December 24, 2023

ස්තූතියි!


මේක මම වෙනදාට ලියනවාට වැඩිය වෙනස් සටහනක්. මේක ලියන්නේ කෙනෙකුට ස්තූතියි කියලා කියන්නයි. මම අඳුනන්නේවත් නැති සොයුරියක් මගේ Hot Chocolate Days facebook page  එකට දිග පණිවිඩයක් එවලා තිබුණා. ඉස්සර ඉඳන් දිනමිණ පත්තරේ මගේ කෙටිකතාත්, පරිවර්තිත කවිත් බොහොම ආසාවෙන් කියවන බවත් ඒ සාහිත්‍ය අතිරේක තාමත් එකතු කරලා තියෙන බවත් ඈ කියලා තිබුණා. ඈ මගේ බ්ලොග් එකෙත් යාව ජීව සාමාජිකාවක් ලු.

මගේ සහස් පියවර කෙටිකතා පොත ඒ කාලෙදිම කියවූ බවත් සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව කෙටිකතා පොත දැන් කියවමින් බවත් කියලා ඈ මේ පින්තූරේ එවලා තිබුණා. 

වෙනදාට මේ විදිහට ලැබෙන පණිවිඩ වලට අනෙත් පැත්තට පිළිතුරු යවන්න පුළුවන් වුණත් මේ සොයුරිය මේ  පණිවිඩය එවන්නමද කොහෙද facebook ඇවිත් ඉන්පස්සේ ඒ ගිණුම ක්‍රියා විරහිත කරලා තිබුණු නිසා මට ඈ ට පිළිතුරක් යවන්නවත් ඉඩක් ලැබුණේ නැහැ.

ඉතින් ඈ මගේ බ්ලොග් එක කියවන බව දන්නා නිසා මේ පණිවිඩේ ඈ ට.

දේදුනු නංගි, අද උදේම ඔයා එවූ සුන්දර පණිවිඩය මම කියෙව්වා. ඔයා ඉස්සර දිනමිණ පත්තරේ වසත් සුළඟ අතිරේකය කියවන්න මඟ බලාගෙන හිටිය බව අහලා මට සතුටක් දැනුණා වගේම ආයෙත් ඉතින් ඔයාලාට කියවන්න එහෙම අතිරේකයක් ඒ පත්තරේ පලවෙන්නේ නැති බව මතක් වුනාම දුකකුත් දැනුණා. මගේ පොත් දෙකම අරන් කියෙව්වාට, බ්ලොග් එක හොයාගෙන ඇවිත් කියවනවාට ස්තුතියි. ඒ වගේම මේ පණිවිඩය මට එව්ව එකට ආදරෙයි. හිතේ ආසාවට ලියන, පරිවර්තනය කරන මං වගේ කෙනෙක්ට මේ වචන තමයි තෑගි. ඉතින් ඒ තෑග්ගට ස්තූතියි.

තව දෙයක්, ඔයා බලාපොරොත්තු වෙන 'සුළු ප්‍රාතිහාර්යය' මහා ප්‍රාතිහාර්යයක්ම වෙලා ඉක්මනින් ඔයාගේ ජීවිතයට එකතු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!

ආදරයෙන්,

හෙල්මලී අක්කා


Wednesday's Child- Yiyun Li

මම Yiyun Li ගේ කෙටිකතාවක් මුලින්ම කියෙව්වේ බොහොම අහම්බෙන්. කම්මැලි මොහොතක පුස්තකාලයේ තිබුණු New Yorker සඟරාවක පිටු පෙරළද්දී තමයි මට ඈ ව මුලින්ම මුණගැහුනේ. ඒ මීට අවුරුදු කීපයකට කලින්. එදා ඒ කෙටිකතාව හොඳටම රස වැටුණු නිසා මම Li ගේ කෙටිකතා තවත් හොයන්නත්, කියවන්නත් පටන් ගත්තා.

1972 දී චීනයේදී උපන් Yiyun Li එහිදී ලබාගත් ප්‍රථම උපාධියෙන් අනතුරුව ඇමෙරිකාවේදී විද්‍යා ක්ෂේත්‍රයෙන් පශ්චාත් උපාධියකුත් නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ පශ්චාත් උපාධියකුත් සම්පූර්ණ කළ බව සඳහන්. ජීවිතයේ මහත් සේ හැලහැප්පීම් වලට ලක් වුණු Li, එක්තරා කාල වකවානුවකදී තදබලව මානසික අවපාතයට ද ලක් වූ අයෙක්. ඇගේ විශේෂත්වය තමයි ඒ වගේ දේවල් ගැන තම නිර්මාණ වල විවෘතව කතාකිරීම. 2017 දී ඈ ලියූ 'My Friend' නම් ස්වයං චරිතාපදානයේ ඈ මනසින් සුවපත් වීමේ චාරිකාව ගැනත්, 2019 දී ලියූ 'Where Reasons End, නවකතාවේ ඇගේ දරුවාගේ දිවි නසාගැනීම ගැනත් ඈ කතා කරනවා.

තමන්ගේ නිර්මාණ වෙනුවෙන් විවිධ සම්මාන රාශියක් දිනා ඇති Li, 2023 දී විදෙස් ලේඛිකාවක් ලෙස ලෝ ප්‍රකට Royal Society of Literature වෙත තේරී පත් වුණා. ඈ ලියූ නවකතා අතර A Thousand Years of Good Prayers, The Vagrants, The Book of Goose ආදිය බෙහෙවින්ම ප්‍රසිද්ධයි.

