July 28, 2022

ඔබේ ඉඩ තවමත් හිස් ව පවතී




Translation of the Short Story ‘Your Place is Empty’ by Anne Tyler


ඔක්තෝම්බර් මස මුලදී හසන් අර්ඩාවී ඉරානයේ සිට සංචාරයකට පැමිණෙන ලෙස තම මවට ආරාධනා කළේය. ඇය නම් වහාම ඒ ආරාධනාව පිළිගත්තාය. මේ ගමන කොයිතරම් කාලයකටද යන වග පැහැදිලි වූයේ නැත. හසන් ගේ බිරිඳගේ අදහස වූයේ මෙවැනි ගමනකට තෙමසක් ප්‍රමාණවත් බවයි. හසන් නම් මාස හයක ගමනක් ගැන සැලසුම් කර වීසා ලබාගන්නට සකසන ආරාධනා ලිපියෙහි එලෙසින් සඳහන් කළේ ය. නමුත් එවැනි ගමනකට මාස හයක් ප්‍රමාණවත් නැති බව ඔහුගේ මවගේ අදහස වූ අතර ඇය නම් බලාපොරොත්තු වූයේ අවුරුද්දක්ම එහි රැඳීමටයි. තවම වයස දෙකක් වත් නොවූ හසන් ගේ දියණියට කාලය ගැන හැඟීමක් තිබුණේ නැත. තම මිත්තනිය පැමිණෙන බව ඇයට දැනුම් දෙනු ලැබුවද ඇයට ඉක්මණින්ම ඒ බව අමතක විය.

හසන්ගේ බිරිඳගේ නම එලිසබෙත් වූවත් ඒ නම ඉරාන ජාතිකයෙක්ට නම් උච්ඡාරණය කිරීම් පහසු එකක් වූයේ නැත. ඇය ඇමෙරිකානු බව ලෝකයේ ඕනෑම තැනකදී හඳුනා ගැනීමට හැකි පෙනුමක් තිබිණි. දිගු අත පය සහ රන්වන් කෙස් ඇති ගැහැනියක් වූ ඇය ඇවිද්දේ කිසිම ලාලිත්‍යයකින් තොරව ය. විදෙස් භාෂා ඉගෙනුමට ඇයට විශේෂ හැකියාවක් විය. නැන්දම්මා පැමිණෙන්නට පෙර ඇය පර්සියානු භාෂාව ඉගෙනීමට උපදෙස් ඇති පොතක් සොයාගෙන තනිවම එය උගත්තාය. “සලාම් මලෙයිකුම්” ඈ හැම උදෑසනකම කැඩපතට කීවාය. මෙය අසා ඇගේ කුඩා දියණිය තමන්ගේ වැසිකිලි පුටුවේ සිට තැතිගෙන බලා සිටියාය. ඉදිරියට විය හැකි විවිධ අවස්ථා ගැන තනිව කල්පනා කළ එලිසබෙත්, ඒවාට අදාළ වචන කටපාඩම් කරන්නට උත්සුක විය. “තව තේ ටිකක් දෙන්නද? ඔබට සීනි ඕනද?”

රාත්‍රී ආහාර වෙලාවේදී ඇය තම සැමියාට පර්සියානු බසින් ඇමතුවාය. ඇගේ පැතලි, තථ්‍ය ඇමෙරිකානු කටහඬින් තමන්ගේ බසට ලබාදුන් අමුතුම මාත්‍රාව ගැන ඔහු සිනාමුසුව බලාසිටියේය. එලිසබෙත් අම්මාව පුදුම කරන්නට බලාගෙන සිටින බව ඔහු ඇයට ලියා යැව්වේය.

ඔවුන්ගේ නිවස කොලෝනියල් යුගයට අයත් ගඩොලින් නිම වූ තට්ටු තුනක එකක් වූවත් ඔවුන් පාවිච්චියට ගත්තේ එහි පළමු දෙමහල පමණකි. දැන් ඔවුහු තුන්වෙනි මහලේ තිබුණු පෙට්ටගම්, පැරණි සඟරා ආදී සුන්බුන් ඉවත් කර ලී බඩු කිහිපයක් ඒ වෙත ගෙන ආහ. එලිසබෙත් එහි කවුළු සඳහා මල් මෝස්තරයක් සහිත ජනෙල් රෙදි මැසුවාය. විදේශික නැන්දම්මෙක්ට පිළිවෙලට මසන ලද වාටි ආදිය වැදගත් විය හැකි නිසා ඇය මේ ගැන වැඩිපුර වෙහෙසුණාය. මීට අමතරව හසන් කුඩා මාලිමාවක් ගෙනැවිත් එය කණ්නාඩි මේසය මත තැබුවේය. “අම්මා යාඥා කරද්දී මක්කම තියෙන පැත්ත දැනගන්න ඕනනේ, ඒකටයි මේක. අම්මා දවසට තුන් සැරයක් යාඥා කරනවා.”

“ඒත් මෙහෙ ඉඳන් මක්කම තියෙන්නේ කොයි පැත්තේද?”

හසන් ඊට දෙඋර සැලුවා පමණි. ඔහු කුඩා දරුවෙක්ව සිටියදී පවා කිසිදිනක යාඥා කර නැත. ඔහු කුඩා කාලයේදී තම මව යාඥා කරද්දී තමන් ඇගේ දෙපතුල් කිති කවන පැරණිම මතකයක් ඔහුට ඇත. යාඥා කිරීම ඇරඹු පසු නැවත්වීම තහනම් බැවින් එවන් අවස්ථාවලදීත් ඔහුගේ මව නොකඩවාම යාඥා කළාය.


~~~~~~~~~~~~

ගුවන් යානයෙන් බැසීම පිළිබඳව අර්ඩාවී මහත්මිය පසුවූයේ තැති ගැන්මෙනි. ඇය එහි පඩිපෙළ බැස්සේ හරස් අතට, අඟලින් අඟලයි. ඇය එක අතකින් තම හිස බැඳි සාලුව අල්ලාගෙන සිටි අතර අනෙත් අතින් අත්වැට තදින් අල්ලා සිටියාය. එය රාත්‍රියක් වූ බැවින් තද සීතලක් විය. අවට වාතයේ අමුතු පාරාන්ධ බවක් තිබිණි. ඈ පොළොවට බට පසු මඳක් නිසොල්මන්ව සිටියාය. දුරට පෙනුණේ කළු ඇඳුම් ඇඳ, සුමට හිසකෙස් වැසෙන්නට ලේන්සුවක් බැඳි, කුඩා තරබාරු කාන්තාවකි. ඇය තම පිටකොන්ද ඉතා ඍජුව තබාගෙන සිටියේ සිත රිද්දනු ලැබූ කෙනෙක් මෙනි. මේ මොහොත මනසේ මවා ගනිද්දී ඈ හැමවිටම සිතුවේ හසන් ගුවන් යානය අසල ඈ එනතුරු බලාසිටිනු ඇතැයි කියාය. නමුත් ඔහු පෙනෙන්නට සිටියේ නැත. අයගේ පසුපස තිබුණු අඳුරු පදාසයේ තැන තැන නිල් පැහැති එළි දිස් විය. ඇයට ඉදිරියෙන් තිබුණේ ගුවන්තොටුපලේ උස් ගොඩනැගිල්ලයි. නිලධාරියෙකු සියලුම මඟීන්ව වීදුරු දොරකින් ඇතුළට යොමු කරමින් සිටියේය. ඇය ඔවුන් පසුපස වැටුණේ උන විකාරයකදී ඇසෙන ආකාරයේ තේරුමක් රහිත ශබ්ද රැසක පැටලෙමිනි.

ආගමන විගමන නිලධාරීන්, ගමන් මලු ලබාගන්නා ස්ථානය, රේගුව. මේ හැම තැනකදීම තමන් ඉංග්‍රීසි කතා නොකරන බව පෙන්වීමට ඇය දෑත් විදා සිනාසී, උරහිස් ඇකිලුවාය.ඇය සමඟ ගුවන් යානයේ පැමිණි සෙසු මඟීහු වීදුරු බිත්තියකින් එපිට තිබුණු අපැහැදිලි මුහුණු රැසක් වෙත අත් වනමින් සිටියහ. ඔවුහු හැම කෙනෙක්ම හඳුනන අය මෙහි පැමිණ ඇති බවත් තමන්ට පමණක් එවැන්නෙක් නොමැති බවත් ඇයට සිතිණි. ඇය ගුවන්යානයෙන් පිටතට පැමිණ තිබුණේ අලුත උපන් බිලිඳෙක් ලෙසින් වචන රහිතව, මිතුරන් රහිතව ය. ඇය වුවමනාවට වඩා තෑගි රැගෙන විත් සිටි නිසා රේගු නිලධාරීන් ඇය ගැන ප්‍රසාදයක් දැක්වූයේ නැත. ඇය අත්‍යාවශ්‍යම ඇඳුම් කිහිපයක් පමණක් ඉතිරිකරගෙන ඉඩ සකසාගෙන ඇගේ ගමන් මලු තෑගි වලින් පුරවාගෙන පැමිණ සිටියාය. එහි ලේලිය වෙනුවෙන් ගෙන ආ රිදී තේ පෝච්චි කට්ටල සහ රන් ආභරණ විය. අහිගුණ්ඨික ගෝත්‍රයක සංකීර්ණ ආයිත්තම් පැළඳි බෝනික්කා ගෙනැවිත් තිබුණේ මිනිබිරිය වෙනුවෙනි. මීට අමතරව මිනිබිරියට බැටළු ලොම් වලින් සැකසූ කබායක් සහ රන් දම්වැල් වල එල්ලූ කුඩා පදක්කම් දෙකක්ද විය. එක් පදක්කමක් අල්ලාහ් ගේ නම ලියැවුණු කුඩා රන් පෙත්තකි. අනෙක දීර්ඝායුෂ සඳහා විශේෂයෙන්ම බලගතු යාඥාවක් ලියැවුණු කුරානයක ක්ෂුද්‍ර රන් ආකෘතියකි. රේගු නිලධාරියා මේ රන් ආභරණ රැසට වැලි සේ තම ඇඟිලි අතරින් රූරා වැටෙන්නට ඉඩ දුන් අතර කුරානය වෙත ගැටලුකාරී බැල්මක් හෙලුවේ ය.

“මම මොකක් හරි වැරද්දක් කරලා ද?” ඇය ඇසූ නමුත් ඔහුට ඇය කී දේ වැටහුණේ නැත. ඇයට නම් සිතුණේ ඔහු මඳක් උත්සාහ කර, එක් වරක්වත් ඇගේ දෑස් දෙස බලා හොඳින් ඇහුම්කන් දුන්නේ නම් ඔහුට එය නොවැටහෙන්නට හේතුවක් නොතිබුණු බවයි- එය ඉතා සරල බසකි.

හසන් වෙනුවෙන් ඇය රැගෙනවිත් තිබුණේ කෑම බීමයි. ඈ ඔහු කැමති සියලුම කෑම වර්ග එක්රැස් කර, ඒවා මොණරුන් ගෙත්තම් කළ රෙදි මල්ලක දමා ගෙනැවිත් තිබිණි. නිලධාරියා මේ මල්ල විවර කර, සෙමින් තමන්ටම යමක් කියාගෙන තම සගයෙක්ට එතැනට හඬ ගැසුවේය. ඉනික්බිති ඔවුන් දෙදෙනා එක්ව පත්තර කඩදාසි වල එතූ කුඩා මුල් දිගහරින්නට වූයේ ඒවායේ වූ විවිධ ඖෂධීය ද්‍රව්‍ය වල පුසුඹ බලමිනි. “මේ සුමැක්” ඈ ඔවුන්ට කීවාය. “මේ වේලලා කුඩු කර ගත් ලෙමන්. මේ උළුහාල් ගස් වල කොළ.” ඔවුන් ඇය වෙත පෑවේ හිස් බැල්මකි. කුඩා මුලක් ලෙහූ ඔවුන් එහි ඈ සුප් සැකසීම වෙනුවෙන්ම ගෙන ආ කශ්ක් නම් වෙඬරු වර්ගය අවුස්සන්ට විය. ඔවුන්ගේ දෑත් අතරින් ලිස්සා ගිය ඒ මීකිරි බෝලවල තැන තැන බැටළු ලොම් සහ බෙටි ඇලවී තිබිණි. කොතැනක හෝ දුප්පත් අයෙක් මේ කශ්ක් තැනීමට පැය ගණනක් මහන්සි වන්නට ඇත. අර්ඩාවී මහත්මිය මේ කශ්ක් බෝල අහුලා නැවත මල්ලට දැම්මේ තිර ලෙසිනි. මේ ක්‍රියාවේ අදහස නිලධාරියාට තේරෙනු ඇතැයි ඇය සිතුවාය, ඇගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබිණි. ඔහු පරාජිත බවක් පෙන්වමින් දෑත් විදාලුවේය. ඇය පිටව යාමට නිදහස් කර තිබිණි.

නමුත් ඒ නිදහස කොතැනක යන්නටද?

නිලංකාර දෑසින් යුතුව, පය පැකිලෙමින් ඇය වීදුරු බිත්තිය වෙත ගමන් කරන්නට විය. වෙල්වට් සහ අලංකාර සේද රෙදි කැබලි වලින් නිමවන ලද විවිධ හැඩවලින් යුත් පාර්සල් සහ ගමන් මලු, ඇය ඉදිරිපසින් පිරමීඩයක් සේ දිස් විය. හදිසියේම ඇය ඉදිරිපසින් දොරක් විවර වූ අතර නාඳුනන පුද්ගලයෙකු ඇයගේ මඟ හරස් කළේ ය. “ඛානොම් ජුන්,” ඔහු කීවේය. ඒ නමින් ඇයව ආමන්ත්‍රණය කළේ ඇගේ දරුවන් පමණකි. ඇය කිසිත් නොදකින දෑසින් ඔහුව පසු කර යද්දී ඔහු ඇයගේ අත ස්පර්ශ කළ අතර ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය.

මෙහි සිටි තරබාරු මිනිසාව ඇය හැඳිනුවේ නැත. ඇය හසන්ව අන්තිමට දකිද්දී ඔහු ආපසු හැරී නොබලාම ප්‍රංශ ගුවන්යානයක් තුළට අතුරුදහන් වූ කෙසඟ, උරහිස් කඩාහැලෙන වෛද්‍ය ශිෂ්‍යයෙක් විය. “ඛානොම් ජුන්, මේ මම” යැයි අමුත්තා කියද්දී ඇය බොඳ වූ දෑසින් ඔහුගේ මුහුණ පිරික්සුවාය. මේ නම් අසුබ ආරංචියක් ගෙන එන්නෙක් බවට සැක නැත. එය කුමක් විය හැකිද? ඇයට කිසි දිනක තම පුත්‍රයාව දකින්නට නොලැබෙන බව ඇය නැවත නැවතත් පෙනෙන හීනයක දැක තිබිණි. ඔහු ගුවන්තොටුපොළ වෙත එද්දීම මිය යන බව - නොඑසේ නම් ඔහු මියගොස් මාස කීපයක් වූවත් කිසිවෙක් ඒ ගැන ඇයට නොකී බව, ඇමෙරිකාවේ සිටින දුර ඥාතියෙක් හසන් ඇයට එවන සතුටු ආරංචි පිරි ලිපි වල ඔහුගේ අත්සන යොදන බව ඒ හීනවල කියවිණි. නමුත් හිසකෙස් සුදුවෙමින් ඇති, ඝන උඩු රැවුලක් සහිත මේ පිරිමියා ඇඳුමින් ඇමෙරිකානු වූවත් පෙනුම ඉරාන ජාතික වූ අතර ඔහුගේ දෑස වෙනත් කෙනෙකුට අයිති විලසින් ඒවායේ දුක්මුසු හුරුපුරුදු බවක් තිබිණි. “ඇයි මාව විශ්වාස නැද්ද?” ඔහු ඇසුවේය. ඉනික්බිති ඔහු ඇගේ දෙකොපුල සිපගත්තේය. ඇය මුලින්ම හඳුනාගත්තේ ඔහුගේ පුසුඹයි. ඔහු වෙතින් හැමූ ප්‍රියමනාප කහට ගතියෙන් යුත් බෙහෙත් සුවඳ ඇය වෙත ගෙන ආවේ හසන් කුඩා කල ඇගේ ගෙල වටා තම සිහින් දෑත් පටලන්නට සැරසෙන මතකයකි. “හසන් මේ ඔයා!” කී ඇය ඔහුගේ අළු පැහැති ට්වීඩ් කබායේ උරහිසට වාරු වී හඬන්නට විය.


~~~~~~~~~~~~~~~~~~

ඔවුහු නිවස බලා යන ගමන නිහඬවම ගත කළහ. වරක් ඔහුගේ මුහුණ අල්ලන්නට ඇය අතක් දිගු කළේ හැතැප්ම ගණනක් තිස්සේ එසේ කරන්නට වුවමනාව තිබුණු බැවිනි. ඔහු මෙතෙක් කල් එවා තිබුණු අපැහැදිලි ඡායාරූප කිසිවක් ඔහු කෙතරම් වයස්ගත වී ඇතිද යන්නට ඇයව සූදානම් කර තිබුණේ නැත.

“කොච්චර කල් ගතවෙලාද ඇත්තටම?” ඇය ඇසුවාය. “අවුරුදු දොළහක්?”

නමුත් හරියටම කෙතරම් කල් ගතවුණිදැයි ඔවුහු දෙදෙනාම දැන සිටියහ. ඈ එවූ ලිපි කන්දරාවේ “මගේ දයාබර හසන්, දස වසරක් ගත වී ඇතත් ඔබේ ඉඩකඩ තවම හිස් ව තිබේ,” “එකොලොස් වසරකට පසුවත් තවමත්…” යනුවෙන් සටහන් ව තිබිණි.

ඉදිරියෙන් පැමිණෙන වාහනවල ලාම්පු එළි දෙස හසන් දෑස් කුඩා කර බැලුවේය. ඔහුගේ මව තම හිස බැඳි සාලුව වරින් වර අතින් සකසන්නට විය. තමන් එය නොපැළඳ යුතුව තිබුණු බව ඈ දැන සිටියාය. දෙවරක්ම ඇමෙරිකාවට ගොස් තිබුණු ඇගේ බාලම නැගණිය ඒ බව ඇයට කියා තිබිණි. “ඕවා දැම්මාම ඔයා එහෙදි කැපිලා පේනවා” නැගණිය කීවාය. නමුත් මෙය කලින් බලයට පත් වූ ශා වරයාගේ තහනමට ලක්වීමට පෙර ඇය පැළඳි හිස් ආවරණ සාලුව යළිත් මතකයට කැන්දන කුඩා සිහිවටනයක් පමණක් විය. ඇගේ වයසේදී ඇය හිස නිරාවරණය කරගෙන යන්නේ කෙලෙසද?

මීට අමතරව ඇයගේ දත් පිළිබඳව ගැටළුවක් ද විය. “ඔයාගේ මුළු කටටම දත් තුනක් වත් නැහැනේ, ඔයාට තියෙන්නේ දත් කුට්ටමක් හදවා ගන්න.” ඇයගේ බාලම නැඟණිය කීවාය. නමුත් අර්ඩාවී මහත්මිය දන්ත වෛද්‍යවරුන්ට කෙරෙහි දැක්වූයේ බියකි. දැන් ඇය එක් අතකින් මුව වසාගෙන හසන් දෙස බැලුවාය. ඇගේ දත් පිලිබඳ ගැටලුව ඔහු මෙතෙක් දැක නැති බවක් පෙනුණු අතර ඔහු රථය දකුණු මං තීරුවට හරවාගන්නට වෙහෙසෙමින් සිටියේය.

ඇය ඔවුන් අතර මේ නිහඬතාවය කිසිසේත් බලාපොරොත්තු වූයේ නැත. සති ගණනක් තිස්සේ ඈ කුඩා ඕපාදූප කැබලි එකතුකරමින්, ඔහුට කියන්නට පවුලේ කතන්දර වියමින් පසු වූවාය. ඇයගේ පවුලේ තුන්සියයක් තරම් සාමාජිකයින් විය. මොවුහු හැම දෙනාම තුන් හතර ක්‍රමයකට එකිනෙකාට නෑදෑ වූහ. මේ හැම කෙනෙක්ම ඉතා සූක්ෂම අපචාරවත් ජීවිත ගත කළ අතර මේවා විස්තර සහිතව තම පුත්‍රයා සමඟ සාකච්ඡා කරන්නට බලාපොරොත්තුව සිටි ඈ ඒ වෙනුවට දුක්මුසුව කවුළුවෙන් පිටත බලාගෙන ගමන් කළා ය. හසන් විස්තරයක් අහන්නේ වත් නැති හැටි! මේ තරම් කාලයක් ගතව තිබුණු නිසා මීට වඩා හොඳ කතාබහක් ඔවුන් අතර ඇතිවෙනු ඇතැයි කෙනෙක් අපේක්ෂා කරන්නට ඉඩ තිබිණි. සුන් වූ බලාපොරොත්තු ඇය තුළ කෝපයක් ඇති කළේය. දැන් යමක් කිව යුතු ඇසිල්ලකදී පවා - එනම් විශාල ගොඩනැගිල්ලක් පසුවෙද්දී, නොඑසේ නම් නුපුරුදු සන්නාමයකින් යුත් මෝටර් රථයක් අඳුරේම ඔවුන් පසුකර යද්දී පවා- ඇය මුරණ්ඩු ලෙස නිහඬවම සිටියාය.

ඔවුන් නිවසට ළඟා වෙද්දී මැදියම් රැයට ආසන්න වී තිබිණි. හසන් ගේ නිවස හැර අන් හැම නිවසක්ම අඳුරේ ගිලී පසුවිය. ඇය සිතුවාට වඩා හසන්ගේ නිවස පැරණි එකක් විය. ඔහු පදික වේදිකාව අසල ඉතා කුඩා ඉඩක රථය ඉතා දක්ෂ ලෙස ගාල් කිරීමෙන්ම ඔහු දැන් වැටෙන් අනෙත් පසට, එනම් ඇමෙරිකානු පැත්තට අයත් බව පැහැදිලි විය. ඇයට තනිවම ලේලියට මුහුණ දීමට සිදුවනු ඇත.

“කොහොමද ඒක කියන්නේ?” නිවස ඉදිරිපස පඩිපෙළ නගිද්දී ඈ රහසින් ඇසුවාය.

“මොකක්ද?” හසන් ඇසුවේය.

“අරයාගේ නම. ලිස්බෙට් ද?”

“එලිසබෙත්. දන්නවානේ අර එලිසබෙත් ටේලර් වගේ.”

“ආ ඔව් ඔව්.” කී ඔහුගේ මව නිකට ඔසවා තම අත් බෑගයේ පටි තදින් අල්ලා ගත්තාය.

එලිසබෙත් නිල් පැහැති ජීන්ස් කලිසමක් ඇඳ බූල් සෙරෙප්පු යුවලක් පැළඳ සිටියාය. සේද වැනි ව දිස් වූ ඇගේ රන් පැහැති කොණ්ඩය කොටට කපා තිබිණි. ඇගේ මුහුණේ තිබුනේ කුඩා දරුවෙක්ගේ වැනි නිදිමත, බැරෑරුම් පෙනුමකි. ඇය දොර විවර කළ වහාම “සලාම් මලෙයිකුම්” කීවාය. පිළිගැනීම සඳහා යෙදුණු මේ පර්සියානු වැකිය අසා මහත් සේ සතුටු වූ අර්ඩාවී මහත්මිය ඇයව තදින් වැළඳගෙන දෙකොපුලම සිප ගත්තාය. ඔවුහු ඇයව විසිත්ත කාමරය වෙත කැඳවාගෙන ගියහ. මෙහි සුවපහසු පෙනුමක් තිබුණත් තරමක පාලු ස්වභාවයක් දැරීය. එහි වූ ලී බඩුවල ඍජු බවක් මිස ලාලිත්‍යයක් තිබුණේ නැත. බුමුතුරුණුවලද ලස්සනක් නොවිණි. නමුත් ජනෙල් තිර වල නම් අමුතු ලස්සන මෝස්තරයක් ඇයගේ ඇස ගැටුණි. කාමරයේ කෙළවරක දිස්නය දෙන කුඩා රතු සෙල්ලම් මෝටර් රථයක් වූ අතර එහි අංක පුවරු පවා විය.

“මේක දරුවාගේ ද?” ඇය ඇසුවාය. “හිලරිගේ?” ඒ නම කියද්දී ඇය මඳක් පැකිලුනාය. “මට එයාව බලන්න පුලුවන්ද?”

“දැන්?” හසන් ඇසුවේය.

“ඒකට කමක් නැහැ” යැයි හසන්ට කී එලිසබෙත් (ගැහැනුන්ට මෙවැනි දේ වැටහේ) තම නැන්දම්මාව කැඳවාගෙන ගියාය. දෙවෙනි මහල දක්වා වූ තරප්පු පෙළ ඔවුන් නැංගේ එකටයි. ඉනික්බිති ඔවුන් එළඹුණු කුඩා කාමරයෙන් හැමුවේ කිරි ත්, රබර් සෙල්ලම් බඩුත්, ටැල්කම් පුයරත් ආදිය මුසු වූ පුසුඹකි. මේ සුවඳවල් ඇයට ඕනෑම තැනකදී හැඳිනිය හැකිව තිබිණි. කොරිඩෝවෙන් විහිදුණු ලා එළියෙන් වුව හිලරි ලස්සන දරුවෙක් බව ඇයට පැහැදිලිව පෙනුණි. ඇයට කළු පැහැති කෙස් ද, කළු ඇස් පිය ද, හසන් ගේ හමට වඩා ලා පැහැති තිරිඟු පාටැති සමක්ද තිබිණි.

“මේ ඉන්නේ” එලිසබෙත් කීවාය.

