December 11, 2025

Mother Mary Comes to Me- Arundhati Roy



මේ අවුරුද්දේ මම කියවපු හොඳම පොත නම් කරන්න කිව්වොත් ඒ අරුන්දතී රෝයි ගේ Mother Mary Comes to Me පොත බව කිසිම විවාදයක් නැතිව කියන්න පුළුවන්. මේ  අරුන්දතී රෝයිගේ ජීවිත කතාව, ඒ වගේම මේ ඇගේ අම්මාගේ කතාව. අරුන්දතී තමන්ගේ ළමා කාලයේදී ලැබුණු ශාරීරික සහ මානසික පීඩාවන්, ජීවිතය පුරා ඈ මුහුණ දුන් විවිධ අවමන්, කම්කටොලු වගේම ලෝකයේ ජය කෙහෙළි නංවමින් ඈ ලැබුව ජයග්‍රහණත් ඒ හා බැඳුණු ප්‍රසිද්ධිය ගැනත් විස්තර මේ පොතට කැටි කරලා තියෙනවා. ඇගේ ලේඛන ශෛලියේ විශේෂත්වය තමයි කටුක දුකත්, ඉහළම ප්‍රහර්ෂය ත් එකම සැහැල්ලු තානයෙන් විස්තර කරන්න ඇයට තියෙන අපූරු ම හැකියාව.  

අරුන්දතීගේ කතාව කියවද්දී ඇගේ ජීවිතයේ ප්‍රධාන චරිතය ඇගේ මව බව පැහැදිලියි. නමුත් මේ, සම්ප්‍රදායික ලෙස මවක් සහ දුවක් අතර අපට හුරු ළබැඳි බව, ළතෙත් බව ආදියෙන් යුතු එකක් නම් නෙමෙයි. “She was my shelter and my storm.”අම්මා ගැන ඈ කියන්නේ එහෙමයි. මේ කතාව පුරාවටම පාහේ අරුන්දතී තමන්ගේ මව අමතන්නේ Mrs Roy නමින්. ඊට හේතුව ලෙස ඈ දක්වන්නේ කාලයක් ඇයත් ඇගේ සොයුරාත් මව මෙහෙයවූ පාසලේ සිසුන් ව ඉන්දැද්දී ඔවුන්ට ද එසේ ඇයට අමතන්නට ඇගෙන් අණ ලැබුණු නිසා කියන කාරණය. නමුත් ඇයට හැමදාම ඇගේ මව Mrs Roy කෙනෙක් මිසක් 'අම්මා' කෙනෙක් නොවුණු බව කියවන්නාට දැනෙනවා. 

“When it came to me, Mrs Roy taught me how to think, then raged against my thoughts. She taught me to be free and raged against my freedom. She taught me to write and resented the author I became”

වෘත්තියෙන් ගෘහනිර්මාණ ශිල්පිනියක් වන්නට සැලසුම් කළ අරුන්දතී, අහඹු විදිහට චිත්‍රපට තිර පිටපත් ලිවීමටත් පොත් ලිවීමටත් යොමු වීමේ ගමන ගැන ඈ මේ පොතෙන් විස්තර කරනවා. ඇගේ පළමු නවකතාව වන The God of Small Things වෙනුවෙන් 1997 දී Booker සම්මානය ලැබීම ඇගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. ඉන් ඇගේ ජීවිතය උඩු යටිකුරු වුණත් ඉනික්බිති ඇයට ලැබුණු ප්‍රසිද්ධිය ඈ පාවිච්චි කළේ කාලීන සමාජ, දේශපාලන ගැටළු ගැන හඬ නඟන්නයි. 

අහම්බෙන් ලේඛිකාවක් වීම ගැන ඇය මේ පොතේ විස්තර කරන්නේ මෙහෙමයි.

I knew even then that language was outside me, not inside me. I knew it would not come to me on its own. I needed to hunt it down like prey. Disembowel it, eat it. And when I did, I knew that language, my language, would ease the way blood flowed through my body. It was out there somewhere, a live language-animal, a striped and spotted thing, grazing, waiting for me-the predator. That was the law of my jungle. It wasn't a non-violent, vegetarian dream.”

“I was puzzled, because I realized that I wasn’t writing it from beginning to end. I felt as though I were sculpting smoke. Generating it, then organizing and disciplining it.

අරුන්දතී ගේ ජීවිත කතාවේ පාඨකයාව හඬවන තැන් බොහොමයක් හමු වෙනවා. ඒත් ඈ ඒ දුක්බර කතා කියන සිනා මුසු විලාසය නිසාම අපේ කඳුළු ත් එසැණින් මැකිලා යනවා. 

කේරළයේ කොට්ටායම් වැනි අප්‍රකට ගම්මානයක හැදී වැඩී ලෝකයටම ප්‍රකට ලේඛිකාවක් බවට පත්වුණු අරුන්දතී රෝයි ගෙන් අපට ලේඛනය ගැන උගත හැකි පාඩම් බොහොමයි. ඒත් ඇගේ චරිතාපදානය වන Mother Mary Comes to Me සුවිශේෂී පොතක් වෙන්නේ, ඉන් ඇගේ නොසැලෙන ගුණයත් එඩිතර බවත් ගැන ඈ ලෝකයට බොහෝ කරුණු හෙළි කරන නිසාමයි.

Mother Mary Comes to Me  (2025) - Arundhati Roy

Penguin Books


December 07, 2025

නැකැත්කරුගේ එක දවසක්



නැකත්කරු මධ්‍යහ්නය වෙද්දී නොවරදවාම තම රාජකාරිය අරඹා, තම මල්ලෙන් ඔහුගේ වෘත්තියට අදාළ ආම්පන්න පිටතට ගන්නේය. මීට කවඩි බෙල්ලන් දුසිමක්, විවිධ මායාකාරී රේඛා සටහන් සහිත හතරැස් රෙදි කඩක්, සටහන් පොතක් සහ පුස්කොල පොත් කිහිපයක් ඇතුළත් විය. ඔහුගේ නළලත ශුද්ධ වූ අළු සහ සාදිලිංගම් ආලේප කර තිබිණි. ඔහුගේ දෑස නිරතුරුවම අමුතු ආලෝකයකින් දිලිසුණු අතර අන්‍යයන් මෙය ඔහුගේ දුර දක්නා නුවණෙහි සලකුණක් ලෙස සැලකුවත් එය සත්‍ය වශයෙන්ම ගනුදෙනුකරුවන් ගැන නොකඩවා සෝදිසියෙන් සිටීම නිසා ඇතිවූවක් විය. පාට ආලේපිත නළලතට සහ දෙකොපුල් වැසුණු ගණ උඩු රැවුලට මැදිව තිබුණු බැවින් ඔහුගේ දෑසේ බලය දෙගුණ තෙගුණ වී ඉස්මතු විය. එවැනි පසුබිමක මෝඩයෙකුගේ දෑසට වුවත් එවැනි තෙදවත් බවක් ආරූඩ වනු නොඅනුමාන ය. මේ පෙනුම සම්පූර්ණ කිරීමට නැකත්කරු තම හිස වටා කහ පැහැති ජටාවක් ද බැඳ සිටියේය. මේ වර්ණ සංකලනය කිසිදා වැරදුණේ නැති අතර මිනිසුන් ඔහු වෙත ඇදී ආවේ අටපෙතියා හෝ ඩාලියා මල් පොකුරකට ඇදී එන්නන් විලසිනි. ඔහු හිඳ සිටියේ නගර ශාලාව පිහිටා තිබුණු උද්‍යානය අසලින් වැටුණු පාර අද්දර වූ අතු පතර විහිදුණු සියඹලා ගසක සෙවනක ය. උදෑසන සිට රාත්‍රිය දක්වා පුදුමාකාර සෙනඟක් මේ මාර්ගයේ එහා මෙහා ගමන් කළ බැවින් එය අපූරු තැනක් විය. මේ පාර අද්දර තවත් වෙළෙන්දෝ කීපදෙනෙක් සිටියහ. මෙහි බෙහෙත් බඩු වෙළෙන්දන්, සොරකම් කළ විවිධ සුන්බුන් වර්ග විකුණන අය, මැජික්කරුවන් ආදී අය දක්නට වූ අතර ඒ හැමටම වඩා ශබ්ද නඟමින් මුළු නගරයම එතැනට කැඳවූයේ බාල රෙදි වෙන්දේසි කළ වෙළෙන්දා ය. ඝෝෂාවෙන් ඔහුට දෙවැනි වූයේ පසෙක වූ රටකජු වෙළෙන්දා පමණි. ඔහු තම රටකජු සඳහා විවිධ විසිතුරු නම් භාවිත කිරීමට පුරුදු වී සිටියේය. ඇතැම් දිනවල එය ‘බොම්බේ අයිස් ක්‍රීම්’ ලෙසත්, තවත් දිනවල එය ‘දිල්ලි ආමන්ඩ් ඇට’ හෝ ‘රාජා ගේ ප්‍රණීත ආහාරය’ ලෙසත් ඔහු හැඳින්වූ අතර ඔහු වටා ගනුදෙනුකරුවෝ රොක් වූහ. 

