ඒ කන්තෝරුව තියෙන්නේ මේ මහා නුග ගහේ කියලා තමයි මේඝන ට ආරංචි වුණේ. ඒත් එතැනට ගිහින් බලද්දී ඒක කන්තෝරු සංකීර්ණයක්. නුග මුල් දිගේ තමයි සෝපාන එහාට මෙහාට ගියේ. හැමතැනම සූ ගාලා සෙනඟ. මේ කලබල අස්සේ කන්තෝරුවක් කොහේ හොයන්නද? මේඝන නුගේ ප්‍රධාන දොරටුව ළඟ ටිකක් එකල මෙකල වුණා.
"ඇයි? මොකක්ද කෙරෙන්න ඕන?" මරුමුස් උඩු රැවුල් දොරටුපාලයෙක් හදිසියේ මේඝන ගේ පිටිපස්සෙන් ප්‍රාදූර්භූත වුණා.
“මම මේ.. මේ කන්තෝරුවක් හොයනවා..” හදිසියේම අදාළ තැන නම අමතක වෙලා මේඝනගේ දිව පැටලුණා.
“ඔව්, ඔව් ඉතින් කියනවා බලන්න?” උඩුරැවුල් කාරයා ගෙරෙව්වා.
“මේක ගහක මල් ගැන අයැදුම්පතක්..” මේඝන යන්තම් වචන ගැටගහගත්තා. මෙතැනට පාර කීව කෙනා මෙහෙම හරස් ප්‍රශ්න, බාධක ගැන විස්තරයක් කීවේ නැති නිසා මේඝන හිතාගෙන හිටියේ බොහොම ඉක්මණින් වැඩේ කරගන්න ලැබේවි කියලා.
“පුෂ්ප පරාගන දෙපාර්තමේන්තුව තියෙන්නේ මෙහේ නෙමෙයි.” දොරටුපාල බොහොම ගාම්භීර විදිහට කිව්වා. “ඒකට අර පේන කඳු දෙකෙන් එහාට යන්න වෙනවා.”
“ඒක මම දන්නවා, ඒත් මගේ වැඩේට මෙතැනට එන්න කියලා තමයි කීවේ.” මේඝන ඔලුව කැසුවා. “මෙතන තියෙන කන්තෝරු මොනවාද?”
දොරටුපාල බොහොම වැදගත් පෙනුමක් ආරූඪ කරගෙන නුග ගහේ මුදුන පැත්තට ඇස් යොමු කළා. “මෙතැන තියෙනවා සිහින සංස්කරණ සංස්ථාව, කිරි දත් පරිපාලන අමාත්‍යංශය, වලාකුළු ව්‍යාප්ති අධීක්ෂණ අධිකාරිය, සුළු ප්රාතිහාර්ය දෙපාර්තමේන්තුව…” එයා ඇඟිලි නවමින් කීවේ කීවේ ආඩම්බර කටහඬකින්.
“අන්න ඒක.. ඒක තමයි!” මේඝන කෑ ගැහුවා. “ප්‍රාතිහාර්ය කරන තැනට තමයි මට එන්න කිව්වේ!”
දොරටුපාල මේඝන දිහා බැලුවේ ඇහැ කරකවලා. “ඇයි දැන් තමුසේ කිව්වේ මලක් ගැන කතාවක් නේද? ඒක කොහොමද ප්‍රාතිහාර්යක් වෙන්නේ?”
මේ මනුස්සයා එක්ක තවත් තර්ක කරලා පලක් නැහැ කියලා මේඝන ට හිතුණා. එයා දොරටුපාලයාව තල්ලු කරගෙන ඇතුළට ගියා.
නුග ගහේ එක එක අතට කාර්යාල කුටි සෑහෙන්න තිබුණා. ඒවායේ නාම පුවරු කියවමින් උඩ බලාගෙන ගිය මේඝන, තම තමන්ගේ පැති වලට වැස්ස ඉල්ලගන්න වර්ෂා පාලන මණ්ඩලය ඉස්සරහ නොඉවසිල්ලෙන් පෝලිම් ගැහිලා හිටියේ කිහිප දෙනෙක්ගේ ඇඟේ හැප්පිලා බැනුම් ඇහුවා. මෙහෙම යද්දී අන්තිමේදී මේඝන ට ගහේ මුදුන හරියේදී ‘සුළු ප්රාතිහාර්ය දෙපාර්තමේන්තුව’ හම්බවුණා. ගහේ ඉහළම අතු අතර, අහස හරියේ තිබුණු නිසා ද කොහෙද ඒකෙ බැලූ බැල්මට දිලිසෙන, පොඩි පහේ ප්‍රාතිහාර්ය ගතියක් තිබුණා.
