February 25, 2025

උසුලා සිටීම


ගැහැනුන් උසුලා සිටින්නේ මොනවාද?
නිවෙස් සහ පවුල්
දරුවන් සහ ආහාර වේල්
මිතුදම්
රැකියාවන්
ලෝකයකම රාජකාරි
මනුසත් බවේ වැඩපල

ගැහැනුන් උසුලා සිටින්නේ මොනවාද?
මතකයන් සහ කරදර
ශෝකයන් සහ දිනුම්
ඒ හැම අතරේම
ආදරය

පිරිමින්ද මේවා උසුලා සිටිනමුත්
ඒ මෙලෙසම නොවේ

ඇතැම් දිනවල
මා සතුටින් හෝ තෘප්තියෙන් පසු වෙද්දී
මට මිනිසුන් සේනාවක් වුව
පෝෂණය කළ හැකි බව සිතේ

එහෙත් තවත් දිනවල
මට මගේ කුටිය හරහා පවා යා නොහැක
මගේ දෑත ගල් ගැසී ඇති සේ දැනේ

ගැහැනුන් උසුලා සිටින්නේ මොනවාද?
මේ උසුලා සිටීමේ නිමක් නැත
තමන් කළ දේ ප්‍රමාණවත් නැතැයි
ඔවුන්ට බොහෝ විට සිතේ
එහෙත් හෙට දිනයත්,
ඉන් පසු තවත් බොහෝ දිනත් උදා වේ
උසුලා සිටීම නොනිමේ

-Maira Kalman, 'What do women hold'
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Digital sketch
 

Maira Kalman කිවිඳියක් සහ චිත්‍ර ශිල්පිනියක්. පසුගිය වසංගත කාලයේදී තම අතින් නිමවූ චිත්‍ර 86ක් සහිතව ඈ What do Women Hold නමින් පොත් පිංචක් පළ කළා. ගැහැනුන්ට උරුම උසුලා සිටීම ඈ මෙහිදී මනාව අර්ථ දක්වා තිබෙනවා. ඉහතින් ඇත්තේ එහි කොටසක පරිවර්තනයක්. මේ කොටස වෙනුවෙන් නාඳුනන නිර්මාණකරුවෙකු අතින් නිමවුණු වීඩියෝවත් මගේ සිත් ගත්තා. 

February 22, 2025

ශෝකය

මගේ කෝපය සමඟ මා බොහෝ වෙලාවක් ගත කළ පසු තම සැබෑ නම ශෝකය බව ඈ පැවසුවාය.

C.S. Lewis
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Digital Art


February 10, 2025

පාඨකයා නිසොල්මන් කරවන යීයුන් ලීගේ ‘වෙන්ස්ඩේස් චයිල්ඩ්’

“සතුට යනු: නිරතුරුවම හෙට දවස, ඊළඟ මාසය හෝ වසර ගැන දෑස් දල්වා බලා සිටීම නොවේ. එමෙන්ම සතුට යනු: දෑත විදහා, එළඹෙන හැම දිනයක්ම අතීතයට එක් වීම වැළකීමට ගන්නා උත්සාහයද නොවේ.”

මේ, යීයුන් ලීගේ ‘වෙන්ස්ඩේස් චයිල්ඩ්’ නම් කෙටිකතා පොතෙන් උපුටා ගත් කොටසකි. මේ ලේඛිකාවගේ නිර්මාණ කියවද්දී පාඨකයා නිසොල්මන් කරවන, කියවූ දේ ගැන යළි යළිත් සිතන්න පොලඹවන මෙවැනි වැකි නිරතුරුව මුණගැසේ.