“බොහොම ස්තූතියි.” අර්ඩාවී මහත්මිය පිළිතුරු දුන්නාය. ඇගේ කටහඬ බැරෑරුම් බවක් පෙන්වුවද ඈ සිටියේ මේ තමන්ගේ පළමු මිනිබිරිය යන සිතිවිල්ලෙන් නැවත පියවි ලොවට ඒමට අපහසුවෙන් උත්සාහ කරමිනි. ඉනික්බිති ඔවුහු නැවත කොරිඩෝව වෙත ආහ.

“මම එයාට පදක්කම් ටිකක් ගෙනාවා. ඔයා අකමැති වෙන එකක් නැහැ කියලා මම හිතනවා”

“පදක්කම්?” එලිසබෙත් සැකයෙන් මෙන් නැවත කීවේ එහි උච්ඡාරණය වරද්දමිනි.

“අල්ලාහ් ගේ එකකුයි කුරානයේ එකකුයි විතරයි. ඒවා බොහොම පුංචියි, තියෙනවා කියලා පේන එකක්වත් නැහැ. පදක්කම් නැතිව දරුවෙක් මට දැකලා පුරුදු නැහැ, එතකොට මම වධ වෙන්න ගන්නවා.”

ඇය ඉබේ මෙන් ගෙල වටා රන් දමක් ඇති අයුරු ඇඟිලි තුඩින් පෙන්වා ගෙල මුල ඇඟිලි නතර කළාය.

“ආ!... පදක්කම්,” එලිසබෙත් යමක් වැටහුණු බව පෙන්වා හිස සැලුවාය.

“කමක් නැද්ද?”

“ආ කමක් නැහැ,”

මින් අර්ඩාවී මහත්මියගේ සිත පැහැදුණි. “හසන් නම් මේවාට හිනාවෙනවා. එයා ඕවා විශ්වාස කරන්නේ නැහැ. ඒත් එයා එහෙන් එද්දී මම එයාගේ ගමන් මල්ලේ සාක්කුවකට යාඥාවක් ලීව කොලයක් දැම්මා. දැන් බලන්නකෝ එයාව ආරක්ෂා වුණානේ. ඒ වගේම තමයි හිලරිට මෙයින් පදක්කමක් පැලැන්දුවොත් මට රෑට නින්ද යයි.”

“අනිවාර්යයෙන්” එලිසබෙත් කීවාය.