‘අර වගේ මරුමුසෙක් ඉන්නවද දන්නේ නැහැ මෙතැනත්!” දොර තල්ලු කරගෙන ඇතුලට යන ගමන් මේඝන තමන්ටම කියාගත්තා.
ඒත් ඒ කන්තෝරුවේ ඉස්සරහින්ම හිටියේ බොහොම පියකරු ලලනාවක්.
“ආයුබෝවන්, සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුවට ඔබව සාදරයෙන් පිලිගන්නවා. මම අහස්නා. ඔබට අවශ්‍ය කොයි වගේ සේවයක් ද?” ඒ යුවතිය සිනාමුසු මුහුණෙන් ම කීවා.
අහස්නා! මේඝන ඉහළට ගත්ත හුස්ම පහලට දාන්න අමතක වෙලා මොහොතක් ගත කළා.
පල්ලෙහාදී ලැබුණු රළු පිළිගැනීම නිසා ඈ මේ ටික කීවේ තමන්ටම ද කියලා අවිශ්වාසෙන් වටපිට බැලුවා. ඒත් පිළිගැනීමේ නිලධාරිනිය බලාපොරොත්තු සහගතව බලාගෙන හිටියා. තමන්ගේ වාරය එනකම් පිවිසුම් ශාලාවේ තැන තැන වාඩිවෙලා හිටිය අනෙත් අයත් හුස්ම නාල්ලා තමන් කියන්න යන දේ අහගෙන ඉන්න බවක් තමයි මේඝනට හිතුණේ.
“මම.. මේ ගහක් ගැන.. ඒ කියන්නේ මල් හැදෙන්නේ නැති ගහක් ගැන අයැදුම්පතක් බාරදෙන්න..” තමන්ගේ වුවමනාව හරියටම විස්තර කරගන්න බැරිව මේඝනට ගොත ගැහුණා. වැඩියත්ම මේ යුවතියගේ ඇස් දෙකේ කාන්තිය දරාගන්න අමාරු බවක් එයාට දැනුණා.
“ඇත්තටම නම් ගස් වල මල් භාර පුෂ්ප පරාගන දෙපාර්තමේන්තුවට. මහත්මයා එතැනට ගිහින් බැලුවේ නැද්ද?” අහස්නා ඔලුවත් ටිකක් ඇල කරලා මේඝන ගේ ඇස් දෙක දිහා බලාගෙනම ඇහුවා. ඒ බැල්මට තමන් ලැජ්ජාවෙන් රතු වෙන බවක් මේඝන ට දැනුණා.
“මේක පුෂ්ප පරාගන දෙපාර්තමේන්තුවෙන් ඇවිත් බලලා අතඇරලා ගිය ගහක් නෝනා. මට කෙනෙක් කිව්වා සුළු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුවෙන්වත් අහලා බලන්න කියලා. මෙහෙන් ඇවිත් එහෙම මල් පිපෙන වැඩක් එයාලාගේ පැත්තේ සාර්ථකව කරලා දුන්නා කියලාත් කිව්වා.” මේඝන ආයාසයෙන් කීවා. වටපිට ඉන්න හැම කෙනෙක්ම තමන් දිහා බලාගෙන ඉන්නවා වගේ තේරුණු නිසා එයාට හුස්ම ගන්නත් අමාරු බවක් දැනුණා. ‘එක එකාගේ කතා අහලා මාත් ආවානේ දුර කතර ගෙවාගෙන! ගස් වල මල් පිපෙන එක කොහොමද ප්‍රාතිහාර්යක් වෙන්නේ?” මේඝනට පසුතැවිල්ලක් දැනුණා
“මෙහෙමයි මහත්මයා,” අහස්නා ඒ පාර ඔලුව ඇල කළේ අනෙත් පැත්තට. “කාලයක් මල් නොපිපුණු මහා ගස් එහෙම අපේ දෙපාර්තමේන්තුවෙන් පවරාගෙන සුළු ප්‍රාතිහාර්යක් කරලා දීලා මල් පුබුදුවන අවස්ථා තියෙනවා තමයි. ඒක වැඩියම කරන්නේ එක්කෝ මී මැසි සහ බඹර පරිපාලන නිලධාරීන්ගෙන් බලවත් ඉල්ලීමක් ලැබුණාම. එහෙම නැත්නම් ඒ පලාතේ ජීවත්වෙන අයට විශ්මය මාත්‍රාවක් අවශ්‍යයි කියලා ඉහළින් දැනුම් දුන්නාම. ඒත් දැන් දැන් ගස් වල මල් දැකලා විශ්මය ඇතිවෙන අය අඩු බවට අපි වාර්තා ලැබිලා තියෙනවා. ඒ නිසා මේ වගේ ව්‍යාපෘති නොකෙරෙන ම තරම්. මේ මහත්මයාගේ ඉල්ලීම කොයිවගේ ගහක් ගැන ද?”