මේ සෙනඟින් සැලකිය යුතු ප්‍රමාණයක් නැකත්කරු ඉදිරිපස ද තාවර විය. නැකත්කරු තම ව්‍යාපාරය කළේ රටකජු වෙළෙන්දා ගේ රටකජු ගොඩ අසල දල්වා දුම් දමමින් තිබුණු පන්දමේ ආලෝකයෙනි. මේ පෙදෙසට නගර සභාවේ විදුලි ආලෝකය නොලැබීම නිසා හාත්පස එක්තරා ආකාරයක මායාකාරී පෙනුමක් විය. මෙහි වූ ව්‍යාපාරිකයෝ අසල කඩ වීදියේ සාප්පු වල එළියෙන් හෝ ගෑස් ලාම්පු දෙකතුනක්, කණු මත රැඳවූ පන්දම් හෝ  පැරණි පාපැදි ලාම්පු ආදියෙන් තම ව්‍යාපාර ආලෝකවත් කරගත් අතර නැකත්කරු වැනි කිහිපදෙනෙක් පමණක් තමන්ගේ ම ආලෝක ප්‍රභවයක් රහිතව කටයුතු කළහ. මේ විවිධ ආලෝක තීරු සහ සෙවනැලි නිසා එහි අවට පරිසරයේ එක්තරා ආකාරයක අවුල් සහගත බවක් මැවුනද, නැකත්කරු නම් ඊට බොහොම කැමති විය. මීට හේතුව ඔහු අතීතයේදී නැකත්කරුවෙකු වීමට කිසිම බලාපොරොත්තුවක් නොතිබීමත්, අනාගතයේ සිදුවිය හැකි දේ ගැන සාමාන්‍ය මිනිසුන් තරමටම ඔහු ද කිසි දෙයක් නොදැන සිටීමත් ය. ඔහු තම අහිංසක ගනුදෙනුකරුවන් තරමටම නක්ෂත්‍රයට ආගන්තුකයෙකු විය. නමුත් ඔහු කී අනාවැකි ඇසූ අය සතුටටත් පුදුමයටත් පත් වූහ. ඔහුගේ මේ හැකියාව සත්‍ය වශයෙන්ම පළපුරුද්දත්, නිරීක්ෂණයත්, අනුමානයත් යන ඒවායේ සංකලනයක් විය. කෙසේ වෙතත්, ඔහුගේත් අවංක කුළී කරුවකුගේත් වෙනසක් නොතිබුණු අතර දවස අවසානයේ ඔහු ද තම වෙහෙස මහන්සියෙන් මුදල් උපයා තිබිණි. 

ඔහු පෙර කලෙක තම උපන් ගමෙන් පිටවූයේ විශේෂ සැලසුමකින් තොරවයි. තවදුරටත් එහි විසුවේ නම් තම මුතුන් මිත්තන් කළ පරිදි ඉඩම් අස්වද්දමින්, විවාහ වී, තම බඩ ඉරිඟු වගාවටත්, මහගෙදරටත් සීමා වී වයසට යන්නට ඔහුට ඉඩ තිබිණි. නමුත් එය එසේ සිදු වන්නට නියමිත වූයේ නැත. දිනක් ඔහු කිසිවෙකුටත් නොකියා නිවසින් පිට වූ අතර එදින ගමෙන් පිටවී හැතැප්ම සීයක් දෙසීයක් ගතවන තුරු ඔහුට නිවනක් දැනුණේ නැත. ඔහු වැනි සාමාන්‍ය ගැමියෙකුට මේ දුර සාගරයක් තරම් විශාල විය. 

නැකත්කරු ට මිනිසුන්ගේ ගැටළු ගැන හොඳ අවබෝධයක් තිබිණි. ඒවා බොහෝ විට විවාහ, මුදල් හෝ අන්‍යොන්‍ය බැඳීම් නිසා ඇතිවන අර්බුද බව ඔහු දැන සිටියේ ය. කාලයක් තිස්සේ ලද පළපුරුද්ද ඔහුගේ සංජානනය තියුණු කර තිබිණි. කෙනෙකු ඔහු වෙත පැමිණ ගතවෙනි පළමු විනාඩි පහ ඇතුළත ඔහුට ඔවුන්ගේ ගැටලුව වැටහිණි. එක ප්‍රශ්නයකට පයිස තුනක් අය කළ ඔහු, ගනුදෙනුකරුවා විනාඩි දහයක් වත් කතා කරන තුරු තම කට ඇරියේ නැත. මේ කාලය තුළදී ලැබෙන තොරතුරු, පිළිතුරු සහ උපදෙස් දුසිමකට වුව සෑහිණි. 

“ඔබේ මහන්සියට නියම ප්‍රතිපල ලැබෙන්නේ නැහැ.” 

තමන් ඉදිරියේ සිටින පුද්ගලයාගේ අත්ල දෙස බලා ඔහු මෙසේ කියූ විට පුද්ගලයන් දහයකින් නවයක්ම ඔහු හා එකඟ වීම සාමාන්‍ය සිද්ධියක් විය. 

නොඑසේ නම් ඔහු මෙසේ ප්‍රශ්න කළේය. “ඔබේ පවුලේ කවුරුහරි ගෑනු කෙනෙක් ඉන්නවද- දුරින් නෑදෑ වෙන කෙනෙක් හරි- ඔබත් එක්ක අමනාපයෙන් ඉන්න?” 

ඇතැම්විට ඔහු ඔවුන්ට දුන්නේ චරිත විශ්ලේෂණයකි. “ඔබේ ප්‍රශ්නවලට වැඩිහරියක් හේතුව ඔබේ ගති ස්වභාවය. සෙනසුරු ඔහොම පිහිටලා තියෙද්දී මීට වඩා වැඩි වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔබ පිටතින් රළු ගතියක් පෙන්නන, කලබලෙන් වැඩකරන කෙනෙක්” මෙවැනි දෑ කීමෙන් ගනුදෙනුකරුවෝ ඔහු ගැන වහා පැහැදුන හ. මීට හේතුව ඉතාම මෘදු හදැති අය පවා තමන් ට රළු ස්වභාවයක් ඇති බව ඇසීමට ඇති කැමැත්තයි. 