ඔවුන් නැවතත් විසිත්ත කාමරයට ඇතුල් වන විට අර්ඩාවී මහත්මිය සිටියේ සිනාසෙමිනි. හිඳගැනීමට පෙර ඇය හසන් ගේ හිස් මුදුන සිප ගත්තාය.


~~~~~~~~~~~~~

ඇමෙරිකාවේ දවස් ඉතා කාර්යබහුල විය. ඒවා උදේ වරු, හවස්වරු ලෙස නොව 9.00, 9.30 ආදී වශයෙන් ඒ එක් එක් කාණ්ඩයට වෙන්වූ ක්‍රියාකාරකම් සහිතව අපූරු ලෙස බෙදී තිබිණි. “මෙහෙ අය හරි සැලසුම්සහගතව වැඩකරන්නේ. මගේ ලේලි එක විනාඩියක්වත් අපතේ අරින්නේ නැහැ” අර්ඩාවී මහත්මිය සිය සොයුරියන්ට ලියා යැව්වාය. “මොන තරම් කරදරයක්ද?” ඔවුහු පිළිතුරු එවූහ. ටෙහෙරාන්වල ජීවත් වූ ඔවුහු දවස් ගත කළේ නොකඩවා තේ බොමින් සහ ඊළඟට ඔවුන්ගේ නිවෙස්වලට පැමිණෙන අමුත්තන් කවුදැයි අලසව අනුමාන කරමිනි.

“නැහැ ඔයාලා වැරදියට තේරුම් අරන් තියෙන්නේ,” අර්ඩාවී මහත්මිය ඊට විරුද්ධ වූවාය. “මේ ක්‍රමයට මම කැමතියි. මම දැන් හොඳට හැඩ ගැහෙමින් ඉන්නේ.”

“මම දැන් නිකම් ඇමෙරිකන් වගේ, කිසිකෙනෙක් මම එහෙම නැති බවක් විශ්වාස කරන්නේ නැහැ.” ඇය තම බාලම සොයුරියට කියා යැව්වාය. මෙය සත්‍යයක් නොවූවත් ඉදිරියේදී එය සත්‍යයක් වනු ඇතැයි ඇය බලාපොරොත්තු වුවාය.

හසන් වෛද්‍යවරයෙක් විය. ඔහු උදෑසන හයේ සිට හවස හය දක්වා බොහෝ දිගු කාලයක් රාජකාරී කළේය. ඇය උදෑසන යාඥාව සඳහා පිරිසිදු වෙද්දී ඔහු හඬ නොනැඟෙන සේ තරප්පුව බැස ඉදිරිපස දොරින් නික්මෙන හඬ ඇයට ඇසේ. ඔහුගේ මෝටර් රථය පණ ගැන්වෙද්දී නිවසේ පහළ පෙදෙසින් ගැඹුරු හඬක් නැඟෙන අතර එය රත් පැහැති පත්‍ර රැසක් විසිරුවමින් පාරට හරවා වංගුවෙන් නොපෙනී යන අයුරු ඇගේ නානකාමරයේ කවුළුවෙන් දිස් වේ. එවිට ඇය සුසුමක් හෙලා නැවත කරාමය වෙත පැමිණෙන්නීය. යාඥාවට පළමුව ඇය මුහුණත්, දෑත ත්, දෙපතුලත් සේදිය යුතු විය. ඉන්පසු තෙත ඇඟිලි තුඩු හිසකෙස් බෙදෙන ඉර හරහා රැගෙන යා යුතු විය. ඉනිබිති කාමරයට යන ඈ ඇගේ දිගු කළු සාලුව මනාසේ ඔතාගෙන පබළු ඇල්ලූ විල්ලුද යාඥා බුමුතුරුණ මත දණ ගසන්නීය. නැගෙනහිර දිශාව තිබුණේ කාමරයේ කවුළුව පිහිටා තිබුණු පැත්තෙනි. මල් සහිත තිර රෙදි තිබුණු මේ කවුළුව උදෑසනට බොඳ වී පෙනුණි. කාමරයේ නැගෙනහිර බිත්තියේ ඇය කලිෆ් අලි ගේ රුවක් සහ ඇගේ තෙවෙනි පුත් බබාක්ගේ වර්ණ ඡායාරුපයක් එල්ලා තිබිණි. මේ ගමන පැමිණෙන්නට මාස කීපයකට පෙර ඇය බබාක්ගේ මංගල්ලය සූදානම් කළාය. බබාක් කසාද නොබැන්දේ නම් ඇයට මේ ගමන එන්නට නොහැක. ඔහු පවුලේ බාලයා වූ අතර නිවසේ ඉතිරි වූ එකම දරුවා වීම නිසා නරක් වී සිටියේය. ඔහුට සුදුසු බිරිඳක් සෙවීමට ඇයට තෙවසරක් ගතවිය. (පළමුවැන්නිය නවීන වැඩිවූ අතර දෙවැන්නිය කම්මැලි වැඩි විය. තවත් එකියක් කෙතරම් සර්ව සම්පූර්ණද යත් ඇය සැක සහිත විය) නමුත් අවසානයේදී සුදුසු ගැහැනු ළමයෙක් හමුවිය. නිරහංකාර, යහපත් ගති පැවතුම් ඇති ඇයට ගැලපෙන තරමට පුළුල් උකුලක්ද තිබිණි. ඒ විවාහයෙන් පසු නව යුවලත් අර්ඩාවී මහත්මියත් ටෙහෙරානයට කිට්ටු පෙදෙසක අලංකාර නව නිවසක පදිංචි වූහ. දැන් ඇය යාඥා කරන හැම වාරයකම තමන්ගේ මහලු විය ගත කිරීමට නිවසක් තිබීම ගැන ස්තූතිවන්ත වීමට අමතක කළේ නැත. ඉන්පසු ඈ සාලුව ගලවා ප්‍රවේශමෙන් ලාච්චුවකට දමා වසන්නීය. තවත් ලාච්චුවකින් ඇය පිටතට ගන්නේ ගනකම් කපු මේස් යුවලකි. මේවා පැළඳ, තම ඉදිමුණු දෙපා ඉදිරිපසින් විවර පාවහන් යුවලක් තුළට ඔබා ගන්නීය. පිටතට නොයන්නේ නම් ඈ නිතරම ඇන්දේ බුරුල් ගවුමකි. ඇමෙරිකානුවන් තම ඇඳුම් වෙනුවෙන් කෙතරම් නාස්තිකාරද යන වග ඇයව පුදුම කළේය.

මේ වෙද්දී පහත මාලයේ එලිසබෙත් ඇය වෙනුවෙන් තේ කෝප්පයක් සකසා කර කරන ලද පාන් පෙත්තක බටර් තවරා තබයි. එලිසබෙත් සහ හිලරි කෑවේ බේකන් සහ බිත්තර වූ නමුත් බේකන් යනු අපිරිසිදු දෙයක් බැවින් ඇය ඒවා ආහාරයට ගත්තේ නැත. කිසිවෙක් වත් ඇයට ඒවා දෙන්නට උත්සාහ කළේද නැති නමුත් වරක් හසන් විහිලුවට මෙන් බේකන් පිඟාන ඇය වෙත පෑවේය. තරප්පුව බසිද්දීම ඇයට ඒවායේ සුවිශේෂී දුම් සහිත සුවඳ දැනුණි. “මේවා මොන රසද?” ඇය හැම විටම ඇසුවේ ඒ ගැන දැනගැනීමට ඇයට මහත් නොඉවසිල්ලක් දැනුණු බැවිනි. නමුත් එලිසබෙත් ගේ පර්සියානු වචනාවලිය බේකන් රස විස්තර කිරීමට ප්‍රමාණවත් නොවීය. එය ලුණු රස බව කී ඇය සිනාසී විස්තර කිරීමේ උත්සාහය අත්හැර දැමුවාය. අමාරු වචනවලින් ඇතිවෙන මාර්ග බාධක මඟ හරිමින් පහසු සාමීචි මාර්ගයක ගමන් කිරීමට ඔවුන් දෙදෙනා මුලදීම හුරු වී තිබිණි.

“හොඳට නින්ද ගියාද?” එලිසබෙත් හැමදිනකම තමන්ගේ අමුතු ළමා උච්ඡාරණයෙන් අසන්නීය. “තරමක්” අර්ඩාවී මහත්මිය ඊට පිළිතුරු දෙන්නීය. ඉනික්බිති දෙදෙනාම හැරී හිලරි දෙස බලති. උස් පුටුවක් මත හිඳ ස්ක්‍රැම්බල් කළ බිත්තර කමින් සිටින හිලරිගේ ගෙල පසුපසින් හීනි පර්සියානු රන් දම්වැලක් දිස් වේ. හිලරි අසලක සිටින විට කතාබහ පහසු සහ ඇතැම්විට අනවශ්‍ය විය.

උදේ වරු වලදී එලිසබෙත් නිවස පිරිසිදු කළාය. අර්ඩාවී මහත්මිය ඒ වෙලාව පාවිච්චි කළේ ලිඋම් ලිවීමටයි. තම නැන්දනියන්ට, මාමාවරුන්ට සහ ඇගේ සොයුරියන් දහතුන්දෙනාට ලියුම් ලිවිය යුතුව තිබුණු බැවින් ඇයට ලියුම් දුසිම් ගණන් ලියන්නට තිබිණි. (ඇගේ පියාට බිරින්දෑවරුන් තිදෙනෙක් සිටි අතර ඒ කාලයේ හැටියටත් ඒ දරුවන් සංඛ්‍යාව පුදුම සහගත විය.) මීට අමතරව බබාක්ට ද ලිවිය යුතු විය. ඔහුගේ බිරිඳ දෙමස් ගැබිනියක් වූ නිසා අර්ඩාවී මහත්මිය ඇමෙරිකානු ක්‍රමයට දරුවන් හදා වඩා ගැනීම ගැන දිගු විස්තර ලිව්වාය. “මෙහෙ කරන සමහර දේවල් වලට මම එකඟ නැහැ,” ඈ ලීවාය. “එයාලා පරිස්සමට වැඩකාරයෙක්වත් නොතියා හිලරිට එළියේ තනියම සෙල්ලම් කරන්න ඉඩ දෙනවා.” මෙසේ ලියද්දි ඈ මොහොතකට අවධානය බිඳී බිම හිඳ ‘කැප්ටන් කැන්ගරු’ නම් වැඩසහනක් රූපවාහිනියේ නරඹන හිලරි දෙස කල්පනාකාරීව බලා සිටියි.

අර්ඩාවී මහත්මියගේ ළමා කාලය නම් දරුණු එකක් විය. වයස නමයේ සිට ඇය හිස වසන සාළුවක් පැලඳු අතර මහමඟ යද්දී එහි කෙළවරක් දත් අතර රඳවාගෙන මුහුණ වසා ගන්නට උත්සුක වූවාය. ඇගේ පියා සමාජයේ පිළිගැනීමක් තිබුණු පුද්ගලයෙක් වූවත් ඔහු වැඩකාර කෙල්ලන්ව නිවසේ කොරිඩෝ ඔස්සේ එළවමින්, සිනාසෙමින් ඔවුන්ව හිස් නිදන කාමරවල කොටු කරගනිමින් කාලය ගත කළේ ය. තම මව දරු ප්‍රසූතියකදී අධික ලේ වහනයෙන් මිය යන අයුරු බලා සිටීමට බල කෙරෙද්දී ඇයට වයස දහයකි. ඒ වෙලාවේ ඇය භීතියෙන් කෑ ගැසුවත් වින්නඹු කාන්තාව ඇයට අතුල් පහරක් දී ඇය විසින් මවට හාදුවක් දී හරියාකාරව සමුදෙන තෙක් ඇයව තරයේ අල්ලා සිටියාය. ඕවරෝල් කලිසමක් හැඳ සිටින මේ කුඩා ඇමෙරිකානු දැරිය සහ තමන් අතර කිසිම සම්බන්ධයක් පෙනුණේ නැත. ඇතැම්විට හිලරි දඟ කරමින් කෝපය උත්සන්නව කෑ ගසා හඬද්දී එලිසබෙත් ඇයට පහරක් දෙන තුරු අර්ඩාවී මහත්මිය බලා සිටියේ බියපත් දෑසිනි. දැරියට එවැනි පහරක් නොලැබුණු විට ඇයට දැනුණේ සැනසිල්ලත් කෝපයත් මුසු හැඟීමකි. එවන් අවස්ථාවලදී “ඉරානේදී නම් අපි…” යැයි ඈ කියන්නට පටන් ගත්තද ඒ අසලක හසන් සිටියේ නම් ඔහු “ඒත් මතකයිනේ, අපි ඉන්නේ ඉරානේ නෙමෙයිනේ?” යැයි කියයි.

දිවා අහාරයෙන් පසු හිලරි නින්දට වැටෙන්නීය. අර්ඩාවී මහත්මියද ඉහළ මාලයට යන්නේ දිවා යාඥාව සිදුකර මඳක් නිදාගැනීමටයි. ඉනික්බිති ඇය ඇතැම් දවස්වලට තමාගේ නාන තටාකයේ රෙදි සෝදා ගනියි. මේ නිවසේ රෙදි සෝදා ගැනීම ගැටළුවක් විය. අර්ඩාවී මහත්මිය එලිසබෙත්ට කැමති වූවත් ඇය ක්‍රිස්තියානි ආගමට අයත් බැවින් අපවිත්‍ර කෙනෙක් ලෙස සැලකුවාය. ක්රිස්තියානුවෙක් ලවා මුස්ලිම් කෙනෙක්ගේ රෙදි සෝදාගැනීම නොතරම් විය. මීට අමතරව අපවිත්‍ර ක්‍රිස්තියානුවෙක්ගේ යට ඇඳුම් පවා සේදීමට යොදාගන්නා බැවින් රෙදි සෝදන යන්ත්‍රයද අපවිත්‍ර සේ සැලකිණි. මේ හේතු කාරණා නිසා තෙත රෙදි වනන්නට ඇඳුම් වැටක් ගෙන දෙන ලෙස ඈ හසන් ට කීවාය. පෙට්ටියක අසුරා පැමිණි එහි කොටසින් කොටස එක් කර තනා දුන්නී, එලිසබෙත් ය. ඉනික්බිති අර්ඩාවී මහත්මිය එය නානකාමරයේ වතුර මල යටට අල්ලා සෝදා දැමුවේ යම් අපවිත්‍ර බවක් ඉතිරිවී ඇත්නම් එය ඉවත් කිරීමටය. මෙවැනි අවස්ථාවලදී කළ යුත්තේ කුමක්දැයි කුරාණයේ පැහැදිලි කර තිබුණේ නැත.

හවස් වරුවේ, හිලරි නින්දෙන් අවදි වූ විට ඔවුහු උද්‍යානය වෙත ඇවිදින්නට ගියහ. එලිසබෙත් හැමදිනකම මේ ගමනට නිල් පැහැති ජීන්ස් කලිසම් ඇන්දාය. අර්ඩාවී මහත්මිය සාලුවෙන් හිස ආවරණය කරගෙන ගිය අතර තම ඉදිමුණු පාද කුඩා පාවහන් වල රුවාගෙන ගමන් කළ නිසා ඈ තැබුවේ කෙටි පියවරයන් ය. මේ වෙද්දී හසන් ඇගේ දත් දැක තිබුණු නමුත් ඒ සම්බන්ධයෙන් කිසිවක් කර තිබුණේ නැත. ඔහුට ඒ ගැන අමතක වේ යැයි ඇය ප්‍රාර්ථනා කරමින් සිටියත් ඇය සිනාසෙන හැමවිටකම ඇගේ මුවේ හිඩැස් සහිතව පිහිටා තිබුණු දුඹුරු පැහැති වූ දත් පහ දකිද්දී ඔහුට එය නැවත සිහිගැන්වෙන අයුරු ඇය දුටුවාය.

උද්‍යානයේදී නම් ඇය බොහෝ සෙයින් සිනාසුණාය. එතැන සිටි අනෙත් කාන්තාවන් සමඟ සන්නිවේදනය කිරීමට ඇයට තිබුණු එකම මඟ එයයි. ළමුන්ගේ සෙල්ලම් පිටිය වටා පිහිටා තිබුණු බංකුවල හිඳ සිටි ඔවුහු ඇසූ ප්‍රශ්න එලිසබෙත් පරිවර්තනය කරද්දී අර්ඩාවී මහත්මිය නොකඩවා හිස සලමින් සිනාසුණාය. “එයාලා අහනවා ඔයා මෙහෙට කැමතිද කියලා.” එලිසබෙත් කීවාය. අර්ඩාවී මහත්මිය මේවාට දීර්ඝ පිළිතුරු දුන් නමුත් එලිසබෙත්ගේ පරිවර්තන නිතරම කෙටි විය. ටික වෙලාවකට පසු සෙසු කාන්තාවන්ට ඇයව අමතකව ගොස් ඔවුන්ගේ කතාබහ දිගින් දිගටම සිදු විය. අය නිහඬව ඔවුන්ගේ සෙලවෙන තොල් දෙස බලා සිටියාය. ඉඳහිට “ටෙලිෆෝන්, ටෙලෙවිෂන්, රේඩියෝ’ වැනි ඇයට හුරු වචන මේ කතාබහ අතරේ කියවිණි. ඇමෙරිකානු කතාබහ වල - කාන්තාවන් අතරේ කතාබහවල පවා- අන්තර්ගතය තාක්ෂණික පැත්තට නැඹුරුයැයි මේ නිසා ඇයට සිතුණි. ඔවුන්ගේ අභිනයන්ගෙන් දිස් වූයේද අලස සහ පෘථුල බවකි. ඇමෙරිකාවේ හැම කෙනෙක්ම ඉතා කලබල බවට තම නංගී කළ ප්‍රකාශය මෙයින් සාවද්‍ය බවට පත්විය. ඇත්තටම නම් මෙහි දිස් වුයේ ඊට හාත්පසින්ම වෙනස් වූ දෙයකි. වෙන්ව යන වෙලාව එළැඹි විට මේ කාන්තාවන් නොවැම්බර් අහස යට තිබුණු පුළුල් තැනි අවකාශ හරහා තනිවම හෝ ජෝඩු ලෙස ඇවිද ගියේ සිහිනමය විලාශයෙනි.

ඔවුන් නැවත නිවසට ගිය පසු අර්ඩාවී මහත්මියට මේ කාන්තාවන් ගැන අසන්නට ප්‍රශ්න රැසක් තිබිණි. “අර රතු කෙස් තියෙන කෙල්ල- එයාට බබෙක් හම්බවෙන්න ඉන්නවාද? එයාගේ පෙනුමට මට නම් හිතුනේ එහෙමයි. අර මහත කෙල්ල, එයාගේ කසාදෙ ඉන්නේ සතුටින්ද?” තරමක් කලබලයෙන් මේ ප්‍රශ්න ඇසූ ඇය එලිසබෙත්ගේ පිළිතුරු පමා වෙද්දී නොඉවසිලිමත්ව ඇයගේ ඇඳුමද ඇද්දාය. මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතය ගැන ඇයට දැනුණේ මහත් උනන්දුවකි. සෙනසුරාදාට වෙළඳසැලට යන හැම ගමනකදීම ඇය අවධානය දීමට එක් සුවිශේෂී නාඳුනන අයෙක් තෝරාගත්තාය. “අර වෙව්ලනවා වගේ පේන මිනිහාට මොකද වෙලා තියෙන්නේ? අර කෙල්ල - ඒ අර ඔයාලගේ රටේ ඉන්නවා කියන කළු හම තියෙන ජාතියේ කෙනෙක්ද?” එලිසබෙත් මේවාට පිළිතුරු දුන්නේ මහත් සේ බාල කරන ලද හඬින් වූ අතර අර්ඩාවී මහත්මියගේ ඇඟිලි දිගු කිරීම් නොදුටු ලෙසින් ඇය හැසිරුණාය.

රෑ කෑම නිරතුරුව දුෂ්කර විය. අර්ඩාවී මහත්මිය ඇමෙරිකානු කෑම ප්‍රිය කළේ නැත. එලිසබෙත් ඉරානියානු කෑමක් පිළියෙළ කළත් එහි ඇමෙරිකානු රැසක් දැනුණි. එක්කෝ එහි එළවලු අමු විය. නැත්නම් එහි ළූණු දුඹුරු පැහැතිව මනා සේ බැදී තිබෙනු වෙනුවට විනිවිද පෙනෙන පෙනුමෙන් යුතු විය.

“එළවලු හොඳට ඉවිලා නැත්නම් ඒවායේ අම්ල ගතියක් ඉතුරුවෙනවා,” අර්ඩාවී මහත්මිය තම ගෑරුප්පුව නැවත මේසය මත තබමින් කීවාය. “එතකොට මලබද්ධය, බඩේ ගායවල් එහෙම හැදෙනවා. රෑට මට නිතරම පපුවේ දැවිල්ල හැදෙනවා. දැන් දවස් තුනකින් මම වැසිකිලි ගිහින් නැහැ.”

මෙය අසා එලිසබෙත් නම් තම පිඟාන වෙතම හිස ඔබා සිටි අතර මීට පිළිතුරු ලෙස තමන්ගේ ආබාධ ගැන කිසිවක් නොකීවාය.

“මේවා කෑම මේසේදී කියන්න ඕනද ඛානොම්? කෑම මේසේදී?” හසන් කීවේය.

ටික දිනකට පසු තමන් වෙනුවෙන් කෑම පිසගැනීමට අර්ඩාවී මහත්මිය තීරණය කළා ය. එලිසබෙත් ගේ විරෝධය මැද ඇය හැම දිනකම හවස තුනට මේ කාර්යය ඇරඹු අතර මෙයින් නිවසම කුළුබඩු පුසුඹෙන් පිරී ගියේය. හට්ටි මුට්ටි තැබීමට කුස්සියේ කවුන්ටරය මත ඉඩකඩ මදි වූ විට ඇය ඒවා බිම පුරා ද පෙළ ගැස්වූවාය. තම සාය දෙදන අතර රඳවාගෙන, බිම ඇන තියාගන්නා අර්ඩාවී මහත්මිය ලියන ලද කොළ වර්ග පුරවන ලද විශාල භාජන හැඳි ගෑවාය. ඇයට පසුපසින් ගෑස් උදුන මත ලිප් හතරක හට්ටි හතරක් දුම් දමමින් තිබෙනු දිස් විය. දැන් දැන් මේ කුස්සිය තමන්ගේ නිවසේ කුස්සියට සමාන වෙමින් පවතින බව ඇයට සිතුණි. ලිපට පසෙකින් බඳුනක මුදවූ කිරි බඳුනක් පැසෙමින් තිබිණි. වතුර කරාමය අසල බේසමේ තවත් බඳුනක හාල් පෙඟෙන්නට හැර තිබුණු අතර පිඟන් සෝදන යන්ත්‍රයේ උඩ කොටසේ සැෆ්රන්හි තද කහ පැහැති කහට රටා පෙනුණි. පුඩින් සාදන තැටිය කළු පැහැ ගැන්වී කුස්සියේ එක් කෙළවරක විය. එය කළු වී තිබුනේ අර්ඩාවී මහත්මියගේ බඩවැල් වල ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට රසකැවිලි සෑදීම වෙනුවෙන් නිරතුරුව සීනි උණු කිරීමෙනි.

“මේ තමයි ඔයාගේ විවේක වෙලාව,” ඈ නිතරම එලිසබෙත් ට කීවාය. “ඔයා පුදුම වෙන්න බලාගෙන තව පැය තුනකින් කෑම මේසයට එන්නකෝ.” නමුත් එලිසබෙත් කළේ කුස්සියේ දුම් පිරුණු නිස්කලංක පරසරයට බාධා කරමින් දෑත් බැඳ එහි එහා මෙහා සක්මන් කිරීම පමණි. ඇය වතුර කරාමයත් උදුනත් අතර ඉඩකඩේ ඇවිද්දේ ශබ්ද නඟා හට්ටි මුට්ටි නැවත ලාච්චුවලට දමමිනි. රෑ කෑම වෙලාවේදී ඈ ආහාර ගත්තේ ඉතා කුඩා ප්‍රමාණයකි. ඇමෙරිකානුවන් මෙතරම් ආහාර ස්වල්පයකින් මෙතරම් උස යන්නේ කෙසේදැයි අර්ඩාවී මහත්මිය කල්පනා කළා ය. නමුත් හසන් නම් දෙතුන් වර කෑම බෙදාගත්තේය. “මම හිතන්නේ මම සතියකට රාත්තල් පහක් විතර බර වැඩිවෙනවා මේ දවස්වල,” ඔහු කීය. “මගේ ඇඳුම් ඔක්කොම මදි.”

“අහන්නත් සන්තෝසයි,” ඔහුගේ මව පිළිතුරු දුන්නාය. මීට එලිසබෙත් යමක් ඉංග්‍රීසියෙන් කී අතර හසන් ද ඊට පිළිතුරු දුන්නේ ඉංග්‍රීසියෙනි. දැන් දැන් ඔවුහු තරමක් දීර්ඝ වශයෙන් ඉංග්‍රීසියෙන් කතාකරමින් සිටියහ. එලිසබෙත් තම පිඟාන වෙතම නෙත් යොමා සෙමෙන් කතාකළ අතර හසන් ඊට දීර්ඝ පිළිතුරු දෙද්දී ඇතැම් විට මේසය හරහා අතක් දිගු කර ඇයගේ අතද අල්ලා ගත්තේය.

තම රාත්‍රී යාඥාව අවසන් වූ පසු අර්ඩාවී මහත්මිය සාලයේ සෝපාවේ හිඳ රූපවාහිනිය නැරඹුවාය. ඇය තම සාලුවද ගෙනැවිත් එය හොඳින් ඔතා ගත්තේ සීතල වළක්වා ගැනීමටයි. ඇයගේ පාවහන් ඇයගේ දෙපා මුල ගලවා තිබූ අතර ඇය අසල සෝපාවේ ඇගේ ගෙතුම් ද්‍රව්‍ය සහිත මල්ලත්, සීනි උණුකර සාදාගත් රසකැවිලි මල්ලත්, අත් කාචයත්, “මගේ ප්‍රථම රන්වන් ශබ්ද කෝෂය’ නම් පොතත් විසිරී තිබිණි. එලිසබෙත් සැප පුටුවක හිඳ නවකතා කියෙව්වාය. හසන් ද රූපවාහිනිය නරඹමින් සිටියේ කතාවේ තේරුම් ගැනීමට දුෂ්කර කොටස් පරිවර්තනය කිරීම සඳහා ය. නමුත් මේ ඇමෙරිකානු චිත්‍රපටිවල- වැඩියත්ම ගොපලු චිත්‍රපටිවල- කතාව අනුමාන කර තේරුම් ගැනීම අර්ඩාවී මහත්මියට දුෂ්කර වූයේ නැත. රූපවාහිනියේ විකාශය වන වැඩසටහන කම්මැලි එකක් නම් - එක්කෝ වාර්තා වැඩසටහනක් හෝ ප්‍රවෘත්ති විකාශයක් නම්- ඇය කාලය ගතකිරීමට හසන් සමඟ කතාබහ කළා ය.

“ඔයාගේ නෑනා, ෆාරා ලියුමක් එවලා තිබුණා,” ඈ කීවාය. “ඔයාට එයාව මතකද? කැත කළු කෙල්ලෙක්. අන්න එයා දික්කසාද වෙන්නලු යන්නේ. මම නම් හිතන්නේ එහෙම වුණ එක හොඳයි, ඒ මනුස්සයා අඩු කුලේක. ඔයාට ෆාරා ව මතකද?”

මීට පිළිතුරු ලෙස හසන් උගුරෙන් ශබ්දයක් නැඟුවා පමණි. ඔහු ඇමෙරිකාවේ දේශපාලනය ගැන විශේෂ උනන්දුවක් දැක්වූවේය. ඇයද ඒ ගැන උනන්දු වූ කාලයක් තිබිණි. කෙනඩි ජනාධිපතිතුමා ඝාතනය කරන ලද විට ඈ ඔහු වෙනුවෙන් වැළපුණු අතර ඔහුගේ බිරිඳ ජැකී ගේ සේයාරුවක් තම පසුම්බියේ රුවාගෙන සිටියාය. නමුත් මේ ප්‍රවෘත්ති වැඩසටහන් දීර්ඝ කම්මැලි ඒවා විය. හසන් සාමීචියට ලෑස්ති නැති විට ඇයට තම ‘රන්වන් ශබ්දකෝෂය’ වෙත යොමු වීමට සිදු විය.

ඇගේ ළමා කාලයේදී ඇයට මිළ අධික විදෙස් ගුරුවරුන් උගන්වනු ලැබීය. ඇගේ ලොකුම වත්කම ඇගේ බුද්ධිය වූ අතර එය ඇයගේ අලංකාරයක් රහිත විශාල මුහුණත් තරබාරු ඇඟත් වෙනුවට ලැබුණු වන්දියක් වැනි විය. නමුත් මේ වෙද්දී ඈ උගත් දේ එක්කෝ සම්පූර්ණයෙන් අමතකව නැත්නම් ගතවූ කාලය නිසා බොඳවී ගිලිහී ගිය බවක් ඇයට දැනුණි. මතකයේ පතුළ අතගා ඇය මතු කරගත් ඇතැම් දේ හසන්ට කී විට ඔහු කලේ උපාහාසත්මක හඬක් නැඟීම පමණි. ඈ උගත් සියලු දේ මනස වෙත ළඟා වීමට නම් යම් ගනකම් ස්තරයක් පසු කළ යුතු වූවා මෙනි.

“ටොන්ක් යූ” ඈ උච්ඡාරණය කරන්නට පුරුදු වූවාය. “ටොන්ක් යූ, ටොන්ක් යූ”

“තෑන්ක් යූ,” හසන් ඇයව නිවැරදි කළා ය. ඇයට ප්‍රයෝජනවත් වේ යැයි ඔහු සිතන වදන් කිහිපයක් ඔහු පොතෙන් පෙන්වා දුන්නේය. වෙළඳ සැලක දී භාවිත වන වචන, ගෙදර එදිනෙදා භාවිත වන වචන. නමුත් මේවායේ දරදඬු බව හමුවේ ඇයට මහත් නොඉවසිල්ලක් දැනුණි. ඇයට අවශ්‍ය වූයේ ඒ භාෂාවෙන් ඇගේ පෞරුෂ ලක්ෂණත්, ඇගේ ප්‍කට ආචාරශීලී බවත්, මිනිස් ජීවිත පිළිබඳව ඇය සතු මායාකාරී ඉවත් පෙන්නුම් කිරීමයි. හැම රාත්‍රියකම ඇය ‘ලුණු’, ‘පාන්’, ‘හැන්ද’ ආදී වචනවලට අදාළ ඉංග්‍රීසි වචන පාඩම් කළේ නැගී එන උදාසීන බවකිනි. හැම උදයකම ඇය අවදිවෙද්දී ඇගේ ඉංග්‍රීසි හැකියාව ‘තෑන්ක් යූ’ සහ ‘NBC’ යන දෙවදනට සීමා වී තිබිණි.

මේ අතරේදී එලිසබෙත් එක් පොතක් කියවා අවසන් කර හිස ඔසවන්නේද නැතිව ඊළඟ පොත අතට ගත්තාය. හසන් නියපොත්තක් හපමින් ආණ්ඩුකාරවරයෙක්ගේ කතාවක් දෙස බලා සිටියේය. ඔහුට බාධා කළ යුතු නැති බව දැන සිටියත් ඇයට විටින් විට අනෙත් පසින් ඉතා සෙමෙන් ඇසෙන පොතක පිටු පෙරලන හඬ තව දුරටත් අසා සිටිය නොහැකි වූ අතර තමන් කතා කළ යුතුම බවක් හැඟිණි.

“හසන්?”

“හ්ම්ම්.”

“මගේ පපුව නිකම් හිරවෙනවා වගේ. මට හිතෙන්නේ මට හෙම්බිරිස්සාවක් හැදීගෙන එනවා වගේ. ඔයා ළඟ මුකුත් ටොනික් එකක් නැද්ද ඒකට?”

“නැහැ” හසන් පිළිතුරු දුන්නේය.

ඔහු දවස තිස්සෙම රෝගීන්ගේ දුක් ගැනවිලි අසමින් ඔවුන්ට බෙහෙත් දෙමින් කාලය ගත කළ අයෙකි. විචාර බුද්ධිය ඇයට කීවේ නිහඬ වන ලෙසයි. නමුත් ඇගේ දිවට නිදහසේ ඉන්නට ඉඩ නොදෙන යක්ෂයෙක්ගේ මෙහෙයවීම නිසා ඇය තවත් දොඩමලු වූවාය.

“සිරප් එකක්වත් නැද්ද ඔයා ළඟ? අර ඔයා මට මලබද්ධයට දුන්නු දියරය, ඒක හරියන්නේ නැතිවෙයිද?”


“නැහැ, ඒක හරියන්නේ නැහැ,” හසන් කීය.

කුමක් හෝ ක්‍රමයකට ඔහු විසින් නිරතුරුව ඇයව මෙතැනට ගෙන එන ලදී. ඔහු වඩාත් අඩුවෙන් දෙද්දී ඇය වැඩි වැඩියෙන් ගන්නටම යොමුවිය.

“එහෙනම් ඇස්ප්‍රින්? විටමින් මොනවාහරි?”

“මට මේක බලන්න දෙනවද?” අන්තිමේදී හසන් කීවේය.

එවන් අවස්ථාවල ඇය එක්කෝ නැවතත් නිහඬ වන්නීය. නොඑසේ නම් තම බඩුමුට්ටු එක් රැස් කරගෙන ඔවුන්ට සුබ රාත්‍රියක් පතා එතැනින් ඉවත්ව යන්නීය.

ඇයට හොඳ නින්දක් ලැබුණේ ද නැත. බොහෝ දිනවල ඇය පැය ගණන් අවදිව සිටියේ තම පොරෝනාවේ කෙළවරක් කොනහමින්, සිවිලිම දෙස බලාගත්වනම ය. පැරණි මැසිවිලි සහ චකිතයන්, කිසිදිනක යුක්තියක් නොලැබුණු අසාධාරණකම් සහිත මතක ඇගේ මතකයට ගලා එන්නට විය. වසර ගණනාවකට පසු ඇයට තම සැමියා සිහිවිය. ඔහු මුදු, දුර්වල පිරිමියෙක් වූවත් ඉඳහිට පුදුම සහගත ලෙස කෝප ගැන්විණි. ඔහු හා විවාහ වෙද්දී ඇයට ඔහු ගැන ආදරයක් දැනී තිබුණේ නැති අතර ඊට වසර හයකට පසු ඔහු අක්මාවේ අසනීපයක් නිසා මිය ගිය විට ඇයට වැඩියත්ම දැනුණේ නොරිස්සුමකි. එතරම් ලාබාල වයසකදී වැන්දඹු වීම සාධාරණ ද? වැඩියත්ම අනෙත් කාන්තාවන්ට නොකඩවා ආරක්ෂාවත් රැකවරණයත් ලැබෙද්දී? ඇය සැමියාගේ නිවසින් පිටව නැවතත් තමන්ගේ පවුලේ අය වෙත ගියාය. ඒ වෙද්දී එහි ඇගේ අවිවාහක සොයුරියෝ පස් දෙනෙක් විසූහ. බබාක්ගේ විවාහය වනතුරු ඇය තම සොයුරියන් සමඟ දවස පුරාම තේ බොමින් පවුලේ සියලු දේ මෙහෙයවීමට දායක වෙමින් මේ නිවසේ විසුවාය. මේ කාලයේදී විවාහයන් සූදානම් කිරීම්, අවමංගල්‍යයන්ට සහභාගී වීම්, දරු ප්‍රසූති ගැන සියුම් ලෙස සාකච්ඡා කිරීම් බොහෝ ප්‍රමාණයක් සිදු කෙරුණි. මීට අමතරව නිරතුරුව සේවකයන්ගේ ආරවුල් විසඳනු ලැබූ අතර පවුල් ආරවුල් විසඳීමත් නැවත ඇරඹීමත් සිදුවිය. ඇයගේ සැමියාගේ මුහුණේ මතකය බොහෝ ඉක්මණින් මැකී ගොස් ඒ වෙනුවට එහි ඉතිරි වූයේ හිස් තැනකි. නමුත් දැන් ඇයට ඔහුව පැහැදිලිව පෙනෙන්නට විය. මරණ මංචකයේ වැතිරී සිටි ඔහුගේ රැවුල වැවී තිබිණි, ඔහුගේ ජටාව බුරුල් වී ලිහෙමින් පැවතිණි. ඔහුගේ කාමරය හරහා දරුවන් ගැන සොයා බැලීමට ඔවුන්ගේ කාමරයට යන අතරතුරේදී වෙන කල්පනාවක පසුවෙමින් ම ඔහුගේ කොපුලකට තට්ටුවක් දමා යන ඇය දෙස ඊට වඩා යමක් ඉල්ලමින් ඔහු හෙලන බැල්ම දැන් ඇය පැහැදිලිව දුටුවාය.

පැදුරක හිඳ බත් කන ඇගේ කුඩා පිරිමි දරුවන් තිදෙනාගේ කෙසඟ මුහුණු ද ඇය මෙලෙසම දුටුවාය. ඔවුන් අතරින් හසන් හැමදාම මුරණ්ඩු, දඟ දරුවා වූ අතර දණහිස් වල නිරතුරුව තුවාල කැළැල් තිබුණේ ද ඔහුගේ ය. බබාක් සුරතලා විය. වැඩිමලා වූ අලි නිරතුරුව ගෙන ආවේ සිත් තැවුල් පමණි. ඔහු ද ඔහුගේ පියා මෙන්ම දුර්වල, අවධානග්‍රාහි පුද්ගලයෙක් වූවත් හිටි අඩියේ ම අනුන්ගේ හිත වශී කිරීමේ සමත්කමද ඔහුට තිබිණි. මීට වසර හතරකට පෙර ඔහු මොලයේ අභ්‍යන්තර ලේ ගැලීමක් නිසා මිය ගියේ ඈත ශිරාස් ප්‍රදේශයේ අවන් හලක රාත්‍රී ආහාර ගනිද්දීමය. ඔහු එහි ගොස් තිබුණේ දෙපසකින්ම ඇවැස්ස නෑකම් සහිතව විවාහ කරගත් තම බිරිඳගෙන් මිදීමටයි. ඔහු උපන්දා සිට ඔහුගේ මවට ඔහු නිසා නින්ද අහිමි විය. මුලදී ඇය තැවුනේ ඔහු ජීවිතයේ කුමක් කරගනීදැයි බියෙනි. දැන්, ඔහුගේ මරණයෙන් පසු ඇය තැවුනේ ඇය අතින් ඔහුට සිදුවුණු සියලු වැරදි සිහිපත් වීමෙනි. ඇය ඔහුට බුරුල දුන්නා වැඩියි. නැහැ ඔහු කෙරෙහි දැඩි වූවා වැඩියි. දැන් මේ කිසි දේකට පිළිතුරක් ලැබෙන්නේ නැත. ඇය අතින් වූ වැරදි අවතාර ලෙසින් සිවිලිම වෙත පාවුණි. වැරදි බව දැන දැනත් ඔහුට ලබා දුන් සහන. ඔහුට හිමි නොවිය යුතු ආරක්ෂාවන්, ඇයගෙන් ලැබුණු, ඔහුට හිමි නොවිය යුතු පහරවල් ආදිය ඇයව පීඩාවට පත් කළේය

මේ ගැන හසන් සමඟ කතා කිරීමට ඇය තුළ කැමැත්තක් තිබුණත් ඇය උත්සාහ කළ හැම විටකම ඔහු මාතෘකාව වෙනස් කළේ ය. ඒ, අලි ගේ මරණය ගැන ඔහුට ආරංචි වූ ආකාරය ගැන ඔහු තරහින් පසුවන නිසා විය හැක. සාමාන්‍ය සිරිත වූයේ මෙවැනි ආරංචි එක්වර නොකියා ක්‍රමක්‍රමයෙන් පැවසීමයි. ඇය හසන් වෙත උපායශීලීව ලියවුණු ලිපි පෙළක් එවීම ඇරඹුවේ මේ බැවිනි. මුලදී ඇය කීවේ අලි බරපතල ලෙස රෝගාතුරව සිටින බව නමුත් ඒ වෙද්දී ඔහු මියගොස් වළදමා ද තිබිණි. කෙසේ වෙතත් ඇගේ ලිපියේ වූ කිසිවක් නිසා ඔහු ඇත්ත අනුමාන කර තිබුණි. ඇතැම්විට අලි ගේ රෝගයට පිළියම් ලෙස මුහුදුබඩ ප්‍රදේශයක නිවාඩුවට යෑමේ අදහස ලිපියේ ලියා තිබීම මීට හේතු වුවා විය හැක. නිවසේ සැබවින්ම අසනීප පුතෙක් වී නම් ඇය කිසි දිනක මෙවන් දෙයක් සලකා බලන්නේවත් නැත. හසන් ඇමෙරිකාවේ සිට දුරකතනයෙන් කතා කළ අතර ඒ ඇමතුම ඇය වෙත එළඹෙන්නට රාත්‍රීන් තුනක් ගතවිය. “මොකද වුණේ කියලා මට කියන්න,” ඔහු කීවේය. “මම දන්නවා මොකක් හරි ප්‍රශ්නයක් කියලා.” ඇගේ කඳුළු ඇගේ පිළිතුර වළකද්දී “එයා මැරිලාද?” කියා ඔහු ඇසුවේය. ඔහුගේ කටහඬේ කේන්තියක් ගැබ් වී තිබුණු බවක් දැනුනද එසේ දැනුණේ ඒ දුර්වල දුරකථන සබඳතාවය නිසාද විය හැක. ඇයට කීමට අවශ්‍ය සියලු දේ කීමට පෙර ඔහු දුරකථනය විසන්ධි කළ විට තමන්ට ඔහුට මේ ආරංචිය එක එල්ලේම කියන්නට තිබුණු බව ඇය සිතුවාය. ‘මට ඔහුගේ ඒ ගති ලක්ෂණ අමතක වුණා’ ඇයට සිතුණි. දැන් ඇය අලි ගැන කතාකරද්දී ඔහු ආචාරශීලීව අසා සිටියත් ඔහුගේ මුහුණෙන් දිස් වූයේ පාෂාණීභූත බවකි. ඇය ඒ ගැන සියලු විස්තර- මරණය ගැන, භූමදානය ගැන, යක්දෙස්සියක් වැනි වූ ඔහුගේ බිරිඳ පරක්කු වී මිනී වලට පනින්නට ගත් උත්සාහය ගැන- ආදී සියලු දේ ඔහුට කියන්නට කැමැත්තෙන් සිටි නමුත් හසන් කිසිදිනක ඒ ගැන ඇසුවේ නැත.

ඇය වෙත මරණය එළඹෙමින් තිබුණු බවක් ඇයට දැනුණි. පෞද්ගලිකව ඇය වෙත නොවුණත් (ඇගේ පවුලේ ගැහැනු තම පුරුෂයන්ව වළ දමමින් ශතවර්ෂයක් හෝ ඊටත් වැඩියෙන් ජීවත් වූහ.) මරණය ඇය වටා සිටි අය වෙත- මාමාලා, ඥාති සොයුරන්, මස්සිනාවරුන් ආදීන් වෙත එළඹෙමින් සිටියේය. අවමංගල්‍යයන්ට ඈ අඳින ඇඳුම් කට්ටලය අරන් තියද්දීම නැවත ඒවා පිටතට ගැනීමට වුවමනා වෙයි. මෑතක සිට ඇයට තමන්ගේ ඉතිරි දරුවන් දෙදෙනාටත් වඩා වැඩි කාලයක් තමන් ජීවත් වනු ඇතැයි දැනී තිබිණි. ඇයට පෙනෙන්නට පටන්ගෙන තිබුණු සිහින- බබාක් සීතලෙන් ගල් වී මිනී වලක නිදා සිටින අයුරු, හසන් ඇමෙරිකාවේ අඳුරු පාලු පටු මඟක වැටී සිටින අයුරු- නිසා ඇය නිරතුරුව නින්ද පලවා හරින්නට සටන් කළා ය. රාත්‍රියේ අඳුර මැදින් බියකරු රූප ඇය වෙත ඉගිල එමින් තිබිණි. අන්තිමේදී ඇය තම සාලුව ඔතාගෙන බිම තිබුණු පර්සියානු බුමුතුරුණ මත නිදන්නට ගත්තාය. එහි වූ දුවිලි සුවඳ ඇයට තම නිවස සිහි කළ අතර එය කොහොමත් ඇගේ ඕනෑවට වඩා මෙළෙක විදේශීය ගුදිරියට වඩා සැප පහසු විය.

නත්තල එළඹුණු විට හසන් සහ එලිසබෙත් අර්ඩාවී මහත්මියට කෙටි අත් ඇති තද පැහැති ඇමෙරිකානු ගවුමක් තෑගි දුන්හ. ඉරාන සාදයකට ඇය මේ ගවුම ඇන්ද අතර හදිසියේ ඇතිවූ එඩිතර කමක් නිසා තම හිස වසන සාලුව ද අත හැරියාය. සාදයේ සියලු දෙනාම ඇයගේ පියකරු බව ගැන කතා කළහ. “ඔයා ගානටම මෙහෙට ගැලපෙනවා දැන්” තරුණියක් ඇයට කීවාය. “මම අපේ අම්මාට ලියලා යවන්නද ඔයා ගැන? අම්මා අවුරුදු එකහමාරක් මෙහෙ හිටියා ඒත් එකම එක සැරයක් වත් ඔලුව වහන්නේ නැතිව ගෙදරින් එළියට බැස්සේ නැහැ.” මෙය අසා අර්ඩාවී මහත්මිය සතුටින් සිනාසුණා ය. මෙවැනි අය සමඟ තම රටේදී නම් තමන්ගේ ආශ්‍රයක් නොතිබෙන බව ඇය දැන සිටියාය. මොවුන් රජයේ සේවකයන්ගේ හෝ බැංකු ලිපිකරුවන්ගේ දරුවන් විය. මොවුන් ළඟදී වෛද්‍ය විද්‍යාලයෙන් උපාධි ලබාගෙන අලුතින් පොහොසත් වූ අයයි. මේ බිරින්දෑවරු තම සැමියන්ට කතාකළේ ‘ඩොක්ටර්’ කියමිනි. මේ කෙසේ වෙතත් ඔවුන් සමඟ මෙතරම් පර්සියානු භාෂාව කතා කරන්නට ලැබීම සතුටක් විය. ඇයට දැනුණේ මින් තම දිව උමතු වී ඇති බවකි.

“ඔයාට බබෙක් ලැබෙන්න ඉන්න බව මට පේනවා,” ඈ ඉන් එක් බිරිඳකට කීවාය. “ඔයාගේ පළවෙනියා නේද? මට ඒ බව ඔයාගේ ඇස් දෙකෙන් කියන්න පුළුවන්. බය වෙන්න එපා. මටත් දරුවෝ තුන්දෙනෙක් ලැබුණා, අපේ අම්මාට හත් දෙනෙක් ලැබුණා කිසිම වේදනාවක් නැතිව. අම්මා ඉස්සර තාත්තාගේ උදේ කෑම බෙදන්න බිම ඇන තියද්දී එක පාරට “ආ, අගා ජුන් මෙන්න බබා එනවා!” කියනවා. මෙන්න එයාගේ කකුල් දෙක මැද්දේ බිම බබා ඇවිත් බලාගෙන ඉන්නවා පෙකනිවැල කපලා තේ ටික වක්කරලා ඉවර වෙනකම්!” මෙවැනි දරු ප්‍රසූතියකදී තම මව මියගිය බව ඇය වුවමනාවෙන්ම සඳහන් කළේ නැත. ඇයට තමන්ගේ සුපුරුදු ස්ථානෝචිත ප්‍රඥාව, රසවත්ව කතන්දර කීමේ කුසලතාව, සභාවක අවධානය රඳවා ගැනීමේ හැකියාව ආදිය නැවත ලැබුණු බවක් දැනුණි. ඇය කුඩා දැරියක් සේ දොඩමලුව දිලිසෙමින් සිටියාය. ආපිට නිවසට යාමට වෙලාව එළඹුණු විට ඇගේ මුහුණ දුක්මුසු විය.

ඒ සාදයෙන් පසු දින දෙක තුනක් යන තුරු ඇයට තම භාෂාව අහිමි වීම තවත් බරපතලව දැනුණු අතර හසන් හවසට නිවසට පැමිණි විට මහත් කලබලයෙන් ඔහු සමඟ කතා කරන්නට උත්සුක වූවාය. පිටස්තරයෙක් වීම චංචල දෙයක් බව ඇයට හැඟිණි. මෙහි සීමා මායිම් නිරතුරුව වෙනස් විය. ඇතැම්විට පිටස්තරයා ඇය වූ අතර ඇතැම් විට එලිසබෙත් හෝ හසන් පවා පිටස්තරයෙක් විය. (ඇමෙරිකානුවන් හා ඉරාන ජාතිකයන් අතර, නොඑසේ නම් එස්කිමොවරුන් සහ ඉරාන ජාතිකයන් පවා අතර ඇති දුරට වඩා වැඩි දුරක් ගැහැනුන් සහ පිරිමි අතර තිබෙන බව ඇය නිතර කල්පනා කළා ය.) එලිසබෙත් සමඟ එක්වී හසන් ගේ මෝටර් රථයේ ඉදිරිපස ලාච්චුවේ කුඩා කුරාණයක ආකෘතියක් සඟවන්නට සැලසුම් කරද්දී හසන් පිටස්තරයෙක් විය. ඔහු මේ ගැන දන්නේ නම් ඔවුන්ට සිනාසෙනු නොඅනුමානය.

“මෙහෙමයි,” ඇය එලිසබෙත් ට කීවාය. “මම දන්නවා මේකෙන් කෙරෙන දෙයක් නැහැ කියලා. ඒත් මගේ හිතට සැනසිල්ලක් දැනෙනවා එහෙම කළාම. මගේ පුත්තු තුන්දෙනාම ඉපදුනු වෙලාවේ මම පරණ චාරිත්‍රයට අනුව එයාලාගේ ලේ හැලීමක් කළා. මේකෙන් දීර්ඝායුෂ ලැබෙන බව මිනිස්සු කියනවා. මම දන්නවා මේක මිත්‍යාවක් කියලා, ඒත් පස්සේ කාලෙකත් එයාලගේ පිටේ ඒ කැපුම් ලකුණු දැක්කාම මට ආරක්ෂාකාරී බවක් දැනෙනවා. ඔයාට තෙරෙනේවද මම කියන දේ?”

“ඔව් ඇත්තෙන්ම.” එලිසබෙත් පිළිතුරු දුන්නාය. ඇය විසින්ම කුඩා කුරාණය මෝටර් රථය වෙත ගෙනගොස් එහි ලාච්චුවේ ඇති මාර්ග සිතියම් අතර සඟවන ලද අතර හසන් මේ ගැන දැනගත්තේ නැත.

හිලරි සදාකාලිකවම පිටස්තරයෙක් වූවාය. ඇය නිරතුරුවම තම අත්තම්මාගේ බලාපොරොත්තු සහගත දෑතින් මිදී පලා ගියාය. වැඩිහිටියන් පර්සියානු බස කතා කරද්දී ඈ නොරිස්සුමෙන් දඟකම් කළ අතර නිරතුරුව එලිසබෙත්ගේ ඇඳුමේ අතින් ඇද්දාය. දැරියව වුවමනාවට වඩා සිප නොගන්න, ඇයව වැළඳ ගැනීමට උත්සාහ නොකරන්න, ඇයව තම උකුලට නොගන්න අර්ඩාවී මහත්මියට නිරන්තරයෙන්ම තමන්ට සිහිපත් කරගන්නට සිදුවිය. මේ රටේ මිනිසුන් නිතරම් සිටියේ එකිනෙකාගෙන් වෙන් වෙන්වයි. ඒ දුරස් බව කෙතරම් ද යත් ඇතැම් විට ඉන් ඇගේ සිත රිදිණි. ඔවුන් නිතරම ඉතා ප්‍රවේසමෙන් තම හැඟීම් නොපෙන්වා කටයුතු කළහ. ඇයට කිසිදිනක මේ රට තේරුම්ගැනීමට නොහැකිවනු ඇත.

ජනවාරි මාසයේදී ඔවුහු ඇයව දන්ත වෛද්‍යවරයෙක් ළඟට ගෙන ගියෝහ. ඔහු ඇයගේ මුව පරීක්ෂා කරද්දී කිසිවක් නොකියා අමුතු ශබ්ද නැඟුවා පමණි.

“මෙයා මොකද කියන්නේ?” ඇය ඇසුවාය. “නරක ආරංචියක් නම් මට ඉක්මණින් කියන්න.”

නමුත් එලිසබෙත් සමඟ පහත් හඬින් යමක් කියමින් සිටි හසන් ඇයගේ ඉල්ලීම ගණන් ගත්තේ නැත. ඔවුන් යම් බහින් බස් වීමක නිරත වූ බවක් පෙනුණි.

“හසන්, මෙයා මොකද කියන්නේ?”

“විනාඩියක් ඉන්න.”

ඇය දන්ත වෛද්‍යවරයාගේ උස් පුටුවේ සිට හැරී බැලුවේ ඔහු අත වූ කුඩා කැඩපත ද පසෙකට තල්ලු කරමිනි.

“මට දැනගන්න ඕන,” ඇය හසන්ට කීවාය.

“දොස්තර කියනවා ඔයාගේ දත් හොඳටම නරක් වෙලා ලු. ඒවා ඔක්කොම උගුල්ලලා විදුරුමසට ශල්‍යකර්මයක් කරලා සුමට කරන්න ඕනලු. තව මාස කීපයක් මෙහේ ඉන්නවද අහනවා ආයෙත් එන්න දෙන්න අද හෙට දිනයක් නැති නිසා.”

භීතියේ සීතල ගුලියක් තම උදරය මැද නවතිනු ඇයට දැනුණි. ඇය පැමිණ තවමත් ගතවී තිබුණේ තෙමසක් බැවින් සහ ඇය වසරක් රැඳෙන්නට බලාපොරොත්තු වන බැවින් සැබවින්ම ඇය තව කාලයක් මෙහි සිටිනු ඇත. එබැවින් තම ජීවිතය දන්ත වෛද්‍යවරයාට භාර දී අත්සන් කරද්දී හිරිවැටුණු සිතින් බලා සිටීම හැර ඇයට වෙන කළ හැකි කිසිවක් නොවීය. ඇයට එහි නැවත නැවතත් පැමිණෙන්නට ඉදිරි දින ගණනාවක් සැලසුම් කෙරුණු අතර සුදු පැහැති කුඩා කාඩ් පත් රැසක ඒ දින සටහන් කෙරුණි. මේ ගැන හසන්ගෙන් කිසිදු අනුකම්පාවක් දිස් වූයේ වත් නැත. ඔහු ඒ වෙද්දීත් එලිසබෙත් සමඟ බහින්බස් වෙමින් සිටියේය. තමන්ගේ දෑත ගැහෙමින් තිබුණු බව ඔවුන් දෙදෙනාම දුටුවේ නැත.