ඒ විස්තරය අහලා මේඝන ට හීන් දාඩියත් දැම්මා. දැන් මේ වගේ මහා පරිමාන ව්‍යාපෘති කරන ආයතනයකින් තමන්ගේ පෞද්ගලික ඇඹුල් දොඩම් ගහක් ගැන ඉල්ලීමක් කරන්න පුළුවන් ද? එහෙමයි කියලා මේ තරම් දුරක් ගෙවලා ආව ගමන අත ඇරලා අනිත් පැත්ත හැරිලා යන්න පුළුවන් ද?
“නෝනා,” මේඝන අඩියක් ඉස්සරහට තියලා පිළිගැනීමේ මේසයට කිට්ටු වෙලා හඬ බාල කළා. “මේක අපේ වත්තේ හොඳ සාරෙට හැදිලා තියෙන ඇඹුල් දොඩම් ගහක්. ඒත් කවදාවත් මල් පිපුණේ නැහැ. මේ ගහ මගේ තාත්තා හිටෙව්වේ අම්මාව වල දාලා සොහොනේ ඉඳන් ආව ගමන්ම වගේ. අම්මා යි තාත්තායි හරි ආදරෙන් හිටියා. ඒ දෙන්නාගේ ආදර කතාවේ ඇඹුල් දොඩම් ගස් කීපයක්ම තියෙනවා. එයාලා මුලින් මුණගැහිලා තියෙන්නේ පලතුරු වත්තක කුලියට දොඩම් කඩන්න ගිහින්. ඒ දෙන්නා මුහුද පේන කඳු බෑවුමක පදිංචි වෙලා උන්නු පලවෙනි ගෙදර මිදුලේත් ඇඹුල් දොඩම් ගහක් තිබුණා ලු. මම පුංචි කාලේ හවසට අම්මා මාවත් තියාගෙන තාත්තා ගෙදර එනකම් පාර බලාගෙන හිටියේ ඒ ගහ යට ලු. අම්මා අසනීප වෙලා ඉන්දැද්දී ඒ කතන්දර සැරෙන් සැරේ එක දිගටම කියන්න ගත්තා. ඒ දවස්වලම තාත්තා ඇඹුල් දොඩම් පැලයක් ගෙනත් තිබ්බත් ඒක හිටවන්න වුණේ අම්මා නැතිවුණු දවසේ. දැන් අවුරුදු කීපයක් වෙනවා. ඒත් මේ ගහේ මල් පිපෙන්නේම නැහැ. තාත්තා දවසෙන් වැඩි හරියක් ගෙවන්නේ ඒ ගහ යට. ළඟකදී ඉඳන් තාත්තා තනියම කියවන්නත් අරගෙන. ගහේ මල් නොපිපෙන්නේ අම්මාගේ ආත්මය සදාකල් ශාන්තියට නොවැටී තාම හිත් තැවුලෙන් මනුස්ස ලෝකේ ඇවිදින නිසාලු. තාත්තා ඉක්මනට ඇවිත් අම්මාගේ ආත්මයට ශාන්තියට පාර පෙන්නන්නම්ලු.” මේඝන එක දිගට කියාගෙන ගියා. අන්තිම ටික කියද්දී එයාගේ හුස්ම හිරවෙලා හැඬුම් ආවා. “මට දැන් ඉන්නේ තාත්තා විතරයි නෝනා. පුළුවන් නම් මට මේ උදව්ව කරලා දෙන්න.” මේඝන ඉකිබින්දේ වටපිට ඉන්න අයට පෙනෙයිද කියලා නිනව්වක්වත් නැතිව.
එක හුස්මට කියවුණු මේ කතාව ඉවර වෙද්දී අහස්නාගේ සුන්දර හිනාව අතුරුදන් වෙලා ඇස් දෙක රතු වෙලා තිබුණා. බයෙන් බයෙන් වගේ කන්තෝරුව ඇතුළට ආව, හිසකෙස් අවුල් කරගත්ත මේ අපූරු තරුණයා එකපාරටම මේ විදිහට හඬා වැටේවි කියලා ඈ කොහොමටවත් බලාපොරොත්තු වුණේ නැහැ. කතාව ඉවරවෙලාත් ටික වෙලාවක් ගල් ගැහිලා හිටිය ඈ, මේඝන ගේ ඇස් දෙක දිහා බලාගෙනම හිස් අයැදුම්පතක් අතට ගත්තා.
“මේක පුරවලා දෙන්න” ඈ කනට ඇහෙන නෑහෙන හඬින් කිව්වා.
