April 24, 2017

ගාෆීල්ඩ් සහ මම


මා චිත්‍රයට නැඟූ ගාෆීල්ඩ්- අප්‍රේල්, 2017

ඔබ ගාෆීල්ඩ් හඳුනන්නේ නැති වීමට ඉඩ ඇත. එහෙත් හඳුනන්නේ නම් කම්මැලිකමත්, බඩජාරිකමත් අතින් මුල් තැන ගත් කාටූන් චරිතයට හිමි නම්බු නාමය හිමිවන්නේ ඒ තැඹිලි පාට, මහත, නිදිමත බළල් තඩියාට බව ඔබ දන්නවා සිකුරු ය. දවසෙන් වැඩි හරියක් නිදාගන්නත්, අත පහත ඇති ඕනෑම කෑමක් ආහාරයට ගන්නත්ඊට අමතරව තම හිමිකරු ජොන් ට සහ නිවැසි බල්ලා වන ඔඩි ට දස වද දෙන්නටත් ඌ කිසි සේත් අමතක කරන්නේ නැත. බොහෝ ඈත අතීතයකදී මගේ ගජ මිතුරෙකු වූ ගාෆීල්ඩ් නැවතත් මෑත දිනකදී මට මුණගැසුණේ අහම්බෙනි. පාසැල් නිවාඩුවට කියවන්නට පොත් ගන්නට පුස්තකාලයට ගිය මගේ දස හැවිරිදි පුත්‍රයා ගාෆීල්ඩ් චිත්‍ර කතා පොත් මිටියක්ම ගෙනැවිත් තිබිණි. ඒවා දැක පැරණි මිතුරෙකු දැකීමේ ප්‍රීතියෙන් පිනා ගිය ද,
මේවාද කියවන පොත්? මේවායේ තියෙන්නේ රූප විතරනේ.. අලුතෙන් වචනයක් වත් ඉගෙනගන්න පුළුවන් ද මේවා කියවලා?” යැයි පුතාට සාම්ප්‍රදායික අම්මා වර්ගයේ' ගෝරනාඩුවක් එල්ල කිරීමට මම අමතක නොකළෙමි. එනමුත්“But they are so funny! I am going to try to draw Garfield too” යැයි ඔහුගෙන් ලද පිළිතුර මා නිරුත්තර කිරීමට සමත් විය.

