කියලා.”

“කවුද දැන් එන්න බැහැ කිව්වේ?” බර්හ්මන් කෑගසන්නට විය. “හරි හරි මම එන්නම්, මේක අසනීප ජොන්සි මිස් ට ඉන්න සුදුසු තැනක් නෙමෙයි. මම කවදාහරි මගේ හොඳම චිත්‍රය ඇන්ද දවසට අපි ඔක්කොම මෙහෙන් යමු, දෙවියනේ ඇත්තටම යමු!”

ඔවුහු ඉහල මාලයට යද්දී ජොන්සි නින්දට වැටී සිටියා ය. සූ කවුළුවේ පැලැල්ල පහත් කර බර්හ්මන්ට අනෙත් කාමරය වෙත එන්නට සන් කළා ය. මෙහි සිට ඔවුහු බියපත් දෑසින් කවුළුවෙන් එපිට අයිවි වැල දෙස බලා නිහඬව එකිනෙකා දෙස බැලූහ. හිම ද මුසු වූ නොනවතින වැස්සක් ඇද වැටෙමින් තිබිණි. බර්හ්මන් සූ ගේ චිත්‍රය වෙනුවෙන් පතල්කරුවෙකුගේ අනුරුවක් වන්නට යටිකුරු කරන ලද කේතලයක් මත වාඩි විය.

පසුදා උදයේ පැයක නින්දෙන් පසු අවදි වූ සූ දුටුවේ කවුළුවේ පැලැල්ල වෙත අයාගත් උදාසීන දෑසින් බලා සිටින ජොන්සි ගේ රුවයි.

“මේක අයින් කරන්න, මට බලන්න ඕන” ඈ රහසින් අණ කළා ය.

සූ වෙහෙසුණු මනසින් යුතුව ඒ අණ පිළිපැද්දා ය. පසුගිය රාත්‍රිය පුරාවටම ඇද හැලුණු මහා වැස්සත් හැමූ වියරු සුළඟත් ඉවසාගෙන එකම එක අයිවී පතක් බිත්තිය අද්දර පෙනුණි. එය වැල මත වූ අවසාන පත්‍රය විය. එහි නටුව අසල තවමත් කොළ පැහැති ව පෙනුණු අතර දාර යන්තමින් කහ පැහැති වී තිබිණි. පොළොවෙන් අඩි විස්සක් පමණ උසකින් වූ එය, එඩිතරව වැල මත එල්ලී සිටියේය.

“මේ අන්තිම කොළය,” ජොන්සි කීවාය. “ඊයේ රෑ හුළඟ හමනවා මට ඇහුණා. මම නම් හිතුවේ මේක ඊයේ වැටෙයි කියලා. අද වැටෙයි, ඒ වෙලාවටම මාත් මැරෙයි.”

“අනේ අනේ!” සූ ජොන්සි වෙත නැඹුරුවෙමින් කීවාය. “ඔයාට තමන් ගැන හිතන්න බැරි නම් මං ගැන හිතන්න. එතකොට මම මොකද කරන්නේ?”

එහෙත් ජොන්සි පිළිතුරු දුන්නේ නැත. කෙනෙක් මේ මායාකාරී දුර ගමනට සූදානම් වීම මහත් සේ තනිකම දනවන ක්‍රියාවකි. මේ ගමනේ අරුමෝසම කෙතරම් ඇගේ සිත් ගෙන තිබිණිද යත් ඇගේ ජීවිතයේ වූ සෙසු මිතුදමේ බැමි බුරුල් වූවා සේ විය.

ඒ දවස ගෙවී ගියේ ය. අන්තිම අයිවී පත්‍රය බිත්තිය අද්දර එල්ලී ඇති අයුරු සැන්දෑ අඳුර අතරින් පවා ඔවුන්ට පෙනුණි. ඒ රාත්‍රියේ නැවතත් උතුරු සුළඟ වියරුවෙන් හැමූ අතර වර්ෂාව කවුළුවට පහර දෙනු ඇසිණි. පසු දින උදා වූ විගස කවුළුවේ පැලැල්ල විවර කරන ලෙස ජොන්සි සිත් පිත් නැති ලෙස අණ කළා ය.

එහෙත් අයිවි පත එලෙසම තිබිණි.

ජොන්සි බොහෝ වෙලාවක් ඇඳේ වැතිර ඒ දෙස බලා සිටියා ය. ඉනික්බිති ඈ උදුන අසල කුකුල් මස් සුප් හැඳි ගාමින් සිටි සූ ට කතා කළා ය.

“මම හරි නරක කෙල්ලෙක් සූඩී,” ජොන්සි කීවා ය. “මම කොයි තරම් නපුරු ද කියලා ඔප්පු කරන්න මොකක් හරි බලවේගයක් නිසා අර අන්තිම කොලය ඉතිරිවෙලා. මැරෙන්න හිතෙන එක පවක්. මට දැන් සුප් ටිකක් ගේන්න. ඊටපස්සේ කිරි වලට පෝට් වයින් ටිකක් දාලා ගේන්න- නැහැ මුලින්ම මට අර පොඩි කණ්නාඩිය ගේන්නකෝ. ඊටපස්සේ මගේ කොට්ට ටික ටිකක් උස්සන්න, මම ඇඳේ වාඩිවෙලා ඔයා උයන හැටි බලාගෙන ඉන්නම්.”