යීයුන් ලී 1972 දී චීනයේදී උපන් කතුවරියකි. ඈ සිය රටේදී හිමි කරගත් ප්‍රථම උපාධියෙන් අනතුරුව අමෙරිකාවේදී විද්‍යා ක්ෂේත්‍රයෙන් පශ්චාද් උපාධියක් සම්පූර්ණ කර තිබේ. ඉනික්බිති ඊට හාත්පසින්ම වෙනස් මඟක් ඔස්සේ යමින් ඈ අමෙරිකාවේ අයෝවා සරසවියෙන් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳවත් පශ්චාත් උපාධියක් ද සම්පූර්ණ කළ බව සඳහන් වේ. පසුකාලීනව තම විද්‍යා අධ්‍යාපන පසුබිම පසෙක ලූ ඈ අමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේත්, ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේත් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳව ආචාර්ය ධුර හොබවා තිබේ.

2024දී ප්‍රකාශයට පත් වූ යීයුන් ලීගේ ‘වෙන්ස්ඩේස් චයිල්ඩ්’ නම් කෙටිකතා පොත කෙටිකතා එකොළහකින් සමන්විත ය. මේ කතාවල තේමා එකිනෙකට හාත්පසින්ම වෙනස් වීම නිසා පාඨකයා ඊට නිරායාසයෙන් ආසක්ත වීම වැළක්විය නොහැකිය. උදාහරණයක් ලෙස: මෙහි ඇතුළත් ‘අ ශෙල්ටර්ඩ් වුමන්’ කෙටිකතාව අලුත උපන් බිලිඳුන් කෙටි කාලයකට රැක බලාගැනීම තම රැකියාව වූ අවිවාහක මැදිවයසේ කාන්තාවක ගැන ගෙතුණු එකකි. මතුපිටින් පෙනෙන දිනචර්යාවක විස්තරවලට යටින් ඒ කතාවේ පෙනී නොපෙනී පාඨකගේ සිත පාරවන්නේ ලෝකයේ කොයි රටකත් ගැහැනුන්ට උරුම වුණු අහිමිවීම්, හැරදා යෑම්, ප්‍රසවය හා බැඳුණු විශාදය වැනි වේදනාත්මක කාරණාය.

“තමන්ගේ ජීවිතයට මිතුරකු තරම් හද බැඳ ගැනීමට හතුරකුට හැකි බවත්, වෛරයක් නිසා දෙදෙනකුට සහෝදර බැම්මක් තරම් බැඳීමක් ඇති වන බවත් ඈ දැන සිටියාය. ජීවිතයට හමු වන හැම කෙනකුම අමුත්තකු ලෙස සලකා කටයුතු කළ හැකි අය වාසනාවන්තයෝ ය.” (- අ ශෙල්ටර්ඩ් වුමන්)

‘වෙන් වී වර් හැපි, වී හැඩ් අදර් නේම්ස්’ මේ කෙටිකතා එකතුවේ ඇති තවත් කතාවකි. යොවුන් දරුවකුගේ දිවි නසාගැනීමකින් අනතුරුව ඔහුගේ මවුපියන් ජීවිතයට මුහුණදීමට වැර දරන අයුරු ඊට පාදක වී තිබේ. හද බිඳී තිබියදී නොවෙනස්ව කැරකෙන ලෝකයට අනුගතව දිවි ගෙවීමේ දුෂ්කර බව ඔවුන්ට දැනෙන අයුරින්ම පාඨකයාටද දැනෙන්න සැලැස්වීම ලීගේ ලිවීමේ දස්කමයි.

“ඇතැම් දිනවලදී ජියායු තම නිවෙස වෙත පැමිණ, එය ඉදිරිපස තම රථය නවත්වා ගරාජයේ දොර විවර කරන බොත්තම ඔබනු නොහැකිව අකර්මණ්‍යව සිටින්නීය. තවත් දිනවල ඈ වෙහෙස නොතකා, නොකඩවා නිවෙස පිරිසුදු කළාය; එළවළු කපන ලෑල්ල මත කඳුළින් පෙඟුණු ලූනු ගොඩක් පමණක් ඉතිරි වන තුරු උමතුවෙන් මෙන් ලූනු කැපුවාය. මේ කිසි දෙයක් මෙලෙස සිදු වීමට හේතු ඈ ප්‍රශ්න කළේ නැත. උමතු බවක් පෙනුණු හෝ නොපෙනුණු මේ ඕනෑම ක්‍රියාවක් අයත් වූයේ ශෝකය නම් නිර්වචනයටයි.” (- වෙන් වී වර් හැපි, වී හැඩ් අදර් නේම්ස්)