එදින රටකජු වෙළෙන්දා සිය පන්දම නිවා දමා නිවාස බලා යන්නට සැරසුණේය. මෙය නැකත්කරුටත් තම බඩු මුට්ටු එකලස් කර පිටත්ව යාමට සංඥාවක් වූයේ පන්දම නිවූ පසු ඔහුට ඉතිරි වූයේ දුරකින් වැටුණු කුඩා කොළ පැහැති ආලෝක තීරුවක් පමණක් වූ බැවිනි. කවඩි බෙල්ලන් සහ අනෙකුත් දෑ එකතු කරගත් ඔහු, ඒවා තම මල්ලට දමද්දී ම තමන් ඉදිරියේ වූ කොළ පැහැ ආලෝකය අවහිර වනු ඔහුට පෙනුණි. ඔහු ඉදිරියේ මිනිසෙකු සිටගෙන සිටියේය. මේ ගනුදෙනුකරුවකු විය හැකි බැවින් ඔහු මෙසේ කීවේය. 

“ඔබට මහන්සි පාටයි, ටිකක් ඉඳගෙන මාත් එක්ක කතාකරමු.” 

ඊට පිළිතුරු ලෙස අනෙකා පහත් හඬින් යම් අවලාදයක් කීවේය. නැකත්කරු තවදුරටත් තම ආරාධනය ඉදිරිපත් කළ විට අමුත්තා තම අත්ල ඔහුගේ මුහුණටම දිගු කර මෙසේ කීවේය.

“තමුසේ හිතාගෙන ඉන්නේ මහා ලොකු සාස්තරකාරයෙක් කියලාද?” 

නැකත්කරු ට දැනුණේ තමන් ව අභියෝගයට ලක් කරන ලද බවකි. ඔහු අමුත්තාගේ අත්ල ආලෝක තීරුව පැත්තට හරවා “ඔබේ ගති ස්වභාවය අනුව..” යැයි කියන්නට පටන් ගත්තේය. 

“අනේ මේ, ඕක නවත්තාගන්නවා! මට වැඩක් ඇති දෙයක් කියනවා!” අමුත්තා ගෝරනාඩු කළේය. 

මෙය අසා අපගේ නැකත්කාර මිතුරාට නොරිස්සුමක් දැනුණි. 

“මම එක ප්‍රශ්නයකට අය කරන්නේ පයිස තුනයි, ඒ මුදලට සාධාරණ දෙයක් ඔබට ලැබෙයි.”

මෙය අසා අමුත්තා තම අත වැරෙන් ඉවත් කර අන්නාවක් ගෙන එය නැකත්කරු වෙත දමා ගැසුවේය. “මට ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න, හැබැයි තමුසේ බොරු කිව්වොත් මට මගේ සල්ලි ආපිට ඕන පොළියත් එක්ක,” ඔහු කීය. 

“මම දෙන උත්තර හරි නම් ඔබ මට රුපියල් පහක් දෙනවා ද?” 

“බෑ” 

“එහෙනම් අන්නා අටක්?”

“හරි, හැබැයි තමුසේ වැරදි නම් මට ඒ වගේ දෙගුණයක් ආපිට දෙන්න ඕන.” 

තවත් තර්ක රහිත ව මේ ගනුදෙනුවට දෙපාර්ශවය ම එකඟ විය. නැකත්කරු දෙවියන්ට යාඥා කරද්දී අනෙකා බීඩියක් දල්වා ගත්තේය. නැකත්කරු අමුත්තාගේ මුහුණ දුටුවේ ගිනිකූර දැල්වෙද්දී විහිදුණු එළියෙනි. මාවතේ මෝටර් රථ වෙතින් ඇසෙන නළා හඬ, අස්රිය රියැදුරන් අශ්වයන්ට නොසරුප් වදනින් බනින හඬ සහ මග යන එන්නන්නගේ ඝෝෂාව නිසා උද්‍යානයේ පැතිරුණු අඩ අඳුර කැළඹෙමින් තිබිද්දී ඔහු මොහොතක් නිසොල්මන් විය. අමුත්තා නොසැලකිල්ලෙන් බීඩිය උරමින්, දුම් පිඹිමින් ඔහු ඉදිරිපසින් ඇන තබාගෙන සිටියේය. නැකත්කරුට මහත් අපහසුතාවයක් දැනුණි. 

“මෙන්න ඔබේ අන්නාව අරගන්න, මට වැඩිය පුරුදු නැහැ ඔය අභියෝග. අනික දැන් පරක්කු වෙලා…” ඔහු තම බඩු මුට්ටු එකතු කරගන්නට පටන් ගත්තේය. 

එහෙත් අමුත්තා වැරෙන් ඔහුගේ අතින් අල්ලා ගත්තේ ය. 

“තමුසෙට දැන් මේකෙන් ගැලවෙන්න බැහැ, මම මෙතැනින් යද්දී තමුසෙම නේ මාව නවත්තාගත්තේ!”

ඒ ග්‍රහණයට මැදි වූ නැකත්කරු වෙව්ලන්නට විය. කොඳුරමින් කතා කළ ඔහුගේ කටහඬ බිඳුණි. 

“අදට මට යන්න දෙන්න, මම හෙට ඔහේ එක්ක කතා කරන්නම්.”

නමුත් අමුත්තා තම අත්ල ඔහු වෙත පා මෙසේ කීවේ කේන්තියෙනි. “අභියෝගේ නම් අභියෝගේ, හරි! අනාවැකි කියනවා බලන්න”

තම උගුර කට වියළී යන බවක් නැකත්කරු ට දැනුණි. 

“ඔහේ ගේ පවුලේ ඈතින් නෑදෑ වෙන ගෑනු කෙනෙක් ඉන්නවා…” ඔහු කියන්නට පටන් ගත්තේය. 

“ඕක නවත්තා ගන්නවා,”අනෙකා කෑ ගගැසුවේ ය. “මට ඒවා වැඩක් නැහැ, මම දැන් හොයමින් ඉන්නා දේ මට හම්බවෙනවාද විතරක් කියනවා. ඒකට උත්තර දීලා තමුසෙට යන්න පුළුවන්. හැබැයි තමුසේ ඒකට උත්තරේ කියන කම් මම තමුසෙගෙ ඔක්කොම කාසි ටික ගන්නවා.”

නැකත්කරු ස්ත්‍රෝත කීපයක් මුමුණා ඉනික්බිති මෙසේ කීවේය. 

“හරි, මම උත්තර දෙන්නම්, හැබැයි මම කියන දේ පිළිගන්න පුළුවන් නම් මට රුපියලක් දෙන්න ඕන, නැත්නම් මම කට අරින්නේ නැහැ, ඔහෙට කැමති දෙයක් කරන්න පුළුවන්.” 

සෑහෙන වෙලාවක් කේවල් කිරීමෙන් අනතුරුව අනෙකා මීට එකඟ විය. නැකත්කරු මෙසේ ඇසීය.

“ඔහේ මැරෙන්න කියලා අත ඇරලා දාලා හිටිය කෙනෙක්, මම හරි ද?”

“තව විස්තර කියනවා බලන්න.”

“ඔහේට පිහි ඇනුමක් වෙලා තියෙනවා.”

“තමුසේ මරු මිනිහෙක් නේ!” අමුත්තා තම කමිසය ගලවා කැළල පෙන්වමින් කීවේය. “තව මොනවාද?”

“ඉන්පස්සේ කිට්ටුව පිට්ටනියක තිබුණු ළිඳකට ඔහේ ව තල්ලු කරලා දාලා මැරෙන්න ඇරලා තිබුණා.”