මම Li ගේ ලේඛනයට කැමති ඇගේ කතන්දර කීමේ හැකියාව විශ්මිත නිසායි. චීනයේ ගෙවූ ජීවිතයෙන් ලද අත්දැකීම් වලින් පෝෂණය වී, ඇමෙරිකාවේ අත්දැකීම් වලින් හැඩ වැඩ වුණු ඒ කතා කියවන්නාට අලුතින් ජීවිතය දකින්න මඟ කියනවා. උදාහරණයක් හැටියට ඇගේ 'A Sheltered Woman' කෙටිකතාව අලුත උපන් බිළිඳුන් කෙටි කාලයකට රැක බලාගැනීම තම රැකියාව වූ අවිවාහක මැදිවයසේ කාන්තාවක් ගැන ගෙතුණු එකක්. ඒත් ඒ කතාව යටින් පෙනෙන නොපෙනෙන හැටියට තියෙන්නේ ලෝකයේ කොයි රටකත් ගැහැනුන්ට උරුම වුණු අහිමිවීම්, හැරදා යාම්, පසු ප්‍රසව විශාදය වගේ හිත රිදවන, බිඳවන කාරණා.

A Thousand Years of Good Prayers මම කැමතිම Li ගේ කෙටිකතාවක්. චීනයේදී විද්‍යාඥයෙක් හැටියට රැකියාව කර විශ්‍රාම ගිය පියෙක් තම දියණිය බලන්න කෙටි සංචාරයකට ඇමෙරිකාවට යන ගමනයි මේ කතාවේ නිමිත්ත. තනිකමට වයස් භේදයක් නැති බව බොහොම සියුම් විදිහට කීප විදියකින්ම අපට මේ කතාව මතක් කරලා දෙනවා.

Li ගේ නිර්මාණ වල අපට නැවතිලා හිතන්න කොටස් එමට තියෙන එකත් ඇගේ ලියවිල්ලට මම කැමති වෙන්න තවත් හේතුවක්. ඒ වගේ කොටස් නිරතුරුව මතකේ රැඳිලා අපේ නිර්මාණ ත් පෝෂණය කරනවා.

“Happiness, I would tell her, is to spend every day without craning one’s neck to look forward to tomorrow, next month, next year, and without holding out one’s hands to stop every day from becoming yesterday.”

― The Book of Goose

“The happiness of love is a shooting meteor; the pain of love is the darkness following.”

― A Thousand Years of Good Prayers

ඉතින් Yiyun Li ගේ නිර්මාණ වල තදබල රසිකාවියක් වන මට ඇගේ අලුත්ම කෙටිකතා පොත Wednesday's Child දැක්කාම ඒ පොත මට කතාකරනවා වගේ දැනුණා! දෙසැම්බර් නිවාඩුවේ සාරවත් කියවීමකට ඒ පොත තෝරාගන්න ඉතින් මට දෙසැරයක් හිතන්න වුවමනා වුණේ නැහැ.

Photo- Wednesday's Child (2023) by Yiyun Li
Harper Collins Publishers

(මම Li ගේ කෙටිකතා වලට තියෙන තදබල කැමැත්ත නිසාම ටිකක් දිග වුනත් A Sheltered Woman කතාව පරිවර්තනය කළා. මේ තමයි ඒ පරිවර්තනය. මීට අමතරව Li ගේ නිර්මාණ නිසා inspire වෙලා මම කළ නිර්මාණ කීපයක් තමයි 'තුන්දහස් වසරක යාඥාව', 'වෙනත් නම් තිබුණා' )




December 18, 2023

Glitch (2015)

මේක drama series එකක් ගැන විස්තරයක්. series තියා තනි movies වත් බලන්න හොර මගෙන් මෙහෙම ඒවා නිතර ලැබෙන්නේ නැහැ!

මේකේ නම Glitch. ඕස්ට්‍රේලියාවේ රූගත කරලා තියෙන මේ series එකට seasons තුනක් තියෙනවා. බොහොම කෙටියෙන් කියනවා නම් Yoorana කියන ඈත නගරයක මියගිය කීප දෙනෙක් කිසි දෙයක් නොවුණු විදිහට යළි පණ ලැබීම තමයි මේකේ නිමිත්ත. ඒ නගරයේ පොලිස් නිලධාරියෙකුත්, වෛද්‍යවරියත් මේ අවුල ලිහන්න මහන්සි වෙනවා. 

සමහර වෙලාවට series බලද්දී කොටස් කීපයකට පස්සේ තරමක නීරස බවක් දැනෙනවා. ඒත් Glitch බලද්දී කොටසින් කොටස කුතුහලය උපරිමයි. ඇහැට හුරු ඕස්ට්‍රේලියානු පරිසරය, ගොඩනැගිලි, යෙදුම් එහෙම තියෙන එක මට නම් බෝනස් එකක්. supernatural වර්ගයේ වුණාට ඒකත් ගණනකට තියෙන නිසා මම කැමතියි. ඒ කියන්නේ වැඩියෙන්ම පේන්නේ එදිනෙදා සිදුවීම්, ඒ යටින් පැහැදිලි කරන්න බැරි සංසිද්ධියක් යනවා. මේ වගේම තේමාවක් තියෙන මාලා නාට්‍යයක් ඉස්සර මෙහේ ABC රූපවාහිනී නාලිකාවේ පෙන්නුවා 'Nowhere Boys' කියලා. ඒක නම් අරමුණු කරගෙන තිබුණේ teen වයසේ ළමයින්ව. හැබැයි මාත් පුතා එක්ක ඒක එක කොටසක් වත් මඟ අරින්නේ නැතිව බලන්න තරම් ඇබ්බැහි වුණා. Glitch බලද්දී ඒ පරිසරයත්, තේමාවත් නිසා මට  'Nowhere Boys' ආයෙත් මතක් වුණා. 