~~~~~~~~~~~~~~~~

ජනවාරි මාසය පුරාවටම තද හිම පතනයක් සිදුවිය. මෙය වසර ගණනාවකින් ඔවුන් ලද බරපතලම හිම පතනය විය. උදෑසනදී ඈ පහත මාලයට එන විට මුළුතැන්ගෙහි අයිස් බඳු සීතලක් තිබිණි. “මේ සීතල නිකම් ඇට මිදුළු වලටත් ඇතුල්වෙන ජාතියේ එකක්,” ඇය එලිසබෙත් ට කීවාය. “මට හිතෙනවා මම අනිවාර්යයෙන් ලෙඩ වෙයි කියලා.” එලිසබෙත් මීට හිස සැලුවා පමණි. දැන් දැන් ඇතැම් උදෑසනවල ඇගේ මුහුණ සුදුමැලිව ඉදිමී තිබුණේ ඇයට යම් රහස් සිත් තැවුලක් ඇති පරිද්දෙනි. නමුත් ඒ ගැන නොවිමසා සිටින්නට අර්ඩාවී මහත්මිය උගෙන සිටියාය.

පෙබරවාරි මාසයේ මුලදී හදිසියේම උණුසුම් දින කිහිපයක්ම උදා විය. හිම දියවී ගිය අතර ගස්වලින් හිරුරැස් බේරෙන්නට විය. “අපි ඇවිදින්න යනවා,” එලිසබෙත් කී විට “මාත් එනවා”යැයි අර්ඩාවී මහත්මිය පිළිතුරු දුන්නාය. දවස උණුසුම් වූවත් ඇය අපහසුවෙන් ඉහල මාලයට ගොස් තම වූල් සාලුව ගත්තේ අනවශ්‍ය අවදානම් ගැනීමට ඇයගේ කැමැත්තක් නොතිබුණු බැවිනි. හිලරිගේ දෙකන නොවැසී තිබීම ගැන ඇය තැවුණාය. “මෙයාට හෙම්බිරිස්සාවක් හැදෙන්නේ නැද්ද මෙහෙම යද්දී, මම නම් හිතන්නේ එයාගේ ඔලුව වහන්න ඕන කියලා.” ඇය කීවාය.

“නෑ එයාට ගාණක් නැහැ” කී එලිසබෙත් මුරණ්ඩු ස්වභාවයෙන් මුහුණ හකුලා ගත්තාය.

උද්‍යානයේදී එලිසබෙත් සහ හිලරි නොදියවී ඉතිරිව තිබුණු හිමවලින් බෝල තනා එකිනෙකාට ගසන්නට විය. එසේ කරද්දී පසෙක දෑත බැඳ මෙය නරඹමින් සිටි අර්ඩාවී මහත්මියගේ සිරුරේ ඒවා නොවැදී බේරුණේ අනූ නවයෙනි.

පසුදා උදෑසන හිලරි අසනීප වී සිටියාය. උදෑසන ආහාර ගැනීමට මේසයට වාඩි කරනු ලදුව ඇය එක සීරුවට හඬන්නට වූ අතර කෑම ද ප්‍රතික්ෂේප කළා ය. “අනේ අනේ,” ඇගේ අත්තම්මා කීවාය. “මොකද අඬන්නේ කියලා ඔයාගේ වයසක කා ජුන් ට කියන්න බැරිද?”

එහෙත් ඈ කිට්ටු වෙද්දී හිලරි තවත් හයියෙන් කෑ ගසන්නට විය. එලිසබෙත් හසන් ට දුරකතනයෙන් ඇමතූ අතර ඔහු වහාම නිවසට පැමිණ ඇගේ නළලත අතක් තබා වහාම ඇයව ළමාරෝග පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයා වෙත රැගෙන යා යුතු යැයි පැවසීය. එහි යද්දී රථය පැදවූයේ ඔහුයි.

“ප්‍රශ්නේ තියෙන්නේ එයාගේ කන් දෙකේ,” ඔවුන්ගේ වාරය එනතුරු අසුන්ගෙන බලා සිටිද්දී අර්ඩාවී මහත්මිය කීවාය. කුමක් හෝ හේතුවකට මෙය අසා හසන් කිපුණේ ය.

“ඔයා හැම තිස්සෙම විශේෂඥයන්ට වඩා වැඩියෙන් දන්නවද?” ඔහු ඇයගෙන් ඇසුවේය. “අපි මොකටද එහෙනම් මේ දොස්තරලා ළඟට එන්නේ? ගෙදර ඉඳන් ඔයාගෙන්ම අහගන්න තිබුණා නේ.”


ඔහුගේ මව මුහුණ පහත් කර තම අත් බෑගයේ පටි දෙස බලාගත්වනම පසු වූවාය. දියණියගේ අසනීපය ගැන ඔහු බිය වී සිටින බව ඇයට තේරුණත් ඔහුගේ වදනින් සිත රිදුණු නිසා ඔවුන් වෛද්‍යවරයා වෙත යද්දී ඇය හිඳගත්වනම සිටියාය.

ටික වෙලාවකට පසුව හසන් නැවත පැමිණ අසුන් ගත්තේය. “එයාගේ මැද කණ ආසාදනය වෙලා.” ඔහු ඇයට කීවේය. “දොස්තර එයාට පෙනිසිලින් ඉන්ජෙක්ෂන් එකක් දෙන්න හදන්නේ.”

ඔහුගේ අම්මා හිස සැලුවේ, ඔහු කේන්ති ගැනීමට ඉඩ ඇති බැවින් තමන් මෙයම කළින් කී බව නැවත මතක් නොකිරීමට ප්‍රවේසම් වෙමිනි. ටික වෙලාවකින් හිලරිගේ හැඬුම් හඬ ඇසිණි. ඒ ඇය එන්නත ලබාගන්නා මොහොත බව අර්ඩාවී මහත්මිය අනුමාන කළා ය. තමන් ද එන්නත් කටු වලට මහත් බියක් දක්වන බැවින් ඇය තම ඇඟිලි සුදුමැලි වන තරමට තදින් තම අත් බෑගයේ පටිය අල්ලා ගත්තාය. වෛද්‍ය සායනයේ පිළිගැනීමේ ශාලාවේ වටපිට බැලූ ඇයට හැඟුණේ එහි වූ පැරණි ලී සෙල්ලම් බඩු සහ පාට පාට රූප සතුට ඉපදවීමට ශෝකජනක උත්සාහයක යෙදෙන බවයි. හිලරි ගැන අනුකම්පාවෙන් ඇගේ කණත් රිදෙන්නට විය. දඬුවමක් ලෙස අලි ගේ දෙකන මිරිකූ අවස්ථාවක් ඇයට සිහිවිය. ඔහු එදා දවසම හඬා තම මහපට ඇඟිල්ල උරමින් නින්දට වැටුණේය.

හසන් අසල ඇති විට කිසිවක් නොකියන්න ඇය ප්‍රවේසම් වූ නමුත් ඊට පසු දින උදෑසන ආහාරය ගනිද්දී මෙසේ කීවාය.

“එලිසබෙත් දුවේ, ඔයාට මතකද පෙරේදා අපි ඇවිදින්න ගිය හැටි?”

“ඔව්” එලිසබෙත් පිළිතුරු දුන්නාය. මේ වෙද්දී නැවතත් යථා තත්ත්වයට පත්ව හොඳින් උදෑසන ආහාරය ගනිමින් සිටි හිලරි වෙනුවෙන් ඇය දොඩම් මිරිකමින් සිටියාය.

“ඔයාට මතකද මම කීවා හිලරිට තොප්පියක් දාලා අරන් යන්න කියලා? ඔයා මීට වඩා ප්‍රවේසම් වෙන්න ඕන. ඔයා නිසා දරුවා ලෙඩ වුණා, එයා මැරෙන්න පවා ඉඩ තිබුණා. ඔයාට දැන් ඒ බව තේරෙනවද?”

“නැහැ,” එලිසබෙත් කීවාය.

ඇයට ඒ තරමටම පර්සියානු භාෂාව නොතේරෙනවා විය හැකිද? මෑතක සිට ඇගේ ඒ හැකියාව එන්න එන්නම ක්ෂුද්‍ර වී දරදඬු වී ගොස් තිබුණේ වියළි පාන් කැබැල්ලක් මෙනි. අර්ඩාවී මහත්මිය සුසුමක් හෙලා නැවත උත්සාහ කළාය.

“මේකයි මම කියන්නේ, තොප්පියක් නොදා ගියාම-” නමුත් එලිසබෙත් තම අත වූ දොඩම් ගෙඩිය පසෙකින් තබා හිලරිව ඔසවාගෙන කාමරයෙන් පිටතට ගියාය. අර්ඩාවී මහත්මිය ඇය යන දෙස බලා සිටියේ තමා අතින් වැරදි දෙයක් කියැවුණි දැයි සිතමිනි.

ඒ දවසේ ඉතිරි කොටස එලිසබෙත් තම කාමරයේ ගත කළේ මහත් කාර්යබහුල ලෙසිනි. ඇය එහි අල්මාරි සහ ලාච්චු අස් කරමින් සිටියාය. වරක් දෙවරක් අර්ඩාවී මහත්මිය කාමරයේ දොරකඩ දක්වා ගොස් නුහුරු ලෙස බලා සිටියාය. ඉවත දැමූ සුවඳ විලවුන් බෝතලයක් සමඟ සෙල්ලම් කරමින් හිලරි බිම හිඳ සිටිනු පෙනුණි. බොත්තම් ගැලවුණු හැට්ට, ඇදී ගිය ස්වෙටර්, මේස් සහ පනා, හිස් තොල් ආලේපන කූරු ආදී බොහෝ දේ ඉවතලන්නට සැරසෙන බවක් දිස් විය. “මගෙන් උදව්වක් ඕනද?” අර්ඩාවී මහත්මිය ඇසුවත් “අනේ නැහැ, බොහොම ස්තූතියි,” යැයි එලිසබෙත් පිළිතුරු දුන්නාය. අගේ කටහඬේ තිබුණේ උද්‍යෝගිමත් බවකි. එහෙත් හසන් ගෙදර ආ විට ඔහු ද ඉහළ මාලයට ගිය අතර එහි දොර වසාගෙන බොහෝ වෙලාවක් රැඳුනි.

එදින රාත්‍රී ආහාරයට හසන් කුඩා කල සිට ඉතාමත් ප්‍රිය කළ ඉස්ටුවක් සකසා තිබුණද ඔහු ඒ ගැන වචනයක් වත් කීවේ නැත. ඔහු හරියකට කතා කළේ වත් නැත. ඊට පසු, එලිසබෙත් හිලරිව නින්දට දමද්දී ඔහු ‘ඛානොම් ජුන්, මට ඔයාත් එක්ක කතා කරන්න ඕන,” කියා කීවේය.

“ඔව්, හසන්,” ඈ තම ගෙතුම පසෙක තබමින් ඇසුවාය. ඔහුගේ බැරෑරුම් මුහුණ, ඔහුගේ කළු පැහැති උඩු රැවුලේ බර, ඔහුගේ පියාගෙන් උරුම වූ ගැඹුරු කළු වන් දෑස ඇයව බියපත් කළේය. එහෙත් ඇය කර තිබුණු වරද කුමක්ද? ඇය දෑත් පටලමින්, අපහසුවෙන් කෙල ගිලිමින් ඔහු දෙස දෑස් ඔසවා බැලුවාය.

“ඔයා එලිසබෙත්ගේ වැඩවලට ඇඟිලි ගහනවා කියලා මට ආරංචියි.”

“මේ මම, හසන්?”

“එලිසබෙත් කියන්නේ එහෙම ඇඟිලි ගහන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. එයා යසට අර ළමයාව බලාගන්නවානේ.”

“ඉතින් ඒක එහෙම තමයි,” ඔහුගේ මව කීවාය. “කවද්ද මම එහෙම නැහැ කියලා කිව්වේ?”

“එහෙනම් ඒ බව පෙන්නන්න. විවේචනය කරන්න එපා.”

“බොහොම හොඳයි,” ඈ කීවාය. ඉන්පසු ඈ තම ගෙත්තම අතට ගෙන මැහුම් ගණන් කරන්නට වූයේ මෙවැනි කතාබහක් සිදු නොවූ ලෙසිනි. නමුත් ඒ රාත්‍රියේදී ඈ අසාමාන්‍ය ලෙසින් නිහඬව සිටි අතර රෑ නවය වෙද්දී නින්දට යාම සඳහා සමුගත්තාය.

“දැන්මම?” හසන් විමසීය.

“මට මහන්සියි,” පිළිතුරු දුන් ඇය පිටව ගියේ සිය පිටකොන්ද ඍජු ලෙස තබාගෙනයි.

ඇයට තමන්ගේ කාමරය ඇයව වටකරගන්නා සුවපහසු කූඩුවක් ලෙසින් දැනුණි. මෙහි හැම ඉඩකම ඇය තමන්ගේ බව කියවෙන දේවල් තට්ටු වශයෙන් ගොඩ ගසා තිබුණි. මෙහි ගෙත්තම් කළ තිර රෙදි, රේන්ද රෙදි කැබලි සහ තවත් විසිතුරු රෙදි වර්ග විය. ලාච්චු සහිත මේසය දිලිසෙන රාමු සහිත දෙවිවරුන්ගේ රූප වලින් සහ ඇගේ සොයුරියන් පවුලේ උත්සව ආදියේදී ගත් ඡායාරූප ආදියෙන් පිරී තිබිණි. ජනෙල් පඩිය මත ඇගේ ප්‍රියතම ඇමෙරිකානු පාටවල් වූ තැඹිලි පාට සහ මුහුදු නිල් පාටින් යුත් ප්ලාස්ටික් බඳුන් වල සිටවූ කුඩා පැල දක්නට විය. ඇගේ ඇඳ අසල මේස මත බෙහෙත්ද ඇත්දළින් නිමවූ යාඥා පබළු වැලක් ද, ශුද්ධ වූ භුමියේ පස් වලින් සැකසූ කුඩා ගඩොල් කැටයක් ද තිබිණි. මේ නිවසේ ඉතිරි කාමර හිස් ව, දිලිසෙමින්, කිසිවෙකුටවත් අයිති නැති ලෙසින් තිබුණද ඇගේ කාමරය නම් ඇගේ හිතට සැනසිල්ලක් ගෙන දුන්නේය තම ප්‍රියතම සාලුව විලසිනි.

කෙසේ වුවත් ඇයට සුව නින්දක් ලැබුණේ නැත. විවිධ අවතාර නැවත මතුවී ඇගේ සිතුවිලි වලින් අදින්නට විය. ජීවිතයේ ඇය වෙනුවෙන් සිදුවන හැම දෙයක්ම නරක අතට හැරුණේ ඇයි? ඇගේ පියා ඇයට වඩා ඇගේ සොයුරන්ව ප්‍රිය කළ බව මෙතරම් වසර ගණනක් ගෙවුණු පසුත් ඇයට ගෙන ආවේ සිත තුවාල කරවන තරමේ දුකකි. දරුවන් තිදෙනෙක් ලැබුණු පසුවත් ඇය දුරස් හැසිරීමෙන් යුතු බව කියමින් ඇගේ සැමියා පැමිණිලි කළේය. දරුවන්ගෙන් වුව කිසිදු සහනයක් තිබුණිද? ඉරානයේ තව කාලයක් රැඳුනා නම් ඇයට තම නිවසින් යන ලෙස බබාක් කියනු ඇත. ඇයට මෙවැනි දේක අනාවැකි දැනී තිබුණි. අලුත් මනාලියගේ වැඩි ගරුසරු නැති හැසිරීම්, අවවාද පිළිපැදීමට ඇති අකැමැත්ත ආදී දේ තම මව විසින් පෙන්වා දුන්නද බබාක් ඒවා නොසලකා හැරියා ය. හසන් මීටත් වඩා කරදරකාරී විය. ඔහු මුලසිටම මුරණ්ඩු ගති ඇති ස්වාධීන අයෙක් විය. ඔහු ඉරානයේ නවතින්නේ නම් ඕනෑම දෙයක් දෙන්නට තමන් සූදානම් බව කියද්දීත් ඔහු ඇය දමා යන්නට දැඩි ලෙස තීරණය කර තිබිණි. ඔහුට ඇමෙරිකාවේදී කෙතරම් තනිකමක් දැනෙනු ඇත්දැයි හැම කෙනෙක්ම පෙන්වා දුන්නත් ඔහු තමන්ගේ නෑනා වන ශෝරා ව කසාද බැඳ ඔහු හා රැගෙන එන්නට එක හෙලාම ප්‍රතික්ෂේප කළේ ය. එතැනින් නික්මීමට, ගැලවී ඒමට, මේ සිත් පිත් නැති රටකට ඒමට, ක්‍රිස්තියානි කෙල්ලෙක් කසාද බැඳීමට ඔහුට ඉස්පාසුවක් නොතිබුණි. ඇයට තිබුණේ ඔහු නික්ම එද්දී ඇති තරම් සිනාසී ඔහු වෙනුවෙන් හෙලූ කඳුළු වෙනත් ගැලපෙන කෙනෙක් වෙනුවෙන් ප්‍රවේසම් කර ගැනීමටය. ඇයට තිබුණේ මෙහි නොපැමිණ සිටින්නයි. ඔහුගෙන් නැවත කිසි දිනක කිසිවක් නොඉල්ලා සිටින්නයි. අන්තිමේදී ඇය නින්දට වැටුණත් ඇයට දැනුණේ ඇගේ දෑස විවරව ඇති බවත් ඒවා ඇසි පියන් යට විශාලව, දැවෙමින් ඇති බවත් ය.

පසුදා උදෑසන අයට දත් කැක්කුමක් සැදී තිබිණි. ඒ වේදනාව නිසා ඇයට අවිදගන්නට පවා නොහැකි විය. මෙය සිකුරාදාවක් වූ අතර ඇය වෙනුවෙන් වෙන් කළ පළමු දන්ත වෛද්‍ය සැසිය යෙදී තිබුණේ එළඹෙන සඳුදාට ය. නමුත් ඇය වෙනුවෙන් ඒ හවස් වරුවේ ඉඩකඩක් වෙන් කිරීමට දන්ත වෛද්‍යවරයා සමත් වූ අතර එහි ගිය විට ඔහු ඒ දත ගලවා දැමුවේය. ඇයට වේදනාවක් නොදැනෙනු ඇතැයි එලිසබෙත් කීවත් ඇයට මහත් වේදනාවක් දැනුණි. මේ සිදුවීම එලිසබෙත් සැලකුවේ තම දින චර්යාවේ නොවැදගත් සිදුවීමක්, දරුවා බලාගන්නට කුලියට කිසිවෙක් ගන්නට සිදුවූ අවස්ථාවක් ලෙස පමණි. ඇය හසන්ට ගෙදර එන්නට දුරකථන ඇමතුමක් දීම පවා ප්‍රතික්ෂේප කළා ය. “එයා මොනවා කරන්නද?” ඈ ඇසුවාය.

එබැවින් ඒ හවස් වරුවේ හසන් නිවසට පැමිණි විට මේ සිදුවීම- එනම් තම මව දිගු දතක් වැනි ලේ වැකි පුළුන් කැබැල්ලක් කටේ රුවාගෙන සිටීම- ඔහුට පුදුමයක් විය. “ඔයාට මොකද වුණේ?” ඔහු ඇසුවේය. එදින හවස් වරුවේම හිලරි සිටියේ යටි උගුරෙන් කෑ ගසමින් වීම මේ මොහොතේදී සහනයක් වූයේ නැත. අර්ඩාවී මහත්මිය දෑතින්ම දෙකන් වසා ගත්තේ කෙඳිරියක් නගමිනි.

“ඔය දරුවාව ටිකකට නිශ්ශබ්ද කරගන්නකො.” හසන් එලිසබෙත් ට කීවේය. “ මම හිතන්නේ අපි අම්මාව ඇඳට අරගෙන ගියොත් හොඳයි.”

ඔහු ඇයව වත්තන් කරගෙන පඩිපෙළ දක්වා රැගෙන යද්දී ඇය මඳක් ඔහුගේ සිරුරට හේත්තු වීමට තමන්ට ඉඩ දුන්නාය.

“වැඩියත්ම ප්‍රශ්නේ තියෙන්නේ මගේ හර්දය වස්තුවේ,” ඈ කීවාය. “ඔයා දන්නවනේ මම දත් දොස්තරලාට කොයිතරම් බයයිද කියලා.”