මේ ලෙස නිර්මාණ ඇසුරෙන් පාඨකගේ සිත් ඇද බැඳ ගත් යීයුන් ලී, තම ජීවිතයේත් මහත් සේ හැලහැප්පීම්වලට ලක් වුණු තැනැත්තියකි. ඈ එක්තරා කාල වකවානුවකදී තදබලව මානසික අවපාතයට ලක් ව සිටියාය. ඇයගේ විශේෂත්වය නම් ඒ අත්දැකීම් ගැන තම නිර්මාණ මඟින් විවෘතව කතා කිරීමයි. ඉහත සඳහන් ‘වෙන් වී වර් හැපි, වී හැඩ් අදර් නේම්ස්’ කෙටිකතාවත් ඈ 2019 දී ලියූ ‘වෙයා රීසන්ස් එන්ඩ්’ නවකතාවත් ඇයගේ දරුවකු දිවි නසාගැනීමේ වේදනාව නිසා උපන් නිර්මාණ බව සඳහනි. මීට අමතරව, ලී 2017දී ලියූ ‘මයි ෆ්‍රෙන්ඩ්’ නම් ස්වයං අපදානය ඈ මනසින් සුවපත් වීමේ චාරිකාව ගැන ලියවුණු කෘතියකි.

චීනයේ ගෙවූ ජීවිතයෙන් ලද අත්දැකීම්වලින් පෝෂණය වී, අමෙරිකාවේ අත්දැකීම්වලින් හැඩ වැඩ වුණු ලී ගේ නිර්මාණ, කියවන්නාට අලුතින් ජීවිතය දකින්න මඟ කියයි. ඇයගේ බොහෝ කෙටිකතාවල ප්‍රධාන චරිත, ඈ මෙන්ම චීනයෙන් අමෙරිකාවට සංක්‍රමණය වූ අයයි. මෙවැනි සංක්‍රමණිකයන් තම උපන් රටටවත්, පදිංචි රටටවත් සම්පූර්ණයෙන්ම මනසින් අයත් නොවී ගෙවන දෙබිඩි ජීවිතය ඈ තම නිර්මාණවලදී මනා ලෙස හුවා දක්වන්නීය. මේ කෙටිකතා එකතුවේ ‘අලෝන්’ නම් කෙටිකතාවේ ප්‍රධාන චරිතයත් මෙවැන්නියකි. තම ජීවිතයේ හිමිවීම් සහ අහිමිවීම්වල මූලයන් තේරුම්ගන්න වෙහෙසෙන ඈ, අපටද හුරු පුරුදු චරිතයකි.

“ජීවිතයත් මරණයත් අතර දේශ සීමාවේ අමතක වීම නම් නදියක් ඇති බව ජනකතාවල පැවසේ. එය හරහා ඇති පාලමක් මත සිහින මාතාව නම් කාන්තාවක් සිටින්නීය. ගඟ තරණය කරන සංචාරකයන්ට ඈ තේ බඳුනක් පිරිනමන්නීය. ඔබ මෙය පානය කළ පසු මරණයට යද්දී ජීවිතයේ මෙපිටින් ඇති සියලු දේ අමතක වී යනු ඇත.”
(- අලෝන්)

ස්වකීය නිර්මාණ වෙනුවෙන් විවිධ සම්මාන රාශියක් දිනා ඇති මේ නිර්මාණකාරිය, 2023 දී විදෙස් ලේඛිකාවක ලෙස ලෝ ප්‍රකට ‘රෝයල් සොසයිටි ඔෆ් ලිටරිචර්’ සංගමයට තේරී පත් වී තිබේ. කෙටිකතාකරණයට අලුත් තේමා හඳුන්වා දෙන යීයුන් ලීගේ ‘වෙන්ස්ඩේස් චයිල්ඩ්’ වැනි කෙටිකතා සංග්‍රහයන් පාඨකයාගේ පරිකල්පනය අලුත් මානයකට රැගෙන යන බව ඒකාන්තය.