මම තාම මේකේ seasons තුනම බලලා ඉවර කළේ නැහැ. දැනට නම් උඩින්ම recommend කරන්න පුළුවන් මට්ටමේ තියෙනවා. බලන/ බලපු කෙනෙක් ඉන්නවා නම් අදහස් කියමු!

Glitch (2015)

Created by Louise Fox & Tony Ayres



December 17, 2023

වයස්ගතවීම

වයස්ගතවෙද්දී ඉබේම නුවණ පහල නොවන බව මම දැන් දනිමි. ඒ වෙනුවට නැවතත් බොළඳ බව, අනුන් මත යැපීම වැනි ගති ඉස්මතුවන අතර අහිමි වූ අවස්ථා වෙනුවෙන් දොම්නසක් මුසු පසුතැවීමක් දැනෙන්නට ඉඩ ඇත. නිරතුරුව බුද්ධිමය ලෙස, භාවාත්මක ලෙස සහ අධ්‍යාත්මික ලෙස වැඩෙන්නන්ට පමණක් වයස්ගතවීමේ සාරවත් බව උරුම වේ.

Translation of a quote by James Hollis

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Digital Painting




December 14, 2023

'Forget-me-not'

මම ඈට රෙබෙකා කියන්නම්. රෙබෙකා මම කළින් රැකියාව කළ ආයතනයක මගේ ප්‍රධානියා. ඒ රැකියාවට සම්මුඛ පරීක්ෂණයෙන් මාව තෝරලා ගත්තේත් රෙබෙකා. "ඔයාව දැක්ක ගමන් අපේ ටීම් එකට හරියනම කෙනා ඔයා බව මම දැනගත්තා" රැකියාවට ගිය මුල් දවසේ එයා මට එහෙම කීවා. රෙබෙකා පුංචි සිරුරක් තියෙන බොහොම ප්‍රියමනාප, හිනාවෙන් දවස ගෙවන කෙනෙක්. ඒත් ඒ පුංචි ශරීරය ඇතුළේ ඕනෑම අභියෝගයකට ඔලුව කෙලින් තියාගෙන මුහුණ දෙන, හරි කෙලින් තීරණ ගන්න බොහොම ශූර කාන්තාවක් ඉන්න බව මම නොබෝ දවසකින් ඉගෙන ගත්තා.

අපේ කණ්ඩායමේ උන්නු තුන්වෙනියා නිකී. රෙබෙකා අනාවැකි කීව විදිහටම අපි තුන්දෙනා බොහොම ඉක්මණින් හොඳම යාළුවො වුණා. මම සතුටින්ම රැකියාව කළ ආයතනයක් ඒක. අපි ඒ දවස්වල විනාඩි පහට ලොකු තීරණ ගත්තේ උදේ කෑම කන ගමන් මේසේ වටේ වාඩිවෙලා. ලොකු ප්‍රශ්න විසඳුවේ කිට්ටුව තිබුණු කොෆී ෂොප් එකකට ඇවිදගෙන ගිහින් කැපුචිනෝ බොන ගමන්. අපි තුන්දෙනා එක වගේ මහන්සි වෙලා ඒ ආයතනයේ ව්‍යාපෘති කීපයක්ම කළා. මෙහෙම බොහොම සමීපව වැඩකරන අතරේ අපි අපේ විස්තර හැම දෙයක්ම බෙදාගත්තා. ඒ දවස්වල රෙබෙකාගේ තාත්තා ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳිමින් හිටියේ. තාත්තාගේ අසනීපය නිසා එයාලගේ ජීවිතවල ඇතිවුණු හැල හැප්පිලි රෙබෙකා අපි එක්ක කීවා. තාත්තා වෙනුවෙන් නිවාඩු ගන්න ඕන උනාම නිකී ත් මාත් රෙබෙකාගේ වැඩ බෙදාගෙන එයාව නිදහස් කළා.

මෙහෙම කාලය ගතවුණා. එක්තරා කාලයකදී රෙබෙකාත් නිකී ත් මාත් තුන්දෙනාම ඒ ආයතනයෙන් වෙන් වෙලා විසිරිලා ගියා. ඉන්පස්සේ අපි තුන් තැනක වැඩ කළත් මාස කීපයකට වතාවක් වත් මුනගැහෙන්න උත්සාහ කළා. එහෙම මුණගැහුණු වෙලාවල් වලට පරණ කතා මතක් කරලා ඇති තරම් හිනාවුණා. කොරෝනා කාලයෙදී අපේ මේ මුණගැහීම් අතපසු වුණත් දුරකථන ඇමතුමකින් කෙටි පණිවිඩයකින් අපේ යාළුකම් ඒ විදිහටම පැවතුණා. ඒත් ඉන්පස්සේ ටික කලක් යද්දී රෙබෙකා ක්‍රම ක්‍රමයෙන් නිහඬ වුණා. එයාගේ ජීවිතේ තිබුණු කරදර සමනය වෙනකම් එයාට නිදහසේ ඉන්න දෙන්න හිතුව නිසා මම නම් ඒ නිහඬ බව දුරස්වීමක් හැටියට ගත්තේ නැහැ.

මෑත දවසක මට නිකී ව හම්බවුණා. අපි ඒ මුණගැහුණේ සෑහෙන්න කාලෙකින්. දැක්ක ගමන් නිකී දුවලා ඇවිත් මාව බදාගෙන එකපාරට අඬන්න පටන්ගත්තා.

"ඇයි නිකී? මොකක් හරි ප්‍රශ්නයක් ද?" මම පුදුමයෙන් ඇහුවා. නිකී කියන්නේ එහෙම ලේසියෙන් අඬන  කෙනෙක් නෙමෙයි.

