March 12, 2019

කැලෑ මල්

Coppertips flowers- pic Gardenia.net

පාගා දැමූ පසුත් නැවත ලියලන්නට තරම් ශක්තිවන්ත 
ගිම්හානයේ දරුණුම කුණාටු දරා සිටින්නට තරම් දැඩි
වඩාත් ම කඩතොළු වූ තැන්වල වුවත් වැඩෙන්නටත්  පූදින්නටත් හැකි  

කැලෑ මලකට මෙන් හදවතක්
ඔබට ලැබේවා යි පතමි

I hope you are blessed 
with a heart like a wildflower. 

Strong enough to rise again 

after being trampled upon,
tough enough to weather 

the worst of the summer storms,
and able to grow and flourish 

even in the most broken places.

Nikita Gill | Wildflowers

මේ Nikita Gill ගේ කවියක්. බර ඇති දේ කෙටියන්, කම්පනයක් දනවන අයුරින් කියන්නට ඈ දක්ෂයි.

ටික කලකට කලින් දුර පළාතකට චාරිකාවක් ගිය වෙලාවක කැලයක තිබුණු ලස්සන මලක් සහිත පැලෑටියක් ගෙදර ගෙනැවිත් මා මල් පෝච්චියක සිටවූවා. බොහෝ කල් යනතුරු මියගියා සේ  තිබුණු ඒ පැලය ඊළඟ වසන්ත සෘතුවේදී යළි පණ ගසා  දළු ලියලා ආවා. නොබෝ දිනකින් ඒ මල් පෝච්චිය ඉඩකඩ මදි වන තරමට එය වැඩී තිබුණා. ඒ නිසා එය මල් පොච්චියෙන් ගෙවත්තේ පාත්තියකට ස්ථාන මාරුවක් ලැබුවා. තවත් වසරක් ගෙවෙද්දී මේ පැලය ඒ පාත්තියත් යාබද පාත්තියත් ආක්‍රමණය කර තිබුණා. වසන්ත සෘතුවේ අග භාගයේදී තාරුකා වැනි කුඩා තැඹිලි පාට මල් ගොන්නක් උපද්දවන මේ පැළයට මගේ ආදරයක් තිබුණත් එහි ආක්‍රමනකාරී ගතියට නම් මගේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. එය  Coppertips නැතහොත් Falling Stars (Crocosmia pottsii) ලෙස හඳුන්වන බව අන්තර්ජාලයෙන්  මා සොයාගත්තා. ඔය කාලයේදී මා කියවූ සඟරාවක  ඕස්ට්‍රේලියානු රජයෙන් ආක්‍රමණකාරී වල් පැළෑටි ලෙසින් නම් කළ පැලැටි ලැයිස්තුවක පින්තුර සහිත විස්තරයක් අහම්බෙන් මගේ ඇස ගැටුණා. ඒ ලයිස්තුවේ මුල ම 'ඉතා ආක්‍රමණකාරී" ලේබලය යටතේ මේ පැලයත් තිබුණා. එතෙක් කල් මා සාත්තු කරමින් රැක බලාගෙන තිබුණේ පරිසරයේ ස්වභාවික පද්ධතිවලට සිදුවන හානිය නිසා පැතිරීම වැළක්වීමට රජයෙන් විවිධ පියවර ගෙන තිබුණු පැලෑටියක්! ඉතින් Coppertips ගාල මුළු මිදුලම ආක්‍රමණය කරන්නට කලින් මා  ඒ සියල්ලම ගලවා විනාශ කළේ වසරකට වරක් පිපෙන සුන්දර මල් ගොන්නත්  අමතක කර දමමින්. මේ සිදුවීමෙන් කලක් ගත වූවත්, අදටත් මිදුලේ තැන තැන Coppertips පැල මතුවන්නේ ඉහත කවියේ කියන අයුරින් වල් පැලෑටියකට ඇති නොබිඳෙන නොසැලෙන ගුණය නිසා විය යුතුයි. Coppertip වර්ගයේ ආක්‍රමණ කරුවන් නොවූවත් තැවුල් බාධක හමුවේ මෙවැනි නොසැලෙන හදවත් ඇති මා දන්නා අයත් බොහෝ සිටින බව මේ කවිය දුටු විට මට සිහි වූවා.
  
මේ කවිය පුතුට කී විට ඔහු මොහොතක් කල්පනා කර
"So there are wildflowers.. but are there tame flowers?"යැයි ඇසුවා

මා තවමත් ඊට ගැලපෙන පිළිතුරක් සිතමින්!
 

3 comments:

  1. මම ඊයෙත් ගෙදර ආ වේලේ මේ ආක්‍රමණිකයින් ගැන ටිකක් විපරම් කර බැලුවා.
    හොඳින් වැඩී තිබුණු පැල ගලවා ඉවත් කළ ස්ථානයේ අඟල් කිහිපයක් පොලොව යට, ඒ ශාකවල භූගත කඳන් (Rhizomes හෝ Corms) රාශියක් තිබුණා. ඒවා පොලොව යටට වී ඊළඟ වසන්ත සෘතුව එනතුරු සැදී පැහැදී බලා සිටිනවා නැවතත් ආක්‍රමණය පටන් ගන්නට. ඊටත් වඩා එක මල් කිනිත්තක මල් පරවී ගිය පසු, සෑදී පරිණත වූ බීජ සහිත ඵල සියයක් පමණ තිබෙනවා. එක ඵලයක් තුළ බීජ සියයක් පමණත් තිබෙනවා. මේ සියල්ලම හෙට අනිද්දාට වැටෙන්නෙත් පොලවට. ඒවායින් හැදෙන පැල වලිනුත් නැවත ආක්‍රමණය පටන් ගන්නට පුළුවනි. කොහොම වෙතත් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නම් කාලයක් ගතවේවි. මෙය Survival of the fittest !

    ReplyDelete
  2. Answer for your son's question. All the plants we grow are actually tamed/domesticated from wild types.

    ReplyDelete
  3. නියමයි දිගටම මේ ගැන ලියන්න. මම Bookmark කරගත්තා :)
    Keep it Up!

    ReplyDelete