“පාරේ ගිය කෙනෙක් මාව අහම්බෙන් දැක්කේ නැත්නම් එදා මාව මැරෙනවා,” මෙය අසා අනෙකා උද්යෝගයෙන් මත් වී කෑ ගැසුවේය. “කියනවා! මට කවදාද ඌව අහුවෙන්නේ?” ඔහු ඇසුවේ අත මිට මොළවමිනි.

“ඒක නම් සිද්ධ වෙන්නේ එහා ලෝකෙදි” නැකත්කරු පිළිතුරු දුන්නේය. “මීට මාස හතරකට කළින් ඈත නගරෙකදී ඔහේට පිහියෙන් ඇන්න ඒ මනුස්සයා මළා. ඔහෙට ආයෙත් කවදාවත් එයාව හම්බවෙන්නේ නැහැ.” මෙය අසා අනෙකා සිත් තැවුලෙන් කෙඳිරි ගෑවේය. 

“ගුරු නායක්-” 

“තමුසේ මගේ නම දන්නවා!” අමුත්තා කීවේ පුදුමයෙනි.

“අනෙත් හැම දේම වගේම මම ඒකත් දන්නවා. ගුරු නායක්, මම කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. ඔහේ ගේ ගම මෙතැන ඉඳන් උතුරට දවස් දෙකක දුරක්. ඊළඟ කෝච්චියේ නැගලා ගමට යන්න. ආයෙත් වතාවක් ගෙදරින් පිටවුනොත් තමුන්ගේ ජීවිතේ අනතුරේ.” ඔහු දෑඟිලි අතරට ශුද්ධ වූ අළු බිඳක් ගෙන එය අනෙකා වෙත පෑවේය. “මේක තමුන්ගේ නළලේ ගාගෙන ගෙදර යන්න. ආයෙත් කවදාවත් මේ දකුණු පළාතට එන්න එපා, එහෙම නෑවිත් හිටියොත් ඔහෙට අවුරුදු සීයක් ජීවත් වෙන්න පුළුවන්.” 

“මම ආයෙත් මොකට ගෙදරින් යනවාද?” අමුත්තා කල්පනා බරව කීවේය. “මම එහෙ මෙහෙ ගියේ මට මේ විපත කළ එකා හොයලා උගේ බෙල්ල මිරිකන්න.” ඉනික්බිති ඔහු පසු තැවීමෙන් හිස සැලීය. “ඌ මගෙන් බේරුණා. අඩුම ගානේ ඌ කළ දේ පටිසන් දීලා මළා නම් මට ඒ ඇති.” 

“ඔව්.” නැකත්කරු පිළිතුරු දුන්නේය. “එයා මැරුණේ ලොරියක හැප්පිලා.” මේ පුවත අසා අනෙකා සතුටු වූ බවක් පෙනුණි. 

නැකත්කරු තම ආම්පන්න මල්ලට දමාගනිද්දී හාත්පස හිස් ව පැවතිණි. ඔහු ඉදිරියේ වැටී තිබුණු කොළ පැහැති ආලෝක තීරුවත් ඒ වෙද්දී අතුරුදන් ව තිබුණු නිසා දසත පැතිරුණේ අඳුර සහ නිහඬ බව යි. ඔහුට කාසි අහුරක් දීමෙන් අනතුරුව අමුත්තා අඳුරේ නොපෙනී ගියේ ය. නැකත්කරු නිවසට එළඹෙද්දී මැදියම් රැය ද පසු වී තිබිණි. එළිපත්ත මත ඔහු එනතුරු බලා සිටි ඔහුගේ බිරිඳ ඔහු පමා වීමට හේතු කාරණා විමසා සිටියා ය.

“මෙන්න මේ සල්ලි ගණන් කරලා බලන්න, එක මිනිහෙක් ඔය ඔක්කොම දුන්නේ” ඔහු කාසි අහුර ඇය වෙත වීසිකරමින් කීවේය. 

“මෙතැන අන්නා දොළහමාරක් තියෙනවා,” ඈ සතුටින් ඉපිලෙමින් කීවාය. “මට එහෙනම් හෙට හකුරු ටිකකුයි පොල් ගෙඩියකුයි ගන්න පුළුවන්. පොඩි එකී දවස් ගාණක ඉඳන් පැණිරස කෑමක් හදලා දෙන්න කියලා ඉල්ලනවා, දැන් මට පුළුවන් ඒකිට රසකැවිල්ලක් හදලා දෙන්න” 

“ඒ කපටි මිනිහා මට වංචා කළා…ඌ මට රුපියලක් දෙනවා කියලායි පොරොන්දු වුණේ…” නැකත්කරු කීය. 

“ඔයා හිත කරදරයෙන් ඉන්න පාටයි, මොකක්ද ප්‍රශ්නේ?” ඔහුගේ බිරිඳ ඔහු දෙස බලමින් ඇසුවාය. 

“මුකුත් නැහැ” 

රාත්‍රී ආහාරයෙන් පසු, මිටි බංකුවේ අසුන්ගෙන සිටියදී ඔහු ඈට මෙසේ කීවේය. 

“ඔහේ දන්නවාද? අද මගේ හිතේ තිබුණු ලොකු බරක් අයින් වුණා. මේතරම් කල් මම හිතාගෙන හිටියේ මගේ දෑතේ එක මනුස්සයෙක්ගේ ලේ ගෑවිලා තියෙනවා කියලා. මම ගෙදරින් පැනලා ඇවිත්, මෙහෙ පදිංචි වෙලා, ඔහේ ව කසාද බැන්ද හේතුවත් ඒකයි. ඒත් බලද්දී ඒ මිනිහා මැරිලා නැහැ.”

“ඔයා මිනිහෙක් ව මරන්න හැදුවා?” ඈ විමතියෙන් ඇසුවා ය. 

“ඔව් අපේ ගමේ දී, ඒ මම මෝඩ වැඩ කරපු තරුණ කාලේ. ඒ කාලේ අපි  බිව්වා, සූදු කෙළියා, දවසක් ලොකු රණ්ඩුවක් ගියා- ඒත් දැන් මොකටද ඒ ගැන කල්පනා කරන්නේ? අපි නිදාගමු,” 

මෙසේ කියා ඈනුමක් හරිමින් ඔහු මිටි බංකුවේ දිගා විය. 


පරිවර්තනය-  හෙල්මලී ගුණතිලක 

Translation of ‘An Astrologer’s Day’ by R. K Narayan 

Picture Gemini AI



November 15, 2025

The Girls Who Grow Antlers by Ellanya Sivasubramaniam




අගෝස්තු අග භාගයේදී
පාසලේ යුවතියන් තිදෙනෙකුට
හදිසියේම අං තට්ටු මතුවිය
මේ රූපක භාවිතයක් නොවේ
ඒවා සැබවින්ම
අස්ථියෙන් සැදුණු ඒවා විය

මුලින්ම නළලත
කැළලක් වැනි මොට්ටුවක් මතු විය
ඉනික්බිති නිහඬ ව, සෙමෙන්
ඒවායේ අතු බෙදුනේ
තම මානය තීරණය කරන
ගස් විලසිනි
සැප්තැම්බර් වෙද්දී
ඔවුන් ඒවා පැලැන්දේ
නොඉල්ලා ලැබුණු ඔටුණු විලසිනි

දොරටු වලින් ඇතුල්වෙද්දී
ඔවුන් පහත් වන අයුරු
අං පැටලී ඔවුන්ගේ ස්වෙටර්
ඉරී යන අයුරු
නොදැක්කා සේ අපි සිටියෙමු
ගුරුවරු මේ ගැන රැස්වීම් පැවැත්වූහ
පාසලේ හෙදිය
ඒවායේ සේයාරූ ගත්තේ 
ලේඛනගත කිරීම් සඳහායි
ඉන් එක් යුවතියක් දැන් පාසැල් නොපැමිණේ