"ඔව් හෙල්මලී. ප්‍රශ්නයක් තමයි. මට නෙමෙයි හැබැයි රෙබෙකාට." නිකී කඳුළු අතරින් කීවා. "ඔයාට මේක ෆෝන් එකෙන් කියන්න මට හිත දුන්නේ නැහැ, ඒකයි කළින් නොකීවේ. ඒකට සොරි"

"ඇයි රෙබෙකා ට මොකද?" මම ඇහුවේ කලබලයෙන්.

"රෙබෙකාට.." නිකී අමාරුවෙන් වචන ගැලපුවා. "රෙබෙකාට ඇල්සයිමර් හෙල්මලී. එයා අපේ පණිවිඩ වලට උත්තර එවන්නේ නැති නිසා මම කියන්නෙත් නැතිව බලෙන් වගේ එයාගේ ගෙදරට ගියා. එයා තමයි ගෙදර දොර ඇරියේ. ඒත් එයා මාව ඇඳිරුවේ වත් නැහැ! කාව හම්බවෙන්නද ආවේ කියලා මගෙන් ඇහුවා. එයාගේ මහත්තයා ඉක්මනට ඇවිත් මට විස්තරේ කිව්වා. රෙබෙකා ගෙදර කිසි කෙනෙක් ව අඳුනන්නෙත් නැහැලු" එහෙම කියලා නිකී ආයෙත් මාව බදාගෙන අඬන්න ගත්තා.

ඉතින්, අසනීපයක කුරිරු බව නිසා හරිම කෙටි කාලයක් ඇතුළත බොහොම සුන්දර මනුස්සයෙක් ඒ විදිහට වියැකිලා ගිහින් තිබුණා.

ඇල්සයිමර්, ඩිමෙන්ෂියා වගේ අසනීප ගැන කළින් අහලා තිබුණත්, ජීවිතේ පළවෙනි වතාවට මට සමීපම කෙනෙක් ගැන එහෙම ආරංචියක් ලැබුණාම දැනුණු කම්පනය නිසායි මේ සටහන ලියවුණේ. රෙබෙකාගේ සැහැල්ලු හිනාව මට දැනුත් මැවිලා පේනවා. ඒ දවස්වල තාත්තාගේ ඇල්සයිමර් රෝගය නිසා පීඩිත වෙලා හිටිය ඈට දෛවය දීලා තියෙන්නේ කුරිරු තෑග්ගක්.

මතකය කියන්නේ අපිව අතීතෙට වගේම වර්තමානයට බැඳලා තියන බොහොම සියුම් තන්තුවක්. ඒක ගිලිහුණු දවසට අපිට අපිවම නැතිවෙනවා වගේම අනෙත් අයටත් අපිව නැතිවෙනවා. මතකය අහිමි වුණත් ඒ පුද්ගලයා ජීවත් වෙනවා. පවුලේ අයට, රැක බලාගන්න අයට රෝගියාගේ අතීත මතක එක්ක ගැටෙමින් මතකය හිස් වුණු අලුත් පුද්ගලයා එක්ක ගනුදෙනු කරන්න වෙනවා. 

නිකී මුනගැහිලා ආපිට ආවට පස්සේ මට මේ වගේ දේවල් කල්පනා වුණා. සමහර දේවල් අපට වෙනස් කරන්න බැහැ ඒවා ගැන කල්පනා කරන්න විතරයි පුළුවන්. ඒ එක්කම, මතකය අහිමි වුණු රෙබෙකා, ජීවිතේ කලබල අතරේ වුණත් අපි 'අපි' හැටියට ගතකරන හැම මොහොතක්ම වටිනා බව මට මතක් කරලා ගියා කියලාත් හිතුණා.


Have you ever walked along a shoreline, only to have your footprints washed away? That's what Alzheimer's is like. The waves erase the marks we leave behind, and all the sand castles.- Pat Summit


Photo- The perennial version of the Forget-me-not flower, Pentaglottis- captured in the Dandenong Ranges, Melbourne

(පින්තූරය ගැන පසු කතාව- ළඟදී දවසක අපි Dandenong Ranges ප්‍රදේශයේ උත්සව ශාලාවක තිබුණු මඟුල් ගෙදරකට සහභාගී වුණා. ඒක තිබුණේ හරිම ලස්සන පරිසරයක. ඒ ලස්සන බලමින් යද්දී මම අහඹු විදිහට මේ මල් කිනිත්තේ පින්තූරයක් ගත්තා. මම ඒ පරිසරයේ වෙන කිසිම පින්තූරයක් අරගෙන නැති බවත්, ගත්ත මේ මල් කිනිත්ත Forget-me-not වර්ගයේ මලක් බවත් මම දැනගත්තේ ගෙදර ආවාට පස්සේ යි. රෙබෙකා ගැන ආරංචිය මට ලැබුණේ ඊට පස්සේ දවසේ. ඉතින් මේ මල් කිනිත්ත ඈටම තමයි) 

December 10, 2023

මල්බෙරි ගස

මට මතක ඇති කලෙක සිට
ඔබ උස් ව වැඩුනා මෙතැන
එබී මේ පවුරෙන් මෙපිටට

චීනය ගැන වත්
සේද පණුවන් ගැනවත්
දැනගන්නට පෙර
හැඳිනුවා මා ඔබේ ඵල

ඔබේ දම් පැහැය
පොඩිවී මගේ දෙපයට
පැතිරුණා මිත්තනියගේ පලස් මත

කවුරුන් හෝ නැවක නියමුවෙක්
අනාගතයට සෙවනක් මවන්නට
මෙහි මේ පැලය සිටුවන්නට ඇත

මේ සිසිරයේ දී රථයක් ගැටී
අහිමිවුණා ඔබේ පහත අත්තක්
ජීවිත කාලයක්ම
ඔබව හැඳිනූ ඒ මැහැල්ල
වැළපුනා, ඒ තුවාලය දැක