මේඝන අයදුම්පත පිරෙව්වේ අසුරු සැණෙකින්.
ඉන්පස්සේ කඳුළු පැල්ලම් බොඳවුණු ඒ අයැදුම්පත ‘හදිසියි, වහාම ක්‍රියාත්මක කරන්න’ කියන ලිපි ගොනුවට ඇතුළත් කළ යුවතිය ඈත දෑස් පිසිමින් යන තරුණයා දිහා බලා හිටියේ දවසේ ඉතිරි රාජකාරි වෙනුවෙන් හිනාවක් හොයාගන්නේ කොහෙන්දැයි කල්පනා කරමින්.
-හෙල්මලී ගුණතිලක
දිනමිණ වසත් සුළඟ- 22.03.2022
photo- pixabay
ආනේ හරිම ලස්සන නිර්මාණයක්! ආසම ආසම ජාතියේ... මරේ මරු !! මල් හතයි
ReplyDeleteස්තූතියි ලිඛිතා, ඔයාව ආයෙත් දකින්න ලැබීම සතුටක්!
DeleteFantastic!!!!!!!!!!!!
ReplyDeleteThank you!
Deleteඅතිවිශිෂ්ඨයි.
ReplyDelete//නුග මුල් දිගේ තමයි සෝපාන එහාට මෙහාට ගියේ// යෙදුම අපූරුයි. මම මතක්වුනේ මෙහෙම එකක්:
Mushroom House -Fantasy landscape
අගහරියෙදි කතාවෙ මූඩ් එක වෙනස් වීමත් හරි අගෙයි. ස්තූතියි.
ස්තූතියි බස්සා!
Deleteඔය බස්සා එව්ව mushroom house එක වගේ එව්වාට මගේ මාර කැමැත්තක් තියෙනවා. හිතේ පොඩි ළමා කෑල්ලක් ඉතිරිවෙලා තියෙනවද කොහෙද. මේවා ලියවෙන්නේ එතැනින් වෙන්න ඇති! :D
Excellent !
ReplyDeleteThank you Pra Jay!
Deleteහෙල්මලී නෝනා, මේක හරිම අපූරු කතාවක්. කාලෙකට පස්සේ හිත නිවන සනහන කතාවක් ඇහුවමයි. ඔබට පින්!! ඔබතුමී අහලත් ඇති සමහර විට බුදුහාමුදුරුවෝ වරක් ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා හරි අපූරු සූත්‍රයක්. අන්තිමට උන්වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි මේ සූත්‍රයේ නම මොකක්ද කියල. බුදු හාමුදුරුවෝ කියනවා ධර්මය හරියට මී පැණි ගුලාවක් වගේ රසවත් හිංදා මධු පීණ්ඩික සූත්‍රය කියලා මතක තියා ගන්ඩ කියලා. ඒ වගේම තමයි මේ කතාවත්. මම මේක මතක තියා ගන්නේ සුළු ප්රාතිහාර්ය දෙපාර්තමේන්තුව ගැන මී පැණි කතාව කියලා. නැවතත් ඔබට බොහොම පින්!!
ReplyDeleteලොකු මල්ලී, බොහොම ස්තූතියි මේ වචන වලට. ලියන අයට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි ඒවා කියවන අය රස වින්දා කියලා දැනුම් දෙන එක. එහෙම නොකළොත් 'ඒක ඒතරම් හොඳ නැතිව ඇති' කියලා නෙගටිව් හිතන ජාතියක් තමයි අපි. ඒ නිසා ඔබටත් බොහොම පින්!
Deleteඅගෙයි!. බොහොම අගෙයි!!
ReplyDeleteස්තූතියි හැට්ටර්!
Deleteකියන්න බැරි තරම් ලස්සනයි, මේ කතාව.
ReplyDeleteස්තූතියි ලෝටස්, මාස ගාණකින් කතාවක් ලිව්වේ. ඉඩෝරෙන් පස්සේ පිපෙන එව්වානේ :)
DeleteExcellent
ReplyDeleteමේකනම් අපූරු කතාවක් ..ඔයාගේ කතා මම කොහොමත් කියවනවා .. Harry Potter වත් මතක් වුනා ..Fantacy ගණයට වැටෙන අපූරු කතා පොඩ්ඩ අනේ
ReplyDeleteMallie,
ReplyDeleteSuperb…පරිකල්පන ව්ශිශ්ටයි.....
සුළු ප්රාතිහාර්ය දෙපාර්තමේන්තුව, මස්කටුත් දේවිද? බහූ..ඌඌඌ
ReplyDelete🥰😍😇
ReplyDeleteepic film eka mthaka una mul tika kywan yddi e wagemai
ReplyDelete