තවත් එකියක්
පාන් කපන පිහියකින්
තම අං තට්ටුව කපා දමන්නට තැත් කළා ය
ගණිත පාඩම අතරමැද දී
ඇයට පිටවී යන්නට වූයේ
ඇගේ හිසකේ මැදින්  
තවත් අනතුරු ඇඟවීමක් ලෙසින්
ලේ ගලන්නට වූ බැවිණි

අනෙත් යුවතිය
තම අංතට්ටුවට
රිසි සේ වැඩෙන්නට ඉඩ හැරියා ය
සීත කාලයේදී එහි අතු අතර
විදුලි බුබුළු වැල් පැටලුවා ය
අන් අය ‘ගෝනා’යැයි විහිළු කළ විට
ඊට සිනාසුණාය

මේ සංසිද්ධිය ඇරඹුණු අයුරු ගැන වත්
එහි වේදනාවක් ඇති නැති බව ගැනවත්
කිසිවෙකු කතා කරන්නේ නැත
නමුත් වෙලාව බලන තරම් නිරතුරුවම
වැසිකිලි වලදී
අප නළලතට ඇඟිලි තුඩු තබා
තියුණු යම් දෙයක්
මතුවෙමින්දැයි
සොයමු


The Girls Who Grow Antlers
by Ellanya Sivasubramaniam
අනුවර්තනය - හෙල්මලී ගුණතිලක 

පහළොස් හැවිරිදි Ellanya Sivasubramaniam ගේ The Girls Who Grow Antlers කවිය, ලොව පුරා වයස 11-17 අතර නිර්මාණකරුවන් වෙනුවෙන් පැවැත්වෙන Foyle Young Poets තරඟයේ 2025 වසරේ විශිෂ්ඨ ම කවි 15 අතරට තේරී ඇත. මේවා තේරී තිබුණේ රටවල් 135කින් යොමු වූ කවි 28344 අතරිනි. Ellanya එංගලන්තයේ රීඩින් නගරයේ වෙසෙන්නියකි. 

Image- Gemini

November 08, 2025

ලොක්කාට ජය වේවා!


කල්කටාවේ බොහෝ වෙළඳ සමාගම් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය වන විවිධ ඖෂධීය පැලෑටි ලබා ගැනුණේ ඈත ගම්මානවල ගැමියන්ගෙනි. අත්පිට මුදලට කෙරුණු මේ ගනුදෙනු වැදගත්කමෙන් අඩු ලෙස සැලකුණු නිසා පොත්පත් වල මේ සැපයුම්කරුවන්ගේ නම් මිස ලිපිනයන් සඳහන් නොවූ තරම් විය. මේ කාර්යය භාරව සිටියේ ආයතනවල කනිෂ්ඨ ලිපිකරුවන් වූ අතර මේ ගනුදෙනුකරුවන් කිසි දිනක අංශ ප්‍රධාන ප්‍රධාන ලිපිකරු තබා වෙනාත් ජ්‍යෙෂ්ඨ ලිපිකරුවකුවත් දුටුවේ නැත. 

හරිපාද ප්‍රථම වතාවට තමන්ගේ ගනුදෙනු ක්‍රියාවලියේ අතරමැදියා වන නාගු ව මඟ හැර තමන්ගේ ඖෂධීය පැලෑටි තොගය නගරයේ කාර්යාලයට ගෙන යාමට තීරණය කළේ ය. ඔහුගේ ගම්මානයේ මෙවැනි පැලෑටි බහුල ව තිබුණු අතර ඒවා මෙසේ විකිණීමට ඔහුට මුලින්ම ඔත්තුව දුන්නේත් නාගු ම විය. මේ සඳහා ගැලපෙන්නේ කුමන පැළෑටිදැයි  තෝරා ගැනීමට ගම්මානයේ වෙදහාමිනේ වූ ශාන්ති ඔහුට ගුරු හරුකම් ලබා දුන්නාය. නමුත් හැම රාත්තල් සියයකටම රුපියල් දෙකක ලොරි කුලියක් ද නාගු ට ගෙවන්නට සිදු වූ බැවින් හරිපාද ට මින් වැඩි ලාභයක් ලැබුණේ නැත. මේ නිසා මේ වසරේ ඔහු තම පැලෑටි තොගය නාගු ට නොදී එකතු කරන්නට විය. නාගු මේ ගැන කීප වරක්ම විමසුවේය. 

“තමුසේ කරන වැඩෙන් ඔය බෙහෙත් බඩු ටික කුණු වෙනවා. ඔය කපොක් මුල්, සුදු පාර්පතී පැල එහෙම මාස හයකට වඩා තියාගන්න බැහැ, නරක් වෙනවා. ඉන්පස්සේ මිළ දෙගුණයකින් අඩු කරලා විකිණුවත් කවුරුවත් ගන්නේ නැහැ. මට දෙනවා, මං ඔය තොගයම කල්කටාවේ ගබඩාව ට යවන්නම්.”

නමුත් හරිපාද, නාගු සිතූ තරම් මෝඩයෙකු නොවීය. 

“නාගු මේ බෙහෙත් බඩු එකතු කරන්න මහන්සි වෙන්නේ වත් නැති එකේ ඌ ට මොකටද වැඩි ලාබය දෙන්නේ?” ඔහු තමාටම කියා ගත්තේය.

ඖෂධීය පැලෑටි මිළදී ගන්නේ හින්දුස්ථාන් සමාගම බව නගරයට එළැඹුණු විට හරිපාදට ආරංචි විය. ඔහු කෙලින්ම එහි කාර්යාලය වෙත ගිය නමුත් එහි දුටු දසුනින් මඳක් පසු බෑවේය. බැලූ බැලූ අත සේවකයන්, දොරටුපාලකයින්, විදුලි සෝපාන, නිරතුරුව හඬ දෙන දුරකථන සහ මහා දවාලේත් දැල්වුණු විදුලි බුබුළු පෙනුණි. මේ බරපතල රාජකාරිය නාගුට ම පැවරුවා නම් යැයි ඔහුට සිතෙන්නට විය. අන්තිමේදී ඔහු මඟ අසාගෙන නියමිත අංශය වෙත පැමිණුනි.

ඖෂධීය පැලෑටි මිළදී ගැනීම භාර ව සිටියේ තරුණ ලිපිකරුවෙකි. ඔහු භාණ්ඩ තොගය පරීක්ෂා කර ලබා දුන් මිළ පෙර ඔහු රාත්තල් සියයට ලැබූ මිළට වඩා අන්නා අටකටත් වඩා වැඩි බව හරිපාද ට වැටහිණි. පැළෑටි තොගයේ බර කිරුමට තරමක වෙලාවක් ගත විය. 

“ඔහේ ට කාසි ද ඕන නැත්නම් චෙක් එකක් ද?” ලිපිකරුවා විමසීය. “කාසි ඕන නම් හෙට එන්න වෙනවා. මම අවශ්‍ය වැඩ ටික කරලා තියන්නම්. මේ රිසිට් එක අරගෙන ගිහින් හෙට ප්‍රධාන ලිපිකාර මහත්තයාගෙන් අත්සනක් දාගෙන අර කවුන්ටරේට අරන් ගිහින් සල්ලි ගන්න.”

පසු දා පඩි දිනය වූ බැවින් මුදල් ලබාදෙන කවුන්ටරයේ මහා සෙනඟක් විය. සීල් තබන ලද ලියුම් කවර මත සේවකයන්ගේ නම් යතුරු ලියන කර තිබිණි. 