කිසිම මුහුණකට වඩා
රැළි වැටී ඇත ඔබේ මතුපිට
ඉතා සෙමෙන් දිවි ගෙවන්නෙකි ඔබ

ඔබට අපේ කටහඬ ඇසෙන්නේ
සලබ පියපත් හඬ ලෙස ද?
ඔබට අප ව පෙනෙන්නේ
දුක්බරම දේ වෙත ලූ නැංගුරම්
තදින් අල්ලාගත්
මුල් අහිමි වූවන් ලෙසද ?

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem ‘Mulberry’ by Craig Arnold

ඇමෙරිකානු ජාතික කවියෙකු වන Craig Arnold, University of Wyoming හි කාව්‍යකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් විය. ඔහු තම නිර්මාණ වෙනුවෙන් සම්මාන රැසක් දිනා තිබේ. 2009 දී කවි පොතකට කරුණු සෙවීමට ජපානයේ ගිනි කඳු සහිත දූපතක සංචාරයේ යෙදුණු Arnold ඒ ගමනේදී අතුරුදන් වී තිබේ.

Digital painting

ලන්ඩන් කවි- දෙසැම්බර් 2023 කලාපය 





December 05, 2023

අහඹු හමුවීම

Translation of the Short Story ‘Unaccountably’ by Bibhuti Bhushan Banerji

එදින මා සිටියේ ව්‍යාකූල වූ සිතිනි. මෙය ඇතැම් දිනවල මා අත්දුටු සංසිද්ධියක් වූ අතර එවිට මට කියවීමට, සිතීමට හෝ කිසිවෙකු සමඟ කතාකිරීමට වුවමනාවක් ඇති නොවේ. එදිනත් මගේ මනස ක්‍රියාකිරීමට අවශ්‍ය ඉන්ධන අවසන් වූ බවක් මට දැනුණු අතර මනසේ දැති රෝද තෙල් රහිත වීමෙන් ක්‍රමක්‍රමයෙන් වියළී, නැවතී ගොස් තිබිණි.

ඒ වෙද්දී මා සිටියේ මගේ පරණ පුරුදු තැනක් වූ ජෙලේපාරා හි කාඩ් සෙල්ලම් කරමින් වූවත් මා ඒ ක්‍රීඩාවෙන් විනෝදයක් ලැබුවේ නැත. වෙනත් වේලාවකදී නම් කාඩ් අතක ජයග්‍රහණය නිසා මා උද්දාමයෙන් උඩ පනින නමුත් එදින නම් මට සිතුණේ දිනුමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද යන බවයි. මා වටා ඇසුණු ඕපාදූප පවා මා රස වින්දේ නැත. අප උන් නූස් සිවිලිමක් සහිත ඒ කාමරයත්, තීන්ත පදාස ගැලවුණු එහි බිත්තිත්, ‘කාලිය නම් සර්පයා මරාදැමීම’, ‘අන්නපූර්ණා දෙවඟන දේ දානය’ වැනි තේමා යටතේ බිත්තිවල එල්ලා තිබුණු පැරණි බාල සිතුවම් කිහිපයත් කිසිම තේරුමක් නැති දේවල් බව මට හැඟිනි. මා වටා ඇසුණු කතාබහ කාලයේ ආරම්භයේ පටන් මා අසා තිබුණු ඒවා බවක් දැනුණි. අලස බවත් උදාසීන කමත් උත්සන්නව දැනෙද්දී අසල උන් පුද්ගලයාගෙන් මම මෙසේ ඇසුවෙමි.

“තමුසේ මේ වැඩෙන් විනෝදයක් ලබනවාද? ඒ බවක් පේන්නේ නැහැ, ඒකයි-”

ඔහු පුදුමයෙන් මදෙස බැලුවේය.

“ඇයි එහෙම අහන්නේ? තමුසේ අකමැත්තෙන්ද ඉන්නේ?”

එය අසා මගේ නොරිස්සුම තවත් වැඩි විය. මට කරන්නට ඇති රාජකාරි ගැන බොරුවක් කියා මා එතැනින් නික්මෙද්දී හවස හතරට පමණ වන්නට ඇත. ඒ වෙලාවේදී අතුරු මාවත් වල වෙළෙන්දන් මහා හඬින් වෙළඳාමේ යෙදී සිටි අතර පොත් පත් අතින් ගත් දරුවෝ පාසල් වලින් නික්ම යමින් සිටියහ. ඈතින් ජල කරාම වලින් දිය වෑස්සෙන හඬ ඇසුණි. ඒ වෙද්දීත් නිවෙස් ඉදිරිපස අගු පිල් වෙතට සහ මාවත් හි මංසන්ධි වෙතට මිනිසුන් කණ්ඩායම් එක් රැස් වෙමින් සිටියේ දවසේ ඉතිරි ටික නිකරුණේ ගෙවා දැමීමටයි.