ඉන් හෝරාවකට පසු ඈ මෙසේ කීවාය

“සූඩී මගේ බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි නේපල්ස් වරායේ චිත්‍රයක් අඳින්න.”

ඒ හවස්වරුවේ දොස්තර පැමිණියේය. “දැන් ඈ ජීවත්වීමේ සම්භාවිතාව පනහට පනහයි. හොඳට හෙදකම කළොත් ඔයා දිනන ලකුණු තියෙන්නේ.” ඔහු කොරිඩෝවේදී සූ ගේ දුර්වල වෙව්ලන අත අල්ලා කීවේය. “දැන් මම යන්න ඕන පහල තට්ටුවේ තව ලෙඩෙක් බලන්න. බර්හ්මන් කිව්වා එයාගේ නම, සිත්තරෙක් ලු. එයාටත් නියුමෝනියාව. වයසයි දුර්වලයි නිසා එයාගේ නම් තත්ත්වේ බරපතලයි, බේරගන්න බැරි හැඩයි, ඒත් වැඩි සුවපහසුව වෙනුවෙන් අද ඉස්පිරිතාලෙට ගෙනියනවා.”

ඊට පසු දිනයේදී දොස්තර සූ ට මෙසේ කීවේය. “ඔයාගේ යාලුවා ගැන බය වෙන්න දෙයක් නැහැ, ඔයා දිනුවා. හොඳට කෑම බීම දීලා බලාගන්න, එච්චරයි.”

ඒ හවස්වරුවේ සූ, ජොන්සි ඇඳේ වාඩිවී සාළුවක් ගොතමින් සිටි තැනට පැමිණ ඈ වැළඳ ගත්තාය.

“පුංචි සුදු මීයෝ, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. අද බර්හ්මන් මහත්තයා නිවුමෝනියාව හැදිලා ඉස්පිරිතාලේදී නැතිවුණා. එයා අසනීපෙන් හිටියේ දවස් දෙකයි. ගොඩනැගිල්ල පිරිසිදු කරන මනුස්සයා තමයි එයා කාමරේ වේදනාවෙන් ඉන්දැද්දී හොයාගෙන තියෙන්නේ. එයාගේ ඇඳුම් සපත්තු එහෙම තෙතබත් වෙලා ලු තිබුණේ. කාටවත් හිතාගන්න බැරි වෙලා එයා ඒවගේ සීතල වැස්ස දවසක කොහේ ගියාද කියලා. ඊටපස්සේ එයාලා දැකලා එළියේ ඒ වෙද්දීත් පත්තු වෙන ලන්තෑරුමකුත්, ඉනිමගකුත්, කොළ කහ පාට මිශ්‍ර කළ චිත්‍ර අඳින පලත්තකුත් තියෙනවා. අර බලන්න අර බිත්තියේ අන්තිම අයිවි කොලය දිහා. ඒක එක වතාවක් වත් හුළඟට හෙලවුණේ නැත්තේ ඇයි කියලා ඔයාට හිතුණා ද? ඒක තමයි බර්හ්මන්ගේ විශිෂ්ඨ කලා නිර්මාණය. ඒ වැලේ අන්තිම කොලය වැටුණු දවසේ එයා බිත්තියේ ඔය චිත්‍රය ඇඳලා.”


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Translation of the short story ‘The Last Leaf’ by O. Henry

සිසිල සඟරාව- අගෝස්තු 2024 කලාපය 
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

digital art 

පසු සටහන - මේ කතාව හොයාගන්න ඔත්තුව දුන්න ප්‍රවීණ බ්ලොග් රචක රවී වීරසිංහ තුමා ට ස්තූතියි.

August 01, 2024

සබඳකම



පුරුද්දක් තිබුණා ඔහුට 
ආ විගස, ඇඳුම් උනමින් 
ඔරලෝසුව බලන්නට 

ඔරලෝසුව නොබලාම 
ඈ දැන සිටියා
ඔහු පැයකින් දෙකකින් යන බවත්   

ඔහුගේ ඒ පුරුද්ද 
සුපුරුදු ලෙස 
ඔහු කෑමට ගෙදර යන බව 
ඇයට දැන්වීමට බවත් 

සුරක්ෂිත ව මෙසේ 
ඔවුන්ට වසර ගණනාවක් ගෙවිය හැකිව තිබිණි 
බලා සිටීම, දුරකථන ඇමතුම, පැමිණීම 
නොසෑහෙන නමුත් එහි යමක් විය 

ඒ නොසෑහීමේ තරම 
වැටහුණා ඇයට 
ඇගේ උපන්දිනය සිහිවී 
ඔහු මල් කළඹක් එවූ දා 
ඈට හැඬුම් ආ විට 

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 
Translation of the poem ‘The Affair’ by Katharine Gallagher

1935 දී ඕස්ට්‍රේලියාවේ උපන් Katherine Gallagher, දශක හතරකටත් වඩා කාලයක් තිස්සේ ලන්ඩන්හි රැකියාව කරමින් වෙසෙන්නීය. වැඩිහිටියන්ට මෙන්ම ළමුන්ටද කවි ලියන ඇය පොත් රැසක් ලියා ඇත. ඇගේ කවි ප්‍රංශ, ජර්මන්, ඉතාලි සහ රුමේනියානු භාෂාවලට පරිවර්තනය කර තිබීම විශේෂත්වයකි. 

ලන්ඩන් කවි - අගෝස්තු 2024 
Digital art