ඔහු ඇගේ පොරෝනය ඉවත් කර ඇඳේ වැතිරීමට ඇයට උදවු කළ විට ඇය බෙහෙවින් කෘතඥව දෑස් වසාගත්තේ එක් අතක් නළල හරහා රඳවා ගනිමිනි. ඇයට උණුසුම් තේ කෝප්පයකින් දැනෙන සහනය පවා අහිමිව තිබුණේ පැය දොළහක් ගතවන තුරු සීතල ආහාර පමණක් ගැනීමට අණ ලැබී තිබුණු බැවිනි. හසන් ඇයට අයිස් වතුර වීදුරුවක් ගෙන ආවේය. ඔහු ඉතාමත් කාරුණික බව ඇයට සිතිණි. ඇයව දැකීමෙන් හිලරි කැළඹුණු ලෙසින්ම ඔහුද කැළඹී ඇති බවක් පෙනුණි. හවස් වරුව පුරාම ඔහු වරින් වර ඇයගේ සැප දුක් බලන්නට පැමිණි අතර රාත්‍රියේද ඇයගේ දොර අසල ඇහුම්කන් දීමට ඔහු පැමිණෙනු ඇයට ඇසුණි. ඇය කෙඳිරි ගෑ විට, “ඔයා ඇහැරිලා ද?” යැයි ඔහු හඬගා ඇසුවේය.

“නැත්නම්?” ඇය කීවාය.

“මොනවාහරි ගෙනත් දෙන්නද?”

“එපා, එපා.”

පසුදා උදෑසන ඈ තරප්පු පෙළ බැස්සේ ඉතා සෙමින්, අත් වැට තදින් අල්ලාගෙන ය. “ඊයේ රෑ හරි අමාරු රැයක් වුණා,” ඈ කීවාය. “පාන්දර හතරට මගේ විදුරුමහ ඇදුම්කන්න ගත්තා. ඒක සාමාන්‍ය දෙයක්ද? වේදනාවට බොන මේ ඇමෙරිකන් පෙති වලට මගේ බඩ වේලනවා. ප්රුන් යුෂ ටිකක් බිව්වා නම් මට පුරුදු පිළිවෙලට වැසිකිලි යන්න පුළුවන් වේවි.”

“ඉන්න මම දෙන්න,” හසන් කීවේය. “ඔයා වාඩි වෙන්නකෝ. මම දුන්න මිලක් ඔෆ් මැග්නීසියා එක බිව්වද?”

“ආ ඔව්, ඒත් ඒක සැර මදි වගේ.”

එලිසබෙත් හසන් ට බේකන් පිඟානක් දුන්නේ ඔහු දෙස නොබලාම ය.

උදෑසන ආහාරයෙන් පසු හසන් සහ ඔහුගේ මව මේසයේ හිඳ තේ බොමින් සිටිද්දී එලිසබෙත් මුළුතැන්ගෙය පිරිසිදු කරන්නට ගත්තේ මහත් ශබ්දයක් නඟමිනි. හැඳි ආදිය අස් කරමින් සිටි ඇය ඇද වූ, මළ කෑ ඒවා ඉවත ලෑවා ය. “මම උදවු කරන්නද?” අර්ඩාවී මහත්මිය ඇසුවාය. එලිසබෙත් හිස සැලුවා පමණි. ඈ මෑතක සිට හදිසි උනන්දුවකින් මෙලෙස විවිධ දේ ඉවතලන බවක් පෙනුණි. ඉන්පසු ඈ කුස්සියේ කවුන්ටරය මතට නැඟ ඉහළින් වූ රාක්කවල තිබුණු සියලු දේ- විස්කෝතු, සීරියල් පෙට්ටි, අඩක් හිස් කුළුබඩු බෝතල් ආදිය- හිස් කරන්නට වූවාය. උඩම රාක්කයේ මල් මෝස්තරයක් සහ පර්සියානු අකුරු සහිත රසකැවිලි අඩංගුවන වර්ගයේ ටින් බඳුනක් දිස් විය. අර්ඩාවී මහත්මිය මෙහි පැමිණි දා සිට මෙතැන තිබුණු එය හැමටම අමතක ව ගොස් තිබිණි.

“අනේ!” අර්ඩාවී මහත්මිය කීවාය. “මේක දැකලා නම් හිලරි බොහොම පුදුම වේවි!”

එලිසබෙත් ආයාසයෙන් එහි පියන ඇරියා ය. වළාකුලක් සේ ඉන් පිටවූයේ අමුතු කෘමින් රැසකි. අළු- දුඹුරු පැහැති වූ මේ මැස්සන් වර්ගයට V හැඩයේ පියාපත් තිබුණි. එලිසබෙත් ගේ මුහුණේ හැපී ගිය උන් ඇගේ හිසකෙස් අතරින් පියඹා ගොස් සිවිලිම වෙත ළඟා වී එහි විදුලි බුබුල වටා රොක්වූ බැවින් කුස්සියම අඳුරු විය. එලිසබෙත් ඒ ටින් බඳුන හැකි වෙර යොදා තමන්ගෙන් ඈතට විසි කර කවුන්ටරයෙන් බිමට බැස්සාය.

“දෙවියනේ!” අර්ඩාවී මහත්මිය කීවාය. “මුන් අපේ එහෙ ගෙදරත් ඉන්නවනේ!”

හසන් තම තේ කෝප්පය පහත් කර බැලුවේය. ටින් බඳුනේ තිබුණු කජු සහ වියළි මිදි හාත්පස විසිරී තිබුණු අතර තව තවත් කෘමීහු සිවිලිම වෙත පියාඹමින් සිටියහ. එලිසබෙත් ළඟම තිබුණු පුටුවේ වාඩිවී තම හිස දෑතේ රුවාගත්තාය. “එලිසබෙත්?” හසන් කීවේය.

නමුත් ඇය ඔහු දෙස නොබලා සිටියාය. අන්තිමේදී ඇය හෙමින් සීරුවේ නැගිට ඉහළ මාලයට ගොස් ඉතා කුඩා, ස්ථිර ශබ්දයක් නැඟෙන ලෙස නිදන කාමරයේ දොර වැසුවාය. මෙය පහත මාලයේ මුළුතැන්ගෙහි සිටි දෙදෙනාට පැහැදිලිව ඇසුණේ ඔවුන් ඉතා උනන්දුවෙන් සවන් දෙමින් සිටි බැවිනි.

“මම මේසෙන් නැගිටිනවා,” හසන් සිය මවට කීවේය.

හිස සැලූ ඇය තම තේ කෝප්පය දෙස බලාගත්වනම පසුවිය.

ඔහු නැගිට ගිය පසු ඈ හිලරි සොයාගෙන ගොස් දැරියව තම උකුලේ තබාගෙන ඇයට විවිධ ජනකවි ගයන්නට වූයේ ඉහළ මාලයේ නිහඬ බව වෙත ඉතා වුවමනාවෙන් ඇහුම්කන් දෙමිනි. නමුත් හිලරි දඟලා ඇගේ උකුලෙන් බැස ගොස් තම ට්‍රක් රථය හා සෙල්ලම් කරන්නට වූවා ය. ඉනික්බිති හසන් පහල මාලයට ආ නමුත් ඔහු එලිසබෙත් ගැන වදනක් වත් කීවේ නැත.

ඊට පසු දිනයේදී අර්ඩාවී මහත්මියගේ දතේ වේදනාව සමනය වූ පසු හසන් ඇය සමඟ ඇගේ කාමරයේදී කුඩා කතාබහක යෙදුණේය. ඔවුහු එකිනෙකා වෙත බෙහෙවින් ආචාරශීලී වූහ. තමන් තව කෙතරම් කාලයක් ඇමෙරිකාවේ රැඳෙන්නට බලාපොරොත්තු වන්නේදැයි හසන් තම මවගෙන් ඇසුවේය. තමන් ඒ ගැන හරියටම කල්පනා නොකළ බව ඇය පිළිතුරු දුන්නාය. ඇමෙරිකාවේ සාමාන්‍ය ක්‍රමය නම් අමුත්තන් මාස තුනක් පමණක් නිවසක රැඳීම බව හසන් කීවේය. ඉන්පසු ඔවුන් කිට්ටුවක ඇති තට්ටු ගොඩනැගිල්ලක ඇති නිවසකට පදිංචියට යාම සාමාන්‍ය සිරිත බව ඔහු කීවේය. මෙවැන්නක් ඇයටද ලබාදීමට ඔහු සූදානම් බවත්, සතියක් තරම් කාලයක් යද්දී එවැනි නිවසක් සොයාගත හැකි බවත් ඔහු කීය.

“තට්ටු ගොඩනැගිල්ලක ගෙයක්,” ඔහුගේ මව ගෞරවය මිශ්‍ර පුදුමයෙන් කීවාය. නමුත් ඇය තමන්ගේ ජීවිතයේ කිසි දිනක තනිව ජීවත්ව තිබුණේ නැති අතර සුදුසු තරමේ නිහැඬියාවකට පසු ඔහුට එවැනි වියදමකට හේතු වන්නට තමන් ඉතාමත් අකමැති බව ඈ කීවාය.

“අනික මම කොහොමත් තව ටික දවසකින් යනවනේ, මගේ නංගිලා නැතිව මට පාලුයි.”

“හරි එහෙනම්,” හසන් කීවේය.

තම මවට සිය සොයුරියන් නොමැතිව පාලු බවත්, එබැවින් ඇයට ආපිට යන්නට වුවමනා බවත් එදින රාත්‍රී ආහාර වේලාවේදී හසන් නිවේදනය කළේය. එය අසා එලිසබෙත් බොමින් සිටි වීදුරුව පහත හෙලුවාය. “යන්න?”

“අනික බබාක් ගේ නොනාත් මාව හොයයි දැන් බබා ලැබෙන්න කිට්ටු වෙද්දී,” අර්ඩාවී මහත්මිය කීවාය.

“ඒත් අර දත් දොස්තර ළඟ වෙලාව වෙන්කළ ඒවාට මොකද කරන්නේ? ලබන සඳුදානේ පළවෙනි දවස.”

“ඒක වැදගත් නැහැ.” අර්ඩාවී මහත්මිය කීවාය.

“ඒත් අපි ඒ ඔක්කොම ලෑස්ති--”

“එහෙදි උනත් දත් දොස්තර කෙනෙක් හම්බවෙන්න පුළුවන් නේ,” හසන් එලිසබෙත් ට කීවේය. “දෙවියන්ගේ නාමෙට, ඉරානයේත් ඕන තරම් දත් දොස්තරලා ඉන්නවා! ඔයා හිතන්නේ අපි ම්ලේච්ඡයෝ කියලද?”