මේ අතුරු මාවත් අතරින් වඩා පටු, අඳුරු මාවතක් වැටුණේ නගර සභාවෙන් පොදු ස්නාන පහසුකම් සපයා ඇති ස්ථානයක් ඉදිරියෙනි. මා නිතර මේ මඟෙහි ගිය නිසා ස්නානය සඳහා වූ කොටස අසල වූ මඩුවක් මගේ අවධානයට ලක් වී තිබිණි. මෙහි වැසියන්ගේ දින චර්යාව විශ්මයෙන් යුතුව නැරඹූ මට ඒ දසුන කිසිදිනක එපා වූයේ නැත. මේ කුඩා කුටිය අඩි අටක් තරම් දිගින් සහ පළලින් යුතු විය. එහි අඹු සැමියන් යුවළක් සහ කුඩා දරුවන් දෙදෙනෙක් විය. මේ ඉඩකඩ නොදුටු කෙනෙකුට එවැනි කුඩා ඉඩක මේ තරම් ජීවින් ප්‍රමාණයක් ඔවුන්ගේ බඩු මුට්ටුද සමඟ වාසය කරන බවක් අදහනු නොහැකි වනු ඇත. වඩාත්ම පුදුම සහගත කාර්යය නම් මේ කුටියේ එක් කෙළවරක මුළුතැන්ගෙයක් ද තිබීමයි. මා එතැනින් යන එන හැම විටකම එහි යම් ආකාරයක ආහාර පිසීමක් සිදුවෙමින් තිබිණි. ඒ නිවසේ ගෘහණිය කුඩා බිළිඳා ද උකුලේ හොවාගෙන එක්කෝ යම් දෙයක් බදිමින් සිටියාය. නොඑසේ නම් කිරි උණු කරමින් සිටියාය. ඇගේ වයස අනුමාන කිරීම දුෂ්කර විය. ඈ ට වයස 23, 30 හෝ 40 ක් පවා වීමට ඉඩකඩ තිබිණි. ඇගේ කිලිටි සාරියේ හිස වසා තිබුණු කොටස ඉරී ඇති බව පෙනුණි. සාමාන්‍යයෙන් විවාහක ගැහැනුන් පළඳින වර්ගයේ වළලු ඇගේ දෑතේ දක්නට විය. ඇගේ දෑසේ ආලෝකයක් නොවුණු අතර මට හැඟුණේ ඇයගේ මුහුණෙන් මෝඩ පෙනුමක් පිළිබිඹු වූ බවකි. බොහෝවිට ඇගේ සැමියා කොහේ හෝ කර්මාන්ත ශාලාවක රැකියාව කරනවා ඇත. වතාවක් දෙකක්, මා රාත්‍රී කාලයේදී මෙතැනින් යද්දී, දැලි වැකුණු මුහුණක් ඇති අයෙකු අතේ පනිට්ටුවක් ඇතිව මේ මඩුවේ සිට ස්නානය කරන තැන වෙත යනු මා දැක තිබිණි.

එදිනත් මම නැවත ඒ නිවැසියන් දුටුවෙමි. එහි බිරිඳ බිළිඳා ඇකයේ හොවාගෙන දොරකඩ වාඩි වී සිටියාය. ඈ මවෙත හෙලුවේ මෝඩ බැල්මකිනි. එකට ගැට ගැසූ උණ බම්බු සැකිල්ලක් මත කටු මැටි අතුරා, ඇතුළතින් ඒ මත කහ ගැසුණු පත්තර පිටු අලවා තනා තිබුණු ඒ කුටිය පරෙවි කූඩුවක් සේ දිස් විය. එහි එක් පසෙක ගැට ගැසූ රෙදි වැලක් මත කිලිටි ඇඳුම් වනා තිබිණි.

මේ දසුන දැකීමෙන් මා තවත් කළකිරුනි. මෙවැනි ගුබ්බෑයමක මිනිසුන් සතුටින් සිටින්නේ කෙසේද? ඔවුන් මෙහි ජීවත් වන්නේ පවා කෙසේද? ඔවුන්ගේ පැවැත්ම කොයි තරම් අර්ථශූන්‍ය ද! ඒ වෙනුවෙන් ඔවුන් මහන්සි වන්නේ කුමකටද? අර කුඩා දරුවා මතු දිනයක කවරෙකු වනු ඇතිද? ඔහුත් කෙදිනක හෝ කර්මාන්තශාලා සේවකයෙකු වී තම දරු මල්ලන් සමඟ මෙලෙසම කුඩා මඩුවක වාසය කරමින්, මෙවැනිම අඳුරු, අවලස්සන දුක්බර ජීවිතයක් ඒකාකාරී ලෙස ගෙවා නොවැදගත් මරණයකට හිමිකම් කියනු ඇත. එහෙත් ඒ මව දරුවාව සිඹිමින් සුරතල් කළ විලාසයෙන් පෙනුණේ ඇයට ඔහු වෙනුවෙන් සිහින සහ ප්‍රාර්ථනාවන රැසක් ඇති බවකි. නමුත් මේ සිතිවිල්ල සමඟම නැවතත් මගේ සැක සිත මතුවන්නට විය. ඒ කාන්තාවට එවැනි සිහින දකින්නට අවශ්‍ය බුද්ධිය තිබේද? තමන්ගේ අභ්‍යන්තරයේ ඇති ආශාවන් පදනම් කරගෙන, වර්තමානයේ සිටින තත්ත්වයෙන් වෙනස් අනාගත තත්ත්වයක් ගැන සිතුවිල්ලක් ඇතිකරගෙන ඒ ගැන විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට ඇයට පුළුවන් ද? මේ කැත, අප්‍රසන්න වර්තමානය අත්හැර දිදුලන, සිහිනමය අනාගතයක් වෙත මනසින් පිවිසෙන්නට ඇයට හැකියාවක් තිබේ ද?