“නම? රාම් ශාරන් පාල්? මෙන්න කවරේ” මෙසේ කියමින් ලිපිකරුවා ලියුම් කවර බෙදා හැරියේය. ක්‍රම ක්‍රමයෙන් ලියුම් කවර මිටිය අඩු විය. ඇතැම්හු නික්ම යාමට පෙර තම කවරයේ වූ මුදල ගණන් කළහ. 

H. P. B මුලකුරු සඳහන් ලියුම් කවරයක් හරිපාද ගේ අතට ලැබිණි. ඔහුට නම් එය විවර කර මුදල් ගණන් කිරීමට ලැජ්ජා සිතිණි. මෙවැනි විශාල ආයතනයකට ගණන් වරදින්නට ඇති ඉඩ කුමක්ද? වැඩියත්ම ඔවුන් තම නම පවා කවරයේ සටහන් කරන්නට තරම් මහන්සි වූ විට!

නමුත් හරිපාද සීල්දා දුම්රිය පළ වෙත පැමිණි විට තම කවරය විවර කර මුදල් ගණන් කළ යුතු බව ඔහුට සිතෙන්නට විය. එසේ බැලු විට ඔහුගේ පුදුමය කෙතරම් වී ද යත්, සිය දෙපා පණ නැති වී ඔහුට අසුන් ගැනීමට සිදුවිය. රුපියල් හතළිහක් වෙනුවට එහි රුපියල් එක්දාස් එකසීයක් විය! වහා වටපිට බැලූ ඔහු හැකි ඉක්මනින් මුදල් නෝට්ටු තම සාක්කුවට ඔබාගෙන දිවගොස් නවතා තිබුණු දුම්රියකට ගොඩවිය.

රුපියල් එක්දාස් එකසීයක මුදල ඉතා සරල ගැමියෙකු වූ හරිපාද ට විශාල මුදලක් විය. මේ නම් දෙවියන්ගේ තෑග්ගක් බව ඔහු කල්පනා කළේ ය. තම ජීවිතයේ ඉතිරි කාලයම ඖෂධ පැලෑටි විකිණුවත් ඔහුට මේ මුදල එකතු කර ගනු නොහැකි වනු ඇත. සැබවින්ම ඒ, වාසනාව ඔහු ව සොයා ආ දිනයකි! ඔහුට මේ පුවත තම බිරිඳට පවසන තෙක් ඉවසුමක් නොමැති විය. දුම්රියේ ගමන ඉතා සෙමින් සිදුවන බවක් ඔහුට දැනුණි

ආයතනයේ සේවකයන් වැඩි කල් නොගොස් මේ අත්වැරැද්ද සොයා ගනු ඇති බව හරිපාද කල්පනා කළේ ය. නමුත් ඔවුන්ට තමන් ව සොයාගනු නොහැකි වන්නේ ඔහුගේ ලිපිනය ආදී විස්තර ඔවුන් සතුව නොවූ බැවිණි. කෙසේ වෙතත් මේ මුදල් නෝට්ටු තම සන්තකයෙන් ඉවත් කරගත යුතු බව ඔහු සිතුවේය. 

හරිපාද ගේ බිරිඳ, ආශාලතා මේ නෝට්ටු මිටිය දෙසත් ඔහු දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ කිසිත් වටහාගනු නොහැකි වූ ලෙසිණි. 

“මේ වගේ වැරදි නොවෙන්න මොකක් හරි වැඩ පිළිවෙලක් දාලා නැද්ද ඔය කොම්පැනි වල?” අවසානයේදී ඈ විමසුවා ය. 

“ලොකු කන්තෝරු වල තමයි මේ වගේ දේවල් ලේසියෙන් වෙන්නේ,” ඇගේ සැමියා පැහැදිලි කළේ ය. “නීති රීති වැඩි වෙද්දී ඒවායින් රිංගන්න පුළුවන් හිඩැස් වැඩි වෙනවා. ඔය කොටසේම සේවකයෝ පනහක් සීයක් වැඩ කරනවා, ඉතින් චෙක් කඩදාසි ම වුණත්  සෑහෙන්න තියෙන නිසා මේ වගේ දේවල් වෙන්න පුළුවන්.” 

“ඒත් මේ නෝට්ටු වල අංකයක් තියෙනවා නේද?” ආශාලතා නැවතත් ඇසුවාය. “මේ නෝට්ටු හොයලා දෙන්න කියලා පොලිසිය නිවේදනයක් කළොත් මොකද කරන්නේ? මම නම බය ඒකටයි.” 

“බය වෙන්න එපා. මම හිතන්නේ නැහැ රුපියල් සීයේ නෝට්ටු වල අංක ඔය තරම් ලොකු කොම්පැනියකින් ලියලා තියාගනී කියලා. කොහොමටත් මම හෙට සිරාජ්ගුන්ජු මාමා හම්බවෙන්න ගිහින් ඒ ටික මාරු කරගන්න ඉන්නේ. හොඳම වැඩේ කියන්නේ මේ කොම්පැනියේ මගේ තැපැල් විස්තර නැහැනේ, ඒ නිසා මාව අල්ලන්න බැහැ!”

මේ පැහැදිලි කිරීමෙන් හරිපාද ගේ බිරිඳ සෑහීමට පත් වූ බව පෙනුණි. 

“එහෙනම් ඔය නෝට්ටු ටික මාරු කරගන්න කොහොම හරි. අපි ඊළඟ පෝය දවසට සත්‍ය නාරායන් දෙවියන්ට පූජාවක් තියමු, උන්වහන්සේ අපි ගැන බලලා සන්තෝසෙන් ඇත්තේ.” 

හරිපාද ට මුදල් නෝට්ටු මාරු කරගැනීමට දුෂ්කර වූයේ නැත. කපටි සිතින් යුතුව, මේ මුදල් ලැබුණු ක්‍රමයක් තම මාමා ට හෙළි නොකර, ව්‍යාපාරයක් ඇරඹීමට තමන්ට උරුමයෙන් ලැබුණු ඉඩමක් විකිණූ බව පමණක් ඔහු කීවේය. එමෙන්ම සත්‍ය නාරායන් දෙවියන්ට පූජාවක් තැබීමට ද ඔහුට අමතක විය. මාසයක් ගත වූ තැනත් මේ සම්බන්ධයෙන් කිසිම කැළඹුමක් ඇති නොවූවත් හරිපාද නම් පසු වූයේ මහත් චකිතයෙනි. තමන් මේ මුදල තබා ගැනීම වැරදි ද? ඒ වෙද්දී ඒ කන්තෝරුවේ සේවකයන් මේ අත්වැරැද්ද ගැන සොයාගෙන ඇති බව නිසැක විය. මෙහි සම්පූර්ණ වගකීම තමන්ට මුදල් දුන් කනිෂ්ඨ ලිපිකරුවාට පැවරී තිබෙනු හැකි බවත් බොහෝ විට ඔහුට රැකියාව අහිමි වන්නට ඉඩ ඇති බවත් ඔහුට සිතුණි. 

කාලය ගෙවෙද්දී මේ සිදුවීම ගැන හරිපාද ගේ සිත් තැවුල ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට විය. මුලදී, පොලීසිය හෝ එකී සමාගම පැමිණ මේ මුදල තමන්ගෙන් උදුරා ගනී යන බියෙන් පසුවෙද්දී එය තමා සතුව තබාගැනීම වරදක් හෝ පාපයක් ලෙස ඔහුට හැඟුණේ නැත. නමුත් කල් ගත වෙද්දී ඒ බිය පහව ගිය අතර වෙනත් කැළඹුමක් ඔහුගේ සිතේ අරක් ගත්තේය. ඒ, සොරකම් කරන ලද මුදලකට තමන් අයිතිවාසිකම් කීමයි.