මට ගාෆීල්ඩ් මුලින් මුණගැසුණේ මා පාසැලේ අටේ පන්තියේ උගනිද්දී යි. එවකට තාත්තා පිටරටක රැකියාව කළ නිසා අක්කලාටත් මටත් නොයෙක් අරුමෝසම් පාසැල් උපකරණ තිබිණි. වරක් තාත්තා මට මගේ නමේ මුල් අකුර ඇති යතුරු රඳවනයක් ගෙනාවේය. අඟල් තුනක් පමණ විශාල ඒ H අකුර අසල ගාෆීල්ඩ් පූසෙක් සිනාසෙමින් සිටියේය. ඉන් පෙර ඌ නොදැක තිබුණු බැවින් ඒ ගාෆීල්ඩ් බව මා දැනගත්තේ එහි පසෙක කුඩා අකුරෙන් ™ Garfield යැයි සඳහන් කර තිබුණු නිසායි. පාසැලේවත් කිසිකෙනෙකුට නොතිබුණු වර්ගයේ මේ සුවිශේෂ යතුරු රඳවනය මම එකල පණ මෙන් ආරක්ෂා කළෙමි. පාසැල් බෑගයේ සිප් එකට අමුණා තිබුණු එය  සුරක්‍ෂිතව ඇතිදැයි මම දවසට කිහිප වතාවක් පරීක්ෂා කළෙමි. ගෙදරදී කම්මැලි හවස්වරු වල ඒ ගාෆීල්ඩ්ව චිත්‍රයට නඟන්නට මම උත්සාහ කළෙමි. පෙනුමෙන් සරල වූවත් ඒ රුවේ කිසියම් කලාවක් ඇති බව මා උගත්තේ මෙලෙස පැය ගණන් ඌ ව හැදෑරීමෙනි. එනමුත් වැඩිකල් ගත නොවී, විය හැකිව තිබුණු පරිදිම, දිනක් පන්තියෙන් පිටත යම් ක්‍රියාකාරකමකට ගොස් මා පැමිණෙද්දී, ඒ යතුරු රඳවනය මගේ බෑගයෙන් අතුරුදන් වී තිබුණි. පාසැල් වයසේදී මෙවැනි අහිමිවීම් අහස පොළොව නුහුලන අපරාධ ය. මට දැනුණේ සුළු පටු දුකක් නොවේ. වර්තමානයේදී මා පුතුට පාසැලේදී මෙවැනි සිදුවීමක් වී නම්, ‘මොකටද ඔයා ඒක ඉස්කෝලේ අරන් ගියේ? ගෙදර තියාගත්තා නම් නැතිවෙන්නේ නැහැනේ යැයි මා පවසනු ඇත. එහෙත් සෙසු සගයන්ට නැති අරුමෝසමක් තමාට හිමි නම් එය පෙන්වා ආඩම්බර වීම සෑම ළමයෙක් තුළම ඇති නොතිත් ආශාවකි. කෙසේ හෝ එලෙස ගාෆීල්ඩ් අහිමි වීමෙන් මගේ ප්‍රියතම විසිතුරු යතුරු රඳවනය නැති වූවා පමණක් නොව, මා ගාෆීල්ඩ් චිත්‍රයට නඟන්නට දරමින් උන් උත්සාහයත් අතරමඟ නැවතිණි. අන්තර්ජාලයක් නොතිබුණු එකල මට අඩුම තරමේ චිත්‍ර ඇඳීමට අභ්‍යාසයට වත් තවත් ගාෆීල්ඩ් රුවක් සොයාගැනීමට අවස්ථාවක් නොතිබිණි.

කාලයත් සමඟ මට කෙමෙන් ගාෆීල්ඩ් අමතක විය. තවත් වසර කිහිපයක් ගතවෙද්දී අප නිවසේ පාසැල් යන වයසේ පසු වූයේ මා පමණි. එහෙත් කෙතරම් වයසින් වැඩුනත් පවුලක බාලයා, බාලයාම බව සනාථ කරමින් මට ඒ වෙද්දීත් තාත්තාගෙන් අරුමෝසම් පාසැල් උපකරණ ලැබෙමින් තිබිණි. මට දෙවෙනි වරට ගාෆීල්ඩ් මුණ ගැසුණේ මෙලෙසයි. මා උසස් පෙළ පන්තියට ඇතුළත් වූ වසරේදී මට තාත්තාගෙන් ගාෆීල්ඩ් සන්නාමයෙන් යුත්  පැන්සල් රඳවන පෙට්ටියක් ලැබුණි. එහි කළු පැහැති පසුබිමේ ගාෆීල්ඩ් ගේ රූ එකක් නොව හයක් ම තිබිණි. සිනාසෙන, දුවන, ඔරවන, නිදන ඒ ගාෆීල්ඩ් රූ රැස දැක ප්‍රීති ප්‍රමෝදයට පත් වූ මම වහා වහා යළිත් ගාෆීල්ඩ් චිත්‍රයට නැඟීමේ ප්‍රයත්නය ඇරඹුවෙමි. පාසැලේදී සෙසු පන්තිවල මෙන් නොව උසස් පෙළ පන්තිවලදී පාඩමට සිසුන්ගේ අවධානය අඩු වීම සාමාන්‍ය සංසිද්ධියකි. අප පන්තියේදීත් පාඩමට උනන්දුවක් දැක්වූයේ පළමු ඩෙස්ක් පේළි වල සිසුවියන් පමණි. මා සමඟ පසු පෙළවල උන් මගේ යෙහෙළියන් පොත් යට සඟවා ගත් නවකතා කියද්දී මා සටහන් පොතේ හිස් ඉඩවල එක සීරුවට පැන්සල් පෙට්ටියේ උන් ගාෆීල්ඩ්ව පිටපත් කළෙමි. මගේ මේ උමතුව හැඳිනූ මගේ යෙහෙලියෝද ගුරුවරියන්ට රහසින් මගේ ප්‍රගතියේ ගුණ දොස් විචාරමින් මා උනන්දු කළෝය. එහෙත් ඇතැම් දින වල චිත්‍රය වෙත තිබුණු මගේ අවධානය තීව්‍ර වීමත් සමඟ පැන්සල් පෙට්ටිය බිම වැටුණු අවස්ථාද තිබිණි.  එය යකඩින් නිම කර තිබුණු බැවින් බිම වැටුණු විට ඉන් උස් හඬක් නිකුත් වූ අතර, ඒ සමඟ නැඟෙන මිතුරියන්ගේ සිනා හඬත් ඒ කිසිවකට හේතු නොදත් ගුරුවරියන්ගේ  අන්දමන්දයත් මට හොඳ හැටි මතක ය! කාලයක් තිස්සේ නිරතුරු අභ්‍යාසයේ යෙදීමෙන් පසු මට මුල් රුවට සෑහෙන සමානකමකින් යුත් ගාෆීල්ඩ් ලා අඳින්නට හැකි විය. ඉන්පසු මිතුරියන් ගේ කොන්ත්‍රාත් වලට අනුව අනුන්ගේ සමරු පොත් සටහන්, උපන්දින සුබ පැතුම්, පෙම් හසුන් ආදියේ ගාෆීල්ඩ් ලා ඇඳ දී කෙළවරක් නැති කාලයක් උදා විය. ඒ හැම එකක්ම අභ්‍යාසයක් සේ සලකා මා සතුව ඇති සාම්පල් රූ හයේ කොටස් එකතු කර අලුත් ඉරියව් සහිත ගාෆීල්ඩ් ලා මැවීමට මා උත්සාහ කළ අතර ඉන් ඇතැම් ඒවා සාර්ථක නොවූ බවද කිව යුතුම ය. 