“නැහැ” එලිසබෙත් කීවාය.


~~~~~~~~~~


මාර්තු තුන්වෙනි දා හවස් වරුවේ හසන් තම මවව ගුවන් තොටුපළ වෙත රැගෙන ගියේය. හිම පතනයක් නිසා ලිස්සනසුළුව තිබුණු මාර්ගයේ ඔහු රථය පැදවූයේ කරදර සිතිනි. ඔහුට තම මවට කියන්නට වැඩි දෙයක් සිතාගත නොහැකි විය. ඔවුන් ගුවන් තොටුපළ වෙත ළඟා වූ විටද ඔහු වුවමනාවෙන්ම සිල්ලර දේ- ප්‍රවේශපත් පරීක්ෂා කරගැනීම, පිටත් වන වෙලාව තහවුරු කරගැනීම, ගමන් මලු කිරා ගැනීම ආදී දේ ගැන කතා කරමින් පසු වුණේය. ඇගේ ගමන් මලු නියමිත බරට වඩා රාත්තල් දාහතරක් බර වැඩි බව සටහන් විය. මීට හේතුවක් ඇයට සිතාගනු නොහැකි වූයේ එහි තිබුණේ ඇගේ ඇඳුම් සහ තම සොයුරියන් වෙනුවෙන් මිළදීගත් කුඩා ත්‍යාග කිහිපයක් පමණක් බැවිනි.

“මේක මොකද මේතරම් බර?” හසන් ඇසුවේය. “මොනවද මේකේ තියෙන්නේ?”

නමුත් ඔහුගේ මව “මම දන්නේ නැහැ,” කියා තම සාලුව සකසාගෙන ඉවත බලාගත්තා පමණි. හසන් නැඹුරු වී ඇගේ ගමන් මල්ල විවර කළේය. ඒ තුළ අමුතු හැඩයේ හිස් වයින් බෝතල් තුනක්, ඇගේ ඇඳේ තිබුණු ඇඳ ඇතිරිලි කට්ටලය සහ ඊට පෙර දිනයේ තැපෑලෙන් ආ සේදුම් කුඩු සාම්පලයක් විය.

“මේ අහන්න,” හසන් කීවේය. “ඔයා දන්නවද මේවා වෙනුවෙන් මම කොයිතරම් ලොකු මුදලක් ගෙවන්න ඕනද කියලා? මොකද ඔයාට වෙලා තියෙන්නේ?”

“මට ඕන වුණේ ඒවා මගේ නංගිලාට පෙන්නන්න.”

“ඒක අමතක කරලා දාන්න වෙනවා. තව මොනවාද තියෙන්නේ?”

නමුත් ඇයගෙන් දිස් වූ පෙනුම- කුඩා දැරියක් මෙන් හිස් බැල්මෙන් ඈත බලා සිටි ආකාරය නිසා ඔහු ඒ අදහස අත්හැර දැමුවේය. ඔහු තවත් ගමන් මලු විවර නොකළ අතර කලින් ඇයට තදින් කතා කිරීම ගැනද පසු තැවිලි වූවේය. ඇගේ ගුවන් යානයේ මගීන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් වූ විට ඔහු ඇයව තදින් වැළඳගෙන ඇගේ හිස් මුදුන සිම්බේය.

“දෙවියන්ගේ ආරක්ෂාව ඇතිව යන්න”

“මම යන්නම් හසන්”

කොරිඩෝව ඔස්සේ එක පෙළට යමින් සිටි ව්‍යපාරිකයන් රැසක් පසුපසින් ඇය තනියම ගමන් කරන්නට විය. ඔවුන් හැමදෙනාම තොප්පි පැළඳ සිටි අතර ඇය තම සාලුවෙන් හිස වසා සිටියාය. මේ මගීන් හැම කෙනෙක්ම අතරින් සාළුවකින් හිස වසා, තම කුඩා සපත්තු සහිත දෙපා දිලිසෙන පිඟන් ගඩොල් බිම මත තබමින් ඇවිදිමින් සිටි ඇය නම් පිටස්තරයෙක් බව කිසිදු සැකයකින් තොරව දිස් විය.

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 



The Short Story ‘Your Place is Empty’ by Anne Tyler was published in New Yorker Magazine, 22 Nov 1976, pp 45- 54
photo- Unsplash

පසු සටහන 

Anne Tyler ගේ කෙටිකතා පරිවර්තනය කරන්නට මගේ බ්ලොග් මිතුරු කැළ කළ ඉල්ලීම අනුව කළ දෙවෙනි (සහ අවසාන) පරිවර්තනයයි මේ. Anne ගේ කෙටි කතා 'කෙටි' නොවන නිසා මේ පරිවර්තනයත් බෙහෙවින්ම දිගු විය. සමහරවිට ඇය කෙටිකතා ලිවීම එක්හදහස් නමසිය හැත්තෑ ගණන් වලදීම නවතා දමා ඉන්පසු නවකතා පමණක්  ලියන්නට ඇත්තේ මේ 'කෙටියෙන් ලිවීමේ' අපහසුව නිසා විය හැක! 

July 26, 2022

ප්‍රේමය පැමිණි විට


ප්‍රේමය පැමිණෙන්නේ සුදුසුම වේලාවටයි,
එය පිටව යන්නේත් යා යුතුම විටයි.
ප්‍රේමය පැමිණි විට
      ‘එන්න, ඇවිත් ඉඳගන්න’ යැයි කියන්න.
ප්‍රේමය පිටව ගියහොත්
      ‘ඔබ යද්දී දොර හැර තබා යන්න’ යැයි කියන්න.
නවතා දමා සංගීතය, නිහඬබව ට සවන් දෙන්න.

‘ස්තූතියි. ස්තූතියි මෙහි මඳක් නතර වූවාට’ යැයි මුමුණන්න.


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
 
Translation of an excerpt of the poem 'When Love Arrives' by Phil Kaye and Sarah Kay, Button Poetry


sketch- coloured pencils on paper

July 19, 2022

සන්ධ්‍යානන්දය - කීර්ති වැලිසරගේ

සන්ධ්‍යානන්දය - කීර්ති වැලිසරගේ (2021)
සරසවි ප්‍රකාශකයෝ

ජීවිතයෙන් වැඩි කාලයක් රැකියාවල නිරතව ගෙවූ යාන්ත්‍රික, කාර්යබහුල යුගය අවසන්ව විශ්‍රාම සමය එළඹුනු විට ඊට හැඩගැසීමේදී යුවලක් මුහුණ දෙන අභියෝග නිමිති කරගෙන ලියවුණු නවකතාවකි, සන්ධ්‍යානන්දය.

ආනන්ද සහ රාධා විවේකය බහුල විශ්‍රාම දිවියට පිළිපන් විට ඊට මුහුණ දෙන්නේ එකිනෙකාට සම්පූර්ණයෙන්ම වෙනස් අයුරිනි. මෙහිදී ඇතිවන කැළඹුම් මෙන්ම ඊට සමාන්තරව ඔවුන් වෙත එළඹෙන අනපේක්ෂිත පෞද්ගලික සහ සමාජමය සුළි කුණාටු ගැන මේ කතාවෙන් කියවේ. එමෙන්ම දීර්ඝ විවාහයක් තුළ ඇති එකිනෙකා දරාගැනීම, ඉවසීම මෙන්ම වදනින් අප්‍රකාශිත නොගැලපීම් ආදියද මෙහිදී කතුවරයා සංයමයෙන් කතාවට මුසු කර ඇත.

කීර්ති වැලිසරගේ ගේ ලිවීම් රටාව කවදත් මගේ සිත් ගන්නේ එක හුස්මට කියවාගෙන යාමට ඉන් රුකුල් ලැබෙන නිසායි. 

සන්ධ්‍යානන්දය කීර්ති වැලිසරගේ ගේ නවවෙනි නවකතාවයි.






July 16, 2022

ආදරය තෝරාගන්න

 


‘ඔබට දෙවර්ගයක පිරිමින් මුණගැසෙනු ඇත’
වරක් මගේ මව මට කීවාය.
‘පළමු වර්ගය
ඔබ කැමති ජීවිතය ඔබට දෙනු ඇත.
දෙවෙනි වර්ගය
ඔබ පතන ආදරය ඔබට දෙනු ඇත.
ඔබ, වාසනාවන්ත සුළුතරයට අයිති නම්
ඔබට මේ දෙකම එක් අයෙක්ගෙන් ලැබෙනු ඇත.


එහෙත්
ඔබට කෙදිනක හෝ
තෝරාගැනීමක් කරන්නට සිදු වේ නම්,
හැමවිටම ආදරය තෝරාගන්න.’


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක


Translation of the poem 'Choose Love' by Lang Leav, from the book The Universe of Us (2016)
sketch- watercolour and ink on paper


July 15, 2022

බිංකුන්ඩෝ බොල බිංකුන්ඩෝ...


ළමා කාලයෙන් වැඩි හරියක් පිට රටක ඉඳලා ලංකාවට ආවාම ලංකාවේ ළමයි කරන සෙල්ලම්, පොඩි කවි සින්දු නොදැන හිටිය එක මට ඒ කාලේ ලොකු ප්‍රශ්නයක් වුණා. ලංකාවට ආව මුල කාලේදී මට සෙල්ලම් සගයෙක් හිටියා. ඒ නෑදෑ වෙන මල්ලි කෙනෙක්. මට ලංකාවේ සෙල්ලම් ගැන අතපොත් තිබ්බේ මේ මලයා තමයි. (මගේ අක්කලා දෙන්නා සෑහෙන්න තරමට මට වඩා වැඩිමල් නිසා උන් දෙන්නා මාත් එක්ක සෙල්ලම් කරනවා වෙනුවට මාව අවුස්සපු එක තමයි ඒ කාලේ කළේ. මාත් අතෑරියේ නැති බවත් තනිකර බඩපිස්සන්ගේ සර්වයිවල් මෝඩ් එකෙන් කටයුතු කරලා වලි බර ව හිටි බවත් මීට එකතුකරන්න කැමතියි.) මේ සෙල්ලම් වැඩිහරියක් එල්ලේ ගහන, කැටපෝල් හදන, සරුංගල් හදන කොලු සෙල්ලම්. මේ අතරේ ටික්කා කියන කෘමියාගේ පිටිපස්ස කොටස තද කරලා ටික්කො පන්නන එක, දිමියන්ට තණකොළ මල් වල යුෂ බොන්න දීලා මත් කරන එක වගේම බිං කුන්ඩෝ හාරන පොඩි පොඩි සෙල්ලම් එහෙමත් තිබුණා. දැන් නම් හිතෙනවා මේවා සත්ත්ව හිංසා නේද කියලා. ඒ කාලේ එහෙම හිතන්න තරම් මෝරලා හිටියේ නැහැ ඉතින්.

මේ අතීත සවාරිය ගියේ බිංකුන්ඩෙක්ව අහම්බෙන් හම්බ වුණු නිසා. ඇත්තටම නම් නෙමෙයි- වීඩියෝවක. ඉස්කෝලේ ළමයින්ගේ විද්‍යා පාඩමකට අදාළ අමතර තොරතුරු ටිකක් හොයද්දි තමයි මෙයාව මුණගැහුණේ. අවුරුදු ගාණකට පස්සේ බිං කුන්ඩෙක් ව දැකලා, ඌ ට antlion කියලා සෝබන නමක් තියෙනවා කියලා දැනගෙන- මට කරමින් හිටිය වැඩෙත් අමතක වුණා!

ඇත්තටම බිං කුන්ඩා කියන්නේ පුංචි මැස්සෙක් ගේ ලාවා අවධිය කියලා දැනගෙන හිටිය අය අත උස්සන්න බලන්න! මාත් ඒක දන්නේ දැන්. ළමයින්ට විද්‍යා වීඩියෝ හොයමින් හිටිය මාත් අන්තිමට ඒකෙන් මේකෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. Better late than never කියලා හිතලා මං වගේ මේ විස්තර නොදැන හිටිය අයත් එක්ක ඒ දැනුම බෙදාගන්නයි මේක ලිව්වේ.

බිංකුන්ඩා කියන්නේ antlion lacewing කියන පුංචි මැස්සාගේ ලාවා අවධිය. මේ කෘමියා මේ ලාවා අවධියේ අවුරුදු කීපයක් ජීවත් වෙනවා. වැලි සහිත බිමක කුඩා වලවල් හදාගෙන ජීවත් වෙන බිංකුන්ඩා ඒ වලවල් වලට වැටෙන කූඹින් ආහාරයට අරගන්නවා. කකුල් හයක් සහ සිරුරේ ප්‍රමාණයට තරමක් ලොකු හනු දෙකක් සහිත මේ කුඩා කෘමියා සැඟවී ඉන්නට පහසු වීමට දුඹුරු පැහැතියි. අන් කෘමීන් අතරින් බිංකුන්ඩාගේ තවත් පුදුම සහගත විශේෂයක් තිබෙනවා. ඒ තමයි ඌට බහිශ්‍රාවි පද්ධතියක් නැති එක. ඌ ලාවා අවධියේ සිරුරේ ඇතිවන සියලුම අපද්‍රව්‍ය කෝෂ අවධියේ කෝෂය නිපදවන්නට සිරුරේම ගබඩා කර තබාගන්නවා. කෝෂ අවධියේ මාසයක් පමණ ගතකරලා වැඩුණු lacewing මැස්සා පිටතට එනවා. මේ මැස්සාගේ ආයු කාලය දවස් 30ක් වගේ කෙටි කාලයක්. ඌ බැලූ බැල්මට බත් කූරෙක් වගේ වුණත් ඒ පවුලේ නෙමෙයි.
Antlion Lacewing


Antlion Larvae

ඉස්සර එළියේ සෙල්ලම් කරන්න බැරි වැස්ස දවස්වලට මල්ලියි මායි ගෙයි අයිනේ ඇන තියාගෙන පණ යනකම් බිං කුන්ඩෝ හාරනවා. දඟ වැඩක් නොකරන නිසාත්, වැස්සේ තෙමෙන්න ගිහින් නැති නිසාත් අපේ වැඩිහිටියන්ගෙනුත් මේ වැඩේට බාධාවක් නැහැ. අපි ඒ කාලේ කවි කිය කියා ගුල් වලින් හාර හාර එළියට අරන් තියෙන්නේ මේ තරම් වැඩ කාරයෙක්ව නේ ... දැන් නම් පවු කියලාත් හිතෙනවා!


Common Name: Antlion
Scientific Name: Myrmeleon sp.
Order: Neuroptera




July 10, 2022

සොඳුරු ක්වීන්ස්ලන්තයේ දින හතක්

පහුගිය නිවාඩුවේ ඔස්ට්‍රේලියාව ඇතුළේ ටිකක් දුර ගමනක් යන්න අවස්ථාව ලැබුණා. කලිනුත් රට ඇතුළේ හැම ප්‍රාන්තයකටම මේ වගේ ගමන් කීපයක් ගිහින් තිබුණත් කාලය ගතවෙද්දී ඒ ගමන් වල පොඩි පොඩි විස්තර මතකයෙන් ගිලිහෙන නිසා මේ වතාවේ ඒ ගැන විස්තරයක් ලියන්න හිතුණා. වැඩියත්ම ගමනට සහභාගී වෙන්න ඉඩ නොලැබුණු තාත්තාගේ ඉල්ලීමට.

Barron Gorge National Park, Qld

අපේ මේ ගමනේ සම්පූර්ණ දුර 7000km විතර. රටේ ගිනිකොණ දිග මෙල්බර්න් නගරයේ ජීවත්වෙන අපි ඊසාන කෙළවරේ Cairns වලට ගිහින් තමයි මේ ගමන පටන් ගත්තේ. Melb - Cairns අතර තියෙන 3000km තරම් දුර අපි ගියේ ගුවනින්. මේ ගමනට පැය තුනකට වැඩි ප්‍රමාණයක් ගත වෙනවා. Cairns - Sunshine Coast 1900km වගේ දුරක් වාහනයෙන් ගිහින් ආපිට Sunshine Coast - Melbourne 1500km දුර නැවතත් ගුවනින් ආවා. වාහනයෙන් එද්දී අතරමඟ නගර තුනක නවාතැන් ගනිමින් ආවේ. 


Cairns කියන්නේ Queensland ප්‍රාන්තයේ උතුරු කෙළවරේ තියෙන නගරයක්. ඒ නගරයේ තියෙන්නේ මෝසම් සහිත නිවර්තන දේශගුණයක්. මේ දේශගුණය ලංකාවේ දේශගුණයට සෑහෙන්න සමානයි කියලා කිව්වත් අපි ගිය දවස්වල නම් දැනුණේ වැඩිය රස්නේ නැති නුවරඑළියේ දේශගුණය වගේ. මෙහෙ නොවැම්බර් -මැයි කාලය අධික මෝසම් කාලගුණයක් තියෙනවාලු. සෞම්‍ය දේශගුණයක් තියෙන මෙල්බර්න් ඉඳන් ආව අපිට ලංකාවේදී දැකලා ඇහැට හුරු ගහ කොළ දැක්කාම නම් ආයෙත් ලංකාවට ගියා වගේ හැඟීමක් තමයි දැනුණේ. පොල් වතු, කෙසෙල් වතු, උක් වතු එහෙම Cairns නගරය වටේම දකින්න තිබුණා. ඊට අමතරව කැන්ද ගස්, නිදිකුම්බා, ක්‍රෝටන් එහෙම බලන බලන අත හැම තැනම තිබුණා. 








Cairns වල අපි ගිය විශේෂ තැන් මේ. 

  • Kuranda Scenic Railway and Skyrail

මේ Cairns යනවා නම් අනිවාර්යයෙන් යා යුතුම ගමනක්. Cairns වලින් පටන්ගෙන වැසි වනාන්තරයක් හරහා මුහුදු මට්ටමෙන් 327m ඉහළින් තියෙන Kuranda නම් කුඩා ගම්මානයකට විශේෂ දුම්රියකින් යන ගමනක් මේ. මේ ගමනේදී Barron Falls, Stony Creek Falls ඇතුළු බොහොම ලස්සන දිය ඇලි කිහිපයක්ම පහුවෙනවා.

මේ දුම්රිය මාර්ගය හදන්න පටන්ගෙන තියෙන්නේ 1886දී. දුෂ්කර වනාන්තර ප්‍රදේශයක මිනිස් ශ්‍රමයෙන් විතරක් පාලම් සහ බිංගෙවල් රැසක් එක්ක නිමකරලා තියෙන මේ දුම්රිය මාර්ගයත් ඓතිහාසික වටිනාකමින් යුතු එකක්. 



සංචාරකයන් වෙනුවෙන්ම සැකසුණු Kuranda ගම්මානයේ අසිරිය විඳලා ආපිට එද්දී Skyrail නම් Cable Car එකෙන් එන්න පුළුවන්. මේ ගමන හරිම මනස්කාන්තයි. වැසි වනාන්තරය උඩින් යද්දී, පහල ගස් කොළන් වල එක එක කොළ පාටවල් දකිද්දී හරිම ආසා හිතෙනවා. (වීඩියෝ එක පුංචි වීම ගැන සමාවෙන්න. මීට ලොකු කරන්න ට්‍රයි කළා, හරි ගියේ නැහැ)



  • Green Island
මේ දූපත පිහිටා තිබෙන්නේ ප්‍රධාන ගොඩබිමේ සිට 27km දුරින්. මෙය මුළුමනින්ම කොරල් පරයකින් වටවී තිබෙන අතර Great Barrier reef එකටත් අයත් වෙනවා. මේ දූපතට යන බෝට්ටු ගමනත් විශේෂ අත්දැකීමක්. මීට අමතරව දූපතට ගියාට පස්සේ කොරල් පර හොඳින් දැකගැනීමට දිය යට කිමිදීමට (snorkeling) හෝ වීදුරු පතුලක් සහිත කුඩා බෝට්ටුවක යාමට අවස්ථාව තියෙනවා. 




මීට අමතරව Cairns සහ ඒ අවට තියෙන නැරඹීමට වටිනා තැන් කීපයක් මේ 

Crystal Cascades Falls 
Port Douglas 
Josephine Falls 

Cairns City

මේ ගමනේදී අපිට Bundaberg Distilling Company බලන්න යන්න අවස්ථාව ලැබුණා. ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ රම් වර්ගයක් වන Bundaberg Rum නිෂ්පාදනය කරන මේ කර්මාන්ත ශාලාව Sunshine Coast සිට 270km පමණ දුරකින් පිහිටා තිබෙන්නේ. අපට මෙහි කර්මාන්ත ශාලාව නරඹන්න අවස්ථාව ලැබුණා. මේ අවට තිබෙන උක් වතු වල උක් අස්වැන්න සීනි නිෂ්පාදනයට යොදා ගත්තාට පස්සේ ඉතිරිවන අතුරු ඵලය මේ කර්මාන්ත ශාලාවේ රම් නිෂ්පාදනය සඳහා යොදාගන්නවා. 1888 සිට ක්‍රියාත්මක මේ නිෂ්පාදන ක්‍රියාවලිය මඟින් විවිධ වර්ග වල රම් සහ බියර් වර්ග නිපදවෙන අතර ඒවා ජාත්‍යාන්තර සම්මානයට ද පාත්‍ර වී තිබෙනවා. අපට කර්මාන්ත ශාලාව ඇතුළත ඡායාරූප ගැනීමට අවසර ලැබුණේ නැතත්, කැමති වර්ගයකින් රම් වර්ග දෙකක් රස බලන්න නම් අවසර ලැබුණා. 


මීට අමතරව අපි මේ ගමනේ දී Mission Beach, Townsville, Bowen, Airlie Beach, Mackay, Rockhampton, Hervey Bay, Noosa Heads යන ප්‍රදේශ වලත් සංචාරය කළා.

දින හතක් තිස්සේ ගිය මේ ගමනේදී සුවිශේෂී තැන් බොහොමයක් නරඹන්නට ලැබුණා. මේ සටහනට එක් කළේ ඉන් කිහිපයක් පමණයි. සොඳුරු දේශගුණයක් සහිත Queensland ප්‍රාන්තයේ Cairns, Sunshine Coast ප්‍රදේශ වල සංචාරය බොහොම ප්‍රිය ජනක අත්දැකීමක් වුණා. 


July 08, 2022

සියලු දේ දරා සිටීම




Translation of the short story 'Holding Things Together' by Anne Tyler

ඔහුට දස හැවිරිදි වියේදී චිත්‍රපටියක් නරඹන්නට යන්නට හිතවත් පවුලකින් ආරාධනා ලැබුණු බව ඔහු කියයි. ඒ වෙනුවෙන් ඔහු නිල් ඉරි කමිසයක් සහ ටයි පටියක් සහිත අලුත් ඇඳුම් කට්ටලයක් අඳින්නට බලාපොරොත්තු වූයේ ලු. නමුත් ඔහු ටයි පටිය ගැටගසා ගන්නට නොදැන සිටීම මෙහිදී ප්‍රශ්නයක් වී ඇත. ඔහුගේ පියා ඊට පෙර වසරේදී මිය ගොස් තිබුණු අතර නිවසේ සිටි විවිධ කාන්තාවන්- මව, නැන්දා කෙනෙක්, සොයුරියන් දෙදෙනෙක්- ආදී මේ කිසිවෙක් මෙය නිසියාකාරව කරන්නට දැන සිට නැත. ඒ ඉරිදා හවස් වරුවේම මොවුන් ටයි පටිය ගැට ගසමින්, යළි ලෙහමින් අත්හදා බලා ඇති අතර ඒ කටයුතු අවසන් වෙද්දී ටයි පටිය බොහෝ සෙයින් පොඩි වී තිබී ඇත. අවසානයේදී ඔහුගේ නැන්දා ටයි පටිය සිය අත් බෑගයේ රුවාගෙන නගරය වෙත යන බසයක නැග ගොස් ඇත. ‘පැටර්සන් සහෝදරයෝ- පුරුෂ ඇඳුම් ආයිත්තම්’ නම් කඩය ඉදිරිපස සිටගෙන එහි ජනේලයේ රඳවා ඇති මිනිස් අනුරුවේ ටයි පටිය ගැට ගසා තිබුණු ආකාරයට එය ගැට ගසා ගැනීමට ඇය කෙසේ හෝ සමත් වී ඇත. ඉන්පසු ඇය යළි බසයක නැගී ගෙදර පැමිණ, එසේ ගැට ගැසූ ටයි පටිය අල්පෙනිති දෙකකින් ඔහුගේ කමිසයට අමුණා තිබේ. චිත්‍රපටිය නරඹන මුළු කාලය පුරාවටම ඔහු හිස එක් පසෙකට හරවාගෙන දෑත පපුව ආසන්නයේ තබාගෙන, තමන් පසු කරගෙන තම තමන්ගේ ආසන වෙත යන අයගෙන් ඔහුගේ දිග අපිළිවෙල ටයි පටිය ආරක්ෂා කර ගනිමින් පසු වුණේ ලු.


මේ සම්බන්ධයෙන් මට නම් අසන්නට බොහෝ ප්‍රශ්න ඇත. මේ ටයි පටියේ ගැටලුව විසඳා ගැනීමට ඔහුට අසල්වැසියෙක් වෙත යන්නට තිබුණේ නැතිද? ඔහුට වෙනත් කිසිම පිරිමි යාලුවෙක් නොසිටියේද? චිත්‍රපටියක් බලන්නට යාමට ටයි පටියක් පැලන්දේ ඇයි? වයස දහයක දරුවෙක්?


ඔවුන්ට මේ වෙනුවෙන් ආයකටුවක් වත් පාවිච්චි කරන්නට නොතිබුණේ ද?


නමුත් මේ කතාව වුවමනාවට වඩා බරපතල කොට සලකන්නට මට වුවමනාවක් නොමැත. මේ වෙද්දී අප විවාහ වී වසර දෙකක් ගත වී තිබුණු අතර ඔහු තමන් ගැන කතා කරන්නට අකමැති බව මම තේරුම්ගෙන සිටියෙමි. ඔහුගේ ඒ ගති ස්වභාවය කෙතරම්ද යත් ඔහු මේ කතාව මට කීම ගැන මට දැනුණේ පුදුමයකි. ඔහුට එය මතක තිබීමත් ඊට වඩා පුදුමයට කාරණාවක් විය.


හතලිස් වියැති ඔහු මට වඩා පහළොස් වසරක් වැඩුමල්ය. ද්විතියික පාසලක විදුහල්පතිවරයෙක් වූ ඔහු සිරුරෙන් විශාල, සුදුමැලි, තට්ටය පෑදෙමින් සිටින, මහන්සි පෙනුමක් ඇති පුරුෂයෙකි. ඔහු සැමවිටම- තම ප්‍රදේශයේ ෆුට්බෝල් කණ්ඩායමේ තරඟයක්, නොඑසේ නම් එළිමහනේ පැවැත්වෙන සාදයක් වැනි විනෝද අවස්ථා වලදී පවා සම්පූර්ණ බටහිර ඇඳුම් කට්ටලයම ඇන්දේය. නමුත් මේ ඇඳුම්වල හැම විටම කුමක් නමුත් අඩුපාඩුවක් විය. ඔහුගේ කබා කොලර වල පැල්ලම් විය, ඔහුගේ කලිසම් පොඩි වී තිබිණි, ඔහුගේ කමිස සිගරට්වලට පිලිස්සී හිල් සෑදී තිබිණි. ඔහුගේ කබා නිතරම පසුපසින් එල්ලා හැලුණු අතර කමිස කොලර කෙළවරවල් උඩු අතට නැමී තිබිණි.


මේ වෙද්දී ඔහු ටයි පටියක් ගැට ගසන්නට ඉගෙනගෙන තිබුණු බව සැබෑ නමුත් ඔහු කිසි දිනෙක ඉගෙන නොගත් බොහෝ දේ තිබිණි. කැඩුණු ජල කරාමයක් අලුත්වැඩියා කරන්නට ඔහු දැන සිටියේ නැත. කුණාටු සමය එළඹෙද්දී නිවසේ කවුළු වල සවි කළ යුතු ආවරණ සවි කරන්නට ඔහු දැන සිටියේ නැත. සීත කාලයේ වාහනවල රෝද මත දම්වැල් සවිකරන්නට ඔහු නොදත්තේය. මීට හේතුව ඔහු කුඩා කාලයේදීම ඔහුගේ පියා මිය ගොස් තිබීම ද? මා වැඩුනේ පිරිමින් හැම විටම සියලු වගකීම් ගන්නා බව විශ්වාස කරමින් නිසා මට දැනුණේ මා මහත් වංචාවකට ලක් වූ බවකි. මේ නිසා කළ යුතු දේවල් එක්කෝ මම ම අසතුටින් යුතුව කළෙමි, නො එසේ නම් ඒ කාර්යයට පුහුණුව ලත් අයෙක් වෙත එය පැවරුවෙමි. මා නොසිටියා නම් මේ හැම දෙයක්ම බලා කියා ගැනීමට නොහැකිව ඔහුට කුමක් සිදුවනු ඇත්දැයි මම ඇතැම්විට ඔහුට කියමි. මෙම ප්‍රකාශය හැම විටම ඔහුගේ සිත අවුල් කරන්නට සමත් වූ අතර එවිට ඔහු කබායේ අත් වැලමිට තෙක් නවාගෙන, දෑතම සාක්කුවල රුවාගෙන මා වෙතින් ඉවත් ව යයි. එවිට මට ඔහු ගැන අනුකම්පාවක් ඇති වන්නේ මගේ ප්‍රකාශයට එවැනි අහංකාර බවක් එකතු කිරීමට මා අදහස් නොකළ නිසායි.


----------------------------------------------------


මගේ මෝටර් රථයේ තිරිංග පද්ධතියේ ශබ්දයක් නැඟෙන්නට වූයෙන් මට එය පෙන්වීමට එක්සෝන් කාර්මික හල වෙත රැගෙන යාමට සිදුවිය. මේ පසුගිය අප්‍රේල් මාසයේ අලංකාර හරිත පැහැ උදෑසනක වූ නමුත් ඒ උදයේ සතුට විඳින්නට නොහැකි තරමට මගේ මනස කැළඹී තිබිණි. මගේ මෝටර් රථයේ යම් ආබාධයක් වූ විට මා මහත් නොසන්සුන් බවට පත්වේ. ඉන් යන්තම් නුහුරු හඬක් නැගෙද්දී මට සිතෙන්නේම එය ක්‍රියා විරහිත වී මා කොහේ හෝ අධිවේගී මාර්ගයක අතරමං වනු ඇති බවයි. මාවතක් අද්දර මෝටර් රථයේ බොනට්ටුව විවර කරගෙන, සුදු ලේන්සුවක් වනමින් මා සිටින අයුරුත්, මට උපකාර කරන්නට කිසිවෙක් වත් නොනවතින අයුරුත්, අවසානයේදී හිරෙන් පැන යන අපරාධකරුවන් දෙදෙනක් මා දැක නවතින අයුරුත් මට මැවී පෙනේ.