හෙල්මලී ගුණතිලක
විදෙසක ලිවිසැරිය
සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය
08.02.2025

අලුතින් පණ ගැන්වුණු සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහයට 'විදෙසක ලිවිසැරිය' නමින් තීරු ලිපියක් ලිවීමට මට ඇරයුම් කළ පුවත්පතේ උප කතෘ ජයත් පියදසුන් සොයුරාට මගේ ස්තූතිය හිමි වේ .  




February 06, 2025

කබාය

 


ඒ කඳුකර වතුයායේ සීතල දේශගුණයක් පැවතුණත් හාත්පස මීදුම් රහිතව තිබුණු බැවින් ඈතින් හිමාල කඳු පන්තිය පැහැදිලි ව දිස් විය. ඒ දිනවල වතුයාය ට පිවිසෙන මාර්ගවල තැන තැන හිම වැටී තිබුණි. මා වඩාත් ප්‍රිය කළේ නිවසේ ඇඳට වී උණුසුම් ව, පොතක් කියවමින් සිටීමට වුවත් පෙරදිනක අසල්වැසි කපාඩියා යුවළගේ සාදයකට කළ ඇරයුම මා පිළිගෙන තිබුණු බැවින් එහි නොගොසින් සිටීම නොතරම් බව මට සිතුණි. එබැවින් අන්තිමේදී මම ඝන කමිස දෙකක්, පැරණි ෆුට්බෝල් මෆ්ලරයක් සහ කබායක් පැළඳගෙන සඳ එළියෙන් ආලෝකවත් වූ පාර ඔස්සේ පිටත් වූයෙමි. 

කපාඩියා නිවස තිබුණේ මගේ නිවසේ සිට හැතැප්මක් තරම් දුරිනි. මේ දුරින් අඩක් පමණ මා ගෙවූ පසු මාවත මැද තරුණියක් සිටගෙන සිටින අයුරු දුර සිටම මම දුටුවෙමි. 

බැලූ බැල්මට ඇයට වයස දාසයක්, දාහතක් පමණ විය. ඉනට තරම් දිග කොණ්ඩයකින් යුතු වූ ඈ හැඳ පැළඳ සිටියේ පැරණි තාලයට ය. රෝස සහ දම් පැහැයෙන් යුක්ත වූ ඇගේ දිගු ගවුමේ තැන තැන දිලිසෙන සීක්වින්ස් අල්ලා තිබුණු අතර එය දුටු විට මට සිහි වූයේ මගේ අත්තම්මාගේ පින්තූර ඇල්බම් වල පින්තූරයි. ඈට කිට්ටු වෙද්දී ඇයට සුන්දර දෑසක් සහ මනස්කාන්ත සිනාවක් තිබුණු බව මට පෙනුණි. 

“සුබ සන්ධ්‍යාවක්! අද බොහොම සීතල දවසක් නේද?” මම ඇගෙන් ඇසුවෙමි. 

“ඔයා සාදයටද යන්නේ?” ඈ මගෙන් විමසුවාය. 

“හරියට හරි, ඔයාගේ ලස්සන ගවුම දැක්කාම කියන්න පුළුවන් ඔයා යන්නෙත් එහෙ කියලා. එහෙනම් අපි දෙන්නාම යමු, දැන් ළඟයි.”