Image result for garfield pencil case
මා සතුව තිබුණු වර්ගයේ ගාෆීල්ඩ් පැන්සල් පෙට්ටියක් අන්තර්ජාලයේ සොයද්දී ඊට සමාන රෝස පැහැති පෙට්ටියක රුවක් මට හමුවිය.

එය අලෙවියට ඉදිරිපත් කර තිබුණේ vintage හෙවත් පැරණි භාණ්ඩයක් ලෙසටය!

කෙසේ  හෝ එලෙස දෙවෙනි වරට මා සොයා ආ ගාෆීල්ඩ් එවර නම් මා අතහැර ගියේම නැත. පසු කලෙක රැකියාවක් කරද්දී ගාෆීල්ඩ් සන්නාමය සහිත තවත් විවිධ විසිතුරු භාණ්ඩ මා සොයාගත්තත්, කාර්ය බහුල බව නිසා ඒ රූ චිත්‍රයට නඟන්නට නම් ඉඩ නොලැබිණි. මෙරටට පැමිණි පසු, මෙහි දිනපතා පුවත්පතක ගාෆීල්ඩ් චිත්‍ර කතා තීරුවක් පලවන බව සොයාගැනීම මගේ ගාෆීල්ඩ් චාරිකාවේ සුවිශේෂ අවස්ථාවක් විය. රැකියා ස්ථානයේදී පුවත්පත මා අත ඇත්නම් " she just needs a minute to read the paper, only the time it takes to read the Garfield strip!" යැයි මගේ කාර්යාල සගයන් මට ඔච්චම් කිරීම නිතර සිදුවිය.

ඉතින් දැන් තවත් වෙසකින් ගාෆීල්ඩ් මා සොයා පැමිණ ඇත. කෑම මේසය පුරාම පාට පැන්සල් විසිරුවාගෙන, දිව හපාගෙන, පුතා පොතක ඇති ගාෆීල්ඩ් අඳින්නට තැත් දරමින් සිටියි.
 “කෝ, මාත් ට්‍රයි කරන්න බලන්න ඔහු අසලින් අසුන් ගත් මා කඩදාසියක් සහ පැන්සලක් අතට ගත්තෙමි. අවුරුදු විසිපහකටත් එපිට සිට දිව විත් මගේ පැන්සලෙන් බැස, හිස් කඩදාසිය මත වැතිරී සිනා පාන්නට ගාෆීල්ඩ් ට ගත වූයේ සුළු මොහොතකි!