මේ වතාවේදී මා රැකියාවට යද්දී මාර්ග සංඥා එළියක් අසලදී රථයේ තිරිංග තද කරන විට ඉන් උස් හඬක් නැගෙන්නට විය. රථය ආපිට හරවාගත් මා එය එක්සෝන් කාර්මික හල වෙත පදවන්නට වූයේ එහි කාර්මිකයන් මා හොඳින් හඳුනන බැවිනි. එදින රාජකාරියේ සිටියේ වික්ටර් නමැති රතු කෙස් ඇති, බාහුවේ කැරට් අලයක් පච්ච කොටා ඇති කාර්මිකයා ය. “අනේ වික්ටර්, පොඩ්ඩක් ඇහුම්කන් දෙන්නකෝ” කියා ඔහුගේ ඉදිරිපසින් මා රථය පැදවූයේ අඩි කිහිපයකට වරක් තිරිංග තද කරමිනි. තිරිංග වලින් හඬක් නැඟුණත් එය පෙර තරම් තියුණු නැති බවක් මට සිතිණි. එන්ජිම නවතාලූ මම රථයෙන් පිටතට පැමිණියෙමි.


“ඔයා හිතන්නේ ප්‍රශ්නේ මොකක් කියලද?”


ඔහු නාසය අදිමින් කල්පනා කරන්නට වූ අතර මම බලා සිටියෙමි. (එහි සිටියේ මගේ සැමියා නම් ඔහුගෙන් ඉක්මන් පිළිතුරක් ඉල්ලා බල කරමින්, අනවශ්‍ය තොරතුරු සපයමින් ඔහුට වධ දෙනු ඇති නමුත් ඔහුට කල්පනා කරන්නට ඉඩ දෙන්නට මා උගෙන සිටියෙමි.)


“දැන්ද ඕක වෙන්න ගත්තේ?” ඔහු අවසානයේදී ඇසුවේය.


“දැන් විනාඩි පහක් ඇති.”


“ඔයා වැඩිය කොහෙවත් යන්නේ නැහැනේ, ඒ නිසා මේක ලොකු දෙයක් නෙමෙයි වෙන්නත් ඇති.”


“ඒත් මම නවත්තන්න යද්දී නවත්තගන්න බැරි උනොත් මොකද කරන්නේ? බ්‍රේක් ප්‍රශ්නයක් වුණාම මම කලබල වෙනවා වික්ටර්”


“නෑ කලබල වෙන්න එපා. ඔයා ඇතුලට ගිහින් වාඩිවෙලා ඉන්නකෝ. මම මේක බලන්නම්”


මම එහි කාර්යාලය තුළට ගියෙමි. එහි වයිනයිල් පුටු දෙකක් සහ කාර්මික සඟරා ගොඩ ගැසූ පහත් මේසයක් විය. බිත්තියේ රාක්ක මත එන්ජින් තෙල් වර්ග සහ වෙනත් මෝටර් රථ පිරිසිදු කාරක බෝතල් පිළිවෙලට පෙළ ගස්වා තිබිණි. ජොඑල් නමැති උස, රන් පැහැ කෙස් ඇති තරුණයා මෝටර් රථ අමතර කොටස් විස්තර සහිත සඟරාවක් පෙරලමින් සිටියේය.


“සුබ උදෑසනක් මිසිස් එස්.” ඔහු කීවේය. (ඔහු වික්ටර් ට වඩා මා වෙත ප්‍රිය මනාප බවක් දැක්වූයේය. ඔහු මගේ පෙනුමට කැමති බවක් මට සිතී තිබිණි. වරක් ඔහු මා ඇඳුම් මිලදී ගන්නා තැන ගැන ඇසුවේ ඔහුගේ බිරිඳට ඒ ගැන කීමටයි.)


“කාර් එකේ ආයෙත් මොනවා හරි ප්‍රශ්නයක්ද?”


“වික්ටර් මගේ කාර් එකේ බ්‍රේක් බලනවා.” මම පිළිතුරු දුන්නෙමි. “කාර් එකේ වේගේ අඩු කළ ගමන් බ්‍රේක් වලින් අමුතු සද්දයක් එනවා.”


“ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නිතර වෙන දෙයක්.”


“ඇත්තටම?”


“ඔව්, මම ඔයා වුණා නම් ඒක ගැන හිතන්නෙවත් නැහැ.”


“අනේ ජොඑල්, ඔයා හරි ඇති කියලා මම ප්‍රාර්ථනා කරනවා”


එසේ කියා මම සොපාවේ හරි බරි ගැසී වාඩි වී මගේ සාය දෙදන වටා විසිරුවා සකසා ගත්තෙමි. ඒ වෙද්දීත් මට සැනසිල්ලක්, මා කුඩා වූ බවක් දැනෙමින් තිබිණි. ජොඑල් සිටගෙන සිටියේ හිරු එළිය තීරුවක් වැටෙන තැනක නිසා දූවිලි අංශු අලස ලෙස ඔහුගේ හිස වටා කැරකෙමින් දිස් විය. මා හිඳ සිටි පුටුව උණුසුම්ව, සුමට ව දැනුණු අතර ඒ කාර්යාලයේ කොතැනකින් හෝ පදම් කළ සම් පුසුඹක් දැනෙන්නට විය. මෝටර් රථයේ දෝෂයක් නැතැයි කියමින් මා කැඳවාගෙන යන්නට වික්ටර් ආ විට මට එතැනින් ඉවත්ව යන්නට මහත් අකමැත්තක් දැනුණි. මට මුළු උදය වරුවම වුවත් එතැන ඉන්නට හැකියාව තිබිණි.


-----------------------------------------------------


මගේ සැමියා පැදවූයේ ප්ලයිමත් රථයකි. එහි ඉදිරිපස වම් කොටස එබී ගොස්, පසුපස ලාම්පුවක් බිඳී, පසුපස දකුණු ජනේලයේ කුඩා හිරු ලකුණක් මෙන් ඉරි තැලුමක් විය. මේ රථය පාවිච්චි කර අවසාන කිරීමට ඔහු ඉටාගෙන සිටි බව- එය බලෙන් යටත් කරගත යුතු දෙයක් බව, එය ක්‍රියා විරහිත වූ දිනෙක ඉන් බැස ඉවත් වී යන්නට සූදානම් බව ඔහුගෙන් දිස් විය. මේ රථයත් ඔහුගේ දුර්වර්ණ වූ ඇඳුම් කට්ටල සහ ගෙවී ගිය පාවහන් වැනිම විය. ඔහු මෙලෙස හැසිරුණේ ඇයි? මා නම් පැදවූයේ ෆෝඩ් රථයකි. ෆෝඩ් රථ වලට අමතර කොටස් සොයා ගැනීම ඉතා පහසු බව මගේ විශ්වාසයයි. වසර පහක් පැරණි වූවත් මගේ රථයට තවම අලුත්ම පෙනුමක් ඇත. එහි එන්ජිමෙන් පවා දිස් වන්නේ අලුත් පෙනුමකි. පසුගිය වසරේ මම රථයේ එන්ජිම මුදල් ගෙවා හුමාලයෙන් පිරිසිදු කරගත්තෙමි. එසේ කළ හැකි බව බොහෝ දෙනා නොදන්නා මුත් එය සැබවින්ම කළ හැකි දෙයකි.


කාලගුණය වියළි ව පවතී නම් ඔබට මගේ සැමියාගේ මෝටර් රථය මත ද්විතියික පාසලේ සිසුන් දුසිම් දෙකක් පමණ තමන්ගේ නම් ලියා ඇති අයුරු දකිනු හැකිවෙනු ඇත. මීට අමතරව විවිධ කුණුහරුප ද සිනා මුහුණු සහ එකිනෙකා වෙත කළ ආදර ප්‍රකාශනද මෙහි ඇත. රථයේ ඇතුළත ආසන මත ඉරී ගිය ෆයිල් කවර සහ සඟරා විසිරී තිබේ. රථයේ බිම පොඩි වුණු සිගරට් අසුරන දක්නට ඇත. ඔහු රථය ධාවන ගියරයට දමද්දී අමුතු බියකරු හඬක් නැඟෙන අතර එන්ජිම ක්‍රියා විරහිත කර සෑහෙන වෙලාවක් ගත වන තුරු එය ඉන්ධන දවාලයි. මීට අමතරව රථයේ යම් කොටසක් බුරුල් ව ඇති නිසා ඔහු හදිසියේ වංගුවක් ගන්නා හැම විටම ඉන් නැඟෙන්නේ බලු කුක්කෙක්ගේ වැනි කෙඳිරියකි. මේවා පරීක්ශාකරගත යුතු බව මම ඔහුට මතක් කරමි. “යන්ත්‍රයක වටිනාකම රඳා පවතින්නේ ඔයා ඒකට දෙන සාත්තුවේයි.”


එසේ කියද්දී මට දැනෙන්නේ මා මගේ පියා බවට පත්වෙමින් ඇතැයි යන විකාරරූපී හැඟීමයි. මගේ පියා ඉතා පිළිවෙලට කටයුතු කරන අයෙක් වූ අතර, මා මෝටර් රථයක ටයරයක් මාරු කරගන්නට ඉගෙන ගන්නා තුරු ඔහු මට මගේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ඉඩ දුන්නේ නැත. කෙසේ වෙතත් මගේ අදහස නිවැරදි බව මම දනිමි.


“අපි කොහේ හරි අතරමං වුණොත් මොකද කරන්නේ?” මම ඔහුගෙන් අසමි. “අපි බොහොම දිග ගමනක් යමින් ඉන්දැද්දී මංතීරු අටක් තියෙන අධිවේගී පාරක් මැද්දේදී කාර් එක කැඩුණොත් මොකද කරන්නේ?”


“මේක බොහොම ඉස්තරම් කාර් එකක්,” මගේ සැමියා පිළිතුරු දෙයි.


මගේ කතාවෙන් ඔහුගේ සිත රිදී ඇති බව මට කිව හැක. ඔහු රියදුරු අසුනේ කුදු ගැසී හිඳ සුක්කානම මත තබාගත් එක අතකින් පමණක් රිය පදවන්නට වෙයි. ඔහු නිරතුරුවම රිය පැදවූයේ ඉතාමත් වැරදි ආකාරයට ය. ඉක්මන් ආරම්භ, හදිසි හැරවීම්, වෙව්ලන නැවතීම් ඒ ගමන් වල බහුල විය. මාර්ග සංඥා එළි වලදී ගියරය නියුට්‍රල් කිරීමට ඔහු ප්‍රතික්ෂේප කරයි. ඔහු එසේ කළ යුතු බව මා කී විට “ස්වයංක්‍රීය ගියර් තියන කාර් එකක් ගන්න එක වැඩක් තියෙනවද ජීවිතයම ගියර් මාරු කර කර ගත කරනවානම්?” ඔහු අසයි.


“එහෙම කරන්නේ කාර් එක ක්ෂය වෙන එක අඩු කරගන්න, නැත්නම් වෙන මොකකටද?”


ඊට නුරුස්නා හඬක් නඟන ඔහු, මහත් ශබ්දයක් නඟමින් රථය නැවතත් ධාවනය කරයි. යළිත් වදනක් වත් නොකියන බවට මම මටම පොරොන්දු වෙමි. නමුත් රථය පැයට සැතපුම් හැටක වේගයෙන් වංගුවක් ගනිද්දී අතක් රථයේ ඉදිරි පුවරුව වෙත තබා නොවැටී සිටින්නට උත්සාහ ගනිමින් නිහඬ ප්‍රතිචාරයක් දැක්වීම මට වළක්වා ගනු නොහැක.


------------------------------------------------------


පසුගිය ජුනි මාසයේදී විශ්ව විද්‍යාලයේදී මා සමඟ එකම කාමරයේ නවාතැන්ගෙන උන් මිතුරියක් මා බැලීමට පැමිණි අතර මම ඇයව දිවා භෝජනයට අවන්හලකට රැගෙන ගියෙමි. මගේ සැමියා ඇයට අකමැති බැවින් මේ ගමන ගියේ අප දෙදෙනා පමණි. (ඔහු කියන්නේ ඇය කට සැර, ඇට්ටර ගැහැණියෙක් බවයි. නමුත් මගේ අදහස නම් ඔහු ඇය ගැන ඊර්ෂ්‍යාවෙන් පසුවන බවයි. ගැහැණුන් තම මිතුරියන් සමඟ සැබෑ ප්‍රමාණයට වඩා සමීප බව පිරිමි නිතරම සැක කරති.) මමැ ඇය ව ඇයගේ නෑනාගේ නිවසින් රැගෙන ‘නාඩුලී’ නම් මට කලාතුරකින් යන්නට අවස්ථාව ලැබෙන ඉතාලි අවන්හලට රැගෙන ගියෙමි. බී ඉතා පියකරුව සිටියාය. ඇය හිර සුදු කලිසමක් සහ බුරුල් බ්ලවුසයක් හැඳ සිටි අතර පොටවල් කිහිපයකින් යුත් කොරල් මාලයක්ද පැළඳ සිටියාය. ආහාර ගනිද්දී අපට කතාකරන්නට ඕනෑතරම් දේවල් විය. අපි අපගේ රැකියාවන්, ස්වාමි පුරුෂයන්, පැරණි මිතුරන් ආදී දේ ගැන දොඩමලු වූයෙමු. එහෙත් අපගේ කෝපි ඇනවුම ලැබෙන වේලාව වෙද්දී අපගේ කතාබහ අවසන් ව තිබිණි. ආපිට එද්දී අපි පහසු නිහඬතාවයකට වැටී සිටියෙමු. බී ගීයක් මුමුණමින් තම අත රථයේ කවුළුවෙන් පහතට එල්ලා හැලෙන්නට හැර සිටියාය. මම සේන්ට් ජෝන්ස් මාවත් ඔස්සේ රථය පහසුවෙන් පදවද්දී ඉබේටම මෙන් මාර්ග සංඥා එළි කොළ එළි දල්වමින් අපට ධාවනයට ඉඩ දුන්නේය.


එහෙත් මා වමට හැරවිය යුතු ඩෙල්මෝ ප්‍රදේශයේ දී හදිසියේම, කිසිම හේතුවක් රහිතව රථයේ එන්ජිම නතර විය. “ඒ මොකක් වුණා ද?” මට කියැවුණි. මා ගියර මාරු කර නැවතත් රිය පණ ගන්වා ගත්තෙමි. එහෙත් ෆර්ගන් පාරේ මාර්ග සංඥා පුවරුව අසලදී රථය නැවතත් නතර විය. ඉනික්බිති මා වේගය අඩු කළ හැම විටම රථය නතර විය. එහි ඉදිරිපස පුවරුවේ රතු සහ කොළ අවදානම් එළි දැල්වෙමින් තිබිණි. මගේ පසුපසින් සිටි රියදුරෝ තම රථවල නලා නාද කරමින් සිටියහ. ඇක්සලරේටරය මත වූ මගේ පය වෙව්ලන්නට විය. “අනේ දෙවියනේ, මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙලා,” මම බී ට කීවෙමි.


“ඔයාගේ තෙල් ඉවරවෙලාද දන්නේ නැහැ.” ඈ කීවාය.


“තෙල්? මේක තෙල් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? නවතින නවතින සැරේට කාර් එක ආයෙත් ස්ටාට් කරන්න පුළුවන් නේ. ඒක මහා විකාර අදහසක්.”


බී මා දෙස බලා කිසිත් නොකියා සිටියාය. බෙහෙවින් කලබල වී සිටි මා හට ඇයගෙන් සමාව ගැනීමට මතක් වූයේ වත් නැත. “මේ අහන්න, මම එක්සෝන් එකට යන්න ඕන,” මම කීවෙමි.


“මෙතන ඉස්සරහ ටෙක්සාකෝ පෙට්‍රල් ස්ටේෂන් එකක් තියෙනවා.”


“ඒත් මගේ කාර් එක ගැන දන්නේ එක්සෝන් එකේ අය. අනික වැඩි දුරකුත් නැහැ.”


මෙසේ කියද්දීම නැවතත් එන්ජිම නතර විය.


“හොඳ වෙලාවට අපි මොකක් හරි හයිවේ එකක නොහිටියේ,” ගවුම් අතෙන් දෑස පිසදමමින් මම කීවෙමි. බී මා දෙස හිස හරවා බලනු මට දැනුණි.


අප එක්සෝන් කාර්මික හල වෙත එද්දීම රථය අවසන් වතාවට වෙවුලුම්කා නතර වූයේ කාන්තාරයේ අතරමං වූවෙක් කෙම්බිමකට පිළිපන් අයුරිනි. මම රථයෙන් පිටතට පැන, එහි දොරද නොවසා ගරාජය වෙත දිව ගියෙමි. ඔසවන ලද ෆොක්ස්වැගන් රථයක් යට ජොඑල් උරුවම් බාමින් සිටගෙන සිටියේ දෑස් කුඩා කර ඉහළ බලමිනි.


“ජොඑල්? අනේ මගේ කාර් එකට ලොකු ප්‍රශ්නයක් වෙලා,”


එය අසා ඔහු උරුවම් බෑම නැවත්වූයේය. “ආ කොහොමද මිසිස් එස්?” ඔහු කීය


“මං වෙනුවෙන් ඔයාට පොඩ්ඩක් ඒ ගැන බලන්න පුලුවන්ද?”


හිරුරැස් විසිරෙන එළිමහනට ඔහු මා පසුපසින් පැමිණියේය. ඔහුගේ සන්සුන් සාමකාමී විලාසය නිසා මට ඒ වෙද්දීත් සහනයක් දැනෙමින් තිබිණි. මා ඔහුට රථයේ රෝග ලක්ෂණ කියද්දී ඔහු කලබල රහිතව බොනට්ටුව ඇර, එහි ඒ මේ අත බලමින් සිටියේ කලින් උරුවම් බාමින් සිටි ගීය මුමුණමිනි.


“ස්ටාට් කරන්න බලන්න” ඔහු කීය.


මම රථයට නැග එය පණ ගන්වා නැවත ඔහු නවත්වන්නට කී විට එය ක්‍රියා විරහිත කළෙමි. ඉන්පසු නැවත ඔහු වෙත ගොස් බොනට්ටුව යට බලන්නට ඔහුට එකතු වුණෙමි. ඔහුගේ දිගු ඇඟිලි අන් අයගේ ඇඟිලි වලට වඩා සජීවී ව පෙනුණේ එහි නැමි වල මජං තැවරී තිබුණු බැවිනි. ඔහු එන්ජිමේ වූ කුඩා කළු කම්බියක් සෙලවූවේය.


“පෙට්‍රල් පොම්පයේ ප්‍රශ්නයක්ද?” මා ඔහුගෙන් ඇසුවේ පෙරදී මේ ගැන නරක අත්දැකීමක් තිබුණු නිසාය. (මා මෝටර් රථ කොටස් ගැන ඉගෙන ගත්තේ සොල්දාදුවන් භූ ගෝලය ඉගෙන ගන්නා ආකාරයට, අත්දැකීමෙනි.)


“හරියටම කියන්න බැහැ, මම මේක ඇතුළට අරගෙන යනවා. වැඩි වෙලාවක් යන එකක් නැහැ.”


මා මේ බව බී ට කී විට ඈ ද රථයෙන් පිටතට ආ අතර අප දෙදෙනා කාර්යාලය වෙත පිය මැන්නෙමු. ගිම්හාන ඍතුවේදී මෙහි පදම් කළ හම් සුවඳ වඩාත් තදින් දැනෙන්නට විය. මම එහි වූ අසුනක් මතට කඩා වැටී දෑස වසාගෙන හිස ඇළ කරගත්තෙමි.


“මට සමාවෙන්න” මම බී ට කීවෙමි. “මගේ කාර් එකේ ප්‍රශ්නයක් වුණාම මම හරියට කලබල වෙනවා.”


“මම ඔයා වුණා නම් මොකද කරන්නේ දන්නවද? මම මෝටර් රථ තාක්ෂණය ගැන පාඨමාලාවක් හදාරනවා,” ඈ කීවාය.


මම දෑස් විවර කර ඇය දෙස බැලුවෙමි.


“ඔව්,” ඈ කීය. “අපේ වත්තේ තණකොළ වල ප්‍රශ්නයක් ඇවිත් මට කරදර දෙද්දී මම ඒකයි කළේ. මම

ගිහින් උද්‍යාන අලංකරණය ගැන ඉගෙන ගත්තා. හැමදාම උදේ හයට නැගිටලා ඒකට ගියා. ඊටපස්සේ මැෂිමක් අරගෙන තණ බිස්සෙම හුණුගල් ඇතිරුවා…”


“හරි,” මම කීවෙමි. “ඒත් මට දැනටමත් සෑහෙන්න වැඩ තියෙනවනේ.”


“නිර්භීත වෙන්න! දැන් ඉස්සර වගේ ගෑනු -පිරිමි වගකීම් කියලා ඒවා නැහැ. කෙළින්ම තමන් කැමති දේ කරන්න.”


මම ඒ ගැන මොහොතක් කල්පනා කළෙමි.


“බී,” මම අවසානයේදී ඇසුවෙමි. “මට ඇත්ත කියන්න. ඔයා එහෙම කළේ ඔයා ඒක කරන්න කැමති නිසාද නැත්නම් ඒ වැඩේ කරන්න වෙන කෙනෙක් නැති නිසාද?”


“හ්ම්ම්ම්?” ඈ කීවාය. ඒ වෙද්දී ඈ එහි තිබුණු සඟරාවක් කියවන්නට ගෙන තිබුණු අතර අලසව එහි පිටු පෙරලමින් සිටියාය. මගේ පැනය එතරම් වැදගත් සේ ඈ නොසැලකූ බව පැහැදිලිව පෙනුණි.


ටික වෙලාවකට පසු ජොඑල් තම දෑත රෙදි කැබැල්ලක පිසිමින් පැමිණියේය. “ඒක ෆිල්ටරයේ ප්‍රශ්නයක්,” ඔහු මට කීය. “ඔයාගේ ෆිල්ටරය මාරු කරන්න වෙලා.”


“ඒක ලොකු ප්‍රශ්නයක්ද?”


“නැහැ, අපිට හවස පහ වෙද්දී ඒක කරලා තියන්න පුළුවන්.”


“මම මගේ නෑනාට කතාකරන්නම්, එයාට පුළුවන් අපිව ගන්න එන්න.” බී කීවාය.


“ඒත් මේක හැදුවාට පස්සේ කාර් එක ප්‍රශ්නයක් නැතිව දුවයිද? ආයෙත් මග හිටින එකක් නැහැ නේද?” මම ඇසුවෙමි.


“එහෙම වෙන්න හේතුවක් නැහැ.” ජොඑල් කීය.


ඔහු මගේ නම විශාල කාර්යක්‍ෂම අකුරින් පෝරමයක ලිව්වේය. මිසිස් සිමන්ස්.

දෙවෙනි පේලිය වෙත ආ විට ඔහුගේ පැන්සල නතර විය.


“ලිපිනය? දුරකථන අංකය?” ඔහු ඇසීය.


“හතරයි හතරයි හතරයි හතර, නෙල්සන් පාර, අටයි හතරයි හතරයි දෙකයි දෙකයි හතරයි හතර.”


“හතර ඔයාගේ වාසනාවන්ත අංකය වගේ,” ඔහු කීය.


“නැහැ, ඒක නමය.”


ඔහු හිස ඔසවා බලා සිනාසුණේය.


“ඉතින් ඔයා ඇහුව නිසා කිව්වේ.” කියා මා ද සිනාසුණේ බී ගේ බැල්ම මඟ හරිමිනි. මට දැනුණේ මා නැවතත් මෝඩ ලෙස හැසිරෙන තරුණියක් බවට පත්වී ඇතැයි යන ප්‍රසන්න හැඟීමකි. සවස පහ වෙද්දී සියලු දේ යහපත් වනු ඇතැයි යන සිතිවිල්ල මට මහත් ප්‍රමෝදයක් ගෙන දුන්නේය.



විශාල දම් පැහැති කැඩිලැක් රියකින් පැමිණි බී ගේ නෑනා අපව එතැනින් නංවාගෙන මා නිවසට බැස්සුවාය. රථයෙන් පිටවීමට පෙර මම නැවත වතාවක් බී ගෙන් සමාව ඉල්ලුවෙමි. “මේ අහන්න,” ඈ කීවාය. “ඕක අමතක කරන්න. ඒත් දැන් හවසට ඔයා ආයෙත් ගරාජ් එකට යන්නේ කොහොමද? ඔයාව ආයෙත් බස්සන්න ඕනද?”


“නැහැ නැහැ, ඒ වෙද්දී ඇල්ෆ්‍රඩ් ගෙදර ඇවිත් ඉඳීවි,” මම කීවෙමි.


“එයා ඇවිත් නොහිටියොත් එහෙම…”


“එහෙම උනොත් මම කෝල් කරන්නම්,” මම පොරොන්දු වුනෙමි.


නමුත් මා සිතූ පරිදිම මා නැවත එක්සෝන් කාර්මික හල වෙත රැගෙන යාමට යන්තමින් වෙලාව ඇතිව මගේ සැමියා නිවසට පැමිණියේය. ඔහු පැමිණියේ අවසාන මොහොතේ බැවින් ඔහු නිවසට පැමිණි වහාම ඔහුව නැවත ආපිට කැඳවාගෙන යන්නට මට සිදුවිය. ඔහුගෙන් පෙනුණේ අවුල් වූ පටලැලි සහගත බවකි. ඔහු මාව රථයේ රැගෙන ගියේ වෙනදාටත් වඩා දුර්වල ලෙස රිය පදවමිනි.


“මොකක් වුණා කියලද කිව්වේ කාර් එකට? ගිය සතියේ ඒක හොඳට තිබුණා නේ.” ඔහු දකුණට හරවද්දී රථයේ රෝදයක් පදික වේදිකාව මතින් ගියේය. රතු පැහැයට හැරෙමින් තිබුණු කහ මාර්ග සංඥා එළියක් මැදින් ඔහු රථය ධාවනය කළේය. එක්සෝන් කාර්මික හල වෙත එළඹුණු විට ඔහු අපැහැදිලි බැල්මකින් කවුළුවෙන් පිටත බැලුවේය.


“කාර් ඒක හදලා කියලා ස්ථිරවම දැනගන්නකම් යන්න එපා ඔන්න හරිද?” මම කීවෙමි. (එවැනි දේ ඔහුට කිව යුතුය.)


මා රථයෙන් බැස ගරාජයට යද්දී ජොඑල් කැරකෙන මේසයක් මත ටයරයක් තබාගෙන එය කරකවමින් සිටියේය. මා දුටු විට ඔහු සිනාවක් පෑවේය. “ඔක්කොම හරි,” ඔහු කීවේය. “දැන් හිතට හොඳයි ද?”


“ඇත්තටම හොඳයි.” කී මා ආපිට හැරී මගේ සැමියාට ඇත වැනුවේ ඔහුට දැන් යා හැකි බව සන් කරමිනි. ඔහු ද මට අත වැනු අතර ඔහුගේ කමිස අත දුරට දිස් වූයේ පාවිච්චි කර ඉවත ලූ කඩදාසි මල්ලක් ලෙසිනි. ඔහුගේ කිළුටු රථය හඬ නංවමින් මාර්ග තදබදයේ අතුරුදන් වනු දකිද්දී කුමක් හෝ හේතුවකට මට දුකක් දැනුණි.


----------------------------------------------------


මට මගේ සැමියාව මුලින්ම මුණ ගැසුණේ මා ගුරු විද්‍යාලයේ ශිෂ්‍යයෙක් ලෙස ඔහුගේ පාසලට පුහුණුවට ආ විටයි. මා ඉගැන්වීමට කිසි සේත් අකමැති වූවත් (දැන් මම රැකියාව කරන්නේ පුස්තකාලයකයි) ගුරුවරයෙක් වීමේ සහතිකය ලබා ගත යුතු යැයි එකල මට සිතී තිබුණි. මෙය අනාගතයේ සිදුවිය හැකි කරදරයකට- එනම් මට කසාද බඳින්නට නොහැකි වුවහොත්, නො එසේ නම් අඩු වයසින් වැන්දඹු වූවොත්- ආදී දේකට පිළියම් වශයෙන් සිදු කරන ලද්දකි.


මට ඇල්ෆ්රෙඩ් මුලින්ම හමු වෙද්දීත් ඔහු මේ ලෙසම අපිළිවෙල, නිතර දේවල් අමතකවනසුළු පුද්ගලයෙක් විය. එකම වෙනස ඔහුට එකල විශාල බලාධිකාරයක් තිබුණු බවක් දිස් වීමයි. මිස්ට සිමන්ස් විනයක් නොමැති පන්ති වලට අකමැති අයුරු ගැන අන් ගුරුවරු කතා කරනු මට ඇසුණි. පන්තියක් පරීක්ෂා කිරීමට ඔහු පැමිණි විට එහි සිසුන් හරහා විදුලියක් දිවූ බවක් පෙනුණි. ඔහු සිටින විට සිසුන් වඩාත් අවධානයෙන් යුතු විය. ගුරුවරයා පවා වඩාත් ඍජු බවක් පෙන්වූයේය. වර්තමානයේදී මම කෑම මේසයේ ඔහු ඉදිරිපසින් අසුන්ගෙන පෙර ඔහුගෙන් දිස් වූ ප්‍රශ්නයට ලක් නොවූ ආත්ම විශ්වාසයේ දිලිසීම දකින්නට මහත් සේ උත්සාහ කරමි. දෑස් වපර කර ඔහු ව දුර සිට දකින්නට උත්සාහ කරමි. මගේ බැල්ම දැක කලබල වන ඔහු තම ගෑරුප්පුව අත හැර ගනී. “ඇයි, මොකක්ද ප්‍රශ්නේ?” ඔහු අසයි. “මම මොකක් හරි වැරද්දක් කළා ද?” එහෙත් දැනුදු පවා, ඉඳහිට මා පාසලට ගිය විට, ඔහු කොරිඩෝවේ ඉදිරිපසින් එනු දකින ගුරුවරු වඩාත් ඍජුව සිටගැනීමට උත්සාහ දරනු මා දැක තිබේ.


අප පෙම් කරන සමයේදී ඔහු කුමන දේවල් කරන්නට දන්නේදැයි ඇසීමට මට මතක් වූයේවත් නැත. මෝටර් රථයක තෙල් මාරු කරන්නට ඔහු දැන සිටියේද? දැල් දොරක් සවිකරන්නට ඔහු දැන සිටියේද? සෑම පිරිමියෙකුටම මේවා පුළුවන් බැවින් ඔහුටත් අනිවාර්යයෙන් ඒ හැකියාවන් ඇති බව මම විශ්වාස කළෙමි. අනෙක ඔහුට ඒවා නොහැකි වූවත් කිමද? මම ඔහුට පෙම් කළෙමි. ඔහුගේ කමිස අත කෙළවර බොත්තමක් එක නූලකින් එල්ලෙනු දැකීමෙන් පවා මගේ ගත දුර්වල වී යන තරම් ආදරයක් මට ඔහු ගැන දැනුණි. කෑමකට අවන්හලක් වෙත මා රථයෙන් කැඳවාගෙන යද්දී ඔහුට පාර වැරදී අතරමං වූ විට එකල මට මහත් සතුටක් දැනුණේ, කෑම ගැනීම ගැන මගේ උනන්දුවක් කොහොමත් නොතිබුණු නිසයි. මා ඇඟිලි ගැන්නේ මගේ නිවස පිහිටා තිබුණු තට්ටු ගොඩනැඟිල්ල ඉදිරිපස තම රථය නවත්වා ඔහු මා වැළඳ ගන්නා මොහොත එළඹෙන තුරු පමණි. ඔහුගේ අත් (ඒවායේ නියපොතු කවාකාර වූ අතර රෝස පැහැතිව, කරගැට රහිතව තිබුණු ඔහුගේ දෙඅත්ල ඔහු ගැන අනතුරු ඇඟවීමක් සේ මා ගත යුතුව තිබිණි.) මා මූර්තියක් සේ අඹන බවක්, ඒවාට මැදි වී මා වඩාත් හැඩ වී, උස් වී, සිහින් වී, අලංකාර වන බවක් මට දැනුණි. එවන් මොහොතක් ඔහු බිත්තියක විදුලි පේනුවක් මාරු කරන්නට දන්නේදැයි ඇසීමට සුදුසු අවස්ථාවක් නොවීය.