ඈ මා අසලින් ගමන් කරන්නට වූවාය. නොබෝ වේලාවකින් දේවදාර තුරු අතරින් කපාඩියා නිවසේ විදුලි ආලෝකය පෙනෙන්නට විය. තමන්ගේ නම ජූලි බව තරුණිය කීවාය. ඒ වෙද්දී මා ඒ වතුයාය ට පැමිණ ගත වී තිබුණේ මාස කීපයක් බැවින් මා ඉන් පෙර ඈ ව දැක තිබුණේ නැත. 

සාදයේ සෑහෙන පිරිසක් සිටි නමුත් ඒ කිසිවකු ජූලි හඳුනන බවක් නොපෙනුණි. ඈ මගේ මිතුරියක් බව හැම කෙනෙකුම අනුමාන කළ අතර මා ද ඒ අදහස බැහැර කළේ නැත. ඈ තනිකමින් පීඩා විඳි බවත් මිතුරු ඇසුරක් සොයමින් සිටි බවත් පැහැදිලි ව පෙනුණි. ඒ සාදයේදී ඈ බොහෝ ප්‍රීතියෙන් කාලය ගත කළාය. ඈ කෑම බීම ගැන වැඩි අවධානයක් යොමු නොකළත් එහි හැම කෙනෙකු අසලටම ගොස් සිනාසෙමින්, කතාකරමින්, ඔවුන්ට ඇහුම්කන් දෙමින් කාලය ගත කළාය. ඉනික්බිති සංගීතය වාදනය වීමත් සමඟම ඈ තනිවමත්, වෙනත් අය සමඟත් නටමින් බෙහෙවින් විනෝද වූවාය. බැලූ බැල්මට පෙනුණේ ඈ සංගීතයෙන් මත්ව සිටි බවකි. 

මා සාදයෙන් නික්මෙන්නට සූදානම් වෙද්දී මැදියම් රැයට ආසන්න වී තිබිණි. ඒ වෙද්දී මා සෑහෙන තරමට මධුවිත තොලගා තිබුණු අතර මට වුවමනා වූයේ නින්දට වැටෙන්නයි. මා නිවෙස් හිමියන්ගෙන් සමු ගෙන හැමට සුබ නත්තලක් පතද්දී ජූලි මා අසලට විත් ඇය ද නිවෙස බලා යන්නට සූදානම් බව පැවසුවා ය. 

“ඔයාගේ ගෙවල් කොහෙද ජූලි?”

අප සාදයෙන් පිටවූ පසු මම ඇගෙන් විමසුවෙමි. 

“මම ඉන්නේ වුල්ෆ්ස්බර්න් වල” ඈ කීවාය. “කන්ද උඩ.”

“මේ හුළඟ හරි සීතලයි. ඔයාගේ ගවුම ලස්සන වුණාට ඒකෙන් වැඩි උණුසුමක් ලැබෙන්නේ නැහැ වගෙයි නේද? මෙන්න, මගේ කබාය ඇඳගන්න. පේනවනේ, කබාය නැති වුණත් මම නම් සීතලෙන් ආරක්ෂිතයි.”

මා මගේ කබාය ගලවා අගේ උරහිස් මත රඳවද්දී ඈ විරෝධයක් පෑවේ නැත. ඉනික්බිති අපි නිවෙස් බලා ගමන් ඇරඹුවෙමු. 

අප මුලින් මුණගැසුණු ඉසව්වේදීම ඈ නැවතත් නතර වූවාය. 

“මෙතැනින් කෙටි පාරක් තියෙනවා. මම මේ කන්ද දිගේ දුවලා යන්නම්.” ඈ කීවාය. 

“ඔයාට ඒ පාර පුරුදු ද? පටු පාරක් වගේනේ පේන්නේ.”

“අයියෝ මම මේ පාරේ හැම ගහක් ගලක්ම හොඳට දන්නවා, මම නිතර ඒ පාරේ යනවා එනවා. අනික අද හොඳට හඳ එළිය තියෙන දවසක්නේ.”