13 comments:

  1. මේක බැලුවහම ගොඩ කාලයකින් මටත් ගාෆි මතක් උනා. මටත් හිටිය ගාෆි ට ෆුල් ඇඩික් උන මිතුරියක්. එයා නම් ගාෆි පිස්සියක් කිව්වොත් හරි. එයාගෙ හැම වැඩක්ම ගාෆි ට තමයි බැර කරන්නෙ 😂

    අද ගෙදර ගිහිල්ල ගාෆි ෆිල්ම් එක බලන්ට ඕනි 👊🏽

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ගාෆීල්ඩ් පින්තූර/ෆිල්ම් වලට ඇක්සස් තිබ්බා නම් මමත් සමහර විට ඒ වගේ ඇබ්බැහි වේවි. මගේ ඇබ්බැහිය තිබුනේ චිත්‍ර පැත්තට හොඳ වෙලාවට!

      Delete
  2. කන්නට ගියත් සීමාවක් නැති පූසා
    නින්දට කෑදරයි මේ කම්මැලි පූසා
    උන්නට මීයො පන්නන් නැති මේ පූසා
    වෙන්නට එපා වාගෙ ගාෆීල්ඩ් පූසා......

    ආසාවෙන් බලපු කාටූන් එකක්. ලිපියට ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද ට ගාෆීල්ඩ් ගැන වුනත් කවියක් ලියන්න පුලුවන් නේ? :) ස්තූතියි!

      Delete
  3. ගාෆීල්ඩ් මහ වාත (ඇනොයින්) බලලෙක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මාර පර්සනැලිටි එක!

      Delete
  4. අසාවෙන් බලපු කාටුන් එකක්..ඒක මතක් වුනා ආයි ...
    ස්තුතියි ...

    ජය වේවා ...!!!

    ReplyDelete
    Replies
    1. ඔව්, ගාෆීල්ඩ් ගේ අන්දර! ස්තූතියි සුමුදු!

      Delete
  5. ඔය කියන කාලේ අපේ ගෙදරත් කලු පුසෙක් හිටියා. මට මතක හැටියට උගේ නම 'මිමී'

    ReplyDelete
    Replies
    1. මෙයා නේ මිමී,

      http://hotchocolatedays.blogspot.com.au/2016/03/blog-post.html

      කළු පූසා ගැනත් ලියන්න ඕන වෙලාවක

      Delete
  6. අපි පොඩි එව්වො කාලෙ ගාෆීල්ඩ් හිටියෙ නෑ. ඒ දවස්වල කාටූන් තිබ්බෙ ඇන්ඩි කැප්,බීට්ල් බේලි, ෆ්ලින්ට්ස්ටෝන්ස්, මැන්ඩ්‍රේක් ද මැජීෂන් සහ ෆ්ලෑෂ් ගෝඩ්න් වගෙ එව්ව. ලියන්න ඕන ඒ ගැන...:)

    ReplyDelete
    Replies
    1. ගාෆීල්ඩ් කාටූන් ලංකාවේ නම් තිබ්බෙම නැහැ මං හිතන්නේ-මාත් ඔය ගාෆීල්ඩ් හිටිය එක එක භාණ්ඩ වලින් තමයි උන්දැව අඳුරගත්තේ. අපි පොඩි කාලේ ටයි මාමා නේ අපේ වීරයා! හා හා හරි හාවා එහෙම සෑහෙන්න 'හොඳ' විදිහට තමයි ටයි මාමා සිංහලට හරවලා තියෙන්නේ කියලා තේරෙනවා දැන් Looney Tunes බලද්දී. ඒ කාලේ හිතාගෙන හිටිය තරම් ආදර්ශවත් චරිතයක් නෙමෙයි Bugs Bunny! :)

      Delete
  7. ස්ට්‍රිප් කාටූන් නම් ඉතින් කැල්වින් ඇන්ඩ් හොබ්ස් තමයි මට.

    ReplyDelete