මෙලෙස සය මසක් ගත විය. මේ මුදල ආපසු ගොස් භාර දීම ගැන ඔහු නොයෙක් වර කල්පනා කළේය. නමුත් ඒ රුපියල් එක්දාස් එකසීයෙන් ඔහුට ආරම්භ කළ හැකි අපූරු සිල්ලර බඩු වෙළඳ සැල ගැන ඊළඟ මොහොතේ ඔහුට සිහි විය. ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය දැක මේ වරම ලබා දුන්නේ දෙවියන් විය හැකි ද? එසේ නම් මේ මුදල තමා සතුව තබා ගැනීම සුදුසු විය.

මුදල ආපසු භාර දීමට වැඩිම විරෝධයක් මතු වූයේ හරිපාද ගේ බිරිඳගෙනි. තම සැමියා ඒ ගැන කල්පනා කරන බව දැනුණු වහාම ඈ මහා කලබලයක් ඇති කළා ය. දිළිඳු දෙමව්පියන්ගේ දරුවෙකු ව ඉපිද, දිළිඳු මිනිසෙකු සමඟ විවාහ වී සිටි ඇයට ඒ රුපියල් එක්දාස් එකසීය මහා මෙරක් සේ විය. 

“උඹට තේරෙන්නේ නැද්ද? අපි මේ සල්ලි ලබා ගත්තේ රැවටීමකින්. ඒ බව තේරුණු දවසේ ඉඳන් මට නින්ද යන්නේ නැහැ. මට මේක උහුලාගෙන ඉන්න බැහැ. ඒ රුපියල් එක්දාස් එකසීයෙන් අපි හැමදාම ජීවත් වෙන්නයැ. ඔන්නොහෙ ඒක ආපිට දීලා දාමු” ඔහු ඇයව එකඟ කරවා ගැනීමට කරුණු දැක්වූයේ ය. 

“මොකක්ද මෙතැන රැවටිල්ල?” ඈ පිළිතුරු දුන්නා ය. “ලක්ෂ්මි දේවතාව අපේ ගෙදරට ඇතුල් වෙද්දී අපි ඈ ව පිටමං කරන්න ඕන ද? අපි කාවවත් රැවැට්ටුවේ නැහැනේ. මේක එයාලගේ වරදක්, අපේ නෙමෙයි. අනික ඔය වගේ ලොකු කොම්පැනියකට රුපියල් එක්දාස් එකසීය මොකක්ද? ඒ වගේද අපිට? අපිට ඒක ජීවිත කාලෙටම ඇති. ඔහේ බෙහෙත් පැලෑටි හොයන්න තිස්සෙම අකුල් අස්සේ රිංගලා, බලනවා හැටි! මේ සල්ලි වලින් කඩයක් ඇරලා සැනසිල්ලේ ඉන්න පුළුවන්.”

තම බිරිඳ ගේ මේ අදහස් හරිපාද ට මහත් කන්කරච්චලයක් විය. තමන් ඇයට වෙළඳ සැලක් ආරම්භ කිරීමේ අදහස ගැන කීවේ ඇයිදැයි ඔහු කල්පනා කළේ ය. එහෙත් ඇගේ මුහුණේ පීඩිත බව දකිද්දී, ඇගේ ඉල්ලීමේ දුක්ඛිත බව ඇසෙද්දී ඒ මුදල තමා සතුව තබාගත යුතු යැයි ඔහුට නැවත සිතෙන්නට විය. ‘මේ අවාසනාවන්ත ගෑනිට මට කවදාවත් සතුටක් දෙන්න බැරි වුණා, ඒ නිසා මේ කඩේ ඇරලා වත් අපේ ප්‍රශ්න විසඳාගන්න ඕන’ ඔහු සිතුවේය. ‘ආශාලතා තාම තරුණයි, ඒත් ඈ ජීවිතේ කිසිම සතුටක් විඳලා නැහැ. එයා වෙනුවෙන් මම මේ පාපය කරනවා’

දිවා කාලයට මෙසේ සිතුණත් රාත්‍රියේ මුළු ගම්මානයම නිහඬ බවේ ගිලී ගොස්, ආශාලතා තමා අසල තද නින්දේ පසුවෙද්දී හරිපාද ගේ සිතිවිලි වෙනස් විය. තමන් කර ඇත්තේ සොරෙකු වීම සාධාරණීකරණය කිරීමට අවශ්‍ය හේතු කාරණා සොයා ගැනීම පමණක් බව ඔහුට ඒ අවස්ථාවලදී සිතුණි. ගැහැනුන් නම් වන අමුතු ජීවින් කොටස කල්පනා කරන්නේ මුදල්, රන් අභරණ සහ ගෘහස්ථ කටයුතු ගැන පමණක් බව ඔහු සිතුවේය. කෙසේ හෝ ඒ මුදල ආපසු භාර දුන්නොත් තමන්ගේ ආත්ම වංචාව අවසන් වනු ඇත. 

කල් ගතවෙද්දී තමන්ට තම බිරිඳ නුරුස්සන බව හරිපාද ට වැටහිණි. තම ආදරණීය ආශාලතා! ඈ දැකීමෙන් ඔහුට කිසි සතුටක් දැනුණේ නැත. මෙවැනි තත්ත්වයකට ඔහු පත් වූයේ කෙසේද?

ඔවුන්ගේ වසු පැටවා මිය ගියේ මේ කාලයේදී ය. 

හරිපාද ට ඒ ගැන පුදුමයක් දැනුණේ නැත. මෙවැනි ගැහැනියක් වෙසෙන ගෙදරක එවැනි දේ බලාපොරොත්තු විය යුතු බවත්, ඇගේ පාප ඇසුර නිසා ඔහුට සිදුවන්නේ අගතියක් පමණක් බවත් ඔහුගේ මතය විය.

බිරිඳ ගැන දැනුණු මේ අප්‍රසාදය හරිපාද ගේ එදිනෙදා හැසිරීම ක්‍රම ක්‍රමයෙන් වෙනස් කළේය. ඔහු නිරන්තරයෙන් ඇයට දොස් පවරන්නට විය, කුඩා දේටත් ඇගේ ඇඟට කඩා පැන්නේය. අශාලතා ට මේ හැසිරීම තේරුම් ගන්නට නොහැකි විය. සැමියාගේ මේ වෙනස් වීමට හේතු විය හැක්කේ කුමක්ද? හිරු උදාවේ සිට හිරු බැස යන තෙක්ම තමන් මහන්සි වූවත් ඒ ගැන කරුණාවන්ත වදනක් පවසනු වෙනුවට ඔහු කුඩා දේටත් ඇයට බැණ වදින්නේ ඇයි? 

පසුගිය මාසයක කාලයක් තුළදී හරිපාද තමන්ට අනිසි ව ලැබුණු මුදලෙන් රුපියල් තිහක් හෝ හතළිහක් වියදම් කර තිබිණි. 

“මේ මනුස්සයා ගිනි මද්දහනේ බෙහෙත් පැලෑටි හොය හොයා කැලෑ වල රිංගන නිසාද මන්දා අසනීප පාටයි, මම එයා ගැන මීට වැඩිය හොඳින් බලන්න ඕන” යැයි සිතූ ආශාලතා ඔහුගේ රාත්‍රී ආහාරය වෙනුවෙන් දිනපතා ලූචි බදින්නටත්, වෙනත් රස මසවුළු සකසන්නත් විය. 