“එහෙනම් කබාය ඇඳගෙන ම යන්න. මම හෙට ඇවිත් ඒක ආපිට ගන්නම්.” මම කීවෙමි. 

ඈ මොහොතක් නිසොල්මන් ව හිඳ ඉනික්බිති සිනාසී, හිස වනා, මා කී දේ අනුමත කර, ඒ කෙටි මඟ ඔස්සේ නොපෙනී ගිය අතර මම තනිවම නිවස බලා ගියෙමි. 

ඊට පසු දින මම වුල්ෆ්ස්බර්න් වෙත ඇවිද ගියෙමි. කුඩා දිය කඳුරකින් එතෙර වී, විවර ව තිබුණු යකඩ ගේට්ටුවකින් ඇතුළු වූ විට මා එහි දුටුවේ ගරා වැටුණු නිවසකි. ඊට වහලයක් නොතිබුණු අතර, ගල් ගොඩක්, කඩා වැටුණු පෝරණුවක් සහ පෙරදී බරාඳයක් තිබුණු බවට ලකුණු පෙන්වූ කණු කිහිපයක් දක්නට විය. 

ජූලි මට විහිළුවක් කළා ද? නොඑසේ නම් මා පැමිණ තිබුණේ වැරදි නිවසටද?

කඳු ගැටය වටා ඇවිද ගිය මම ඒ අසල ටේලර් යුවල පදිංචි පැරණි නිවස වෙත එළඹී, ජූලි නම් තරුණියක් ගැන විස්තර දන්නේදැයි වයස්ගත ටේලර් මහත්මියගෙන් විමසුවෙමි. 

“නෑ මම හිතන්නේ මම එහෙම කෙනෙක් දන්නේ නැහැ,” ඈ කීවාය. “කොහෙද එයා පදිංචි?”

“වුල්ෆ්ස්බර්න් වල කියලා තමයි කිව්වේ නම්, ඒත් ඒ ගෙදර ගරා වැටිලානේ.”

“පහුගිය අවුරුදු හතලිහට කවුරුවත් වුල්ෆ්ස්බර්න් වල ජීවත් වෙලා නැහැ. මේ පළාතේ මුලින්ම පදිංචි වුණ මැකිනන් ලා තමයි එහෙ හිටියේ. ඒත් එයාලගේ දුව මැරුණා ට පස්සේ..” ටේලර් මහත්මිය හදිසියේම කතාව නවතා මා වෙත අමුතු බැල්මක් එල්ල කළා ය. “මම හිතන්නේ ඒ දැරිවි නම ජූලි, කොහොමහරි ඒ ළමයා මළා ට පස්සේ එයාලා ඒ ගේ විකුණලා කොහේ හරි ගියා. ඊටපස්සේ කවුරුවත් ඒකෙ ජීවත් වුණේ නැහැ, ගේ ටික ටික ගරා වැටුණා. ඔයා හොයන ජූලි එයා වෙන්න බැහැ. ඒ දැරිවි මැරුණේ ක්ෂය රෝගේ හැදිලා. ඒ කාලේ ඒ ලෙඩේ හොඳ කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. එයාගේ සොහොන තියෙන්න ඔය පාරේ කෙලවර තියෙන සොහොන් පිට්ටනියේ.”

මා ටේලර් මහත්මියට ස්තූති කර සොහොන් පිටිය වෙත ඇවිද යන්නට විය. ඒ වෙද්දී මට මේ ගැන තවදුරටත් තොරතුරු දැනගන්නට වුවමනාවක් නොමැති වුවත් නොදැනුවත්වම මෙන් මා ඒ වෙත ඇදී යමින් තිබිණි.

