Translation of the Short Story 'They are Made Out of Meat' by Terry Bisson
"උන් මස් කුට්ටි විතරයි."
"මස්?"
"ඔව් මස්. මස් වලින් හැදිලා තියෙන්නේ."
"මස්?"
"ඒ ගැන කිසිම සැකයක් නැහැ. අපි ඒ ග්‍රහලෝකේ එක එක තැන්වලින් කීපදෙනෙක් අරගෙන අපේ ගවේෂක යානා වලට අරගෙන ගිහින් සම්පූර්ණයෙන්ම සිදුරු කරලා පරීක්ෂා කරලා බැලුවා. මුළුමනින්ම මස්."
"එහෙම වෙන්න විදිහක් නැහැනේ. එතකොට රේඩියෝ සංඥා? තරු එක්ක හුවමාරු කෙරුණු පණිවිඩ?"
"උන් කතාකරන්න රේඩියෝ තරංග පාවිච්චි කරනවා, පණිවිඩ නිකුත් කරන්නේ උන්ගේ ශරීර වලින් නෙමෙයි, යන්ත්‍ර වලින්."
"ඉතින් යන්ත්‍ර හැදුවේ කවුද? යන්ත්‍ර හැදුව කෙනාව තමයි අපි සම්බන්ධ කරගන්න වුවමනා වෙන්නේ."
"යන්ත්‍ර හැදුවේ උන්ම තමයි. ඒක තමයි මම මෙතරම් වෙලා කියන්න උත්සාහ කළේ. යන්ත්‍ර හදලා තියෙන්නේ මස් කුට්ටි ටික."
"ඒ මොන විකාරයක්ද? මස් කුට්ටියක් යන්ත්‍රයක් හදන්නේ කොහොමද? තමුසේ මගෙන් ඉල්ලන්නේ හැඟීම් දැනීම් තියෙන බුද්ධිමත් මස් වර්ගයක් තියෙනවා කියලා විශ්වාස කරන්න කියලද?"
"මම මේ පිළිගන්න කියලා ඉල්ලනවා නෙමෙයි, පිළිගන්න කියලා කියනවා. ඒ ඛණ්ඩකයේ හැඟීම් තියෙන එකම ජීවීන් වර්ගය මස් වලින් හැදිලා තියෙන්නේ."
"එහෙනම් උන් අර ඔර්ෆොලෙයි වගේ වෙන්න ඇති. මස් ජීව අවස්තාවක් පහුකරන කාබන් මූලික ප්‍රාණියෙක්."
"නැහැ. උන් මස් හැටියට ඉපදිලා මස් හැටියට මැරිලා යනවා. අපි උන්ගේ ජීවන චක්‍ර කීපයක්ම නිරීක්ෂණය කළා. ඒකට වැඩි කාලයක් ගතවුණේ නැහැ. ඔබ දන්නවද මේ මස් කුට්ටි වල ආයු කාලය කීයක්ද කියලා?"
"මට දැනගන්න වුවමනාවක් නැහැ. හරි, සමහරවිට උන්ගේ ශරීරයේ මස් තියෙන්නේ එක කොටසක විතරක් වෙන්න ඇති. අර වෙඩ්ඩීලයි වර්ගය වගේ. මස් සහිත ඔලුවක් ඇතුලේ එලෙක්ට්‍රෝන ප්ලාස්මා මොළයක්."
"නැහැ. උන්ට වෙඩ්ඩීලයි වර්ගය වගේ මසින් හැදුණු ඔලුවක් තියෙන නිසා අපිත් ඒක හිතුවා. ඒත් මම කළින් කිව්වේ, අපි උන්ව හාරලා තෙරපලා බැලුවා. උන් සම්පූර්ණයෙන්ම මස්."
"මොළයක් නැහැ?"
"අපොයි, මොළයක් තියෙනවා. ඒත් මොළය හැදිලා තියෙන්නේ මස් වලින්! ඒක තමයි මම මෙතරම් වෙලා කියන්න උත්සාහ කළේ."
"එහෙනම්... කල්පනා කරන ක්‍රියාවලිය කෙරෙන්නේ මොකෙන්ද?"