ඒ අතුරු මාවතෙන් මංසන්ධිය වෙත එළඹුණු පසු එහි සිටි පොත් වෙළෙන්දා ළඟ මම නැවතුනෙමි. මෙහි වූයේ පාවිච්චි කරන ලද පොත් සහ සඟරාවන් ය. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් කුණු ගොඩවල් වූ අතර ඒවා කම්මැලි, නොවැඩුණු මනසින් යුතු අයගේ නිර්මාණ විය. විචිත්‍ර පිටකවර සහිත නිස්සාර විදෙස් නවකතා සහ චිත්‍රපටි සඟරා ආදියද මෙහි විය. වෙනත් දවසක නම් මට ගැලපෙන දෙයක් සොයමින් මා මේවා අවුස්සන්නට ඉඩ තිබිණි. එහෙත් එදින මට ඒ සඳහා ඉවසීමක් තිබුණේ නැත. මගේ මනස අඳුරු ව තිබුණේ අවපැහැති කාසියක් නොඑසේ නම් වැහි බර අහසක් මෙනි.

චිත්‍රපටියක් නැරඹීමට යා යුතු දැයි මම කල්පනා කළෙමි. නොඑසේ නම් අවුට්‍රම් ඝාත් පෙදෙසේ ඇවිදින්නට යා යුතු ද? නැත්නම් කොහේ හෝ වාඩි වී උණුහුම් තේ කෝප්පයක් බීම හොඳ අදහසක් ද? නැත්නම් විල් ඇති පැත්තට ඇවිද යා යුතු ද?

ධර්මතෝලා හි පල්ලිය ඉසව්වේදී සෙනඟක් වටවී සිටිනු ඈතට පෙනුණි. යුරෝපීය ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් බිම වැටී සිටියේය. ඔහුගේ හිස සිරුරෙන් ඇලවී තිබුණු කෝණය නිසා මට නම් සිතුණේ ඔහු මිය ගොස් ඇති බවයි. පොලිස් නිලධාරීන් දෙදෙනකු ද එහි විය. මේ පුද්ගලයා එතැන නිවසේ පහත මාලයේ නානකාමරයේ වැටී සිටියදී එහි මුරකරු සොයාගෙන ඇති බවත්, ටැක්සියක දමා කොතැනක හෝ යවනු පිණිස ඔහු විසින් අපහසුවෙන් ඒ සිහිසුන් සිරුර පිටතට රැගෙන ආ බවත් කසුකුසුවක් යමින් තිබිණි.

මේ සිරුර දැකීම මා තුළ අනුකම්පාවක් ඇති කිරීමට සමත් විය. කලින් දරුවා සමඟ අගුවේ සිටි මෝඩ කාන්තාව ගැන නොදැනුණු ඒ අනුකම්පාව මේ සිහිසුන් වූ බේබද්දා වෙනුවෙන් මට දැනෙන්නට විය. මොහු යම් ආකාරයක සතුටක් සොයා යාමට අවශ්‍ය මාර්ගය වෙත එළඹ සිටි අයෙකි. ඒ මඟ හරි ද වැරදිද යන කරුණ ඔහු ලද සතුටේ ගුණත්වය මත තීරණය වූවත් ඔහු ගේ අත්දැකීම ගැන දැන සිටියේ ඔහු පමණි. නමුත් ඔහු සිටියේ සිහිසුන්ව යි!

මම කර්සොන් උයන වෙත එළඹුනෙමි. මෙහි පෝසත් පවුල්වල කුඩා දරුවන් බලාගන්නා මෙහෙකරුවන් සහ ආයාවරුන් කිහිපදෙනෙක්ම සිටි අතර වැස්සෙන් මිදීමට ඔවුහු ගරාජ වල පියසි යටට රොක් වී සිටියහ. එන්න එන්නම වැස්ස තද වූ නිසා මම ද එවැනි පියස්සක් යටට ගියෙමි. රන් පැහැති කැරළි හිසකෙස් සහ නිල් දෑස් ඇති වයස අවුරුදු එකහමාරක් දෙකක් පමණ වූ කුඩා දරුවෙක් තම භාරකරු ගේ තොප්පිය අහුලා, වැනි වැනී ගොස් මහත් වෙහෙසක් දරා එය භාරකරුගේ හිස මතට දැමීමට උත්සාහ ගන්නා ජවනිකාවක් එවෙලෙහි මා නෙත ගැටුණි. තොප්පිය හිසේ රැඳවුණු විට කුඩා දරුවා දෑත වනා, මුළු සිරුරම වෙව්ලුවා, ලොඹු කට විදහා මහා හඬින් සිනාසුණේ ය. නමුත් තොප්පිය මෙහෙකරුගේ හිස මතට නියමාකාරයෙන් නොවැටුණු බැවින් මොහොතකින් එය නැවතත් රූරා බිමට වැටුණි. එවිට කුඩා දරුවා පෙර මෙන් මහත් වෙහෙසක් දරා පෙර ක්‍රියාවම කළ අතර, පෙර සතුටත්, සිනහවත් නැටුමත් නැවතත් එලෙසම විය. ඔහු දෙස බලා සිටි කිසිවෙක් නොවීය. ඔහුට කිසි කෙනෙකුගේ අවධානය වුවමනා වූයේද නැත. දරුවාගේ භාරකරුට මේ කිසිවක් ගැන වගක් නොවිණි. ඔහු තමාට අනෙත් පසින් බිම ඇණ තියාගෙන උන් ආයා සමඟ බර කතාවක නියැලී උන් අතර දරුවා කුමක් කරන්නේද, නොකරන්නේද කියා සොයා බැලුවේ නැත. අවට සිටි අනෙත් අයත් බිළිඳුන් වූ නිසා මේ කුඩා දරුවා තනිවම මේ තොප්පි සෙල්ලමේ නියැලෙමින් සිටියේ ය.