දිනක් හරිපාද රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී ආශාලතා ඔහුට උණුසුම් කිරි බඳුනක් ගෙනත් දුන්නාය. හදිසියේම ලූචියක් හපද්දී දිව හැපී ඔහු වේදනාවෙන් කෑගැසීය. ඒ ගැන බිරිඳගේ විමසුම් වලට පිළිතුරක් නොදී වේදනාවෙන් ඇඹරී ගිය මුහුණින් යුතුව ඔහු මුනිවතින් පසුවිය. 

“මොකද වුණේ?” ඈ නැවතත් කලබලයෙන් විමසුවාය. 

“උඹ නිසා තමයි මේ හැම දෙයක්ම. මේ ගෙදර එළිපත්තට උඹේ හෙවණැල්ල වැටුණු දවසේ ඉඳන් විපත්මයි වෙන්නේ. අර වහු පැටියා මැරුණෙත් ඒකයි.. තව ..”මෙසේ කෑ ගැසූ හරිපාද, ලූචි විසිරී යන සේ වැරෙන් පිඟාන තල්ලු කර, හුන් තැනින් නැගිට, නිවසින් පිටව ගියේය. කිරි බඳුනත් අතැතිව ආශාලතා ගල් ගැසී ඒ දෙස බලාගත්වනම සිටියාය.

එදින හරිපාද නැවත නිවසට එද්දී බොහෝ රෑ බෝවී තිබිණි. තම බිරිඳ නිසොල්මන් ව බරාඳයේ සිටිනු ඔහු දුර සිටම දුටුවේය. ඒ වෙද්දී ඔහුගේ දිවේ වේදනාව සමනය වී තිබුණු අතර තමන් අතින් කියවුණු රළු වදන් ගැන ඔහුට පසුතැවීමක් දැනෙමින් තිබිණි. ඔහු ඈ වෙත ගොස් සෙමෙන් මේසේ කීවේය.

“කෝ, නැගිටින්න, ඔයා කේන්තියෙන්ද ඉන්නේ? කෑම කෑවා ද?” 

ආශාලතාගේ දෑසෙන් කඳුළු බේරුණු අතර ඈ තව දුරටත් නිහඬව සිටියාය. ඔහු මුදු ලෙස ඇගේ අත ස්පර්ශ කළේ ය. ඉනික්බිති ඈ සාරියේ කෙළවරකින් දෑස පිසදා අන්තිමේදී මෙසේ කීවාය.

“ඔතැනින් වාඩිවෙන්න, මට දෙයක් කියන්න තියෙනවා.” 

“මොකක්ද?”

“අර සල්ලි ආපිට ගිහින් දෙන්න. වියදම් වුණු ගාණක් මගේ වළලු දෙක උකස් කරලා හරි, විකුණලා හරි පියවාගමු. ඔය සල්ලි මේ ගෙදරට ආව දවසේ ඉඳන් අපේ ගෙදර සාමය පිටමං උනා. ඕක අපි ළඟ තියෙනකම් අපිට සැනසිල්ලක් නැහැ, හෙටම යන්න.” 

මුදල ගණන් කර බලද්දී ඉන් රුපියල් සියයක් වියදම් වී ඇති බව හරිපාද ට වැටහිණි. පසුදින බිරිඳ ගේ වළලු ද ගෙන කල්කටාවට ගිය ඔහු ඉන් කිහිපයක් විකුණාගැනීමට සමත් විය. හින්දුස්ථාන් ආයතනයට එළැඹි විට ඔහු කනිෂ්ඨ ලිපිකරු වෙත යනවා වෙනුවට කෙළින්ම ප්‍රධාන ලිපිකරුගේ කාර්යාලයට ගියේ කනිෂ්ඨ සේවකයා අතින් කළින් සිදු වූ අතපසු වීම නිසා ය. කාර්යාලයේ වෙන කිසිවෙකු නොවීය.

“මොකද?” නිලදරුවා විමසීය.

හරිපාද සම්පූර්ණ විස්තරයම පැවසුවේය. ප්‍රධාන ලිපිකරුට තම සවන අදහා ගන්නට නොහැකි විය. මේ මුදලේ අඩුව කාර්යාලය තුළ මහත් කලබගෑනියක් ඇති කර තිබිණි. මුල් වතාවේ හරිපාද එහි පැමිණ දෙදිනකට පසු ඒ වැරැද්ද සොයා ගැනුණු අතර ඔහුගේ විස්තර සොයන්නට ඔවුන් කෙතරම් වෙහෙස වූවත් ඉන් පලක් වූයේ නැත. අන්තිමේදී අදාළ කනිෂ්ඨ ලිපිකරුවාගේ මාස් පඩියෙන් රුපියල් තිහක් බැගින් කපන්නටත් ඔහුට වාර්ෂික දීමනාව ද අහිමි කරන්නටත් නියම විය. 

දැන්, ඊට මාස ගණනාවකට පසු මුදල් ගෙන අතුරුදන් වූ තැනැත්තා නැවතත් මුදල් රැගෙන පැමිණ ඇත! අවුරුදු පනස් දෙකක් වූ තම ජීවිත කාලය තුළදී ප්‍රධාන ලිපිකරු මීට පෙර මෙවැන්නක් දැක තිබුණේ නැත. 

“තමුසේ මුළු ගාණම ගෙනාවද? දැන් ඔක්කොම දෙනවාද? කළින් ආවේ නැත්තේ මොකද?” ඔහු ප්‍රශ්න කළේය. 

“එදා මෙතැනින් යද්දී එහෙම වැඩියෙන් සල්ලි ලැබුණු බව මම දැනගෙන හිටියේ නැහැ සර්, පස්සේ දැනගත්තාම මගේ තණ්හාව මාව අන්ධ කළා. අපි දුප්පත් මිනිස්සුනේ සර්” 

මුදල් ගණන් කර භාරගත් පසු හරිපාද එසැණින් යන්නට ගියේය. නමුත් ඒ වෙද්දී මේ අරුම පුදුම ආරංචිය කන්තෝරුව වටා පැතිරී තිබිණි. විස්තර දැනගැනීමට සෙසු සේවකයෝ ප්‍රධාන ලිපිකරුගේ කාර්යාලයට රොක් වූහ. 

“තමුසෙලා දන්නේ නැහැ හරියටම සිද්ද වුණ දේ” ලොක්කා සිනාසෙමින් පැවසීය. “මම මේ කොම්පැනිය වෙනුවෙන් කොයිතරම් මහන්සි වුණත් කවදාත් මට ප්‍රසිද්ධියක් ලැබිලා නැහැනේ. අර මිනිහා හිතන්න ඇති මාස කීපයක් ගත වුණු නිසා කාටවත් ඌව මතක නැතිව ඇති කියලා. ආයෙත් මොනවහරි විකුණන්න එන්න ඇත්තේ. මම දැක්ක ගමන් ඇහුවා ‘තමුසෙගෙ නම මොකද්ද, තමුසෙට නේද කළින් වතාවක වැඩිපුර මුදල් ලැබුණේ කියලා.’ මම ඕකාගේ අත්සනින් ඇඳිරුවේ. ඌ බයට සුදුමැලි වුණා. මම කිව්වා සල්ලි නොදුන්නොත් පොලිසියට කියනවා කියලා. ඌ බිස්නස් කාරයෙක්ද කොහෙද, උගේ ළඟ ඒ වෙලාවේ සල්ලි තිබුණා. කොහොමහරි ඌ සල්ලි දීලා ඉක්මණින් පැනලා දිව්වා!”

“ලොක්කාට ජය වේවා!” රැස්‌ ව සිටි සේවක පිරිස ප්‍රීති ඝෝෂා කළහ. 


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

Translation of the short story ‘Bravo to the Boss’ by Bibhuti Bhushan Banerji

Picture- Gemini