" මම කියන දේ තේරුම් ගන්නේම නැහැ නේද? මේක පිළිගන්න ඔබ පැකිලෙනවා කියලායි මට හිතෙන්නේ. උන් කල්පනා කරන්නේ මොළයෙන්. මස් කුට්ටියෙන්."
"කල්පනා කරන මස්! තමුසේ මට කියන්නේ කල්පනා කරන්න පුළුවන් මස් තියෙනවා කියලා පිළිගන්න කියලද?"
"ඔව්! කල්පනා කරන මස්, හැඟීම් දැනෙන මස්! ආදරේ කරන මස්. හීන දකින මස්. මස් තමයි මෙතැන වැදගත්ම දේ! දැන් ඔබට පොඩි හරි චිත්‍රයක් මැවෙනවාද එහෙම නැත්නම් මම ආයෙත් මුල ඉඳන් විස්තර කරන්න පටන්ගන්න ඕනද?"
"දෙවියනේ! එහෙනම් තමුසේ මේ ඇත්තටමයි කියන්නේ! උන් මස් කුට්ටි."
"ඇති යන්තම්! බොහොම ස්තූතියි. ඔව්. උන් මස් කුට්ටි. උන්ගේ අවුරුදුවලින් අවුරුදු සීයක් විතර තිස්සේ උන් අපි එක්ක සන්නිවේදනය කරන්න උත්සාහ කරලා තියෙනවා."
"හැබෑට? මොනවාලුද මස් කුට්ටි වලට දැනගන්න ඕන?"
"මුලින්ම අපි එක්ක කතාකරන්න. මට හිතෙන විදිහට ඉන්පස්සේ විශ්වය ගවේෂණය කරන්න, අනෙත් බුද්ධිමත් ජීවීන් එක්ක සම්බන්ධ වෙන්න, අදහස්-තොරතුරු හුවමාරු කරන්න වගේ සාමාන්‍යය දේවල්."
"ඒ කියන්නේ අපි මස් එක්ක කතාකරන්න ඕන?"
"ඒක තමයි අදහස. ඒගොල්ලෝ රේඩියෝ තරංග හරහා එවන පණිවිඩයේ කියන්නේ 'හෙලෝ. ඔහේ කවුරුවත් ඉන්නවද? ගෙදර කවුද?' වගේ දේවල්"
"ඒ කියන්නේ උන් ඇත්තටම වචන, අදහස් , මත පාවිච්චි කරලා කතා කරනවා."
"ඔව් ඔව් හැබැයි උන් සන්නිවේදනය කරන්නේ අනෙත් මස් කුට්ටි එක්ක විතරයි."
"එහෙනම් තමුසේ දැන් කීවේ රේඩියෝ සංඥා පාවිච්චි කරනවා කියලා?"
"ඔව්, ඒත් රේඩියෝ සංඥා වලින් ඇහෙන්නේ මොනවා කියලාද ඔබ හිතන්නේ? මස් ශබ්ද. මස් කුට්ටියක් හෙල්ලෙද්දී පෙරලෙද්දී නිකුත්වෙන ශබ්ද. උන් කතාකරන්නේ මස් කුට්ටියේ කොටස් සොලවමින්. ඒ මස් හරහා වේගයෙන් වාතය විදලා උන්ට සින්දු කියන්නත් පුළුවන්."
"දෙවියනේ! සින්දු කියන මස්! මේක නම් විශ්වාස කරන්න බැහැ. දැන් තමුසේ මේ ගැන දෙන උපදෙස මොකක්ද?"
"නිල වශයෙන්ද නැත්නම් නොනිල වශයෙන්ද?"
"දෙකෙන්ම."
"නිල වශයෙන් අපි විශ්වයේ මේ චතුර්ථ භාගයේ ඉන්න සියලුම බුද්ධිමත් ජීව වර්ග එක්ක සන්නිවේදනය කරලා, ඒ අයව පිලි අරගෙන කිසිම පූර්ව විනිශ්චයක්, බියක් හෝ පක්ෂපාතී බවකින් තොරව ඒ හැම තොරතුරක්ම සටහන් කරන්න ඕන. ඒත් නොනිල වශයෙන් මට නම් දෙන්න තියෙන උපදෙස තමයි මේ වාර්තා හැම එකක්ම මකලා දාලා මේ ගැන අමතක කරන එක."