ඉනික්බිති අපි විවාහ වී කෝකර් පාරේ වූ තරමක් පැරණි නිවසක පදිංචියට ගියෙමු. එය දුෂ්කර කාලයක් විය. මගේ දෙමව්පියන් ඇල්ෆ්රඩ් ගැන කලකිරීමෙන් පසුවූ අතර ඒ නිසා ඔවුහු මගේ ජීවිතයෙන් තරමකට ඈත් වූහ. මට දැනුණේ මා අනාථ වූ බවකි. මේ මා පුස්තකාලයේ රැකියාව ඇරඹූ කාලයයි. හැම හවස් වරුවකම මා හෙම්බත් වී, දෙපා රිදුම් දෙද්දී නිවසට පැමිණි පසු රෑ කෑම සැකසීම, කුණු කසල පිටතට ගෙන යාම, නිවස පිරිසිදු කිරීම වැනි කටයුතු කළ යුතු විය. සති අන්ත වලදී මම ගෙවත්තේ තණකොළ කපා, පඳුරුවල අතු පෑහීම සිදු කළෙමි. නිවසේ පොළොව සේදීම, එය ඔප දැමීම, කාමරවල තීන්ත ගෑම ආදිය සිදු කෙරුණේද මගේ අතිනි. මගේ සැමියා විවිධ දොරකඩවල සිටගෙන බලා සිටීම පමණක් සිදු කළේය. මා මින් අදහස් කරන්නේ ඔහු කම්මැලියෙක් බව නොවේ. ඔහු මේ කාර්යයන්ට උදව් කළ යුත්තේ කෙසේදැයි දැන නොසිටියා පමණකි. කුණු කසල පාරට ගෙන යාම මා ඔහුට පැවරුවහොත් ඔහු ඉතා සතුටින් එය සිදු කරනු ඇත. නමුත් එසේ කරද්දී ඔහුට කසල බඳුනේ පියන වසන්නට අමතක වන අතර එහි ප්‍රතිපලයක් ලෙස බල්ලන් කසල බඳුන පෙරළන්නට ඉඩ තිබේ. ඔහු තීන්ත හැමතැනකම හැලුවේය, අලුත වානිෂ් ගෑ පොළොවේ ඇවිද්දේය, ජනේලයක් විවර කරන්නට ගොස් එය කඩා දැමුවේය. ඔහු පිළිවෙලකට මුදල් පරිහරණය කරන්නට කිසිදිනක උගෙන නැති බව මා සොයාගත්තේ පසුවය. මේ නිසා ඔහුගේ චෙක්පොත් කලමණාකරණය කිරීමට පොහොසත් අසරණ වැන්දඹුවන්ට ලබාදෙන වර්ගයේ විශේෂ සේවකයෙක්ගේ සේවාව බැංකුවෙන් ලබා දී තිබිණි. මීට අමතරව නිවසේ ඔහුගේ ලියන මේසයේ වෙනම කොටසක් වෙන් වී තිබුණේ මාර්ග නීති උල්ලංඝනය වෙනුවෙන් ලැබී නොගෙවූ දඩ කොළ වෙනුවෙනි.


ඉතින් මම මේ දඩ ගෙවා දමා, චෙක්පොත පාලනය කිරීම අතට ගෙන වාර්ෂික අය වැයක් සැකසුවෙමි. ගෙවූ බදු මුදල් ආපසු ලබා ගැනීම සඳහා අඩු කළ හැකි වියදම් මොනවාදැයි සොයාගැනීමට ඔහුගෙන් ප්‍රශ්න ඇසීම සිදු කළෙමි. (මගේ ළමා කාලයේදී මේ කටයුත්ත සිදු කළේ මගේ පියා ය.) මෙසේ කරද්දී මට දැනුණේ මා වඩාත් විශාල වී, මගේ උරහිස් පළල් වන බවකි. උඩුකුරු කළ විවර අත්ලක් පා අන් පුද්ගලයාට සාධාරණ ලෙස සිතන්නට ඇරයුම් කරන තාත්තාගේ ඉරියව්ව මම ද අනුකරණය කරමින් සිටියෙමි. “දැන් හොඳට කල්පනා කරලා බලන්න ඇල්ෆ්‍රඩ්. ඔයා මුද්දර ගත්තාද? ලිපිද්‍රව්‍ය? ඔයාගේ රාජකාරියට අදාළ මොනවා හරි පොත් ගත්තාද?”


“පොත්?” එවන් අවස්ථා වලදී ඔහු අසයි. “ඔව්, මම හිතන්නේ ගත්තා.”


“කීයක් වුණාද ඒවාට? ඔයාට රිසිට් තියෙනවද?”


“නැහැ, මගේ අතින් නැතිවෙන්න ඇති ඒවා.”


“ඩොලර් පහක්? දහයක්?”


“මට හරියටම කියන්න බැහැ.”


“ඒ පොත්වල නම් මතක් කරන්න. එතකොට සමහර විට මතක් වෙයි. ඩොලර් පහලවක්? විස්සක්? විසි පහට අඩු ද?”


“අනේ මම දන්නේ නැහැ ලුසී, මොකටද ඕවා? ඔයතරම් විස්තර වැඩක් තියෙනවද?”


මා නින්ද නොයෑමේ රෝගයෙන් පෙළෙන්නට විය. නිදි යහනේදී මගේ දෑත් ඉබේම තරයේ මිට මෙලවුණු අතර මා කොතෙක් උත්සාහ කළත් ඒවා ලිහිල් කළ නොහැකි විය. මට දැනුණේ නිවස පාලනයට අදාළ සියලුම රැහැන් මගේ අතේ ඇති බවකි. මා සියල්ල දරා සිටි අතර සියල්ල රඳා පැවතුණේ මා මත බව මට හැඟිණි.



-------------------------------------------------


“මම එන්ජිම පණ ගැන්වූවාම මුලදී කිසි ප්‍රශ්නයක් නැහැ,” මම ජොඑල් ට පැහැදිලි කළෙමි. “ඒත් මම ටිකක් වේගයෙන් යද්දී මම බලාගෙන ඉන්නවා අර ‘ක්ලික්’ සද්දේ ඇහෙනකම්. ඔයා දන්නවනේ අර වාහනේ ගියර් මාරු වුණ බව අඟවන ක්ලික් සද්දේ? ඒත් ඒක ඇහෙන්නේ නැහැ වගේ. ඒ වගේම මට නිකම් හිතෙනවා එන්ජිමෙන් නිකම් කෙඳිරියක් වගේ එනවා කියලා. නිකම් වැරදි සද්දයක්- මට ඒක පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ.”


“ට්‍රාන්ස්මිෂන් එක නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න,” ජොඑල් කීවේය. “එහෙම වුණොත් නම් ලොකු වියදමක් යයි.”


අප සිටියේ මාර්ග සංඥා එළියක් අසළ නැවැත්වූ මගේ රථයේ වූ අතර රථය පදවමින් සිටියේ ඔහු ය. ඔහු මගේ ඉල්ලීම පරිදි රථයේ ගියරයන් පරීක්ෂා කරමින් සිටියේය. එය අගෝස්තු මාසයේ දැඩි හිරු රශ්මිය සහිත උණුසුම් දවසක් විය. (ජොඑල්ගේ මුහුණ දහදිය නිසා ඔප වැටී තිබුණු අතර ඔහුගේ කහ පැහැති කෙස්වල ද දිදුලන පෙනුමක් විය.) මා මගේ රිය කවුළුව විවර කළේ නැත. දහදියෙන් තෙත් වන මේ හැඟීමට මා ප්‍රිය කළේ ඒ උදය වරුවම මා තැවුල් සිතෙන් පීඩිතව, සීතලව ගත කළ නිසා ය. මාර්ග සංඥා එළි මාරුවන තුරු සන්සුන් ව බලා සිටියදී ජොඑල් “Let it be” සින්දුව උරුවම් බාමින්, ඇඟිලි තුඩුවලින් සුක්කානම මත තාලය අල්ලමින් සිටීම ගැන මට ප්‍රසාදයක් දැනුණි. මගේ රථය ඉතා කීකරුව, යටහත් පහත් ලෙස සිටින බවක් පෙනුණි.


“අලුත් එකක් ගන්න වුණේ නැත්නම් හොඳයි.” මම කීවෙමි


“ඕන වෙන එකක් නැහැ.” ඔහු කීවේය.


මාර්ග සංඥා එළිය වෙනස් වූ විට ජොඑල් රථය වේගයෙන් ඉදිරියට ගත්තේය. සෙමෙන් රථ පදවන්නන් පසු කරන්නට මං තීරු මාරු කරමින් ඔහු රථය පැදවූයේය. මෙසේ යද්දී ඔහු හිස ඇළ කර එන්ජිමේ හඬ අසන්නට විය. “මට නම් ඇහෙන්නේ හරියට ගියර් මාරු වෙනවා වගේ.” ඔහු කීවේය.


“තව විනාඩියක් බලන්න, එක විනාඩියක්…”


මා ද සවන්දෙමින් සිටි නමුත් මා තනියම රිය පදවද්දී ඇසුණු දේ මට එවෙලේ ඇසුණේ නැත.


අපි මාර්ග සංඥා එළි රහිත කුඩා පාරකට හැරුනෙමු. ජොඑල් රථය නවතා, නැවත පණ ගන්වා පැයට සැතපුම් හැට දක්වා එහි වේගය වැඩි කළේ පරීක්ෂාවෙන් එන්ජිමට සවන් දෙමිනි. ඔහු තිරිංග තද කර, ගියර් මාරු කරද්දී ඔහුගේ අතැඟිලි සෙලවුණේ මනා සේ තෙල් යෙදූ යන්ත්‍රයක කොටස් මෙනි. “අපි ආයෙත් දුවලා බලමු.” ඔහු කීවේය.


දෙවෙනි වතාවේදී ධාවනය කළ පසු අප හදිසියේම එළඹුණේ පුදුම දනවන තැනකට ය. ඒ ගෝල්ඩන්රොඩ් මල් සහ ඉවත ලූ බීර කෑන් පිරුණු පිටියකි. ඔහු රථය නවත්වා උඩු තොලේ දහදිය පිටි අත්ලෙන් පිසදා ගත්තේය. “මම හිතන්නේ,” ඔහු පිටිය වෙත නෙත් යොමාගෙන කීවේය. ඔහුගේ දෑස (ඒ දිගටි නිල් දෑස කවුළු දෙකක් සේ දීප්තිමත්ව දිස් විය) පසුපස ඔහු දන්නා සියලු දේ අඩංගු ලේඛන ඒ මොහොතේදී පිළිවෙලට විමර්ශනය වනවා ඇතැයි මට මැවුනි. “මට නම් පේන්නේ මේකේ ප්‍රශ්නයක් නැහැ වගේ,” ඔහු අවසානයේදී හිස සොලවා කීවේය.


මෙය අසා මට සැනසිල්ලක් දැනෙන්නට ඇතැයි ඔබ සිතන්නට ඉඩ තිබුණත් සිදු වූයේ අනිකකි. රථයේ යම් දෝෂයක් තිබුණා නම් එය අලුත්වැඩියා කළ හැකි අතර තවත් කාලයකට ඉන් ගැටළුවක් ඇති නොවන බවට සහතික විය හැක. නමුත් එහි දෝෂයක් හඳුනා නොගැනුණු විට මා සිතේ ඇති වූයේ මහත් අවිනිශ්චිත බවකි. මම සුසුමක් හෙලා මගේ පසුම්බිය වැරෙන් අල්ලා ගත්තෙමි. ජොඑල් හිස හරවා මා දෙස බැලුවේය.


“මම හිතන්නේ මට පිස්සු හැදීගෙන එනවා,” මම ඔහුට කීවෙමි.


“අනේ නැහැ..”


“මම හිතන්නේ මම මේ කාර් එක ගැන ඕනාවට වඩා බරපතලව හිතනවා. දැන් දැන් මම අධිවේගී පාරවල් වල මේකේ යන එක නැවැත්තුවා. මට ගරාජ් එකක් ළඟ පාතක නැති වුණාම බයයි. මම කැමතිම වෙළඳසැලේ තියෙන ඡන්ද දායිකාවන්ගේ සංගමයේ රැස්වීම් වලට මම දැන් යන්නේ නැහැ. මේ නගරේදී වුණත් මම දැන් යන්නේ ගරාජ් එකක් තියෙන පාරවල් වල විතරයි. ගෙවල් විතරක් තියෙන පාරවල් වල යද්දී මට බයක් දැනෙනවා.”


“අයියෝ මේ කාර් එක හොඳට තියෙනවානේ,” ඔහු සුක්කානමට තට්ටුවක් දමමින් කීවේය. “ඔයා ඔහොම බය වෙන්න ඕන නැහැ.”


“මට බයයි වැඩි කල් නොගිහින් මට ගෙදරටම වෙලා ඉන්න වෙයි කියලා.”


මෙය අසා ඔහුට සිනා පහළ විය. “ඉතින් මොකද?” ඔහු කීය. “ගෙදර ඉන්න එකේ වැරැද්ද මොකද්ද?”


“එහෙම වුණොත් මුලින්ම මගේ රස්සාව නැති වෙයි.”


“මම නම් කැමතියි මගේ නෝනාට ඔයාගේ ප්‍රශ්නේ තිබ්බා නම්,” ඔහු කීය. “එයා නම් දවසම කරන්නේ කාර් එක අරන් එහෙ මෙහෙ රවුම් ගහන එක. මාව ගරාජ් එකෙන් බස්සලා දවසම රස්තියාදු ගහනවා, අපේ සල්ලි ඔක්කොම වියදම් කරනවා, අන්තිමට බබාටත් තෙහෙට්ටුයි.”


“ඒත් එයාට කාර් එකේ ප්‍රශ්නයක් වුණොත් කතාකරන්න ඔයා ඉන්නවනේ.” මම කීවෙමි.


“කොහෙද? මේ අධිවේගී පාරේ හැතැප්ම හතළිහක් ඈත දී? ඔය ඈත තියන කෝවෙට්, කේමාට්, ටූ ගයිස් කඩ පැත්තේ? එයා ඒවායින් ගන්නෙත් මහා බාල දේවල්. පොඩි පොඩි ස්වෙටර්, බාල පාට ප්ලාස්ටික් කරාබු… සල්ලි වියදම් වෙන එක නෙමෙයි මට ප්‍රශ්නේ. ඒත් එයා එහෙම වියදම් නොකර හොඳ දෙයක් ගන්න ඒ සල්ලි ඉතුරු කරගන්නවා නම්, අර ඔයාගේ දුඹුරු පාට කබාය වගේ දෙයක්- මතකයි නේද ඒ කබාය? එහෙම කළා නම් කොයිතරම් හොඳද. මම එයාට කියනවා, ඒත් ඔයා හිතනවද එයා ඇහුම්කන් දෙනවා කියලා?”


“සමහරවිට එයාට පාලු ඇති,” මම කීවෙමි.


“වෙන්න ඇති,” ඔහු කීවේය. “ඒත් මම නම් හරි කැමතියි ටිකක් හරි ගෙදර ඉන්න බිරිඳක් හිටියා නම්. අනිත් දේ තමයි, එයා තමන් ගැන කිසි සැලකිල්ලක් නැහැ. එයා එයාගේ කොන්ඩේ දිගට වැවෙන්න ඇරලා තියෙන්නේ. හැමදාම මම ගෙදර ආවාම ‘මේ කවුද මේ?’ කියලා මට හිතෙනවා. මම කියන්නේ ඒක මට හැමදාම පුදුමයක් වගේ. මට ඒකට කවදාවත් හුරුවෙන්න බැහැ. මට හිතෙනවා හැමදාටම මේකද එතකොට මට උරුම කියලා. මේ නටු ගැහුණු කොන්ඩේ තියෙන ගෑනු කෙනාත් එක්කද මම ඉන්න ඕන කියලා. හරියට මට අමතකවීමේ ලෙඩක් තියෙනවා වගේ, මේක සිද්ධ වුණේ කොහොමද කියලා මට මතක නැහැ වගේ දෙයක්.”


“මේ දේවල් මේ තරම් සදාකාලිකයි කියලා කවුරුවත් අපට කිව්වේ නැහැ.” මම කීවෙමි.


“නැහැ නේන්නම්,” ඔහු කීය. “අපිට ඒත්තු යන විදිහට කවුරුවත් කිව්වේ නැහැ.”


ඔහු මදෙස බැලුවේය. ඔහුගේ දෑත සුක්කානමෙන් ඉවතට වැටුණි. අපගේ නිහඬ බව උළුප්පමින් පිටතින් නැඟුණු පලඟැටි හඬ මට ඇසෙන්නට විය.


“ඉතින්?” මා කියූ විට ජොඑල් ද “ඉතින්! දැන් නම් වික්ටර් ට කේන්ති ගිහිල්ලාත් ඇති” යැයි කීවේය. ඉනික්බිති ඔහු රථය පණ ගන්වා ආපසු හරවා ගත් අතර අපි ආපිට ගරාජය වෙත ගමන් කළෙමු.


පසුගිය සැප්තැම්බර් මාසයේදී මා මගේ දෙමව්පියන් බලන්නට ඔවුන් වෙසෙන දකුණු පෙදෙසට ගියේ සතියක කාලයටයි. ඒ ගමන් අසාර්ථක එකක් විය. මා ඔවුන්ගෙන් වෙන්ව ගත කර තිබුණු කාලය දිගු වැඩි වීම නිසා අප අතර තිබුණු යම් බැඳීමක් දරදඬු වී තිබිණි. කෑම මේසයේදී මගේ නංගී ඔවුන් සමඟ විහිලු තහළු කරන අයුරු බලා සිටිද්දී මා තවත් අනාථ වූ බවක් මට හැඟිණි. තාත්තා ඔහුගේ වැඩ කාමරයට වී විවිධ දේවල් ගලවමින් නැවතත් සවි කරමින් කාලය ගත කළේය. අම්මාත් මාත් එකිනෙකා වෙත කෙතරම් ආචාරශීලී වීද යත් එය වේදනාත්මක අත්දැකීමක් විය. ආපසු එන්නට කාලය එළඹුණු විට මට දැනුණේ සැනසිල්ලකි.


මා මුණගැසීමට ඇල්ෆ්‍රඩ් දුම්රියපොළට පැමිණ තිබුණේ රෝස මල් කළඹක් අතැතිවයි. මට ඔහු දැකීම මහත් සතුටක් විය. ඔහුගේ පොඩිවුණු ඇඳුම් මට ගෙන ආවේ සැනසිලිදායක් විශ්වසනීය හැඟීමකි. ඔහුගෙන් වහනය වූ පැරණි දුම්කොළ පුසුඹ මගේ විඩා නිව්වේය. “ඔයාව ආයෙත් දාලා යන්න මට ඉඩ දෙන්න එපා” මම ඔහුට කීවෙමි. ඔහු සිනාසී රෝස මල් පොකුර මගේ අතට දුන්නේය.


නිවස බලා යද්දී ඔහු මගේ පවුලේ අය ගැන විස්තර ඇසුවේය. අප දෙදෙනාගේ විවාහය නමැති අදහසට ඔවුන් මේ වෙද්දී හුරු වී ඇත්ද? “ආ ඔව් ඔව්” මා ඔහුට පිළිතුරු දුන්නේ නොසැලකිල්ලෙනි. මගේ පවුලේ අයට අපි දෙන්නා ගැන තිබුණු බලපෑම කුමක්ද?


ඔහු නිවස ඉදිරිපස රථය නැවත්වූයේ රෝද දෙකක් පදික වේදිකාව මත සිටින ලෙසයි. ඔහු මගේ ගමන් මල්ල රථයෙන් පිටතට ගත් අතර අපි දෙදෙනා දෑත් පටලාගෙන නිවස වෙත දිවෙන පඩිපෙළ නැග්ගෙමු.


“ඔයාට පෙනේවි මම ඔයා වෙනුවෙන් වත්තේ තණකොළ ටික කැපුව බව,” ඔහු කීවේය.


මෙය අසා මට පුදුමයක් දැනුණි. තැන තැන සරත් සමයේ පළමු පත් විසිරී තිබුණු අපගේ අපිළිවෙල තණ බිස්ස වෙත මම නෙත් යොමු කළෙමි. කුමක් හෝ විසින් එහි තැන තැන කා දැමූ බවක් පැහැදිලිව පෙනෙන්නට විය. තණබිස්ස කපද්දී ඔහුට මඟහැරුණු පටු තණකොළ තීරු මගේ ඇස ගැටුණි.


“අනේ ඇල්ෆ්‍රඩ්!” මම කීවෙමි


ඔහු නොසන්සුන් ලෙස මා දෙස බැලුවේය.


“ඒක කොයිතරම් හොඳ දෙයක්ද?” මම කීවෙමි.


“ඔව්, ඒත් ලුසී- මට තණකොළ කපන මැෂිම ගැන නම් සැකයි.”


“තණකොළ කපන මැෂිම ?”


“ඔව්, මම කියන්නේ ඒකෙ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා වගේ.”


“ආ, අපි පස්සේ බලමු.”


“ඒක අතන තියෙනවා ඔයාට බලන්න ඕන නම්.”


ඔහු අදහස් කළේ එය නිවස අසල තණ බිස්සේ තිබෙන බවයි. ඔහු එය එළිමහනේ තබා තිබිණි. එය විදුලියෙන් ක්‍රියාත්මක වූ මිළ අධික යන්ත්‍රයක් වූ අතර එලෙස එළිමහනේ තැබිය යුතු එකක් නොවීය. නමුත් මා ඔහුට ඒ බව කීවේ නැත.


“මොකක්ද ප්‍රශ්නේ?” මම ඇසුවෙමි.


“මේ..”


ඔහු මගේ ගමන් මල්ල නිවසේ දොරකඩ තබා තණකොළ කපන යන්ත්‍රය වෙත ගොස් එහි විදුලි සැපයුම අක්‍රිය නොකරම එය අනෙත් පස හරවා (මේ බව දැක මම සිතින් වෙව්ලා ගිය නමුත් කිසිවක් නොකීවෙමි) එහි කැපුම් තල වෙත අත දිගු කළේය. “මේ පේනවාද?”


දැන් නම් ඒවා කැපුම් තල බවක් පෙනුණේ නැත. දැන් ඒවා දිස් වූයේ ඇද වී ඇඹරුණු යකඩ කැබලි ලෙසයි.


“දෙයියනේ, මොකද මේ වුණේ?” ඇසූ මම වඩාත් හොඳින් පරීක්ෂා කිරීමට යන්ත්‍රය වෙත කිට්ටු වුණෙමි. ඒ ඇඹරුණු යකඩ ගොඩ මැද යකඩ නොවන යමක්, කැපුම් තල වලට වඩා පැතලි, පළල් යමක් සිරවී ඇති අයුරු මට පෙනුණි. “මේ තණකොළ කපද්දී කකුල් දෙකට හානි නොවෙන්න තියෙන කෑල්ල නේ, මේක මැෂිමේ පිටිපස්සට හයිකරලා තියෙන එකක්නේ.” මම කීවෙමි.


“ඒක ගැලවිලා වගේ පේන්නේ.” ඇල්ෆ්‍රඩ් කීවේය.


“ඔව්, ඒත් ඒක ගැලවිලා වැටෙද්දී ඔයා දිගටම තණකොළ කපාගෙන ගියාද? කපන තල වලට අහුවෙලා ඒක ඇඹරිලා යනකම් බලාගෙන හිටියද?”


“එහෙම දෙයක් වෙන බවක් මට දැනුණේ නැහැ.” ඔහු කීය.


“ඒත් මහා ලොකු සද්දයක් එන්න ඇතිනේ!”


“මම හිතුවා… ඒක.. මම දන්නේ නැහැ. මම හිතුවා මැෂිමට කෝටුවක් අහුවුණ නිසා ඒක අමුතු විදිහට හැසිරෙනවා කියලා.”


තණකොළ කපන යන්ත්‍රයෙන් විවිධ බියකරු හඬවල් නැගෙද්දී ඇල්ෆ්‍රඩ් දිගින් දිගටම, උත්සාහය අත් නොහැරම එය තල්ලු කරන අයුරු මට පැහැදිලිව මැවී පෙනෙන්නට විය. ඒ සිතිවිල්ල මට ගෙන ආවේ මහත් බලාපොරොත්තු සුන් වූ හැඟීමකි. මට ඉන් මිදෙන්නට නොහැකි විය.


“අයියෝ ඇල්ෆ්‍රඩ්,” මම කීවෙමි. “ඔයාට කිසි දෙයක් හරියට කරන්න බැරිද? හැමදාම හැමදේම කරන්න ඕන මම ද?”


එය ඇසුණු විට නැමී සිටි ඔහු සිරුර කෙළින් කොට මා දෙස බැලුවේය. ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබිණි. වෙනදාට ලා අළු පැහැතිව තිබුණු ඔහුගේ දෑස විශාල වී අඳුරු වී තිබුණු අතර එහි දිස් වූයේ කළු ඉංගිරියාවන් පමණි.


“ඔයා ඔහොම කියයි කියලා මම දැනගෙන හිටියා ලුසී,” ඔහු කීවේය.


“ඔයා දැනගෙන හිටියා නම් මොකද එහෙම ….”


“මම කරන කිසිම දෙයක් ඔයාට හරියන්නේ නැහැ. ඔයාට හැමදේම තිතට කරන්නත් ඕන, ඒවා ඔයාට තනියම කරන්නත් ඕන. මම මොනවා හරි කරන්න ගියාම මගේ ළඟ හිටගෙන මට දොස් කියන ඒකයි, මම කරන හැම දේකම වැරදි දකින එකයි, මට සවුත්තු කරන එකයි විතරයි ඔයා කරන්නේ. ඔයාට හැම තිස්සෙම හැම දෙයක්ම පාලනය කරන්න ඕන, ඔයාට හැමතිස්සෙම බලය ඕන.”



“එහෙමද ඔයාට පේන්නේ?” මම ඇසුවෙමි. “ඔයා හිතනවද මම මෙහෙම වුණේ මගේ කැමැත්තෙන් කියලා? ඔයා හිතනවද මට ඇත්තටම හැමදේම පාලනය කරන්න ඕන කියලා? ඉතින් ගන්නකො පාලනය! ඇයි ඔයා ඒක ගන්නේ නැත්තේ? ඔයා හිතනවද කවුරු හරි ඒක ගන්නවානම් මාත් එල්ලිලා ඉඳීවි කියලා? ගන්නකො ඉතින්!”


මෙසේ කියා මා ඔහුගේ මුහුණ ඉදිරිපස මගේ දෑත වැනුවේ එහි ඇති සියලු දේ ඔහුට දෙන බව දක්වමිනි. නමුත් ඔහු මා දෙස බලා සිටියේ උදාසීන බැල්මකිනි. ඔසවා තිබුණු දෑත මම පහත හෙලුවෙමි. ඔහු තණකොළ කපන යන්ත්‍රය වෙත ගොස් එය නැවත උඩු අතට හරවා, විදුලියෙන් විසන්ධි කර, ගරාජය වෙතට තල්ලු කරගෙන යන අයුරු මම බලා සිටියෙමි: එය, එල්ලා හැලෙන ඇඳුමක් හැඳ සිටින, මඳක් කොර ගසමින් යන විශාල, දුක්මුසු මිනිසෙක්ගේ දසුනක් විය.


------------------------------------------------


මෑත දී නම් මගේ මෝටර් රථය කරදරයක් නොදී ධාවනය වෙමින් තිබෙන නමුත් මා ඒ ගැන වධ වීම නම් නැවතී නැත. මා අවසාන වතාවට එක්සෝන් කාර්මික හල වෙත ගියේ රථයට ඉන්ධන ලබාගැනීමටයි. එය ඔක්තෝම්බරයේ මීදුම් බර දිනයක් වූ අතර ඒ සරත් ඍතුවේ පළමු සීතල දවසද විය. එදා එහි රාජකාරියේ සිටියේ ජොඑල් ය. ඔහුගෙන් දිස් වුයේ සැර පරුෂ පෙනුමකි. සමහර විට ඔහු වෙරිමතින් පසුව එළඹෙන අකර්මන්‍ය බවින් පෙලුනා විය හැක. පෙර දින ඇල්ෆ්‍රඩ් නින්දට ගිය පසු මහා රෑ වන තුරු රූපවාහිනිය නරඹමින් මා අවදිව සිටි බැවින් මටද හිසේ ඇම්මක් විය. එබැවින් මා කළේ ජොඑල් දුටු විට ඔහුට හිසින් සන් කිරීම පමණි. ඔහුද ආපිට එලෙස සන් කර ඉන්ධන පොම්පය වෙත ගොස් රථයට ඉන්ධන පුරවන්නට විය. ඉන්ධන පිරෙන අතරතුර ඔහු දෑත් බැඳ බලා සිටියේය. මා ද එක එල්ලේ රථයෙන් ඉදිරිපසට නෙත් යොමා සිටියේ ඉදිරි වීදුරුවේ මගේ හුස්මෙන් හුමාලය බැඳෙන අයුරු නරඹමිනි. ඉනික්බිති මම ඔහුට ඩොලර් හයකුත් ශත විසි හතරක් ගෙවා මගේ පසුම්බිය ගමන් මල්ලෙහි ලාගෙන එතැනින් ඉවතට රථය ධාවනය කළෙමි.


පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 


Holding Things Together- a short story by Anne Tyler
New Yorker Magazine, January 24, 1977 pp 30- 35

photo- Pixabay


පසු සටහන -

Anne Tyler ගේ නවකතා ගැන මා ලියූ බ්ලොග් සටහන නිසා ඇගේ පොතකින් කොටසක් හෝ පරිවර්තනය කරන මෙන් මගේ බ්ලොග් පාඨක මිතුරු මිතුරියන්ගෙන් ඉල්ලීමක් ලැබුණි. ඇගේ මේ Holding Things Together කෙටිකතාව පරිවර්තනයට මඟ පෑදුණේ ඒ අනුවයි. දිගු-කෙටි කතාවක් වූවත් මෙය පරිවර්තනය කිරීම සුමට, ප්‍රීතිමත් කාර්යයක් විය. මෙමඟින් Anne Tyler ගේ නිර්මාණයට සාධාරණයක් ඉටු කරන්නට මට ඉඩ ලැබුණාදැයි නොදන්නාමුත් ඉඩක් ලදහොත් සියුම් මිනිස් භාවයන් මනා සේ අකුරු බවට හරවන ඇයගේ පොත් කියවන්නැයි යළිදු ඔබට ඇරයුම් කරමි. 

මේ පරිවර්තනයට පැකිලෙමින් සිටි මට ඒ සඳහා උනන්දු කළ සහෘදයන්ට තූති!