මා ඒ දෙස බලා සිටියේ ඊට වශී වූ විලසිනි. ඒ මෘදු, ලපටි අත පයේ කොයිතරම් ලාලිත්‍යයක් වී ද! ඒ අදහසට පණදීමේ හැකියාව, වසන් නොකරන ලද සතුට, සම කළ නොහැකි සුන්දරත්වය කෙතරම් ද! උතුරනා සතුටින් යුතු ව ඒ කුඩා දරුවා තම සිරුර ඉදිරියට නැඹුරු කර දෑත මිටිකර ඔසවා යළි පහත හෙලුවේ මුවේ සිනා ඉහිරෙද්දී ය. ළමාවියේ නොතිත් සතුට වචන රහිත විචිත්‍ර කතාබහකින් එහි ප්‍රකාශ කෙරෙමින් තිබිණි.

මට මේ දසුනින් නෙත් ඉවත් කරගැනීම අපහසු විය. මින් පෙර නොදැන සිටි ලාලිත්‍යයේත් සතුටේත් උල්පතක් මා හේතුවක් රහිතව, ඉබේම සොයාගත්තා වැනි විය. මා මේ දරුවා දෙස බොහෝ වෙලාවක් බලා සිටින්නට ඇත. ටික වෙලාවකින් මෙහෙකරුට මගේ බැල්ම දැනී, ඔහු ආයා සමඟ කතාබහ නැවත්වූයේ ය. ඉනික්බිති දරුවාගේ අතින් තොප්පිය උදුරාගෙන එය ළදරු කරත්තයට හෙලුවේය. එසැණින් දරුවාගේ මුහුණ අඳුරු විය. ඔහු ළදරු කරත්තය වෙත ආයාසයෙන් ඇවිද ගියත් එය ඔහුට වඩා උසින් වැඩි විය, ඔහුගේ කුඩා දෑත ඒ තුළට දිගු කිරීමට කෙටි වැඩි විය. අසරණ ව වටපිට බැලූ දරුවා එක වරම බිම වාඩි වූයේ ය. ඔහුගේ භාරකරුගේ අවධානය තවමත් රැඳී තිබුණේ කතාබහ වෙතයි.

උයන තුළට ඇවිද ගිය මම තනිවම බංකුවක අසුන්ගත්තෙමි. හිරු බැස යමින් තිබුණු අතර ගංගා නදිය දෙසින් අහස රත් පැහැ වී තිබිණි.

මා දුටු කුඩා දරුවා සතුව තිබුණු හේතුවක් රහිත සතුට නොදැනුවත්වම, රහසින්ම මගේ මනසටත් කාන්දු වී ඇති බවක් මට දැනෙන්නට විය. පෙරදී අර කුඩා මඩුවෙහි අගුවේ සිටි කාන්තාව මෝඩ අයෙකු බවක් මට තව දුරටත් දැනුණේ නැත.

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

From the book Noon in Calcutta : short stories from Bengal (1992), compiled by Khrishna Dutta and Andrew Robinson




Image generated by Canva AI

සිසිල මාසික ඊ- සඟරාව, 2023 දෙසැමිබර් කලාපය
(සිසිල සඟරාව නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනයකි)

December 03, 2023

හයිඩ්‍රන්ජියා හීන

මම කැමතිම පාට නිල් නිසාද මන්දා මම නිල් හයිඩ්‍රන්ජියා මල් වලට බොහොම කැමතියි. ඒ මල් වල මට නම් අපූරු ලස්සනක් තියෙනවා. මේවා වේලුනාට පස්සෙත් ලස්සන ඉතුරුවෙන මල් ජාතියක්.

මේ ආසාව නිසාම මගේ පහුගිය උපන්දිනේට මම හයිඩ්රන්ජියා පැලයක් අරන් ඇවිත් හිටෙව්වා. "මේකේ නිල් පාට මල් පිපේවි ද?" කියලා මම අහපු ප්‍රශ්නෙට මල් පැල කඩේ ගෑනු ළමයා හිනාවෙලා මට පැහැදිලි කළා හයිඩ්‍රන්ජියා පඳුරක මල් පිපෙන්නේ රෝස පාටින්ද, සුදු පාටින්ද, නිල් පාටින් ද කියන එක තීරණය වෙන්නේ පසේ pH අගය මත බව.. ඉතින් මම හයිඩ්‍රන්ජියා පැලයක් හිටවලා ඒකෙ නිල් මල් පිපෙයි කියලා ප්‍රාර්ථනා කරමින් ඉන්න අතරේ නිල් හයිඩ්‍රන්ජියා පොකුරක මේ ඩිජිටල් චිත්‍රය ඇන්දා.


Hydrangea - digital painting


හිටවලා මාස හතක් විතර ගතවුණු තැන මගේ හයිඩ්රන්ජියා පඳුරේ පුංචි මල් පොහොට්ටු පෙනුණා. මුලදී ඒවා මොන පාටද කියලා හිතාගන්න බැරි නිසා මම ඒ දවස්වල හුස්ම අල්ලාගෙන හිටියේ. ඔන්න දැන් ඒ මල් පොකුරු ටික පිපිලා- ඒවා රෝස පාටයි! මේ රෝස පාට මල් වල එක එක shades දැක්කාම මට මගේ නිල් මල් හීනය අමතක වුණා. පසේ සංයුතිය වෙනස් කරලා මේ මල් වල පාට වෙනස් කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියත් එහෙම කරන්නේ මොකටද කියලා හිතුණා.

පෙරලුණු පිට හොඳ බව මම මේ මුල ඉඳන් පාඩමක් ඉගෙන ගනිමින්!


Pink Hydrangeas in bloom