"තමුසේ ඔහොම කියයි කියලා මම බලාගෙන හිටියේ."
"මෙහෙම කියන එක ටිකක් දරුණුයි තමයි. ඒත් හැම දේකම සීමාවක් තියෙනවා. අපිට ඇත්තටම මස් කුට්ටි එක්ක සන්නිවේදනය කරන්න අවශ්‍යයි ද?"
"මම සීයට සීයක් එකඟයි. මොනවා කියන්නද? 'හෙලෝ මස් කුට්ටිය, ඉතින් කොහොමද?' කියන්නයැ. ඒත් මේ වැඩේ හරියයිද? මෙතැන ග්‍රහලෝක කීයක් තියෙනවද?"
"එකක් විතරයි තියෙන්නේ. ඒත් උන්ට විශේෂයෙන් සකස් කළ භාජනවල වෙන ග්‍රහලෝක වලට යන්න පුළුවන්, හැබැයි ඒ ග්‍රහලෝකවල ජීවත් වෙන්න බැහැ. අනික උන් මස් නිසා ගමන් කරන්න පුළුවන් C අවකාශයේ විතරයි. ඒ කියන්නේ උන් ආලෝකයේ වේගයට සීමාවෙලා තියෙන්නේ. මේ නිසා උන් අපි එක්ක සන්නිවේදනය කරන්න තියෙන අවස්තාව හරිම අඩුයි, ඇත්තටම කියනවා නම් අවස්තාවක් නැතිම තරම්."
"එහෙනම් අපි විශ්වයේ වෙන කවුරුවත් නැති විදිහට ඉන්නවා."
"හරියට හරි."
"ටිකක් කෘරයි. ඒත් තමුසේ කිව්වා වගේ කාටද ඕන මස් කුට්ටි ටිකක් මුණගැහෙන්න? දැන් එතකොට අපේ යානාවල ඉන්න එවුන්ට මොකද කරන්නේ? තමුසෙලා පරීක්ෂණවලට සිදුරු කළ කට්ටිය? උන්ට මේ දේවල් අමතක වෙයි කියලා තමුසෙට විශ්වාස ද?"
"උන්ට මතක තිබ්බත් වැඩිම වුණොත් පිස්සෝ හැටියට ගණන් ගැනෙයි. අපි උන්ගේ ඔලු ඇතුලට ගිහින් මොළේ මස් ටික සුමට කරලා ආවා. දැන් අපි උන්ට හීනයක් විතරයි."
"මස්වලට හීනයක්! අපි මස් ටිකකට හීනයක් වෙනවා කියන එකේ මහා අමුතු නොගැලපීමක් තියෙනවා."
"එහෙනම් අපි ඒ මුළු ඛන්ඩයම ජන ශූන්‍ය හැටියට ලකුණු කරනවා."
"හොඳයි. නිල වශයෙනුත් නොනිල වශයෙනුත් එකඟයි. ඒ වැඩේත් ඉවරයි. වෙන කවුරුවත් ඉන්නවද? චක්‍රාවාටයේ ඒ පැත්තේ වෙන වැදගත් කෙනෙක් එහෙම නැතිද?"
"ඔව් ඉන්නවා, ටිකක් ලැජ්ජාශීලී හැබැයි බොහොම සුන්දර හයිඩ්‍රජන් ජීවී සමූහයක් G445 කලාපයේ නමවෙනි වර්ගයේ තරුවක ඉන්නවා . මීට තාරකා මණ්ඩල භ්‍රමණ දෙකකට කළින් අපි එක්ක සන්නිවේදනය කළ කට්ටියක්. ආයෙත් යාලු වෙන්න ඕනෑලු."
"ඒ අය කොහොමත් ඔය විදිහට ආයෙත් එනවා."
"නැත්නම්? මේ විශ්වයේ තනියම ඉන්න සිද්ධවුණ ඕන කෙනෙකුට දරාගන්න බැරි තරම්, කියාගන්න බැරි තරම් සීතලක් දැනෙනවා අනිවාර්යයෙන්ම..."
From the Short Story Collection 'Bears Discover Fire' (1990) by Terry Bisson