ඒ කුඩා සොහොන් පිටිය තිබුණේ දේවදාර තුරු පෙළ පාමුලයි. එතැනට තනි නිල් අහස් පසුබිමේ හිමාල කඳු පෙළේ සදාකාලික හිම පතනය මනාව පෙනුණි. අධිරාජ්‍ය ගොඩ නඟන්නට වෙහෙසී මේ වෙද්දී ලෝකයට අමතක වූ සොල්දාදුවන්, වෙළෙන්දන්, ගවේෂකයන් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ සිරුරු වල නටබුන් මේ බිමේ වැළලී තිබිණි. ජූලි ගේ සොහොන සොයා ගන්නට මට වැඩි වෙලාවක් ගත වූයේ නැත. වැඩි මෝස්‌තර නොමැති සරල සොහොන් කොතක ඇගේ නම පැහැදිලි ව සඳහන් ව තිබිණි.


ජූලි මැකිනන්
1923-39
“මොහොතක් ඈ අප ළඟ සිටියාය
දැන් සදාකාලික සැතපුමට
ඈ දෙවියන් වහන්සේ ළඟ යි”

මෝසම් වැසි ගණනාවක් මේ සොහොන් පිටිය පිස හමා ගොස් එහි සොහොන් කොත් වල අකුරු මකා දමා තිබුණද, ඒ කිසිවකින් මේ කුඩා සොහොන් කොත පීඩාවට පත් වූ බවක් නොපෙනුණි. 

මා ආපසු යාමට හැරෙද්දී සොහොන් කොත පසුපස මා මීට පෙර දැක පුරුදු යමක් මගේ නෙත ගැටුණු බැවින් මම එතැනට පා නැඟුවෙමි.

පිළිවෙලට නවන ලද මගේ කබාය එහි විය. 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the short story ‘The Overcoat’ by Ruskin Bond

සිසිල සඟරාව - පෙබරවාරි 2025 කලාපය 
(සිසිල සඟරාව ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

Photo generated by Canva AI


February 01, 2025

කතාබහකට කිට්ටු දෙයක්

මා තවම දිය බල්ලා සමඟ
උගේ ජීවිතය ගැන
හරියාකාරව කතා කර නැත

ඌට බොහෝ දත් ඇති බැවින්
උච්චාරණය අපහසු ය
එබැවින් අප එකිනෙකා තේරුම්ගන්නේ අංගචලනයෙනි

දිය බල්ලා සුමට ලෙස පිහිනන්නේ මාලුවෙක් මෙනි
දිය යට කිමිදෙමින්, යළි මතුවෙමින්, දිය බුබුළු නංවමින් ඌ පිහිනයි

ගං ඉවුරේ හිඳ සිටින
කුතුහලයෙන් පිරුණු මාත්, මගේ දෑසත්
ක්‍රම ක්‍රමයෙන්
ඌ විශ්වාස කරන්නට පටන් ගනී

ඇතැම්විට ඌ මා සමීපයටම පැමිණේ
උගේ රැවුල් ගස් මම අගය කරමි
ඒ අඳුරු පැහැ ලෝමයෙන් තැනූ කබායක්
පළඳිනවාට වඩා මට මරණය ප්‍රිය යැයි හැඟේ

දිය බල්ලා සතුව වචන නැතත්
උගේ ජීවිතය ගැන පවසන දේ පැහැදිලි ය

ඌ සතුව පරිගණකයක් නැත
ගඟ සදාකාලිකවම පවතීයැයි ඌ විශ්වාස කරයි
මා ජීවත්වන වියළි නිවස ගැන උගේ ඉරිසියාවක් නැත
මා අදහන්නේ කුමක්ද, කවුරුන්ද කියා
ඌට දැනගන්නට වුවමනා නැත
ඌ කල්පනා කරන එකම දේ නම්
මේ සීතල, නැවුම්, ජීවී ගඟ වෙත
සෑම උදෑසනකම පැමිණෙන මා
එහි නොකිමිදෙන හේතුවයි

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Almost a conversation' by Mary Oliver

Digital sketch